JDS Sinhala

ඌරි අව්නේරි: 'රට වෙනුවෙන් බොරු කීමේ අයිතිය සියල්ලෝ අදහති'

අත්‍යවශ්‍ය චරිතාපදාන සටහනක්:

ඌරි අව්නේරි, අගෝස්තු පළමු සතිය අවසානයේදී සිය අන්තිම ලිපිය ලියා හමාර කළේය. ඒ, ඊශ්‍රායලය යුදෙව් රාජ්‍යයක් වශයෙන් නම් කළ නව නීති ප්‍රතිපාදනයන්, අර්ධ ෆැසිස්ට්වාදයකට සම කරමිනි. අගෝස්තු 6 වැනිදා 'කවුන්ටර් පන්ච්' වෙබ් අඩවියේත්, 7 වැනිදා ටෙල්අවීව් හි පළකෙරෙන 'හආරෙට්ස්' (Haaretz) පත්‍රයේ හීබෘ භාෂා සංස්කරණයේත් ඒ ලිපිය පළ විය. නමුත් ඉන්පසු එළඹි දෙසතියේදී ඔහුගේ ලිපි කොහේ හෝ පළව තිබෙනු ඇසු නොගැටුණි. මන්ද යත්, අනූ හතර අවුරුද්දක් සම්පූර්ණ වූ සිය දිගු ජීවන ප්‍රයාණය අගෝස්තු 20 වැනිදා ඔහු තිර වශයෙන්ම නිම කළ බැවිනි.

1923දී ජර්මනියේ යුදෙව් පවුලක උපත ලද අව්නේරි, 1933 හිට්ලර් බලයට පත්ව මාස කිහිපයක් ඇතුළත ජර්මනිය අතහැර ඊශ්‍රායලයට පලා ගියේය. පෙර තුරුණු වියේදීම බ්‍රිතාන්‍ය වාඩි ලා ගැනීම්වලට එරෙහිව සටන් කිරීමේ උවමනාවෙන් ඔහු රහසිගත සයන්වාදී 'ඉර්ගුන්' (Irgun) සන්නද්ධ ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයකු බවට පත් වූ නමුත් එහි අරාබි විරෝධී ප්‍රතිගාමී ප්‍රවණතාවන්ට විරෝධය පාමින් තුන් අවුරුද්දක් ඇතුළත සංවිධානය හැර ගියේය. අධිරාජ්‍යවාදයට හා යටත් විජිතවාදයට එරෙහිව අරාබි ජාතිකවාදය හා සන්ධාන ගතවීමට සූදානම් නව යුදෙව් ප්‍රජාවක් පිළිබඳ විවාදාත්මක අදහස ප්‍රචලිත කරන්නට ඔහු පුරෝගාමී වූයේ මේ කාලයේදී ය.

කෙසේ වුවද, අව්නේරිගේ අචල හා පිළිවෙත් ගරුක දේශපාලනයේ කූඨ ප්‍රාප්තිය සළකුණු වූයේ පලස්තීන ජනයාගේ විමුක්තිය පිළිබඳ ගැටළුවේදී ඔහු විසින් දරණ ලද සමාදාන රහිත ස්ථාවරයෙනි. පලස්තීන විමුක්ති සංවිධානයේ විවෘත ආධාරකරුවකු වූ ඔහු, 1982දී ලෙබනනයට එරෙහිව තීව්‍ර කෙරුණු ඊශ්‍රායල් දැවැන්ත යුද ප්‍රහාර මැද, සටන් ඇවිළෙන සංග්‍රාම පෙරමුණු හරහා බටහිර බෙයිරූට් නුවරට ඇතුල් වී පලස්තීන විමුක්ති සංවිධානයේ නායක යසර් අරෆත් හමු විය.  ඒ, අර්ෆත් මුණගැසුණු පළමු ඊශ්‍රායල්  ක්‍රියාධරයා වශයෙනි. 2002 වසරේදී පලස්තීන බටහිර ඉවුරේ රාමල්ලා නගරයේ ජනපති කාර්යාල අංගනයට කොටුකර අර්ෆත් ඝාතනය කිරීමේ අරමුණින් ඒරියල් ෂැරෝන් විසින් ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර උත්සන්න කළ මොහොතේ අර්ෆත් ආරක්ෂා කිරීමේ 'මිනිස් පළිහක්' වශයෙන් ක්‍රියාකිරීමේ අරමුණින් සාම ක්‍රියාකාරිකයන් තිස් දෙනකුගේ කණ්ඩායමක් කැටුව ඔහු යළිත් රාමල්ලා කරා ගියේය.

මිය යනවිට ඊශ්‍රායලයේ අංක එකේ මාධ්‍යවේදියා වශයෙන් ද, ඊශ්‍රායල් සාම හවුල හෙවත් 'ගුෂ් ෂැලෝම්' (Gush Shalom) හි ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකු හා වාමාංශිකයකු වශයෙන් ද පිළිගැණුනු අව්නේරි, 'එක් රටක් - රාජ්‍ය දෙකක්' පිළිබඳ විවාදාත්මක යෝජනාව මුල්කොටගත් 'රාජ්‍ය දෙකේ විසඳුම' ප්‍රචලිත කිරීමේ පුරෝගාමියා වශයෙන් ද සැළකුම් ලැබුවේය. ඒ නිසාම, සයන්වාදී දක්ෂිණාංශික බලවේගයන් හමුවේ ද්‍රෝහියකු වශයෙන් වෛරයට පාත්‍ර වූ ඔහු, යථාර්ථ විරෝධියකු වශයෙන් ඇතැම් විට මිතුරු වාමාංශිකයන්ගේ ද මෘදු විවේචනයට ඉලක්ක විය.

‍මෙම ලිපිය ඔහු විසින් ලියන ලදුව මුලින්ම පළ වූයේ 2009 ජනවාරි මාසයේදී ය. ඒ, පලස්තීන ජනයාට එරෙහිව ඊශ්‍රයලය විසින් දියත් කරන ලද දින විසි දෙකේ දැවැන්ත යුද ප්‍රහාරයන් මැද ය. වන්නියේ ක්‍රමයෙන් කුඩාවන බිම් කඩකට ලක්ෂ තුන හමාරකට අධික දෙමළ ජනයා කොටුකළ අවසන් යුද මෙහෙයුම් තීව්‍ර කරන ලද ඒ ජනවාරියේදී ම, මෙම ලිපිය මුල්වරට සංක්‍ෂිප්ත කොට සිංහලට පෙරළනු ලැබ 'රාවය' පත්‍රයේ පළවිය.

වන්නියේත්, ගාසා තීරයේත් දුක්ඛිත යථාර්ථයන් යා කරන සමාන්තරයක් අව්නේරීගේ තියුණු වදන් විසින් ඒ ලේ වැකි ජනවාරියේදී නිර්මාණය කළ ආකාරය නම අවුරුද්දකින් පසු කියවා බලන්නට දැන් යළිත් පුළුවන.

ඒ, ඌරි අව්නේරි නමැති එඩිතර මිනිසා විසින් රක්නා ලද ජීවන මූලාදර්ශයන් ගැන මතකය වෙනුවෙනි.

පරිවර්තනය: භාෂණ අබේවර්ධන


'හැත්තෑ අවුරුද්දකට කලින් දෙවන ලෝක මහා යුද සමයේ ලෙනින්ග‍්‍රාද් නුවරදී සාහසික අපරාධයක් සිදුකරන ලදී. ‘රතු හමුදාව’ නමින් හඳුන්වා ගත් අන්තවාදී කල්ලියක් දින දහසකට වැඩි කාලයක් නගරවාසී මිලියන සංඛ්‍යාත සිවිල් ජනයා ප‍්‍රාණ ඇපකරුවන් වශයෙන් තබා ගනිමින්, ජනාකීර්ණ ස්ථානයන්හි සැඟව සිට ජර්මානු හමුදාවන්ට එරෙහිව  කුපිත කරවීමේ ප‍්‍රහාරයන් එල්ල කළහ. ලක්‍ෂ සංඛ්‍යාත ජනයාට මරු කැඳවමින් බෝම්බ හා ෂෙල් ප‍්‍රහාරයන් එල්ල කිරීම සහ පූර්ණ සම්බාධක පනවනු හැරෙන්නට වෙන විකල්පයක් ජර්මානුවන්ට ඉතිරි නොවිණ.

ඊට කෙටි කාලයකට පෙර, මේ හා සමාන අපරාධයක් එංගලන්තයේදී ද සිදු කෙරිණ. ලන්ඩන් නගරවාසී ජනයා අතර සැඟවුණු ‘චර්චිල් කල්ලිය’ මිලියන සංඛ්‍යාත සිවිල් ජනගහණය මිනිස් පළිහක් වශයෙන් යොදගත්හ. සිය ගුවන් හමුදාවන් යවා මුළුමහත් ලන්ඩනයම සුන් බුන් කරන්නට ජර්මානුවන්ට මේ තත්ත්වය විසින් බල කරනු ලැබිණ. එය ඔවුන් හඳුන්වන ලද්දේ ‘අකුණු සැරය’ වශයෙනි."

යම් හෙයකින් දෙවන ලෝක සංග‍්‍රාමය ජර්මනිය විසින් ජයගනු ලැබුවේ නම් වත්මන් ඉතිහාස පොත්වල ඇතුළත් විය හැකිව තිබුණේ ඉහතින් කී ආකාරයේ විස්තරයකි.

විකාර සහගත යැයි සිතන්නේද? අපේ ජනමාධ්‍ය වාර්තා මගින් පුන පුනා කියනු ලබන දෛනික විස්තරයන්ට වැඩිමනත් වූ පිළිකුලක් එමගින් ජනිත නොකරයි: 'හමාස් ත‍්‍රස්තවාදීහු ගාසා වැසියන් ‘ප‍්‍රාණ ඇපකරුවන්’ වශයෙන් යොදාගන්නා අතර ස්ත්‍රීන් සහ ළමුන් ‘මිනිස් පළිහන්’ වශයෙන් භාවිතා කරති. දැවැන්ත බෝම්බ ප‍්‍රහාරයන් එල්ල කරනු විනා වෙන විකල්පයක් එමගින් අපට ඉතිරි කොට නැති අතර, අපගේ ගැඹුරු සංවේගයට හේතුවන පරිද්දෙන් දහස් සංඛ්‍යාත ස්ත්‍රීන්ද, ළමුන්ද, නිරායුධ පිරිමින් ද මෙමගින් මරණයට මෙන්ම තුවාල ලැබීම්වලට පාත‍්‍ර වේ.’

රමණීය ප්‍රබන්ධ

ඕනෑම නූතන යුද්ධයකදී වාගේම මේ යුද්ධයේදීත් ප‍්‍රධාන භූමිකාවක් යුද සම්ප්‍රචාරයන් (war propaganda) විසින් ඉටු කරයි. ස්වකීය ගුවන් හා ප‍්‍රහාරක යානාවලින් ද, ඔත්තු යානා හා යුද නැව්වලින් ද, කාලතුවක්කු සහ යුද ටැංකිවලින් ද සන්නද්ධ ඊශ‍්‍රායෙල් හමුදාවත්, හුදෙක් සැහැල්ලූ අවිවලින් සන්නද්ධ දහස් ගණනකට නොවැඩි හමාස් සටන්කරුවනුත් අතර පවතින බල අසමානතාව එකට දහසක් හෝ ඇතැම්විට එකට මිලියනයක් තරම් විය හැක. දේශපාලන තලයේදී ඒ පරතරය ඊටත් වැඩි එකකි. නමුත් යුද ප‍්‍රචාරක තලයට අදාළව සළකතොත් ඒ පරතරය අනන්තය තෙක් විහිදේ.

ආරම්භයේදී සෑම බටහිර ජනමාධ්‍යයක්ම පාහේ නිල ඊශ‍්‍රායෙල් ප‍්‍රචාරණයන් පුනරුච්ඡාරණය කළහ. පලස්තීන පැත්තේ කතාව ඔවුන් මුළුමණින්ම නොසළකා හළ අතර ඊශ‍්‍රායෙල් සාම ක්‍රියාකාරිකයන් සම්බන්ධයෙන් දැක්වූ නොසැළකිල්ල අමුතුවෙන් කිව යුතු නොවේ. ඊශ‍්‍රායෙල් ආණ්ඩුවේ තර්කය (එනම්, 'රජය විසින් සිය පුරවැසියන් කසාම් රොකට් ප‍්‍රහාරයන්ගෙන් ආරක්‍ෂා කළ යුතු වේ') පූර්ණ සත්‍යය වශයෙන් පිළිගනු ලැබ තිබිණ. කසාම් රොකට් ප‍්‍රහාරයන් වනාහී ගාසා තීරයේ දිවි ගෙවන මිලියන එක හමාරක් වැසියන් හාමතේ හෙළන වාඩි ලා ගැනීම්වලට විරෝධය පෑමක්ය යන අනෙක් පැත්තේ දැක්ම කිසි විටක සඳහන් නොකෙරුණි.

ලෝක ජන මතය වෙනස්වීමට පටන් ගත්තේ ගාසාවේ බිහිසුණු රූප රාමු බටහිර රූපවාහිනී තිර මත ප‍්‍රාදූර්භූත වීම ආරම්භ වීමෙන් පසු ය.

බටහිර සහ ඊශ‍්‍රායෙල් රූපවාහිනී නාලිකා විසින් පෙන්වන ලද්දේ අල් ජසීරා අරාබි නාලිකාව ඔස්සේ දවසේ පැය විසි හතර පුරාම විකාශනය වූ බියජනක රූප රාමුවලින් අංශු මාත‍්‍රයක් පමණක් බව ඇත්තකි. නමුත් සංත‍්‍රාසයට පත් පලස්තීන පියකුගේ දෑත් මත මිය ගිය එක් බිළිඳෙකුගේ සේයාරුවක් ඊශ‍්‍රායෙල් හමුදා ප‍්‍රකාශකයාගේ රමණීය ලෙස ප‍්‍රබන්ධ කළ වාක්‍යයන් දහසකට වඩා බල සම්පන්න වේ. සියල්ල අවසානයේදී තීරක බලය ඇත්තේ එයට ය.

සෑම යුද්ධයක්ම බොරුවෙහි තෝතැන්නකි. යුද සම්ප‍්‍රචාරණය හෝ මනෝ විද්‍යාත්මක යුද ක්‍රියා යන කවර නමකින් හඳුන්වනු ලැබුව ද, රට වෙනුවෙන් බොරු කීමේ අයිතිය සියල්ලෝ අදහති. ඇත්ත කතා කරන යම් අයෙක් වේ නම් ද්‍රෝහියකු ලෙස හංවඩු වැදීමේ අවදානම කරා තල්ලූ වේ.

ගැටළුව වන්නේ, අදාළ සම්ප්‍රචාරණයන් ඒවා ප්‍රචාරය කරන්නන් විසින්ම විශ්වාස කිරීමට පටන් ගැනීමයි. ඔබ විසින් බොරුව ඇත්තක් වශයෙන්ද, සදොස් දේ යථාර්ථය වශයෙන්ද ඔබටම ප‍්‍රත්‍යක්‍ෂ කරගත් පසු තවදුරටත් සබුද්ධිකව තීරණ ගැනීමට ඔබ අසමත් වේ.

නිල 'හමුදා බොරුකාරයා'

මේ යුද්ධයේදී ඒ සම්බන්ධයෙන් ඇති වඩාත් කම්පා කරවන සාපරාධී ක්‍රියාදාමය පිළිබඳ කදිම නිදසුන ජබාලියා සරණාගත කඳවුර තුළ පිහිටි එක්සත් ජාතීන්ගේ ෆකූරා විදුහලට ෂෙල් ප‍්‍රහාර එල්ල කිරීමයි.

අදාළ සිද්ධිය ලොව පුරා පැතිර යාමෙන් පසුව, පාසැලේ ප‍්‍රවේශ ගේට්ටු ආසන්නයේ සිට හමාස් සටන්කරුවන් විසින් මෝටාර් ප‍්‍රහාර එල්ල කරන ලද බව ඊශ‍්‍රායෙල් හමුදාව විසින් ‘අනාවරණය’ කරන ලදී. එය තහවුරු කිරීමේ සාක්‍ෂියක් වශයෙන් පාසැලේ සහ මෝටාර්වල ගුවනින් ගත් සේයා රූ ඔවුහු මාධ්‍යයට නිකුත් කළහ. නමුත් අදාළ සේයාරුව අවුරුද්දකට වඩා පැරණි බව ඉතාම කෙටි කාලයක් ඇතුළතදී පිළිගැනීමට නිල හමුදා ‘බොරුකාරයාට’ සිදුවිය. කෙටියෙන් කිවතොත් මෙය යථාර්ථය සදොස් කිරීමකි.

‘‘අපගේ සෙබළුන්ට පාසැල තුළ සිට වෙඩි ප‍්‍රහාර එල්ල කෙරිණැ’යි පසුව නිල ‘බොරුකාරයා’ විසින් ප‍්‍රකාශ කරන ලදී. නමුත් යාන්තම් දවසක් ගතවන පමාවෙන් ඒ ප‍්‍රකාශයද බොරුවක් බව එක්සත් ජාතීන්ගේ නිළධාරීන් හමුවේ පිළිගැනීමට හමුදාවට සිදුවිය. කිසිවකුත් පාසල තුළ සිට වෙඩි තබා නොතිබූ අතර, ත‍්‍රාසයට පත් සරණාගත ජනයා හැරෙන්නට කිසිදු හමාස් සටන්කරුවකු පාසල තුළ නොවිණ. නමුත් පසුව කළ ඉල්ලා අස්කර ගැනීම වැඩිමනත් වෙනසක් ඇති නොකළේය. ඒ වන විටත්, ‘හමාස් සටන්කරුවන් පාසැල තුළ සිට වෙඩි තැබීම් කළ බව’ට ඊශ‍්‍රායෙල් පොදු ජනයාට ඒත්තුගන්වා තිබූ අතර, රූපවාහිනී නිවේදකයන් මෙය පොදුවේ පිළිගන්නා ලද කරුණක් සේ සළකා සිය ප‍්‍රකාශ සිදු කළහ.

එනයින්, එය අවශේෂ අපරාධ සමූහයටම නිරායාසයෙන් එක් විණ. මරණයට පත්වන සෑම බිළින්දෙක්ම හමාස් ත‍්‍රස්තවාදියෙකු වශයෙන් රූපන්තරණය විය. බෝම්බ හෙලූ සෑම දේවස්ථානයක්ම හමාස් කඳවුරක් බවටත්, සෑම මහල් නිවාස ගොඩනැගිල්ලක්ම අවි ගබඩාවක් බවටත්, සෑම පාසැලක්ම ත‍්‍රස්ත මෙහෙයුම් පොළක් බවටත්, සෑම සිවිල් ගොඩනැගිල්ලක්ම ‘හමාස් පාලනයේ සංකේතයක්’ බවටත් පෙරළිණ. ‘ලොව වඩාත්ම සදාචාර සම්පන්න හමුදාව’ වශයෙන් වූ සිය පාරිශුද්ධභාවය එමගින් ඊශ‍්‍රායෙල් හමුදාව විසින් ආරක්‍ෂා කර ගන්නා ලදී.

සැළසුම් කළ අපරාධ

ඇත්ත කාරණාව නම්, අපරාධයන් වනාහී යුද සැළසුම්වල සෘජු ප‍්‍රතිඵල බව ය. මෙය ඊශ‍්‍රායෙල් ආරක්‍ෂක ඇමති එහුඩ් බරාක්ගේ පුද්ගල පෞරුෂය - මනාව ප‍්‍රතිබිම්බනය කරයි. ඔහුගේ පැවතුම් හා ක්‍රියාකලාපයන් ‘සදාචාරාත්මක උන්මාදය’ ලෙස හැඳින්වෙන මනෝ ව්‍යාධිය පිළිබඳ පැහැදිලි සාක්‍ෂි සපයන සුළු ය. එළඹෙන මැතිවරණයේදී වැඩි ආසන ප‍්‍රමාණයක් ලබාගැනීමේ උවමනාව හැරුණු විට, මේ සමස්ත සැළසුම්වල එකම අරමුණ වන්නේ ගාසා තීරයේ හමාස් පාලනය අවසන් කොට දැමීමයි. යුද සැළසුම්කරුවන්ගේ පරිකල්පනය තුළ හමාස් යනු විදේශ රටක පාලනය ඩැහැ ගැනීමට සමත් වූ ආක‍්‍රමණිකයෙකි. නමුත් යථාර්ථය මීට ඉඳුරාම වෙනස් එකකි.

බටහිර ඉවුරේත්, නැගෙනහිර ජෙරුසලෙමේ සහ ගාසා තීරයේත් පැවැති මැතිවරණවලදී ඡන්ද බහුතරයක් හමාස් ව්‍යාපාරයට හිමි විය. එය මැතිවරණ ජයගැනීමට සමත් වූයේ, ප‍්‍රතිවාදී ෆාටා සංවිධානයේ සාමකාමී ප‍්‍රවේශය ඊශ‍්‍රායෙලයෙන් කිසිදු දෙයක් ලබා ගැනීමට අසමත් බව පලස්තීන ජනයාට ප‍්‍රත්‍යක්‍ෂව යාම හේතුවෙනි. හමාස් සංවිධානය වනාහී බහුජනයා අතර ගැඹුරින් මුල් බැසගත් ව්‍යාපාරයකි. මහජනතාවගේ දෘෂ්ටි කෝණයෙන් බලතොත්, හමාස් සටන්කරුවන් යනු බැහැරින් ආ විජාතික බලවේගයක් නොව, ගාසා තීරයේත්, අවශේෂ පලස්තීන ප‍්‍රදේශයන්හීත් වාසය කරන සෑම පවුලකට අයත් දරුවෝ වෙති. ඔවුන් ‘ජනගහණය පිටුපස සැඟව’ සිටිනවා නොව, සිය එකම ආරක්‍ෂකයා ඔවුන් යැයි බහුජනයා කල්පනා කරති.

එම නිසා, සමස්ත යුද මෙහෙයුම් ව්‍යාපාරයම පදනම්ව ඇත්තේ සාවද්‍ය උපකල්පනයන් මත ය. ජීවිතය නරකාදියක් බවට පෙරළීම මගින් බහු ජනයා හමාස් සංවිධානයට එරෙහිවන්නට යොමු නොකරයි. ඊට පරස්පරව, එමගින් ජනයා හමාස් සංවිධානය වටා රැළි කොට යටත් නොවීමේ අධිෂ්ඨානය එය තුළ බලවත් කරනු ලබයි. ලෙනින්ග‍්‍රාද් ජනයා ස්ටාලින්ට එරෙහිව නැගී නොසිටිය තරමටම ලන්ඩන් වැසියන් චර්චිල්ට එරෙහිව නැගී නොසිටියහ.

ඒ සා වූ ජනාකීර්ණ ප‍්‍රදේශයක එවැනි වූ ක‍්‍රමවේදයන් සහිත යුද්ධයකට අණ දෙන්නා කවරකු වුවද, එමගින් අති මහත් සිවිල් වැසියන් ප‍්‍රමාණයක් සමූල ඝාතනය කෙරෙනු ඇති බවට ඔහු ප‍්‍රත්‍යක්‍ෂ වශයෙන්ම දනියි. නමුත් එය ඔහු සසල නොකළ බව දැන් පැහැදිලි ය. නොඑසේනම්, එවැනි සංහාරක පිළිවෙතක ප‍්‍රතිඵලයක් වශයෙන් ‘ඔවුන් ඔවුන්ගේ පැවැතුම් වෙනස් කරගනු ඇති’ බවටත්, අනාගතයේදී ඊශ‍්‍රායෙලයට එරෙහිව නැගී සිටීමට තරම් ඔවුන් නිර්භීත නොවනු ඇති බවටත් ඔහු කල්පනා කළ විය හැකි ය.

ඊශ‍්‍රායෙල් හමුදාවන්ට සිදුවන සුවිශාල ජීවිත හානි පිළිබඳ වාර්තා ගලා ඒමක් මගින් යුද්ධයට පක්‍ෂපාතී ජනයා අතර සිදුවිය හැකි විපර්යාසයන් දැන සිටි යුද සැළසුම්කරුවන්ගේ ප‍්‍රධානතම උවමනාව වූයේ ඊශ‍්‍රායෙල් සෙබළුන්ට වන හානි හැකි තාක් අවම කරගැනීමයි. සමස්ත යුද්ධයම මැතිවරණ ව්‍යාපාරයක් හා වෙන් කළ නොහැකි ලෙස ගැටගැසුණු සැළැස්මක් වූ තත්ත්වය තුළ මෙම උවමනාවට විශාල වැදගත්කමක් හිමි විය. එම නිසා නව ක‍්‍රමවේදයක් ක්‍රියාවට නැංවිණ: ‘අපගේ සොල්දාදුවන්ට සිදුවන හානි අවම කරගනු වස් ඔවුන්ගේ මග අවුරන සියළු දේ සහමුලින්ම විනාශ කළ යුතු ය.’ ඒ අනුව එක් ඊශ‍්‍රායෙල් සෙබළකු බේරා ගැනීමට අවශ්‍ය වෙතොත් පලස්තීනුවන් 80ක් නොව, 800ක් වුව ද ඝාතනය කිරීමට සැළසුම්කරුවෝ සූදානම්ව සිටියහ. ස්වකීය සෙබළුන්ට වන හානි හැකිතාක් වළක්වා ගැනීම තීරක අභිලාෂය බවට පත්වීම හේතුවෙන් අනෙක් පාර්ශ්වයෙහි සිවිල් වැසියන් වාර්තාගත සංඛ්‍යාවන්ගෙන් මරුමුවට පත්වෙමින් තිබේ.

පාලිත මාධ්‍ය වාර්තා

පවුල් පිටින් වනසා දැමීමත්, නිවාස ඒවායේ නිවැසියන් සමග සමතලා කොට දැමීමත්, ධවල පිළිවලින් ඔතා භූමිදානයට සූදානම් කළ දරු දැරියන්ගේ මෘත දේහයනුත්, ගිලන් රථවලට ළඟා වීමට අවසර නොලැබීම හේතුවෙන් දින ගණන් ලේ ගලා ගොස් මිය යන මිනිසුන් පිළිබඳ වාර්තාවනුත්, ජීවිත ගළවාගැනීමට යුහුසුළුව සිටි වෛද්‍ය සහ හෙද වෘත්තිකයන් මෙන්ම ආහාර රැගෙන එන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රියැදුරන් ඝාතනය කිරීමත් වැනි සිදුවීම් මගින් ලොව පුරා සහේතුකව කල්පනා කරන ජනයාට ඇති කරන බලපෑම කෙබඳුදැයි, පරිකල්පනයක් රහිත එහුඞ් බරාක් වැනි අයෙකුට කිසිසේත් වටහා ගැනීමට නොහැකි ය. ඉඩ මදකම හේතුවෙන් මියගියවුන් ද, මිය යමින් සිටින්නන් ද, තුවාල ලැබූවන් ද එක රොත්තට ගාල් කළ රෝහල්වල දසුන් ලොව කම්පාවට පත්කොට තිබේ. ‘අම්මා - අම්මා’යි කියමින් වේදනාවෙන් ඇඹරෙන තුවාල ලත් සිඟිති දැරියකගේ රූපයක් විසින් ඇති කරන බලය කිසිදු තර්කයක් මගින් අභිබවා යා නොහැකි ය.

මාධ්‍ය වාර්තාකරණය බලහත්කාරයෙන් වාරණය කිරීම මගින් ලෝකයා මෙම දසුන් දැකීමෙන් වළකාලිය හැකි වනු ඇතැයි යුද සැළසුම්කරුවෝ කල්පනා කළහ. යුද්ධය ඇවිළ යන ප‍්‍රදේශයන්ගෙන් සැතපුම් ගණන් ඈතින් ජීවත්වන ඊශ‍්‍රායෙල් මාධ්‍යකරුවෝ, හමුදා ප‍්‍රකාශකයා විසින් සපයනු ලබන වාර්තා සහ සේයා රූ යුද්ධය පිළිබඳ යථා තොරතුරු සේ සළකා කටයුතු කිරීමට තරම් ලැජ්ජා විරහිත වූහ. විරෝධය දක්වන තෙක්ම යුද සිදුවීම් වාර්තාකරණය සඳහා විදේශ මාධ්‍යකරුවන්ට ද අවසර ලබා නොදුන්  අතර අවසානයේ තෝරාගත් කණ්ඩායම් හමුදා අධීක්‍ෂණය යටතේ ඉක්මන් චාරිකා සඳහා කැටුව යන ලදී. නමුත් ගාසා තීරය තුළ - නරකාදිය මැදම - පාලනය කළ නොහැකි කැමරා  ඕනෑ තරම් තිබිණ. පැය විසි හතර මුළුල්ලේ අල් ජසීරා නාලිකාව විසින් විකාශනය කළ එකී රූ දසුන් සෑම නිවසක් කරාම ළඟා විය.

රූපවාහිනී තිරය සඳහා වූ සටන මෙම යුද්ධයේදී වඩාත්ම තීරක සටනක් විය. මොරිටේනියාවේ සිට ඉරාකය දක්වා මිලියන සංඛ්‍යාත අරාබි වැසියන් ද, නයිජීරියාවේ සිට ඉන්දුනීසියාව දක්වා බිලියන සංඛ්‍යාත මුසල්මානුවන් ද මෙම දසුන් දැකීමෙන් කම්පනයට පත් වූහ. මෙය, යුද්ධය කෙරෙහි ප‍්‍රබල බලපෑමක් ඇති කිරීමට සමත් ය.
හමාස් සංවිධානයේ ස්වභාවය ග‍්‍රහණය කරගැනීමට අසමත් වීම, පෙරළා යුද්ධයෙහි ප‍්‍රතිවිපාක අනුමාන කිරීමට ද අසමත්කමක් ජනිත කොට තිබේ. ඊශ‍්‍රායෙලය මෙම යුද්ධය ජය ගැනීමට නොහැකි වනවා මෙන්ම, එය පරාජය වීමට හමාස් සංවිධානයට නොහැකි ය. හමාස් සංවිධානයට අයත් අන්තිම සටන්කරුවා දක්වාම සමූල ඝාතනය කිරීමට ඊශ‍්‍රායෙල් හමුදාව යම් හෙයකින් සමත්වුව ද, තවදුරටත් හමාස් සංවිධානය ජයග‍්‍රාහී වනු ඇත. හමාස් සටන්කරුවන් අරාබි ජාතීන් අතර පරමාදර්ශයන් බවටත්, පලස්තීන ජනයාගේ විරුවන් බවටත්, සෑම අරාබි යෞවනයකුගේම පූර්වාදර්ශය බවටත් පෙරළෙනු ඇත. මුළුමහත් බටහිර ඉවුරම ඉදුණු ඵලයක් මෙන් හමාස් සංවිධානයේ තුරුළට වැටෙනු ඇත.

සියොළඟම ලේ ගලන මුත් බල සම්පන්න ඊශ‍්‍රායෙල් යුද යාන්ත‍්‍රණය අභිමුඛයේ තව දුරටත් දෙපයින් නැගී සිටීමට සමත් වූ හමාස් සංවිධානයක් ඉතිරි කරමින් යුද්ධය නිමා වුවහොත් එය අති විශිෂ්ඨ ජයක් සේ පිළි ගැණෙනු ඇත. ලෝක ජන විඥාණය තුළ කිසිදු සදාචාර බැඳීමකට යටත් නොවන,  ඕනෑම මොහොතක යුද අපරාධ කිරීමට සූදානම් ලේ වැකි යක්‍ෂයකු වශයෙන් ඊශ‍්‍රායෙලයේ ප‍්‍රතිරූපය ලෝක ජන විඥාණය තුළ ශේෂ වනු ඇත. අපගේ දිගු කාලීන අනාගතයටත්, සාමය සහ සන්සුන්භාවය අත්පත් කරගැනීමට අපට හිමිවන අවස්ථාවන්ටත් මෙමගින් බරපතල ප‍්‍රතිවිපාක ඇති කරනු ඇත.

අවසාන විග‍්‍රහයේදී අපටම එරෙහි අපරාධයක් ද වන මෙම යුද්ධය, ඊශ‍්‍රායෙල් රාජ්‍යයට එරෙහි වූ අපරාධයකි.☐

ඌරි අව්නෙරි


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.