JDS Sinhala

ජූලි මාසයේදී බ්‍රිටන් ගාඩ්න් මැදුර සමූහ චිතකයක් වී දැවුණේය

සමූහ අපරාධ ගැන අවලෝකනය කිරීමත්, ඒ අපරාධයන් සම්බන්ධයෙන් සාමූහික පශ්චාත්තාපය විවෘතව සාකච්ඡා කිරීමත් ලංකාවේ දී සැළකෙන්නේ 'ජාති ද්‍රෝහීකමක්' විදියට ය. පත්තරවල වාර්ෂික කැලැන්ඩර් විශේෂාංග වශයෙන් විනා සාමාන්‍යයෙන් ඒ අතීතය ගැන ගැඹුරින් විමසා බැලීමක් සිදු නොවේ. ඒ විශේෂාංග ද, බොහෝ දුරට එම අතීත අපරාධ නොගිනිය හැකි තරමේ සිදුවීම් ලෙස සාමාන්‍යකරණය කරන්නට හෝ එසේත් නැතිනම් එවැනි දෑ කොහෙත්ම සිදු නොවූ බව තහවුරු කරන්නට ලියැවුණු ඒවා ය. ඉන් වෙනස් යමක් දකින්නට ලැබෙතොත් ඒ කලාතුරකිනි.

නමුත් ඒ අපරාධ සමයන්හි  කොතරම් මෘග සාහසිකත්වයක් මුදා හැරියාද  යන්න සිතා ගන්නට කෙනෙකුට  අවශ්‍ය නම් ඒ සඳහා පහසු මගක් තිබේ. ඒ සඳහා කළ යුත්තේ තව දුරටත් අප අතරම ගැවසෙන දිවි ගළවාගත් වින්දිතයන් විසින් සඟවාගත් වේදනාකාරී මතකයන් කළඹා අතීතාවර්ජනයන්ට සවන්දීමයි. ශ්‍රී ලංකාවේ නොලියන ලද අවමන් සහගත ඉතිහාස පරිච්ඡේදවල සැහැසි භාවයෙන් කැළැල් වූ ජීවිත ඇත්තෝ ඒ නිශ්ශබ්ද මිනිසුන් වෙති.

1983 කළු ජූලියට විසි පස් අවුරුද්දක් පිරුණු 2008 අවුරුද්දේ දෙමළ මිතුරෙකුගේ සම්බන්ධීකරණය හරහා අනාවරණය කරගත් මේ සාක්‍ෂිය වනාහී ඒ අපකීර්තිමත් සාපරාධී ඉතිහාසයෙන් අංශු මාත්‍රයකි.

සිතුවම: කේති කොල්විට්ස්ගේ 'The Survivors' (1925)


සූ තුනේ ජුලි සංහාරයෙන් දිවි ගලවාගන්නා විට චන්ද්‍රා දස හැවිරිදි දැරියකි. පාරම්පරික ධනයකට හිමිකම් කියූ නුවරඑළියේ  පවුලක උපන් ඇය ජුලි සංහාරය වන විට නුවරඑලිය කන්‍යාරාමයේ හතර වසර සිසුවියක වුවා ය.

"ජුලි 29 වෙනිදා, වෙනකොට රටේ අනෙක් පළාත්වල දෙමළ මිනිස්සු මරා දැමීම්, කඩ සාප්පු - ගෙවල් දොරවල් ගිනි තැබීම් වගේ සිද්ධි ටිකක් අඩුවෙලා තිබුණේ.. එදා උදේ වරුවේ  ගාමිණි දිසානායක ඇමතිතුමා නුවරඑලියට ඇවිත් ගිහින් පැය කීපයක් ගතවුණා විතරයි දවල් දොළහයි තිහට විතර නුවරඑලියම එකම ගිනි ජාලාවක් බවට පත් වුණා. කිසිම දෙයක් හිතා ගන්න බැරිව හැම කෙනාම හිටියේ.  කෝලාහළ කරපු කරන සිංහල මිනිස්සුන්ට හමුදාව හා පොලිසිය සහයෝගය දුන්නා”ඇය විසි පස් වසරකට පසු ඒ ඉරණම්කාරී දවස් ආවර්ජනය කරන්නීය.

වත්තල ප්‍රදේශයේ ඈ විසු කුඩා මහල් නිවසක හමුවන විට ජීවිතයේ මැදිවියට ළං වෙමින් සිටි චන්ද්‍රා එතෙක් කිසි විටක ප්‍රකාශකර නොතිබූ ඇගේ බිහිසුණු අත්දැකීම් එකින් එක පවසන්නට වුවාය. කිසි කලෙක මකා දැමිය නොහැකි ඒ බිහිසුණු මතකයන් යළි ආවර්ජනය ඇයට මහත් වෙහෙසකර දෙයක් බව මම දැන සිටියෙමි. විටෙක කතා කරගත නොහී නිහඬ වන ඇය, විටෙක ඉසිඹුවක් ගෙන සුසුම්ලන්නී ය.

ගාමිණී දිසානායක

“මම ගෙදර ජනේලෙන්  පහළ මොකද වෙන්නේ කියල බලාගෙන හිටියා. එහෙම ඉන්නකොට තමයි දැක්කේ  රාධිකා මුදලාලිව ජීප් එකක ගැට ගහගෙන පාරේ ඇදගෙන යනවා. එහෙම යනකොට එක මිනිහෙක් ඇවිත් මාළු කපන පිහියකින් මුදලාලිට කෙටුවා. රාධිකා මුදලාලි කෑගහනවා - එත් කවුරුවත් එයාව බේරා ගත්තේ නැහැ. පස්සේ අපේ ගෙදර වැඩ කරන එක්කෙනෙක් ඇවිත්  කිව්වා මුදලාලිව මරලා පුච්චලා කියලා.”

සිංහල මිනිස්සුන්ගෙන් තමන්ගේ පවුලේ උදවියට එවන් කරදරයක් සිදුනොවනු ඇතැයි ඇය මුලින් සිතුවා ය. ඒ, ඇගේ පියා සහ  මව මෙන්ම පියාගේ බාල සොහොයුරන්ද , ප්‍රදේශවාසී සිංහල ජනයා හා සමීපව වැඩ කරමින්, උදව් පදව් කරගනිමින් ජීවත් වූ නිසා ය. අනෙක් අතින් ඔවුන්ගේ පවුල ප්‍රදේශයේ දේශපාලන බලවතා වූ ද,  එවකට පැවති එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ ප්‍රබලයකු වූ ද,  ඉඩම්, ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණි දිසානායක සමග සමීප සබන්ධතා පැවැත්වීම ද එසේ සිතන්නට පිටුබල සපයන්නට ඇත. චන්ද්‍රාගේ පියා විසින් කරන ලද අත්හදා බැලීමක ප්‍රතිපලයක් ලෙසින් නුවරඑලියේ අර්තාපල් වගාව සාර්ථක වීම හේතුවෙන් ගාමිණි දිසානායක ඇමතිවරයා සමඟ සමීපව දැන හැඳින කටයුතු කරන්නට ඔවුන්ට ඉඩකඩ නිර්මාණය වී තිබිණ. ඒ නිසාම ඇතැම් විදේශ සම්මන්ත්‍රණයන්ට ද  ඇමතිවරයා සමග එක් වීමේ ඉඩ ප්‍රස්ථාව චන්ද්‍රාගේ පියාට හිමි විය.

ඇගේ සීයා වූ කන්නයියා  ඉන්දියාවේ  සිට ලංකාවට පැමිණ කඳපොළ ප්‍රදේශයෙන් මිල දී ගත් ඉඩම්වල වගා කටයුතු අරඹන ලද්දේ 1964දී . තේ වගාවට අමතරව නුවරඑළියේ එළවළු වගාව කෙරෙහිද ඔහුගේ අවධානය යොමු විණි. කන්නයියාගේ පුතුන් පස් දෙනා ද ඔහුගේ මග ගනිමින් නුවරඑළියේ එළවළු වගාව ප්‍රචලිත කිරීමට මුලික වුවන් අතර ප්‍රමුඛ ය.  නුවරඑලිය, ලේඩි මැක්ලම් ඩ්‍රයිව් හි පර්චර්ස් 272 ක බ්‍රිටන් ගාර්ඩන් බංගලාව චන්ද්‍රාගේ පවුලේ නිවහන බවට පත්විණ. කුඩා කළ සිටම ඇය සහ ඇගේ සොහොයුරන් හැදී වැඩුණේ කාමර දහයකින් යුත් මේ සුවිසල්  මන්දිරයේ ය.

“එදා දවල් දෙකට විතර අප්පා ගෙදර ආවා. පොඩි බාප්පා - පනීර්සෙල්වම් - කොහෙද ගියා ඩ්‍රයිවර් කෙනෙකුත් එක්ක. මල්ලිලා දෙන්නා ඉස්කෝලේ හොස්ටල් එකේ හිටියේ. අම්මයි , අප්පයි, ආච්චියි, බාප්පල තුන්දෙනායි, නැන්දායි, මාමායි, තාත්තගේ යාළුවො තුන්දෙනෙකුයි ඒ වෙනකොට අප් ගෙදර ඇවිත් හිටියා. ඊට අමතරව හිටිය අනික් අය අපේ ගේ දොර වතු පිටිවල වැඩකරපු අය. මේ ඔක්කොම  මාත් එක්ක 17 දෙනායි. එතැන හිටිය අප්පාගේ එක යාළුවෙක් සිංහල.”

පෙට්‍රල් බෝම්බ

ඒ වන විටත් ආණ්ඩුවේ හමුදාවේ හා පොලිසියේ මෙන්ම දේශපාලනඥයන්ගේ ආශීර්වාදය ලැබූ නුවරඑලිය සිංහල ජාතික බලමුළු බ්‍රිටන් ගාර්ඩන් බංගලාව වටලා තිබිණි. නුවරඑළි නගරය ගිනි බත් කළ ඔව්හු ඊළඟ  ගොදුරු බිම වෙත ළඟා වූයේ ලේ සුවඳ ඉව අල්ලමිනි.

“අපේ ගෙවල් පිටිපස්සේ  තිබුණු වතුර ටැංකිය ගාව මිනිස්සු කට්ටියක් රොක් වෙන්න පටන් ගන්නවා දැකලා අප්පා පොලිසියට කථා කරලා  ආරක්ෂාව ඉල්ලුවා. නමුත් වැඩක් වුණේ නැහැ. පොලිසියෙන් කවුරුවත් ආවේ  නැහැ. අපේ අප්පලා ගාමිණි දිසානායකව කොතරම් දැන ගෙන හිටියත්, ඒ වෙලාවේ අපිට ආරක්ෂාවක් තිබුණේම නැති තරම්. ඊට ටික වෙලාවකට පස්සේ හතර වටින්ම අපේ ගෙට ගල් ගහන්න පටන් ගත්තා. අපි ඒ පහරවලින් බේරෙන්න දොරවල් ඔක්කොම වහලා ශබ්ද නැතුව හිටියා. ඇත්තටම අපි හොඳින්ම දන්න අහල පහළ සිංහල අයත් මේ පිරිස් අතරේ හිටියා.”

කිසිවෙකුටවත් නිවසින් පිටතට පැමිණීමට නොහැකි වන ලෙස සිව් කොණම රැකවල් ලා සිටි දාමරික සිංහල බල සේනා ගල් මුගුරු ප්‍රහාරයෙන් පසු ඊළඟ පියවර සැළසුම් කළහ.

“ඊට පස්සේ අපේ ගෙට පෙට්‍රල් බෝම්බ වගේ දේවල් වලින් ගහන්න පටන් ගත්තා. මොහොතක් ඇතුළත වහළෙට සම්පූර්ණයෙන්ම ගිනි ඇවිළුණා. අම්මා, අප්පා , ඔක්කොම බයෙන් වෙව්ලනවා. හැමෝම කාමරෙන් කාමරේට මාරු වෙමින් ගින්නෙන් බේරෙන්න දඟලනවා. කුස්සියේ තිබුණු ගෑස් සිලින්ඩරයක් පුපුරලා ගින්න එන්න එන්නම වැඩි වුණේ ඒ අතරේදීයි. අපි ඔක්කොම මරණ බයෙන් කෑගහන්න පටන්ගත්තා.

"දවල් 2.30 විතර ඉඳන්  දැන් පැය දෙක තුනක් තිස්සේ ගිනි ගන්නවා. එත් හමුදාව, පොලිසිය ආවේ නැහැ. හැමෝම උත්සාහ කළා කොහොම හරි එළියට පැනගන්න. වත්තේ එක් කොනක් මායිම් වෙලා තිබුනේ නුවරඑලිය බියර් ෆැක්ටරියට. ඒ පැත්තට යන්න බැහැ මිනිස්සු අපිට එලියට එන්න දෙන්නේ නැති නිසා. අපේ ආච්චි දොර ඈරගෙන කොහොම හරි එලියට යන්න හැදුවා. එළියේ හිටිය මිනිහෙක් ආච්චිට පයින් ගහපු පාරින්  එයා ලේ පෙරාගෙන ඇදගෙන වැටුණා."

ඈ යළිත් සුසුම්ලයි.

කටුගාලක දැරියක්

"හැමෝම විලාප තියනවා. අම්මා මල්ලිලාව මතක් කර කර අඬනවා. මල්ලිලාගේ ඇඳුම්, පොත් එහෙම එයා බෑග් එකකට දානවා මම දැක්කා. සල්ලි , රත්‍රන් බඩු වගේ සියළු දේවල් පිච්චෙනවා. තව ටික වෙලාවකින් අපි ඔක්කොම මේ ගින්නට අහුවෙලා පිච්චිලා යාවි. මට මේ මුකුත් හිතා ගන්න බැහැ. ඒ වගේ දේවල් මම දැකල තිබුණේ චිත්‍රපටිවලින් විතරයි.

"අපි මැරුණට ඔයාට මැරෙන්න දෙන්න බැහැ කියල අප්පා ඇවිත් මාව බදා ගත්තා. පස්සේ ලොකු බ්ලැන්කට් එකකින් මාව ඔතලා එයාගේ පපුවට තුරුල් කරගත්තා. එතකොට මට දැනුනා එයාගේ හදවත කොච්චරනම් වේගෙකින් වැඩ කරනවද  කියලා". ඇය කතාව නවත්වා හඬයි. කිව යුතු යමක් සිතාගත නොහැකිව මම විපිළිසරව බලා සිටියෙමි.

"අපේ ගෙදර බේබි රූම් එක පැත්තේ එළියේ මල් වවලා තිබුණේ. ඒ නිසා ඒ පැත්ත ටිකක් ගස් වැල් වලින් ආවරණය වුණ ගතියක් තිබුණා. මට යමක් කියමින් හිටිය අප්පා එක පාරටම ජනේලෙන් මාව ඒ අකුලට විසි කරා. එච්චරයි මට දැනුනේ.”

තව දුරටත් ජීවත්වීමේ වාසනාව හිමිව තිබු දන්ද්‍රා සිහිසුන් වූවාය. ඒ රුදුරු හෝරා කිහිපය ගෙවී ගිය පසු ගිණිගෙන දැවුණු නිවසේ සුන්බුන් අතර වටිනා යමක් සොයමින් සිටි අසල්වාසී කාන්තාවකට ඇය හමුවූයේ පසුදා උදයේ ය..  මල් ගස් අතර තිබී හමුවූ  රෙදි ගුලිය ලිහා බැලූ ඇයට චන්ද්‍රා හමු විය. සිරුර පුරා තුවාල සිදුව තිබු කුඩා දැරිය එම කාන්තාවගේ මැදිහත්වීමෙන් නුවරඑලිය රෝහලට ඇතුලත් කෙරිණි.

“මට සිහිය එනකොට හිටියේ ඉස්පිරිතාලේ ඇඳක් උඩ. සිදුවුණු දේවල් හීනයක් වගේ. මට මතක හැටියට අපේ ගෙවල් ළඟ හිටිය 'සුදු' කියලා අක්කා කෙනෙක්ට තමයි මාව හම්බවෙලා තියෙන්නේ. ඒක මම දැනගත්තේ පස්සේ තමයි. නමුත් එදා මම හැර අපේ ගෙදර හිටපු 16 දෙනාම ගේ ඇතුලේම පුච්චලා මරලා දාලා කියලා මම දැනගත්තේ ඊටත් දවස් ගණනාවකට පස්සේ. අපේ ආච්චි කොහොම හරි එළියට පැනගෙන තියෙනවා. එත් එළියේ හිටපු සිංහල මිනිහෙක් ආච්චිට කඩුවකින් කොටලා මරා ආපහු ගින්නට ඇදලා දාලා තියෙනවා. ඒ වෙලාවේ මාවත් ඒ මිනිස්සුන්ට අහුවුණා නම් මමත් ඒ ගිණි ගොඩේම  අලුවෙනවා. එහෙම වුණා නම් හොඳයි කියලා හිතෙන වාර අනන්තයි.”

බදුල්ලේ සංහාරය

දින කිහිපයක ප්‍රතිකාරවලින් පසු චන්ද්‍රා නුවරඑළිය සන්සිටි ශාලාවේ පවත්වාගෙන ගිය තාවකාලික කඳවුර වෙත රැගෙන එනු ලැබිණි. ඇයට  මෙන්ම  ජුලි සංහාරයට ලක්වූ  නුවරඑළිය ප්‍රදේශයේ තවත් බොහෝ දෙනාටද තාවකාලික සෙවණ වුයේ මෙම කඳවුර ය.

“කෑම්ප් එකේදී සීඅයිඩී එකෙන් ඇවිත් මගෙන් පැයක් විතර ප්‍රශ්න කරලා කට උත්තර ගත්තා. මල්ලිලා දෙන්නා පොඩි බාප්පත් එක්ක මාව බලන්න කඳවුරට ආවා. ඒ ගොල්ලන්නට ඒ තරම් තේරුමක් තිබුණේ නැහැ. ගොඩක් පොඩියි. චුටි මල්ලිට අවුරුදු පහයි. ලොකු මල්ලිට අවුරුදු අටයි. පොලිසියෙන් මල්ලිලා දෙන්නා බාප්පට බාර දුන්නා. පස්සේ බාප්පා සිද්ධ වුනු දේ මල්ලි ලාට කියල තිබුණා. මාව හමුවෙනකම් ඒගොල්ලෝ දවස් ගානක්ම හඬමින් ඉඳලා තියෙන්නේ. හොස්ටල් එකේදිත් අම්මා ඕනේ කියලා හැමදාම අඬනවාලු. ඒ දවස මතක් වෙනකොට මට අදටත් දරාගන්න බැහැ.”

බලාපොරොත්තු විය යුතු පරිද්දෙන්ම මේ මිනිස් ඝාතනයන් හා දේපළ විනාශය පිළිබඳව කිසිදු විධිමත් පරීක්ෂණයක් සිදු නොවිණි. කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට පත් නොවිණි.  කුඩා ගැහැණු දැරිවියක ද ඇතුළු එකම පවුලේ  11 දෙනෙකු  බදුල්ල “මොඩර්න් තියටර්”සිනමා ශාලාව තුළ මරා දැමුණේද ඒ ජූලියේ මිනිස් ඝාතක දවස් පටන්ගත් සැණින් ය. ඒ සිදුවීමෙන් දින කීපයක් ඇතුළත චන්ද්‍රාගේ පවුලේ 16 දෙනෙකු ගිනි ජාලාවකට පූජා කළ නුවරඑළියේ සිංහල දාමරිකයන් බදුල්ලට වඩා ලේ පිපාසිත 'ජාති ආලයෙන්' තමන් ඔද වැඩී ඇතැයි සනාථ කළහ.

“අවුරුද්දක් විතර යනකම් අපි කවුරුවත් බ්‍රිටන් ගාර්ඩන්  ගෙදර පැත්තටවත් ගියේ නැහැ. ඊට අවුරුදු හතරකට විතර පස්සේ  ඒ කියන්නේ 1987 දී විතර විනාශ වුනු දේපලවලට කියලා ආණ්ඩුවෙන් වන්දියක් දීලා තියෙනවා. එත් මගේ අම්මට අප්පාට ජිවිතේ දෙන්න බැහැනේ. යුක්තියක් නොලැබුණ ඒ වන්දි වලින් ඇති ප්‍රතිඵලේ මොකක්ද?

කලු ජූලියෙන් වන්නියට

සිද්ධියෙන් ඇතිවූ කායික හා මානසික පීඩාවන් හමුවේ වුවද සිත ශක්තිමත් කරගත් ඇය සිය අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යාමට සමත් වුවා ය. මහනුවර කන්‍යාරාමයක නේවාසිකව සිටි ඇයට ඉන් ලැබුණු පිටුබලය ද අධ්‍යාපනය සාර්ථක කරගැනීමට ඉවහල් වී තිබුණි.

“මම විශිෂ්ඨ සාමාර්ථ  හතරකුත්, සම්මාන සාමාර්ථ හතරකුත් එක්ක සාමාන්‍ය පෙළ පාස් වුණා. උසස් පෙළ කරද්දී ආර්ථික අඩු පාඩුකම් දැනුනත්  කොහොම හරි කරගත්තා. ඊට පස්සේ මට අවුරුදු 19 විතර වෙනකොට මගේම ළඟ ඥාතියෙක් සමඟ කසාද බැන්දා. දැන් මට පුංචි දුවක් ඉන්නවා.”

1983 දී දෙමළ ජනයාට එරෙහිව ජුලි සංහාරය දියත් කිරීමට සිංහල ජාතිවාදී බලවේගයන්ට අවශ්‍ය රැකවරණය හා අනුබලය ලබා දෙනු ලැබුවේ එවකට පැවති ජේ. ආර් ජයවර්ධන විසින් නයකත්වය සපයන ලද  එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මගිනි. ඊට වසර 25 කට පසු 2008 වසරේදී  දෙමළ ජනයාට එරෙහි සංහාරය වෙනත් වටයකින් වඩා විධිමත්ව ක්‍රියාවට නංවන මොහොත එළඹෙන විට පැරණි වර්ගවාදී බලවේග මෙවර රොක්වී සිටියේ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව වටා ය. එදා ජුලි සංහාරයට වගකිව යුතු යැයි ව්‍යාජ චෝදනා නගා ජයවර්ධන ආණ්ඩුව විසින් තහනමට ලක් කළ කොමියුනිස්ට් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ  ද 2008 වන විට තීව්‍ර කෙරෙමින් තිබූ දෙමළ ජනසංහාරය වෙනුවෙන් රාජපක්ෂ සමඟ එකට  පෙළට ගැසී සිටීම කවර නම් බිහිසුණු සරදමක්ද?

පිටුවහල් දිවියක්

2008 වත්තලදී චන්ද්‍රා හමුවන විටත් ඇය සිටියේ දවසින් දවස වැඩිවන චකිතයෙනි. යළිත්  '83 ජුලි වැනි ජනසංහාරයක් දියත් වේයැයි සැකය චන්ද්‍රා ගේ සිතට වද දෙන්නට වූයේ දකුණු රට වසා උන්මාදයක් මෙන් පැතිර යන යුදකාමය හේතුවෙනි..

“අපේ පවුලේ අයට වුනු සිද්ධිය මතක් වෙන හැම මොහොතේම මට ලංකාවේ ජීවිතය එපා වෙනවා. ඇත්තටම ලංකාවේ ඉන්න පොඩ්ඩක්වත් මම කැමති නැහැ. එදා අම්ම අප්පා එක්ක මැරුණා නම් හොඳයි කියල දහස් වාරයක් හිතෙනවා. එහෙම නොවීම නිසා මම හැමදාම මැරී මැරී  උපදිනවා. පොඩි කාලේදී මුහුණු දීපු දේවල් මැරෙනකම්ම  අමතක කරන්න  බැහැ. අපේ මුළු පවුලම පැය කිහිපයක් ඇතුළත අළු කරපු ඒ හැම කෙනෙක්ම තවමත් ඉන්න බව මම දන්නවා. ඇත්තටම මට පලිගැනීමේ චේතනාවක් නැහැ. තියෙන්නේ මහා හිස් කමක්. අපේ පවුලම විනාශ කරලා ඒ අයට මොනවද ලැබුණේ කියන එක මම අදටත් කල්පනා කරනවා," ඇය අවිනිශ්චිත වේදනාවකින් කියන්නීය.

නමුත් අප හමුවන විටත් ලංකාව සදහටම අතහැර යන්නට ඇය හිතා හදාගෙන තිබිණ.

"මම යන්නේ මගේ දරුවා ගැන හිතලා. මට ජීවිතේ මහා කාලයක්  ඉතිරිවෙලා නැතිව ඇති. නමුත් මෙහෙම රටක මට දරුවා බය සැක නැතිව උස් මහත් කරන්න බැහැ. මම කැමති නැහැ මට වුණු දේවල් කවදාවත් එයාට වෙනවට - මම දැකපු දේවල් එයාගේ ඇස්වලින් දකිනවට. මට හැම වෙලේම මතක් වෙනවා එදා ගින්න ඇවිළෙන්න පටන් ගත්ත වෙලාවේ ඒකට කොටුවෙලා මගේ පවුලේ අය විලාප තියපු හැටි. මම මැ‍රෙනකම් ඒ කම්පනය නැති වෙන්නේ නැහැ. ඒක මට වචනවලින් පැහැදිලි කරලා තියන්න බැරි තරම් ගැඹුරු දුකක්."

මම කිසිත් නොකීමි. ඇත්තෙන්ම කියන්නට කිසිත් සිතාගන්නට පවා මම අපොහොසත් වීමි. ඇයගේ හමුවීම සම්බන්ධීකරණය කළ මිතුරා කිසිත් නොදොඩා ගෙමිදුලට බැස මා එනතෙක් රැඳී සිටියේය.

දැන් චන්ද්‍රා කොහේ සිටින්නේ දැයි නිශ්චිතව කියන්නට මම නොදනිමි. ඇය කී පරිදි ඇතැම්විට ඉන්දියාවට යන්නට ඇත. නැතිනම් වෙනත් රටකට සිය දරු පවුලද රැගෙන සංක්‍රමණය වූවා වන්නට ද පුළුවන. අපේ හමුවීමෙන් නම මාසයකට පසු මුල්ලිවයික්කාල් සංහාරය කූඨප්‍රාප්තියට එළඹිණ. දස දහස් සංඛ්‍යාත ජනයා යුද්ධයේ අවසාන සති කිහිපය තුළ දකුණේ අප බොහෝ දෙනෙක් නොදත් වෙරළ තීරයක සංහාරය වූහ. ඒ සංහාරය නිමා වූ තැන, කොළඹ හා දකුණේ වෙනත් ප්‍රදේශවල නගර වීදි බට ජනයා කිරිබත් කමින් ප්‍රීති සාද පැවැත්වූහ.

එ් ම්ලේච්ඡ වීදි සැණකෙළි දකින්නට චන්ද්‍රා නොසිටියා නම් හොඳ යැයි මට දැනුත් සිතේ. ඇගේ සිඟිති දියණිය ඒ දසුන් නොදිටී නම් වඩා හොඳ ය.☐

අතුල විතානගේ


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.