JDS Sinhala

චීන - ඇමරිකානු උපායික සංග්‍රාමය : ලෝකයේ පළමු මූල්‍ය අධිරාජ්‍යයේ නැගීම

චීන මහජන විමුක්ති හමුදාව යටතේ ස්ථාපිත ආරක්‍ෂක සරසවියේ මහාචාර්යවරයෙක් වශයෙන් සේවය කරන  ෂියාඕ ලියාන්ග් මේජර් ජෙනරාල්වරයෙකි. මෙම ලිපිය සංක්‍ෂිප්ත කොට සිංහලට පෙරළන ලද්දේ ඔහු විසින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ ග්‍රන්ථ අධ්‍යයන සංසදය හමුවේ 2015 අප්‍රේල් මාසයේදී සිදු කරන ලද දේශනයක් ආශ්‍රයෙනි. චීන මහජන විමුක්ති හමුදාවේ උපායමාර්ගික විශේෂඥයෙකු ලෙස කටයුතු කරන ඔහු “ සීමා රහිත යුද්ධය" (Unrestricted War) කෘතියේ සම කර්තෘවරයා ය.

ඔහුගේ මෙම දේශනයේදී ෂියාඕ මුල්‍ය සිද්ධාන්ත පිළිබඳ සිය අධ්‍යයනයේදී එළැඹී නිගමන සහ ඒවාට තුඩු දුන් සාධක විස්තර කරමින් ලෝකය තුළ සිය ආධිපත්‍යය පවත්වාගෙන යාම සඳහා එක්සත් ජනපදය විසින් ගෝලීය මුල්‍ය ඒකකය ලෙස ඩොලරය බලගන්වන අයුරු පැහැදිලි කරයි. ජාත්‍යන්තර වෙළෙඳාම තුළ ඩොලරයේ ඒකාධිකාරය පවත්වාගැනීමට එක්සත් ජනපදය යුද්ධ ඇරඹීම සහ පවත්වාගෙන යාම ඇතුළු කවර හෝ උපක්‍රමයක් අනුගමනය කරන බව ද ඔහු අවධාරණය කරන්නේය. එමෙන්ම චීනයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් දියත් කර ඇති සීමාකර පාලනය කිරීමේ උපායමාර්ගය (containment strategy)  තුළ සුපිරි බලවේගයක් ලෙස නැගී සිටීමට චීනයේ ප්‍රති උපායමාර්ගික සැලසුම් පිළිබඳව ද ඔහුගේ අවධානය වොමු කෙරේ.

ශ්‍රී ලංකාව එක් අතෙකින් චීනයේ ප්‍රතිඋපායමාර්ගික සැලසුම්වල පියවරයන් වන හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය වැනි දැවැන්ත ව්‍යාපෘතීන්වලට අවකාශ සළසන අතරේම, චීනයේ ප්‍රතිවාදී බලවේගය වන එක්සත් ජනපදය සමග කලාපීය සහ ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධ ගිවිසුම්වලට ද එළැඹී තිබේ. අනෙක් අතින් එක්සත් ජනපදයේ කලාපීය සහායකයා වන ඉන්දියාව සමග ගිවිසුම් ඇති කර ගනිමින් උපාය මාර්ගික වශයෙන් වැදගත් ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට පවරා දී තිබේ. දිනපතා තීව්‍රවන ජාත්‍යන්තර සහ කලාපීය බල අරගලයට ශ්‍රී ලංකාව දැන් සෘජුවම ඈඳී ඇති හෙයින් මෙම ලිපියෙන් මතුකෙරෙන කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වනු ඇත.

මෙම දේශනයේ ඉංග්‍රීසි සටහන මුල්වරට පළවූයේ chinascope.org වෙබ් අඩවියේ ය.

පරිවර්තනය: අජිත් සී. හේරත්


චීනය අවට මතු වී ඇති තත්ත්වය සහ එක්සත් ජනපද ඩොලර් දර්ශක චක්‍රයේ රහස්

A. ඉතිහාසයේ පළමු මුල්‍ය අධිරාජ්‍යය

ආර්ථික හෝ මුල්‍ය ක්ෂේත්‍රයේ නියැළී සිටින පුද්ගලයන් මෙම තේමාව පිළිබඳ අදහස් දැක්වීමට වඩාත්ම සුදුසු අයවළුන් වෙති. මා මේ තේමාව ගැන සාකච්ඡා කරන්නේ (ජාතික) උපාය මාර්ගික කෝණයෙනි.

1971 අගෝස්තු මස 15 වැනි දින එක්සත් ජනපද ඩොලරය රත්රන් හා වූ බන්ධනය නතර කළ විට ඩොලර් නැමැති නෞකාව එහි නැංගුරම, එනම් රත්‍රන් ඉවතට වීසි කර දැමූ බව කිව හැකි ය.

අපි පියවරක් අතීතයට යමු. 1944 ජූලිවලදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වෙතින් මුල්‍ය ආධිපත්‍යය තමන් වෙත හිමිකරගැනීමේ ක්‍රියාවලියට ආධාරවනු පිණිස ජනාධිපති රූස්වෙල්ට් විසින් ගෝලීය ක්‍රමවේදයන් තුනක් පෙරට ගන්නා ලදි. එනම්,

a) දේශපාලනික ක්‍රමය - එක්සත් ජාතීන්ගේ සංවිධානය,
b) වෙළෙඳ  ක්‍රමය-  බදු සහ වෙළෙඳ  කටයුතු  පිළිබඳ පොදු සම්මුතිය (General Agreement on Tariffs and Trade  - GATT) පසුකලෙක ලෝක වෙළෙඳ සංවිධානය (World Trade Organization  - WTO) බවට පත් වූයේ මෙයයි.
c) මුල්‍ය හුවමාරු ක්‍රමය - එනම් බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය (Bretton Woods system)

ඇමෙරිකානුවන්ගේ අභිලාෂය වූයේ බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය හරහා එක්සත් ජනපද ඩොලරයේ ආධිපත්‍යය ලෝකය පුරා තහවුරු කිරීමට ය. කෙසේ වුව ද 1944 සිට 1971 දක්වා කාලය තුළ ඩොලරයට එම බලය ලබාගැනීමට හැකි වූයේ නැත. මේ සඳහා ඩොලරයට බාධාවක් වූයේ කුමක් ද? ඒ රත්‍රන් ය.

බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය හඳුන්වාදෙන විට එක්සත් ජනපදය  ලෝකය පොරොන්දු වූයේ, එක්සත් ජනපද ඩොලරයේ අගය  රත්‍රන් සමග සම්බන්ධ කරන බවත් අනෙක් රටවලට සිය මුදල් ඩොලරයට සම්බන්ධ කළ හැකි බවත් ය. එක් රත්‍රන් අවුන්සයක් සඳහා එක්සත් ජනපද ඩොලර් 35ක් ලෙස ස්ථාවර අගයක් නියම කරන ලදි. මෙම පොරොන්දුව හේතුවෙන් එක්සත් ජනපදයට සිය කැමැත්ත අනුව කිසිවක් කළ නොහැකි විය. ඇමෙරිකානුවන්ට අසීමාන්තික ලෙස මුදල් මුද්‍රණය කළ නොහැකි විය. එය විසින් ඩොලර් නෝට්ටුවක් මුද්‍රණය කරන සෑම විටෙකම එයට අමතර රත්‍රන් අවුන්සයක් සුරැකුම් සංචිතයක් ලෙස භාණ්ඩාගාරයට එක් කළ යුතු විය.

එක්සත් ජනපදය මෙම පොරොන්දුව ලෝකයට දුන්නේ ඒ වනවිට එය සතුව ලෝකයේ රත්‍රන් සංචිතයෙන් 80%ක් අයත්ව තිබුණ හෙයිනි.  එහෙයින් ඇමෙරිකානුවන් සිතුවේ එපමණ රන් ප්‍රමාණයක් අතැතිව තිබීම හේතුවෙන් එක්සත් ජනපද ඩොලරය පිළිබඳ විශ්වාසය ශක්තිමත් කිරීමට එය හේතුවනු ඇති බවයි.

කෙසේ වුවද එය එතරම් සරල කරුණක් නොවීය. එක්සත් ජනපදය සිය මුග්ධත්වය හේතුවෙන් කොරියන්  සහ වියට්නාම් යුද්ධවලට සම්බන්ධ විය. ඒ හේතුවෙන් ඔවුන්ට විශාල ලෙස මුදල් වියදම් කිරීමට සිදු විය. විශේෂයෙන් වියට්නාම් යුද්ධය හේතුවෙන් ඔවුන්ට වැය කිරීමට සිදු වූ මුදල ඩොලර් බිලියන 800කි. එය එක්සත් ජනපදයට දරාගත නොහැකි මට්ටමට ළඟා වූ අගයක් විය. එක්සත් ජනපදය විසින් දෙන ලද ප්‍රතිඥාව අනුව වියදම් කරන සෑම ඩොලරයක් වෙනුවෙන්ම එයට රත්‍රන් අවුන්සයක් අහිමි විය.

1971 අගොස්තු වන විට එක්සත් ජනපදය සතුව රත්රන් ටොන් 8800ක් ශේෂව තිබිණි. තමන් අර්බුදයකට මුහුණ දි සිටින බව ඔවුහු දැන සිටියහ. අනෙකුත් අය ද ඔවුන් වෙත අමතර ගැටළු නිර්මාණය කරමින් සිටියහ. නිදසුනක් ලෙස ප්‍රංශ ජනාධිපති ඩිගෝල් එක්සත් ජනපද ඩොලරය විශ්වාස කළේ නැත. ඔහු ප්‍රංශ මුදල්ඇමැතිවරයා සහ මධ්‍යම බැංකුවේ සභාපතිවරයා කැඳවා ඒ වනවිට ප්‍රංශය සතුව තිබූ එක්සත් ජනපද ඩොලර් බිලියන 2.3 විකුණා දමා රත්‍රන් මිලදී ගන්නා ලෙස නියෝග කළේය. තවත් රටවල් සමහරක් ප්‍රංශය අනුගමනය කළේය.

මේ තත්ත්වය හේතුවෙන් 1971 අගොස්තු 15 වැනි දින එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන් එක්සත් ජනපද ඩොලරය රත්‍රන් අගය හා සම්බන්ධ කිරීම නවතා දමන බවට නිවේදනය කළේය.  බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමයේ කඩාවැටීමේ ආරම්භය එය විය.  එමෙන්ම එමගින් ඇමරිකාව විසින් සමස්ත ලෝකයම රවටනු ලැබීය. කෙසේ වුවද ලෝකය එය තේරුම් ගත්තේ නැත.

ජනතාව ඩොලර් විශ්වාස කළේ එය රත්‍රන් අගය සමග සම්බන්ධ කර තිබූ බැවිනි. එක්සත් ජනපද ඩොලරය ඒ වනවිට වසර 20ක් පුරා  ජාත්‍යන්තර මුල්‍ය ඒකකයක් ලෙසත්,  හුවමාරු මුල්‍ය ඒකකයක් ලෙසත්, සංචිත සහ සුරැකුම් මුදල් ඒකකයක් ලෙසත් භාවිතා කර තිබිණි. ජනතාව ඩොලරයට හුරු වී සිටියහ. එක්සත් ජනපද ඩොලරය, එහි වටිනාකමට රත්‍රන්  සමග සම්බන්ධය ක්ෂණිකව අහිමි වූ විට එය නිකම් ම කොළ පැහැති කඩදාසියක් පමණක් විය. එසේ නම් තවමත් ජනතාව එය භාවිතා කරන්නේ ඇයි?

සෛද්ධාන්තිකව ගත් කළ ජනතාවට එය භාවිතා කිරීම නතර කළ හැකි ය. එහෙත් ප්‍රායෝගිකව ගත් කළ ජාත්‍යන්තරව වටිනාකම් හුවමාරු කටයුතු සඳහා භාවිතා කිරීමට ඇත්තේ කුමක් ද?  මුදල් වූ කලී වටිනාකම මනිනු ලබන මැනුම් ඒකකයයි. ජනතාවන් එක්සත් ජනපද ඩොලරය භාවිතා කිරීම අත්හරින්නේ නම් ඔවුන්ට ඒ සඳහා භාවිතා කිරීමට විශ්වාස කළ හැකි වෙනත් මුදල් වර්ගයක් තිබේද?

එහෙයින් එක්සත් ජනපදය විසින් ජනතාවන් වෙනස් වීමට දක්වනු ලබන අකැමැත්තෙන් ප්‍රයෝජන ගනිමින්, ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය වෙත බල කරමින් ලෝකයේ ඛනිජ තෙල් වෙළෙඳාම එක්සත් ජනපද ඩොලරය මගින් සිදුවිය යුතුයැයි යන කොන්දේසිය පිළිගන්නා ලෙස  බල කරන ලදි. මෙයට කලින් ලෝකයේ ඛනිජ තෙල් වෙළෙඳාම ඕනෑම මුදල් වර්ගයක් සමග කළ හැකි විය. එහෙත් 1973 ඔක්තෝබරයේ සිට ඛනිජ තෙල් වෙළෙඳාම එක්සත් ජනපද ඩොලරය හරහා පමණක් කළ යුතු විය.

ඩොලරය රත්‍රන් අගය මත රඳා පැවැත්ම අහෝසි කළ එක්සත් ජනපදය එය ඛනිජ තෙල් සමග සම්බන්ධ කළේය. ඒ මන්ද?  ඇමෙරිකානුවන් ඉතා පැහැදිලිව එක් දෙයක් වටහාගෙන තිබිණි. එනම් ඩොලරයට අකැමැති මිනිසුන්ට පවා බලශක්තිය නොමැතිව ජීවත් විය නොහැකි බව ය.  සෑම රටකටම සංවර්ධනය වීම අවශ්‍ය වූ අතර ඒ සඳහා බලශක්තිය අවශ්‍ය විය. ඒ අනුව බලශක්තිය සඳහා වන ඉල්ලුම එක්සත් ජනපද ඩොලරය සඳහා වන ඉල්ලුමක් බවට පරිවර්තනය කරන ලදි. එක්සත් ජනපදය පැත්තෙන් ගත් කළ මෙය බුද්ධිමත් පියවරක් විය.

බොහෝ පුද්ගලයන්ට ඒ අවදියේ දී මේ පිළිබඳව පැහැදිළි  අවබෝධයක් නොවීය. ආර්ථික විද්‍යාඥයන්, මුල්‍ය විශේෂඥයන් ඇතුළු ජනතාව විසින් විසිවන සියවසේ වැදගත්ම සිදුවීම වූ කලී පළමු ලෝක යුද්ධය හෝ දෙවන ලෝක යුද්ධය හෝ සෝවියට් සංගමයේ බිඳවැටීම නොව, එක්සත් ජනපදය විසින් 1971 අගොස්තු 15 වැනි දින රත්‍රන් අගය සහ ඩොලරය විසම්බන්ධ කිරීම බව  තේරුම් ගනු ලැබුවේ නැත.

එදින සිට පළමු සැබෑ  මුල්‍ය අධිරාජ්‍යය බිහිවූ අතර එක්සත් ජනපද ඩොලරයේ ආධිපත්‍යය ස්ථාපිත කරනු ලැබිණි. අපි කඩදාසි මුල්‍ය අවධියකට අවතීර්ණ වූයෙමු. තවදුරටත් අධි වටිනාකමින් යුතු වූ ලෝහය සමග එක්සත් ජනපද ඩොලරයේ සම්බන්ධයක් නොවීය. එක්සත් ජනපද ඩොලරයේ වටිනාකම තීරණය කළේ එක්සත් ජනපද ආණ්ඩුවේ සහතික කිරීම මගින් පමණි. මේ මගින් එක්සත් ජනපදය සමස්ත ලෝකයෙන්ම ලාභ ගරාගන්නා ලදි. මෙහි තේරුම ඇමෙරිකාවට හුදෙක් කොළ පැහැති කඩදාසි කැබැළි මුද්‍රණය කිරීමෙන් පමණක් ලෝකයේ ද්‍රව්‍යමය සම්පත් සහ සමෘද්ධිය අවශෝෂණය කර ගැනීමේ හැකියාව හිමි වීමයි.

මෙය ලෝක ඉතිහාසයේ මීට පළමු සිදු වූ දෙයක් නොවීය. මිනිස්වර්ගයාගේ ඉතිහාසය මුළුල්ලේ ඔවුන් ධනය හිමිකරගත් විවිධ ආකාරයන් තිබිණි.  එනම් මුදල්, රන් හෝ රිදී  සමග හුවමාරු කරගැනීමෙන් හෝ නැතහොත් යුද්ධ මගින් සිදුවන කොල්ලකෑම්  (කෙසේවුවද යුද්ධය ඉතා මිල අධික ක්‍රමයකි) මගිනි. එක්සත් ජනපද ඩොලරය හුදෙක් කොළ පැහැති කඩදාසි කැබැල්ලක් වූ විට මුදල් හම්බ කිරීමට එක්සත් ජනපදයට දැරීම සිදු වන වෙහෙස සහ මිල නොසළකා හැරිය  හැකි තරම් අල්ප ය.

මේ අනුව භාණ්ඩාගාරයේ ඇති රන් සංචිතයේ සීමාකිරීමකින් තොරව තමන් කැමැති පරිදි එක්සත් ජනපදය මුදල් මුද්‍රණය කිරීමේ හැකියාව ලබාගත්තේය. ඔවුන් ඉතා විශාල මුදල් ප්‍රමාණයක් එක්සත් ජනපදය තුළ රඳවා ගත්තේ නම් එහි උද්ධමනයක් ඇතිවීමට හේතුවනු ඇත. එහෙත් ඔවුන් ඩොලර් අපනයනය කරන්නේ නම් සමස්ත ලෝකයම එක්සත් ජනපදයේ උද්ධමනය පාලනය කිරීමට “ආධාර “ කරනු ඇත. එක්සත් ජනපදයේ උද්ධමනය එතරම් ඉහළ අගයක් නොගැනීමට හේතුව මෙයයි.

කෙසේ වුවද එතරම් මුදල් ප්‍රමාණයක් එක්සත් ජනපදය සතුව නොපවතින විට එය මුදල් මුද්‍රණය කරමින් ලෝකයට ඩොලර් අපනයනය කරන්නේ නම් එක්සත් ජනපද ඩොලරයේ අගය බාල්දු වීමට එය හේතුවක් වනු ඇත. එය ඇමෙරිකානුවන්ට එතරම් යහපත් තත්ත්වයක් නොවේ. එහෙයින් සමහරුන් විශ්වාස කරන අන්දමට එක්සත් ජනපද ෆෙඩරල් මුල්‍ය සංචිතය වූ කලී වගකීමකින් තොරව මුදල් මුද්‍රණය කරන මධ්‍යම බැංකුවක් නොවේ. ෆෙඩරල් සංචිතය “සීමාව“ යනු කුමක්දැයි හොඳින් දැන සිටියි. එම ආයතනය මගින් 1913 සිට 2013 දක්වා කාලය තුළ මුද්‍රණය කර ඇත්තේ එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන දහයක් පමණි.

මෙය විසින් 1954 සිට යුවාන් ට්‍රිලියන 120ක් (එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 20ක් - ඩොලරයක් සඳහා හුවමාරු අනුපාතය යුවාන් 6.2ක් වන ලෙස)  මුද්‍රණය කළ චීන මධ්‍යම බැංකුව විවේචනය කිරීමට බොහොවුන්ට හේතුවක් සපයා ඇත. සැබැවින්ම චීනය ද  කිසිදු සීමාවකින් තොරව මුදල් මුද්‍රණය කළේ යැයි මෙයින් අදහස් නොවේ.  සිය ආර්ථිකය විවෘත කිරීමෙන් පසුව චීනය චීනය විසින් විශාල වශයෙන් එක්සත් ජනපද ඩොලර් උපයාගෙන ඇති අතර ආයෝජන වශයෙන්ද විශාල වශයෙන් එක්සත් ජනපද ඩොලර් ප්‍රමාණයක් චීනය තුළ ගලා විත් ඇත.

චීනයේ විදේශ මුදල් පාලනය විසින් චීනය තුළ විදේශ මුදල් සංසරණය වීම වළකා ඇත. එක්සත් ජනපද ඩොලරය චීනය තුළ සංසරණය වීමට පැමිණි විට ඒ වෙනුවට චීනයේ මධ්‍යම බැංකුව විසින් එම වටිනාකමට සරිලන රෙන්මින්බි (renminbi - චීන මුල්‍ය ඒකකය) ප්‍රමාණයක් මුද්‍රණය කළ යුතුව ඇත. කෙසේවුවද විදේශීය ආයෝජකයෙකුට චීනය තුළ මුදල් ඉපැයීමෙන් පසුව ඔහුගේ මුදල් ඉවත් කරගත හැකි ය.  එමෙන් ම බලශක්තිය, නිෂ්පාදන සහ තාක්ෂණය මිලදී ගැනීම සඳහා වියදම් කරනු වස් අපට අපගේ විදේශීය මුදල් සංචිතයන්  අවශ්‍ය වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස විශාල එක්සත් ජනපද ඩොලර් ප්‍රමාණයක් චීනයෙන් පිටතට ඇදී යයි. නමුත් ඒ වටිනාකමට සරිලන රෙන්මින්බි ප්‍රමාණයක් චීනය තුළ රැ‍ඳෙයි. මේ රෙන්මින්බි විනාශකළ නොහැකි ය. මේ අයුරින් අවසානයේදී සිය විදේශ  මුදල් සංචිතයන්ට වැඩි රෙන්මින්බි ප්‍රමාණයක් චීනය තුළ ඉතුරුව තිබේ.

චීනයේ මධ්‍යම බැංකුව තමන් විසින් බිලියන 20ක යුවාන් ප්‍රමාණයක් වැඩිපුර මුද්‍රණය කළ බව පිළිගෙන තිබේ. මේ අති දැවැන්ත මුදල් ප්‍රමාණය චීනය තුළ රැ‍ඳී පවතී. රෙන්මින්බි ජාත්‍යන්තර හුවමාරු ඒකකයක් බවට අප විසින් පත් කළ යුතුව ඇත්තේ ඇයිදැයි යන  තේමාව මම පසුව සවිස්තරාත්මකව පසුව සාකච්ඡා කරමි.

B. එක්සත් ජනපද ඩොලර් දර්ශක චක්‍රය සහ ගෝලීය ආර්ථිකය අතර සම්බන්ධය

එක්සත් ජනපදය සිය  උද්ධමනය යාම වළකා ඇත්තේ ඩොලරය ගෝලීයව සංසරණය වීමට ඉඩ හැරීමෙනි. එමෙන්ම ඩොලරයේ අගය බාල්දු වීම වළකාලීමට මුදල් මුද්‍රණයේදී සීමාවන් පනවා ගැනීමටත් ඔවුන්ට සිදුව තිබේ. එසේ නම් ඔවුන් සතුව ඇති ඩොලර් ප්‍රමාණය ක්ෂය වී ගොස් ඩොලර්  හිඟයක් ඇතිවීම වැළැක්වීමට ඔවුන් කරනු ඇත්තේ කුමක්ද?

මෙරිකානුවෝ මෙයට විසඳුමක් සොයාගත්හ. එනම් ඩොලර් නැවත එක්සත් ජනපදය වෙත ගෙන්වාගැනීමට සඳහා ණය නිකුත් කිරීමයි. එක් අතෙකින් මුදල් මුද්‍රණය කිරීමේ ද  අනෙක් අතින් මුදල් ණයට දීමේ ද සෙල්ලම ඇමෙරිකානුවන් විසින් පටන් ගන්නා ලදි. මුදල් මුද්‍රණයෙන් මුදල් ඉපැයිය හැකි ය. මුදල් ණයට දීම මගින් ද මුදල් ඉපැයිය හැකි ය. මෙම මුල්‍ය ආර්ථිකය (මුදල් ඉපැයීමට මුදල් යෙදවීම) සැබෑ ආර්ථිකයකට (එනම් කාර්මික නිෂ්පාදන මත පදනම් වූ) වඩා පහසු ය.  ආකලිත වටිනාකම් ශක්‍යතාව (value-adding capability) ඉතා පහළ අගයන්ට සීමා වූ   කාර්මික නිෂ්පාදනය ගැන ඔවුන් කරදර විය යුත්තේ මන්ද?

1971 අගෝසතු 15 වැනි දා සිට එක්සත් ජනපදය ඔවුන්ගේ සැබෑ නිෂ්පාදන ආර්ථිකය අතථ්‍ය ආර්ථිකයක්  (virtual economy) බවට  පරිවර්තනය ලදි. එය “ශුන්‍ය“ ආර්ථිකයක් සහිත රාජ්‍යයක් බවට පත්විය.  අද එක්සත් ජනපදයේ දළ ජාතික නිෂ්පාදිතය (GDP-Gross Domestic Product) එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 18 කට ආසන්න නමුත් සැබෑ (නිෂ්පාදන) ආර්ථිකයෙන් ලැබෙන්නේ එයින් එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන පහක් පමණි.

ණය නිකුත් කිරීම මගින් එක්සත් ජනපදය සිය විශාලතම වෙළෙඳපොළ ත්‍රිත්වය වන  භාණ්ඩ වෙළෙඳපොළ, භාණ්ඩාගාර  බිල්පත් වෙළෙඳපොළ සහ  කොටස් වෙළෙඳපොළ වෙත විශාල වශයෙන් විදේශයන්ගෙන් මුදල් නැවතත් ඇදගනී. මුදල් ඉපැයීම සඳහා එක්සත් ජනපදය මෙම චක්‍රය දිගටම ක්‍රියාවේ යොදවයි. එනම් මුදල් මුද්‍රණය, විදේශ වෙත මුදල් අපනයනය සහ නැවත මුදල් රට තුළට ගෙන ඒම  මගිනි. මේ අයුරින් එක්සත් ජනපදය මුල්‍ය අධිරාජ්‍යයක් බවට පත්ව තිබේ.

බ්‍රිතාන්‍යය දුර්වල වූ පසුව අධිරාජ්‍යවාදය නතර වූ බව බොහෝවුන් සිතති.  සැබැවින්ම එක්සත් ජනපදය සිය ඩොලරය මගින් සැඟවුණු අධිරාජ්‍යවාදයක් පවත්වාගෙන ගිය අතර අනෙකුත් රටවල් සිය මුල්‍යමය යටත් විජිත බවට පත් කරන ලදි. අද චීනය ද ඇතුළුව බොහෝ රටවලට තමන්ගේම ස්වාධිපත්‍යයක්, ආණ්ඩුවක් සහ  ව්‍යවස්ථාවක්  ඇති නමුත් ඔවුනට ඇමෙරිකන් ඩොලරය මත රඳා පැවතීමට සිදුව තිබේ. ඔවුන්ගේ නිෂ්පාදනවල වටිනාකම තීරණය කරන්නේ එක්සත් ජනපද ඩොලරය විසින් වන අතර ඒ හේතුවෙන් ඔවුන්ට තම ද්‍රව්‍යමය ධනය එක්සත් ජනපද ඩොලරයේ කඩදාසි නෝට්ටු සමග හුවමාරුවට එක්සත් ජනපදයට භාර දීමට  සිදුව තිබේ.

මෙය පසුගිය වසර 40ක් පුරා එක්සත් ජනපද ඩොලර් දර්ශක චක්‍රය තුළ පැහැදිලිව දැකගත හැකි ය. 1971 සිට, එනම් එක්සත් ජනපදය නිදහසේ මුදල් මුද්‍රණය කිරීමට පටන් ගත් දින සිට එක්සත් ජනපද ඩොලර් දර්ශකයේ වටිනාකම පහත වැටී ඇත. පසුගිය 10 වසරක සිට  ඩොලර් දර්ශකය අඛණ්ඩව පහත වැටී ඇත්තේ වැඩිපුර මුදල් මුද්‍රණය කර ඇති බව පෙන්වමිනි.

සැබැවින් ම එක්සත් ජනපද ඩොලරයේ අගය පහත වැටීම සෙසු ලෝකය වෙත අවශ්‍යයෙන්ම නරක තත්ත්වයක් නොවේ. එහි අදහස වන්නේ එක්සත් ජනපද ඩොලර් සැපයුමේ ඉහළයාමක් සහ අනෙකුත් රටවල් කරා ඩොලර් විශාල වශයෙන් ගලායාමකි. 1970 ගණන් වලදී ලතින් ඇමෙරිකාව තුළ විශාල වශයෙන් සිදු වූ ඩොලර් ආයෝජනය හේතුවෙන් ලතින් ඇමෙරිකාවේ ආර්ථිකයේ විශාල ප්‍රසාරණයක් සිදුවිය.

1979 දී, එනම් වසර 10කට ආසන්න කාලයක් තිස්සේ ලෝකය පුරා එක්සත් ජනපද ඩොලර්  අධික ලෙස පැතිරීමෙන් පසුව ඇමෙරිකානුවන් විසින් මෙම ක්‍රියාවලිය ආපසු හැරවීමට තීරණය කළහ. 1979 දී එක්සත් ජනපද ඩොලර් දර්ශකයේ නැවත නැගීමක් පෙන්නුම් කරයි. ඩොලරය නැවත එක්සත් ජනපදය තුලට ගලා යෑමට සැලැස්වූ අතර අනෙකුත් ප්‍රදේශ  වෙත ලැබුණ ඩොලර් ප්‍රමාණය බෙහෙවින් අඩු විය.  අසීමිත ලෙස කලින් සිදු වූ ඩොලර් ආයෝජනයන් නිසා ක්ෂණිකව ප්‍රසාරණය වූ ලතින් ඇමෙරිකානු ආර්ථිකය ඩොලර් ගලා ඒම හදිසියේම නැවතීම නිසා  වියලී සිඳී යාමකට ගොදුරු විය. ස්වකීය ආර්ථිකයන් බේරා ගැනීමට දැඩි අරගලයක නිරතවීමට ලතින් ඇමෙරිකානු රටවලට සිදු විය.

වරෙක ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය සංවර්ධිත රටවල මට්ටමට තිබූ ආර්ජන්ටිනාව පළමුවෙන්ම පහළට වැටුණ රටවල් අතර විය. අවාසනාවකට මෙන්, හමුදා කුමන්ත්‍රණයක් මගින් බලයට පැමිණි එවකට ආර්ජන්ටිනියානු ජනාධිපති වූ  ලියෝපෝල්ඩෝ ගල්ටියරි මේ තත්ත්වයෙන් ගොඩයාමට අපේක්ෂා කළේ ෆෝක්ලන්ත හෙවත් මල්විනාස් දූපත් සමූහය අක්‍රමණය කිරීම මගිනි. මේ දූපත් බ්‍රිතාන්‍ය විසින් තම යටත් විජිත ලෙස වසර 100කට අධික කාලයක් පවත්වාගෙන ගිය ඒවා විය. තමන්ට කිලෝ මීටර් 400කට ඈතින් වූ මෙම දූපත් සම්බන්ධයෙන් ආර්ජන්ටිනාව බොහෝ කල් සිටම අයිතිවාසිකම් ඉදිරිපත් ක‍ර තිබිණි. මේ දූපත් නැවත ලබා ගැනීමට ආර්ජන්ටීනියානු හමුදා යෙදවීමට ගල්ටියරි තීරණය කළේය.  

ඇත්ත වශයෙන්ම ඇමෙරිකාවේ අවසරය සහ අනුමැතිය සහ ආශිර්වාදය නොලැබුණේ නම් ගල්ටියරි මාල්විනාස් දිවයින් ආක්‍රමණය කිරීමට ඉදිරිපත් නොවනු ඇත.  ඔහු එක්සත් ජනපද නායකත්වයේ අදහස් දැනගැනීම සඳහා අතරමැදියෙකු ඇමෙරිකාවට යැව්වේය. ඇමෙරිකන් ජනාධිපති රේගන් සැහැල්ලු පිළිතුරක් දුන්නේය.

“එය ඔබ සහ බ්‍රිතාන්‍යය අතර ප්‍රශ්නයකි. අපට එය අදාළ නැත. මේ ප්‍රශ්නයේදී එක්සත් ජනපදය කිසිවෙකුගේ පැත්තක් නොගෙන මධ්‍යස්ථව සිටිනු ඇත".

ගල්ටියරි මෙම පිළිතුර භාරගත්තේ එක්සත් ජනපදයේ අනුමැතිය හිමිවීමක් ලෙස ය. ඔහු යුද්ධය ආරම්භ කර ඉතා පහසුවෙන් ෆෝක්ලන්ත හෙවත් මල්විනාස් දූපත් අල්ලා ගත්තේය. ආර්ජන්ටිනියානුවෝ උන්මාදයට පත්වූහ.

කෙසේවුවද එවකට බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර්  මෙම තත්ත්වය කිසිදු ලෙසකින් බ්‍රිතාන්‍ය විසින් පිළි නොගන්නා බව ප්‍රකාශ කරමින් මේ පිළිබඳව එක්සත් ජනපදයට සිය ස්ථාවරය ප්‍රකාශ කරන ලෙස බල කළාය. අනතුරුව ආක්‍රමණය පිලිබඳව ආර්ජන්ටිනාවට දෝෂාරෝපණය කරමින් ද  බ්‍රිතාන්‍යයට සහාය පළ කරමින් ද නිවේදනයක් නිකුත් කළ රේගන් ස්වකීය මධ්‍යස්ථ වෙස්මුහුණ ගලවා දැම්මේය. බ්‍රිතාන්‍ය ගුවන් යානා ප්‍රවාහක නෞකාවන් සමග කාර්ය සාධක බලඇණියක් සැතපුම් 8000ක් ගෙවා මල්විනාස් දිවයින් වෙත පැමිණ එය නැවත අල්ලාගනු සඳහා ය.

මේ අතර එක්සත් ජනපදය අපේක්ෂා කළ අයුරින්ම එක්සත් ජනපද ඩොලරයේ වටිනාකම ඉහළ ගිය අතර ජාත්‍යන්තර ප්‍රාග්ධනය නැවතත් එක්සත් ජනපදය තුළට ගලා යාම ආරම්භ වූයේය. මල්විනාස් දූපත් සඳහා යුද්ධය ආරම්භවත්ම ලෝකය පුරා ම ආයෝජකයෝ ලතින් ඇමෙරිකාව තුළ කලාපීය අර්බුදයක් පැන නැගී ඇති බවත්,  එහෙයින් ලතින් ඇමෙරිකාව තුළ ආයෝජනය අයහපත් පරිසරයක් ඇතිවනු ඇති බවටත් නිගමනය කළහ. ඒ අනුව ආයෝජකයෝ සිය ප්‍රාග්ධනය ලතින් ඇමෙරිකාවෙන් ඉවත් කරගත්හ. මේ අතර එක්සත් ජනපද ෆෙඩරල් මුල්‍ය සංචිතය නිවේදනයක් නිකුත් කරමින් පොලී අනුපාත ඉහළ දමන බව ප්‍රකාශ කළ අතර එම ප්‍රකාශය විසින් ලතින් ඇමෙරිකාවෙන් ප්‍රාග්ධනය ඉවත් කර ගැනීම තවදුරත් දිරිගන්වන ලදි.

ලතින් ඇමෙරිකන් ආර්ථිකය පත්ලටම ඇද වැටිණි. ලතින් ඇමෙරිකාවෙන් ඉවත්කරගන්නා ලද ප්‍රාග්ධනය එක්සත් ජනපදයේ ප්‍රධාන ත්‍රිත්ව වෙළෙඳපොළ කර යොමු විය. 1971 දී රත්රන් සහ ඩොලරය විසම්බන්ධ කිරීමෙන් පසු ව  පළමුවරට මෙම තත්ත්වය විසින් එක්සත් ජනපදය තුළ ගැනුම්බර වෙළෙඳපොළක් (Bull Market) නිර්මාණය කරන ලදි. එක්සත් ජනපද ඩොලර් දර්ශකය 60 සිට 120 දක්වා පිම්මක් පැන්නේය. එය 100%ක වැඩිවීමකි. සිය වාසිදායක ගැනුම්බර වෙළෙඳපොළ පොළ මගින් ගරාගන්නා ලද  විශාල ලාභවලින් ඇමෙරිකානුවන් සෑහීමකට පත්වූයේ නැත. සමහරුන් තමන් ඉපැයූ ධනය රැගෙන නැවත ලතින් ඇමෙරිකාවට ගොස් ආර්ථික අර්බුදය නිසා මිල මට්ටම් බිමටම සමතලා වී තිබුණ වත්කම් විශාල වශයෙන් මිලදී ගත්හ. මේ අයුරින් එක්සත් ජනපදය ලතින් ඇමෙරිකානු ආර්ථිකයෙන් විශාල වශයෙන් ලාභ ගරාගන්නා ලදි.

මෙය සිදුවූයේ වරක් පමණක් නම් එය කුඩා අහඹු සිදුවීමක් ලෙස තර්ක කළ හැකි ය. එහෙත් එය නැවත නැවතත් සිදුවීම විසින් පෙන්නුම් කරන්නේ අරමුණක් සහ සැලසුමක් සහිත රටාවකි.

එක්සත් ජනපද ඩොලරය 1971 සිට 1979 දක්වා පෙන්නුම කරන ලද දුර්වල චක්‍රයකින් පසුව 1979 සිට 1986 දක්වා වසර හයක ශක්තිමත් චක්‍රයක් ඉහත දැක් වූ පරිදි පෙන්නුම් කළේය. 1986 සිට එක්සත් ජනපද ඩොලර් දර්ශකයේ පහත වැටීමක් නැවතත් පෙන්නුම් කෙරිණි. දස වරකට පසුව 1997 දී නැවතත් ඩොලර් දර්ශකය ඉහළ නගින්නට පටන් ගත්තේය.  මෙවර ද ශක්තිමත් ඩොලරය  වසර හයක් පැවැතිණි.

එක්සත් ජනපද ඩොලර් චක්‍රයේ දෙවන දුර්වල දශකය තුළ, එක්සත් ජනපද ඩොලර් ප්‍රධාන වශයෙන් ම ආසියාව වෙත යොමු විය. 1980 ගණන්වල උණුසුම් ම ආයෝජන සංකල්පය වූ යේ කුමක්ද? ඒ වනාහි “ ආසියානු ව්‍යාඝ්‍රයන්“ ලෙස හැඳින්වුණු රටවල් ය. ජපානය, දකුණු කොරියාව ආදි ආසියාතික රටවල ආර්ථික වර්ධනයට හේතු වූයේ ඒ රටවල ජනතාවගේ කාර්යක්ෂමතාව සහ බුද්ධිමත්භාවයැයි බොහෝ දෙනා සිතූහ. එහෙත් ඇත්තටම එයට බලපෑ ප්‍රධාන හේතුව වූයේ  එක්සත් ජනපද ඩොලරයේ දැවැන්ත ආයෝජනයන් ය.

ආසියානු රටවල ආර්ථිකය සමෘද්ධිත් වීම ආරම්භ වූ පසුව ඇමෙරිකානුවෝ “අස්වැන්න“ නෙළීමට කාලය පැමිණ ඇති බව සිතූහ. ඒ අනුව 1997 දී, දුර්වල ඩොලරයේ දස වසරකින් පසුව ඇමෙරිකාව ආසියාව වෙත මුදල් සැපයීම අඩු කර ශක්තිමත් ඩොලරයක් නිර්මාණය කළහ. බොහෝ ආසියානු සමාගම් සහ කර්මාන්තවලට මුදල් සැපයීමේ හිඟයකට මුහුණ පෑමට සිදු විය. මෙම කළාපය ආර්ථික පසුබැසීමක සහ මුල්‍ය අර්බුදයක ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන් ගත්තේය.

ඔටුවෙකුගේ කොන්ද බිඳීමට අවසාන පිදුරු ගසක් අවශ්‍ය ය. මේ පිදුරු ගස කුමක් වූයේද? මේ පිදුරු ගස වූ කලී කලාපීය අර්බුදයකි. එය ආර්ජන්ටිනීයාවනුන් සිදු කළ ආකාරයේ යුද්ධයක් විය යුතු ද? එය අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක් නොවේ. කලාපීය අර්බුද නිර්මාණය කිරීමේ එකම ආකාරය යුද්ධ පමණක් නොවේ.

ඒ අනුව මුල්‍ය ආයෝජකයෙකු වූ සොරෝස් (George Soros) ඔහුගේ ක්වොන්ටම් ෆන්ඩ් (Quantum Fund) සහ ලොව පුරා සිය ගණනකට වැඩි හෙජ් අරමුදල් (hedge funds) යොදාගනිමින් ආසියාවේ දුර්වලතම ආර්ථිකයවූ තායිලන්තයට පහරදීම ඇරඹූහ. ඔවුහු තායිලන්තයේ මුදල් ඒකකය වූ බාත් (Baht) වෙත සතියක් මුළුල්ලේ පහර දුන්හ. මෙය විසින් “බාත් අර්බුදය“ (Baht crisis) නිර්මාණය කරන ලදි. ඉන් පසුව එය දකුණට ව්‍යාප්ත කරමින් මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව සහ පිලිපීනය වෙත ද පතුරුවා හරින ලදි. ඉන්පසුව එය උතුරු දෙසට තායිවාන්, හොංකොං, ජපානය, දකුණු කොරියාව පමණක් නොව රුසියාව වෙත ද ව්‍යාප්ත විය. මෙලෙස ආසියානු ආර්ථික අර්බුදය පුපුරා ගියේය.

මෙම අවසාන පිදුරු ගසත් සමගම ඔටුවා මහපොළොව මත ඇද වැටිණි. ලෝකයේ ආයෝජකයන් විසින් ආසියාව තුළ ආයෝජන පරිසරය නිමා වී ඇති බව තීරණය කරනු ලදුව  ඔවුන්ගේ  ප්‍රාග්ධනය ඉවත්කරගනු ලැබිණි. මේ විගසම නැවතත් එක්සත් ජනපද ෆෙඩරල් මුල්‍ය සංචිතය විසින් ඩොලරයේ  පොලී අනුපාතයන් ඉහත දැමූ බව නිවේදනය කරන ලදි. ආසියාවෙන් ඉවත් වූ ප්‍රාග්ධනය එක්සත් ජනපදයේ  ත්‍රිවිධ මහා වෙළෙඳපොළ තුළට  ආයෝජනය විය. මේ හේතුවෙන් එක්සත් ජනපද ඉතිහාසයේ තුළ දෙවන විශාලතම ගැනුම්බර වෙළෙඳපොළ නිර්මාණය විය.

විශාල ධනස්කන්ධයක් උපයාගත් ඇමෙරිකානුවෝ ඔවුන් ලතින් ඇමෙරිකාවේ සිදු කළ දෙයම නැවතත් ආසියාව තුළ ද සිදු කළහ. එනම් ආසියානු මුල්‍ය අර්බුදය තුළ ඔවුන් ඉපැයූ ධනයෙන් කොටසක්  නැවතත් ආසියාවට ගෙන යමින් ආසියාවේ වත්කම් මිල දී ගත්හ. දුර්වල වූ ආසියානු ආර්ථිකයන්ට පෙරළා සටන් කිරීමේ හැකියාවක් නොවිණි.

මෙම අර්බුදයෙන් ගැලවී සිටීමට තරම් වාසනාව තිබූ එකම රට චීනයයි.☐

(මතු සම්බන්ධයි)

© JDS

දෙවන කොටස:  'ආසියා පැසිෆික් පුනර්තුලන' සැළැස්මක් කුමටද?

පසු සටහන්:

Bull Market - ගැනුම්බර වෙළෙඳපොළ යනු සුරැකුම් සඳහා මිල ඉහළ යමින් පවතින හෝ පවතී යැයි අපේක්ෂා කරනු ලබන මුල්‍ය වෙළෙඳපොළකි. ගැනුම්බර වෙළෙඳපොළ යන යෙදුම බෙහෙවින් යොදනු ලබන්නේ කොටස් වෙළෙඳපොළ සඳහා වන අතර එය සාමාන්‍යයෙන් විකුණනු ලබන ඕනෑම දෙයක් සඳහා, එනම්  බැඳුම්කර, මුල්‍ය හෝ භාණ්ඩ වැනි දේවල් සඳහා යෙදිය හැකිය.

බුල්මාර්කට්  හි ලක්ෂණ වන්නේ ශුභවාදය, විශ්වාසනීයත්වය මෙන්ම  ශක්තිමත් ප්‍රතිඵල මාස ගණනාවක් හෝ වසර ගණනාවක් පවතීය යන අපේක්ෂාව ආදියයි. වෙළෙඳපොළ ප්‍රවණතාවන් වෙනස්වන්නේ කවර මොහොතේ දැයි අනුමාන කිරීම දුෂ්කර ය. මෙම දුෂ්කරතාවන්ට එක් හේතුවක් ලෙස සැළකිය හැක්කේ මානසික බලපෑම් සහ සැක කිරීම් සමහර විට විශාල භූමිකාවක්  වෙළෙඳපොළ ප්‍රවණතාවන් තුළ සිදුකරන බැවිනි.

පොදුවේ පවසතොත් ගැනුම්බර වෙළෙඳපොළක් නිර්මාණය වන්නේ කොටස් මිල 20%කින් ඉහළ යාම සිදුවන විට ය. සාමාන්‍යයෙන් 20%ක පහත වැටීමකින් පසුව  සහ 20%ක පහත බැසීමකට පෙර ය. මෙම තත්ත්වයන් කල් තබා අනුමාන කළ නොහැකි බැවින් සාමාන‍්‍යයෙන් ගැනුම්බර වෙළෙඳපොළක් හඳුනාගත හැක්කේ එය සිදු වූ පසු පමණි.

සාමාන්‍යයෙන් ගැනුම්බර වෙළෙඳපොළක් නිර්මාණය වන්නේ ආර්ථිකය ශක්තිමත් වන විට  හෝ දැනටමත් ශක්තිමත් භාවයේ පවතින විට ය. දළ ජාතික නිෂ්පාදිතයේ GDP වර්ධනය සහ විරැකියාව පහළ යාම  සමග එය සම්බන්ධව පවතී. සමාගම් ලාභාංශ ඉහළ යාම  සමග එය සම්පාත වේ. ආයෝජකයන්ගේ විශ්වාසයේ ඉහළ යාමක් ද සිදුවනු ඇත. කොටස් සඳහා සමස්ත ඉල්ලුම ධන අගයක් ගනී.  එමෙන්ම ගැනුම්බර වෙ‍ළෙඳපොළ තත්ත්වයකදී ආරම්භක මහජන නිකුතුවල (IPO) ඉහළ යාමක් ද සිදු වේ.

සුරැකුම් සඳහා ඉල්ලුම සහ සැපයුම ඉහළ පහළ යා හැකිය. ඉල්ලුම ශක්තිමත්වන විට සැපයුම දුර්වල වනු ඇත. කිහිපදෙනෙකු සිය කොටස් විකිණීමට සිතන අතර සෙසු අයෝජකයෝ සුරැකුම් මිලදී ගැනීමට පොදිකනු ඇත. උපරිම ලාභ ලැබීම සඳහා  ආයෝජකයෝ ගැනුම්බර වෙළෙඳපොළකදී  කොටස් වෙළෙඳපොළට හවුල්වීමට වැඩි කැමැත්තක් දක්වති. ගැනුම්බර වෙළෙඳපොළ මගින් ලාභ ලැබීමට කැමැති ආයෝජකයෝ ඉහළ යන මිලෙහි වාසිය ලබා ගැනීමට කල් තබා මිලදී ගැනීම් සිදු කරන අතර මිල උපරිමයට නැගුණ පසු ඒවා විකුණා දමති. එසේ වුවද පහළම සහ ඉහළම වටිනාකම් ළඟාවන්නේ කවර මොහොතේ දැයි නිශ්චය කිරීම පහසු නැත.පාඩු බොහෝවිට අවම වන අතර  සාමාන්‍යයෙන් තාවකාලිකය.

US Federal Reserve - එක්සත් ජනපදයේ මධ්‍යම බැංකු පද්ධතිය  මෙනමින් හැඳින් වේ. එය 1913 දෙසැම්බර් 23 ආරම්භ කරන ලදි.


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.