JDS Sinhala

නියඟලාමය තැතිගැන්මක ‘තේවරාජා‘ ස්මරණය

කේතීෂ්වරන් තේවරාජා නම් 28 හැවිරිදි දෙමළ තරුණයා ඝාතනය කර පස් වසරක් ඉක්ම ගොස් ඇත. ඔහු මරා දැමුණේ 2010 වසරේ දෙසැම්බර 31 වැනිදා ය. මෙකී ඝාතනයට හඳුනාගැනුණු නිශ්චිත හේතුවක් තිබුණි. ඒ ඔහු තමාගේ නිජභූමියේ වැලිකැටවලට පවා ආදරය කිරීමයි.  මිලිටරිමය දේශපාලන අනුහස  මත, යාපනයේ  කුඩත්තනෛ වෙරළේ මූදුවැල්ල මංකොල්ලකමින් මහා දවාලේ  සිදුකෙරුණු පාරිසරික සංහාරයට එරෙහිව එහි පාරම්පරිකව ජීවත්වුණු මිනිසුන්ගෙන් සැදුම්ලත් විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දීමට මුල් වූවන් අතර ප්‍රමුඛයෙකු ලෙස තේවරාජා ඉදිරිපත්වූයේ ස්වේච්ඡාවෙනි.  මෙම සටන් පෙරමුණේ නීත්‍යානුකූලවූත්, වඩා ප්‍රජාතන්ත්‍රීයවූත් කටයුතු සඳහා සැකසුණු පාරිසරික කමිටුවේ තේවරාජාද සිටියේ ය. ප්‍රාදේශීය බලධාරීන් සමඟ සිදුකළ සංවාද සාකච්ඡා වලට ඔහු අනිවාර්ය සාමාජිකයකු වූයේ ය. නමුත් ඔහුට මරණය ඉක්මන් වූ  සංසිද්ධීන් මතුව ආයේ, නව මාධ්‍ය භාවිතය පිළිබඳ ඔහු සතුව තිබූ මනා සාක්ෂරතාවය හේතුවෙනි. ඔහු "ෆේස්බුක්" සමාජජාල අඩවිය හරහා නිර්භීතව, වැලි කොල්ලකරුවන්ට එරෙහි මතයක් සමාජගත කිරීමෙහි ලා වන පළමු පියවර තැබීමට උත්සුක විය.  දේශපාලනමය හා මිලිටරිමය තර්ජන හා බිය වැද්දීම් පැමිනුණේ ඊට සමාන්තරව ම ය. ඒත් මේ කිසිවක් හමුවේ උකටලී නො වූ තේවරාජා, කුඩාතනෛ වෙරළ තීරය ඡායාරූපයට නඟා "කුඩාතනෙන වෙරළේ සම්පත් සංහාරය" මැයෙන් එය අන්තර්ජාල මිත්‍ර සංහතිය අතර පතුරුවාහරින ලද්දේ ය. ඒත් පින්තූර අතර තිබුණේ හුදෙකලා මුහුදු වෙරළක් නොවේ.  තවමත් ඔහුගේ ෆේස්බුක් ගිනුමේ වන මෙම  රූපාවලිය දීර්ඝ ය.  එහි වෙනම කියවීමක් ඇත.  ඈතට විහිදෙන වැලි බිම ය. වැලි බිමෙන් රූපයට නතුකරගත්  නියඟලා වැල් අතර පිපුණු නියඟලා මල් ය. කෙමෙන් වැලි මංකොල්ල විරෝධී තරුණයා පින්තූර අතරට පිවිසේ.   අවසන රූපාවලියේ කූඨප්‍රාප්තිකයයි. ඒ නියඟලා මල් අතින් ගත් තේවාරාජා ය. මේ නිර්භීත තරුණයා තම අතෙහි නියඟලා මල් ඉත්තක් රඳවා ඒ මල් ඉත්ත අහසට ඔසවාගෙන සිටී.

තේවරාජාගේ මෙම සංඛේතීය විරෝධය වැලි මංකොල්ලකරුවන්ගේ කෝපය අවුලුවන්නක් වූ බව නොකිවමනා ය. ඒ 2010 වසරේ අවසාන දෙසැම්බර් පවනැල්ල වියලි වෙරළ තීරය අතර සැරිසරද්දී පළාතම භීතියෙන් අවුලුවාලමින් ඔහුගේ නිවසට කඩා වැදුණු  ‘වැලි මංකොල්ලකාරයෝ‘ තේවරාජාට වෙඩි තැබුයේ ඔහුගේ බිරිඳගේ ඇස්පනා පිට ම ය. තේවරාජාගේ බිරිඳගේ සාක්ෂියට අනුව මෙම සන්නද්ධ කල්ලිය තේවරාජා පැහැරගෙන යන්නට ආ වෙලේ ඇය ඔහුගේ ඇඟේ මුළුමනින් ම වෙලී ඔහු වැළඳගෙන තිබේ. වෙඩිතබන්නේ නම් එය තම සැමියාට නොව, තමන්ට එල්ල කරන ලෙස කියැවුණු උදාර හැඟීමෙනි.  නමුත් පිස්තෝලකරුවා ඇගේ ආවරණය අතරින් අවකාශයක් සොයාගෙන තේවරාජාගේ හිසටම වෙඩි තබා ඇත.  වෙඩි තැබීමෙන් තේවරාජා නම් තරුණයාගේ ක්‍රෑර ඝාතනය සිදුවිය.  බිරිඳ මඟහැර සිදුකළ මෙම ශූර වෙඩි තැබිල්ලෙන් ගම්‍ය වන්නේ පිස්තෝලකරුවා සෙල්ලම් වෙඩි තබන්නකු නොවන බවයි. එසේම මෙම සාහිසික ඝාතනයෙන් නිකුත් කෙරුණ පණිඩිඩය පැහැදිලි ය. උකරුකරයේ සාඩම්බර වැලිතීරයේ  ‘වැලි විරෝධය‘ 2011 වසර දක්වා ගෙන නොයා යුතු බවයි.

රාජ්‍ය ත්‍රස්තවාදය

ඉදින් තේවරාජා ඝාතනය හුදෙකලා සිද්ධියක් නොව එය යාපනය අර්ධද්වීපයේ වෙරළ තීරය තුළ සිදුවූ හා තවමත් සිදුවෙමින් පවත්නා සංවිධානාත්මක වැලි මංකොල්ලයට එරෙහිව නැගී සිටි මහජන විරෝධය හකුලා ගන්නට බල කළ රාජ්‍ය ත්‍රස්තවාදයේ එක් සුවිශේෂී අවස්ථාවක් බව පැහැදිලි ය. පස්වසරක් ඉක්ම ගියද මෙම මරණය සඳහා සාධාරණ විනිශ්චයක් ලබා නොදීම පමණක් නොව,  පොලීසිය ඇතුළු වගකිව යුතු අංශ මේ ගැන නිසි පරීක්ෂණයක් පවා සිදු නොකිරීම එහිම අවිච්ඡින්න කොටස් ය.

තේවරාජාගේ හිස විනිවිද ගියේ, 2010 වසරේ සිට  දිග්ගැස්සුණු පාරිසරික අරගලයකට එරෙහිව තබන ලද  වෙඩි පහරකි. තවත් පසෙකින් එය අදහස් ප්‍රකාශනයේ නිදහසට එරෙහිව එල්ල කෙරුණු වෙඩිපහරකි.  නමුත් මෙම සිද්ධිය තවත් එක් හුදෙකලා සිද්ධියක් ලෙස සැළකූ ජනමාධ්‍යයන්ට එය කිඳා බැස සොයා පාදාගතයුතු මාතෘකාවක් වූයේ නැත. ‘නාභියට‘,‘තිසරපටයට‘ පවා  ණ්ඩුව සමඟ මතවාදීව උරෙනුර ගැටෙන ෆේස් බුක් මහා චින්තකයෝ පවා,  ෆේස් බුක් හරහා කළ අනාවරණයන් මුල් කොටගෙන ඝාතනයට ලක් වූ තේවරාජා සිද්ධිය මඟහැර ගියහ. දකු‍ණේ මාධ්‍ය අවකාශයට මෙන්ම, දකුණේ සයිබර අවකාශයට, තේවාගේ හිසට තබන ලද වෙඩිපහර මඟ හැරී යන යථාර්ථයට ඇත්තේ එකම නිශ්චිත අර්ථයකි. ඒ උතුරේ මුහුදු තීරය ස්වකීය මවුබිමේ කොටසක් ලෙස හැඟී නොයාමයි.  එනයින් ගත් කල  උතුරේ මූදු වැල්ල බේරා ගැන්මේ උදාර පරමාර්ථය වෙනුවෙන් දිවි පිදූ තේවරාජා තමන්ගෙ එකෙක් වන්නේ නැත.

'උතුරු වසන්ත' මංකොල්ලය

ඒත් තේවරාජාට එය තමන්ගේ මව්බිමයි. නැගෙනහිර  කුඩත්තනෛ උපන් තේවා වන්නි සංහාරය සමයේ වන්නියේම ජීවත්ව දිවි ගළවාගෙන සිට යළි ගමරට බලාවිත් එහි ම පදිංචි වූවෙකි. අනුකම්පා විරහිත, මානව විරෝධී තිරස්චීන ක්‍රියාවලියක් හරහා මහා ජන සංහාරයක් සමඟින් පොඩිපට්ටම් කර දැමුණු තේවරාජාගේ නිජබිමට ‘උතුරු වසන්තය‍‘ නමින් රැඟෙන ආ කොන්ත්‍රාත්කාර ව්‍යාපෘතීන් තුළ, පොළොවට සමතලා කළ නිවාස යළි ඉදිකිරීම ප්‍රමුඛස්ථානයක් ගනු ලැබුණි.  මෙම දහස් සංඛ්‍යාත නිවාස ඉදිකිරීම සඳහා වැලි සැපයීමේ ඒකාධිකාරය වරදානයක් ලෙස ලැබුණේ ‘මහේෂ්වරී පදනම‘ටයි.  විශාල රාජ්‍ය පදනමක් තිබුණු මහේෂ්වරී පදනම ඊපීඩීපී බළල් අතක් බව නොදන්නා කිසිවකුත් උතුරේ ජීවත් නොවේ.  නමුත් මෙම පදනමේ නීති විරෝධී ව්‍යාපෘති සිදුකෙරුණේ රාජ්‍ය ත්‍රස්තවාදයේ අනුග්‍රහය හා අනුදැනුම මත බවත් ඊට සිංහල හමුදා රැකවරණය නොඅඩුව ලැබුණු බවත් පැහැදිලි කරලීමට ඕනෑවටත් වඩා නිදසුන් ඇත. මෙහි පළමු අදියරේ දීම,  2010දී අරියාලේ සහ මාන්කුම්පාන්හි බැකෝ යන්ත්‍ර යොදමින් විශාල පරිමානයේ ආවාට කණිමින් වැලි ගොඩ දැමීමට ඩග්ලස් දේවානන්දාගේ හෙන්චයියෝ ක්‍රියා කළහ. චිරප්‍රසිද්ධ රමනීය මනාල්කාඩු ස්වභාවික වෙරළ තීරය කෙළෙසමින් සිටියදී ප්‍රදේශවාසීන් එක්ව අඛණ්ඩව උද්ඝෝෂණයේ යෙදෙමින් ම, ඊට එරෙහිව ලබා ගත් අධිකරණ නියෝගයන් පවා  ඔවුහු ඉරා දැමූහ. යළි, මනල්කාඩුවට මදක් ඔබ්බේ වූ කොඩ්ඩුවාඩෙෙ  වෙරළ තීරයේ වූ ස්වභාවික වැලි පවුර බිඳ දැමීමට සිංහල ගිනිඅවි රැකවල් මධ්‍යයේ ඔවුහු ක්‍රියා කළහ.  විරුද්ධවූවන්ට අඛන්ඩව මරණීය තර්ජනය කළහ. 

2010 අගෝස්තුවේදී ශ්‍රී ලංකා භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යංශය විසින් යාපනය වෙරළ තීරයට ගොඩ බැස සිය සමීක්ෂණ කටයුතු ඇරඹූවද,  එහි කඩාවැදුණු ‘දේවානන්දා වැලිඇණියේ‘ තර්ජන හමුවේ වහාම සිය නිල කටයුතු හකුලාගෛන කාර්යාලය බලා පසුබැසීමට භූ විද්‍යා නිලධරයට සිදුවිය. කෙමෙන් කුඩත්තනෛ  වෙරළ තීරය දෙසට හැරුණු වැලි ටිපර් ආපසු හරවා ගැනීමට තරම් ජවසම්පන්න උද්ඝෝෂණ නැඟ එමින් පැවතුණි.  ඒත් ඊට එරෙහි මර්දනය කූඨප්‍රාප්තියට පත් වූ අවස්ථාව වූයේ රාජපක්ෂ රෙජීමයේ උතුරේ බලපුළුහන්කාරයා වූ ඩග්ලස් දේවානන්දා සිංහල හමුදාව සහ පොලීසිය සමඟ පැමිණ, කුඩාත්තනෛ ගම්වාසීන්ට සෘජුවම මරණීය තර්ජන සිදුකිරීම යි. මෙම මුහුදු තීරයේ නැඟැ ආ ප්‍රචණ්ඩත්වය ඒ වකවානුවේදීම එක් ප්‍රධාන පුවත්පත් සංවාදයකදී කියැවුණි. ඒ, ‘පේදුරු තුඩුව සංවර්ධනයේ  පර්යේෂණ නිවහනේ‘ (PPID) ප්‍රධාන පර්යේෂකයා වූ ආචාර්ය මුත්තුක්‍රිෂ්ණා සර්වනන්දන් සමඟ ‘සන්ඩේ ලීඩර්‘ පුවත්පතේ සර්ජි ද සිල්වා රණසිංහ සිදුකළ සංවාදයේ දී ය. එහිදී ආචාර්ය සර්වනාතන් මහේෂ්වරී පදනමේ සහ ඊපීඩීපී සංවිධානයේ සෘජු කප්පම්ගැනීම්, කප්පම් සඳහාපැහැරගෙන යාම්, නීත්‍යානුකූල නොවන වැලි ගොඩදැමීම්, එහි ඒකාධිකාරය වෙනුවෙන් සිදුකෙරෙන අක්‍රමිකතාවන්, හින්දු කෝවිල් පරිපාලන සභා මෙල්ල කිරීම්, වැලි මංකොල්ල විරෝධී මහජනතාවට තර්ජනය කිරීම් සහ බියවැද්දීම් ආදී සකලවිධ මර්දනකාරී ක්‍රියාවන් ගැන විවෘතව හෙළිදරව් කළේ ය. ඒ 2010 නොවැම්බර් මාසයේදී ය.  තේවරාජා ෆේස් බුක් සමාජ ජාලය වෙත කුඩාත්තනෛ රූපාවලිය මුදාලීම සිදුවන්නේ මෙම තර්ජනාවලියට සමාන්තරව ය. ඉදින්, ඔහු ඝාතනය කරලීම සහ එය නිශ්චිතවම 2010 දෙසැම්බර් 31 දා ම සිදුකිරීම හරහා ඝාතකයන් අලුත් අවුරුදු සුබපැතුම් සමඟින් නිකුත් කළ සංඥාර්ථය වටහා ගැනීම අපහසු නොවන්නේ එබැවිනි.

තේවරාජා මඟ හැරීම

මුදල් ගෙවා වෙන්කරගත් ‘ජාතිවාදීන් නැති කෝච්චි පෙට්ටි‘ වල නැඟ උතුර-දකුණ අතර ‘තල්කොළ-පොල්කොළ‘ සංචාර යමින් ගස්-ගල් අභියස හිටගෙන සමූහ පින්තූර සහ සෙල්ෆි පින්තූර ගනිමින් තමන් යාපනයේ සංචාරය කරන බව තලුමරන ඇතැම් සිංහල මාධ්‍යවේදීන් අතීතයේ වැලිපර ගහණව පැවති මෙම වෙරළ තීරයට ගොස් එහි ජනතාව හමුවී ඔවුන්ගේ කතාවට ඇහුන් කන් නො‍දෙන්නේ අතිශයින් භයානක හේතු දෙකක් නිසා විය හැකි ය.  හේතු දෙකම අතිශයින් දේශපාලනික වන අතර පළමුවැන්න සිංහල බෞද්ධ ජාතිකවාදය විසින් හික්මවනු ලැබූ දකුණේ සාමුහික විඥානයේ සචේතනික අපේක්ෂාව හෙවත් යාපනය මුහුදට හේදී යාම පිළිබඳව තමන් තුළ පවතින අවිඥානික ලලාසාවයි. කෙටි උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම් මෙබඳු ය. සිරිමහා බෝධී අංකුරය ඇතැතිව සංඝමිත්තාව ගොඩබස්නා ලදැයි කියැවෙන ජම්බුකෝල පට්ටනය, දෙමළාගේ ය.  එය සේදී ගියාට කම් නැත. නමුත් සිරිමහා බෝධිය අපේ ය. මහමෙව්නාවේ පවතින බැවිනි.   සඟමිත් තෙරණිය පය තිව් නමුදු අපේ යැයි නොදැනෙන මෙම වෙරළ තීරය දැන් දැන් වඩ වඩාත් සුවිශාල ප්‍රමාණයෙන් මුහුදට සේදී යාම සිද්ධවෙමින් පවතී. මොන සතුටක් ද?

භයානක දෙවැනි හේතුවද එලෙසින්ම සුවිශේෂී ය. එනම් කේතීස්වරන් තේවරාසා සංඥාර්ථයෙන් මතු කළ නියඟලාව පිළිබඳ සංත්‍රාසයයි.  මුහුණු පොත මත දිගෑරුණු පින්තූරවල වූ තේවරාජා අත වූ නියඟලා මල, දකුණේ සිංහල මනස හමුවේ සංත්‍රාසක සංකේතයක‍ි.  ඇතැම් විදේශයන්හි මෙන්ම යාබද තමිල්නාඩුවේ පවා ජාතික පුෂ්පය ලෙස නම් කර ඇති නියඟලා මල 2003 වසරේදී දෙමළ ඊළාමයේ නිල පුෂ්පය ලෙසින් නම් කෙරුණි.  දෙමළ ජාතික විමුක්ති අරගලය වෙනුවෙන් දිවිපිදූවන් ස්මරණය කරනු වස් කැපකළ ‘මහවිරු සතිය‘ මුළුමනින්ම නියඟලා කුසුම තුළ සංබේතගත විය. එකී කුසුමේ සංඛේතීය වීරත්වය විසින් දකුණට දනවනු ලැබෙන්නේ සංත්‍රාසය යි. සංත්‍රාසය විසින් වරනඟනු ලැබෙන්නේ හීනමානී ජාතික අභිමානයයි.

දෙමළ කිවියර අරිවුමදී සඳහන් කළ පරිදි අතීත දෙමළාගේ යුද දෙවිඳානන් වූ මුරුගන් ගේ නිල පුෂ්පය වූයේ 'කාර්තිගෙයි පූ' හෙවත් නියඟලා කුසුමයි.  නමුත් අනුහස් ඇති දෙවිකෙනෙකු දෙමළාගේ නමට ලියා දීමට මහා ජාතියට නොහැකි ය. මුරුගන් හා සිංහල බෞද්ධයන් අතර වන අන්තර් සම්බන්ධය මුදලිඳු එච්. ඊ. අමරසේකරගේ පර්යේෂණ තුළ පැහැදිලිව සටහන් වේ. මහාචාර්ය එස්. පත්මනාදන් සිය පර්යේෂණ මගින් සනාත කරගත් නිගමනයන් ආසියානු අධ්‍යයන ආයතනය විසින් ප්‍රකාශයට පත් කෙරෙන ශාස්ත්‍රීය සඟරාවේ 1999 සැප්තැම්බර් කලාපයේ පළකර ඇති අතර එමගින් ඔහු අමරසේකරගේ මතය සනාත කරමින් තව දුරටත් පවසන්නේ මුරුගන් වනාහි සිංහල බෞද්ධයන්ගේ රැකවල් දෙවියා බවයි. එහෙත් සිංහල බෞද්ධයන්ට තමන්ගේම වීරත්වයට අධිපති වන කතරගම දෙවියන් අත වූ නියඟලා මල වහ කඳුරු මෙනි. නියඟලා මලක් දුටු විගසින් ඔවුන්ගේ ‘සිංහ-ලේ‘ කිපේ.

යාපනය මුහුදට බිලිවීම

තේවරාජා ඝාතනෙයෙන් වසරක් ඉක්ම යන මොහොතේ මා ලියූ ලිපියෙහි මෙම මුහුදු ඛාදනය ගැන ලීවෙමි. දැන්  තේවරාජා ඝාතනය කර පස් වසක් ඉක්ම ගොසිනි.  වැලි මංකොල්ලකරුවන්ට පින්සිදුවන්නට, අධිපතිවාදයෙන් ඔද්දල් සිංහලයන්ගේ සිත්සතන් අමන්දානන්දයට පත් කරමින් දැන් ඒ යාපනය මුහුදෙන් යටවීම වේගවත් වෙමින් පවතී.  මෙම උපද්‍රවයෙන් ගැළවීමට නම් ජනතාව මීට වඩා පරිසරයට ආදරය කළ යුතු බව උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග හා පරිසර  අමාත්‍ය මෙන්ම පරිසරවේදීයකු ලෙසද සැළකෙන පොන්නුදුරෛ අයින්ගරනේසන් බී.බී.සී. සංදේශයට පවසා සිටියේ ඉකුත් දෙසැම්බර් 30 වැනිදා  ය. පරිසරයට ආදරය කිරීම වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කිරීමටත් එහා ගිය  තවත් කැපකිරීමක් තිබිය නොහැකි ය. කේදීස්වරන් තේවරාජා කළ කැපකිරීම ප්‍රශ්න අසන මාධ්‍යවේදීයා සහ අයින්කරනේෂන් අමාත්‍යවරයා පවා නොදැන සිටිම මෙම ප්‍රශ්නයේ සැබෑ තත්වය පිළිබිඹු වන කැටපතකි. එම බී.බී.සී. ප්‍රවෘත්තියේ ම  ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ හිටපු කුලපතිවරයා වූ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය සෙනෙවි එපිටවත්ත මෙම මුහුදු ඛාදනය පිළිබඳ තර්ජනය තහවුරු කර තිබුණි. යාපනය අර්ධද්වීපය ආසන්න ඉතිහාසය තුළ සුවිශාල භූ විෂමතාවන්ට ගොදුරුවී ඇති බව දැන් තහවුරු වී ඉවර ය. යම් හේතුවකින් යාපනය අවට මුහුදු ජලය සෙන්ටි මීටර පනහකින් ඉහළ ගියහොත් ප්‍රාතිහර්යයකින් බඳු දෙයකින් නාගදීපය පමණක් නිරුපද්‍රිතව ඉතිරිවන අතරතුර  සමස්ථ යාපනයම මුහුදේ ගිලී ගිය අතීත නගරයක් පමණක් බවට පත්වීමේ විද්‍යාත්මක සම්භාවිතාව දැන් ඉහළ ගොස්  ඇත.  යාපනය අර්ධද්වීපය ස්වභාවිකවම රැකගත් වැලි තීරයේ පතල් කපා ඇති කලෙක මෙවන් ව්‍යසනයක් ඇති වීම ස්වභාවික වන්නේ වෙයි. කෙසේ නමුත් තේවරාජා දිවි පුදා සටන් කළ ‘වැලි කෙළිය‘ තවමත් අවසන් වී නැත.

ඉතිහාසයේ දවසක මාධ්‍යවේදී ආතර් වාමනන් විසින් ‘ද නේෂන්‘ පුවත්පතේ පළකෙරුණු සංවාදයකදී අමාත්‍ය ඩග්ලස් දේවාවන්නදාගෙන් මෙසේ අසයි. ‘‘නීති විරෝධී ලෙස වැලි හැරීම සම්බන්ධව, ඔබත් ඔබේ සනුහරයත් චෝදනා ලැබ තිබෙනවා. මොකද මේ ගැන කියන්නෙ? ‘‘ එහිදී ඩග්ලස් කියන්නේ මෙයයි. ‘‘මෙවැනි දෝශාරෝපණ කරන්නෙ මාවත් මගේ පක්ෂයත් අපකිර්තියට පත් කරන්නයි.  මේ වැලි හෑරීම මහේෂ්වරී පදනම මඟින් සිද්ධ කෙරෙන්නෙ ඉතාම නීත්‍යානුකුල අන්දමට.  අපි ‘භූ විද්‍ය සමීක්ෂණ හා පතල් කාර්යංශයෙ ‘අනුමැතිය ලබාගෙන තියෙනවා.‘‘ ඔහු මෙසේ අවසරගෙන ඇත්තේ, රාජකාරියේ නිරතවෙමින් සිටි එම කාර්යංශ නිලධාරීන් උතුරේ වැල්ලබඩින් පලවාහරින අතරතුර විය යුතු ය.

ඩග්ලස් දේවානන්දාට එරෙහිව දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් සහ පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ටී. සංජීවා විසින් අල්ලස් හා දූෂණ කොමිෂමට පැමිණිලි ඉදිපත් කෙරුණේ 2015 ජූනි මාසයේදී ය.  ඒත් අගෝස්තු  මාසයේ පත්ව ආ නව පාර්ලිමේන්තුවේ එකම මන්ත්‍රීධූරයක් ඇති ඊපීඩීපී සංවිධානයේ නායක ඩගලස් දේවානන්දා කෙසේ හෝ ආණ්ඩුවේ ඔඩොක්කුවට පැනගත්තේ ය. දැන් ඔහු  ‘දූෂකයන් පරසක්වල ගසන බවට කියමින් පොළවේ පස් කෑ යහපාලන ආණ්ඩුවේ‘ කොටස්කාරයෙකි.  ඉදින් අසරණ යාපනය මුහුදු වෙරළට ‘අබ සරණ‘ම මිස අන්සරණක් නැත. එවන් වෙරළක සිදුවූ තේවරාජා බඳු මනුෂ්‍ය ඝාතනයන් පිළිබඳ අවසාන සාක්‍ෂියත් මුහුදුබත් වනු විනා සාධාරණ විනිශ්චයක් සඳහා ඉතිරිව පවතින්නට ඉඩක් නැත.☐

මංජුල වෙඩිවර්ධන


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.