JDS Sinhala

ෂාලි එබ්දෝ, ප්‍රකාශන නිදහස සහ කපටි ආරක්‍ෂකයෝ

වම වශයෙන් දොළොස් දෙනෙක් ජීවිතක්‍ෂයට පත් කරමින් ප්‍රංශයේ ෂාලි එබ්දෝ (Charlie Hebdo) කාටූන් සඟරා කාර්යාලයට ප්‍රහාර එල්ල වූයේ මේ අවුරුද්දේ ජනවාරි 07 වෙනිදා ය. සිව් දිනක් ඇවෑමෙන්, ජනවාරි 11 වෙනිදා ප්‍රකාශන නිදහස වෙනුවෙන් සහයෝගීතාව පලකරනු වස් රාජ්‍ය නායකයින් 44 දෙනෙක් පැරිස් නගරයේ වීදි ඔස්සේ නිහඬව ගමන් කළහ.

ප්‍රකාශන අයිතිය ආරක්‍ෂා කිරීමේ අරමුණින් යුතු අසාමාන්‍ය ගෝලීය සහයෝගීතාවක් ලෙස ප්‍රධාන ධාරාවේ බටහිර මාධ්‍ය විසින් උත්කර්ශයට නංවන ලද පැරිස් විරෝධතාව පිටුපස වෙනත් කතාවක් තිබිණ.  වැඩි දෙනෙකු අවධානයට නොගත් ඒ කතාව ලන්ඩන් ආර්ථික විද්‍යා පාසැලේ අප්‍රකට ශිෂ්‍යයෙකු ට්වීටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ කීවේය. ප්‍රකාශන නිදහසට ප්‍රදර්ශනාත්මකව කැප වූ රාජ්‍ය නියෝජිතයන් අවම  වශයෙන් 21 දෙනෙකු තම තමන්ගේ රටවල අදහස් පළ කිරීමේ අයිතිය ආරක්‍ෂා කරන්නට කැපව ඇති අයුරු පෙන්වනු වස් ඔහු - ඩැනියෙල් විකම් - කළ ගවේෂණාත්මක අනාවරණය වැදගත් ප්‍රශ්නයක් මතු කරයි: ජනමාධ්‍යයේ ප්‍රදර්ශනාත්මක ආරක්‍ෂකයින්ගෙන් ප්‍රකාශන අයිතිය රැක ගන්නට සමත්වන්නෝ කවරහුද?

ට්වීටර් ඔස්සේ ඩැනියෙල් විකම් හා සම්බන්ධ වන්නට @DanielWickham93 මගින් පුළුවන.

ඩැනියෙල් විසින් සම්පිණ්ඩනය කරන ලද වාර්තාව පහත පරිදි ය.


1. ජෝර්ජියානු අගමැති සහ බල්ගේරියානු අගමැති.
ජෝර්ජියාවේ තිබිලිසි නුවර දී ආණ්ඩු විරෝධී විරෝධතාවක් වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යවේදීන් හමුදා හා පොලිසිය විසින් පහරදී රඳවා තබා ගන්නා ලදී. බල්ගේරියාවේ සොෆියා නුවර පාර්ලිමේන්තුවෙන් පිටත විරෝධතාවක් වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යවේදීන් පිරිසකට එරෙහිව පොලිස් ප‍්‍රහාරයක් දියත් විය.

2. ජොර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජු.
ජෙරුසලම් පෝස්ට් පුවත්පතට මතවාදී තීරු ලිපි ලියන පලස්තීන වාසී ජොර්දාන් බුද්ධිමතකු, දේශපාලනඥයකු හා ලේඛකයකු වන මුඩාර් සාරාන් (Mudar Zahran) හට ජොර්දානය පසුගිය වසරේ දී බරපතල වැඩ සහිතව වසර පහළොවක සිරදඬුවම් නියම කළේ ය.

3. රුසියානු විදේශ ඇමැති සෙර්ගේයි ලව්රොව් (Sergey Lavrov).
ජනමාධ්‍ය භාවිතාව තුළින් ‘‘රජයේ සේවකයකුට අපහාස කිරීමේ’’ වරදට රුසියාව පසුගිය වසරේ දී සයිබීරියානු ජනමාධ්‍යවේදී හා බ්ලොග් රචක දිමිත‍්‍රි ෂිපිලොව් (Dmitry Shipilov) සිරගත කළේ ය.

4. ඊජීප්තු විදේශ ඇමැති සමේ ෂුක්රි (Sameh Shoukry).
ඊජීප්තු ඡායාරූප මාධ්‍යවේදී මහමුඩ් අබු සීඩ් (Mahmoud Abou Zied) හෙවත් ෂෝකාන් (Shawkan) දින 500ක පමණ කාලයක්  තිස්සේ රැඳවුම් භාරයේ තබාගෙන සිටී. ජනමාධ්‍යවේදීන්ට තෙවැනියට මාරාන්තික රට වශයෙන් CPJ විසින් 2013 දී ඊජීප්තුව  හඳුනාගනු ලැබූ අතර, වැඩිම ප‍්‍රමාණයක් ජනමාධ්‍යවේදීන් සිරගත කොට ඇති රටවල් 10 අතරින් එකක් ලෙසද නම් කළේ ය.

5. ඊශ‍්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු.
දේශසීමා රහිත මාධ්‍යවේදියෝ (RSF) වාර්තා කරන පරිදි ඊශ‍්‍රායෙල් හමුදා පසුගිය වසරේ ගාසා තීරයේ දී ජනමාධ්‍යවේදීන් 7 දෙනකු ඝාතනය කර ඇති අතර 2014 වසරේ ජනමාධ්‍යවේදී ඝාතන අතරින් මෙම සංඛ්‍යාව දෙවැනි වන්නේ ජනමාධ්‍යවේදීන් 15ක් ඝාතනය වූ සිරියාවට පමණි.

6. ඇල්ජීරියානු විදේශ ඇමැති රම්ටාන් ලමම්රා (Ramtane Lamamra).
ඇල්ජීරියානු රජය ජනමාධ්‍යවේදී අබ්ඩෙසාමි අබ්ඩෙලායි (Abdessami Abdelhai) මාස 17කට ආසන්න කාලයක් තිස්සේ චෝදනා විරහිතව රැඳවුම්භාරයේ තබාගෙන සිටී.

7. ටියුනීසියානු අගමැති මේඩි ජොමා (Mehdi Jomaa).
ෆේස්බුක් සමාජ ජාලයේ පලකළ ලිපි මාලාවකින් යුද හමුදාව අපකීර්තියට පත්කිරීමේ චෝදනා නගා ටියුනීසියානු බ්ලොග් රචක යසීන් අයාන් (Yassine Ayan) පසුගිය නොවැම්බරයේ වසර තුනක සිර දඬුවමකට යටත් කරන ලද අතර ටියුනීසියානු හමුදා අධිකරණය විසින් පසුගිය දා එම දඬුවම තහවුරු කරන ලදී.

8. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ඇමැති අබ්දුල්ලා බින් සයෙඞ් අල් නායාන් (Abdullah bin Zayed Al Nahyan).
පසුගිය වසරේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊජිප්තු ජනමාධ්‍යවේදී අනාස් ෆෞඩා (Anas Fouda) චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව පුරා මසක් බාහිර සම්බන්ධතා පැවැත්වීම අවහිර කොට සිරඅඩස්සියේ රඳවා තබන ලදී.

9. තුර්කි අගමැති අහ්මෙත් දව්තෝග්ලූ (Ahmet Davutoğlu).
2012-13 දෙවසර සලකා බැලීමේදී, ජනමාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුවට (CPJ) අනුව තුර්කිය යනු ලොව අන් කිසිදු රටකට වඩා ජනමාධ්‍යවේදීන් සිරගත කොට ඇති රටයි.

10. මාලි ජනාධිපති ඊබ‍්‍රහීම් බෝබකාර් කේටා (Ibrahim Boubacar Keita).
ගාවු ප‍්‍රදේශයේ හමුදා සොල්දාදුවන් සිදුකරන මානව හිමිකම් උල්ලංඝන හා ඝාතන ගැන වාර්තා කරමින් සිටි ප‍්‍රංශ නිදහස් මාධ්‍යවේදිනියක 2013 දී මාලී යුදහමුදා විසින් බලෙන් පිටුවහල් කරන ලදී.

11. නේටෝ සංවිධානයේ මහලේකම්.
නේටෝව විසින් 1999 දී සර්බියානු රාජ්‍ය ගුවන්විදුලි හා රූපවාහිනී ගොඩනැඟිල්ලට හිතාමතා එල්ල කළ බෝම්බ ප‍්‍රහාරයෙන් ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් 16 දෙනකු ඝාතනය වූ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් හා වගවීමේ ක‍්‍රියාවලියක් මේ දක්වාත් සිදුවී නැත. ජනයාගේ සහ සන්නද්ධ හමුදාවල චිත්ත ධෛර්යය බිඳහෙළීමේ අරමුණින්, ප‍්‍රචාරකවාදී කි‍්‍රයාදාමයක නියැලූණු ‘රේඩියෝ ටෙලිවිෂන් සර්බියා’ (RTS)  තමන් හිතාමතාම ඉලක්ක කළ බව නේටෝ නිලධාරීහු 2000 වසර මුල දී තමන්ට තහවුරු කළ බව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය  (Amnesty International) කීවේ ය. ප‍්‍රහාරය අවස්ථාවේ ගොඩනැගිල්ලේ 200ක පිරිසක් සේවයේ නියුතුව සිටිතැ'යි නේටෝව ගණන් බලා තිබිණි.

11. බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්.
එඞ්වඞ් ස්නෝඩන් විසින් සපයන ලද ලේඛන ඇතුළත් පරිගණක දෘඪතැටි විනාශ කිරීමට බි‍්‍රතාන්‍ය බලධාරීහු 2013 අගෝස්තුවේදී 'ද ගාඩියන්' පුවත්පතට බලකළහ. බුද්ධි අංශ නිලධාරීන්ගේ සුපරීක්ෂාව යටතේ පුවත්පත් කාර්යාලයේ බිම්මහලේ දී සිදු වූ මෙම බලහත්කාරී ලේඛන විනාශකිරීම, ලෝකයේ වඩාත්ම නිදහස් ජනමාධ්‍ය ඇතැයි උදම් අනන රටක තොරතුරු නිදහස අතිශය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව RSF  මහලේකම්වරයා කියා සිටියේය.

13. එක්සත් ජනපද නීතිපති එරික් හෝල්ඩර් (Eric Holder).
මිසෝරි හි ෆර්ගියුසන් නගරයේ සුදු පොලිස් නිලධාරියකු විසින් පසුගිය අගෝස්තුවේ කළු ජාතික මයිකල් බ‍්‍රවුන් තරුණයා වෙඩිතබා ඝාතනය කිරීම හා ඊට සම්බන්ධ සිදුවීම් වාර්තා කරමින් සිටි වොෂින්ටන් පෝස්ට්  වාර්තාකරු ලෙස්ලි ලෝවරි (Wesley Lowery) ෆර්ගියුසන් පොලිසිය විසින් අඩන්තේට්ටම් කොට රඳවා තබා ගන්නා ලදී.

14. පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් (Mahmoud Abbas).
තමන්ට අපහාස කළේ යයි චෝදනා කරමින් ජනාධිපති අබ්බාස්, ජනමාධ්‍යවේදීන් කිහිප දෙනකුම සිරගත කළේය. සිරියානු රූපවාහිනී මාලා නාටකයක දුෂ්ටයාගේ චරිතයට අබ්බාස්ගේ මුහුණ සමාන කරමින් ෆේස්බුක් අඩවියේ පින්තූර පළකිරීමේ වරදට 2013 වසරේ දී ඔහු ජනමාධ්‍යවේදියකුටත්, වෙනත් ෆේස්බුක් පින්තූරයක් සම්බන්ධයෙන් තවත් පුද්ගලයකුටත් වසර බැගින් සිරදඬුවම් ලබා දුන්නේය. අබ්බාස් පිළිබඳ විවේචනාත්මක අදහස් හා විහිළු ෆේස්බුක් හි පලකිරීම නිසා 2012දී ද බටහිර ඉවුරේ හමුදාවෝ පලස්තීන ජනමාධ්‍යවේදීන් ගණනාවක් රඳවා තබාගත්හ.

15. කටාරයේ මොහමඩ් බෙන් හමාඩ් බෙන් කාලිෆා අල් තානී ෂෙයික්වරයා (Sheikh Mohamed Ben Hamad Ben Khalifa Al Thani).  
අරාබි වසන්තය උදාවේ, ගල්ෆ් කලාපය පුරා ආණ්ඩු විවේචනය කරමින්, ‘පිච්චමල් කවිය’ (Jasmine poem) නමින් කවියක් ලියා පලකළ මොහමඞ් රෂීඩ් අල්-අජාමි (Mohamed Rashid al-Ajami) නම් තරුණ කවියා කටාර් අධිකරණය විසින් 15 වසරකට දඟගෙට යවනු ලැබී ය.

16. බහරේන් විදේශ අමාත්‍ය කාලිඩ් බින් අහමඩ් අල් කාලිෆ් (Khalid bin Ahmed Al Khalifa).
වැඩිම ජනමාධ්‍යවේදීන් පිරිසක් සිරගත කොට ගෙන සිටින රටවල් අතර බහරේනය 11 වැනි තැන සිටියද, එහි වෙසෙන ලක්ෂ 13ක් තරම් ඉතා සුළු ජනගහනය හේතුවෙන්, ජනගහනයේ ප‍්‍රතිශතයක් වශයෙන් ගත් කල සිරගත ජනමාධ්‍යවේදීන් දෙවැනි වන්නේ එරිත‍්‍රියාවට පමණක් බව (CPJ) පවසයි. ඒ අනුව රටේ සෑම දශලක්ෂයකින්ම මාධ්‍යවේදීන් 2.8ක් සිටින්නේ සිරගතවය.

17. පෝලන්ත අගමැතිනී ඒවා කොපට්ච් (Ewa Kopacz).
පෝලන්ත බුද්ධි අංශ නිලධාරීහු පසුගිය ජුනි මාසයේ වෝර්සෝ හි ‘ෆ්ප්රොස්ට්’ (Wprost)  සඟරා මූලස්ථානය වැටලූයේ ආණ්ඩු පක්ෂය අපහසුතාවට පත්කරන ‘හඬපට’ අල්ලාගනු පිනිසය. වැටලීමට දින තුනකට පෙර 'රහසිගතව පටිගත කරන ලද දේශපාලනඥයන්ගේ සංවාද මාලාවක පළමුවැන්න’ ලෙස හැඳින්වූ හඬපටයක විස්තරාත්මක වාර්තාවක් 'ෆ්ප්රොස්ට්' සඟරාව පලකළේ රට තුළ දේශපාලන භූමිකම්පාවක් ඇතිකරමිනි.

18. අයර්ලන්ත අගමැති එන්ඩා කෙනී (Enda Kenny).
දේවාපහාසය අයර්ලන්තයේ සාපරාධී වරදකි.

19. ස්ලෝවේනියානු අගමැති මිරොස්ලාව් ට්සෙරාර් (Miroslav Cerar).
විවාදාත්මක දෑ ලියන ජනප‍්‍රිය බ්ලොග් රචක මිට්ජා කුන්ස්ටෙජි (Mitja Kunstelj) හට ස්ලෝවේනියන් අධිකරණය 2013 දී සයමස් සිරදඬුවමක් ලබාදුන්නේ ය. චෝදනාව වූයේ ඔහු සිය බ්ලොගයෙන් තවත් ජනමාධ්‍යවේදීන් දෙදෙනකුට ‘සාපරාධී ලෙස අපහාස කිරීම'යි.

20. ගී‍්‍රක අගමැති අන්තොනියෝ සමරාස් (Antonis Samaras).
ඇතන්ස් නගරයේ පසුගිය ජුනි මාසයේ දී පැවැති මුදල් අමාත්‍යාංශයේ නඩත්තු සේවකයන් පනස් දෙනකුගේ පමණ සාමකාමී විරෝධතාවක් වාර්තා කිරීමට ගිය ඡායාරූප මාධ්‍යවේදිනියකට හා තවත් මාධ්‍යවේදියකුට ග‍්‍රීක කැරලි මර්දන පොලීසිය විසින් පහර දී තුවාල සිදුකරනු ලැබීය.

21. ප‍්‍රංශයේ සවුදි තානාපති.
පසුගිය සිකුරාදා, එනම් 2015 ජනවාරි 10 වැනිදා සව්දි බ්ලොග් රචකයකු වන රයිෆ් බඩාවි (Raif Badawi) හට ඔහුගේ දඬුවමට නියමිත පළමු කසපහර 50 එල්ලකරන ලදී. ඒ සිකුරාදා යාඥාවලින් අනතුරුව ජෙඩා නගරයේ ප‍්‍රසිද්ධ චතුරශ‍්‍රයක දී සිය ගණනක් නරඹන්නන් ඉදිරිපිටදීය. බඩාවි සිය බ්ලොගය ඔස්සේ සව්දි අරාබියේ බලගතු පූජකයකු විවේචනය කළේ ය. මෙතැන් පටන් කසපහර 1,000ක් සපිරෙන තුරු, සතියකට වතාවක් පහර 50 බැගින් සති 20ක් පුරා ඔහු කසතැලූම් කෑමට නියමිත ය. මීට අමතරව දස වසරක සිර ගත කිරීමක් හා රියාල් මිලියනක (ඇ.ඩොලර් 266,600ක පමණ) දඩයක් ද ඔහුගේ දණ්ඩනයට ඇතුලත්ය.

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.