JDS Sinhala

සූරියකන්ද: රක්වාන කඳුයායේ මඟහැරුණු මළවුන්

දට විසි දෙවසරකට පෙර මෙවැනිම දෙසැම්බරයේ දිනෙක නිර්නාමික ලිපියක් 'රාවය' ප්‍රධාන සංස්කාරක වික්ටර් අයිවන්ගේ නමට ලැබුණු බව ඔහු විසින් සංස්කාරක මණ්ඩලයට දැනුම් දුන්නේය. ඒ වන විට නිදහස් ලේඛකයෙකු ලෙසින් මම  රාවයට පත්‍රයට සමීපව සිටියෙමි. ලද පණිවුඩය වැදගත් එකකි. සබරගමුව රක්වාන කඳු වැටියේ මුහුදු මට්ටමින් අඩි 4440 ක් උසින් පිහිටි සුරියකන්ද ප්‍රදේශයේ 88-89 කාලයේදී පැහැරගෙන ගොස් මරා දැමුණු පුද්ගලයන් රැසකගේ මළසිරුරු වළ දමා ඇතැයි එවා තිබූ නිර්නාමික පණිවුඩයෙන් දන්වා තිබිණි. නම හෙළි නොකළ හමුදා නිලධාරියකු විසින් ඒවා තිබු එම පණිවුඩය සමඟ මළසිරුරු වළ දමා ඇති තැන් පිළිබඳව දැක්වෙන දළ සිතියමක් ද විය. ඒ වකවානුවේ දී බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් මරා දැමුණු ඇඹිලිපිටිය සිසුන්ගේ මළ සිරුරු මෙහි ඇති බවට එහි නිශ්චිතව සඳහන් කර නොතිබුණ ද, එම සිසුන්ගේ සිරුරු ද මෙහි වළ දමා ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කළහ.

ඇඹිලිපිටියට රහස් ගමනක්

එවකට බස්නාහිර පළාත් සභාවේ මහ ඇමතිනිය වූ  චන්ද්‍රිකා බණ්ඩාරනායක ඒ වනවිට වික්ටර් අයිවන්ගේ සමීප මිතුරියක්ව සිටියාය. ඒ නිසාම ඔහු විසින් මේ ලිපිය ගැන  මුලින්ම දන්වා සිටියේ ඇයට ය. අනුරුද්ධ රත්වත්තේ, එස් බී දිසානායක වැනි පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රබලයන්ගේ ප්‍රධානත්වයෙන් පැවති කථා බහකින් අනතුරුව මේ මළ සිරුරු වළ දමා තිබුණු ප්‍රදේශය හාරන්නට තීරණය කෙරුණි. එහෙත් එය  රහසක් ලෙස තබා ගැනීමට එකඟත්වයක් වුයේ බලයේ සිටි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විසින් ඊට නියත වශයෙන්ම අකුල් හෙළනු ඇති බවට මතු වූ සැකය හේතුවෙනි. කෙසේ වෙතත් '94 වසර උදාවත් සමඟ එළඹි ජනවාරි මාසයේ 03 වැනි සඳුදාවේ, සුරියකන්ද මෙහෙයුම ක්‍රියාවට නැංවීමට නියම විය.

ඉතාමත් සුවිශේෂ කටයුත්තක් සඳහා කොළඹින් පිටතට යාමට පැමිණෙන ලෙස, විශේෂයෙන් මෙරට විදේශ මාධ්‍ය වෙත, දැනුම් දීමට කටයුතු කරන ලද්දේ මේ තීරණයට පසුව ය. අළුයම හතරට රොස්මිඩ් පෙදෙසේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නිවහනට රැස්වූ පිරිස පැල්මඩුල්ල දක්වා ගමන් කිරීමෙන් අනතුරුව  පවිත්‍රා වන්නිආරච්චිගේ නිවසින් උදේ ආහාරය ගෙන යළි ඇඹිලිපිටිය බලා පිටත් වූහ. පළපුරුදු පතල් කම්කරුවන් කිහිපදෙනෙක් හා සිරුරු වළ දමා ඇති තැන් හෑරීම සඳහා ගල් ඉණි කිහිපයක් ද රැගෙන යාමට කටයුතු කිරීමත් හේතුවෙන් මෙතෙක් රහසක්ව පැවති ගමන පිළිබඳ තොරතුරු සෙමින් අනාවරණය වන්නට විය. එහෙත් සුරියකන්ද ප්‍රදේශයට පිවිසෙන විට මේ පිළිබඳ කණ වැකුණු පොලිසිය මාර්ග බාධක යොදා දැඩි ආරක්‍ෂිත වැඩපිළිවෙලක් හරහා ගමනට බාධා කරන්නට කටයුතු සැළසුම් කර තිබුණි. සුරියකන්ද මාර්ගයට පිවිසීමට පොලිස් අවසරය නොලැබුණ ද  බස්නාහිර පළාත් මහ ඇමතිනිය ලෙස ඒ වනවිටත් කටයුතු කළ චන්ද්‍රිකා බණාඩාරනායකගේ ගමන වැළැක්වීමට පොලීසිය බලයක් නොවිණ. නමුත් අනුරුද්ධ රත්වතේ ඇතුළු අනෙකුත් පිරිස සුරියකන්දට පිවිසියේ බලහත්කාරයෙනි. ඔවුන් පාලනය කර ගැනීමට පොලිසියට කිසිවක් කළ නොහැකි විය.

නිර්නාමිකව ලැබුණු ලිපියේ සඳහන් පරිදි නියමිත ස්ථානයට පැමිණියත් ප්‍රදේශය පුරාම පැවති අධික මීදුමත්, භූමිය වසා පැතිර වැඩුණු ඉලුක් යායත් නිසාවෙන් හෝඩුවාවට අනුකූල කිසිදු සළකුණක් සොයා ගැනීම දුෂ්කර විය. වැදගත් සොයාගැනීමකින් තොරවම පැය ගණනාවක් ගෙවී ගිය අතර පැමිණි බොහෝ දෙනා ඒ වනවිටත් අපේක්‍ෂා භංගත්වයට පත්ව දුර්මුඛව සිටියහ. ඇතැම් දෙනා පැවසුවේ මෙය ආණ්ඩුව විසින් සැලසුම් කර නොමඟ යැවීම සඳහා කරන ලද්දක් බව ය. නමුත් අවසාන විග්‍රහයේදී සියළු දෝෂාරෝපණ එල්ල වුයේ රාවය පත්‍රයට ය.

නිව්ටන්ගේ වික්‍රමය

නමුත් වැඩෙමින් ආ බලාපොරොත්තු කඩවීමට එරෙහිව සියල්ලන්ගේ උනන්දුව මෙළවීමට කටයුතු කළ සුවිශේෂී පුද්ගලයෙකු එහි විය. ඒ, එවකට රාවය පත්‍රයේ ප්‍රවෘත්ති සංස්කාරකවරයා වශයෙන් කටයුතු කළ නිව්ටන් සෙනෙවිරත්න ය. එක් තැනක ළඟ ළඟ සරුව වැඩුණු ඉලුක් ගස් අනෙක් ඒවාට වඩා සුවිශේෂී බවක් ඇතැයි ද, එසේ විය හැක්කේ කෙසේදැයි සොයැ බැලිය යුතු යැයි ද කියමින් බලවත් බලපෑමක් කරන ලද්දේ නිව්ටන් විසිනි. ඒ අනුව එම ස්ථානය හාරා බලන්නට සියල්ලෝ එකඟ වූහ. ගල් ඉණි ඉතා පහසුවෙන් පොළවට කිඳා බැසීමත් සමඟම පැතිර ගිය දුර්ගන්ධය නිසා බොහෝ දෙනා කියා සිටියේ මෙය වැසිකිලි වළක් විය හැකි බව ය. එහෙත් වැසිකිලි වළක් නම් ගල් ඉණි තුඩු වල සුදු පැහැති දේ රැඳිය නොහැකි බවත්, තිබිය යුත්තේ කළු පැහැති මළ ද්‍රව්‍ය බවට තර්ක කොට යළිත් උද්‍යෝගය අවුළුවන ලද්දේ නිව්ටන් සෙනෙවිරත්න විසිනි. ඒ අනුව හාරා බලන්නට සිදුවූයේ තවත් අඩි කිහිපයක් පමණි. මහ පොළොව පත්ලෙන් පළමු හිස් කබල මතු විණ. තව දුරටත් කැණීම නීතිවිරෝධී කටයුත්තක් බැවින් පවිත්‍රා වන්නිආරච්චි සහ  නීතිඥ එස් ඒ ප්‍රේමරත්න සමඟ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ද ක්‍ෂණිකව පිටත් වූයේ ඒ පිළිබඳ ඇති වූ සාකච්ඡාවේ ප්‍රතිඵල වශයෙනි. එවකට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කළ පියසේන රණසිංහ එම ස්ථානයට පැමිණීමත් සමඟ යළි කැණීම් ආරම්භ විය. මරා වළ දමා තිබුණු පුද්ගලයන්ගේ මළ සිරුරු හතක කොටස් එදින ගොඩගනු ලැබූ අතර පැවති කාලගුණික තත්වය හේතුවෙන් කැණීම් කටයුතු ජනවාරි 8 වැනිදාට කල් දැමිණි. මහේස්ත්‍රාත් නියෝග යටතේ අනතුරුව කැණීම් සිදුකල ප්‍රදේශයට ආරක්ෂාව සැළසීමට අකමැත්තෙන් වුවද පොලිසියට සිදුවිය.

කැණීම් පිළිබඳ පැතිර ගිය ආරංචි සමඟ ප්‍රදේශවාසී ජනයා සුරියකන්ද පාමුලට එක් වූ නමුත් පොලිස් බල ඇණි වල අවහිරකිරීම් නිසා ඔවුනට කැණීම් ස්ථානයට ළඟා වීමට නොහැකි විය.

නමුත් ජනවාරි 08 වෙනිදා සූරියකන්දට ළඟා වනවිට දක්නට ලැබුනේ කිසියම් පිරිසක් විසින් පරීක්‍ෂණ නොමග යවන්නට ගත් වෑයමකි. වෙනත් සොහොන් වළවල් හාරා ගෙනෙන ලද මළ සිරුරු කොටස් කැණීම් කරමින් තිබූ වළට දමා තිබිණ. මෙය සිදු කර ඇත්තේ ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් එම ස්ථානයෙන් පළවාහැරීමෙන් අනතුරුව බවට පසුව දැනගන්නට ලැබුනි.

කෙසේ වෙතත් දෙවැනි දින කැණීම්වලින් මළසිරුරු නවයක් ගොඩ ගැනීමට හැකි විය. ඒවා වළ දමා තිබුනේ සිරස් අතට ය. කඳු මුදුනේ පැවති අධික ශීත දේශගුණික තත්වය හේතුවෙන් දිරා පත්ව නොතිබූ මෙම සිරුරු ගොඩගැනීමේදී අස්ථි කැබලි එකිනෙක වෙන් වන්නට පටන් ගත්තේය.

ඇටකටු පෙරළා දරුවන් සෙවීම

සුරියකන්ද පාමුලට රොක් වූ ජනයා කැණීම් සිදුකෙරෙන ස්ථානයට යාම වැලක්වීමට පොලිස් බලඇණි ගත් වෑයම දෙවන දිනයේ සාර්ථක නොවුණි. ඉක්බිතිව ප්‍රදේශවාසී ජනයා වෙනත් විකල්ප මං ඔස්සේ අදාළ ස්ථානයට ළඟා වූහ. එසේ පැමිණි කිහිප දෙනෙක්ම අදාළ මළසිරුරු තම සමීපතමයන්ගේ බවට හඳුනා ගත්හ. රජයේ හමුදා විසින් ඔවූන් බලහත්කාරයෙන් පැහැර ගෙන යන විට ඇඳ සිටි ඇඳුම්වලින් ශේෂව තිබූ කොටස්, මළවුන් හඳුනා ගැනීමට බෙහෙවින් උපකාරී විය. අනතුරුව සියල්ල මුද්‍රා තබා අධිකරණය භාරයට පත් කෙරිණ.  සුරියකන්ද සමුහ ඝාතන භුමිය පිළිබඳව විදේශීය මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරුණ ද, ඊට සාපේක්‍ෂව ලංකාවේ  'ජාතික පත්තර' යැයි කියැවෙන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් එය ප්‍රමාණවත් ලෙස මතු නොකෙරුණේ ආණ්ඩුවේ බලපෑමට අවනත වන්නට අදාළ මාධ්‍ය තීරණය කොට තිබූ නිසා ය. කෙසේ වුවද සිද්ධිය වාර්තා කරනු ලැබූ ඇතැම් ප්‍රධාන පෙළේ පුවත්පත් වෙළඳ පළට නිකුත් වීමට මත්තෙන් ගිනි තබා විනාශ කෙරිණ. නමුත් උපරිම අවධානයකින් යුතුව සිද්ධිය වාර්තා කරනු ලැබුවේ එවකට පළ වූ විකල්ප පුවත්පත් විසිනි. කැණීම්වලින් හමු වූ මළ සිරුරු, පැහැර ගෙනගොස් මරා දැමුණු ඇඹිලිපිටිය පාසැල් සිසුන්ගේ බවට මුලින් සැකකළ ද එය එසේ නොවන බවට ක්‍රමයෙන් හෙළි විය. රත්නපුර අධිකරණ භූමියේදී පැවති හඳුනාගැනීමේ පරීක්‍ෂණයේදී ඇඹිලිපිටිය සිසුන්ගේ දෙමව්පියෝ මෙම මළ සිරුරු තම දරුවන්ගේ බවට හඳුනා නොගත්හ. එහෙත් සුරියකන්ද ප්‍රත්‍යන්තයේ විසූ ගම්වාසීහු එම සිරුරු, රජයේ හමුදා විසින් පැහැර ගන්නා ලද ස්වකීය සමීපතමයන්ගේ බවට හඳුනාගැනීමට සමත් වූහ.

සුරියකන්දේ දැනට පිහිටුවා ඇති රූපවාහිනී සම්ප්‍රේෂණ කුළුණ ඊට පෙර ඉදි කිරීමට සැළසුම් වුයේ මෙම මළ සිරුරු වළ දමා තිබු භූමියේ ය. කුළුණ ඉදි කිරීමේ අරමුණින් කපන ලද වළවල් අත්හැර දැමීමට සිදුවුයේ ඊට යටින් විශාල ගල් තලාවක් මතු වූ බැවිණි. පසුව ඉදිකෙරුණු සම්ප්‍රේෂණ කුළුණේ ආරක්‍ෂාව සඳහා හමුදා අනුඛණ්ඩයක් එහි ස්ථාපිත කරන ලද්දේ ලැබුවේ '89 වසරේදී ය. ඒ, ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයේ සේ සැළකුණු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ඊට ප්‍රහාර එල්ල කරනු ඇතැයි පැවති සැකය නිසාවෙනි. මෙම හමුදා අනුඛණ්ඩය මගින් සුරියකන්ද අවට ගම්මානවල දෛනික සෝදිසි මෙහෙයුම් දියත් කළ අතර ඒ මගින් අත්අඩංගුවට ගත් බොහෝ පුද්ගලයන් වධ බන්ධනයන්ට ලක්කොට මරා පසුව මෙම වළවලට දමා ඇති බවට කරුණු අනාවරණය වූයේ පසුව ය.

ඝාතකයන් සමග 'ප්‍රතිසන්ධානය'

මරා වළ දමා තිබු පුද්ගලයන් 16 දෙනෙකුගේ සිරුරු කොටස් හමුවුවද අදාළ පරීක්‍ෂණ නිශ්චිත අවසානයක් තෙක් ගෙනයාමක් සිදු නොවුණි. කැණීම් කටයුතු සිදුකරනු ලැබුයේ දින දෙකක් පමණි. තවත් පුද්ගලයන් මරා වළ දමා ඇති ස්ථාන කෙරෙහි කිසිදු අවධානයක් නොමැතිවම සියල්ල නිමා වුයේ 17 වසරක එක්සත් ජාතික පක්‍ෂ පාලනය පෙරළා පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීමට සුරියකන්ද ප්‍රධාන සාධකයක් කරගනිමිනි. ඒ අනුව, '94 දී බලයට පැමිණි පොදු පෙරමුණු ආණ්ඩුව යටතේ සුරියකන්ද ගැන විශේෂ පරීක්‍ෂණයක් සිදු නොවුණු අතර මළ සිරුරු හඳුනාගත් ඥාතීන්ට නිසි යුක්තියක්ද ඉටු නොවුණි. ඒ වෙනුවට සිදුවුයේ චන්ද්‍රිකා ආණ්ඩුව බලයට පැමිණ කෙටි කාලයක් තුළ දී, රත්නපුර දිස්ත්‍රික්කයේ සිදු වූ මිනිස් ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ  එම ප්‍රදේශයේ දේශපාලන බලවතා මෙන්ම ප්‍රේමදාස පාලනයේ සමීපතමයෙකු වූ නන්ද මැතිව්ට  කාර්යභාරයක් නොමැති අමාත්‍යධුරයක් පිරිනමමින් ඔහු තම ඇමති මණ්ඩලයට එක් කර ගැනීම ය.

'සුරියකන්දේ නීතිඥවරිය' ලෙස මැතිවරණ ප්‍රචාරණයේ යෙදුනු පවිත්‍රා වන්නිආරච්චි ද කෙටි කලක් ඇතුළත සුරියකන්දේ මළවුන්ට පිටුපෑවාය. ඇඹිලිපිටිය සිසු ඝාතනය පිළිබඳව නඩු විභාගයක් පැවතිය ද, අවසන් තීන්දුව ලබාදුන් විනිසුරුවරයා කියා සිටියේ දඬුවම් ලබා දීමට සිදුව ඇත්තේ චෝදනා ඔප්පු කර ඇති ආකාරයට අනුව බව ය. ප්‍රධාන චුදිතයෙක් වූ ඇඹිලිපිටිය මාධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්තිට ලබා දුන් වසර හතක සිර දඬුවම  මේ සා විශාල වරදකට  නීතිමය ප්‍රතිපාදන අනුව ලබා දිය හැකි උපරිමය වීම ගැන කණගාටු වන බවද අදාළ නඩු විභා‍ගයේ දී විනිසුරුවරයා පැවසීම තුළම ඇත්තේ නිසි යුක්තියක් ඉටු නොවීම පිළිබඳව අධිකරණ පද්ධතිය තුළම රජැයූ කණස්සල්ලයි.

සිසු ඝාතනයේ තවත් චුදිතයෙකු වූ එවකට ඇඹිලිපිටිය ප්‍රදේශයේ හමුදා සම්බන්ධීකාරකවරයා වශයෙන් කටයුතු කළ ලුතිනන් කර්නල් රොහාන් පරාක්‍රම ලියනගේ නොහොත් පැරී ලියනගේ ද චන්ද්‍රිකා ආණ්ඩුව යටතේම බ්‍රිගේඩියර් ධූරයට උසස්වීම් ලැබ මිය යන්නට පෙර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ ප්‍රධාන නිලතල හෙබවූයේ සුරියකන්ද  මෙහෙයුමේ ප්‍රබලයෙකු වූ එස් බී දිසානායක ක්‍රීඩා ඇමතිවරයා යටතේම වීම කවර නම් ඛේදජනක උත්ප්‍රාසයක් ද?

ඇඹිලිපිටියේ බල පැවැති රාජ්‍ය භීෂණයේ දේශපාලන මෙහෙයුම්කරු වූ නන්ද මැතිව් පසුකාලීනව මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව යටතේද ඌව පළාතේ ආණ්ඩුකාර ධූරයෙන් යළි යළිත් පිදුම් ලැබුවේය.

සූරියකන්දෙන් චෙම්මනියට

රජයේ හමුදා විසින් ඝාතනය කොට වළ දමා තිබු දකුණේ සිංහල තරුණ තරුණියන්ගේ සිරුරු ගොඩ ගැනීමට පොලිස් බාධක නොතකා සුරියකන්ද තරණය කළ කර්නල් අනුරුද්ධ රත්වත්තේ අභිනව ආණ්ඩුව යටතේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති ලෙස පත්වීමෙන් අනතුරුව ඒ  මිනිස් ඝාතක හමුදාවන්ම රණවිරුවන් ලෙස අභිෂේක කොට උතුරේ දෙමළ ජනයාට එරෙහිව මෙයහයවමින් 1996 වසරේ මාස හයක් ඇතුළත දී යාපන අර්ධ ද්වීපයේ පමණක් 540කට වැඩි පිරිසක් අතුරුදහන් කරවීමට සම්මාදම් විය. සූරියකන්ද අමතක කර දැමූ අභිනව ආණ්ඩුව දෙවසරක් ගතවන විට යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ නිර්මාණය කිරීමේ කටයුත්තට මුල පුරා තිබුණි.

ඇඹිලිපිටිය සිසු ඝාතනයන් සිහිවනු වස් පාර්ලිමේන්තුව නුදුරේ ඉදි කරන ලද 'අහිංසකයන්ගේ ආරාමය' ද කොළඹ ලස්සන කරනු වස් රාජපක්‍ෂ පාලනය යටතේ ඩෝසර් කරනු ලැබුයේ උතුරේ දෙමළ ජනයාගේ සොහොන් කොත් විනාශ කිරීම සම්පූර්ණ කිරීමෙන් පසුව ය. ඒ සඳහා ඩලස් අලහප්පෙරුම හා ඩිලාන් පෙරේරා වැනි 'මල්බෙරියන්', ගෝඨාභය රාජපක්ෂ සමඟ අත්වැල් බැඳ ගත්හ.

සුරියකන්ද මහේස්ත්‍රාත් පරීක්‍ෂණය මෙහෙය වූ විනිසුරු පියසේන රණසිංහ, පසුකාලීනව අල්ලස් කොමිසමේ සභාපති ධුරයට පත් කෙරෙනු ලැබුවේ එදා මහ ඇමතිනී චන්ද්‍රිකා සමඟ ඇතිකරගත් මිතු දම හේතුවෙනි. නමුත් රාජපක්ෂ පාලන සමයේදී ඔහු ඉන් ඉවත්කර ජනාධිපති ලේකම් කාර්යාලයට මාරු කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂගේ මිග් ගනුදෙනුව පිළිබඳ පරීක්‍ෂණ යළි ඇරඹීමට ඔහු මැදිහත් වූ නිසා ය. සැකකටයුතු සේ සැළකෙන 'හදිසි අනතුරකින්' මියගිය ශ්‍රීපති සුරිආරච්චි මන්ත්‍රීවරයා විසින් යොමු කළ පැමිණිල්ල ඔහු මියයාමෙන් අනතුරුව පැමිණිලිකරු නොමැතිව යළි විභාගයට ගැනීමට පියසේන රණසිංහ විසින් කටයුතු කිරීම රාජපක්‍ෂලාගේ කෝපයට හේතු විය.

සුරියකන්ද මෙන්ම යටපත් කෙරුණු තවත් බොහෝ ඝාතක භුමි දකුණේ ඇති බවට ඇති හොඳම මෑත කාලීන නිදසුන වන්නේ ගෝඨාභය, ජගත් ඩයස් හා ශවේන්ද්‍ර සිල්වා වැනි 'රණ විරුවන්ගේ' අතීත 'මානුෂීය මෙහෙයුම්වල' ප්‍රතිඵල සේ සැළකෙන සාක්‍ෂි මාතලේ විජය විදුහල් සමුහ මිනීවලෙන් 2013 වසරේදී මතුවීම ය.

ජාත්‍යන්තර යුක්තිය

අපරාධ පිළිබඳ කෙතරම් සාක්‍ෂි තිබුණ ද නීතිමය ක්‍රියාදාමයේ හා පරීක්‍ෂණ  ක්‍රියාවලියේ ඇති දුර්වලතාවයන් නිසාත්, දේශපාලකයන්ගේ බලපෑම් නිසාත් ඒවා යටපත් කර දැමීම හැම විටම පහසු බව සනාථ කරන එක් වැදගත් නිදසුනක් සූරියකන්ද විසින් සපයයි. පවතින යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය හා ආයතන තුළින් විසි පස් වසරකට පෙර දකුණේ  පීඩාවට පත් ජනතාවට මේ වනතුරුත් සාධාරණය ඉටු වී නොමැත්තේ ඒ හේතුවෙනි. ඇත්තෙන්ම එවැනි යුක්තියක් ඉටුවනු ඇතැයි ඔවුන් සියල්ලෝ විශ්වාස නොකරති. එසේ නම්, උතුරේ දෙමළ ජනයා මේ පවතින යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය හා ඊට අයත් ආයතන පිළිබඳව කෙසේ නම් විශ්වාසය තබනු ඇති ද? දකුණේ පීඩිත සිංහල ජනයාට යුක්තිය ඉටු කරන්නට අසමත් වූ දේශපාලන හා නෛතික ආයතන පද්ධතියක් උතුරේ සහ නැගෙනහිර ජනයාට යුක්තිය ඉටු කර දෙනු ඇතිද?

ඒ අනුව, දෙමළ ජන සංහාරයට වගකිව යුතු යුද අපරාධකරුවන් තව දුරටත් රණවිරුවන් ලෙස අභිෂේක කරමින් 'අප ඔවුන්ව කිසිසේත්ම පාවා නොදෙන්නෙමු' යැයි පිළිණ දෙන වත්මන් යහපාලන ආණ්ඩුව කෙරෙහි විශ්වාසය නොතබා, ඒ වෙනුවට ස්වාධීන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා සිටි දෙමළ ජනයාගේ ඉල්ලීම අයුක්ති සහගත, යථාර්ථ විරෝධී එකක් යැයි කියන්නට දකුණේ සංහාරයන්ට විසි පස් වසරක් තිස්සේ ඉටු නොවූ යුක්තිය ගැන මතකයක් ඇති එකදු සිංහලයෙකුට හෝ හැකියැයි මම නොසිතමි.☐

ප්‍රධාන සේයාරුව: ගෝනි මළුවල බහා ප්‍රවාහනයට සූදානම් කළ  සූරියකන්දෙන් ගොඩගන්නා ලද මිනිස් ඇට කැබලි / 1994 ජනවාරි

පෝද්දල ජයන්ත


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.