JDS Sinhala

HNDA සිසු සටන: 'ඇල්මෙන් අකුරු උගනිව් රුදුරු වෙඩි කකා'

නේවාසිකාගාර අර්බුදයක් සම්බන්ධයෙන් විරෝධය දැක්වු ඕලුවිල් විශ්ව විද්‍යාලයේ සිසුන් 13 දෙනෙකුව අක්කරෙයිපත්තු පොලිසිය විසින් පසුගිය ඔක්තෝබර් 06 වැනි දින අත්අඩංගුවට ගෙන  රක්ෂිත බන්ධනාගාරගත කරන ලදැයි JDS විසින් වාර්තා කරනු ලැබුවේ ඔක්තෝබර් 13 වැනිදා ය. එයින් මසක් ගෙවී යාමටත් පෙර පසුගිය 29 වැනි දින විශ්ව විද්‍යාල සිසුන් නැවතත් වීදි බසිනු ලැබුවේ උපාධියේ සම අයිතිය ඉල්ලා සිටි උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුනගේ අරගලයට සහාය දැක්වීම සඳහා ය. ඒ වෙනුවෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ HNDA සිසුන් විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණ පා ගමන කොළඹ කොටුවේ සිට වෝඩ් පෙදෙසෙහි පිහිටි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දෙසට ඇදි ගියේ තවදුරටත්  කල් මැරීමකින් තොරව අර්බුදය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යවරයා සමග සාකච්ඡා කොට විසඳුමක් ලබා ගැනීමේ අටියෙනි. එහෙත් සාකච්ඡා වෙනුවට සිසුන් වෙත ප්‍රදානය කෙරුණු දෑ කවරේදැයි මේ වනවිට සියල්ලෝ දනිති.

'කුඩු වෙන්න ගහනවා'

විෂය භාර අමාත්‍යවරයා තමන් හා සාකච්ඡා කොට පිළිගත හැකි විසඳුමක් දෙන තුරු අමාත්‍යාංශය ඉදිරිපිටින් ඉවත්ව නොයන බවට දැනුම් දුන් සිසුන්ට පොලිස් බළ ඇණි භාරව සිටි නිලධාරියෙකු තර්ජනය කොට තිබුණි:  'උඹලා දවස් 10ක් මෙතන හිටියත් ඇමතිතුමාව හම්බුවෙන්න ලැබෙන්නේ නැහැ. කුඩුවෙන්න ගහන්න කළින් මෙතනින් පිටවෙලා පලයව්.'

එම ප්‍රකාශය සිදු කොට ගත වූ මිනිත්තු කිහිපයක් ඇතුළත, අමාත්‍යාංශයට පිවිසෙන මග අහුරමින් දමා තිබුණු යකඩ වැටවල් අසල සිටි සිසුන් වෙත එක්වරම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වුණි. ඒ සිසුන්ගේ පිටුපසිනි. ප්‍රහාරයෙන් බේරීමට ඒ මේ අත දිව යමින් ඇද වැටෙන සිසුන්ට  පොලිසිය අධි පීඩන ජල ප්‍රහාර සහ බැටන් පොලු ප්‍රහාර එල්ල කරන ලද්දේ අනුකම්පා විරහිතව ය. අත් ඔසවමින් පොලු පහරින් බේරෙන්නට වෙර දැරුවද කුපිතව හැසිරුනු පොලිස් භටයන් දිවයන සිසුන් පසුපස පවා ලුහුබැඳ යමින් අසභ්‍ය වචනයෙන් බැන වදිමින්,වටකොට පහර දුන් ආකාරය ජනමාධය ඔස්සේ බොහෝ දෙනා දැකගත්හ.

උසස් ජාතික ගණකාධිකරණ සිසු එකතුවේ කැඳවුම්කරු වන ධම්මික රුවන් කුමාර JDS වෙත කියා සිටියේ විරෝධතා පා ගමනේ මුල් අදියරේ දි පොලිසිය හැසිරුනු ආකාරයට එවැනි දරුණු පහරදිමක් සිසුන් බලාපොරොත්තු නොවුණු බවයි. එසේම අමාත්‍යාංශය ඉදිරිපිටදි කරන ලද පහරදීමේ ස්වභාවය අනුව සිසුන්ව එක් තැනකට කොටුකර පහරදීමේ සැළැස්මක් පොලිසියට තිබු බව පෙනී ගිය බව ඔහු කියා සිටියි.

''අපි පා ගමන පටන් ගත්තේ කොළඹ කොටුවෙන්. පා ගමනේ මුල් අදියරේදි පොලිසිය අපිව වළක්වන්නවත්, හිරිහැර කරන්නවත් උත්සාහ කළේ නැහැ. ඒ නිසාම මේ වගේ පහරදීමක් අපි බලාපොරොත්තු වුණෙත් නැහැ. නමුත් අපිට විශ්වාසයක් තිබුණා යම් බාධාවක් ඇති වෙයි  කියලා. අමාත්‍යාංශය අසලට ගියාම අපි ඉතාම පැහැදිලිව පොලිසියට කියා සිටියා අපිට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරිමට අවශ්‍ය බව. මොකද මෙයට පෙර අපි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා එක්ක වගේම අනෙකුත් නිළධාරින් එක්කත් සාකච්ඡා කර තිබෙනවා. නමුත් ඒ එකම සාකච්ඡාවකින්වත් අ‍පේක්‍ෂිත ආකාරයේ විසඳුමක් ලැබුනේ නැහැ. විනාඩි පහකින් සාකච්ඡාවක් අරන් දෙන්නම් කියලා අමාත්‍යාංශයට ගිය පොලිසියේ නිළධාරින් පසුව ඇවිත් කියා සිටියේ ඇමතිවරයා 'මග නැගුම' සාකච්ඡාවකට එළියට ගිහින් නිසා ශිෂ්‍යයන්ට සාකච්ඡාවක් දෙන්න විදිහක් නැති බවට ලේකම්ලා දැනුම් දුන් බවයි. ඇමතිවරයා පැමිණ අපිත් එක්ක සාකච්ඡා කොට විසඳුමක් දෙන තුරු මෙම ස්ථානයෙන් ඉවතට නොයන බවට අපි පොලිසියට කියා සිටියා. 'කුඩුවෙන්න ගහන්න කලින් මෙතනින් පිටවෙලා පලයල්ලා' කියලාපොලිසිය අපිට තර්ජනය කළේ ඒ වෙලාවෙයි. ඒත් එක්කම අපේ පිටුපස්සෙන් කඳුළු ගෑස් ගැහුවා. අමාත්‍යාංශයේ ඉදිරිපිට යකඩ වැට අසල හිටිය සිසුන් ඉලක්ක කරලා තමයි එම ප්‍රහාරය එල්ල වුණේ. කඳුළු ගෑස්වලින් බේරෙන්න අපිට දුවන්න වුණේ කඳුළු ගෑස් ගහන පැත්තටමයි. එහෙම දුවන කොට තමයි ජල ප්‍රහාරයක් එල්ල කෙරුණේ. කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරය වැදිලා බිම වැටුන සිසුන් වටකරගෙන පොලිසිය පොලුවලින් ගැහුවා. ප්‍රහාරයක් එල්ල කරපු විදියෙන් පෙන්නුම් කළේ ඒ වගේ ප්‍රහාරයකට පොලිසිය සැළසුම්කර ඇවිත් හිටිය බවයි''.

සංවිධානාත්මක ප්‍රහාරයක්

විරෝධතාවයන්ට ක්‍ෂණිකව ප්‍රහාරයන් එල්ල කිරීමේ ස්වභාවය පසුගිය කාලය මුළුල්ලෙහිම අපි අත්දැක ඇත්තෙමු. එමෙන්ම මිනිස් ජීවිත ගණනාවක් බිලිගනිමින් ද, ඇතැමුන් සදාකාලික ආබාධිතයන් බවට පත් කරමින්ද සිදුකළ එවැනි ක්‍ෂණික ප්‍රහාරයන් කොතරම් සංවිධානාත්මක දැයි පෙන්වීමට අවැසි නිදසුන් පමණටත් වඩා අප හමුවේ තිබේ. කටුනායක වෙළඳ කලාප අරගලයේදි රොෂේන් චානක වෙඩි තබා  මරා දමන්නේත්, ඉන්ධන සහනාධාරයක් ඉල්ලා සටන් වැදුනු  ධීවර අරගලයේදි හලාවත ඇන්ටනි මරා දමන්නේත්, බීමට පිරිසුදු වතුර ඉල්ලා උද්ඝෝෂණයේ යෙදුණු රතුපස්වල මිනිසුන්ට වෙඩිතබා පාසැල් සිසුන් මරා දැමෙන්නේත් මේ ආකාරයේ පෙර සැළසුම් කළ 'ක්‍ෂණික' ප්‍රහාරයන් මගිනි. පසුගිය 29 වැනි දින විශ්ව විද්‍යාල සිසුන්ට එල්ල කළ පොලිස් ප්‍රහාරය ඊනියා 'අයුතු ජන රාශියක්' මෙල්ල කිරීමට එල්ල කරන ලද ක්‍ෂණික ප්‍රහාරයක් ලෙස සලකා බැහැර කළ නොහැක්කේ ඒ නිසා ය.

පොලිසිය විසින් සිසුන් වටකොට එල්ල කරන ප්‍රහාරයට ගොදුරුව තැන තැන ඇද වැටෙන සිසු සිසුවියන් ගණනාවක් පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ප්‍රහාරයෙන් විසිරෙන සිසුන් නැවත උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අසලට රැස්ව තව දුරටත් විරෝධතා දක්වන ලද්දේ අත් අඩංගුවටගත් සිසුන් නිදහස් කරන  මෙන් බලකරමිනි. ධම්මික රුවන් කුමාර කියා සිටියේ පොලිස් කැරළි මර්දන භටයන් පැමිණ එයටද පහර දෙමින් රැස්ව සිටි සිසුන්ව කිලෝමිටර් දෙකක් පමණ දුරට එලවා දැමු බවයි. පොලිසිය විසින් ශිෂ්‍ය - ශිෂ්‍යාවන් සහ ශිෂ්‍ය භික්ෂුන් 39 දෙනෙකුව අත්අඩංගුවට ගත් බවත්, ශිෂ්‍ය - ශිෂ්‍යාවන් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් ධම්මික රුවන් කුමාර කියා සිටියි. එසේ අත්අඩංගුවට ගත්තවුන් අතර මාධවී වත්සලා, චාරුනි වත්සලා, අයිරාංගනි සුනේත්‍රා, එච් ඩබ්ලිව් ප්‍රියංකර, එස් ඒ සිරිවර්ධන, සුපුන් සචින්ත, අරුණ ප්‍රදීප්, ප්‍රියන්ත ලක්මල් දිසානායක, ඉෂාර මදුසංඛ, කේ.කේ සිරිමල්, ප්‍රසාද් අනුරාධ, ප්‍රභාත් අභයවික්‍රම, ධනුෂ්ක නයන කුමාර යන සිසු සිසුවියන් මෙන්ම සුබෝධ සහ ජිනරතන යන ශිෂ්‍ය භික්ෂුන්ද වූහ.

පොලිසිය එල්ල කළ බැටන් පොලු ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලද සසිනි සංදීපනී ශිෂ්‍යාව JDS හා කියා සිටියේ පහර දෙන්නට එපා යැයි තමන් දෑතින් හිස බදාගෙන කෑ ගැසුවද පොලිස්  භටයෙකු අසභ්‍ය වචනයෙන් බැන වදිමින් තම හිසට සහ පිට කොන්දට දිගින් දිගටම පහර දුන් බවයි.

මැතිවරණ සටන් පාඨ

රජය HNDA සිසුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලැබුවේ පසුගිය 29 වැනි දින පොලිසිය විසින් සිසුන්ට එල්ල කරන ලද අමානුෂික ප්‍රහාරයකින් අනතුරුව ය. එහෙත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන ලහිරු වීරසේකර JDS හා කියා සිටියේ HNDA සිසුන් දින 540 ට අධික කාලයක් අඛණ්ඩව නොයෙක් විරෝධතා ක්‍රියාමාර්ග ඔස්සේ උපාධි සමානතාවය ලබා ගැනීමට සටන් කළ බවයි.

''HNDA පාඨමාලාවට හිමිවෙලා තිබුණු උපාධි සමානතාවය අහෝසි කලේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙන්. ඒ, එම ආණ්ඩුවේ අධ්‍යපනය විකිණීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගීමේ එක් අධියරක් ලෙසයි. මේ අරගලය සතියකින් දෙකකින් ඇති වුවක් නොවෙයි. අහිමි කරපු උපාධි සමානතාවය නැවත ලබා දෙන්න යැයි කියමින් අපි අමාත්‍යාංශ ලේකම්වරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්, ඇමතිවරුන් එක්ක දිගින් දිගටම සාකච්ඡා කළා. රාජපක්ෂ ආණ්ඩුව බලයේ සිටිද්දී, පසුගිය අවුරුද්දේ දෙසැම්බර් 22 වැනි දා පවත්වපු පා ගමනටත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදි පොලිසිය එළව එළවා  පහර දුන්නා. ඒ ප්‍රහාරයේ ඡායාරූප, වීඩියෝ පට තමන්ගේ දේශපාලන වේදිකාවල මාතෘකා බවට පත්කරමින් තමයි මේ යහපාලන ආණ්ඩුව බලයට එන්නේ. එහෙම බලයට ආපු ආණ්ඩුව කරන්නෙත් ඒ ඉල්ලීමම ඉදිරිපත් කළ ශිෂ්‍යයන්ට එළව එළවා පහර දෙන එක විතරයි''.

සිදුවීම් පිළිබඳ අදහස් දක්වමින් ශිෂ්‍යයන් කෙරෙහි විවේචනාත්මක ආකල්ප දමා ගසන්නන් සමස්ත ගැටළුවේ ඉතිහාසය කවරේදැයි සොයන්නට උත්සුක වූ බවක් නොපෙනේ. 1943 වර්ෂයේදි ඇරඹෙන HNDA පාඨමාලාව සඳහා උපාධි සමානතාවය ලබා දීමට යෝජනා කෙරෙනුයේ 1967 වර්ෂයේදි ය. පිළිගත් විශ්ව විද්‍යාලයකින් පිරිනැමෙන  උපාධියක සමානාතාවය එයට මුල්වරට හිමිවනුයේ 1990 වර්ෂයේදී ය. ඒ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ 46/90 යටතේ ය. අඛණ්ඩව වසර 24 ක පමණ කාලයක් පිරිනැමුණු එම උපාධිය අහෝසි කරනු ලබන්නේ මහින්ද රාජපක්ෂ රජය විසින් 2014.04.23 වැනි දිනැති  නිකුත් කරන ලද 10 /2014 අංක දරණ චක්‍ර ලේඛනය මගිනි. ශිෂ්‍ය සංගම් නියෝජිතයන් කියා සිටිනුයේ අහිමිකරන ලද උපාධි සමානතාවය නැවත ලබා ගැනීමට එදින සිට අඛණ්ඩව අධ්‍යාපන සහ පරිපාලන බලධාරීන් සමග සාකච්ඡා කරනු ලැබු බවයි.

ප්‍රහාරයන් සහ රැවටීම්

''අපි ආයතන භාර අධ්‍යක්‍ෂ ජෙනරාල්ගේ පටන් හිටපු ජනාධිපතිවරයා දක්වා සියල්ලන්ම දැනුවත් කළා. ලිඛිතව ඉල්ලීම් ඉදිරිපත් කළා. අධ්‍යාපන බලධාරීන්, විෂය භාර අමාත්‍යවරුන් එක්ක සාකච්ඡා කළා. උද්ඝෝෂණයන්, විරෝධතා පෙළපාලි පැවැත්වුවා. ඒත් ඒ සම්බන්ධව රජය කිසිම සැළකිල්ලක් දැක්වුවේ නැහැ. 2014 දෙසැම්බර් 5 වැනිදා අපි පාගමනින් ගිහින් එවක හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්නට ලිපියක් භාර දුන්නා මේ ප්‍රශ්නයට විසඳුමක් ඉල්ලලා. එහිදි ඔහු පොරොන්දු වුණා දෙසතියක් ඇතුළත උපාධි සමානතාවය ලබා දීමට කටයුතු කරන බවට. නමුත් ඒක පොරොන්දුවක් විතරයි. ශිෂ්‍යයෝ ඒ මාසයේම 22 වැනි දා පා ගමනින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හමුවට ගියේ ඒ කඩකළ පොරොන්දුව නිසායි. එදාත් රාජපක්‍ෂගේ ආණ්ඩුවේ අණින් ක්‍රියාත්මක වූ පොලිසිය පසුගිය 29 වැනිදා පහර දුන් ආකාරයටම අපිට පහර දෙමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ව අත්අඩංගුවට ගත්තා" යි උසස් ජාතික ගණකාධිකරණ ශිෂ්‍ය එකතුවේ කැඳවුම්කරු වන ධම්මික රුවන් කුමාර කියා සිටියි.

දෙසැම්බර් පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් වර්ධනය වූ ජනතා අප්‍රසාදය හේතුවෙන් 2015 ජනවාරි 02 වැනි දා, අධ්‍යාපන බලධාරින්  විසින් සිසුන් සාකච්ඡාවකට කැඳවන ලද්දේ මැතිවරණයට දින කිහිපයක් තිබියදී ය. ඒ අනුව HNDA පාඨමාලාවට උපාධි සමානතාවය ලබා දීම සුදුසු යැයි නිර්දේශ කරමින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දන්වා සිටියේ ජනවාරි 30 වැනිදා ය. නමුත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් එයට ප්‍රතිචාරයක් නොවුණු තැන 2015 ජූනි මාසයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යොමුකළ ලිපියක් මගින් සිසුන් අගමැතිවරයාගෙන් ද, ජනාධිපතිවරයාගෙන් සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ද ඉල්ලා සිටියේ මෙයට ඉක්මන් විසඳුමක් ලබා දෙන ලෙස ය. ඒ සම්බන්ධයෙන්ද බලධාරීන් නෑසූ කන්ව සිටීම හේතුවෙන්  2015 ඔක්තෝබර් 23 දින යොමු කරන ලද ලිපියක් මගින් සිය ගැටළුවට මැදිහත් වී විසඳුමක් ලබා දෙන ලෙසට HNDA ශිෂ්‍ය එකතුව නැවතත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට ක්‍රියා කර තිබිණ. එම ඉල්ලීමට සමගාමීව රට පුරා මහජන අත්සන් ව්‍යාපාරයක් දියත් කිරීමට ද සිසුහු කටයුතු කළහ. පොලිස් ප්‍රහාරයට ලක් වූ විරෝධතා පා ගමන සංවිධානය කරන ලද්දේ ඒ සියල්ලටම පසු ය.

නමුත් දේශපාලන බල අධිකාරිත්වයන් මෙන්ම ඔවුන්ට හිතැති විවිධ පුද්ගල කණ්ඩායම්ද මේ ඉතිහාස කතාව නොතකා හරිමින් අවධාරණය කරනු ලබන්නේ සිසුන් කිසිදු ඉවසිල්ලකින් හෝ සොයා බැලීමකින් තොරව ක්‍ෂණික විසඳුම් අපේක්ෂාවෙන් කටයුතු කරන බවයි. උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල පසුගිය නොවැම්බර් 03 වැනි දා මාධ්‍ය හමුවකදි කියා සිටියේ මෙම සිසු උද්ඝෝෂණය පිටුපස දේශපාලන හස්තයක් තිබෙන බවත්, සිවිල් නීති කඩකර ආණ්ඩුව බියවද්දා සිසුන්ට තම ඉල්ලීම් දිනා ගැනීමට නොහැකි බවත් ය.  ප්‍රහාරයෙන් පසුව පොලිසිය විවේචනය කරමින්  අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ සිද්ධිය සම්බන්ධව සොයා බැලීමට තමන්  විශේෂ කමිටුවක් පත් කරන බවයි. එහෙත් එම පරීක්‍ෂණයන් පිළිගත හැකි මට්ටමේ එකක් නොවේ යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් කියා සිටියේ පසුගිය 5 වැනි දින පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

'පොලිසිය සිසුන්ට එල්ල කරපු ප්‍රහාරය ගැන අගමැතිවරයා නීතිය සහ සාමය භාර අමාත්‍යවරයාගෙන් වාර්තාවක් ඉල්ලනවා. ඔහු පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලනවා. සිසුන්ට පහර දුන් එය මෙහෙයවපු පොලිස්  නිළධාරින් පොලිස්පතිවරයාගේ අනුදැනුම මත මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රහාරය යුක්ති සහගත කරනවා. එතකොට කාගෙන්ද වාර්තාවක් ඉල්ලන්නේ? කාට විරුද්ධවද පරීක්‍ෂණ කරන්නේ'? ගුරු සංගම් ලේකම්වරයා ප්‍රශ්න කර සිටියි.

'අවම බලයෙන්' ඝාතනය කිරීම

ශිෂ්‍ය මර්දනයෙන් පසුව ආණ්ඩුව විසින් පොලිසියට වරද පටවා ඔවුන්ව විවේචනය කරමින් ඇඟබේරා ගන්නට උත්සහ කරන විට මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ පොලිසියට ඇත්තේ අවම බලය පාවිච්චි කිරීමක් නොව, අවශ්‍ය බලය පාවිච්චි කිරීමක් මෙන්ම අවශ්‍ය නම් අත් අඩංගුවට ගනු ලබන පුද්ගලයෙක් මරා දැමීමට පවා හැකි බලයක් බව ය.

''අවම බලය කියන එක නොවෙයි අපි දැන් පාවිච්චි කරන්නේ. අවශ්‍ය බලයයි. පුද්ගලයෙක් අත්අඩංගුවට ගනිද්දී ඒ යොදන බලයට ඒ පුද්ගලයාගේ මරණය සිදුකරන්න පවා පුලුවන්. දැන් වැරදි මතයක් තියෙනවා වෙඩි තියද්දි කකුලට වෙඩි තියන්න අවශ්‍යයි කියලා. නැහැ, වෙඩි තියන්නේ ඝාතනය කරන්න''.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිසිදු පැකිලීමකින් තොරව එසේ කියා සිටින විට, සිසුන්ට පොලිසිය පහරදීම පිළිබඳව පරීක්‍ෂණ පවත්වන්නේ යැයි සහතික දෙන ආණ්ඩුව කිසිවක් ප්‍රකාශ නොකොට මුනිවත රකිමින් සිටියි. ඒ අන් කිසිවක් නිසා නොව, දේශපාලන බල අධිකාරයක අනුමැතියකින් තොරව මේ සා දැවැන්ත ප්‍රහාරයන් එල්ල නොකෙරෙන  බැවිනි. 

නොවෙනස් ප්‍රතිපත්ති

කෙසේ වෙතත් සිසුන්ට එරෙහි පොලිස් ප්‍රහාරය සහ ඒ සම්බන්ධව දේශපාලන බල අධිකාරීත්වයන් දක්වන ප්‍රතිචාරයන් පිළිබඳව ප්‍රකට මානව හිමිකම් සහ සිවිල් සමාජ ක්‍රියාධරයෙක් වන සරත් ඉද්දමල්ගොඩ පියනම JDS හා කියා සිටියේ දේශපාලන පක්ෂ මාරු වෙමින් ආණ්ඩු බලය හුවමාරු වුවද තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ එකම පාලන ක්‍රමයක් බවයි.

''මේක පුදුම වෙන්න දෙයක් නොවෙයි. පක්ෂ මාරු වුණාට එකම ක්‍රමයක් තමයි ක්‍රියාත්මක වෙමින් තිබෙන්නෙ. මේ සිදුවීම මගින් පෙන්නුම් කරන්නෙත්, පසුගිය ආණ්ඩුව සහ මේ ආණ්ඩුව අතර තියෙන 'වෙනස' කොයිතරම් වේගයෙන් මැකී යනවාද කියන එකයි. රාජපක්ෂ ආණ්ඩුව කාලේ පොලිසිය, හමුදාව දමලා කටුනායක රොෂේන් වගේම හලාවත ඇන්ටනිව වෙඩි තියලා මරලා දැම්මා. රතුපස්වල උද්ඝෝෂකයන්ට වෙඩි තියලා පාසැල් දරුවන්ව මරලා දැම්මා. 29 වැනිදාත් පොලිසිය හැසිරුණේ කලින් කියපු සිදුවීම්වලට සමාන ම්ලේච්ඡ ආකාරයකින්. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැහැපු ශිෂ්‍යයන්ට පහර දෙන්න බලයේ සිටි කොයි ආණ්ඩුත් පාවිච්චි කරන්නේ එකම තර්කය බව පසුගිය දශක තුන - හතරක ඉතිහාසය හොඳින් සාක්‍ෂි සපයනවා' ඔහු කියයි.

ඇමතිවරුන් සහ පොලිසිය පවසන අර්ථ කථන පිළිගත නොහැකි බව පෙන්වා දෙන ඉද්දමල්ගොඩ පියනම පෙන්වා දෙන්නේ පොලිසිය පමණක් නොව, විෂය භාර ඇමතිවරයාගේ පටන් සියල්ලන් මෙමප්‍රහාරයේ වගකීම භාරගත යුතු බවයි.

'රජයට බැහැ ඒ වගකීමෙන් මිදෙන්න. ප්‍රහාරවලින් පසුව කණගාටුව ප්‍රකාශ කිරීම හෝ පරීක්‍ෂණ පැවැත්වීමෙන් ප්‍රයෝජනයක් නැහැ. පසුගිය රජය කළෙත් ඒකම තමයි. ඇත්තෙන්ම ප්‍රහාරයන්ට වගකිව යුතු පාර්ශවයන්ම කරන පරික්ෂණ ගැන අපිට විශ්වාස කරන්න පුලුවන්ද?''

දැන්, ප්‍රහාරයෙන් පසු කැබිනට් මණ්ඩලය විසින් උසස් ජාතික ගණකාධිකරණ පාඨමාලාවට උපාධි සමානතාවය ලබා දීම තීරණය කර තිබේ. ඒ පිළිවෙත ඉකුත් දෙසැම්බරයේදී සිසුන්ට පහර දුන් රාජපක්‍ෂ පාලනය මැතිවරණයට කලින් ලහිලහියේ අනුගමනය කළ පියවරම ය. තමන්ගේ පාලන කාලයේදී නම් විරෝධතා දැක් වූ සිසුන්ට 'කිරි දුන්නෙමු'යි මහින්ද රාජපක්‍ෂ විසින් කළ ලැජ්ජා විරහිත ප්‍රකාශය පිටුපස ඇත්තේ, ඔහුගේ පාලන කාලයේදී පහර කෑ සිසුන් සම්බන්ධයෙන් වත්මන් 'යහපාලකයන්' එදා අනුගමනය කළ අවස්ථාවාදී පිළිවෙතට වැඩිමනත් දෙයක් නොවේ.

නමුත් ශිෂ්‍යයන්ට එරෙහි ප්‍රහාරයේදි ඇතැමුන් කල්පනා කරන්නේ එමගින් යහපාලන ආණ්ඩුව අපහසුතාවයට පත්වීම වළක්වාගත හැකි ආකාරය පිළිබඳව ය. යහපාලන ආණ්ඩුවට හිතැත්තන්ගේ නිර්දය විවේචනයන්ට උසස් අධ්‍යාපනය හදාරන සිසුන් ගොදුරු වන්නේ ඒ නිසා ය. පහළ මැද පංතික පසුබිම්වල හැදී වැඩී දුෂ්කර අධ්‍යාපන කඩුළු පැන අසීරුතා මධ්‍යයේ සිප් සතර උගත් පරම්පරාවන් තුළ කැකෑරෙන සහේතුක විරෝධයන්ට අවමන්කොට බැහැර කිරීමේ ආදිනව පාලකයන් විසින්  නොතකා හැරීම විස්මයක් නොවේ.

නමුත් වර්ධනය වන අපේක්‍ෂා භංගත්වයන් විසින් නිර්මාණය කළ ප්‍රචණ්ඩ වා සුළි මගින් ගිළගත් පරම්පරාවන් පිළිබඳ ඉතිහාස පාඩම් සෙස්සන් විසින් අමතක කොට දැමීමේ ආදිනව කෙබඳු විය හැකිදැයි සිතා බලන්නන් විරළ වීම කෙතරම් අභාග්‍යයක්ද?

කිත්සිරි විජේසිංහ


© JDS



left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.