JDS Sinhala

උතුරේ සෑම සිවිල් වැසියන් හය දෙනෙකුටම එක් හමුදා සෙබළෙක්

මේ දක්වාත් රට තුළම අවතැන් වී, හමුදා අණසක හා අධිපතිවාදී සිංහල බෞද්ධ බහුතරයේ දරුණු වෙනස්කම් යටතේ දිවිගෙවන  දහස් ගණනක් දෙමළ ජනතාවට එරෙහිව නිහඬ යුද්ධයක් දිගින් දිගටම ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබද ස්වාධීන විමර්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන කීර්තිමත් බුද්ධි මණ්ඩලයක් කියා සිටියි.

යුද්ධය අවසන් වී වසර 6ක් ගතවී ඇතත්, දිවයිනේ උතුරු නැගෙනහිර සාම්ප්‍රදායික දෙමළ නිජබිම තවමත් දැඩි හමුදා පාලනයකට යටත්ව පවතින අතර, අති බහුතරය සිංහල සොල්දාදුවන්ගෙන් සැදි හමුදා සාමාජිකයන් උතුරේ පමණක් අවම වශයෙන් 160,000ක් රැඳීසිටින බවත්, ප්‍රදේශයේ ජන අනුපාතය හා සසඳන කල යුද්ධය හය වසරකට පෙර නිල වශයෙන් අවසන් වී තිබියදීත් එය සෑම සිවිල් වැසියන් හය දෙනකුටම එක් සන්නද්ධ සෙබළෙක් රදවා තැබීමක් බවත් අදාළ වාර්තාව කියයි.

මේ කරුණු අනාවරණය කෙරෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඕක්ලන්ඩ්හි සිට ක්‍රියාත්මක වන ස්වාධීන බුද්ධි මණ්ඩලයක් වන ඕක්ලන්ඩ් ආයතනය විසින් “යුද්ධයේ දිගු සෙවනැල්ල - පශ්චාද් යුද ශ්‍රී ලංකාවේ යුක්තිය සදහා අරගලය" මැයෙන් එළිදක්වා ඇති සිය නවතම වාර්තාව මගිනි. ඕක්ලන්ඩ් ආයතනය සිය වාර්තාව සකසා ඇත්තේ 2014 - 2015 කාලය තුළ කරන ලද විමර්ෂණයක ප්‍රතිඵලයක් වශයෙනි.

2014 දෙසැම්බර් හා 2015 ජනවාරි අතර කාලය තුළ එම සංවිධානය ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ක්‍ෂේත්‍ර විමර්ශනයන් සිදුකර ඇති අතර, සියගණනක් පුද්ගලයන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වූ බව පවසයි. මෙම ක්ෂේත්‍ර විමර්ශනයන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ දැනුවත්භාවය මත, එහෙත් ඔවුන්ගේ සහයෝගයකින් තොරව සිදුකළ බව ඔවුහු පවසති. විමර්ශන මෙහෙයවා ඇත්තේ මානව හිමිකම් සහ ඉඩම් ගැටලු පිළිබද ජාත්‍යන්තර කීර්තියක් සහිත විශේෂඥවරියක හා ඕක්ලන්ඩ් ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා අනුරාධා මිත්තල්  විසිනි.

සිංහල ජනපදකරණය

ශ්‍රී ලංකා ආණ්ඩුව දෙමළ ජාතිකයන්ගේ සහ අනෙකුත් සුළු ජාතීන්ගේ මානව හිමිකම් ක්‍රමාණුකූලව උල්ලංඝනය කරමින් සිටින බවද, දෙමළ ජනයාගේ සාම්ප්‍රදායික නිජබිම් දැඩි හමුදාකරණයකට යටත්කොට, එම ප්‍රදේශ සිංහල ජනපදකරණයකට ලක්කරමින් යන බවද සිය විමර්ෂණයන්ගෙන් හෙළිදරව් වන්නේයයි එම සංවිධානය කියා සිටී.

මේ දැඩි මිලිටරිකරණය ආරක්ෂාව සහතික කිරීමක් නොවන බව පවසන වාර්තාව, ප්‍රදේශයේ ජනතාවගෙන් බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම්වල හමුදාව මහා පරිමාණ දේපළ සංවර්ධන කටයුතු, සුඛෝපභෝගී සංචාරක නිකේතන හා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමෙහි නිරතව සිටින බවත්, දහස් ගණන් දෙමළ පවුල් මේ ‘සංවර්ධනයේ‘ අසරණ සාක්ෂිකරුවන් බවට පත්වෙමින් තමන්ගේම ඉඩම්වලින් අවතැන්වූවන් සේ ජීවත් වන බවත් කියා සිටියි.

වාර්තාවේ වැඩිදුරටත් මෙසේ ද දැක්වෙයි.

"දෙමළ වාසභූමියේ නටබුන් මත නැගෙන සිංහල අධිපතිවාදයට හා බෞද්ධාගමට කැපවූ යුද ජයග්‍රහණ ස්මාරක මගින් පසුගිය වසර හය පුරා ක්‍රමාණුකූලව දෙමළ සංස්කෘතිය හා ඉතිහාසය යටපත් කර දමමින් තිබෙන අතර, ආණ්ඩුවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන කණ්ඩායම් ඔස්සේ සිංහලකරණය ආක්‍රමණකාරී ලෙස වේගවත් වෙමින් පවතී. උතුරේ හා නැගෙනහිර සිංහලකරණය ස්ථාපිත කිරීම සිංහල නාම පුවරු පිහිටුවීම, සිංහල නම්වලින් මාවත් නැවත නම්කිරීම, සිංහල යුද වීරයන්ගේ බහුවිධ ස්මාරක, යුද කෞතුකාගාර සහ කිසිදු බෞද්ධයකු ජීවත් නොවන ප්‍රදේශවල පවා බෞද්ධ පන්සල් ඉදිකිරීම ඔස්සේ ක්‍රියාත්මක වේ.

නොනැවතී සිදුවන අතුරුදහන්වීම්

"සත්‍යය හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක නිරතවන බවට ආණ්ඩුව දෙන පොරොන්දු එසේම තිබියදීත්, යුද්ධය අවසානයේ සිට මේ දක්වාම දහස් ගණන් පුද්ගලයන් අතුරුදහන්වීම නොනැවතී සිදුවෙමින් පවතී. 2012 වසරේ එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව 70,000කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති අතර, වෙනත් ගණන්බැලීම්වලට අනුව එම සංඛාව දෙගුණයක් පමණ වේ. මන්නාරම රදගුරුවරයා ප්‍රකාශකර ඇත්තේ 147,000ක පමණ පිරිසක් වන්නි ප්‍රදේශයෙන් පමණක් අතුරුදහන් වී ඇති බව ය. අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව ගැන නිශ්චිත තක්සේරුවක් කිරීමට අප ආයතනයට නොහැකි වුවද, පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් තවමත් අතුරුදහන්ව සිටින බව සනාථ කැරෙන ප්‍රකාශයන් විශාල සංඛ්‍යාවක් අපගේ පර්යේෂකයන් සිය ක්ෂේත්‍ර අධ්‍යයනයන්හිදී එක්රැස් කරගෙන ඇත.

"ජනවාරියේ පැවැති මැතිවරණයෙන් අනතුරුව බොහෝ දුරට සාමකාමී ආණ්ඩු පරිවර්තනයක් සිදුවී ඇති නමුදු, මෙම ගැටලු හා ගනුදෙනු කිරීමට නව ජනාධිපති සිරිසේනට දේශපාලන අධිෂ්ඨානයක් හෝ අවකාශයක් ඇතිද යන්න පර්යේෂකයන්ගේ අවධානයට ලක්වේ.

‘‘මේජර් ජනරාල් ජගත් ඩයස්ගේ ආඥාපතීත්වය යටතේ 57 වැනි සේනාංකය විසින් බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සිදුකොට ඇතැයි යන කාරණය නොසලකා මෑතක දී සන්නද්ධ හමුදාවන්හි ඉහළම නිලයක් වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට ඔහු පත්කිරීම මගින් යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය වගවීමේ යාන්ත්‍රණයක් ඔස්සේ විශ්වාසනීය ආකාරයෙන් විමර්ෂණය කිරීමට වත්මන් ආණ්ඩුව දී ඇති පොරොන්දු පිළිබඳ බලාපොරොත්තු කඩ කරවන්නේය“යි වාර්තාවට පදනම් වූ විමර්ශනය මෙහෙයවූ අනුරාධා මිත්තල් කියා සිටියි.

ජාත්‍යන්තර ප්‍රජාවේ වගකීමක්

‘‘මෙය ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් වැදගත් මොහොතකි. ජනපදකරණය අවම කිරීමට හා ආපසු හැරවීමටත්, දණ්ඩ මුක්ති සංස්කෘතිය, වගකීමේ හා වගවීමේ සංස්කෘතියක් මගින් සැබෑවටම ප්‍රතිස්ථාපනය කිරීමටත් නව ආණ්ඩුව තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා තෙක්, දෙමළ ජනයාට හා අනෙකුත් සුළු ජාතීන්ට සාධාරණව සලකනු ඇතැයි බලාපොරොත්තු වීම උගහට ය. ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ගේ මානව අයිතිවාසිකම් හා ඉඩම් අයිතිවාසිකම් තහවුරු කිරීම දේශපාලන උභතෝකෝටිකයක් නොව, ජාත්‍යන්තර ප්‍රජාවේ වගකීමක් විය යුතු ය“යි ඇය වැඩිදුරටත් පවසයි.

මේ අතර නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා බීබීසී සංදේශයට පවසා ඇත්තේ ආණ්ඩුව මෙම වාර්තාව ප්‍රතික්‍ෂේප කරන බව යි. මේ සංවිධානය ‘‘මහපොළොවේ යථාර්ථයන් ගැන හා ලංකාවේ දේශපාලනය ගැන ගැඹුරු අවබෝධයක් නැති පිරිසක්“ ලෙස පෙනීයන්නේ යැයි කියා ඇති නියෝජ්‍ය අමාත්‍යවරයා, ඔවුන් මේ ප්‍රදේශවලට ගොස් තොරතුරු රැස්කර ඇති බව තමන් නොපිළිගන්නේ යැයි ද පවසා තිබේ.

එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඕක්ලන්ඩ්හි පදනම් වී ක්‍රියාත්මක වන ඕක්ලන්ඩ් ආයතනය ලෝකයේ වඩාත් තීරණාත්මක කාලීන සමාජ, ආර්ථික හා පාරිසරික ගැටලු සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිපත් කරන හා ඒ සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රියාමාර්ගවලට එළැඹෙන, ආණ්ඩුවල හෝ දේශපාලන පක්ෂවල අරමුදල් නොලබන ස්වාධීන ප්‍රතිපත්තිමය බුද්ධි මණ්ඩලයකි.☐

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.