JDS Sinhala

ශ්‍රී ලංකාවේ වධක බිම්: "මට වධ දුන් කඳවුරෙන් පිටත තාත්තා මා එන තෙක් බලා සිටියා"

මෙම ලිපියේ පළමු කොටස: මැතිවරණ සාද මැද ශ්‍රී ලංකාවේ වධක බිම් සිතියම්ගත කිරීම

පි කෙලින්ම ඩිරෙක්ටර්ට වාර්තා කළා. ඩිරෙක්ටර් කෙලින්ම ගෝඨාභයට වාර්තා කළා. ඩිරෙක්ටර් නියෝග ලබාගන්න සතිපතාම ගෝඨාභය හමුවුණා. මේ නියෝග ඉතාම සංවේදී හා රහස්‍ය ඒවා වූ අතර, ඒවා විශේෂයෙන් තෝරාගත් අපේ කුඩා කණ්ඩායමට පමණක් ලබාදුන්නා. ඩිරෙක්ටර්ට තමන්ගේ සතිපතා හමුවීම්වලදී හෝ වෙනත් විදියකින් ගෝඨාභයගෙන් උපදෙස් ලැබුණාම ඊට අදාළ පැවරුම් ඔහු (මට) භාරදුන්නා. ඒ හැම වෙලාවකම ඔහු කීවා මේවා ගෝඨාභයගේ, නැත්නම් 'ලොකු තැනගේ' නියෝග කියලා. ලොකු තැන කියන්නේ ගෝඨාභය හඳුන්වපු තවත් නමක්.” - (47 වැනි සාක්කිකරු)

සුදු වෑන් පැහැරගැනීම් පිළිබඳ මේ හෙලිදරව්ව කරන්නේ විශේෂ කාර්ය බලකායට සම්බන්ධ 'සුදු වෑන්' මඟින් මිනිසුන් පැහැරගන්නා කල්ලියක හිටපු සාමාජිකයෙකි. සැකකරුවන්ට තර්ජනය කිරීමට, වධ දීමට හා ඝාතනය කිරීමට සිය අධ්‍යක්‍ෂවරයා කෙලින්ම ගෝඨාභය රාජපක්ෂගෙන් නියෝග ලබාගත් බව ඔහු කියයි.

විරුද්ධවාදීන් හා මාධ්‍යවේදීන් නිහඬ කිරීමට STF

ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය ව්‍යාපෘතිය (International Truth and Justice Project - ITJP) විසින් පසුගිය දා එළිදැක්වූ “තවමත් නොනිමි යුද්ධය: ශ්‍රී ලංකාවේ වධහිංසාවලින් හා ලිංගික හිංසනයන්ගෙන් දිවි ගලවාගත්තවුන් 2009 - 2015” වාර්තාව සඳහා සාක්කි ලබාදෙමින් ඔහු මෙම තැතිගන්වන සුළු කරුණු හෙළිදරව් කර තිබේ. ශ්‍රී ලංකාව තුළ පිහිටි වධ කඳවුරු 40කට වැඩි ගණනක් ITJP මගින් මෙම වාර්තාවෙන් හඳුනාගෙන ඇති අතර, වධකයන් 60කට වැඩි පිරිසක් පිළිබඳ සම්පූර්ණ තොරතුරු තමන් සතු බව ද ඔවුහු කියා සිටිති.

ආරක්‍ෂක ලේකම් ධූරයට පත් වූ හිටපු ජනාධිපති සොයුරු ගෝඨාභය රාජපක්ෂ කලින් පොලිස්පතිවරයාගේ පාලනය යටතේ පැවැති විශේෂ කාර්ය බලකාය (STF) තමන් යටතට ගත්තේ ය. 'ප්‍රමාණවත් තරම් අවනත නොවන ජනමාධ්‍යෙව්දීන් කිහිප දෙනකු ද ඇතුළු ඕනෑම විරුද්ධවාදියකු බියගැන්වීමට හා නිහඬ කිරීමට ගෝඨභය STF යොදාගත් බව' අභ්‍යන්තර තොරතුරු සැපයූ පුද්ගලයන් දෙදෙනකු ද ඇතුළත් සාක්කිකරුවෝ තිදෙනෙක් ITJP වෙත ලබාදුන් සිය සාක්කිවලින් කියා සිටියහ.

සිය ගණනක් බව ඔහුම කියන සුදුවෑන් ගොදුරු ගැන මෙම පැහැරගැනීම් දියත් කළ ඉහත කී පුද්ගලයා තවදුරටත් මෙසේ පවසයි.

“අපි මිනිස්සුන්ව පැහැරගත්තාම, ඔවුන්ව XX තුළ හෝ ආසන්නයේ අපේ කණ්ඩායම සතුව තිබූ රහස්‍ය ස්ථාන ගණනාවකින් එකක් වෙත ගෙන ගියා. අනතුරුව ඔවුන්ට ගෝඨාභයගේ උපදෙස්වලට අනුව සැළකුවා. ඒ සැළකීම්වලට පහරදීම්, ප්‍රශ්න කිරීම් හා ශාරීරික වධහිංසා ඇතුළත් වුණා. අපේ කණ්ඩායමෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් හෝ පැහැරගත් හැම අවස්ථාවකදීම ඔහුව ඒ හොමොතේදීම හෝ දිග්ගැසුණු වධදීම්වලින් පසු මරාදැමුණා. බොහෝ වෙලාවට පුද්ගලයන් වධදෙන අතරතුර මියයනවා...... මට මතක ළාබාලම පුද්ගලයා එල්ටීටීඊයට සම්බන්ධ බව කී 15 වියැති දෙමළ පිරිමි ළමයෙක්. වයස්ගතම පුද්ගලයා අවුරුදු 60ක කෙනෙක්. අපේ පැහැරගැනීම්වලට ගැහැනු පිරිමි දෙපිරිසම ඇතුළත් වුණා. නියම පුද්ගලයා පැහැරගන්න බැරි වුණු අවස්ථාවල දී, අපි ඒ පණිවුඩය ඔහුට යවන්න ඔහුගේ පවුලේ සාමාජිකයෙක් අතුරුදහන් කරනවා.”

ගෝඨාගෙන් ඍජු නියෝග

මේ සාක්කිකරුවා කියන පරිදිම, හඳුනාගත් රැඳවුම් මධ්‍යස්ථාන දෙකක දී, තමන් ඍජුවම ආරක්ෂක ලේකම්වරයා යටතේ කටයුතු කළ බවට ප්‍රශ්න කරන්නන් වහසිබස් කියා ඇතැයි ITJP වාර්තාව පවසයි.

“මා වධයට පැමිණවූ නිලධාරීන් මට කියා සිටියේ ඔවුන් ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් වැඩකළ විශේෂ කණ්ඩායමක කොටසක් බැවින් තමන්ට ඕනෑම දෙයක් කළ හැකි බව හා පැමිණිලි කිරීමේන් පලක් නොවන බව යි. මේ මොහොතේ මට මීට වැඩි යමක් කියන්න බෑ. මන්ද ලංකාවෙ ආණ්ඩුව දැනගත්තොත් මං CID එකට සහ ආරක්ෂක ලේකම්ට විරුද්ධව සාක්කි සපයනවා කියලා, මගේ පවුලේ අයට නිසැකවම කරදර විඳින්න සිදුවෙනවා.” - (ආරක්ෂක හේතූන් මත අංකය හෙළිදරව් නොකැරෙන සාක්කිකරුවෙක්)

තමන් “ගෝඨාභයගේ නිරීක්ෂණය යටතේ” සිටින බව ත්‍රිකුණාමලය නාවික තටාකාංගන රහසිගත කඳවුරේදී රැඳවුම්කරුවන්ට ආරක්ෂකයන් විසින් දැනුම් දී ඇත. එම ස්ථානය ගෝඨාභයට ඍජුවම වාර්තා කරන නිලධාරීන් යටතේ පවත්වාගෙන යන බව එම දැනුම්දීමෙන් මෙම රැඳවියන් තේරුම් ගෙන ඇතැයි වාර්තාව කියයි.

හඳුනාගැනුණු ස්ත්‍රී දූෂකයෙක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, හමුදා කඳවුරු, රැඳවුම් කඳවුරු හා ආණ්ඩුව විසින් නම්කරන ලද ‘පුනරුත්ථාපන කඳවුරු’ වැනි බොහෝ ස්ථානවල දී විවිධ තරාතිරමේ දෙමළ ජාතික ස්ත්‍රීන් දරුණු ලිංගික වධහිංසාවන්ට, ලිංගික අපහරණයන්ට මෙන් ම දූෂණයන්ට හා සමූහ දූෂණයන්ට ද ගොදුරුවූ බවට දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද එක්රැස් වී ඇති සාක්ෂ්‍ය අපමණ ය. ඇත්තේ ඒ සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවීමේ ගැටලුව යි. දූෂණයට ලක් වූ ස්ත්‍රියක විසින් හඳුනාගැනුණු ස්ත්‍රී දූෂකයකු පිළිබඳ එක් නිදසුනක් ITJP සිය වාර්තාවේ මෙසේ සටහන් කරයි.

“මා මුළුමනින්ම නිරුවත් කරලයි හිටියේ. මුළු සිරුරම වේදනා දුන්නා. කුමක් කරන්නදැයි නොදත් මම කෑගැසුවා. මා පසෙක නැගීසිටි පුද්ගලයා මා වෙතට පහත් වී අතින් මගේ කට වැහුවා. මට කරකියාගන්න දෙයක් තිබුණේ නෑ. හඬමින් සිටි මට උදව් ඉල්ලා කෑ ගසන්නවත් හැකියාවක් තිබුණේ නෑ. කට වහගන්නැයි ඔහු මට කීවා. අසභ්‍ය වචන පාවිච්චි කළ ඔහු කීවා “ආයෙ කෑගැහුවොත් අපි උඹව මරනවා” කියලා. මගේ ප්‍රශ්න කිරීම ගැන කිසිවකුටත් නොකිව යුතු බව කී ඔහු මා එසේ කළහොත් මාව ''එදා රෑ මරනවා'' කියා කීවා. තමන් යුද්ධය දිනූ බවත්, දෙමළ කාන්තාවන් සිංහල දරුවන් බිහිකිරීම තමන්ට අවශ්‍ය බවත් ඔහු කීවා. ඔවුන් මට මගේ ඇඳුම් ආපසු දුන්නා. මා ඒවා ඇඳගන්නා අයුරු ඔවුන් බලා සිටියා. ඔවුන් ඒ වනවිටත් හිටියේ තෘප්තිමත්ව. මාව දූෂණය කළ හමුදා නිලධාරියන් සිව් දෙනාගේ නම් මා දන්නේ නෑ. මා දූෂණය කළ දිනට පසු කිසිදිනෙක මා ඔවුන් යළි දුටුවේ නෑ.” - (ආරක්ෂක හේතූන් මත අංකය හෙළිදරව් නොකැරෙන සාක්කිකාරියක්)

සාක්කිකාරිය පසුව සන්නද්ධ අංශ සාමාජිකයන් හා සිවිල් වැසියන් සියදෙනකුට වැඩි පිරිසකගේ ඡායාරූප මිශ්‍ර කොට ඉදිරිපත් කළ ඡායාරූප පුවරුවකින් දූෂකයන් සිව් දෙනාගෙන් එක් අයකු හඳුනාගෙන ඇත.

හමුදා බුද්ධි අංශ ස්ත්‍රී දූෂකයා

සන්නද්ධ අංශ අභ්‍යන්තර තොරතුරු හෙළිකළ සාක්කිකරුවෙක් ද මේ පුද්ගලයා හඳුනාගෙන ඇති අතර, ඔහු වව්නියාවේ ආරක්ෂක හමුදා ඒකාබද්ධ මෙහෙයුම් ස්ථානය හෙවත් ජෝසෆ් කඳවුරේ හමුදා බුද්ධි බලකායේ (Military Intelligence Corps -  MIC) සේවයේ නියුතුව සිටිය දී මැණික් ෆාම්හි කලාප දෙකේ රාජකාරි කළ බවත්, ඔහුගේ නම සහ එවකට නිලයත් ITJP වෙත පවසා තිබේ.

මෙම සාක්කිකාරිය 2009 දී තමන් දූෂණය කළ දූෂකයන් සිව් දෙනාගෙන් කෙනෙක් ලෙසින් හඳුනාගත් පුද්ගලයා ජෝසෆ් කඳවුරේ සිට ක්‍රියාත්මක වූ හමුදා බුද්ධි අංශ කණ්ඩායමේ සිටි කපිතාන්වරයකු බව වාර්තාව සඳහන් කරයි. දූෂණය සිදුකරන අවස්ථාවේ ඔහු නිල ඇඳුමින් සිට ඇත. තමන් සතුව ඔහුගේ නම සහ කැඩේට් නිලධාරියකුගේ පටන් හමුදා බුද්ධි අංශ බලකායේ දෙවන ලුතිනන් දක්වාත්, අනතුරුව තාවකාලික කපිතාන් හා තාවකාලික මේජර් දක්වා උසස්වීම් ලද ආකාරය ඇතුළු හමුදාව තුළ ඔහුගේ සියලු වතගොත ද ඊට අමතරව ඔහු ශ්‍රී ලංකා විදේශ සේවා පුහුණු ආයතනයේ රාජ්‍ය තාන්ත්‍රික පාඨමාලාව හදාරා ඇති බවට තොරතුරු ද, ඔහු ගේ ඡායාරූපය හා ජංගම දුරකතන අංකය ද තමන් සතු බව ITJP කියයි.

තමන් දූෂණය කිරීම ආරම්භ කරන විට දූෂකයන් ඇඳුම්වලට උඩින් සිය ලැම ස්පර්ශ කළ බවත්, තමන් ඊට එරෙහි වූ විට සිය කාර්යයට ඉඩ නොදුන්නොත් වසර ගණනාවකට පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යවන බවට ඔවුන් තර්ජනය කළ බවත් සාක්කිකාරිය පවසා තිබේ.

මෙම කාරණයේ දී ඇගේ විස්තරය අභ්‍යන්තර තොරතුරු ලබාදුන් සාක්කිකරුවකුගේ සාක්කිය හා සැසඳෙන බව වාර්තාව කියයි. මැණික් ෆාම් කඳවුරෙහි සංචාරය කළ සිය සහචරයන් අතර මෙය සාමාන්‍ය පුරුද්දක් වී තිබූ බවත්, ඒ ගමන්වල දී ඔවුන් පෙනුමැති තරුණියන්ට පුනරුත්ථාපනය හෝ දූෂණය වීම තෝරාගැනීමට තර්ජනය කළ බවත් ඔහු කියා ඇත.

වව්නියාවේ 'ජෝසෆ්' කඳවුර

වව්නියාව නගර මධ්‍යයේ පිහිටි වන්නි ආරක්ෂක ආරක්ෂක හමුදා මූලස්ථානය පිහිටා තිබූ ආරක්ෂක හමුදා ඒකාබද්ධ මෙහෙයුම් ස්ථානයේ (JOSFH Camp) සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් (CID) හමුදා බුද්ධි අංශ බලකායත් (MIC) තම තමන්ගේ රැඳවුම් කුටි සහ සුදු වෑන් සහිතව එකිනෙකින් ස්වාධීනව වෙනම අණදීම් යටතේ ක්‍රියාත්මක වෙමින් සිටි බව ITJP සිය වාර්තාවේ ජෝසෆ් කඳවුර පිළිබඳ සිද්ධි අධ්‍යයනයෙහි ලා සටහන් කරයි. යුද්ධයේ අවසන් අදියරේ සිට ජෝසෆ් කෑම්ප්හි පිහිටි MIC පිරිස සුදුවෑන් පැහැරගැනීම්වල, වධහිංසාවන්හි හා ලිංගික දූෂණයන්හි නිරත වී සිටි බව සන්නද්ධ අංශ අභ්‍යන්තර තොරතුරු හෙලිකරන්නකු විසින් කියා ඇත.

"ජෝසෆ් කඳවුරේ අපට එවැනි වෑන් හතරක් තිබුණා. ඒවාට අංක තහඩු නොතිබූ අතර, සියලු පැති හා පසුපස වීදුරු ඇතුළ නොපෙනෙන ලෙස කළුකර තිබුණා. අපේ සියලු වෑන් ටොයොටා හයිඒස් වර්ගයේ. විශේෂ පුද්ගලයෙක් පැහැරගැනීමට නියෝග ලැබුණු කිසිම අවස්ථාවක අපි නිල ඇ‍ඳුම් ඇන්දේ නෑ. අප හිටියේ සාමාන්‍ය සිවිල් වැසියන් වගෙයි. පුද්ගලයෙක් පැහැරගත් වහාම අපි ඔහුගේ අත් පා හා දෑස් බැඳ දමනවා. ඔහු ගෙනයන්නේ කොහේටදැයි දැනගන්න බැරිවෙන විදියට. අපි කිසිම වෙලාවක මුහුණු ආවරණ පැළඳ සිටියේ නෑ. අපේ අනන්‍යතා හඳුනාගැනීම ගැන හෝ පසුව අප කළ දේ සම්බන්ධයෙන් උසාවිය ඉදිරියට පැමිණවීමක් පිළිබඳ අපට බියක් තිබුණේ නෑ." - (67 වැනි සාක්කිකරු)

මෙම සාක්කිකරු කියන පරිදි රැඳවියෝ ඔවුන්ගේ සිරමැදිරිවලින් වධදීමේ උපකරණ සහිත ප්‍රශ්නකිරීමේ කාමරවලට රැගෙන එන ලදහ.

"සමාන වධක අවි ආයුධ සහිත මේ වගේ රැඳවුම් කාමර පහකට වැඩි සංඛ්‍යාවක් ජෝසෆ් කඳවුරේ තිබුණා. රැඳවියා රැගෙන ඒමට පෙර ප්‍රශ්නකිරීමේ කාමරවලට සියලු වධක උපකරණ සැපයුණා. ගුද මාර්ගවලට ඇතුළුකිරීම සඳහා පයිප්ප බටවල දැමූ කටුකම්බි, මිටි හා අත් හා පා නිය ගැලවීම සඳහා අඬු ද ඊට ඇතුළත් වුණා. එසේ ම මේ කාමරවල පුටුවක් සහ මේසයක්, මාංචු සහ දම්වැල් මෙන් ම පුද්ගලයන් සීලිමේ එල්ලීම සඳහා අවශ්‍ය කඹ සහ බොලොක්ක ද තිබුණා." - (67 වැනි සාක්කිකරු)

දෙමළ ස්ත්‍රීන් දූෂණය කිරීම යනු ජෝසෆ් කඳවුරේ සිටි සිය MIC සහචරයන් වගාඩම්බර කී දෙයකැයි මෙම අභ්‍යන්තර සාක්කිකරුවා පවසා තිබේ.

දූෂකයන්ගේ පුරසාරම්

“ඔවුන් මේ කාන්තාවන්ට තර්ජනය කරමින් වධහිංසා කළා. තරුණියන් ලිංගික ක්‍රියාවලට එකඟ වුණොත් වධදීම් නැවතුණා. ඊට අකමැති වුණොත් ඔවුන් පුනරුත්ථාපන කඳවුරුවලට යැවුණා. එසේ යවන්නට පෙර ඇතැමුන් බලහත්කාරී දූෂණයටත් ලක්වුණා. ඔවුන් මේවා ගැන පුරසාරම් දෙඩූ නිසා මා මේ ගැන දන්නවා. එල්ටීටීඊ කාඩර්වරුන් පමණක් නොව, MIC සාමාජිකයන්ට මත්පැන් බිවූ පසු රාත්‍රී කාලවල දී දූෂණය කිරීම සඳහා පෙනුමැති තරුණ ගැහැනු ළමුන් හඳුනාගැනීම ද ඔත්තුකුරුවන්ට පැවරී තිබුණා. එය බොහෝ වර සිදු වුණු දෙයක්. කඳවුරේ දී දෙමළ කාන්තාවන් දූෂණය කිරීම ගැන MIC සාමාජිකයන් පුරසාරම් කියනු මා අසා තිබුණා. තමන් දෙමළ තරුණියන් 15 දෙනකුට හෝ ඊටත් වැඩි ගණනක් දූෂණය කර තිබෙන බවට ඇතැමුන් වහසි බස් කියනවා." - (67 වැනි සාක්කිකරු)

ඇතැම් අවස්ථාවල රැඳවියන් කිහිප දෙනෙක් එක ම කුටියේ රඳවනු ලැබ සිටියහ. එක් කාන්තාවක් ගැටවර වියේ තරුණියන් පිරිසක් සමග රඳවනු ලැබ සිටියා ය. අත් පා බැඳ දමා සිටි ඔවුහු මුළුමනින්ම නිරුවත් කරනු ලැබ සිටියහ. දූෂණය කිරීම සඳහා දිනකට කිහිප වතාවක් ඔවුන් අතරින් එක් දැරියක් පිරිමි සන්නද්ධ හමුදා නිලධාරියකු විසින් කාමරයෙන් එළියට රැගෙන යාම සිදුවිය. තමන් ද නොයෙක් පිරිමින් අතින් බොහෝ වර දූෂණය වූ බව මේ සාක්කිකාරිය කියා ඇත.

ලිංගික දූෂණ හා ලිංගික අඩන්තේට්ටම් සම්බන්ධයෙන් මෙම සාක්කිකරුවන් ලබා දී ඇති ප්‍රකාශයන්ගෙන් වාර්තාවට ඇතුළත් වී ඇති ඇතැම් කොටස් පවා අති අමානුෂික හා බිහිසුණු වනවා සේම ඒවා විස්තර කිරීම ද උගහට ය. මෙම අපරාධකරුවන් සිදුකර ඇති දෑ විමසන විට පෙනීයන්නේ ඔවුන් විකෘති මානසිකත්වයන්ගෙන් පෙළෙන්නන් බව ය. ඒ විකෘති කාමාශාවන්ගෙන් මෙහෙයැවෙන වධකයෝ අදටත් සන්නද්ධ අංශවල රාජකාරියේ යෙදෙමින්, සිය අත්අඩංගුවේ පසුවන්නන්ට අමානුෂික ලෙස සලකමින් සමාජය ඉදිරියේ 'රණවිරු' පදක්කම් දරා වැජැඹෙති.

එළිපිට සිදුවන ස්ත්‍රී දූෂණ

වධ කඳවුරු, හමුදා කඳවුරු, පොලිස් ස්ථාන ඇතුළු රැඳවුම් ස්ථානවල පමණක් නොව යුද්ධයෙන් අවතැන්වූ ජනයා ගාල්කර සිටි පුනරුත්ථාපන කඳවුරු ලෙස හැඳින්වෙන ස්ථානවලදී ද දෙමළ ස්ත්‍රීන් දූෂණයට ලක්වූ හා අදටත් එය සිදුවන බව එළිපිට පිළිගන්නට අකැමැතියවුන් මිස කරුණක් වශයෙන් එය නොදන්නාවුන් සිහිබුද්ධියෙන් යුතු පුරවැසියන් අතර සිටිය හැකියයි විශ්වාස කළ නොහැක. අප කවුරුත් කරුණුමය වශයෙන් දන්නා එම සත්‍යය මෙම ITJP වාර්තාවෙහි  සාක්කිකරුවන් කිහිප දෙනකු මාර්ගයෙන් සංඛේතාත්මක ව එළිදක්වා ඇත. 

ඇතැම් අවස්ථාවල දී කඳවුර ඇතුළේ සිදුවන්නේ කුමක්දැයි හොඳින් ම දන්නා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඔවුන් බලාපොරොත්තුවෙන් කඳවුරෙන් පිටත බලා සිටින අතර ස්ත්‍රීන් දූෂණයට ලක් වී ඇති බවට සාක්කි ගෙනහැර පාන මේ අවස්ථාව ඉන් එකකි.

‘‘ඔවුන් මගෙන් ප්‍රශ්න කර අවසන් වන තුරු හැමටවිට ම මගේ පියා කඳවුරෙන් පිටත රැඳී සිටියා. පරීක්ෂණ සිදුකිරීමේ නාමයෙන් ඔවුන් මට කරන්නේ කුමක්දැයි මගේ පියා හොඳින් ම දැනගෙන ඉන්න ඇති. ඒත් ඔහුට කරන්න දෙයක් තිබුණේ නෑ. ඔහු කිසිම අවස්ථාවක පරීක්ෂණ ගැන මගෙන් අහන්නේ නෑ. අපි කිසිවක්ම කතා නොකර ආපහු ගෙදර යනවා. කිසිම තාත්ත කෙනෙකුට මේ වගේ ඛේදජනක අත්දැකීමට මුහුණෙදන්න සිදුවිය යුතු නෑ.” - (103 වැනි සාක්කිකාරිය)

වීඩියෝගත අපරාධ

ඇතැම් දූෂකයෝ මෙම කාන්තාවන් දූෂණය කිරීමෙන් පමණක් නොනැවතී එම දූෂණයන් හා ඔවුන්ට සිදුකළ ලිංගික අඩන්තේට්ටම් ඡායාරූපයට හා වීඩියෝවලට නඟා ඇත. මෙම දෙමළ ස්ත්‍රිය විස්තර කරන්නේ එවැනි අත්දැකීමකි.

‘‘ඔහු ළඟ මගේ වීඩියෝවක් තිබුණා. ඔහු එය මට පෙන්නුවා. ඒක ජංගම දුරකතනයකින් ගත් වීඩියෝවක්. මා එහි කොටසක් දුටුවා....... මා එහි මගේ මුහුණ දුටුවා. එක් පුද්ගලයෙක් මට කිසියම් අශෝභන ලිංගික හිරිහැරයක් කරනු මා එහි දුටුවා. ඒ ගැන මීට වැඩි යමක් මට මේ වෙලාවෙ කියන්න බෑ. ඔවුන් මට කළ දේ ගැන නැවත මතක්කරන්නවත් මට බෑ." - (42 වැනි සාක්කිකාරිය)

සන්නද්ධ හමුදාවල සිටි මෙවැනි ස්ත්‍රී දූෂකයන් සහ වධකයන් විසින් රූගත කරන ලද සිය හපන්කම් ඇතුළත් වීඩියෝ සහ ඡායාරූප රට තුළත් රටින් බැහැරවත් විකිණුනු සහ බෙදාහැරුණු ආකාරය රහසක් නොවේ. ඒවා කොළඹ වීදි දිග උණු කැවුම් සේ විකිණී ගිය බව ද රහසක් නොවේ. රහස ඇත්තේ ශ්‍රී ලාංකේය සමාජය ඒ සම්බන්ධයෙන් දක්වා ඇති අන්ධකාර ප්‍රතිචාරයෙහි ය.

වධකයන්ගේ මිනිස් ජාවාරම

සන්නද්ධ හමුදා තමන් අතට පත්වන ඇතැම් දෙමළ ජාතිකයන් නිදහස් කිරීම සඳහා අති විශාල කප්පම් මුදල් ලබාගත් බවටත්, ඇතැම් විට කප්පම් ගැනීම උදෙසා ම ඔවුන් දෙමළ ජාතිකයන් පැහැරගන්නා බවටත්, ඇතැම් රැඳවියන් එවැනිම අති විශාල මුදල් මත රටින් පිට කරන බවටත් තොරතුරු කොතෙකුත් පවතී. ඇතැම් අවස්ථාවල දී මේ පැහැරගැනීම් හා අත්අඩංගුවට ගැනීම්වලට සම්බන්ධ සන්නද්ධ අංශ තමන්ම මිනිස් ජාවාරම්කරුවන් ලෙස කටයුතු කරන බව ද, ඇතැම් විට කුප්‍රකට මිනිස් ජාවාරම්කරුවන් සමග හවුලේ කටයුතු කරන බව ද හෙළිදරව් කැරෙන තොරතුරු රට තුළින් මෙන්ම රටට බැහැරින් ද කොතෙකුත් මතුව තිබේ. මේ වාර්තාවේ සිදුව ඇත්තේ එවැනි සීමිත සිද්ධීන් ගණනකට අදාළ තොරතුරු සාක්කි සහිතව සටහන් කර තැබීමකි.

සන්නද්ධ හමුදා සහ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සකසන, පුද්ගලයන් රටෙන් පිටකරවන හා බොහෝ විට බහු අතරමැද රටවල් හරහා පිටරටවල් කරා රැගෙන යන මිනිස් ජාවාරම්කාරයන් අතර සම්බන්ධය පහත සිදුවීමේ දී මෙන් එළිපිට සිදුවන්නක් විය හැකි යයි වාර්තාව කියයි.

‘‘....TID (ත්‍රස්ත විමර්ශන ඒකකය) නිලධාරියා යුරෝපයට පලායන්නේ කෙසේදැයි මට කීවා; ඔහු මාව ලංකාවෙන් එළියට ගන්න බව කීවා. මං ආපහු ලංකාවේ උතුරට ආවොත් එහෙම තමන් මාව අත්අඩංගුවට ගන්නා බවත් ඔහු කීවා. ඔවුන් හැමෝම එකටයි ඉන්නේ. මාව රටෙන් පිටතට එවන්න විතරක් මගේ තාත්තා රුපියල් ලක්ෂ 25ක් ගෙව්වා. පොලීසියයි, ඒජන්තයයි, ටීඅයිඩී නිලධාරියයි හැමෝම ඒක බෙදාගත්තා. - (119 වැනි සාක්කිකරු)

2015 දී වධ හිංසාවට පමුණුවන ලද සාක්කිකරුවන් දෙදෙනකු, මිනිස් ජාවාරම්කාර ඒජන්තයා සමඟ අතරමැද රටවල් ගණනාවක් ඔස්සේ (තමන් දැන් ඉන්නා රටට) පැමිණි ගමනේ අත්දැකීම බෙහෙවින් බියකරු වූ බව විස්තර කර තිබේ. සිය ඒජන්තයා විසින් තමන් මාස දෙකක් ඉන්නේ කොහේදැයි හෝ නොදන්වා කාමරයක් තුළ සඟවාගෙන සිටින ලද බව එක් පුද්ගලයෙක් කියා තිබේ. ඒ අයුරින්ම සඟවා තබාගෙන සිටි අනෙක් පුද්ගලයා, තමන් ඉන්නේ කොහේද, යන්නේ කොහේටදැයි ඇසූ විට සහයෝගයෙන් කටයුතු නොකරන්නේ නම් ආපසු ලංකාවට පටවා යවන බව කියා ඒජන්තයා තමන්ට තර්ජනය කළ බව පවසා තිබේ.

දකුණු ලංකාව දන්නා 'තිත්ත රහස'

මේ වාර්තාව හෝ මෙ බඳු කිසිදු වාර්තාවක් විසින්, මනුෂ්‍ය සමාජයක් වශයෙන් දකුණු දිග සිංහල වැසියා කරුණුමය වශයෙන් නො දන්නා කිසිවක්ම අමුතුවෙන් එළිදක්වනු ලබතැයි අපි විශ්වාස නොකරමු. උතුරේ ජනයාට එරෙහිව නිදැල්ලේ මුදාහැරෙන මේ කුරිරු ම්ලේච්ඡත්වය, අවනීතිය, අසාධාරණය හඳුණා ගැනීමට ඇවැසි දැනුම අපට අපගේම දකුණේ අතීත අත්දැකීම් විසින් පවා උරුමකර දී තිබේ. ඒ උරුමයට පිටුපා මේ සියලු අමනුෂ්‍යත්වයන් නොදන්නාක් මෙන් ඉන්නට හදන, අපේම හෘදය සාක්ෂියට එරෙහි ව බොරුයයි කියන්නට හදන අපට මෙවැනි වාර්තා විසින් කරන්නේ බරපතල කරදරයක් විය හැකි ය. එය විසින් අප වසාගන්නට, සඟවා ගන්නට හදන අපේම හෘදය සාක්ෂියේ නිරුවත ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වයි. එහෙත් අපි තවමත් මේ සියල්ලට අපගේම දූපත් මානසිකත්වයෙන් අතාත්වික පිළිතුරු සපයමින් හෝ ඒවා ගැන අඳව ගොළුව බිහිරිව සිටින්නෙමු.

එහෙත් අප තීරණාත්මකව කල්පනා කර බැලිය යුත්තේ මෙයයි. මෙවැනි වධකයන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන් අපේම රටේ  එක්තරා ජනකොටසක් මත මනුෂ්‍යත්වයට නිගාදෙන සිය ම්ලේච්ඡත්වයන් තවදුරටත් කිසිදු අවහිරයකින් තොරව පතුරුවන තෙක් ඊට ඉඩහැර බලාසිටීමට තරම් අපි අශිෂ්ටයෝ විය යුත්තෙමුද?

මෙවැනි වධකයන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන් තමන් කළ වරදට දඬුවම් නොලබා නිදැල්ලේ හැසිරෙන සමාජයක් මනුෂ්‍ය වාසයක් සේ සැළකිය හැකි නිරෝගී, සාධාරණ හා ශීලාචාර සමාජයක් ලෙස පිළිගත හැකිද?

'රණවිරුවා' නම් බොල් කබොල්ල යට සැඟවී සිටිනා මෙවැනි අපරාධකාරයන්ට, මානසික විකෘති ඇත්තවුන්ට එරෙහිව, ඔවුන්ගේ ම්ලේච්ඡත්වයන්ගෙන් පීඩාවිඳින ජනයා වෙනුවෙනුත් යුක්තියක් සාධාරණයක් උදෙසා නීතිය ක්‍රියාත්මක විය යුතු නැතැයි යමකු සිතන්නේ නම් ඔහුට තවදුරටත් ශිෂ්ටාචාරගත මනුෂ්‍ය සමාජයේ සාමාජිකයෙක් සේ පෙනීසිටිය හැකිද?

සනත් බාලසූරිය


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.