JDS Sinhala

'දරුවන් සහ මුණුබුරන් වෙනුවෙන් සටන් කළ අපි, සාමාන්‍ය ගැහැණුන් වීමු' - එස්තෙලා කාර්ලොතෝ

ලංකාවේ අතුරුදහන්කිරීම් ආරම්භ වූයේ දෙමළ ජනයාට එරෙහි අපරාධයක් වශයෙනි. ඒ නිසාම අතුරුදහන් කළ දරුවන් සොයන මව්වරුන්ගේ පෙරමුණක් 'පළමුව නිර්මාණය වූයේ ද දෙමළ ජන සමාජය තුළිනි. ඒ, 500කට වැඩි තරුණයින් අත් අඩංගුවට ගැනීමට එරෙහිව 1984දී සංවිධානය වූ යාපනයේ දෙමළ මව්වරුන්ගේ පෙරමුණයි. මිලිටරි බලහත්කාරය හමුවේ දෑවුරුද්දකින් දෙමළ මව් පෙරමුණ විසිර ගියද, සිංහල ජනයාට එරෙහි සාපරාධී අවියක් වශයෙන් අතුරුදහන්කිරීම් යොදා ගැනීමට එතැන් සිට ගතවූයේ හරියටම අවුරුද්දකට අඩු කාලයකි. දස දහස් සංඛ්‍යාත සිංහල තරුණ - තරුණියන් අතුරුදහන් වූ 87-89 වකවානුවේ අහිමි වූ දරුවන් සොයා යන 'මව් පෙරමුණ'ක් දකුණේ ගොඩනැගුණේ දෙමළ මව් පෙරමුණ ගොඩනැගී හත් වසරකට පසු 1991 පෙබරවාරියේදී ය. ඒ දෙමළ මවක් වූ වෛද්‍ය මනෝරාණි සරවනමුත්තුගේ මූලිකත්වයෙනි.

ඒ මව් පෙරමුණ පෙරටු කොටගෙන 1994 ජනවාරියේදී ඇඹිලිපිටියේ සූරියකන්ද නැගි කූට දේශපාලකයෝ එයින් දෙවසරකට පසු සූරියකන්දත් - මව් පෙරමුණත් යන දෙකම අත්හැර දමා වගඋත්තරකාර ඝාතක හමුදාවන් පෙරටු කොටගෙන උතුරු - නැගෙනහිර ගෙයින් ගෙට යාමේ මෙහෙයුම් ආරම්භ කළහ. දරුවන් සොයාදෙනු ඇතැයි අචල විශ්වාසයෙන් සිව් වසරක් කොළඹ නව නගර ශාලාවටත්, මෝදර කෝවිලටත්, කතරගම දේවාලයටත් වරින්වර රොක් වූ දකුණේ මව්වරු, ඉක්බිති සිය දරුවන්ගේ රාමුකළ සේයා රූ රැගෙන පෙරළා පිටිසර ගම්බිම් කරා ගියහ. 1997 වනවිට බලහත්කාරී අතුරුදහන් වීම් පිළිබඳ සෙවීමේ එක්සත් ජාතීන්ගේ  කමිටුවට යාපනයෙන් ලැබී තිබුණු පැමිණිලිවලට අනුව දෙවසරක් ඇතුළත වාර්තා වූ අතුරුදහන්වීමි සංඛ්‍යාව 714කි. ඒ භීෂණය අවසන් කොට නිදහස ගෙනඑන්නට සහතික කළ නව ආණ්ඩුවක් යටතේ ය.

දැන් එයින් විසි වසක් ගත වී තිබේ. උතුරු සහ නැගෙනහිර මව්වරු මෑත දී අතුරුදහන් වූ සිය දූ දරුවන් සොයා දැන් යළිත් මං මාවත් අද්දරට වී වැළපෙති.

ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ මූලිකත්වයෙන් ‘ශ‍්‍රී ලංකාවේ බලහත්කාරී අතුරුදහන් කිරීම්’ පිළිබඳව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී පසුගිය මාර්තු 11 වැනිදා පැවැති අතුරු සැසියේ දී ආර්ජන්ටිනාවේ ‘ප්ලාසා දේ මජෝ මිත්තණියෝ’  (Asociación Civil Abuelas de Plaza de Mayo) සංවිධානයේ සභාපතිනී 85 හැවිරිදි එස්තෙලා දෙ කාර්ලොතෝ කළ කතාව සිංහලට නගා පළ කිරීමට JDS තීරණය කළේ මේ පසුබිම සැළකිල්ලට ගනිමිනි. 1977දී පැහැරගත් සිය දියණියගේ වධ බන්ධනයන්ට ලක් කළ සිරුර මිහිදන් කළ එස්තෙලා, නැවතී ඉසිඹු ලන වෙනුවට තම දියණිය අත් අඩංගුවේදී ප්‍රසූත කළ බැව් කියැවෙන සිය මුණුබුරා සොයා තිස් හය වසක් නොනැවතී සටන් කළාය. 2014 අගෝස්තුවේදී ඇය කිසි දා නොදුටු සිය මුණුබුරා සොයාගන්නා විට ඔහු - ගිදෝ මොන්තෝයා කාර්ලොතෝ - තිස් හය හැවිරිදි වැඩුණු මිනිසෙකි.

දශකයෙන් දශකයට දහස් සංඛ්‍යාත ජනයා ඝාතනය කරනු වස් 'ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන්' ආණ්ඩු පත් කරගන්නා ලංකාවට, ආර්ජන්ටිනියානු මව්වරුන් හා මිත්තණියන් විසින් යුක්තිය පතා දශක තුනකට වැඩි කාලයක් ගෙනයන අසමසම අරගලය පිළිබඳ වැදගත් පාඩමක් එස්තෙලා දෙ කාර්ලොතෝගේ ජීවිතය සහ වදන් විසින් උගන්වනු ලබයි.

(සේයා රූ සහ කතා පිටපත JDS වෙත ලබා දුන් ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ යොලන්ඩා ෆොස්ටර්ට ස්තූතියි.)

පරිවර්තනය: සනත් බාලසූරිය


ර්ජන්ටිනාවේ යුක්තිය සොයා යාමේ අත්දැකීම් ඔබ හා බෙදාහදා ගැනීමට කරන ලද ආරාධනය පිළිබඳව මා සභාපතිත්වය දරන ආර්ජන්ටිනාවේ ප්ලාසා දේ මජෝ මිත්තනියෝ’ සංවිධානය වෙනුවෙන් පළමුව ස්තුතිය පළකරමි. බලහත්කාරී අතුරුදහන් කිරීම් ඇතුළු සංස්ථාපිත මානව හිමිකම් උල්ලංඝනයන් හේතුවෙන් ශී‍්‍ර ලංකාවේ ජනයා මුහුණ දෙන දුෂ්කර තත්ත්‍වයට අදාළව අපේ අත්දැකීම් ප‍්‍රයෝජනවත් වේය යන බලාපොරොත්තුව ඇතිව එම අත්දැකීම් ඔබ හා බෙදාහදා ගනිමි.

‘ප්ලාසා දේ මජෝ මිත්තනියෝ’ යනු, ආර්ජන්ටිනාවේ දරුණුතම දේශපාලන, සාමාජයීය හා ආර්ථික කාල පරිච්ඡේදය කඳවාගෙන එමින් සත් වසරක් පුරා පැවැති, 1976 මාර්තු 24 වැනිදා ආර්ජන්ටිනාවේ බලය ලබාගත් මිලිටරි ඒකාධිපතිත්වයේ ප‍්‍රතිඵලයක් වශයෙන් උපන් සංවිධානයකි. සැබවින්ම සිය අභිමතාර්ථයන් සමාජය තුළ බලපැවැත්වීම සඳහා මුළුමනින් පිරිසිඳ දැනගත් සැලැස්මක් එම නව ආණ්ඩුව සතුවිය. ඒ සැලැස්ම වූයේ විරුද්ධවාදීන් වශයෙන් සැළකූ පුද්ගලයන් ඔවුන්ගේ වයස, ලිංග භේදය හෝ සමාජ තත්ත්‍වය ගැන නොසළකා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම යි. මෙය සිදුකිරීම සඳහා ඔවුහු රැඳවියන් ප‍්‍රශ්න කිරීමට ලක්කළ, වධ දුන් හා ඔවුන් ඝාතනය කළ රහසිගත රැඳවුම් මධ්‍යස්ථාන රටපුරා ඇතිකළහ.

රැඳවියන්ට සහ ඔවුන්ගේ පවුල්වලට පවා බලපෑ පිළිකුල් සහගත වධයට ලක්කිරීමේ ප‍්‍රතිපත්තියට අමතරව, මෙම සිරකරුවන්ගේ දරුවන් සහ සිරභාරයේ පසුවන මව්වරුන්ට ඉපදෙන දරුවන් සොරකම් කිරීමේ ක‍්‍රමවේදයක් ද විය. මේ දරුවන් ‘‘යුද්ධයේ කොල්ල කෑ දේ’’ ඝනයට වැටුණු අතර අතුරුදහන් ළමයින්ගේ හා ළදරුවන්ගේ සැබෑ අනන්‍යතාව 36 වසරකට පසු, අද පවා සඟවා තබාගැනීමට ඇතැම් සිවිල් වැසියෝ සේම හමුදා නිලධාරීහු ද කටයුතු කරති.

මුණුබුරු - මිණිපිරියන් 500ක්

මිත්තනියන්ට පරම්පරා දෙකක දරුවන් සොයාගැනීමේ ද්විත්ව කාර්යභාරයක් පැවරිණි. අපේ දරුවන් හා අපේ මුණුපුරු පරම්පරාව වශයෙනි. භීතිය අප අඩපණ නොකළ අතර, සැඟවූ සහ රහස් වශයෙන් තබාගත් දෑ ප‍්‍රසිද්ධියේ හෙළිදරව් කරමින් ඉදිරියට යාමට මාර්ගයක් අපි සොයාගතිමු. අද වනවිට තරුණ වියේ පසුවන්නන් විය හැකි අපේ මුණුපුරු මිණිපිරියන් වූ දරුවන් 500ක් මෙන්ම, ඔවුන් සොරකම් කළ සහ ඔවුන් පිළිබඳ තොරතුරු සැඟවීමට උත්සාහ කළ පුද්ගලයන් ද සොයාගිය අපි, ඒ අතරින් 116ක් සොයාගැනීමට සමත් වීමු. අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ව්‍යවස්ථාපිත මූලිකාංග කි‍්‍රයාවේ යොදවමින් හා අනෙකුත් රාජ්‍ය ආයතවලට ප‍්‍රවේශ වෙමින් නෛතික කි‍්‍රයාවලියක් මත රඳාපවතිමින් ඔවුන්ගේ අනන්‍යතාවන් සහ පවුල් බැඳීම් නැවත තහවුරු කළෙමු.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආපසු පැමිණීමෙන් තිස් වසකරට අධික කාලයකින් අනතුරුව, ආර්ජන්ටිනාව එහි මානව හිමිකම් ප‍්‍රතිපත්තීන් වෙනස් පැතිමානයන් ඔස්සේ ශක්තිමත් කිරීමෙහි ඓතිහාසික යුගයක් අත්දකිමින් සිටී. මිලිටරි ආඥාදායකත්වය අතරතුර සිදුකරන ලද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයන්ට ලැබී තිබූ දණ්ඩ මුක්තිය අවසන් කිරීම මීට මූලික නිදසුනකි. 2006 වසරේ සිට සිදුකළ දණ්ඩ විනිශ්චයන් ගණන 613ක් බවට පත්කරමින් වර්ග සංහාරයේ අපරාධකරුවන් 95 දෙනකු පසුගිය වසරේ ද දණ්ඩනයට යටත් කරන ලද බව සඳහන් කිරීම වටී. මේ වන විට ප‍්‍රසිද්ධ නඩු විභාග 133ක් පවත්වා ඇති අතර, ඒවායේ දී අධිකරණ කි‍්‍රයාමාර්ගයකට පමුණුවන ලදුව දඬුවම් කර ඇත්තේ අපරාධයන්ට ඍජුවම වගකිවයුතු සන්නද්ධ හමුදාවන්ට පමණක් නොවේ. දේවස්ථාන සාමාජිකයන් හා සේවා යෝජකයන් ඇතුළු ඔවුන්ගේ සිවිල් අපරාධ සහායකයන් ද විමර්ෂණයන්ට යටත් කොට අධිකරණය හමුවට පමුණුවා ඇත.

'චරිතාපදාන ලේඛනාගාරය'

ලෝකය, එනම් මානව හිමිකම් ව්‍යාපාරය හා ජාත්‍යන්තර ප‍්‍රජාව ආර්ජන්ටිනාවේ සුවිශේෂී කි‍්‍රයා සන්තතිය අගැයීමට ලක්කර ඇත. මෙම වේදනාකාරී අරගලය මුළුල්ලේ අපි මෙවලම් නිර්මාණය කළෙමු. මා මෙවලම් නිර්මාණය කළ බව කියන්නේ ඒවා අපගේ මුණුපුරු මිණිපිරියන් සොයාගැනීමටත්, අතුරුදහන් වූවන් අපට හා අන් අයට අමතක නොවීමටත් අත්‍යාවශ්‍ය වූ නිර්මාණශීලීත්වයේ ඵලයන් මිස වෙන දෙයක් නොවූ බැවිනි.

අපගේ ප‍්‍රධාන ජයග‍්‍රහණයක් වන්නේ මතකයන් සංරක්ෂණය කිරීම සඳහාත්, මුණුපුරු මිණිපිරියන්ට ඔවුන්ගේ සම්භවය හා ඉතිහාසය දැනගැනීම සහතික කිරීම සඳහාත් පවුල්වල, හිතවතුන්ගේ, පාසලේ සමකාලීනයන්ගේ, හවුල්කාර හමුදා කි‍්‍රයාකාරිකයන්ගේ, අත්අඩංගුවෙන් දිවිගලවාගත්තවුන්ගේ, දෙමාපියන්ගේ, අතුරුදහන් වූ හෝ ඝාතනයට ලක් වූ මව්වරුන්ගේ වගතුග එකතුවක් වන අපගේ පවුල් චරිතාපදාන ලේඛනාගාරය යි. මෙ මඟින් සාමූහික මතකය ද සංරක්ෂණය වනු ඇත. එසේම මේ සඳහා, ඉතිහාසය සංරක්ෂණය කිරීම නොනැවත කරගෙන යාම හා එහි ප‍්‍රතිඵල වශයෙන් අනාගතයේ දී මෙබඳු කුරිරුකම් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා මතකයන් හා සත්‍යය සියලූ මට්ටම්වල පාසල් විෂයය මාලාවන්ට ඇතුළත් කිරීම සඳහා ද අපි වෙහෙසී වැඩකර ඇත්තෙමු.

මිලිටරි ආඥාදායකත්ව සමයේ සිදු වූ සාහසික අපරාධ පිළිබඳ විමර්ෂණය කරන ලෙසත්, පැහැරගත් සිය ගණන් දරුවන්ගේ අනන්‍යතාවන් ආපසු ප‍්‍රතිෂ්ඨාපනය කරන ලෙසත් ඉල්ලා ‘ප්ලාසා දේ මජෝ මිත්තණියෝ’ සංවිධානය වසර ගණනක් මුළුල්ලේ අධිකරණය වැනි ආයතනගත මාර්ගයන්ට සේම ජාත්‍යන්තර සංවිධානයන් වෙත ද යොමු විය.

අතුරුදහන් වූවන්ගේ පවුල්වල, දිවි බේරාගත්තවුන්ගේ, මානව හිමිකම් ක‍්‍රියාකාරිකයන්ගේ අරගලය සේම, නීත්‍යානුකූලව තෝරාගැනුණු නව ආණ්ඩුව හා වැඩෙමින් එන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතුළු දේශීය තලයේ විවිධ සාධක, ‘‘අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ ජාතික කොමිසම’’ පිහිටුවාගැනීමට දායකත්වය සැපයීය. එය මිලිටරි ආඥාදායකත්ව සමයේ සිදුවීම් විමර්ෂණය කිරීමට සේම චෝදනාවන්ට වාහකයක් වීමට ද සමත් වූ ගෞරවනීය සිවිල් සමාජ කි‍්‍රයාකාරිකයන්ගෙන් සමන්විත කොමිසමක් විය. ‘‘නැවත ඉඩ නොදෙමු‘‘ (Never Again) වාර්තාව එම කොමිසමේ විමර්ෂණයන්හි ප‍්‍රතිඵලය විය. එම වාර්තාව විසින් අපේ ඉතිහාසයේ වගවීමට යටත් කළයුතු වඩාත්ම සාහසික අපරාධ සිදුකළ සන්නද්ධ හමුදා නිලධාරීන්ට එරෙහිව 1984 දී සාමාන්‍ය/පහළ උසාවිවල දී අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමට මෙහෙයැවීම් කරන ලදී.

ජන සංහාරකයන්ට සමාව

කෙසේ වෙතත්, වැදගත්කමින් නියුරන්බර්ග් නඩු විභාග හා සැසඳිය හැකි 1984 පැවැත්වූ නඩු විභාග එක් යුගයක අවසානය හා තවත් යුගයක ආරම්භය සළකුණු කළේය. අලූතෙන් තහවුරු කරන ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදය බෙහෙවින් දුර්වල වූ අතර, මතුවෙමින් එන්නේයැ'යි අප විශ්වාස කළ සත්‍යයේ හා යුක්තියේ යුගය, පැවති ඒකාධිපති පාලන සමයේ දී පනවන ලද නීතින්ට (උදා: නියෝගයන්ට අවනතවීම හේතුවෙන් දණ්ඩ මුක්තිය ලබාදීමේ නීතිය (Law of Due Obedience), අවසන් විරාම පනත (Ley de Punto Final) වැනි විවිධ නීති) හා බොහෝ කලක් පැවති දණ්ඩ මුක්තියේ සම්ප්‍රදායේ ප්‍රතිඵලයක් වශයෙන් අඳුරු කෙරිණි.

ජන සංහාරය සම්බන්ධයෙන් ඒ වනවිටත් චූදිතයන් වී සිටියවුන්ට 1989 දී ලබාදෙන ලද සමාව අප විසින් අත්පත් කරගන්නා ලද ජයග‍්‍රහණයන් ආපසු හැරවීමක් විය.  තවද මූලික වශයෙන් ඉතාලියානු සම්භවයක් සහිත අතුරුදන්වූවන්ගේ පවුල්වල ඉල්ලීම පිළිගත්  යුරෝපා අධිකරණ පද්ධතිය විසින් චුදිතයන් බාර දෙන ලෙස කරන ලද ඉල්ලීම් මුලින් පිළිගෙන පසුව නොතකා හරිනු ලැබුවේ අපරාධකරුවන් භාරදීමට අදාළ එළඹ තිබූ ආර්ජන්ටීනියානු ගිවිසුම් අහෝසි කරමිනි.

සත්‍යයේ නඩු විභාග ලෙස හැඳින්වුණු මහජන නඩු විභාග යොදාගැනීම අපගේ අරගලයේ සන්ධිස්ථානයකි. දණ්ඩ මුක්ති යුගයේ දී රටේ විවිධ පෙදෙස්වල පැවැත්වුණු  විනිශ්චය සභා ඔස්සේ මෙම විනිශ්චයන්  ස්ථාපිත කරගැනීමට අපට හැකි විය. එම දණ්ඩ මුක්ති නීති විසින් දණ්ඩණ විනිශ්චයන් සිදුවීම වැළැක්වූ නමුත්, ප‍්‍රකාශන, කටඋත්තර හා සාක්‍ෂි එක්රැස් කරනු ලැබිණි. එහි අරමුණ හුදෙක් අතුරුදහන්වූවන් අමතක වීමෙන් අප වළක්වාලීම නොවී ය. එය සැබවින්ම නීතිමය කි‍්‍රයාදාමයක් මුදුන්පමුණුවා ගැනීම සඳහා සැලසුම් කරන ලද උපක‍්‍රමයකි. අවසානයේ, 2003 දී, දණ්ඩ මුක්ති නීති අවලංගු වූ පසුව සහ ‘ස්මරණය, සත්‍යය හා යුක්තිය’ කි‍්‍රයාදාමය රාජ්‍ය ප‍්‍රතිපත්තිය වූ කල්හි, සත්‍යයේ නඩු විභාග 2006 දී නැවත ආරම්භ විය. මිලිටරි ආඥාදායකත්වය අතරතුර ‘‘රාජ්‍ය ත‍්‍රස්තවාදයට’’ වගකිව යුත්තන්ට එරෙහි අපරාධ නඩු විභාගයන්ට ඉහත තොරතුරු එක්රැස් කිරීමේ ප‍්‍රයත්නය පොහොසත් සාක්‍ෂි සපයන ලදී.

ජාතික ජාන දත්ත බැංකුවක්

'මිත්තනියෝ' නෛතික කි‍්‍රයාවලියට නව ක‍්‍රමවේද හඳුන්වා දුන්හ. 1989 ළමා අයිතිවාසිකම් සඳහා ජාත්‍යන්තර සම්මුතියේ 7, 8, 11 වගන්තිවලට අනන්‍යතාවට ඇති අයිතිය ඇතුළත් කිරීම හා පසුකලෙක දරුවා යනු තවදුරටත් අයිතියක වස්තුවක් නොව, නීතියේ විෂයයක් ලෙස සැලකිය යුතු බව තහවුරු කිරීමට අප සමත් වූ 1994 ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටීම වැනි නව අයිතීන් උදෙසා කළ කාර්ය භාරය ඒ අතර වේ.

මිලිටරි ආඥාදායකත්වය යටතේ සිදුකැරුණු අපරාධ ප‍්‍රජාතන්ත‍්‍රීය රාජ්‍යයේ වගකීම යටතේ තබාගැනීමට අපි සමත් වීමු. CONADI (අනන්‍යතා අයිතිය සඳහා ජාතික කොමිසම - National Commission for the Right to Identity) ජාතියේ යුක්තිය හා මානව මිහිකම් අමාත්‍යාංශයෙහි ශාඛාවක් ලෙස නිර්මාණය කරමින් ද, මිත්තනියන් විසින් වාර්තා කරන ලද සිද්ධීන්ට අයත් පවුල්වල ලේ සාම්පල සංරක්‍ෂණය කර තිබූ ඩියුරන්ඩ් රෝහලේ ජාතික ජාන දත්ත බැංකුවට අපේ මුණුපුරු මිණිපිරියන් 99.9%ක විද්‍යාත්මක නිශ්චිතතාවක් සහිතව හඳුනාගැනීම සඳහා ජාන පරීක්ෂණ පැවැත්වීමේ බලය ලබාදෙමින් ද අපි එම කරුණු රාජ්‍යයේ විෂයය පථයට ඇතුළත් කිරීමට අනුබල දුන්නෙමු.

ඊට සමගාමීව, දණ්ඩ මුක්තිය විසින් විදහා පෙන්වන ජාතියේ යථාර්ථයකට එරෙහිව ප‍්‍රමාණවත් ජාත්‍යන්තර මෙවලමක් සපයාගැනීමේ ස්ථිර විශ්වාසයෙන් විශේෂයෙන් මව්වරුන් හා මිත්තනියන් ද, අනෙකුත් මානව හිමිකම් සංවිධාන ද ජාත්‍යන්තර ආයතන වෙත යොමු විය. අප විසින් රටේ බලධාරීන්ට කිසිදු ප‍්‍රතිඵලයකින් තොරව ඉදිරිපත් කරන ලද සියලූ ලිපි ලේඛන සහිතව අපේ දරුවන් අතුරුදහන් වීම පිළිබඳ පැමිණිලි කිරීමට භීෂණ වකවානුවේදී පවා කටයුතු කරමින්, අපි 1979 දී ආර්ජන්ටිනාවට පැමිණි මානව හිමිකම් පිළිබඳ අන්තර් ඇමරිකානු කොමිසමේ සාමාජිකයන් හමුවුණෙමු. කෙසේ වෙතත් මේ අවස්ථාවේ පවත්නා වාරණ බල කඳවුරුවල ඇති සුළු පැළුම් අතරින් ජාත්‍යන්තර ප‍්‍රජාවට මේ කාරණා දැනගන්නට ඇති ඉඩකඩ පිළිබඳ අවදානම වැළැක්වීම සඳහා රාජ්‍ය තාන්ත‍්‍රික පීඩනයන් ඔස්සේ මානව හිමිකම් ආරක්‍ෂා කළ ජාත්‍යන්තර සංවිධානවලට ලතින් ඇමරිකාවේ ආඥාදායකත්වයන් බලපෑම් කළහ.

1980 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මූලික මානුෂීය විධිනියෝග මත පදනම්ව බලහත්කාරී හෝ අකමැත්තෙන් සිදුවන අතුරුදහන්වීම් පිළිබඳ කි‍්‍රයාකාරී කණ්ඩායම නිර්මාණය කළේ ය. එක්සත් ජාතීන්ගේ ක්‍ෂේත්‍රයේ ස්ථාපිත පළමු විශේෂ කි‍්‍රයාපටිපාටිය මෙම කණ්ඩායම යි. මෙයින් දින කිහිපයකට පෙර, එය ආරම්භ කර වසර 35ක් පිරීමේ අවස්ථාවේ දී, මෙම කි‍්‍රයාකාරී කණ්ඩායම ක‍්‍රියාකාරී සැසි සඳහා අපේ රටට සංචාරය කළ අතර, බලහත්කාරී අතුරුදහන්කිරීම් සම්බන්ධ සෑම සිද්ධියක් සම්බන්ධයෙන්ම යුක්තිය සහතික කිරීම වෙනුවෙන් වැඩකිරීම සඳහා මානව හිමිකම් සංවිධානය හා විවිධාකාර රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා පැවැත්වීය. ආර්ජන්ටිනාවේ අතුරුදහන්වීම්වල වර්තමාන ගැටලූවක් සොයාගැනීම වෙනුවට සමාන ගැටලූ ඇති අනෙකුත් රටවලට ද, තම තමන්ගේ පද්ධතීන් තුළට ඇතුළත් කරගත හැකි ස්ථාපිත කි‍්‍රයාමාර්ගයක් සහ උපකරණ ඔවුන් සොයාගත් බව එය සඳහන් කළේ ය.

අතුරුදහන්වූවන් උදෙසා ලතින් ඇමරිකානු සම්මේලනයක්

1981 දී කොස්ටාරිකාවේ සැන් ජෝසේහි දී හා වෙනිසියුලාවේ කරකාස්හි දී මව්වරු හා මිත්තනියෝ (Madres y Abuelas) හමුවූහ. එහිදී අපි ලතින් ඇමරිකාවේ අනෙකුත් කලාපයන්හි අතුරුදහන්වූවන්ගේ මව්වරුන් සමඟ කිසිදු දේශපාලන හෝ ආගමික සංස්ථාවකට සම්බන්ධයක් නැති ස්වායත්ත, ස්වාධීන රාජ්‍ය නොවන සාමූහිකයක් ආරම්භ කළෙමු. අතුරුදහන් වූ රැඳවියන්ගේ ඥාතීන්ගේ ලතින් ඇමරිකානු සමිති සම්මේලනය (FEDEFAM) එසේ උපත ලද අතර, ප්ලාසා දේ මජෝ මිත්තණියෝ සංවිධානය අද දක්වා එහි ආරම්භක සාමාජිකයෙක් ලෙස කටයුතු කරයි. 1982 දී FEDEFAM බලහත්කාරී අතුරුදහන් කිරීම්වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතියේ දෙවැනි කෙටුම්පත සකස් කළේ ය.

බලහත්කාරී අතුරුදහන් කිරීම් වැඩිවීමට බලපෑ ප‍්‍රධාන හේතු අතර නිසැකවම මෙම අතුරුදහන් කිරීමේ කි‍්‍රයාව අපරාධකාරී එකක් ලෙස අර්ථ දැක්වීමට නීති නොමැතිවීම සේම, එවැනි අතුරුදහන් කිරීම් සිදුවූ රටවල මෙම සාහසික අපරාධය ඓතිහාසිකව දණ්ඩ මුක්තිය සහිතව සළකා තිබීමද විය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතීන්ගේ විශ්ව ක්‍රමය විසින් පිළිගත් ඵලදායී හානිපූර්ණයට හා වගකීමට ඇති අයිතිය (right to effective reparation and guarantees), සත්‍යයට හා කඩිනම් අපක්‍ෂපාතී හා ස්වාධීන නෛතික කි‍්‍රයාමාර්ගවලට ඇති අයිතිය ඇතුළු බහුවිධ මූලධර්ම අල්ලංඝනය කෙරුණි.

පුද්ගලයන් බලහත්කාරී අතුරුදහන් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ අපගේ පෙත්සම නැවත වතාවක් කල්දැමූ විට අපි අනෙකුත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සමඟ වැඩකිරීමට පටන්ගතිමු.

2006 ජූනි මාසයේ මෙම ගිවිසුම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරගන්නා ලද අතර, ආර්ථික හා සමාජ කවුන්සිලය මාර්ගයෙන් 2006 දෙසැම්බර් 20 වැනිදා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මෙකී ප්‍රඥප්තිය සම්මත කොට කියාවට නංවන ලද රාජ්‍ය පාර්ශවකරුවන් විසින් එය කි‍්‍රයාත්මක කරනු ලබන ආකාරය අධීක්‍ෂණය කිරීමෙහි යෙදෙන ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත්, බලහත්කාරී අතුරුදහන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව විසින් ආවරණය කරන ලද ක්ෂේත‍්‍රයද 2010 පටන් මෙම ප්‍රඥප්තිය මගින් ආමන්ත්‍රණය කරයි. රාජ්‍ය පාර්ශවයන් මෙම අයිතීන් කි‍්‍රයාත්මක කරන්නේ කෙබඳු ආකාරයකින්දැයි සාමාජිකයෝ නිරීක්ෂණය කරති.

මා ඉහතින් සඳහන් කළ සියල්ල ඔබ හමුවේ ගෙනහැර පෑවේ, දීර්ඝ අරගලයක් විසින් හැඩගස්වන ලද අපගේ අත්දැකීම් ඔබ හා බෙදාහදා ගැනීමට මිස වෙනත් හේතුවකට නොවේ. අපි නීති ගැන හෝ ජාත්‍යන්තර මෙවලම් ගැන කිසිදු දැනුමක් නොතිබුණු ගෘහණියෝ, ගුරුවරියෝ, වෘත්තිකයෝ වීමු. ආධාර පතා දොරින් දොරට ගිය අපි අපගේ ඉල්ලීම්වලට සවන් දීමට සූදානම් රාජ්‍යයක් හෝ ආයතනයක් ඇති  ඕනෑම තැනකට යාමට එසේ ලද පරිත්‍යාග යොදාගතිමු.

ශ්‍රී ලංකාවේ අතුරුදහන්වීම්

අප ආර්ජන්ටිනාවේ ඉතා අමාරුවෙන් ගොඩනැඟූ සමස්ත දෙයම ඔබේ අවශ්‍යතා වෙනුවෙන් පාවිච්චි කිරීමටත්, ශ‍්‍රී ලංකාවේ යථාර්ථයට එය අනුවර්තනය කරගැනීමටත් ඔබට හැකිය. ඔවුන් අලූතෙන් මැතිවරණ පවත්වා ඇති අතර, බලහත්කාරී අතුරුදහන් කිරීම්වල හා ත‍්‍රස්ත ප‍්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්වූවන් සම්බන්ධයෙන් විමර්ෂණ සිදුකර ඔවුන්ට වන්දි ලබාදෙන දේශපාලන වෙනසක් අපි බලාපොරොත්තු වෙමු. මූලික සම්මුතීන්ට එකඟව තිබියදීත් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන කිහිපයක් විසින් කරන ලද ඉල්ලීම් පිළිපැදීම ශ‍්‍රී ලංකා ආණ්ඩුව යළි යළිත් ප‍්‍රතික්ෂේප කිරීම අපට හුරුපුරුදු ය. බලහත්කාරී හෝ අකමැත්තෙන් සිදුවන අතුරුදහන්වීම් පිළිබඳ කි‍්‍රයාකාරී කණ්ඩායම ශ‍්‍රී ලංකාව විසින් නිශ්ප‍්‍රභා කරන ලද බවද අපි දනිමු. සිදුකර ඇති අපරාධ පිළිබඳ ජාත්‍යන්තර අවධානයකට මෙම එක්සත් ජාතීන්ගේ කි‍්‍රයාකාරී කමිටුව ඉඩ ලබාදේ. කි‍්‍රයාකාරී කමිටුවට වාර්තා වූ පරිදි විමර්ෂණයට භාජනය කළයුතු සිදුවීම් 5000කට අධික ප‍්‍රමාණය පිළිබඳ පැහැදිළි කිරීමකට මඟ කියන තොරතුරු සමඟ පමණක් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තේරී පත්වුණු නව ආණ්ඩුව කටයුතු කිරීම ප‍්‍රමාණවත් නැත. ශ‍්‍රී ලංකා රාජ්‍යය බලහත්කාරයෙන් අතුරුදහන් කළ පුද්ගලයන් පිළිබඳ කමිටුවට සම්බන්ධ වීම සඳහා එම ජාත්‍යන්තර සම්මුතිය පිළිගැනීම හා ඊට අත්සන් තැබීම අවශ්‍ය ය. එසේම ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර ප‍්‍රජාව සමඟ සහයෝගයෙන් වැඩකිරීම ද අවශ්‍ය වේ. එවිට එක්සත් ජාතීන්ගේ යෝජනා හා අනුකූල වන ලෙස ශ‍්‍රී ලංකා රාජ්‍යයෙන් ඉල්ලා සිටීමට හැකිවනු ඇත.

අද ජිනීවාහි මෙම ජාතීන්ගේ මන්දිරයට එක්රැස් වූ ලොව පුරා රාජ්‍ය නියෝජිතයයෝ මානව හිමිකම් කවුන්සිල සැසියට සහභාගී වෙති. ශ‍්‍රී ලංකවේ ආණ්ඩුව විසින් සිදුකරන ලද ක‍්‍රමානුකූල මානව හිමිකම් උල්ලංඝනයන් හා භීෂණයන් ලෝකයේම නිරීක්ෂණයට හසුවනු ඇත.

අපි වසර ගණනාවක් පුරා මෙම දිගු කොරිඩෝරවල ඔබ මොබ ඇවිද්දෙමු. මේ බොහෝ කාර්යාල අපට හුරුපුරුදු ය. අපට සහයෝගය පළකරනු වස් අප සමඟ නැගීසිටි ජනයා අපට හමුවිය. ලොවේ හැම තැනින්ම ආ ජනයා මහා සම්මේලනයේ දී අපට සහයෝගය දී ඇත. එය පහසු කටයුත්තක් නොවී ය. එය එක් රැයකින් සිදු නොවිණි. එහෙත් අපි තනි නොවුණෙමු. ශ‍්‍රී ලාංකීය වින්දිතයන්ට හා ඔවුන්ගේ පවුල්වලට උපකාර කිරීම දැන් අපේ කාර්යය යි. එය ඉදිරි දින තුනේදී සේම අනාගතයේදී ද අපි කරන්නෙමු.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.