JDS Sinhala

කේප්පාපුලවු තුන් අවුරුද්ද: 'අපේ මිනී පිට්ටනියත් හමුදාව අල්ලාගෙන'

කේප්පාපුලවු ඉඩම් ප්‍රශ්නය යනු, තමන්ගේ මිතුරන් වන කොළඹ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් අතිශයෝක්තියට නගන ලද පවුල් 56ක ප්‍රශ්නයක් බැව් උතුරේ ආණ්ඩුකාර සුරේන් රාඝවන් 'ඉරිදා ඔබ්සර්වර්' පත්‍රය කියා තිබුණේ පෙබරවාරි මුල් සතියේදී ය. විසඳුමක් සොයනු වෙනුවට ඔවුන් එක් පැත්තක් අවුළුවන බවට ඔහු චෝදනා කර තිබිණ. නමුත් ඒ ප්‍රශ්නය වෙනුවෙන් 2017 මාර්තු මාසයේ සිට දෑවුරුද්දක් සටන් කොට තුන්වැනි අවුරුද්ද අරඹන්නේ උතුරේ ආණ්ඩුකාර රාඝවන්ගේ කොළඹ මිතුරන් නොවේ - ඒ ගේ දොර, වගාබිම් අහිමි වූ ජනයා ය. පහතින් ඇත්තේ මේ සතියේදී තුන්වැනි අවුරුද්දට ප්‍රවිෂ්ඨ වන කේප්පාපුලවු ඉඩම් අරගලයේ නිරත ජනයාගේ කතාව ය. ඒ කතාව කියන්නේ ඔවුන්ම ය.

රිවර්තනය: ජීවේන්ද්‍රන් නඩරාජා  හා අතුල විතානගේ | සේයා රූ: ජෙරා තුරෙයිරාජා


බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් 'නිදහස' ලැබී 71 වසරක් පිරුණේ ඊයේ පෙරේදා ය. මහත් හරසරින් දැන් එය සමරා අවසන් ය. එහෙත් රටේ දෙමළ ජනයාගේ නිදහස පිළිබඳ ගැටළුව විසඳුමක් නොමැතිව ඉදිරියට ඇදෙමින් තිබේ. රටේ එක් පසෙක නිදහස් දිනය උත්සව ශ්‍රීයෙන් සමරන අතරේ තවත් පසෙක තමන්ගේම වූ ඉඩම්වල ජීවත්වීමේ අයිතිය ඉල්ලා ගෙනයන සටනකි. දෙවැනි වරටත් කේප්පාපුලවු ජනතාව මේ නිදහස් දිනය කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර  තිබුණේ ඒ නිසා ය. ඔවුන්ට සහයෝගය පළ කරනු වස්, විශ්ව විද්‍යාල සිසුන් ද, මානව හිමිකම් ක්‍රියාධරයන් ද, තරුණ තරුණියන් හා දේශපාලඥයෝ ද ඇතුළු විවිධ පාර්ශව මේ සටනට එක්වුහ.

කේප්පාපුලවු වනාහී මුලතිව් දිස්ත්‍රික්කයේ කාරෙයිතුරෛ පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන හතරක් (පිලක්කුඩියිරිප්පු, සුරීපුරම්, සීනියාපුරම්, කේප්පාපුලවු) ඇතුළත් ප්‍රදේශයකි. උතුරු දෙසින් කල්ලිඅඩි කුඹුරු යායත්, නැගෙනහිරින් නන්දිකඩල් කළපුවත්, දකුණු දෙසින් දෙමළ ඊළාම්  විමුක්ති කොටි සංවිධානය විසින් වගා කළ තේක්ක යායත්, බටහිරින් නාවල්අඩි වනාන්තරයත්, කේප්පාපුලවු ප්‍රදේශයට මායිම් වේ. නමුත් ඒ මීට දස වසරකට පමණ පෙරාතුව තත්ත්වය ය. අද වන විට කේප්පාපුලවු මායිම් ලෙස සටහන් වන්නේ රජයේ හමුදා කඳවුරු ය. 2009 වසරින් පසු මේ ප්‍රදේශයම රජයේ හමුදා යටතට පත් වූ අතර 2015 වසර වන තෙක්ම කේප්පාපුලවු ගම්මානයට පිවිසෙන ප්‍රධාන මාර්ග භාවිතය රජයේ හමුදාවට පමණක් සීමා කෙරිණ. කේප්පාපුලවු වෙත ජනයාට පිවිසිය හැකි වුයේ  නාවල්අඩි වනාන්තරය ඔස්සේ ය. කේප්පාපුලවු ගම්මානය රජයේ හමුදාවන්ට තෙරම් භූ උපායිකව වැදගත් ප්‍රදේශයක්ද යන්න එමගින් සනාථ වේ.

මෙහි ජීවත්වන්නෝ බහුතරය ගොවියෝ ය. ඇතැම් දෙනෙක් ධීවරයෝ වන අතර තවත් සුළු පිරිසක් ගව පාලනය, රා මැදීම, සහ ගෘහ කර්මාන්තයෙහි නියැලී සිටිති.

"අපි උදේ පාන්දරම කුඹුරට යනවා. අපේ භාර්යාවන්, ළමයි නන්දිකඩාල් ගිහින් පොල්, වී, එලවළු දීලා මාළු අරන් එනවා. පස්සේ ඒවා උයාගෙන කුඹුරට අරගෙන එනවා” 2009 ට පෙර පැවති කේප්පාපුලවු  ජනයාගේ ජීවන රටාව ගැන ආවර්ජනය කරමින් විවේකානන්දන් පවසයි. එහෙත් එ් නිදහස් ජීවන රටාව 2009 න් අවසන් විය. එක්ව ජීවත්වූ ජනයා අවසන් යුද මෙහෙයුම්වලදී කැඩී බිඳී විසිර ගිය අතර දිවි ගළවා ගත්තවුන් කදිරගාමර්, මැණික් ෆාම්, සෝන් ෆෝ වැනි කඳවුරු වෙත ගාල් කෙරුණු ජනයා 2011 යළිත් සිය ගම් කරා පැමිණියේ ජීවිතයේ බින්දුවේ සිට යළිත් ගොඩනගා ගැනීමේ බලාපොරොත්තු ඇතිව ය. එහෙත් ඔවුන්ට යළි පදිංචි වීමට සිදුවුයේ ඔවුන්ගේ මුල් ඉඩම්වල නොව, කේප්පාපුලවු  නමින් ඉදිකළ එළිමහන් සිර කඳවුරක් බඳු ආදර්ශ ගම්මානයක ය.

ඉඩම් යළි ලබා ගැනීමේ සටන

කේප්පාපුලවු ආදර්ශ ගම්මානයේ පදිංචි කරන ලද  ජනයා  තම මුල් ඉඩම්වල අයිතිය ඉල්ලා සටන ආරම්භ කළේම එසේ අවතැන්ව සිටියදී ය. ඔවුන්ගේ සටනේ එක් ජයග්‍රාහී කඩඉමක්  වුයේ පිලක්කුඩියිරිප්පු හි වාඩිලා සිටි රජයේ හමුදා ඉන් ඉවත් වීමට කරන ලද බලපෑම් සාර්ථක වීම ය. හමුදාවන් ඉවත්වීමට තීරණය කරන ලද්දේ අවතැන් ජනයා විසින් ස්වකීය ඉඩම් යළි ලබා ගැනීම සඳහා ගෙනගිය අනවරත සටන ජාත්‍යන්තර අවධානයට ලක් වීම විසින් ඇතිකරන ලද බලපෑම ය. ඊට පසු ඉඩම් නිදහස් නොකළ සෙසු පෙදෙස් වල ජනයා ද තම සටන ඉදිරියට ගෙන යාමට ධෛර්යමත් වූහ. කේප්පාපුලවු ගම හරහා දිවෙන ප්‍රධාන මාර්ගයේ වම් පස වාඩිලා සිටි හමුදා බල ඇණි ඉකුත් වසරේදී ඉන් ඉවත්ව යාමට තීරණය කරන ලද්දේ ද මෙම ධෛර්ය සම්පන්න ජනයාගේ සටන හේතුවෙනි.

දැන් සටන පවතින්නේ ප්‍රධාන මාර්ගයේ දකුණු පස පිහිටි ජනයාට අයත් ඉඩම් අක්කර 171 ක් යළි ලබා දෙන ලෙස ඉල්ලා සිටිමිනි. දැන් වනවිට සටන ආරම්භ වී වසර දෙකක් ඉක්ම ගොස් අවසන්ය. මේ ජනයා ඉල්ලා සිටින ඉඩම් අක්කර 171 ඇතුළත විශාල වතු හතරක් ඇති අතර මහජන දේපළ තවත් අක්කර 25 ක් පිහිටා තිබේ. කේප්පාපුලවු රජයේ මිශ්‍ර පාසැල, මහජන ක්‍රීඩාංගණය, ප්‍රජා ශාලාව, විවිධ සේවා සමුපකාර සමිතිය හා පවුල් 56 කට අයත් ඉඩම් ඊට ඇතුළත් ය. ඒ අනුව පෙනී යන්නේ  කේප්පාපුලවු ගම්මානයට  අයත් බොහෝ ප්‍රජා කේන්ද්‍රස්ථාන හා පරිපාලන ආයතන මෙම ප්‍රදේශයේ පවතින බව ය.

සිය මුල් ඉඩම් අයිතිය ඉල්ලා ජීවිත ආරක්ෂාව හා ශරීර සෞඛ්‍ය ගැන පවා තැකීමක් නොකොට තර්ජන මැද සටන අත් නොහරින අරියකලා සිවප්‍රකාශම් ගුරුවරියකි. ඇය, මෙසේ කියයි:

“අපේ ඉඩම් අක්කර  171  ඉල්ලලායි අපි සටන් කරන්නේ. ඒත්  කච්චේරිය කියනවා පවුල් 56 ට අයිතිය තියෙන්නේ අක්කර 59 පර්චස් 5 යි කියල. ඒ හින්දා දෙන්නේ ඒ ප්‍රමාණය විතරයිලු. කච්චේරියට ලියකියැවිලි නැති වුණාට අපේ ඉඩම්වලට අපිට ඔප්පු හා අවශ්‍ය ලියකියැවිලි තියෙනවා. ඒ හින්දා තමයි අපි දිගටම සටන්කරන්නේ. ධීවර පවුල් කිහිපයකට විතරක් ඉඩම් ඔප්පු නැහැ. එහෙම වුණාට ඒගොල්ලෝ අවුරුදු 50 කට ආසන්න කාලයක් අපිත් එක්කමයි ජීවත් වුණේ. අද අපි ඔක්කොම  ඉන්නේ පාරේ. අපේ ඉඩම් බලෙන් ගත්තු ආණ්ඩුවේ හමුදාව ඒ ඉඩම්වල හොඳට ඉන්නවා. යුද්ධ කාලයේ ත්‍රිකුණාමලය, යාපනය, වන්නි කියන මේ හැමෝගෙම බඩ කට පිරෙව්වේ මේ නන්දිකඩල්වලින් තමයි. ඒ තරම් සම්පත් තියෙන, සරුසාර නන්දිකඩල් ඔවුන් අයිති කරගන්න තමයි මාන බලන්නේ. ඒක තමයි අපිට අපේ ඉඩම් දෙන්නේ නැත්තේ. හමුදාවට ඉන්න ඕනේ නම් වෙනම ඉඩම් අරන් ගිහින් ඒවායේ ඉන්න. මේ කඳවුරු ජීවිතය නිසා අපි පීඩාවට පත්වෙලායි ඉන්නේ. අපිට අපේ ඉඩම් වලට ගිහින් නිදහසේ ජීවත් වෙන්න ඕනෑ. අපේ හැමෝගේම අනාගතය වගේම අපේ ළමයින්ගේ අධ්‍යාපනය සියල්ලම විනාශ වෙලා. දැන් මෙහෙ ඉඳන් අපේ ළමයි යන්න ඕනෑ වට්ට්‍රාපල‍ෛවලට. පසුගිය අපොස  සාමාන්‍ය පෙළ විභාගයෙන් අපේ ගමේ ළමයි ගොඩක් අසමත් වුණා. එහෙම වුණේ  අපේ  ගමේ  ස්කෝල ඔක්කොම බලෙන් අල්ලාගෙන ඉන්න හින්දා."

කේප්පාපුලවු ජනයා නීතියට හා යුක්තියට අනුව සිය ඉඩම් අයිතීන් සඳහා වූ සටන ගෙන ගිය ද  යුද ගැටුම් නොමැති සාංකාවකින් පෙළෙන්නාක් මෙන් හැසිරෙන හමුදාවෝ, සටනේ නිරත ජනයා නිරන්තරයෙන්ම ඡායාරූප හා වීඩියෝගත කිරීම සිදු කරමින් සිටිති. සටනට සහයෝගය ලබා දීමට හෝ වෙනත් කටයුත්තකට ඔවුන් හමුවීමට පැමිණෙන ඕනෑම අයකු ඡායාරූප හා වීඩියෝගත කිරීම ද ඒ අනුව සිදුකෙරේ.

සුසානයත් හමුදාව අල්ලාගෙන

“මගේ පොල් වත්ත හමුදාව අල්ලාගෙන දැන්  අවුරුදු ගානක්. මම ඔය වත්තේ ගොවිතැන් කළේ , ගස් වැව්වේ අපි වයසට ගිය දවසක අපිට කෑම දෙයි කියලායි. ගොවිතැන් කරන අපිට තියෙන විශ්‍රාම වැටුප ඒක තමයි. අද අපිට සතයක්වත් ලැබෙන්නේ නැහැ. හමුදාව අපේ ඉඩම් මංකොල්ල කෑවා. මම මේ සටනේ ක්‍රියාකාරී නිසා හමුදාව විවිධාකාර ප්‍රශ්න මතු කරනවා. වැලි ගොඩදාලා විකුණන එක තමයි මගේ පුතාලා රස්සාව හැටියට කරන්නේ. ඒවා කරන්නේ ආණ්ඩුවෙන් බලපත්‍ර අරගෙන නිත්‍යානුකුල විදිහට. එත්  අපි මේ  සටනේ ඉන්න  නිසා  පුතාලගේ ට්‍රැක්ටරය දැක්ක ගමන්ම වැලිත් එක්කම පොලිසියට අරන් ගිහින් නොයෙක් චෝදනා කරලා  උසාවි දානවා. හමුදාව අපේ ගමේ සුසාන භූමියත් අල්ලා ගෙනයි ඉන්නේ. මිනියක් වළලන්න තියෙන ඉඩ හමුදාව අල්ලාගත්තු තැනක් ලංකාවේ වෙන කොතැනකවත් නැතිව ඇති”යි සටනට එක්ව සිටින 63 හැවිරිදි ඉන්ද්‍රාණි පවසයි.

නමුත් හමුදාව කියන්නේ කුමක්ද?

කේප්පාපුලවු ජනයාගේ ඉඩම් පිළිබඳ සටන ගැන  උතුරු පළාත්  ආණ්ඩුකාරවරයා සිය අවධානය යොමු කරමින් ඉඩම් හිමිකරුවන් හා රජයේ හමුදා  අතර සෘජු සාකච්ඡාවකින් ගැටලුව විසඳා ගත යුතු බව  කියා තිබේ. ඒ අනුව දෙපාර්ශවය මුහුණට මුහුණලා හමුවීමේදී  රජයේ හමුදා නිළධාරින් පවසා ඇත්තේ තමන් දැනට කඳවුරු ලා සිටින ස්ථානයන්හි ජනයාට අයත් ඉඩම් ඇති බවට  ඔවුන්ට දැනුම් දී නොමැති බව ය. එසේ තිබේ නම් ඒ සදහා වන ලියකියැවිලි ඉදිරිපත් කරන ලෙස හමුදා නිලධාරීහු කේප්පාපුලවු ජනයාගෙන් ඉල්ලා සිටියහ. ඒ අවස්ථාවේදීම සිය ලියකියවිලි ඉදිරිපත් කරමින් ඉඩම්  හිමිකම් ඔප්පු කිරීමට එම ජනතාව සමත් වී තිබේ.

හමුදාවේ මේ ප්‍රකාශය පිළිබඳව මුලතිව් මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් අපි විමසා සිටියෙමු.

“අපි ළඟ ලියාපදිංචි කෙරුණු පවුල් 55 ක වාර්තා තියෙනවා. මේ ඉඩම් වලට  ලියකියවිලි නැහැ කියල හමුදාව කියන කතාව වැරදියි. පළමුවරට කේප්පාපුලවුවල ඉඩම් ඔප්පු  දීලා තියෙන්නේ 1951 දී. 1966 දී ඒකට අදාළ මිනින්දෝරු කටයුතු කරලා තියෙනවා. ඊට පස්සේයි එහි ජීවත් වුණු අයට ඉඩම් බලපත්‍ර පමණක් දීලා තියෙන්නේ. ජනගහණය වර්ධනයත් එක්ක පසු කාලේදී කැළෑ එළිපෙහෙළි කරගෙන ඉඩම් හදාගෙන තියෙනවා. 1966න් පස්සේ මිනිදෝරු කටයුතු නොකිරීම පාලකයන්ගේ වැරැද්දක් මිස අවුරුදු පනහකට වැඩි කාලයක් එහි ජීවත් වුණු මිනිස්සුන්ගේ වැරද්දක් නෙවෙයි. දැන් මුලතිව් දිස්ත්‍රික්කය පුරා හමුදා කඳවුරු දකින්න පුළුවන්. ආණ්ඩුවත් ඉඩම් මැනීමේ කටයුතු නොකරන ප්‍රදේශත් තියෙනවා” නමක් සදහන් කරන්නට අකමැති වූ මිනින්දෝරු නිලධාරියෙක් අප හා පැවසීය.

දැන් කේප්පාපුලවු ජනයාගේ ඉඩම් යළි ලබා ගැනීමේ සටන තුන්වැනි වසරට අවතීර්ණ වී තිබේ. යුද්ධයෙන් සියල්ල අහමිව ජීවිත පමණක් බේරාගත් ජනයා පනස් වසරකට නොඅඩු කාලයක් තිස්සේ දිවි ගෙවූ ගම්බිම් තවදුරටත් හමුදා බලඇණි සඳහා පවරා දී තිබීමේ අසාධාරණයට එරෙහිව දෑවුරුද්දක් තිස්සේ ඔවුන් ගෙනගිය සටන ඉඩම් අයිතිය සඳහා ගෙනයනු ලැබූ දීර්ඝතම සටනක් වශයෙන් ඉතිහාසයට එක්වනු ඇත.

"අපි මැරෙනකම් හරි මෙතැනම වැටිලා අපේ ඉඩම් ඉල්ලනවා"යි වයෝවෘද්ධ කාන්තාවක් කියයි. සටන අත් නොහරින්නට ඔවුන් තුළ ඇති අධිෂ්ඨානය ඒ සා බලවත් එකකි.☐

ජෙරා තුරෙයිරාජා


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.