JDS Sinhala

චීන - ඇමරිකානු උපායික සංග්‍රාමය II: 'ආසියා පැසිෆික් පුනර්තුලන' සැළැස්මක් කුමටද?

පළමු කොටස: ලෝකයේ පළමු මූල්‍ය අධිරාජ්‍යයේ නැගීම

චීන මහජන විමුක්ති හමුදාව යටතේ ස්ථාපිත ආරක්‍ෂක සරසවියේ මහාචාර්යවරයෙක් වශයෙන් සේවය කරන  ෂියාඕ ලියාන්ග් මේජර් ජෙනරාල්වරයෙකි. මෙම ලිපිය සංක්‍ෂිප්ත කොට සිංහලට පෙරළන ලද්දේ ඔහු විසින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ ග්‍රන්ථ අධ්‍යයන සංසදය හමුවේ 2015 අප්‍රේල් මාසයේදී සිදු කරන ලද දේශනයක් ආශ්‍රයෙනි.

1999දී යුගොස්ලාවියාවට එරෙහි නේටෝ ප්‍රහාර සහ පොදු යුරෝපා මූල්‍ය ඒකකයක් බිහිවීම අතර සම්බන්ධයක් තිබේද? 2003 ඉරාක ආක්‍රමණය සමග එක්සත් ජනපද ඩොලරය, ගෝලීය මූල්‍ය ඒකකයක් වශයෙන් ස්ථාවරව පවත්වාගෙන යාමේ ඇමරිකානු උවමනාවට ඇති සම්බන්ධය කුමක්ද? 2013 යුක්රේනයේ දේශපාලන අස්ථාවරත්වය  හමුවේ ඇමරිකානු පිළිවෙත විසින් යුරෝපා ආර්ථිකයට එල්ල කළ තර්ජනය කවරේද?

මුල්‍ය සිද්ධාන්ත පිළිබඳ සිය අධ්‍යයනයන් ඔස්සේ එළැඹී නිගමන සහ ඒවාට තුඩු දුන් සාධක විස්තර කරන ජෙනරාල් ලියාන්ග්, සිය ජගත් ආධිපත්‍යය පවත්වාගෙන යාම සඳහා එක්සත් ජනපදය විසින් ගෝලීය මුල්‍ය ඒකකය ලෙස ඩොලරය බලගන්වන අයුරු පැහැදිලි කරමින් ඉහත ප්‍රශ්නවලට පිළිතුරු සපයයි. ජාත්‍යන්තර වෙළෙඳාම තුළ ඩොලරයේ ඒකාධිකාරය පවත්වාගැනීමට එක්සත් ජනපදය යුද්ධ ඇරඹීම සහ පවත්වාගෙන යාම ඇතුළු කවර හෝ උපක්‍රමයක් අනුගමනය කරන බව ද ඔහුගේ අවධාරණයයි.

එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව අතර තීව්‍රවන උපායික බල අරගලය තුළට දිනෙන් දින සෘජුවම ඈඳී යමින් ඇති ශ්‍රී ලංකාව, මෙම ලිපියෙන් මතුකෙරෙන කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වනු ඇත.

මෙම දේශනයේ ඉංග්‍රීසි සටහන මුල්වරට පළවූයේ chinascope.org වෙබ් අඩවියේ ය.

පරිවර්තනය: අජිත් සී. හේරත්


මේ චීනයේ අස්වනු සමයයි.

එය රළ මාලාවන්ගේ කාලාන්තර මෙන් නිවැරදි ය. එක්සත් ජනපද ඩොලරය වසර හයක් පුරා ශක්තිමත්ව පැවතිණි. ඉන් පසුව  2002 දී එය නැවතත් දුර්වල වීම ආරම්භ විය. සුපුරුදු එකම රටාවට අනුව එය දස වසරක් කාලයක් දුර්වලව පැවැතිණි. 2012 දී ඇමෙරිකානුවෝ නැවතත් එය ශක්තිමත් කිරීමට සැළසුම් කළහ. ඔවුහු සුපුරුදු ප්‍රවේශයම අනුගමනය කළහ. එනම් සෙසු ජනතාවන් උදෙසා කලාපීය අර්බුදයන් නිර්මාණය කිරීමයි.

මේ අනුව චීනය හා සම්බන්ධිත සිදුවීම් කීපයක් වන ආකාරය අපි දුටුවෙමු. එනම් ෂියොනාන් ගිලාබැසීමේ සිදුවීම, සෙන්කාකු දූපත් (Senkaku Islands - චීන බසින් දියාඔයු දූපත් Diaoyu Islands) පිළිබඳ අර්බුදය සහ ස්කාර්බොරෝ තීරයේ (Scarborough Shoal - චීන බසින් හුවාන්ග්යාන් දූපත්- Huangyan Island) ආරාවුල යනාදියයි. මේ සියල්ල සිදු වූයේ මේ කාලය තුළ ය. හුවාන්ග්යාන් දූපත් පිළිබඳව පිලිපීනය සහ චීනය අතර ගැටුම සහ  දියාඔයු දූපත් ගැන ජපානය සහ චීනය අතර හටගත් ගැටුම තුළ එක්සත් ජනපද ඩොලර් දර්ශකය විසින් ඉටු කළ භූමිකාවක් නැති බව පෙනී යා හැකිය. එහෙත් සත්‍යය එය ද? එක්සත් ජනපද ඩොලරය දුර්වල වීම පටන්ගෙන හරියටම දසවන වසරේ දී එම ගැටුම් සිදුවූයේ මන්ද?

අවාසනාවකට මෙන් එක්සත් ජනපදයට ඊට පෙර පමණට වඩා ගින්දර සමග (ඔවුන්ගේම උකස් වෙළෙඳපොළ තුළ) සෙල්ලම් කිරීම හේතුවෙන් 2008 දී මුල්‍ය අර්බුදයකට මුහුණ පෑමට සිදුවිය. මෙය විසින් ඩොලරයේ නැගීම සුළු වශයෙන්  පමා කරන ලදි.

එක්සත් ජනපද ඩොලර් දර්ශක චක්‍රය නම් දෙයක් පවතින බවත්, එක්සත් ජනපදය විසින් මේ ඩොලර් දර්ශක චක්‍රය සෙසු රටවලින් ලාභ ගැරීමට භාවිතා කරන බවත් අප විසින්  පිළිගනු ලබන්නේ නම් දැන් චීනය තුළ අස්වැන්න නෙළීමට ඇමෙරිකාවට කාලය එළැඹ ඇති බව අපට පිළි ගැනීමට සිදු වේ. ඒ මක් නිසාද? ඒ මක් නිසාද යත් චීනය විසින්  තමන් වෙත ලෝකයේ විශාලතම ආයෝජනයන් ලබාගැනීමට සමත්ව තිබූ බැවිනි. චීන ආර්ථිකයේ විශාලත්වය තව දුරටත් තනිරටක ආර්ථිකයක විශාලත්වයට සමාන නොවීය. එය සමස්ත ලතින් ඇමෙරිකානු ආර්ථිකයට වඩා විශාල වූ අතර  නැගෙනහිර ආසියාවේ සමස්ත රටවල ආර්ථිකයන්ගේ එකතුවට සමාන විය.

දියාඔයු අර්බුදය සහ  හුවාන්ග්යාන් අර්බුදය හට ගැනීමේ සිට චීනය අවට විවිධ සිදුවීම් මතුවන්නට විය. චීනයේ 981 ඛනිජතෙල් කැණීම් කටයුතුවලට අදාළව වියට්නාමය සමග හටගත් අර්බුදය,  හොංකොං වල මතු වූ “Occupy Central” ව්‍යාපාරය ආදිය මෙම සිදුවීම් වැළට ඇතුළත්ය. මෙම සිදුවීම් හුදු සරල අහම්බයන් ලෙස සැළකිය හැකිද?

මම ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දේශපාලන කොමසාරිස් ජෙනරාල් ලියූ යාෂූ සමග 2014  මැයි මසදී හොංකොං බලා ගියෙමි. ඒ වන විට “Occupy Central” ව්‍යාපාරය සැලසුම් කර තිබූ බවත් මැයි මාසය අගදී එය ක්‍රියාවට නගන්නට සුදානමින් සිටි බවත් අපට දැනගන්නට ලැබී තිබිණි. කෙසේ වුව ද එය මැයි මාසයේ දී සිදු නොවීය. එමෙන් ම ජූනි, ජූලි හෝ අගොස්තුවල දී හෝ සිදු නොවීය.

සිදු වූයේ කුමක් ද? ඔවුහු නතරව සිටියේ කුමක් අපේක්ෂාවෙන්ද?

අපි වෙනත් කාල සටහනක් දෙස අවධානය යොමු කරමු. එක්සත් ජනපද ෆෙඩරල් මුල්‍ය සංචිතය මේ අවස්ථාවේ තම ප්‍රමාණාත්මක පහසුකාරක ප්‍රතිපත්තියෙන් (Quantitative easing-QE) ඉවත් විය. එක්සත් ජනපදය තමන් 2014 ආරම්භයේ සිට ප්‍රමාණාත්මක පහසුකාරක ප්‍රතිපත්තියෙන් ඉවත්වන බවට නිවේදනය කර තිබිණි.  නමුත් එය මෙම ප්‍රතිපත්තිය තුළ අප්‍රේල්, මැයි, ජූනි, ජූලි සහ අගොස්තු දක්වා රැ‍ඳී සිටියේය. එක්සත් ජනපදය ප්‍රමාණාත්මක පහසුකාරක ප්‍රතිපත්තිය තුළ රැ‍ඳී සිටිනතාක් කල් එය විසින් ඩොලර් මුද්‍රණය කරනු ලබන අතර ඩොලරයේ මිල ඉහළ යාම සිදු නොවේ. එහෙයින් හොංකොංහි  “Occupy Central” ව්‍යාපාරය ද එතෙක් සිදු නොවිය යුතු ය.

සැප්තැම්බරය අවසානයේදී එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය ප්‍රමාණාත්මක පහසුකාරක ප්‍රතිපත්තියෙන් ඉවත්වන බවට නිවේදනය කළේය. ඩොලරය නැවතත් ඉහළ නගින්නට පටන්ගත්තේය. එවිට ඔක්තෝබර් ආරම්භයේදී  “Occupy Central” උද්ඝෝෂණ ව්‍යාපාරයේ පැන නැගීම සිදුවිය.

සැබැවින්ම, දියාඔයු දූපත්, හුවාන්ග්යාන් දූපත්, 981 ඛනිජ තෙල් කැණීම්, හොංකොංහි “Occupy Central” ව්‍යාපාරය ආදි සියල්ල බෝම්බ ලෙස සැළකිය හැකිය. මේවායින් එකක් හෝ සාර්ථකව පිපිරීයාම,  කලාපීය අර්බුදයක් දක්වා ව්‍යාප්තවීමට හෝ චීනය අවට ආයෝජක පරිසරය අයහපත් තත්ත්වයකට පත් කිරීමට හේතුවනු ඇත. එවැනි තත්ත්වයක් විසින් කලාපය තුළ වන ආයෝජන විශාල ප්‍රමාණයක් ඉවත් කරගැනීමට බල කෙරෙනු ඇති අතර ඒවා එක්සත් ජනපදය තුළ ආයෝජනයට යොමුවනු ඇත.

අවාසනාවකට මෙන් මෙවර ඇමෙරිකානුවන්ගේ ප්‍රතිවාදියා වූයේ චීනයයි. මෙම සෑම අර්බුදයක්ම  සමනය කිරීම සඳහා චීනය විසින් “තායි ෂී“ (“Tai chi” movements) ඉරියව් යොදාගනු ලැබිණි.  අද දක්වාම ඔටුවාගේ කොන්ද බිඳින අවසන් පිදුරු ගස සොයාගැනීමට ඔවුන් සමත් වී නැති අතර ඔටුවා තවමත් නැගී සිටියි.

ඔටුවා හතරගාතයෙන් ඇදවැටුණේ නැත. එහෙයින් එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයට  සිය පොලී අනුපාතයන් ඉහළ දමන බවට වන සුපුරුදු අඬබෙරය මෙවර වැයීමට හැකි වූයේ නැත. චීනයේ අස්වනු නෙලීමට තමන්ට දුෂ්කර බව ඇමෙරිකානුවන් තේරුම් ගත්හ. ඒ අනුව ඔවුහු විකල්පයක් සෙවූහ.

ඔවුන්ගේ කුරුමාණම කුමක් වූයේද? ඒ යුරෝපීය සංගමය සහ රුසියාව අතර සම්බන්ධය වූ යුක්‍රේනයයි. ජනාධිපති යනුකෝවිච්ගේ පාලනයේ ගැටළු තිබුණ බව සැබෑවකි. එහෙත් ඇමෙරිකානුවන් ඔහු හා පැටළුණේ ඔහුගේ මෙම ගැටළු නිසා නොවේ. ඔවුනට ඉලක්ක තුනක් තිබිණි. එනම් ඇමෙරිකානුවන්ට කීකරු නොවූ යානුකොවිච්ට පාඩමක් ඉගැන්වීම, යුරෝපා සංගමය රුසියාව සහ සමීප වීම වැළැක්වීම සහ යුරෝපය තුළ ආයෝජනයන් සඳහා අයහපත් පරිසරයක් නිර්මාණය කිරීම යනාදියයි.

මේ අනුව යුක්‍රේනියානුවන් විසින්ම නායකත්වය දුන් බවට පෙනෙන පරිදි “වෛවර්ණ විප්ලවය“ (color revolution) ආරම්භ විය. එක්සත් ජනපදය තමන් ද  අපේක්ෂා නොකළ අයුරින් සිය අරමුණු සාක්ෂාත් කරගත්තේය. රුසියානු ජනාධිපති පුටින් ක්‍රිමියාව ලබාගත්තේය. ඇමෙරිකානුවන්ගේ සැලසුම් තුළ  එවැන්නක් අපේක්ෂා නොකළ ද එය විසින් එය විසින්  රුසියාවට සම්බාධක පනවන ලෙස යුරෝපා සංගමය සහ ජපානය වෙත බල කිරීමේ අවස්ථාවක් ඇමෙරිකානුවන් වෙත උදා විය. එමගින් යුරෝපා සංගමයේ ආර්ථිකය වෙත ද දැඩි පීඩනයක් එල්ල කිරීමට ඇමෙරිකාව සමත් විය.

ඇමෙරිකානුවන් විසින් මෙය සිදු ක‍ළේ මන්ද?  බොහෝ අය මෙය භූ දේශපාලනික කෝණයෙන් විග්‍රහ කරන නමුත් ප්‍රාග්ධනයේ කෝණයෙන්මෙම තත්ත්වය විග්‍රහ කර ඇත්තේ ඉතා විරල වශයෙනි.  යුක්‍රේන අර්බුදයෙන් පසුව, සංඛ්‍යා ලේඛන විසින් පෙන්නුම් කරන පරිදි එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන එකක් පමණ වන ප්‍රාග්ධනයක් යුරෝපයෙන් ඉවත් විය. ඇමෙරිකානුවන්ට තමන්ට අවශ්‍ය වූ දේ  ලැබිණි. ඔවුනට චීනයෙන් ඩොලර් ඉවතට ඇදගත නොහැකි නම් ඔවුන් එය යුරෝපයෙන් ඉවතට අදිනු ඇත.

කෙසේ වුව ද ඊලඟ පියවර ඇමෙරිකානුවන් සැලසුම් කළ පරිදි සිදු නොවිණි. යුරෝපයෙන් ඉවත් වූ ප්‍රාග්ධනය ඇමෙරිකාව වෙත ගලා නොගියේය. එය යොමු වූයේ හොංකොං වෙත ය.

චීනයේ ආර්ථිකය සීතල වීමට ආරම්භ වී ඇතැයි යන කරුණ තිබිය දීම වුව ද  එය  වෙත ගෝලීය ආයෝජකයන් ආකර්ෂණය වීමට එක් හේතුවක් වූයේ එහි ආර්ථික වර්ධන අනුපාතය ලෝකයෙන්ම පළමු ස්ථානය හිමි කරගෙන තිබීම නිසා ය. අනෙක් කරුණ වූයේ චීනය විසින් ෂැංහයි සහ හොංකොං කොටස් වෙළෙඳපොළ ඒකාබද්ධ කරන බවට නිවේදනය කර තිබීමයි. ලෝකය පුරා ආයෝජකයන්ට අවශ්‍ය වූයේ ෂැංහයි - හොංකොං ඒකාබද්ධ කිරීම හරහා විපුල ප්‍රතිලාභයක් අත් කර ගැනීමට ය.

අතීතයේදී බටහිර ප්‍රාග්ධනය චීනයේ කොටස් වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේදී දැඩි පරිස්සම් සහගත බවක් පෙන්නුම් කළ බවක් දැකිය හැකිය. එයට එක් හේතුවක් වූයේ චීනයේ දැඩි විදේශ විනිමය පාලනයයි. ඔබට නිදහසේ පැමිණිය හැකි ය. නමුත් ඔබට ඔබ කැමැති පරිදි ඉවත් විය නොහැකි ය. ෂැංහයි - හොංකොං ඒකාබද්ධ කිරීමෙන් පසුව ඔවුනට ෂැංහයි කොටස් වෙළෙඳපොළ වෙත හොංකොං හි සිට ආයෝජනය කළ හැකි වූ අතර ලාභ ඉපැයීමෙන් පසුව ලාභය ද රැගෙන ක්ෂණිකව ඉවත්වීමේ අවස්ථාව උදා විය. එහෙයින් යුරෝපයෙන් ඉවත් වූ එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියනය හොංකොංහි රැ‍ඳිණි.

“Occupy Central” ව්‍යාපාරය පිටුපස වූ හස්තය විසින් එම ව්‍යාපාරය නැවත කරළියට ගෙන ඒමට සැලසුම් කළේ මේ හේතුව නිසා ය. ඔවුන්ට එය නැවැත්වීමට උවමනා නොවීය. ප්‍රාග්ධනය නැවතත් එක්සත් ජනපදය වෙත ඇදගැනීමට චීනයට අදාළව කලාපීය අර්බුදයක් නිර්මාණය කිරීමට ඇමෙරිකානුවන්ට අවශ්‍ය විය.

ප්‍රාග්ධනය නැවතත් සිය වෙළෙඳපොළට ඇදගැනීම කෙරෙහි එක්සත් ජනපද ආර්ථිකය විසින් මෙතරම් නන්නත්තාර අන්දමට බලාපොරොත්තු තැබුවේ මන්ද? මක් නිසාද යත්, 1971 සිට එක්සත් ජනපදය සැබෑ භාණ්ඩ නිෂ්පාදනය කිරීම අත්හැර  දමන ලද බැවිනි. ඔවුහු සැබෑ ආර්ථිකය හැඳින්වූයේ  ඌනාන්ත (low-end) හෝ අඩු වටිනාකම් නිෂ්පාදනය කරන කර්මාන්ත, කසළ කර්මාන්ත හෝ අවරගණයේ කර්මාන්ත ලෙස ය. ඔවුහු ඒවා සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත විශේෂයෙන්ම චීනය වෙත මාරු කරන ලදි. මයික්‍රොසොෆ්ට්, අයිබීඑම් වැනි උන්නතාන්ත (high-end ) කර්මාන්ත කීපයක හැරෙන්නට සෙසු ඒවායේ 70%ක් පමණ වන පුද්ගලයන් මුල්‍ය සහ  මුල්‍ය සේවා කර්මාන්තය වෙත යොමු වී ඇත. ආයෝජකයන් නැවත ඇදගැනීම සඳහා ඔවුන් වෙත ප්‍රදානය කළ  හැකි සැබෑ කර්මාන්ත කීපයක් හැරෙන්නට එක්සත් ජනපදය මුළුමණින්ම ශුන්‍ය රාජ්‍යයක් බවට පත් වී ඇත.

ඔවුන්ගේ ත්‍රිත්ව මුල්‍ය වෙළෙඳපොළ මත පදනම් වූ  අතථ්‍ය ආර්ථිකයකට දොර අරිනවා හැරෙන්නට ඇමෙරිකානුවන් සතුව වෙනත් විකල්පයක් ඉතුරුව පැවතියේ නැත. එයට මුදල් ඉපැයීමට හැකිවුනු  පිණිස එයට මෙම ත්‍රිත්ව වෙළෙඳපොළ වෙත ලෝකයෙන් මුදල් ඇදගැනීම අවශ්‍ය වේ. ඉන් පසුව එම මුදල් ලෝකයේ අනෙක් රටවල සාරය ඇදගනු පිණිස යෙදවිය හැකි ය.

නොනැසී පැවතීම පිණිස ඇමෙරිකානුවන්ට අද ඉතුරුව ඇත්තේ මේ මග පමණි. අප එය එක්සත් ජනපදයේ ජාතික ප්‍රවර්තක උපාය මාර්ගය (national survival strategy) ලෙස හඳුන්වමු. ස්වකීය දෛනික ජීවිතය සහ ආර්ථිකය පවත්වාගෙන යාමට එය වෙත විශාල ප්‍රාග්ධන ප්‍රවාහයක් අවශ්‍ය වේ. කිසියම් රටක් විසින් මේ ප්‍රවාහය අවහිර කරනු ලබන්නේ නම් නම් එම රට එක්සත් ජනපදයේ සතුරෙකු ලෙස නම් කෙරෙනු ඇත.

II. චීනයේ ක්ෂණික නැගී සිටීමක් විසින් අහිමි කරනු ඇත්තේ කාගේ භෝජන සංග්‍රහය ද?

A. යුරෝ මුදල් ඒකකයේ උපත යුරෝපය තුළ යුද්ධයකට හේතු වූයේ මන්ද?

1999 ජනවාරි මස 1 වැනි දින යුරෝව නිලවශයෙන් උපත ලැබුවේය. මාස තුනකට පසුව නේටෝ සංවිධානය යුගෝස්ලාවියට එරෙහිව ඔවුන්ගේ යුද්ධය ඇරඹුවේය. බොහෝ අය සිතුවේ නෙටෝ සංවිධානය සටන් වැදුනේ අල්බේනියානුවන්ට එරෙහිව මිලොසොවික් පාලනයේ ජන සංහාරය, එනම් බිය ජනක මානුෂික ඛේදවාචකයක් නවත්වන්නට බව ය. යුද්ධයෙන් පසුව මෙය අසත්‍යයක් බව ඉක්මණින්ම සනාථ විය. එය සීඅයිඒ සංවිධානය සහ බටහිර මාධ්‍ය එක්ව දියත් කළ සැළැසුමක් බව ඇමෙරිකානුවන් පිළිගෙන තිබේ. ඉලක්කය වූයේ යුගෝස්ලාවියානු සමූහාණ්ඩුවට පහර දීමයි.

කෙසේ වුවද කොසෝවෝ යුද්ධය සැබෑ වශයෙන්ම යුගොස්ලාවියානු සමූහාණ්ඩුවට පහරදීම සඳහා දියත් කරන ලද එකක්ද? සමස්තයක් ලෙස සියළු යුරෝපියානුවෝ පළමුව මෙම සිද්ධාන්තය විශ්වාස කළහ. කෙසේ වුව ද මෙම දින 72 යුද්ධයෙන් පසුව තමන් රවටා ඇති බව යුරෝපියානුවෝ තේරුම් ගත්හ.

යුරෝ මුදල් ඒකකය බිහි කරන අවස්ථාවේ යුරෝපියානුවන් තුළ දැඩි ආත්ම විශ්වාසයක් විය.  යුරෝව සහ එක්සත් ජනපද ඩොලරය අතර හුවමාරු අනුපාතය  1:1.07ක් විය. දින 72 ක් පුරා සිදු වූ බෝම්බ දැමීම්වලින් අනතුරුව  යම් කිසිවක් වැරදී ගොස් ඇති බව යුරෝපියානුවන්ට වැටහිණි. ඔවුන්ගේ යුරෝව සුන්බුන් වී තිබිණි. යුරෝ මුදල් ඒකකයට එහි වටිනාකමින් 30%ක් අහිමි ව තිබිණි. දැන් යුරෝවකට ගත හැකි වූයේ එක්සත් ජනපද ඩොලර් 0.86ක් පමණි. තමන් රවටා ඇති බව යුරෝපියානුවෝ තේරුම් ගත්හ.  පසු කලෙක ඉරාකය ආක්‍රමණය කිරීම සඳහා එක්සත් ජනපදය අවධාරණය කරන විට ජර්මනිය සහ ප්‍රංශය මුලදී දැඩි ලෙස විරෝධයක් පෑවේ එහෙයිනි.

සමහරුන් පවසන අන්දමට බටහිර ප්‍රජාතාන්ත්‍රික රටවල් එකිනෙකා සමග සටන් නොකරති. දෙවන ලෝක යුද්ධයේ සිට බටහිර රටවල් එකිනෙකා සමග සටන් යුද නොවැදුනු බව සත්‍යයකි. එහෙත් ඔවුන් එකිනෙකා අතර මිලිටරිමය අර්බුද හෝ මුල්‍ය හෝ ආර්ථික යුද්ධ නැතැයි ඉන් අදහස් වන්නේ නැත.

කොසෝවෝ යුද්ධය වූකලී යුරෝ මුදල් ඒකකයට එරෙහිව ඇමෙරිකානුවන් දියත් කළ වක්‍ර යුද්ධයකි. මතුපිටින් එය යුගොස්ලාවියාවට එරෙහිව කළ යුද්ධයක් විය. එහෙත් සැබැවින්ම මෙම යුද්ධයෙන් බරපතල තුවාල සිදුවූයේ යුරෝ මුදල් ඒකකයටයි. මෙය සිදුවූයේ යුරෝවේ උපත විසින් එක්සත් ජනපද ඩොලරයේ බත්පත උදුරාගැනීමට තැත් කිරීම හේතුවෙනි. යුරෝවේ උපතට පෙර එක්සත් ජනපද ඩොලරය ජාත්‍යන්තර මුල්‍ය හුවමාරු වෙළෙඳපොළේ  80%කට හිමිකම් පෑවේය. යුරෝවේ උපතත් සමග එය 60% දක්වා අඩු විය. යුරෝව විසින් මේ අයුරින් ඩොලරයෙන් ලොකු පළුවක් කපාගත්තේය.

යුරෝපා සංගමය බිහිවන විට එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 27 ක ආර්ථිකයක් එය සතුව තිබිණි. එය විසින් ට්‍රිලියන 24-25 කට හිමිකම් කියූ උතුරු ඇමෙරිකන් නිදහස්  වෙළෙඳ ප්‍රදේශය ඒ වනවිටත් අභිබවා යමින් ලෝකයේ විශාලතම ආර්ථික කලාපය බවට පත්වී තිබිණි. එබඳු සුවිශාල ආර්ථිකයක් සතුව තිබූ යුරෝපා සංගමයට සිය වෙළෙඳ කටයුතු එක්සත් ජනපද ඩොලරය හරහා සිදු කිරීමට උවමනාවක් නොවීය. එය යුරෝ මුදල් ඒකකය නිර්මාණය කළේ එහෙයිනි. යුරෝව හඳුන්වාදීමත් සමගම එක්සත් ජනපද ඩොලරයට එහි ව්‍යාපාරික කටයුතුවලින් තුනෙන් පංගුවක් අහිමි විය. මේ වනවිට ලෝක වෙළෙඳාමෙන් 23%ක් සිදුවන්නේ යුරෝව මගිනි.

ආරම්භයේදී ඇමෙරිකානුවෝ යුරෝව ගැන එතරම් සුපරික්ෂා කාරි වූයේ නැත. එය විසින් ඩොලරයේ ආධිපත්‍යයට අභියෝග කරන බව ඔවුන් වටහා ගන්නා විට ඔවුහු මදක් පමා වී තිබිණි. එහෙයින් එක්සත් ජනපදයට යුරෝපා සංගමය සහ යුරෝව මෙන්ම සෙසු අභියෝගකරුවන්ද යටපත් කළ හැකි ක්‍රමවේදයක් සොයාගැනීමට සිදු ව තිබේ.

B. සිය "ආසියා පැසිෆික් පුනර්තුලන" (Asia-Pacific Rebalance ) උපාය මාර්ගය මගින් එක්සත් ජනපදය විසින් තුලනය කිරීමට සැරසෙන්නේ  කුමක්ද?

චීනයේ නැගීම හේතුවෙන් ඩොලරයේ ගෝලීය ආධිපත්‍යයේ නව අභියෝගකරුවා බවට  චීනය පත්කර තිබේ. දියාඔයු සහ හුවාන්ග්යාන් දූපත් පිළිබඳ ගැටුම එක්සත් ජනපදය විසින් සිය ප්‍රතිවාදියා යටපත් කිරීම සඳහා දියත් කරන ලද ආසන්නම උත්සාහයන් ය. මෙම දේශපාලනික සිදුවීම් දෙක විසින් චීනයෙන් විශාල ප්‍රාග්ධන ප්‍රමාණයක් ඉවත් කිරීමට ආයෝජකයන් පොළඹවන තත්ත්වයක් ඇති කිරීමට ඇමෙරිකානුවන් අසමත් වුවද එම සිදුවීම් විසින් චීනයේ වැදගත් උත්සාහයන් දෙකක් උපන්ගෙයිම මරුමුවට පත් කරන ලදි. 2012 ආරම්භයේදී චීනය, ජපානය සහ දකුණු කොරියාව ඊසාන දිග ආසියානු නිදහස් වෙළෙඳ සම්මුතියක් (Northeast Asia Free Trade Agreement) බිහිකිරීම සඳහා පවත්වාගෙන ගිය සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස යම් සම්මුතියකට එළැඹීමට ආසන්නව සිටියහ. 2012 අප්‍රේලයේදී චීනය සහ ජපානය විසින් ඔවුන් අතර මුදල් හුවමාරුව  සහ දෙපාර්ශ්වයේ ජාතික ණය අත්හිටුවීමට සඳහා මූලික එකඟතාවක් ඇති කරගෙන තිබිණි. කෙසේ වුව ද දියාඔයු සහ හුවාන්ග්යාන් දූපත් පිළිබඳ ගැටළුව මතුවත්ම නිදහස් වෙළෙඳ සම්මුතිය සහ මුදල් හුවමාරුව පසෙකට වීසි විය.

වසර කීපයකට පසුව චීනය දකුණු කොරියාව සමග ද්විපාර්ශ්වික වෙළෙඳ සම්මුතියක් සඳහා වන බාධක ඉවත් කර ගැනීමට සමත් විය. එසේ වුව ද එය එතරම් වැදගත් ජයග්‍රහණයක් නොවේ. ඒ මන්ද? මක් නිසාද යත් ඊසාන දිග ආසියානු නිදහස් වෙළෙඳ සම්මුතිය සඳහා ආරම්භක සැලසුමට අනුව එය පිහිටු වූ පසු චීනය, ජපානය, දකුණු කොරියාව, හොංකොං, මැකාඕ සහ තායිවානය යන රටවල් ඇතුළත් කරගැනීමට යෝජනා වී තිබිණි.  එසේ නම් එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 20 ක ධාරිතාවක් සහිත එය ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය වනු ඇත. එය විසින් වැඩිදුරටත් දකුණට ව්‍යාප්ත වෙමින් නැගෙනහිර ආසියාතික නිදහස් වෙළෙඳ කලාපයක් ගොඩනැගීම (East Asia FTA) මගින් ASEAN රටවල  නිදහස් වෙළෙඳ කලාපය (ASEAN Free Trade Area-AFTA ) සමග අන්තර්ග්‍රහණය වීමට ද බෙහෙවින් ඉඩ තිබිණි. එසේ නම් එය එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 30ක ධාරිතාවක් සහිතව ලෝකයේ විශාලතම ආර්ථිකය වනු ඇත.

'East Asia FTA' හෙවත් නැගෙනහිර ආසියාතික නිදහස් වෙළෙඳ කලාපය තවදුරටත් ව්‍යාප්ත වෙමින් එයට දකුණෙන් ඉන්දියාව සහ දකුණු ආසියාවේ සෙසු රටවල් ද, උතුරෙන් මධ්‍යම ආසියානු රටවල් පහද බටහිරෙන් මැදපෙරදිග රටවල් කීපයක් ද ඇතුළුව බටහිර ආසියාතික රටවල් ද එකතු කරගැනීමට ඉඩ තිබූ බව අපට වැඩිදුරටත් සිතිය හැක. මෙම ආසියානු නිදහස් වෙළෙඳ කලාපය ආර්ථික විශාලත්වයෙන් එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 50 ක් ඉක්මවනු ඇත. මෙය එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය යන දෙකෙහිම  ආර්ථික ධාරිතාවන්ගේ  ඉක්මවා ගිය අගයකි. මෙවැනි විශාලතම ආර්ථික කලාපයක් විසින් සිය අභ්‍යන්තර වෙළෙඳ කටයුතු සඳහා එක්සත් ජනපද ඩොලරය හෝ යුරෝව භාවිතා කරනු ඇතැයි සිතිය හැකි ද? සත්තකින්ම නැත. මෙහි තේරුම වූකලී ආසියානු ඩොලරයක් උපත ලබනු ඇති බව ය.

මා සිතන අන්දමට, ආසියානු නිදහස් වෙළෙඳ කලාපයක් පවතින්නේ  නම් අප විසින් රෙන්මින්බි ආසියාව තුළ මූලික මුදල් ඒකකය ලෙස ප්‍රවර්ධනය කළ යුතු ය. හරියටම එක්සත් ජනපද ඩොලරය පළමුව උතුරු ඇමෙරිකාවේ මුදල් ඒකකය ලෙස භාවිතයට පැමිණ පසුව ජාත්‍යන්තර මුදල් ඒකකයක් බවට පත් වූ අයුරින්ම ය. රෙන්මින්බි ජාත්‍යන්තර වේදිකාවට තල්ලු කිරීම අප කලින් ප්‍රකාශ කළ පරිදි "රෙන්මින්බි විදේශගතවීම"කට හෝ එක් මාවතක් එක් කලාපයක් ව්‍යාපෘතිය තුළ රෙන්මින්බි විසින් යම් භූමිකාවක් සිදුකිරීමට වඩා දුර දිග යන දෙයකි. එය ඩොලරය සහ යුරෝව සමග ලෝකය බෙදා ගනු ඇත.

චීනයට කල්පනා වන මේ දෙය  අමෙරිකාවේ  කල්පනාවට නොඑනු ඇත්ද? එක්සත් ජනපදය සිය අවධානය  නැගෙනහිර වෙත මාරු කරන බව පවසා සිටියේ දියාඔයු දූපත සම්බන්ධව චීනය සමග අර්බුදයක් මතු කරන ලෙස ජපානයට බල කරමිනි.  එමෙන්ම හුවාන්ග්යාන් දූපත් සම්බන්ධයෙන්  චීනය සමග ගැටුමකට යාමට ඔවුහු පිලිපීනය ද දිරිගැන් වූහ. මේවා සිදුවූයේ හුදෙක් දක්ෂිණාංශික ජපනුන් හෝ පිලිපීනයේ ජනාධිපති අකිනෝගේ බලපෑම නිසා යැයි පැවසීමට තරම් බොලඳ වීමට අපට නොහැකි ය.

ඒ වනාහි රෙන්මින්බි වෙතින් ඩොලරයට අභියෝගයක් එල්ලවනු වැළැක්වීම සඳහා ඇමෙරිකානුවන්ගේ ගැඹුරු සහ ප්‍රවේසම්කාරි  සිතීමක ප්‍රතිඵලයකි. තමන් කරන්නේ කුමක්දැයි ඇමෙරිකානුවෝ පැහැදිලිව දැන සිටියහ. ඊසාන දිග ආසියානු නිදහස් වෙළෙඳ කලාපය  (Northeast Asia FTA) බිහිවූයේ නම්, එය විසින් මුල පිරෙන දාම ප්‍රතික්‍රියාව විසින් රෙන්මින්බි, යුරෝ සහ ඩොලරය විසින් ලෝක වෙළෙඳාපොළ තුනෙන් පංගුව වශයෙන් තමන් අතර බෙදා ගනු ඇත. එවිට ලෝක වෙළෙඳපොළෙන් තුනෙන් පංගුවක් පමණකට හිමිකම් කිව හැකි ඩොලරයට තවදුරටත් තම ලෝක මුල්‍ය ආධිපත්‍යයට හිමිකම් කිවහැකිද?  යුරෝව හෝ රෙන්මින්බි මෙන් සැබෑ ආර්ථිකයක පිටුබලය රහිත එක්සත් ජනපද ඩොලරයට එහි මුල්‍ය ආධිපත්‍යය  නිසැකවම අහිමිවනු ඇත. එවිට එක්සත් ජනපදයට ලෝකයේ හිමිකරුවා ලෙස වැජඹීමට තවදුරටත් හැකිවනු ඇත්ද?

මෙම තත්ත්වය අවබෝධ කරගැනීමට යමෙකුට හැකිවන්නේ නම් ඔහු හෝ ඇය විසින් චීනය මුහුණපාන සෑම අර්බුදයක්ම පිටුපස සිටින්නේ කවුරුන් ද යන වග තේරුම් ගනු ඇත. ඒ එක්සත් ජනපදයයි. එක්සත් ජනපදය, චීනය විසින් තමන්ට එරෙහිව ඇති කරනු ලැබීමට ඉඩ ඇති “ප්‍රශ්න“ වළක්වමින් සිටියි. ඒ අනුව එය විසින් චීනයට  එරෙහිව  සෑම තැනෙකම “ප්‍රශ්න“ ඇති කරමින් සිටියි. 'ආසියා පැසිෆික් කලාපීය පුනර්තුලනය' නමින් ඇමෙරිකාව කරමින් සිටින්නේ කුමක්ද? සැබැවින්ම එය විසින් චීනය සහ ජපානය අතරත්, චීනය සහ පිලිපීනය අතරත් චීනය සහ සෙසු රටවල් අතරත්  තුලිතකාරකයාගේ භූමිකාව ඉටු කරමින් සිටින්නේද? සත්තකින්ම නැත.

එක්සත් ජනපදයට ඇත්තේ එකම අරමුණකි. ඒ චීනයේ නැගීම නිෂේධ කර දැමීමයි.

(මතු සම්බන්ධයි)

© JDS

අවසාන කොටස: චීනයේ උපාය මාර්ගික ඉදිරි දැක්මේ සාරය කුමක්ද?

පසු සටහන්:

Quantitative easing (QE) ප්‍රමාණාත්මක පහසුකාරකය :
මෙය මහාපරිමාණ වත්කම් කිණුම large-scale asset purchases ලෙසද හැඳින්වේ.  ආර්ථිකය උත්තේජනය කිරීමේ හෝ ද්‍රවශීලිතාව ඉහළ නැවීමේ අරමුණින්  මධ්‍යම බැංකුව විසින් රජයේ බැඳුම්කර හෝ වෙනත් මුල්‍ය වත්කම් කලින් තීරණය කරන ලද ප්‍රමාණයක් මිල දී ගැනීම මගින් සංලක්ෂිත  ව්‍යාප්තවාදී මුල්‍ය ප්‍රතිපත්තියකි.  ඉතා පහළ උද්ධමනය හෝ අවධමනය පාලනය කිරීමෙහිලා පිළිගත් මුල්‍ය ප්‍රතිපත්තීන් අසාර්ථක වන විට යොදාගනු ලබන සම්ප්‍රදායික නොවන මුල්‍ය ප්‍රතිපත්තියකි.

ASEAN FTA:

ASEAN-Association of Southeast Asian Nations සංවිධානය සඳහා වන කෙටි යෙදුමයි. කලාපීය අන්තර් රාජ්‍ය සංවිධානයක් වන මෙම සංවිධානයට අයත් රටවල් වන්නේ  ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය,බෘනෙයි, කාම්බෝජය, ලාඕසය සහ වියට්නාමයයි. මෙම සංවිධානයේ ප්‍රකාශිත අරමුණු වන්නේ ආසියානු සමගිය සහ අන්තර් රාජ්‍ය සහයෝගීතාව ප්‍රවර්ධනය,  ආර්ථික, දේශපාලනික, මිලිටරිමය,ආරක්ෂක,අධ්‍යාපනික  සහ සමාජ-සංස්කෘතික ක්ෂේත්‍රයන්හි අන්තර්ග්‍රහණය සඳහා සාමාජික රටවලට සහ ආසියාවේ සෙසු රටවලට පහසුකම් සැලසීම යනාදියයි. ASEAN FTA යනු මෙම රටවල් විසින් ඇති කරගන්නා ලද නිදහස් වෙළෙඳ කලාපයයි.

 


 

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.