JDS Sinhala

සෙවණැලිවලින් තාරකා වෙතට: රෝහිත් වෙමුලා දිවි හැර ගියේය.

ඉන්දියාවේ හයිද්‍රබාද් මධ්‍යම සරසවියේ දෙවැනි වසරේ ආචාර්ය උපාධි අපේක්‍ෂකයෙකු වූ රෝහිත් වෙමුලා, සිය විසි හත්වැනි උපන් දිනයට දෙසතියක්  තබා දිවි නසා ගත්තේය. ඒ ජනවාරි 17 වැනිදා ය. උගෙනීම කෙරෙහි නොතිත් ආශාවෙන් කලක දී ඉදිරිකිරීම් කම්කරුවෙකු වශයෙන් ද, ආපන ශාලා සේවකයෙකු වශයෙන් ද  රැකියා කරමින් සිය ආචාර්ය උපාධිය දක්වා උගත් පීඩිත දලිත් ශිෂ්‍යයෙකු වූ රෝහිත්, අම්බෙඩ්කාර් ශිෂ්‍ය සංගමයේ මුල් පෙළේ ක්‍රියාකාරිකයෙකු විය. දිවි හානි කරගැනීමට දෙසතියකට පෙර රෝහිත් ඇතුළු ශිෂ්‍යයන් සිව් දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිව අහෝසි කිරීමට තීරණය කළ හයිද්‍ර‍බාද් සරසවි බලධාරීහු ඉන් හය මසකට කලින්ම, ඔහුට ලැබෙමින් තිබූ ශිෂ්‍යත්ව දීමනාව අත් හිටුවා තිබිණ. දලිත් ජනයාට එරෙහි කුල පීඩනයට එරෙහිව ක්‍රියා කිරීම හේතුවෙන් කුලවාදියෙකු ලෙස හංවඩු ගසන ලද රෝහිත් හා ඔහු නියෝජනය කළ අම්බෙඩ්කාර් ශිෂ්‍ය සංගමය, කාශ්මීර ජනයා‍ගේ අරගලය කෙරෙහි සහයෝගීතාව පළ කිරීම හේතුවෙන් ‘දේශ ද්‍රෝහීත්වයේ‘කුරුසියට තබා ඇණ ගසනු ලැබිණ. නමුත් රෝහිත්ගේ මරණය ඉන්දියානු ශිෂ්‍ය ප්‍ර‍ජාවේ කෝපාග්නිය මොළවමින් නවදිල්ලිය දක්වා ඇවිළ යන විරෝධයේ ගිනි දැල් නිර්මාණය කරන්නට සමත් විය.

මරණයට පෙර, ඔහු විසින් ලයන ලද මෙම කෙටි සංවේගජනක ලිපිය අප සිංහලට නඟා පළ කරනුයේ ඉන්දියාව වෙළා ගනිමින් පවතින විරෝධතා රැල්ල මුල්කොටගෙන මතුවන නව දේශපාලන ප්‍ර‍වණතා පිළිබඳ විශ්ලේෂණයක් සඳහා අත්‍යවශ්‍ය පූර්විකාවක් වශයෙනි.  - සංස්කාරක කමිටුව

පරිවර්තනය: සුභාෂිණී චතුරිකා


සුබ උදෑසනක්,

ඔබ මේ ලිපිය කියවන විට මා  ඔබ සමීපයේ නොසිටිනු ඇත. මා සමඟ උරණ නොවන්න. ඔබලාගෙන් සමහරෙකු සැබවින්ම මා පිළිබඳ මහත් උවමනාවෙන් සොයා බැලූ බව ද, මට ආදරය කළ බව ද සහ මට හොඳින් සැලකූ බව ද මම දනිමි.

මා කිසිවෙකුට එරෙහිව චෝදනා නඟන්නේ නැත. නිරන්තරයෙන්ම ප්‍රශ්නය තිබුණේ මා තුළ ය. මාගේ අධ්‍යාත්මයත්, භෞතික සිරුරත් අතර විශාල වෙමින් පැවති හිදැසක් ඇති බව මට දැනෙයි. මා භීමරූපි සත්ත්වයකු බවට පෙරළී තිබේ.

මට නිතරම උවමනා වූයේ ලේඛකයකු විමට ය.  කාර්ල් සේගන් වැනි විද්‍යා ලේඛකයකු වීමට ය. අවසානයේ දි, මෙය මම ලියන්නට යෙදුණු එකම ලිපිය බවට පත් විය.

මම විද්‍යාවට, තාරකාවලට සහ සොබා දහමට ආදරය ‍කළෙමි, අනතුරුව මිනිසුන් සොබා දහමින් වියෝ වූ බව නොදැනම, මම මිනිසුන්ට ද ආදරය කළෙමි. අපගේ හැඟීම් අමෞලික දෑය. අපගේ ආදරය නිර්මිතයකි. අපගේ විශ්වාස වර්ණ ගැන්වි තිබේ. අපගේ නව්‍යත්වය ඇගයෙන්නේ කෘත්‍රීම කලාවන් තුළය. හිත් වේදනාවන්ගෙන් තොරව ආදරය කිරීම සැබවින්ම දුෂ්කර ය.

මිනිසෙකුගේ වටිනාකම ලඝු කෙරී ඇත්තේ ඔහුගේ සමීපතම අනන්‍යතාවට සහ  ආසන්නතම ශක්‍යතාවට ය. ඡන්දයකට ය. ඉලක්කමකට ය. අජීවී ‘දෙයකට‘ ය. මනසක් ඇත්තෙකු ලෙස මිනිසාව කිසි දිනක සැලකිල්ලට ගෙන නැත. තාරකා රැසින් සැදි මහිමාන්විත අයෙක් ලෙස මිනිසා නොසැළකේ. සෑම ඉසව්වකම හැදෑරීම් තුළත් මං මාවත් වලදීත්, දේශපාලනයේදී සහ ජීවිතය සහ මරණයේදීත්...!

මම මෙවැනි ලිපියක් ලියන්‍නේ පළමු වතාවට ය.  අවසන් ලිපියක් ලියන මගේ පළමු වතා‍ව! ඉන් කිසියම් අර්ථයක් මතු කරවීමට මා අසමත් වන්නේ නම් මට සමාවෙන්න.

මේ මුළු කාලය පුරා ලෝකය, ආදරය, වේදනාව, ජීවිතය සහ මරණය තේරුම් ගැනීමේදි මා නිවැරදි නොවන්නට ඇත. කිසිදු හදිසියක් නොවූ නමුත් මම නොතිත් කලබලයක පසුවීමි. ඒ නව දිවියක් ඇරඹීමට තිබු දැවෙන උවමනාවෙනි. සමහර මිනිසුන්ට ඒ මුළු කාලය තුළම ජීවිතය යනු ශාපයකි. මගේ උත්පත්තිය වනාහී මගේ මාරාන්තික අහම්බයයි. මගේ ළමා කා‍ලයේ මා විඳි හුදෙකලාවෙන් ගැළවෙන්නට මට කිසි කලෙක නොහැකි ය.  ම‍ගේම අතීතයේ හුන් අගය කිරීමකට පාත්‍ර නොවු සිඟිත්තා!

මම මේ මොහොතේ වේදනාවෙන් පසු නොවෙමි. තැවුල් සිත් නැත්තෙමි. නමුත් මා මුළුමණින්ම හිස් ය. ඒ මා කෙරෙහිම වූ නොසැළකිල්ලෙනි. එය ශෝක ජනක ය. මා මේ පියවර ගන්නේ එබැවිනි.

මා මිය ගිය පසු, මිනිසුන් මා බිය සුල්ලෙකු යැයි ද, ආත්මාර්ථකාමියෙකු හෝ මුග්ධයෙකු යැයි ද කියනු ඇත. මා කෙසේ හඳුන්වනු ඇති ද යන්න ගැන මම වද නොවෙමි. අවතාර, භුතාත්ම හෝ මරණින් පසු කතා ගැන මා විශ්වාස කරන්නේ ද නැත. මා විශ්වාස කරන කිසියම් හෝ දෙයක් වේ නම්, ඒ වනාහී මට තාරකා කරා ගමන් කළ හැකි වනු ඇති බව පමණි. වෙනත් ලෝක පිලිබඳව දත හැකිවනු ඇතැයි පමණි.

මේ ලිපිය කියවන ඔබට, මා වෙනුවෙන් යමක් කළ හැකිව තිබේ නම්, ඒ වනාහී මට හිමි විය යුතු එක් ලක්ෂ හැත්තැපන්දහසක් වන මාස හතක හිඟ ශිෂ්‍යත්ව දීමනාව ලබා ගැනීමයි. කරුණාකර එය මගේ දෙමව්පියන්ට ලැබෙන බවට වග බලාගන්න.  රාම්ජි ට හතලිස් දසහක් වැනි මුදලක් පෙරළා දීමට තිබේ. ඔහු එය කිසිදිනක ආපසු ඉල්ලා නැත.  කරුණාකර මට ලැබිය යුතු හිඟ ශිෂ්‍යත්ව මුදලින් එය ගෙවා දමන්න.

මගේ අවමංගල්‍යය නිහඬව සහ සන්සුන් ලෙස සිදු වීමට ඉඩ හරින්න. මා හිටි හැටියේ  මතුවී  එකවර අතුරුදහන් වුවාක් මෙන් සළකන්න. මම ජීවත්ව සිටියදීට වඩා මිය ගොස් ඇති විට සතුටින් සිටින බව දැන, මා වෙනුවෙන් කඳුළු නොසලන්න.

“සෙවණැලි වලින් තාරකා වෙතට!”

උමා අයියා, මේ  සඳහා ඔබගේ කාමරය භාවිතා කළාට සමා වන්න.

ඒ. එස්. ඒ පවුලේ අය වෙත, ඔබලාගේ බලාපොරොත්තු කඩකිරීම පිළිබඳ සමාවන්න. ඔබ සියල්ලෝ මට මහත් සේ ආදරය ක‍ළෝය.  සුබ අනාගතයක් සඳහා මම සියළු ප්‍රාර්ථනා කරමි.

එක් අන්තිම වතාවක් : ජායි භීම්!*

පලි: සුපුරුදු උපචාරයන්ට අනුකූලව ලිවීමට මට අමතක විණ. මා දිවි තොරකර ගැනීමට අදාළ අන් කිසිවෙකු වගකිව යුතු නොවේ. කිසිවකු, ඔවුන්ගේ ක්‍රියාවෙන් හෝ වචනයෙන් මේ ක්‍රියාව සඳහා මට පෙළඹවීමක් කළේ ද නැත. මෙය මගේ තීරණයක් වන අතර මෙයට වග කිව යුත්තේ මා පමණි.  මා මිය ගිය පසු මගේ මිතුරන්ටවත්, මගේ සතුරන්ටවත් මේ නිසා කරදර නොකරන්න.☐

* ජායි භීම් යන්න භීම්රාඕ රාම්ජී අම්බෙඩ්කාර් හෙවත් බාබාසහේබ් වෙතින් අනුප්‍රාණ ලද ඉන්දියානු දලිත් ප්‍රජාව අතර සුලභ සමාචාර යෙදුමකි. එහි වාච්‍යාර්තය, ‘භීම්ට (ආචාර්ය අම්බෙඩ්කාර්ට) ජය‘ යන්නයි.

© JDS



left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.