JDS Sinhala

වන්නි දඩබිම: 'සුදු සොල්දාදුවන් ගැවසුණු මුරුගන් ට්‍රේඩර්ස් ඉදිරිපිට මිනී යායක්'


න්නිය සැළකෙනුයේ මහා භූමියක් ලෙසිනි. බොහෝ ගොවිබිම් මෙන්ම ඒ හා සමාන්තර වූ මහා වනයත් නිසාවෙන් මහා භුමි යන නාමය ලැබෙන්නට ඇතැයි සිතිය හැකි ය. වන්නියේ මුල් පදිංචිකරුවන් ගැන ගැඹුරින් විමසා බැලීමේදී පෙනීයන්නේ ඔවුන් වනාහී ඉතාම දුෂ්කර හා කටුක ජීවිතයක් පසු කොට ඒ මහා භූමියට පැමිණි ජනතාවක් බව ය. ස්වභාවික ව්‍යසන, වන සත්ව උවදුරු මෙන්ම පිටස්තර ආක්‍රමණිකයන්ගේ ක්‍රියා නිසා ඇති වූ යුද ගැටුම් හේතුවෙන්  ඉතිහාසයේ සිටම වන්නි මහා භුමිය එහි ජනයාගේ ලෙයින් තෙත්ව තිබේ.

කෙසේ වුව ද, වන්නි ජනයාගේ මෙම කටුක හා දුක්බර අතීතය නිර්මාණය කරන්නට එක් රටක යුද හමුදාවක් පමණක් දායක වුයේ යැයි කිව නොහැක. ඔවුන්ගේ කඨෝර දුක්බර ඉතිහාසය ගැන ගැඹුරින් සොයා බැලීමේදී පෙන්නුම් කෙරෙන්නේ ඔවුන්ට සිදුවූ අනේකවිධ අයුක්තීන්  පිටුපස නන්විධ රටවල් නියෝජනය කරන පාර්ශවයන් සිටි බව ය. ඒ ව්‍යසනයන් 2009 මැයි 18 වැනිදා අවසන් වූ යුද මෙහෙයුම්වලින් පමණක් සිදු වූ දේ නොවේ. ජනවාර්ගික යුද්ධය ඇරඹි මුල් කාලය දක්වාම එකී සිදුවීම් දිවයයි. එවැනි ගොරතර සිදුවීම්වලට මුහුණදී අත්දැකීම් ලැබූ බොහෝ සාක්ෂිකරුවෝ 2009 අවසන් යුද ප්‍රහාරවලින් මිය ගියහ. නමුත් ඒ විනාශයෙන් අහම්බයකින් මෙන් දිවි ගළවාගත් අයකු මේ සංහාරයේ එක් සාක්ෂිකරුවෙකි.

මට ඔහු හමුවූයේ පිරමන්දනාරුහිදී ය.


පිරමන්දනාරු, වන්නියේ මුලතිව් දිස්ත්‍රික්කයට අයත් විසුවමඩු ආසන්නයේ පිහිටි ගොවි ගම්මානයකි. හතළිස් හය හැවිරිදි විනයාගමුර්ති ගනේෂමුර්ති එහි උපන්, වෘත්තියෙන් දේශීය වෙදැදුරෙකි. ස්වභාවික ව්‍යසන ගැන අනාවැකි පළකරන්නට ද ඔහු සමත්යැයි ගම්මු කියති. නමුත් ඔහුගේ කඨෝර අත්දැකීම් ඔහු පෙර දක්නා ලද ඒවා නොවේ.

ජීවිතයේ අමතක නොවන සිදුවීමක් කියා ඇසුවොත් ආවර්ජනය කරන්නට කටුක අත්දැකීම් ඕනෑතරම් ඔහුට තිබේ. නමුත් එයින් එක් අත්දැකීමක් වෙනස්ම එකකි.

ආයුද සන්නද්ධ 'සුද්දන්'

“එදා 1985 ඔක්තෝබර් 02 වැනිදා  උදේ මම ගෙදරින් පිටත් වෙලා ඉස්කෝලෙට යමින් හිටියේ. එතකොට මට වයස අවුරුදු 13 ක් විතර ඇති," ඔහු ඒ කතාවට මුල පුරයි.

"දැන් ඔය පිරමන්දනාරු සමුපකාරය තියෙන තැන තමයි, එදා අරුල් මුරුගන් ට්‍රේඩර්ස් කඩේ තිබ්බේ. ඒ කඩේ මුදලාලි සිවපාදන්. මම කඩේ ගාවට එනකොට කඩේ පිටුපස්සේ හිටිය හමුදා සෙබළු දෙන්නෙක් මට කතා කළා. මට බය හිතුණා. දුවන්න හිතුණත්, දුවන්න බැරි නිසා මම ඔවුන් ගාවට ගියා. ඒ අය මුහුණුවල කළු පාට ගාගෙන හිටියේ. මම ඔවුන් ළඟට යනකොටම මාව අල්ලාගෙන කඩේ පිටුපස්සටම ඇදගෙන ගියා. මුහුණු වල කළු පාට තවර ගත් හමුදා සෙබළු ගොඩක් එහි බිම දිගා වෙලා හිටියා. ඒ පැත්තේ තිබුණු ලඳු කැළේ තවත් හමුදා සෙබළු කාඩ් සෙල්ලම් කරමින් සිටියා. එතැන සුද්දොත්, ලංකාවේ හමුදා සෙබළුත් හිටියා."


"කවුද එතැන සිටිය සුද්දෝ?" මගේ කුතුහලය මැඩලිය නොහැකි ලෙස මතු වේ.

"මට ඒ වෙලාවේ තේරුණේ නැහැ. පස්සේ මම දැන  ගත්තේ අසූ ගණන්වල සුද්දෝ මෙහෙ ඇවිත්, කොහොමද මිනිස්සු මරන්නේ කියලා ලංකාවේ හමුදාවට පුහුණුවක් දෙමින් තිබුණා කියලා. දැන් දන්න විදියට, එදා එතන වෙලා තියෙන්නේ ඒක තමයි.”

“සුද්දන්” ගැන කළ අනාවරණය මා තුළ කුකස ඇවිලීය. ඒ වකවානුවේදී බ්‍රිතාන්‍ය සහ ඊශ්‍රායෙල් හමුදා උපදේශකයන් ශ්‍රී ලංකා යුද හමුදාවන්ට යුදබිම්වලදීම සටන් පුහුණුව සැපයූ බව මීට පෙර මා කියවා තිබීම ඊට හේතුව විය. මම මහත් ඕනෑකමින් රුකුල් දෙමින් ඔහුට සවන් දුනිමි.

“හිමිහිට වටපිට බලද්දී තමයි පිරමන්දනාරු ගමේ ජීවත් වෙන බොහෝමයක් පිරිමි හමුදාවෙන් අල්ලාගෙන ඇවිත් රඳවා ගෙන ඉන්නවා මම දැක්කේ. හැමෝගෙම අත් දෙක පිටුපසට කරලා බැඳලා, පෝලිමට දණගස්සලායි හිටියේ. ඒ අය දිහා මම බලාගෙන ඉන්නකොට මාව අල්ලාගෙන ආපු හමුදා සෙබළෙක් ඔහුගේ බෑග් එකෙන් පරණ පිරිමි යට ඇඳුමක් අරගෙන ඒකෙන් මගේ ඇස්  දෙක වැසුවා. අනිත් අයටත් මේ වගේ යට ඇදුම් දාලා ඇස්  වසා තිබුණේ. මගේ ඔළුව ප්‍රමාණයෙන් කුඩා නිසාත්, ඒ යට ඇඳුම වැරහැලි නිසාත්, වටපිටාවේ මොනවද වෙන්නේ කියල මට පේනවා. එ්ත් ඒක හමුදා සෙබළාට පෙනුනේ නැහැ. කඩේ තිබුණු ලනුවක් අරගෙන මගේ අත් දෙක පිටුපසට කරලා බැන්දා. මගේ අත් පිටුපසට නමද්දී අත ඇදුනු බවක් දැනුණා. ඒත් එක්කම එක පාරම මාව උස්සලා එතැන තිබුණු භූමිතෙල් බැරල් එකකට හේත්තු කළා.  ඊට පස්සේ එහි සිටි හමුදා සෙබළු දෙදෙනා පාර පැත්තට ගියා," ඔහුගේ හඬේ ක්‍රමයෙන් නැඟ එන එන ආතතියක සේයාවකි.

සත්‍යසීලන්ගේ මරණය

"මගේ අත් දෙක බැඳලා ඒ ලනුව ගැටගහලා තිබුණේ භූමිතෙල් බැරල් එකේ කරාමේෙ. මම ටිකක් අත් දෙකෙන් වෙර දාලා ඇද්දාම ගැටේ බුරුල් වෙලා ගැළවුනා. මම පොඩි නිසා ඔවුන් හිතන්න ඇති ලිහා ගන්න බැරිවෙයි කියලා. ඒ තරම්, තදට ගැටේ නොදාන්න නැත්තේ ඒ නිසා වෙන්න ඕනි. අත් දෙක නිදහස් වුණාට පස්සේ එහෙමම ඉඳන් වටපිට මොනවද වෙන්නේ කියල සෝදිසියෙන් තමයි මම හිටියේ. ගම් වැසියෙක් වුණ සත්‍යසීලන් බයිසිකලය පැදගෙන පාර දිගේ කඩේ පැත්තට එමින් ඉන්නවා මම දැක්කා. ඔහු රා මදින්නෙක්. මාව පාරේදී දැක්කොත් බයිසිකලේ දාගෙන ගිහින් ඉස්කෝලේ ළඟටම දානවා. එයාට හොඳ පෞරුෂයක් තියෙන ශක්තිමත් මන්සුයෙක්. සරම නමලා කෙටි වෙන්න ඇඳලා හිටපු සත්‍යසීලන් සුපුරුදු විදියට රා මදින පිහිය කොපුවේ දාලා ඉණේ ගහගෙන තිබුණා. හමුදා සෙබළෙක් සත්‍යසීලන්ව නවත්තලා පොල් ගහක් පෙන්නලා මොනවාදෝ කිව්වා. ඔහුත් බයිසිකලය පැත්තක නවත්වලා පොල් ගහකට නැගලා කුරුම්බා වල්ලක් කපා ගෙන ආවා. ඒක දැකපු ගමන් හමුදා සෙබළු ඔක්කොම එතැනට රොක් වුණා. සත්‍යසීලනුත් එයාගේ ක්‍රමයට ඉක්මණට කුරුම්බා කපලා හමුදා සෙබළුන්ට දෙනවා. සෙබළු ඒවා අරගෙන බොනවා. ඒ ගමන් මොනවදෝ කතා කරනවා සත්‍යසීලන් එක්ක. එතැන වෙන්නේ මොනව ද කියලා හරියටම දන්නේ නැති වුණත් අහන දේවල්වලට ඔහු මහත් උනන්දුවෙන් අත පය විසිකරමින් උත්තර දෙනවා මට පේනවා.  ඊළඟට සත්‍යසීලන් බයිසිකලය අරගෙන පිටත් වෙන්න ලැහැස්ති වුණා. එතකොටම හමුදා සෙබළෙක් ඔහුගේ නළලට තුවක්කුව දික් කළා. මට තේරුණා සත්‍යසීලන්ට වෙඩි තියන්න යන්නේ කියලා."

ගනේෂමූර්ති සුසුමක් හෙලුවේය. මම නිහඬවම සවන් දුනිමි.

"සත්‍යසීලන් බයිසිකලය අරගෙන තුවක්කුව එල්ල කරමින් ඉන්න හමුදා සෙබළාගේ දිහාවට විසි කළා. බලාපොරොත්තු නොවුණු ප්‍රහාරයක් නිසා හමුදා සෙබළා බිම ඇදගෙන වැටුණා. ඊට පස්සේ සත්‍යසීලන් බයිසිකලය හමුදා සෙබළාගේ කර වටේ දාලා හිර කරගත්තා. හමුදා සෙබළත් එයාගේ අත් දෙකෙන් සත්‍යසීලන්ව අල්ලා ගත්තා. අනිත් හමුදා සෙබළු සත්‍යසීලන්ට වෙඩි තියන්න කුරුමානම් අල්ලනවා. ඉණේ තිබුණු රා මදින පිහිය අරගෙන සත්‍යසීලන් තමන් අල්ලාගෙන සිටිය හමුදා සෙබළාගේ බෙල්ලට තියාගෙන ඉන්නවා. අනිත් සෙබළු සත්‍යසීලන්ව තල්ලු කරන්න උත්සාහ කරනවා. බෙල්ල කපයි කියන බයට ද කොහෙද කවුරුත් වෙඩි තියන්නේ නැතුව තර්ජනය කර කර කෑ ගහනවා. අන්තිමේදී කොහොම හරි හමුදා සෙබළු එකතුවෙලා සත්‍යසීලන්ව අල්ලාගෙන බිම දිගේ ඇදගෙන ගියේ අතින් පයින් පහර දෙමින්. ටිකක් දුර එහෙම ඇදගෙන යනකොට සත්‍යසීලන් ඇඳගෙන හිටිය සරම ගැළවුණා. ඉස්සෙල්ලාම සෙබළෙක් ඔහුගේ ලිංගේන්ද්‍රියට වෙඩි තිබ්බා. ඊට පස්සේ වෙඩි ශබ්ද ගොඩායි. එයාගේ ඇඟ පුරාම වෙඩි පාරවල්. එතැන ලේ විලක්. මම ඒ වෙනකම් ඒ වගේ අමානුෂික සිද්ධියක් දැකලා තිබුනණේත් නැහැ. අහලා තිබුණෙත් නැහැ.”


මිනී යායක්

ගනේෂමුර්තිගේ කතාව මැඩලමින් භීතියත් - වේදනාවත් නැඟ එයි. කිව යුත්තක් නොදැන මම නිසොල්මන්ව සිටියෙමි. ඔහු, ඒ මොහොත තුළ යළිත් ජීවත්වන්නාක් මෙන් සුසුම් හෙළුවේය.

“තවත් මෙතන හිටියොත් භයානකයි කියා මට තේරුණා. මම මගේ අත් දෙක නිදහස් නිසා අත් බැඳලා හිටපු අනික් අයගේ ගැට ලිහන්න පටන් ගත්තා. එක එක්කෙනාගේ ලිහන ගමන් කොඳුරලා කිව්වා ගැටේ ලිහා ගත්තට පස්සේ අනෙත් අයගෙත් ගැට ලිහන්න කියලා. නමුත් තමන්ගේ අත් ගළවා ගත්තට පස්සේ අනිත් අයගේ ගැට ලිහනවා වෙනුවට, ඒ බොහෝ දෙනෙක් දුවන්න පටන් ගත්තා. හරියටම ගණන මට මතක නැහැ. මම හිතන්නේ 15 දෙනෙක් විතර ඉතිරි වෙලා හිටියා. අන්තිමට ගැටේ ගලවපු කෙනා කඩේ ඉදිරිපිටට යන්න ලැහැස්ති වෙන කොට මම එයාට කිව්වා 'යන්න එපා වෙඩි තියයි' කියලා. එයා ඇහුවේ නැහැ. 'මගේ අත් ඔරලෝසුව උදුරා ගත්තා මල්ලි, ඒක ඉල්ලගෙන එන්නම්" කියලා එයා කඩේ ඉදිරිපිටට ගියා. මම කඩේ පිටුපස පැත්තෙන් දුවන්න ගත්තා. ඒ දුවන අතරේ කඩේ ඉදිරිපසින් දිගින් දිගටම වෙඩි සද්දේ ඇහුණා. ඊට පස්සේ හෙළිකොප්ටරයකින් ඇවිත් අපිව හොයා හොයා අහසින් වෙඩි තිබ්බා. නමුත් අපි කැලේ හැංගිලා බේරුණා. සෑහෙන වෙලා ගතවුණාට පස්සෙයි එළියට ආවේ. එදා හවස කඩේ පැත්තේ ගිහින් බලන කොට ඒ පැත්ත පුරාම මළ සිරුරු යායක්. අරුල් මුරුගන් ට්‍රේඩර්ස් කඩේ ළඟ විතරක් මළ සිරුරු 10 ක් විතර තිබුණා. ඊට දින කිහිපයකට පස්සෙත් මරා දමාපු අයගේ සිරුරු කුඹුරුවල, ලඳු කැළෑවල තිබිලා හම්බ වුණා. සමහර ඒවා සත්තු කාලා", ගණේෂමූර්ති නිහඬව හුස්ම ඉහළ පහළ හෙලුවේය. මධ්‍යහ්න හිරු රැසින් ඔහුගේ වෙහෙස වැඩි වූවාක් මෙනි.

"මගේ මතකය  හැටියට එදා 30 ක් විතර මරලා දාලා තිබුණා. කඩේ මුදලාලි සිවපාදන්ගේ මළ සිරුර හමුවුණේ කඩේ ඉඳලා සෑහෙන දුර පිහිටි කුඹුරක තිබිලා".

මම නිහඬව එකත්පස්ව සිටියෙමි. 

කාලයක් පුරා පැවති වේදනාවක් මුදා හැරියාක් බඳු  සැහැල්ලුවකින් ගනේෂමුර්ති සිය ආවර්ජනය අවසන් කළේය. ඒ සැහැල්ලුව යට ගැබ් වූ ගැඹුරු කම්පාව ඔහුගේ මුහුණින් දිස් විණි.

ගනේෂමුර්තිගේ කතාව වන්නියේ එක් මිනිසෙකු තිස් පස් අවුරුද්දකට කලින් අත්දුටු එක් බිහිසුනු කථාවක් පමණක් බව මම දනිමි. නමුත් වන්නියේ මෑතකාලීන ඉතිහාසය ලියැවී ඇත්තේ ඒ වැනි කතා දහසකිනි. ඒ කතා කියන්නට ගණේෂමූර්ති මෙන් තවමත් ජීවත්ව සිටින්නන් කොතෙක් නම් ඉතිරිව ඇතිද?

පරිවර්තනය: රාජ් සුබ්‍රමානියම් සහ අතුල විතානගේ

ජෙරා තුරෛරාජා


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.