JDS Sinhala

ජනක සහ සිසිත: 'යහපාලන ප්‍රජාතන්ත්‍රවාදයට' නොවැදගත් ගොදුරුද?

කොළඹ - නුවර මහා මාර්ගයේ බැලුම්මහර මංසන්ධිය අසල අතරින් පතර දැල්වුණු වීදි පහන් කණුවළ මලානික ආලෝක දහරා නිවි යෑමට ඉතිරිව තිබුණේ පැය කිහිපයකි. 2012 සැප්තැම්බර් 27 වැනි දිනට හිරු රැස් පතිත වීමට පෙර අළුයම් පාන්දර මගට බට මිනිසුන් එකා දෙන්නා ඇවිලෙන කුහුලෙන් යුක්තව මහමඟ විදුලි පහන් කණුවක් අසළට ඇදුණාහ. මාර්ගය අසළ බිම වැතිර සිටියේ තරුණයන් දෙදෙනෙකි. ඊට මදක් එපිටින් මාර්ගයේ පසෙකට වන්නට යතුරු පැදියක් පෙරළී තිබිණ. ගෙවුණු රැයේ යතුරු පැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු අනතුර සිදුවු ස්ථානයෙහිම මිය ගොස් සිටින බැව් ඇසිල්ලකින් ප්‍රදේශය පුරා පැතිර ගියේය. එහෙත් මිය ගොස් සිටිනුයේ කවරෙක්ද, ඔවුන් පැමිණ ඇත්තේ කොහේ සිටදැයි කියන්නට කිසිවකු හෝ දැන නොසිටියහ. අලුයම 4.30ට පමණ එම ස්ථානයට පැමිණි පොලිස් නිළධාරීන් නාඳුනන මළ සිරුරු වැසීමට ගෝනි කිහිපයක් සොයා දෙන මෙන් ඉල්ලා සිටියේ අසළ රැස්ව සිටියවුන්ගෙනි.

මේ අතරවාරයේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අසල නිවෙසක ලැගුම්ගෙන සිටි සරසවි සිසුන් පිරිසක් එයින් පැය කිහිපයකට පෙර යම් කටයුත්තක් සඳහා නිකම ගිය තම සගයන් දෙදෙනෙකු පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති තැන ඔවුනට සිදුවුයේ කුමක්දැයි සොයා බලන්නට උත්සුක වූහ. දිගින් දිගටම සිය සගයන්ගේ ජංගම දුරකතනයන් ඇමතුවද ඒවායින් කිසිදු ප්‍රතිචාරයක් නොලැබෙන විට යම් අනතුරක සේයාවක් හැඳින ගන්නා ලද්දේ එයට පෙරදින රාත්‍රියේ සිදුවු ඇතැම් සිදුවීම් හේතුවෙනි.‍

කොළඹ නගරයේ තවත් තැනක සරසවි ඇදුරන් ප්‍රමුඛ සමාජ ක්‍රියාකාරිකයන් නිදහස් අධ්‍යාපන අයිතිය අවධාරණය කරමින් එයට දින කිහිපයකට පෙර ගාල්ලේ සිට කොළඹ දෙසට ඇදි ආ විරෝධතා පා ගමනේ අවසානය සනිටුහන් කිරිමට ලක ලැහැස්ති වෙමින් සිටියහ. එයට මාස කිහිපයකට පෙර සරසවි ආචාර්යවරුන් විසින් දියත් කළ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය සහ විරෝධතා ව්‍යාපාරයන්වල එක් සන්ධිස්ථානයක් වනුයේ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් සංවිධනය කරන ලද මෙකී පා ගමනයි. මීට සමගාමීව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රමුඛ සරසවි සිසුන් නුවර සිට කොළඹ තෙක් පා ගමනක් සංවිධානය කරනු ලබන්නේ සරසවි ආචාර්යවරුන්ගේ විරෝධතා පා ගමනට සහයෝගීතාව පළ කරනු පිණිසය ය. සැප්තැම්බර් 24 වැනි දින මහනුවර නගරයෙන් ඇරඹෙන එම විරෝධතා පා ගමන යක්කල නගරයට ළඟා වූයේ 26 වැනිදා ය.

පසු දින යක්කලින් ඇරඹීමට නියමිතව තිබූ පෙළපාලියේදි සහ පසුව කොළඹදී පැවැත්වෙන රැළියේදි බෙදා හැරීමට අවශ්‍ය ප්‍රචාරණ අත් පත්‍රිකා තොගයක් කල්වේලා ඇතිව රැගෙන ඒමේ වගකීම පැවරෙනුයේ  සමස්ත සිසු විරෝධතාවයේම කේන්ද්‍රීය වැඩ කොටසක් ඉටුකළ ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙකුට ය.

ඒ දෙදෙනා ජනක බණ්ඩාර ඒකනායක සහ සිසිත් ප්‍රියංකර ය. ඔවුන් දෙනොගේ මරණයන් පිළිබඳව මින් පෙරද JDS විසින් සවිස්තරාත්මකව කරුණු අනාවරණය කරන ලදී. නමුත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව‍ට ඉකුත් සතියේ කරන ලද පැමිණිල්ල ඒ පිළිබඳ වැඩි දුරටත් ලිවීමට හේතු සම්පාදනය කොට තිබේ.

අරගලකාරී දිවිමඟ

කැළණි සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා වු ජනක බණ්ඩාර ඒකනායක සහ රුහුණු සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ සිසිත් ප්‍රියංකරද සිල්වා ශිෂ්‍ය අරගලයන්හි කැපී පෙනෙන භූමිකාවක් ඉටුකළ ඉදිරි පෙළ  සටන්කරුවන් දෙදෙනෙකු වශයෙන් සිසුන් අතර ගෞරවාදරයට පාත්‍රව සිටියහ. මාතලේ, නාවුල නගරයට ආසන්නව පිහිටි තඹරව ගම්මානයේ හැදී වැඩුණු ජනක බණ්ඩාර පාසැල් වියේ පටන්ම ප්‍රදේශයේ අනේකවිධ පොදු කර්තව්‍යයන් සඳහා ස්වෙච්ඡාවෙන්ම උර දෙන්නට ඉදිරිපත්වු තරුණයෙකු යැයි JDS හා කියා සිටියේ ජනකගේ පියා වු නීල් කුමාර ඒකනායක ය. ඒ වසර දෙකහාමාරකට පමණ පෙර සිදුවු සිය දරුවාගේ මරණය පිළිබඳවත් ගෙවුණු කාල සීමාවේ ඒ සම්බන්ධව සිදුකෙරුණු පරීක්‍ෂණයන්හි ප්‍රගතිය පිළිබඳවත් විමසනු ලදුව ය.

‘‘මම රජයේ සේවකයෙක්. ඒත් සල්ලි බාගේ තියෙන අය නෙවෙයි. මගේ පුතා ඉගෙන ගන්න ඉතාම දක්ෂයි. ඒ වාගේම එයා සමාජ සේවා වැඩවලට සම්බන්ධ වුණේ හරිම කැමැත්තෙන්. පුතා විශ්ව විද්‍යාලයට ගියාට පස්සේ ශිෂ්‍ය දේශපාලනයට සම්බන්ධ වෙලා වැඩකරන බව අපි දැනගෙන හිටියා. පුතා මරා දාන්න ටික කාලෙකට ඉස්සර ආණ්ඩුවේ රූපවාහිනි ප්‍රවෘත්තිවල පුතාලාගේ පින්තූර දාලා හැම වෙලෙම කියන්න ගත්තා මේ අය රජයේ අධ්‍යාපන වැඩ පිළිවෙල කඩාකප්පල් කරන අය බව. ශිෂ්‍යයෝ පෙළපාලි යන,උද්ඝෝෂණය කරණ  හැම වෙලාවකම ප්‍රවෘත්තිවලින් හඟවන්න උත්සාහ කළේ මේ අය අපරාධකරයෝ,කඩාකප්පල්කාරයෝ  කියලා තමයි".

රුහුණු සරසවියේ උගනිමින් සිටි සිසිත ප්‍රියංකරගේ නැන්දණිය වු ධම්මිකා ප්‍රියදර්ශනී ද කියා සිටියේ එවැනිම වු කතාවකි. සිසිතව කුඩා කළ සිටම හදාවඩාගත් සිසිතගේ භාරකාරිය වුයේ ඇයයි.

“සිසිත මගේ සහෝදරයගේ පුතා. නමුත් පුංචි කාලේ ඉදලම සිසිතව හදාවඩා ගත්තේ මමයි මගේ අම්මයි. මම සිසිතගේ නැන්දා වුණාට අපි දෙන්නා අතරේ තිබුණේ පුදුමාකාර බැඳීමක්. සිසිත හැම වෙලාවේම කිවුවේ මම එයාගේ අම්මා කියලයි. මට දැනුණෙත් සිසිත මගේ දරුවා කියලාමයි. සිසිත ඉගෙන ගන්න ඉතාම දක්ෂයි. එයා විශ්ව විද්‍යාලයට යනකම්ම පාඩම් කෙරුවේ කුප්පි ලාම්පු එළියෙන්". දහසක් අගහිඟකම් මධ්‍යයේ කොළඹ, මෝදර ඝෝෂාකාරී වටපිටාවෙන්ද නිරන්තරයෙන්ම පිඩා විඳි සිසිතගේ එකම අරමුණ අධ්‍යාපනය පමණක්ම වු බවයි ධම්මිකා ප්‍රියදර්ශනී කියා සිටිනුයේ.

"අවුරුදු 21කට පස්සේ මෝදර දි ලාසාල් ඉස්කොලෙන් විශ්ව විද්‍යාලයට තේරුණ එකම ළමයා තමයි සිසිත" ඇය කියයි. උසස් අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබු මොහොතේ සිට අනෙකාගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කරන්නට සිසිත පසුබට නොවන්නට ඇත්තේ එවැනි දුෂ්කර ජීවිතයක් උරුමව තිබු නිසා විය හැකි යැයි ඇය සඳහන් කරන්නීය.

ජනක හා සිසිත ගේ මරණයෙන් වසර දෙකක් ගෙවී යමින් තිබුණද පොලිස් පරීක්ෂණයන්ට සහ නීතිය ක්‍රියාත්මක කරන්නට බැඳි සිටින්නවුන්ට අනුව ඔවුන්ගේ මරණ වනාහී අතිශය සමාන්‍ය යතුරු පැදි අනතුරකි. එහෙත් එය එවැනි නිගමනයක් නිශ්ප්‍රභා කරන්නට දෙස්දෙන බලවත් තොරතුරු හා සාක්ෂි දැනටත් ගොඩ ගැසි තිබේ. සමාන්‍ය යතුරු පැදි අනතුරක් බව පෙන්වීමට පොලිසිය ප්‍රමුඛ පරික්ෂණ පවත්වන්නන් කොතරම් උත්සහ ගත්තද ඔවුන්ගේම තොරතුරු හා ප්‍රකාශයන් එකකට එකක් පරස්පර සහ සැක සංකා උපදවන ඒවා බවද වින්දිතයන්ගේ ඥාතීන් ද, සහෝදර සිසු ක්‍රියාකාරීන් ද පෙන්වා දෙති.

කුමන්ත්‍රණකාරයෝ

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය විසින් සංවිධානය කරන ලද වැඩ වර්ජනයත්, විරෝධතා පෙළපාලියත් එයට සහාය දැක්වීමට අවිවිශිබම විසින් සංවිධානය කරනු ලැබු පෙළපාලියත් ඒවන විට පැවති රාජපක්‍ෂ පාලන තන්ත්‍රයේ දැඩි උදහසට ලක්ව තිබු බව ඉතා පැහැදිලි කරුණකි. විශේෂයෙන්ම එවකට උසස් අධ්‍යාපන ඇමතිවරයාව සිටි එස්බී දිසානායක අවස්ථා ගණනාවකදීම ප්‍රසිද්ධියෙම කියා සිටියේ 'මෙම වැඩ වර්ජනයන් සහ විරෝධතා පෙළපාලි හොඳින් හෝ නරකින් නතර කර දැමිය යුතු බව'යි. එතෙකින් නොනැවතී, සරසවි විරෝධතාවන් සහ උද්ඝෝෂණ පෙළපාලි පිටුපස විදෙස්ගත දෙමළ ප්‍රජාව හෙවත් 'ඩයස්පෝරාවත්', ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් සිටින බව කිහිප අවස්ථාවකදීම රජ්‍ය මාධ්‍ය විසින් පුන පුනා ප්‍රචාරය කැරිණ. 2012 ඔක්තෝබර් මස 01 දා දිනමිණ පුවත්පත වාර්තා කළේ 'රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් මෙම වැඩවර්ජනයන් පසු පස තිබෙන බවට බුද්ධි අංශයන් විසින් අනාවරණය කොටගෙන තිබෙන බව' ය. සරසවි සිසුන් සහ  ආචාර්යවරුන් ඉලක්ක කරමින් මුදාහළ ප්‍රචාරාත්මක තර්ජනයන් මෙන්ම නොයෙක් අවලාද හා බියගැන්වීම් ද  එකළ රාජ්‍ය මාධ්‍ය තුළ දෛනික වාර්තා බවට පත්ව තිබුණේ ඒ අනුව ය. ඒ යටතේ සරසවි ආචාර්යවරුන් හා සිසුන් අතරින් ඇතැමුන් නොනිළ මරණ වරෙන්තුවල ඉලක්කයන් බවට පත්ව තිබුණු බවට ද වාර්තා පළ විය.

ඒ දවස් පිළිබඳ ස්මරණය කරමින් සිසිතගේ නැන්දණිය වු ධම්මිකා කියා සිටිනුයේ ශිෂ්‍ය උද්ඝෝෂණ සම්බන්ධව ප්‍රවෘත්ති විකාශණයන්වලදී තම පුත්‍රයාගේ රුව කිහිප වරක්ම පෙන්වමින් අපරාධකරුවකුගේ ලෙස හුවා දැක්වු බවයි.

“ඒ දවස්වල  අයිටීඑන් එකේ සිසිතව පෙන්නන්න පටන් ගත්තට පස්සේ එයා සැරෙන් සැරේ ස්වරූපය වෙනස්කර ගන්න පටන් ගත්තා. කොණ්ඩෙ,රවුල වැවුවා. ඇඳුම් අඳින විදිහ වෙනස් කරා. එහෙම කළේ යම් අනතුරක් වෙයි කියන බයට. අපි හිටියෙත් බයෙන්."

අනතුරක්

නමුත් ජීවිතය රැක ගන්නට සිසිත දැරූ උත්සාහය සඵල වන්නට අවකාශ විවර නොවිණ. සැප්තැම්බර් 27 වැනිදා අවසන්වීමට නියමිතව තිබු පෙළපාලියේ දි බෙදාහැරීමට අවශ්‍ය අත් පත්‍රිකා මුද්‍රණයෙන් රැගෙන ඒමේ වගකීම ජනක හා සිසිත වෙත පැවරෙන විටත් වෙනත් සැළසුම් ක්‍රියාත්මකව පැවති බව දැන් ප්‍රත්‍යක්‍ෂව පෙනේ. ඔවුන් නවාතැන්ගෙන සිටි ගම්පහ ප්‍රදේශයේ නිවසෙන් අලුයම තුනට පමණ  ඔවුහු පිටව ගොස් ඇත්තේ WPPA 9507 ලියාපදිංචි අංකය දරණ යතුරු පැදියෙනි. නමුත් ඔවුන් දෙදෙනාව නැවත සිය සගයන්ට දැකගන්නට ලැබෙනුයේ හඳුනාගැනීමට නොහැකිවන තරමේ තුවාල කැළැල් සහිත, මුහුණු තැලී ගිය මෘත දේහ ලෙස ය. යමෙකුට දැකීමෙන් පවා ගැඹුරු කම්පනයක් දනවන ආකාරයෙන් දෙදෙනාගෙම මුහුණු තැළි පොඩි වී තිබුණුද ඔවුන්ගේ යතුරු පැදියට හෝ එය හැපුණු බව පැවසෙන විදුලි පහන් කණුවට සැළකිය යුතු මට්ටමේ හානියක් සිදුවී නොතිබිණි.

ඔවුන් ගම්පහ - ඉඹුල්ගොඩ ප්‍රදේශයේ සිට කොළඹ දෙසට යතුරු පැදිය පැදවිය යුත්තේ මාර්ගයේ වම් පසිනි. එහෙත් ඔවුන් අනතුරට ලක්වන්නේ දකුණු පස ඇති 'පහන් කණුවක වැදීමෙනි.' හානි වී ඇත්තේද යතුරු පැදියේ දකුණු පසට ය. එවැනි අනතුරක් සිදුවන්නට එක්කෝ අනතුර සිදු වූ ස්ථානය විශාල වංගු සහිත තැනක් හෝ ලිස්සන සුළු මාර්ගයක් විය යුතු ය. නොඑසේනම් ඔවුන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය පිටුපසින් පැමිණි රථයක් වේගයෙන් හැප්පිය යුතු ය. ඒ කිසිවක් පිළිබඳව සළකුණක් හෝ නොතිබියදීත්,  මුහුණේ ඉදිරිපස පසුපසට ගිලා බැස ඇතුළතට නෙරුම් කිහිපයක්ම ඇතිවන ආකාරයන් අනතුරක් ඔවුන්ට සිදුවන්නේ කෙසේද?

යතුරු පැදිය වැටි ඇති ස්ථානය සහ පහන් කණුව අතර දුර මීටර් හතරක් බැව් මූලික පරීක්‍ෂණවලදී ප්‍රකාශ වී තිබේ. විදුලි පහන් කණුවට හානි වී ඇත්තේ පොළොවේ සිට අඩියක් පමණ උසින් බැව්ද මාධ්‍ය වාර්තා පළ විය. යතුරු පැදිය පෙරළී ගොස් පහන් කණුවේ වැදුණේ නම් ඒ බවට සළකණු මාර්ගයේ තිබිය යුතු බව ද අදාළ වාර්තා පෙන්වා දෙයි. සිසුන් දෙදෙනාගේ හිස් කබල්වලට බරපතල ලෙස හානි සිදුවන්නට එවැනි අනතුරකින් ඇති ඉඩ කඩ අවම බැව් ඥාතීන් සහ සිසුන් විසින් තර්ක කරන්නේ ඒ අනුව ය. අනතුර සිදු වූ ආකාරය ප්‍රතිනිරූපණයක් කිරීමට යතුරු පැදිය අදාළ ස්ථානය ගෙනඑන ලෙස ගම්පහ මහේස්ත්‍රාත්වරිය විසින් කරන ලද නියෝගය පොලිසිය විසින් නොතකා හැරියේ මන්ද යන්නත්, එවැන්නක් අනවශ්‍ය බව රජයේ රස පරීක්‍ෂකවරයා තීරණය කලේ කවර පදනමක් මතද යන්නත් මාධ්‍ය විසින් මතු කරන ලද තව දුරටත් නොවිසඳුණු ගැටළු ය. මෙය යතුරු පැදි අනතුරක් සේ පෙනෙන්නට සිදුකළ සැළසුම් සහගත ඝාතනයක් යැයි නැගෙන තර්කයන් බැහැර කරලන්නට නොහැකි වන්නේ එබැවිනි.

අවිවිශිබම කැඳවුම්කරුවන නජිත් ඉන්දික JDS හා කියා සිටියේ ඔවුන් දෙදෙනා මිය ගිය දිනට පෙර දින, එනම් සැප්තැම්බර් 26 වැනි දින රාත්‍රි කාලය පුරාම යම් කිසි සැක කටයුතු පිරිසක් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයකින් පැමිණ සිසුන්  නවාතැන් ගෙන සිටි නිවෙස අසළ රැකවල් ලාගෙන සිටි බවයි.

“මේක සැළසුම් සහගත ඝාතනයක්. ඒක එහෙමයි කියන්න ඕනෑ තරම් සාක්‍ෂි තියෙනවා. මරණය ආරංචි වුණාම මමත්, කිහිප දෙනෙක් සමඟ එතැනට ගිහින් බැලුවා. බයිසිකලය වැදිලා තියෙනවා කිවුව කණුවේ පතුරු කිහිපයක් ගැලවිලා තිබුණේ හරියට මිටියකින් ගහලා වගේ. ජනකගේ සහ සිසිතගේ මුහුණු විරුපී වෙලා තිබුණු තරමට හරිනම් ඒ ලයිට් කණුවට සැළකිය යුතු හානියක්  වෙන්න ඕනේ. ඒ වගේම බසිසිකලයට මීට වඩා හානි වෙලා තියෙන්න ඕනේ. නමුත් හෙල්මට් දෙක විතරක් චප්පවෙලා තිබුණේ".

එසේ නම් සිදුවන්නට ඇත්තේ කුමක්ද? අන්තරයේ කැඳවුම්කරු පවසන්නේ යම් කිසි  තැනකදි ඔවුන් දෙදෙනාව ඝාතනය කොට පසුව සිරුර සොයා ගත් ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවයි.

"මේක අනතුරක් නොවෙයි, ඝාතනයක් කියලා කියන්නට ඕනේ තරම් හේතු තියෙනවා. එකක් තමයි සිසිත්ලා පිටත්ව ගිය වෙලාව සහ සිරුරු සොයාගත් වෙලාව අතර තියෙන කාල පරතරය. මෝටර් බයිසිකලයක් සමාන්‍ය වේගයෙන් ගියත් පැය භාගයක් ඇති එම ස්ථානයට යන්න. නමුත් පැය එකහාමාරකට වැඩි කාලයක් ඔවුන් පිළිබඳව කිසිම තොරතුරක් අපිට දැනගන්න ලැබෙන්නේ නැහැ. එහෙම වෙන්නේ කොහොමද? අනෙක් වැදගත්ම කාරණය ජනකගේ සහ සිසිත්ගේ ජංගම දුරකතනවලට සිදුවුයේ කුමක්දැයි කියන එක. අනතුරකින් ඒ දෙන්නා මියගියේ නම් ඒවා නැතිවෙන්නේ කොහොමද?"

මළ සිරුරු සොයාගත් ආකාරය පවා තමන්ට ගැටළු සහගතයැයි කියා සිටින අන්තරයේ කැඳවුම්කරු ගම්පහ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් එකක් කියන විට එවක සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එයට සම්පූර්ණයෙන්ම පටහැනි එකක් ප්‍රකාශ කළ බව කියා සිටියි.

"අපිට මුලින්ම කිවුවේ මළ සිරුරු සොයා ගත්තේ වැරැල්ලවත්ත පොලිස් මුරපොලට නාවික හමුදා භට කණ්ඩායමක් විසින් කරන ලද දැනුම් දීමකින් බවයි. නමුත් පසුව කියනවා යක්කල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙක් විසින් දැනුම් දුන්නාය කියලා. එහෙත් මේ කිසිම පුද්ගලයෙකු පිළිබඳ නිළ සටහනක් කොහේවත් නැහැ. මේ සෑම දෙයකින්ම සිදුවන්නේ අපේ සැකය වැඩිවීමක් විතරයි".

යටපත් කෙරුණු පරීක්‍ෂණයන්

දැන ගැනීමට ඇති පරිදි අනතුර පිළිබඳව වාර්තාවීමෙන් පසු පරීක්ෂණ ආරම්භ කොට ඇත්තේ වැරැල්ලවත්ත පොලිස් මුරපොලේ සේවයේ නියුතු උප පොලිස් පරීක්‍ෂකවරුන් වූ එස් ආර් බී රවීන්ද්‍ර සහ ගාමිණි යන නිළධාරීන් දෙදෙනා විසිනි. නමුත් මළ සිරුරු සොයාගත් පළමු අවස්ථාවේ සිටම එය අනතුරක් නිසා සිදුවු මරණයක්  බව පෙන්වීමට සියල්ල සුදානම් කෙරී තිබෙන්නේ පෙර සකස් කළ සැළසුමක් පරිදිදෙනි. ඒ අනුව ඉහත සඳහන් කළ පරිදි පොලිසිය මළ සිරුරු එම ස්ථානයෙන් ඉවත් කිරීමට යුහුසුළු වන්නේ අවම වශයෙන් අනතුරකදි අනුගමනය කළ යුතු මුලික නෛතික ක්‍රියා පටිපාටින්ගෙන් බැහැර වෙමිනි. පොලිසිය විසින් එසේ කරනුයේ ස්ථාන පරීක්‍ෂාව සඳහා මහේස්ත්‍රාත් පැමිණීමටත් පෙර යැයි අවිවිශිබම කැඳවුම්කරුවන නජිත් ඉන්දික කියා සිටියි.

"පොලිසිය ඉක්මනින්ම මළ සිරුරු ඉවත් කරලා විතරක් නොවෙයි. එතැන තිබුණු සාක්ෂිත් විනාශ කර දමලායි තිබුණේ. මහේස්ත්‍රාත් ඇවිත් ස්ථානය පරීක්ෂා කරන්න කළින් මළ සිරුරු ඉවත් කළේ ඇයි කියලා ඇහුවාම පොලිසිය සඳහන් කළේ අනතුරට ලක් වුණ දෙන්නව රෝහල් ගෙනියන්න එහෙම කළ බවයි. නමුත් සිරුරු වැටී තිබුණු තැන වෙළඳ සැල්වල හිටපු අය ඉතාම පැහැදිලිව කියා සිටියා පාන්දර 4.30ට පමණ පොලිසිය ඇවිත් මළ සිරුරු දෙකක් වහන්න ගෝනි කිහිපයක් ඉල්ලා සිටිය බව. අනෙක් කරුණ මළ සිරුරු දෙක අවමංගල රථයකට දමාගෙන යන ඡායාරූප අපි ළඟ තියෙනවා".

පොලිසියම  කියා සිටින ආකාරයට මෙය යතුරු පැදි අනතුරක් නම් සමාන්‍ය ක්‍රියා පටිපාටියෙන් බැහැරව යමින් කටයුතු කරනුයේ කුමක් නිසාදැයි යන්න ගැටළුවකි. ජනක ඒකනායක සහ සිසිත් ප්‍රියංකරට සිදුව ඇති මරණීය තුවාල සමග සසඳන විට ඔවුන් ගමන් ගත් යතුරු පැදියට සිදුව ඇති හානිය බරපතල තත්ත්වයේ එකක් නොවන්නේය. එසේනම් ගැටළුව වන්නේ හිස් සහ මුහුණු විරුපී වන තරමට තැලුම් තුවාල සහිතව ඔවුන් දෙදෙනා අනතුරට ලක්වන්නේ කෙසේද යන්නයි. පසුගිය ජනවාරි මාසයේදි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අවිවිශිබම නියෝජිතයන් කියා සිටියේ ජනක බණ්ඩාර සහ සිසිත් ප්‍රියංකර අලුයම පිටත් වු වේලාව සහ මළ සිරුරු හමුවු වේලාව අතර කාලය පිළිබඳව ගැටළුව විසින් මතුකරන්නේ ඒ අතරමැදි පැය එකහාමාරක් පමණ කාලය තුළ ඔවුන් යම් පිරිසකගේ ග්‍රහණයට නතුව සිටියේද යන්නයි. ඔවුන් දෙදෙනාගේ  මරණය සිදුවන්නට ඇත්තේ වෙනත් ස්ථානයකදී ද යන සැකය ඔවුහු අවධාරණය කරති.

'මුහුණ හිල් කරලා'

සිසිතගේ නැන්දණිය වන ධම්මිකා ප්‍රියදර්ශනී මෙන්ම ජනකගේ පියා වන නීල් කුමාර ඒකනායක ද කියා සිටිනුයේ  තම දරුවන් යම් කිසි කණ්ඩායමක් විසින් ඝාතණය කර පසුව රිය අනතුරක් යැයි පෙන්වීමට අදාළ ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවයි. මරණ පරීක්‍ෂණයේදී මෙන්ම ඉන් පසුවත් මෙය ඝාතනයක් නොව, යතුරු පැදි අනතුරක් ලෙස හුවා දැක්වීමට පොලිසියත් අදාළ අනෙකුත් පාර්ශවයනුත් බලවත් උත්සහයක් ගනු දක්නට ලැබුණු බවත් ඔවුහු ප්‍රකාශ කරති.

“සිසිතගේ මළ සිරුර හඳුනාගන්න ගම්පහ රෝහල් මෘත ශරීරාගාරය ඇතුළට ගියේ මගේ මල්ලී. ඒ කියන්නේ සිසිතගේ මාමා. මල්ලි මට ඇවිත් කිවුවා ‘අක්කේ, පුතාගේ මුහුණ හිල් කරලා දලා තියෙන්නේ, අඳුනාගන්නවත් බැහැයි කියලා'. ඒ විතරක් නෙමෙයි, අපිට දැනගන්න ලැබුණා බඩට සහ පපුවට උල් ආයුධයකින් ඇණලා තියෙනවා කියලා.පොලිසියේදි අපේ කට උත්තර ගත්තේ හරියට අපි අපේ දරුවන්ව මරලා දාලා වගේ. මේ මරණය ගැන සැකයක් නැහැ නේද කිය, කිය තමයි පොලිසිය අපෙන් කට උත්තර ලියා ගත්තේ. ඒත් අපි කිවුවෙම මේ මරණය අපිට සැකයි කියලයි. ඒ විතරක් නෙමෙයි,මගේ කට උත්තරය ලියද්දි සැරෙන් සැරේ ඒක වෙනස් කරන්න උත්සාහ කළා," සිසිතගේ නැන්දණිය කියයි.

ජනක පියා වන නීල් කුමාර ඒකනායක ප්‍රකාශය ද ඊට සමාන කතාවකි.

"අපිට මුලින් කිවුවේ නැහැ පුතා මැරිලාය කියලා. ඉස්පිරිතාලෙට ගියාම තමයි කිවුවේ බයිසිකලය හැප්පිලා මැරිලා තියෙන්නේ කියලා. මමයි, තව පුතෙකුයි ගිහින් තමයි ජනක පුතාගේ මිනිය හඳුනා ගත්තේ. අපිට බලන්න බැරි තරමටම මුහුණ විරූපී වෙලා තිබුණේ. ලොකු සිදුරු දෙකක් මුහුණ පැත්තෙන් හැරිලා තිබුණා. මට ඉතා පැහැදිලිවම කියන්න පුලුවන් මේක මෝටර් බයිසිකලයක් හැප්පීමකින් සිදුවු මරණයක් නොවෙයි. කියන එක. මරණ පරීක්‍ෂණය වෙලාවේදි දිගින් දිගටම ඇහුවේ මේ මරණය ගැන සැකයක් නැහැ නේද කියලා විතරයි. ගම්පහ පොලිසියේදි මගෙන් ගත්ත කට උත්තරය කිහිප විටක්ම ඉරලා දැම්මා. එහෙම කෙරුවේ කට උත්තරය ලියා ගන්න කොට කවුරු හරි පොලිසියට ටෙලිෆෝන් කරමින් උපදෙස් දුන් නිසායි. ඒක අහගෙන ඉදලා කට උත්තරය ඉරලා දානවා. ආයෙත් මුලින් ලියනවා. එහේම කිහිප වතාවක් කෙරුවට පස්සේ මම කෑ ගහලා කිවුවා තවත් මට බැහැ කට උත්තර දෙන්න කියලා. මට වැටහුන විදිහට පොලිසියට ලොකු උවමනාවක් තිබුණා මරණය සැක නැති බවට අපි ලවා ලියවා ගන්න".

 ඔවුන් මෙන්ම අවිවිශිබම ද කියා සිටිනුයේ ජනකගේ සහ සිසිත්ගේ ශරිරයේ තිබුණු තුවාල සහ තැලීම් ආදිය යතුරු පැදි අනතුරක් හේතුවෙන් සිදුවු ඒවා නොවන බවට රෝහල් සේවකයන් පවා තමන්ව දැනුවත් කළ බවයි.

එහෙත් මෙය හදිසි අනතුරක්ද, නොඑසේනම් නම් සැළසුම් සහගතව සිදුකළ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න ගැන පරීක්‍ෂණ පවත්වා විසඳිය යුතු ආයතනයන් සහ පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන්ද මතුව ඇත්තේ බලවත් සැකයකි. මරණයන් සම්බන්ධව මුලික මහේස්ත්‍රාත් පරීක්‍ෂණය පවත්වනු ලබන්නේ එකළ ගම්පහ මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති විසිනි. අගතියට පත් පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටින නිතිඥවරුනට අනුව ඇය පොලිසියේ ක්‍රියා කලාපය පිළිබඳව කිසිදු  අවස්ථාවකවත් ප්‍රශ්න කළ බව සඳහනක් නැත. එසේම පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ගම්පහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි එස් පී ඒ හේවගේ ගේ අංක B1593/2012 සහ SR/5719/2012 දරණ වාර්තාවන්ට අනුව මරණය සිදුවීමට බලපෑ හේතු ලෙස දක්වා ඇත්තේ හිස් කබලට සිදුවු හානි හේතුවෙන් මරණයන් සිදුව ඇති බවට ය. එසේම රස පරීක්‍ෂක වාර්තාවන් ලබා දීමද අදාළ අංශයන් විසින් දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටින බවයි මරණකරුවන් වෙනුවෙන් පෙනි සිටින නිතිඥ නුවන් බෝපගේ JDS වෙත කියා සිටියේ.

“මරණ පරීක්‍ෂණයේදි අපි සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුම ඉදිරිපත් කළා. නමුත් ගැටළුව වන්නේ අධිකරණයට ඉදිරිපත්විය යුතු පරීක්‍ෂණ වාර්තාවන් ප්‍රමාද වීම හෝ සිතා මතාම අතපසු කිරීමයි. අපිට රස පරීක්‍ෂක දෙපාර්තමේනතුවේ පරීක්‍ෂණය ගැන ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්න විදිහට ඔවුන් තාක්‍ෂණික පරීක්‍ෂණයක් සිදුකළේ නැහැ. අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා පරීක්‍ෂණ වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එයත් ගැටළුවක්. මියගිය සිසුන්ගේ දුරකථන ඇමතුම් පිළිබඳව අදාළ ආයතනයන් දුන් වාර්තාවන් වුණත් විධිමත් නැහැ".

CIDයට පැමිණිල්ලක්

ජනක සහ සිසිතගේ මරණයන් සම්බන්ධව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අංක 2012 /1593 දරණ නඩුව වසර දෙකකට අධික කාලයක් ඇසෙමින් පවතින අතර පසුගියදා අධිකරණයේ දැනුම් දීම මත අවිවිශිබම විසින් රහස් පොලිසිය වෙත භාර දුන් පැමිණිල්ලකින් ඉල්ලා ඇත්තේ මෙම මරණයන් පිළිබඳ පරීක්‍ෂණ රහස් පාලිසිය වෙත පවරා ගන්නා ලෙසයි. එයට හේතු ලෙස ඔවුන් කියා සිටිනුයේ මුලිකවම මෙය ඝාතනයක් බව හඳුනාගැනීමට අවශ්‍ය තරම් සාක්ෂි සහ තොරතුරු තිබියදි ගම්පහ පොලිසිය සිතා මතාම එයින් බැහැරව කටයුතු කරන බවයි. එසේම මෙවැනි පැමිණිල්ලක් රහස් පොලිසිය වෙත කිරිමට අනුමත කිරීමෙන්ම අධිකරණය මෙය අනතුරක් නොවන බවට පිළිගෙන ඇතැයිද  ඔවුන් කියා සිටියි.

කෙසේ වෙතත් ජනක ඒකනායක සහ සිසිත් ප්‍රියංකර මරා දමන්නට  ඇත්තේ කවරෙක්ද, ඒ කුමක් නිසාදැයි අනාගතයේ දවසක හෙළිදරව් වීමට මෙන්ම ඇතැම්විට එසේ හෙළි නොවීමටද පුලුවන. වසර තුනකට පෙර අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් කළ අරගලයක කොටස්කරුවන්වු දෙදෙනෙකු අභිරහස් ලෙස මරණයට පත්වීම පිළිබඳ යුක්තිය ඉටු කරගැනීමේ අවශ්‍යතාව හුදකලාවේ අවධාරණය කරන්නේ ඔවුන් අයත්ව සිටි ශිෂ්‍ය සංවිධානය පමණක් වීම අභාග්‍ය සම්පන්න සමාජයක ඉරණම වී ඇති බැව් පෙනේ. ජනක සහ සිසිතගේ මරණය සම්බන්ධයෙන් පිළිතුරු බඳින්නට බැඳී සිටි හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයා මැතිවරණයෙන් පරාජය වුවද දැන් අළුත් ආණ්ඩුවේ ජාතික ලැයිස්තුවෙන් යළිත් පාර්ලිමේන්තුවට පත්ව සිටියි.

මාසයකට පෙර නැඟ ආවේ යැයි කී ප්‍රජාතන්ත්‍රවාදයේ වඩදිය රැල්ල දැන් බැස යමින් ඇත්තේ 'ප්‍රජාතන්තුවාදීන්' සහ 'ප්‍රජාතන්ත්‍ර විරෝධීන්ගේ'  හවුල්කාරීත්වයෙන් බිහිවන අලුත් ජාතික ආණ්ඩුවකට ඉඩ දෙමිනි. ජනක බණ්ඩාර සහ සිසිත ප්‍රියංකර, ඒ නව සන්ධානයේ චිරස්තිථිය වෙනුවෙන් අමතක කොට දැමෙන්නට නියමිත නොවැදගත් මිනිස් බිලි දෙකක් වීමට ඕනෑ තරම් ඉඩ තිබේ.

'පාට දෙකේ දේදුනු විප්ලවය' ඇතැමුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පිපාසාව සංසිඳවා ඇති සෙයකි. නමුත් සිය දරුවන් අහිමි වූ මෝදර ධම්මිකා ප්‍රියදර්ශිනී සහ තඹරව නීල් කුමාර ඒකානයක වැන්නන්ගේ ජීවිත කරා යුක්තිය රැගෙන එන ප්‍රජාතන්ත්‍රවාදයක් උදාවනු ඇත්තේ කවදාද?

කිත්සිරි විජේසිංහ


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.