JDS Sinhala

'නෝ ෆයර් සෝන්' තිරගත කළ ලීනා හෙන්ඩ්‍රි දඩ ගසා නිදහස් කරයි

ශ්‍රී ලංකාවේ යුද අපරාධවලට අදාළ විශ්වසනීය සාක්ෂි ඇතුළත් වාර්තා චිත්‍ර‍පටයක්  සිය රටේ දී ප්‍රදර්ශනය කිරීම හේතුවෙන්, මලයාසියානු බලධාරීන්ගේ උදහසට ලක් වී සිටි මානව හිමිකම් ක්‍රියාකාරිනියකට සහයෝගීතාව පළ කරමින් අන්තර්ජාතිකව දියත් වූ  විරෝධතාවලින් පසු දඩ මුදලකට යටත් කොට ඇය නිදහස් කිරීමට මලයාසියානු අධිකරණය තීන්දු කර තිබේ.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පාදක කොටගත් වාර්තා චිත්‍ර‍පටයේ ප්‍රදර්ශන වාරයක් සංවිධානය කිරීමෙන් මලයාසියාවේ වාරණ නීති උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල  වී තිබූ මානව හිමිකම් ක්‍රියාකාරිනී ලීනා හෙන්ඩ්‍රිට එරෙහිව විභාග වූ නඩුවේ තීන්දුව බදාදා (22) ප්‍රකාශයට පත් කරමින් එක වසරක සිර දඬුවමක් හෝ මලයාසියානු රින්ගිට් 10,000ක දඩ  මුදලක් ගෙවීමට කුවාලා ලම්පූර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලදී. 

ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික බලපෑම්

බ්‍රිතාන්‍ය වාර්තා සිනමාකරු කැලම් මැක්රේ විසින් අධ්‍යක්‍ෂණය කළ 'නෝ ෆයර් සෝන්' සිනමා පටයේ සීමිත ප්‍රදර්ශන වාරයක් 2013 ජූලි මාසයේ දී සංවිධානය කිරීමට මූලිකත්වය ගත් ලීනා හෙන්ඩ්‍රිට එරෙහිව මලයාසියානු බලධාරීන්ට පැමිණිලි කරන ලද්දේ මලයාසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනි. අදාළ ප්‍රදර්ශන වාරය අවලංගු කිරීම සඳහා තානාපති කාර්යාලීය නිලධාරීන් විසින් මුලින් කරන ලද බලපෑම් අසාර්ථක වීමෙන් පසු මලයාසියානු රජයට මේ පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රිකව පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා බලධාරීහු ක්‍රියා කළහ.

මලයාසියාවේ ස්වදේශික ජන කොටස්, කම්කරුවන් හා නාගරික දිළිඳු ජනයා අතර පදනම් වූ මානව හිමිකම් ආයතනයක් වන 'පූසට් කොමාස්' හි වැඩසටහන් සම්බන්ධීකාරකවරියක් වශයෙන් ක්‍රියා කරන ලීනා හෙන්ඩ්‍රිට එරෙහිව නගන ලද චෝදනාවන්ගෙන් ඇය නිදොස් කොට නිදහස් කිරීමට කුවාලා ලම්පූර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද්දේ  2016 මාර්තු මාසයේ දී ය. නමුත් අදාළ තීන්දුවට එරෙහිව රජයේ අභිචෝදකවරයා විසින් කරන ලද අභියායචනයකට අවසර දීමට මලයාසියානු මහාධිකරණය විසින් ගන්නා ලද තීන්දුවකට අනුව 2016 සැප්තැම්බරයේදී යළිත් නඩු විභාගය ඇරඹුණු අතර 2017 මාර්තු මාසයේදී ලීනා හෙන්ඩ්‍රි වැරදිකරු බවට මලේසියානු මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීන්දු කර සිටියේය.

ලොව කිසිදු රටක් විසින් නිල වශයෙන් තහනම් කර නොමැති 'නෝ ෆයර් සෝන්' චිත්‍රපටය අන්තර්ජාලය ඔස්සේ සිංහල බසින් ද නොමිලේ නැරඹීමට ඉඩ ප්‍රස්ථා සළසා තිබේ. 

ජේඩීඑස් නිවේදනයක්

තීන්දුවට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් සංවිධානය කළ පෙත්සම් ව්‍යාපාර හා විරෝධතා උද්ඝෝෂණ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකම සංවිධානය කර තිබූ අතර දේශසීමා රහිත වාර්තාකරුවෝ (Reporters Without Borders - RSF) සහ ශ්‍රී ලංකාවේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය සඳහා මාධ්‍යවේදියෝ (Journalists for Democracy in Sri Lanka - JDS) විසින් අඟහරුවාදා (21) නිකුත් කරන ලද  ඒකාබද්ධ නිවේදනයකින් ද එකී තීන්දුව හෙළාදකිනු ලැබිණ.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් පළ වේ.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පාදක කොටගෙන සැකසුණු වාර්තා චිත්‍ර‍පටයක ප්‍රදර්ශන වාරයක් 2013 වසරේ දී මලයාසියාවේ කුවාලා ලම්පූර් නුවර සංවිධානය කිරීමෙන්, එ රට වාරණ නීති උල්ලංඝනය කළේ යැයි මානව හිමිකම් ක්‍රියාකාරිනී ලීනා හෙන්ඩ්‍රි වරදකරු කිරීම, දේශසීමා රහිත වාර්තාකරුවෝ සහ ශ්‍රී ලංකාවේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානය තරයේ හෙළාදකී.

මලයාසියානු වාරණ මණ්ඩලයේ අනුමැතියකින් තොර ව බ්‍රිතාන්‍ය ජනමාධ්‍යවේදී කැලම් මැක්රේගේ  “No Fire Zone: The Killing Fields of Sri Lanka” තිරගත කිරීමෙන්, 2002 චිත්‍ර‍පට වාරණ පනතේ 6 (1) (b) වගන්තිය යටතේ ඇය වරදකාරිය කරමින් පසුගිය මාසය පුරා ඇසුණු නඩුවේ තීන්දුව අද (22) ප්‍රකාශයට පත්කිරීමට නියමිත ය.

මේ සම්බන්ධයෙන් ඇයට වසර තුනක සිරදඬුවමක් හා රිංගිට් 30,000 (යුරෝ 4000) දඩයක් පැනවීමට නීතියෙන් ඉඩකඩ ලබා දේ.

2013 ජූලි 3 වැනි දා ලීනා හෙන්ඩ්‍රි විසින් සංවිධානය කරන ලද ඉහත චිත්‍ර‍පට දර්ශනයට පොලීසිය විසින් බාධා පමුණුවන ලද අතර, ඇය හා තවත් සිවිල් පුද්ගලයන් දෙදෙනෙක් එහි දී පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. හෙන්ඩ්‍රි සම්බන්ධයෙන් ගන්නා ලද පියවරට වෙනස් ව යමින් අත්අඩංගුවට පත් වූ අනෙක් සිවිල් පුරවැසියන් දෙදෙනා කිසිදු චෝදනාවකට යටත් නොකොට නිදහස් කර හරිනු ලැබිණ.

කුවාලා ලම්පූර් මහේස්ත්‍රාත් අධිකරණයක දී පැවැති මුල් නඩු විභාගයේ දී 2016 මාර්තු 10වැනි දා ලීනා හෙන්ඩ්‍රි නිදොස් කොට නිදහස් කරන ලද නමුත් පැමිණිලිකාර පාර්ශවය විසින් ඊට එරෙහිව අභියායචනයක් ඉදිරිපත් කරන ලදී. එහි දී මානව හිමිකම් ක්‍රියාකාරිනී හෙන්ඩ්‍රි වරදකාරිය කරන්නැ යි මලයාසියානු බලධාරීන්ට ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් කරන ලද බලපෑම්වලට අදාළ ලියකියැවිලි කිහිපයක් විත්ති පාර්ශවය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ලීනා හෙන්ඩ්‍රිට එරෙහි ව දඬුවම් පැමිණවීම දේශපාලන පලිගැනීමකැ‘යි විත්තියේ නීතීඥයන් පෙන්වා දුන් බව දේශසීමා රහිත වාර්තාකරුවෝ (RSF) සංවිධානයේ ආසියා පැසිෆික් කලාප ප්‍ර‍ධානී බෙන්ජමින් ඉස්මායිල් පැවසී ය.

“දස දහස් ගණනක් සිවිල් වැසියන් ගේ ජීවිත අහිමි කරන ලද ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පිළිබඳ අතිශය වැදගත් වාර්තා චිත්‍ර‍පටයක් ප්‍රදර්ශනය කිරීමේ ක්‍රියාව දිරිගැන්වීම වෙනුවට, මලයාසියානු බලධාරීන් කර ඇත්තේ මහජන ලැදියාව වාරණය කිරීම හා එම චිත්‍ර‍පටය මහජනයාට දැකබලා ගැනීමට අවකාශ සැලසූවන්ට දඬුවම් කිරීම සඳහා තමන්ට බලපෑම් කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට අවස්ථාව ලබාදීම යි.“

තොරතුරු දැනගැනීමට හා නිදහසේ අදහස් ප්‍ර‍කාශ කිරීමට හෙන්ඩ්‍රි සතු මූලික අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීම සංස්ථාපනය කරන මෙම දඬුවම් පැමිණවීම නිෂ්ප්‍ර‍භ කරන මෙන් අප අධිකරණයෙන් උදක් ම ඉල්ලා සිටිනවා.“ ඉස්මායිල් වැඩි දුරටත් පැවසීය.

2013 වසරේ දී මහජන ප්‍රදර්ශනට මුදාහැරුණු තැන් පටන්  “No Fire Zone” කිසිදු වාරණයකින් තොර ව යුරෝපයේ, ඇමරිකා එක්සත් ජනපදයේ හා අනෙකුත් ආසියා පැසිෆික් කලාපවල ප්‍ර‍දර්ශනය වී තිබේ. එසේ ම අනතුරුව එය 2015 දී ජාත්‍යන්තර දූෂණ විරෝධී සම්මේලනයකදී කුවාලා ලම්පූර් නගරයේද‍ි ම පවා ප්‍රදර්ශනය කැරුණු අතර, මලයාසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සිවිල් සමාජ නියෝජිතයන් උදෙසා විශේෂ දර්ශන වාරයක් ද සංවිධානය කැරිණි.

“ලොව පුරා වෙසෙන සත්‍යය සොයා යන සියලු ම පුරවැසියන් ලීනා හෙන්ඩ්‍රි වෙනුවෙන් පෙනී සිටිය යුතු වනවාක් මෙන්ම, මේ දේශපාලන පළිගැනීම් අවසන් කරන මෙන් මලයාසියානු බලධාරීන්ට බලපෑම් කළ යුතු යි,“ ශ්‍රී ලංකාවේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) හි කැඳවුම්කරු භාෂණ අබේවර්ධන කියා ස‍ිටී.

“හෙන්ඩ්‍රි හට දඬුවම් පැමිණවීමෙන් මලයාසියානු බලධාරීන් අදහස් ප්‍ර‍කාශ කිරීමේ හා තොරතුරු දැනගැනීමේ අයිතියට බලවත් ප්‍ර‍හාරයක් එල්ල කරන අතර ම, සිවිල් යුද සමයේ ශ්‍රී ලංකා සන්නද්ධ අංශ විසින් දෙමළ ජනයාට එරෙහි ව මුදාහරින ලද බරපතල කෘෘරකම් වැසැංගීම ද සිදුකරයි.“

තොරතුරු දැනගැනීමේ අයිතිය අපරාධකාරී වරදක් බවට පත්කරන, එමඟින් ස්වයං වාරණය ප්‍ර‍වර්ධනය කරන හා ආණ්ඩුවේ පූර්ණ පාලනයට යටත් නියාමන ව්‍යූහයක් වන වාරණ මණ්ඩලයට අධිකතර බලයක් ලබාදෙන මලයාසියානු චිත්‍ර‍පට වාරණ පනත අවලංගු කරන මෙන් ද RSF හා JDS ඉල්ලා සිටී.

RSF විසින් සකසන ලද 2016 ලෝක ජනමාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 180ක් අතරින් මැලේසියාවට හිමි ව ඇත්තේ 147 වැනි ස්ථානය යි.

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.