JDS Sinhala

ග්‍රීක මැතිවරණය: යුරෝපා ආර්ථික වියගසින් ගැළවුම් මාවතක්?

යුරෝ කලාපයේ අර්බුදයක්' 'ග්‍රීසිය යුරෝපා සංගමයෙන් දොට්ට වැටීමේ අවදානමක්' සහ 'තවත් යුරෝපා ණය අර්බුදයක්' ආදී ලෙසින් බහුතර බටහිර ජනමාධ්‍ය ඉකුත් වසර අග දී පාඨකයා බිය ගැන්වුයේ රාජ්‍ය නායකයකු පත් කර ගැනීමට අසමත් වූ ග්‍රීක පාර්ලිමේන්තුවට බල කෙරුණු ජනවාරි 25 හදිසි මැතිවරණයෙන් සුබසාධන කප්පාදු විරෝධී පක්ෂයක් බලයට පත් වනු ඇතැයි නිමිති පහල වීමත් සමගයි.

ග්‍රීක පාර්ලිමේන්තුව මේ තීන්දුව ගතහොත් රට 'බංකොලොත් භාවයට හා අස්ථාවර භාවයට පත්වී යුරෝ මුදල් ඒකකයෙන් පිටමං කිරීමේ' අවදානමට ලක්වනු ඇති බවට ජාත්‍යන්තර මුල්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබියදී එය නොතකා මන්ත්‍රී වරු ඡන්දය පාවිච්චි කළහ. රටේ ජනාධිපති ධුරයට හිටපු යුරෝපා සංගම් කොමසාරිස් ස්ටව්රෝස් දීමාස් (Stavros Dimas) පත් කර ගැනීමට දක්ෂිණාංශික නව ප්‍රජාතන්ත්‍රවාදී රජයේ අගමැති අන්තෝනිස් සමාරාස් (Antonis Samaras) ගත් උත්සාහය තුන් වතාවක්ම අසාර්ථක විය.

මේ තාක් පැවති රාජ්‍ය වියදම් කපා හැරීමේ කිරීමේ ප්‍රතිපත්තිය දුරීභූත කරන බවට මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමගම සපථ කළ සිරීසා (SYRIZA) යනුවෙන් පතල රැඩිකල් වමේ සන්ධානයේ සටන්කාමී නායක ඇලෙක්සිස් සීප්රාස් (Alexis Tsipras) පැවසුවේ ආණ්ඩුවේ තර්ජන හා බිය ගැන්වීමේ උපාය මාර්ග පරාජය වූ බවයි. "පටි තද කර ගැනීම අවසානයි. අනාගතය ආරම්භ වී තිබේ," යනුවෙන් ඔහු පැවසීය. මේ යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයෙන් ග්‍රීසිය ජයගත් අක්ෂයේ නායකයායි.

මැතිවරණ සමයේදී වාද විවාද වලට තුඩු දෙනු ඇත්තේ ග්‍රීසිය ට දී ඇති ඩොලර් බිලියන 290 කට ආසන්න ණය සඳහා පනවා ඇති දැඩි කොන්දේසි පිලිබඳ ගැටළු පමණක් නොවේ. සකල යුරෝ කලාපීය ජනතාවම තද කොට බැඳ ඇති පටි ගැලවීම පිළිබඳ සාකච්ඡාවයි.

ඡන්දය ප්‍රකාශයට පත් කිරීමත් සමග ග්‍රීක කොටස් වෙළෙඳපල එක් වතාවකදී 10% කින් පහත වැටුනේ ආයෝජක ප්‍රජාවේ සසල වීම විදහා දක්වමිනි. යුරෝපයේ කම්පනය සනිටුහන් වුයේ යුරෝපා සංගමයේ රටවල ආර්ථිකය ජව ගැන්වීම සඳහා මුදල් අච්චු ගැසීමට සිදුවනු ඇති බවට යුරෝපා මහා බැංකුවේ සභාපති මාරියෝ ද්රාගි (Mario Draghi) විසින් අඟවනු ලැබීමත් සමගම 2010 මැද භාගයෙන් පසු ලද අඩුම අගය කරා යුරෝ මුදල් ඒකකය පහත වැටීමෙනි.

වෙළෙඳපල හා ජනී ජනයා

මුල්‍ය වෙළෙඳපල පහත වැටුණු බව ඇත්තකි. එහෙත්, සිරීසා සන්ධානය ජය ගනු ඇතිය යන බලාපොරොත්තුව පොදු ජනයා තුළ මහත් උද්‍යෝගයක් දල්වා තිබේ. ප්‍රකට දේශපාලන විශ්ලේෂක ඔවන් ජෝන්ස් (Owen Jones) මාධ්‍යවේදියා බ්‍රිතාන්‍යයේ පලවන 'ගාඩියන්' පුවත්පතේ ලියා තිබුනේ ඡන්දයෙන් ජය ගැනීමට සිරීසා සමත් වෙතොත්, යුරෝපය පුරාම සුබවාදී පලවිපාක උදා වෙනු ඇති බවයි.

ග්‍රීසියේ ජනප්‍රිය ඇල්ෆා රූපවාහිනිය විසින් කරන ලද ජනමත විචාරණයකින් පෙන්නුම් කෙරුණේ මැතිවරණයකින් සිරීසා පක්‍ෂය සියයට 28.1 ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගනු ඇති බවයි. ඒ පාලක නව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය ලබාගන්නා සියයට 25.1 ට එරෙහිව ය. පාලක පක්ෂය සතියක් තුළදී සියයට හතරකට ආසන්න ප්‍රමාණයකින් ජනප්‍රිය භාවයෙන් අහිමි කොටගෙන තිබේ.

උදා වූ වසරේ දී සිරීසා පක්‍ෂය ජය ලදොත් 1936 ස්පාඤ්ඤයේ මහජන පෙරමුණ බලයට පත් වීමෙන් පසු යුරෝපයේ පිහිටුවන මුල්ම වැඩ කරන ජනතා රජය වනු ඇති බව යුද විරෝධී ව්‍යාපාරයේ ක්‍රියාධර ඇන්ඩ්රූ බර්ජින් (Andrew Burgin) ගේ විශ්වාසයයි.   එහෙත්, 'ඒ අත් හදා බැලී‍ම තිඹිරි ගේ තුළදීම ගෙළ හිර කොට දමන්නට සාමුහික උත්සාහයක් දරනු නිසැක,' බවට ඔවන් ජෝන්ස් අනතුරු අඟවයි. එසේ වෙතොත් එය ග්‍රීසියට පමණක් නොව, වසර ගණනාවක පටි තද කර ගැනීමෙන් මිදුණු වෙනස් ආකාරයක සමාජයක් ඉල්ලා සිටින සැමටම බලපානු ඇති බවට ඔහු බිය පළ කරයි.

මුල්‍ය තුන් කට්ටුව

යුරෝපා සංගමය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා යුරෝපා මහ බැංකුව යන තුන් කට්ටුවේ වසර ගණනාවක දැඩි කප්පාදු කොන්දේසි වලින් සිදු කොට ඇත්තේ ග්‍රීක කම්කරුවන් රැකියා වලින් දොට්ට දමා විරැකියාව ඉහල නංවා සමාජ සුබ සාධනය පහල දැමීමයි. ආර්ථික වර්ධනය සියයට 25 කින් පහත වැටී ඇති අතර දස දහස් සංඛ්‍යාත ජනකායකට සෞඛ්‍ය සේවා අහිමි කොට තිබේ. වැටුප් 30% කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් කප්පාදු කොට ඇති අතර නිවාස අහිමි වන්නන්ගේ සංඛ්‍යාව බරපතල ලෙස ඉහළ ගොස් තිබේ. ඖෂධ සඳහා වන ප්‍රතිපාදන වලින් 70%ක්ම කපා දමා ඇති තැන එන්නත් නැති කමින් මැලේරියා රෝග වසංගතයක් පැතිර යමින් පවතී. පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ නොමැති ගැබිණි මව්වරුන් රෝහල් වලින් ආපසු හරවා යවනු ලබන්නේ ඇතැම් විට දරු ප්‍රසුතිය ආසන්නයේදී ය. ග්‍රීක තරුණ තරුණියන් දහ දෙනකු ගත හොත් ඉන් හය දෙනකුම ඉන්නේ විරැකියාවෙනි.

වසර ගණනාවක් තිස්සේම තමන් පෙළන පීඩාවට එරෙහිව කප්පාදු විරෝධී ලක්ෂ සංඛ්‍යාත ජනයා විරෝධතාවල නිරත වී තිබේ. ආණ්ඩුව විසින් උද්ඝෝෂකයන් 'මොට්ට මැරයන් රැලක්' ලෙස හඳුන්වද්දී ජාත්‍යන්තර ජන මාධ්‍ය ද එයම ප්‍රතිරාවය කළේය. පැය 24ක රජයේ සේවක වැඩ වර්ජනයක් හා බැඳුනු දැවැන්ත මහජන උද්ඝෝෂණයකින් 2014 ජූලිය දෙදරුම් කෑවේ මුල්‍ය තුන් කට්ටුවේ පරීක්ෂකයන් පිරිසක් විගණනයක් සඳහා ග්‍රීසියට පැමිණ සිටියදීය. ග්‍රීක අරගලයට සහාය පිණිස යුරෝපය පුරා දැවැන්ත උද්ඝෝෂණ කැටුව ගත් සහයෝගිතා ව්‍යාපාර සංවිධානය කෙරුනි.

ජනතා හිතවාදී ප්‍රතිසංස්කරණ

මුල්‍ය තුන් කට්ටුව ග්‍රීසිය මත පනවා ඇති ණය කොන්දේසි නැවත සාකච්ඡා කොට ජනතා හිතවාදී සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙන එන බව සිරීසා පක්‍ෂය පවසයි. සිරීසා රජයක් යටතේ යුරෝපා මුල්‍ය ඒකකයෙන් ග්‍රීසිය ඉවත් වෙතැයි බිය වීමට කරුණක් නැතැ'යි පක්ෂයේ ආර්ථික උපදේශක ජෝන් මිලියෝස් (John Milios) අඟවා තිබේ. එසේ වෙතත්, පක්ෂයේ පොරොන්දුව වී ඇත්තේ කඩිනමින් ආහාර හා සෞඛ්‍ය සේවා සම්පාදනයත්, වැටුප් හා විශ්‍රාම වැටුප් ඉහළ දැමීමෙන් ණය බර අඩු කිරීමත් ය. එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බැඳෙන රජයක් පිහිටුවීමේ විභවයක් සහිත පක්ෂයක් මැතිවරණයට තරග වැදීම පවා යුරෝපය පුරා ජනතා බලාපොරොත්තු දල්වන අතර එයම ලක්ෂ සංඛ්‍යාත ජනකායකට ක්‍රියාකාරී ජවයක් සපයනු ඇති බව ඇන්ඩ්රූ බර්ජින් ගේ විශ්වාසයයි.

ග්‍රීසියේ මැතිවරණයත් සමගින් උදා වූ 2015 කප්පාදුව යුරෝපාකරය පුරා පරාජයට ලක්වන වසර වන්නට බොහෝ ඉඩ ඇති බව පවසන ඔවන් ජෝන්ස්, ඒ අලුත් අවුරුද්දම ආර්ථික වියරුව ට එරෙහිව එල්ලවුණු ප්‍රජාතන්ත්‍රවාදී අභියෝගයේ ගෙල සිර කෙරෙන වසර විය හැකි බවටත් අනතුරු අඟවයි.

එය තීන්දු කෙරෙනු ඇත්තේ ජය ලදොත් ඉන් අනතුරුව ග්‍රීසියට දුන් පොරොන්දු ඉටු කරන පක්ෂයක් බවට සිරීසා පත් වීමෙන් පමණක් නොවේ. තමන්ගේ ඉල්ලීම් සපුරා ලන ආණ්ඩුවක් පත් කර ගැනීමට කළ අරගලය ඒ ඉටුවන තුරු ග්‍රීක ජනතාව විසින් පවත්වාගෙන යන තරමටය; ජන ජීවිත වනසන කොන්දේසි පැනවූ මුල්‍ය තුන් කට්ටුවේ අනිකුත් සාමාජික රටවල ජනතාව නව ග්‍රීක රජයේ කප්පාදු විරෝධී පිළිවෙත වෙනුවෙන් පෙනී හිඳිමින්, ග්‍රීසියේ පමණක් නොව, සකල යුරෝපයේම ණය කන්දරාව කපා හරින්නට කරන බලපෑමේ පමණට ය. එය යුරෝපයේ ඔබ්බෙහිද, ණය බරින් දැවෙන ලොව අන් සෑම දේශයකම ජනතාවගේ බලාපොරොත්තු සනහාලන ජල දහරාවක් වනු නියතය.

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.