JDS Sinhala

ට්‍රම්ප් නැති ඇමරිකාවට ලෝක පරිවාරයෙන් විවෘත ලිපියක්

මොහොමඩ් හනිෆ් විසිනි* | පරිවර්තනය: සනත් බාලසූරිය


පේ අමෙරිකානු මිතුරෝ තමන්ගේ ජනාධිපතිවරයා ගැන බෙහෙවින් කරදරයට පත්ව සිටිති. ඔවුන් අපට කියමින් සිටින්නේ - ඔහුගේ ධූරකාලයේ අවසන් මාස කිහිපය වියහැකි සමයේ වුවත් - ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙඩෙක් බවත්, ඔහු ෆැසිස්ට්වාදියෙක් බවත්, ඔහු නියමාකාර අමෙරිකානු ජනාධිපතිවරයකුගේ විකෘති හාස්‍යානුකරණයක් බවත් ය.

එක්සත් ජනපද ජනාධිපතිවරුන් විසින් පාලනය කරනු ලබන ලෝකයක, දිගුකල් විඳවන පුරවැසියෙක් වශයෙන්, පසුගිය අඩ සියවස පුරා මමත්, අනෙක් අමෙරිකානු නොවන ලෝකයත් පීඩාවට පත්කළ සෙසු අමෙරිකානු ජනාධිපතිවරුන්ගෙන් ඔහු බෙහෙවින් වෙනස් නොවන බව මම ඔවුන්ට මතක් කර දෙමි.

අමෙරිකානුවන් පවසන්නේ තමන් ට්‍රම්ප්ට වඩා බොහොම හොඳ මිනිසුන් බව ය. ඊට සහයෝගයක් වශයෙන්, 'ඔව්, නිසැකව ම, අපිත් ට්‍රම්ප්ට වඩා හොඳ උදවිය' යයි කීමට යමකු පෙළඹිය හැකි ය. එහෙත් ට්‍රම්ප්ට වඩා හොඳ වචන විලාසයක් මේ හිටපු ජනාධිපතිවරුන්ට තිබුණා විය හැකි වුවත්, ඔවුන් වඩා ගැලපෙන ඇඳුම් සූට් ඇන්දා වියහැකි වුවත්, වඩා මාහැඟි නර්තන විලාසයන් තිබුණවුන් වියහැකි වුවත්, පුරසාරම්කාර 'ගැහැණු පෙරේතයන්' හෝ කපටි බදු කොල්ලකරුවන් නොවුණා වුවත්, ජාත්‍යන්තර මට්ටමේ මැරෑටියකු වීම නම් හැමවිට ම ඒ රාජකාරියේ කොටසක් ව තිබූ බව ඊට එකතු කිරීමට බලකැරෙයි.

එක්සත් ජනපදය හැමවිට ම මැරයකු තෝරාගෙන ඔහු පෝෂණය කර, පිටත ලෝකය කරා ගොස් ජනාධිපතිමය දේවල් කරන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියේ ය: ඒ වූකලි නපුරට එරෙහිව, එනම් අමෙරිකානු නොවන්නන් වන අපට එරෙහිව සටන් කිරීම ය. ඒ අතරම සිය ජනාධිපතිවරයා ගෙදරට යහපත් කෙනකු වීමත්, තමන්ගේ තුති පිදීමේ දිනය දා (Thanksgiving) කළුකුමාට ආශිර්වාද කිරීමත්, අමෙරිකානු සිහිනය ගැන හා වියදම් දැරිය හැකි සෞඛ්‍ය සේවාවක් ගැන කතාකිරීමත් ඔවුහු අපේක්ෂා කළහ.

රටෙන් පිටත දී, එක්සත් ජනපද ජනාධිපතිවරු තමන්ට කිසිදා උච්චාරණය කරන්නට බැරි නම් ඇති ස්ථාන ආක්‍රමණය කරමින් හා විනාශ කළ අතර, ලොව පුරා මිනීමරු ඒකාධිපතියන්ට සිය කෑම්ප් ඩේවිඩ් නිවාඩු නිකේතනයේ සත්කාරකත්වය ලබාදෙමින් හා ඔවුන් වෙනුවට ඊටත් වඩා ලේ පිපාසිතයන් සොයා ආදේශ කිරීමෙන්ද මහත් විනාශයන් සිදුකළහ.

ට්‍රම්ප් කර ඇත්තේ හුදෙක් ඒ සියලු මැරකම් ආපසු ගෙදර ගෙනඒම ය.

නික්සන්ගේ සිට බුෂ් දක්වා

බාල වියේ දී මා අසා ඇති පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා වූයේ, වෝටර් ගේට් සිද්ධිය හේතුවෙන් පන්නා දැමූ නික්සන් ය. එහෙත් සිය ජනාධිපති ධූරකාලය තුළ බංගලාදේශ ජන සංහාරය සිදුවනු බලා සිටි ඔහු, ඊට මැදිහත්වන බවට දිගින් දිගට ම පොරොන්දු දුන්නත්, අවසානයේ දී ඒ සම්බන්ධයෙන් කරදර වන්නට ඔහුට බැරිවිය. ජිමී කාටර් ඇතැම් විට මැරකම් කිරීමට අකමැති, හොඳ මනුස්සයෙක් වගේ පෙනුණේ ය. සමහර විට යමකු අර "මානව හිමිකම්" නමැති සාපලත් පදය පළමු වතාවට ඇසුවේ ඔහුගේ කාලයේ දී විය හැකි නමුත්, මා ජීවත් වන පාකිස්තානයේ දී ඔහුගේ ධූර කාලය තුළ මිලිටරි ආඥාදායකයකු විසින් ඡන්දයෙන් පත්වූ අගමැතිවරයකු වන සුල්ෆිකාර් අලි බූතෝ එල්ලා මරන ලදී. ඊට ප්‍රතික්‍රියා වශයෙන්, ජෙනරාල් සියා උල්-හක් දිනාගැනීම සඳහා කාටර් ඔහුට ඩොලර් මිලියන ගණනක ආධාර පිරිනැමුවත්, ආඥාදායකයා ඒවා කජ්ජක් තරම්වත් නොවටිනා බව ප්‍රතික්ෂේප කළ අතර, එහි විහිළුව වූයේ කාටර් ඇත්තෙන්ම රටකජු වැවිලිකරුවකු වීමයි.

ඊළඟට පැමිණි රොනල්ඩ් රේගන් නම් ඉසිවරයා ලොව පුරා සිය ගොපලු ෆැන්ටසිය රඟදැක්වීම සඳහා විශාල මුදලක් විසිකළේ ය. ''නිදහස් ලෝකයේ නියමුවා" ලෙස ඔහු තමන්ව ම හඳුන්වාගත්තේ ය. ලෝකය නිදහස් තැනක් කිරීම උදෙසා ඔහු චිලියේ ඕගස්ටෝ පිනොචේ හා පාකිස්තානයේ සියා උල්-හක් වැනි ඒකාධිපතියන්ට මුදල් ආධාර දුන්නේ ය.

රේගන් ඇෆ්ගනිස්ථානයේ මුජහයිඩීන්වරුන්ට මූල්‍යාධාර දීම අරඹන විට මට අවුරුදු 11කි. දැන් මගේ පුතා විශ්වවිද්‍යාල උපාධිධාරියෙක් වන අතර, එක්සත් ජනපදයේ තුන්වැනි පරම්පරාවේ දුප්පත් දරුවෝ තවමත් ඒ ඇෆ්ගනිස්ථානයේම සටන්වදිමින් ද, සාකච්ඡා පවත්වමින් ද සිටිති. ඒ අතරම සිව්වැනි ඇෆ්ගන් පරම්පරාව සරණාගත කඳවුරුවල හැදී වැඩමෙින් සිටින අතර, කාන්තාවන් සිතමින් සිටින්නේ, එක්සත් ජනපදය අන්තිමේ දී සිය සාම සාකච්ඡාවලින් සාර්ථකත්වයක් අත්කරගත් පසු, තමන්ට ජීවත් වීමට රටක් ලැබේද යන්න ගැන ය.

ජෝර්ජ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) සිය ගිනිකෙළිවලින් බැග්ඩෑඩයේ සිතිජ රේඛාව ආලෝකවත් කළේ ය. ඔහු එක් ප්‍රජාපීඩකයෙක් නිදහස් කිරීමට තවෙකෙකුගෙන් මුදල් ගත්තේ ය, ඒ අතරතුර ඉරාක කැරලිකරුවන් තුන්වැනි ප්‍රජා පීඩකයා වූ සදාම් හුසේන්ගේ ආධිපත්‍යය යටතට අත්හැර දමන්නට කලින්, ඔවුන්ට මුදල් ආධාර දීමට තැත්කළේ ය.

අපි බිල් ක්ලින්ටන්ට ආදරය නොකළෙමුද? ඔහු ට්‍රම්ප්ගේ ප්‍රතිපක්ෂය නොවුණිද? ඔහු ප්‍රසන්න, වසඟකාරී අයෙක් - එකට වාඩි වී බියර් එකක් බොන්නට කැමති ජාතියේ කෙනෙක් නොවුණිද? මොනිකා ලෙවින්ස්කි සමග හාදකම හේතුවෙන් දෝශාභියෝගයකට මුහුණදුන් විට, අවධානය වෙනතකට හැරවීම සඳහා ක්ලින්ටන් ඇෆ්ගනිස්ථානයට හා සුඩානයට ඉහළින් කෲස් මිසයිල ප්‍රහාර කිහිපයක් දියත් කළේ ය.

අමෙරිකානුවෝ ජෝර්ජ් ඩබ්. බුෂ්ට නිසැකව ම ආදරය කළා විය යුතු ය. ඔවුන් දෙවරක්ම ඔහු ඡන්දයෙන් ජනාධිපති කරගත්තේ එබැවිනි. ඇෆ්ගනිස්ථානය සමග යුද්ධයක් ආරම්භ කිරීම එක්සත් ජනපද ජනාධිපතිවරයෙක් කළ යුතුම දෙයක් ලෙස ඔහු විශ්වාස කළේ ය. එහෙත් එහිදී ඔහු අවබෝධ කරගත්තේ, සිය පූර්වගාමියා තමන්ට විනාශ කරන්නට ඒ තරම් දෙයක් ඉතිරි කර නැති බව ය. ඉලක්ක සොයනු පිණිස ඔහු ඉරාකයට ගොඩ බැස්සේ ය, යුද්ධය සඳහා අවැසි ව්‍යාජ හේතුවක් නිෂ්පාදනය කළේ ය, ග්වන්තනාමෝ හා අබු ග්‍රායිබ් හි සිරගෙවල් ඇරියේය, ඊළඟට ජයග්‍රහණය ප්‍රකාශයට පත්කර, මිලියන ගණනක් මරණයට අතහැර ආපසු ගෙදර බලා ගියේ ය.

ඔබාමා: දුර සිට මිනීමැරීම

මෘදු හැසිරීමක් ඇති එක්සත් ජනපද ජනාධිපතිවරු පවා ලෝක වේදිකාවේ සමූහ ඝාතකයෝ වී ඇත්තාහ. මන්ද, ඔවුන්ගේ රාජකාරි වපසරියට අයත් වන්නේ එය බැවිනි.

බරක් ඔබාමා යනු මෑත කාලයේ දී වඩාත් ම ආදරය දිනාගත් ජනාධිපතිවරයෙකි, ඇත්තෙන්ම ඔබ එකට වාඩි වී බීර එකක් බොන්නට තිබුණානම් කදිමය යි සිතනු ඇති වර්ගයේ මිනිසෙකි. ඝාතන සිදුකිරීම ඔහු විසින් අල්ගොරිතම්වලට හා ඩ්‍රෝන යානාවලට බාරදෙන ලද අතර ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය ලිබියාව සහමුලින් වනසා දැමුවේය. ඔහු ගේ ධූරකාලය අවසන් වන විට එක්සත් ජනපදය දිනපතා හැම පැයකටම, බෝම්බ තුනකට ආසන්න ප්‍රමාණයක් හෙළමින් සිටියේ ය. (2009 දී ඔබාමා ඔහුගේ යහපත් චේතනාවන් වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය දිනාගත්තේ ය.)

අමෙරිකානුවෝ ලෝකයේ විශාලතම විනෝදාස්වාදය සපයන්නෝ වන නමුත්, ඉතාම පහසුවෙන් වෙහෙසටත්, එපාවීමටත් පත්වන බවක් පෙනේ. ඔවුන්ගේ මවාගත් අහිංසකකමින් යුතුව, ඔවුහු ලෝකය පුරා යමින් විවිධ ස්ථාන බේරාගැනීම සඳහා ඒවා විනාශ කරති. ගෙදර දී ඔවුහු තෝරාගැනීමක් කිරීමට කාලය පැමිණ ඇතැයි තමන්ට ම කියාගනිමින් සිටියත් යථාර්ථයේ දී, ඔවුන්ට ඇත්තේ කුමන තෝරාගැනීමද?

ට්‍රම්ප් එක්සත් ජනපදයට නරක පෙනුමක් ද, එක්සත් ජනපදයට වඩා සුදු වාර්ගික පෙනුමක් ද, එක්සත් ජනපදය වැරදි ඉංග්‍රීසි වහරන තැනක් ද බවට පත්කරමින් සිටියි; ඔහු, එක්සත් ජනපදය අශිලාචාර, තරබාරු, කෑදරයකු බවට පත්කරයි. එහෙත් ලොව පුරා සිටින අප බොහෝ දෙනකුගේ කල්පනාවට අනුව, ඔහු පරාද වුවත්, එය එක්සත් ජනපදය වෙනස් වන්නට යන බවට ලකුණක් නොවේ: එය හුදෙක් යම් තරමක වේශනිරූපණයක් පමණක් කියාපායි.

එක්සත් ජනපදයට අවශ්‍ය වන්නේ හැඩකාර පෙරගමන්කරුවෙකි; ජේත්තුකාර සූට් අඳින, එළිපිට ජාතිවාදී නොවන අයෙකි. එක්සත් ජනපද ජනාධිපතිවරුන් වනාහී වැඩට ගොස් සේවකයන් සංත්‍රාසයට පත්කරන, එහෙත් හිරුඑළිය හා ආදරය පැතිරවීම සඳහා ගෙදර එන හාම්පුතෙක් බඳු ය.

ට්‍රම්ප් සමග ඕනෑම විදියකට ගණුදෙනු බේරාගෙන, දොර වසා, යතුර වීසිකර දමන්න. එක්සත් ජනපද ආත්මය සුරකිනු ඇතැයි ඔබ විශ්වාස කරන පුද්ගලයා තෝරාගන්න - එහෙත් අප ගලවා ගැනීම පිණිස ඔහු පිටත ලෝකයට එවීමෙන් වළකින්න.☐

*මොහොමඩ් හනීෆ් පාකිස්තානයේ කරච්චි නගරයේ වෙසෙන ප්‍රකට නවකතාකරුවෙකි. ඔහු ලියූ මෙම ලිපිය ලන්ඩනයේ 'ද ගාඩියන්' පුවත්පතේ පළවූයේ 2020 නොවැම්බර් 3 වැනිදා ය.

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.