JDS Sinhala

පිරතීපන්ගේ කතා වස්තුව: 'පුතා අරන් ගිය වාහනේ පස්සෙන්ම මම පලාලි පාරට වෙනකම් දිව්වා'

අතීත කතාවට අනුව මිහිඳුකුලසූරියගේ විජේරත්න පැහැරගෙන යනු ලැබුවේ 1989 ඔක්තෝබර් 27 වැනිදා  මහ දහවලේ ය. මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකින් දිවුලපිටියේ වල්පිට රජයේ ගොවිපොළ ආශ්‍රිත සමූහ මිනීවල හෑරීම අරඹන ලද්දේ 1994 නොවැම්බර් 03 වෙනිදා ය. දෑවුරුද්දකටත් වඩා දිග්ගැසුණු ඒ නඩු විභාගයේදී දිවුලපිටිය පරණ හන්දියේ සුළු වෙළඳාමකින් ජීවිතය ගැට ගසාගත්, මිහිඳුකුලසූරියගේ ඇසිලින් නෝනා (54) මෙසේ ද කීවාය:

"දිවුලපිටිය පොලිසියේ නිමල් ප්‍රනාන්දු මහතා, ගොඩගේ මහත්තයා, සිරිපාලයි තව තුන් හතර දෙනෙක් දිවුලපිටිය පොලීසියේ කොළ පාට ජීප් එකක ආවා. ඒ වෙලාවේ මල්ලි ගැරේජ් එක ළඟ හිටියා. ආපු ගමන්ම තුවක්කුව බෙල්ලට තියලා 'නැගපිය' කියලා තල්ලු කළා. ඊට පසුව ජීප් එකේ දාගෙන නාවාන පාර දිගේ අරගෙන ගියා. මම පිටිපස්සෙන් දිව්වා. දිවුලපිටිය පොලිසියෙන් ඇහැව්වාම ඒ අය ගෙනාවේ නැහැ කිව්වා. පැමිණිල්ල භාරගත්තේ නැහැ. මීගමුවට යන්න රෙජී රණතුංග මහත්තයා ලියුමක් දුන්නා. මීගමුව ඉස්පිරිතාල පාරේ ටිකක් දුර ගියාම තියෙන කුඩාහෙට්ටි මහත්තයාගේ කාර්යාලයට මම ගිහිල්ලා ලියුම දුන්නා. ලියුම උන්ඩි කරලා වීසි කළා.‍.....පොලිස් අධිකාරී කාර්යලයේ රතු මහත මහත්තයෙක් ඉන්නවා. මම එයාට වැඳලා කිව්වා අපේ මල්ලිව හොයලා දෙන්න කියලා....ඒ මහත්තයාට කුඩාහෙට්ටි මහත්තයා ඇහෙන් සංඥාවක් දුන්නා....පස්සේ ඒ මහත්තයා අපිට යන්න කියලා කිව්වා....මල්ලි ළමයි 4 දෙනෙක්ගේ පියෙක්. අතුරුදහන් වෙනකොට වයස අවුරුදු 34යි. මල්ලි අතුරුදහන් වෙලා මාසයකට විතර පස්සේ මල්ලිගේ පවුල සහ ගැහැණු දරුවෝ හතර දෙනා කොටදෙණියාව පොලිසියෙන් අරගෙන ගියා..."

වර්තමාන කතාවට අනුව ලෝගනාදන් පිරතීපන් යාපනයේ කච්චේරිය පාරේදී පැහැරගෙන යනු ලැබුවේ එයින් විසි වසරකට පසු ය. මිහිඳුකුලසූරියගේ ඇසිලින් නෝනා මෙන් සිංහල බසින් සිය පුතු සොයාදෙන මෙන් ඉල්ලා වැළපෙනු නොදත් පිරතීපන්ගේ මව හත් අවුරුද්දක් තිස්සේ ආගන්තුක බසින් බැන වදින නගරයෙන් නගරය පීරමින් සිය දරුවා සොයා ඇවිදින්නීය. ’කලම්බු මිරර්’ වෙබ් අඩවියට ‘ජෙරා’ විසින් ‘ஆறாத்துயரில் ஆயிரத்தில் ஒருத்தி!’ මැයෙන් ලියූ ලිපියෙන් හෙළිකරන ඇයගේ සාක්‍ෂිය දකුණේත්, උතුරේත් රාජ්‍යය විසින් සිදුකරන සාහසික අපරාධ, පරම්පරාවෙන් පරම්පරාවට නොනවතින බව තහවුරු නොකරන්නේද?

පරිවර්තනය: අතුල විතානගේ සහ එස්.රාජ්කුමාර්


රණ සහතික අරන් ආවොත් මට ඔයාවත් මරන්න පුළුවන්” තර්ජනාත්මකව සමුගන්නා අවුරුදු විස්සක යොවුන් සහෝදරියක් !

“සිය දිවි නහගන්න මම ලෑස්තියි” ජිවිතයේ අවසන් තීරණය කියා සමුගන්නා මවක්!

අනේක විධ දුක් කරදර මැද ජිවිත සටනේ යෙදුනු ඔවුන්ගේ මුහුණේ තව දුරටත් ඉතිරිව ඇත්තේ කෝපය හා අපේක්‍ෂා භංගත්වය පමණි.

“මගේ ඇස් පනාපිටම තමයි මගේ පුතාව බිල්ලට ගත්තේ. 2008 අවුරුද්දේදි. ට්‍රේල් බයික් හතරක ආපු ආමිකාරයෝ අට දෙනෙක් එයාව අල්ලාගෙන ගියා. මගේ පුතා යාපනේ කච්චේරිය ඉස්සරහ කුලී වැඩ කරමින් හිටියේ. මම දවල් කෑම එක පුතා අතට දීලා ඉස්සරහ කඩේට ගියා බිස්කට් ගන්න. ඒ වෙලාවේ තමයි මේ ට්‍රේල් බයික් කට්ටිය ආවේ. පුතාව එක බයික් එකක දෙන්නෙක් මැදින් තියාගෙන අරන් ගියා. මම කෑ ගහගෙන පිටි පස්සෙන් දිව්වා. ඇඬුවා, විලාප තියලා ඇඬුවා... ඒත් දුවිල්ල අවුස්සගෙනම බයික් එක නොපෙනී ගියා.”

විටින් විට එන කිවිසුම්....දිගු කල් නිසි බෙහෙතක් නැතිකමින් නිදන්ගත කාසයෙන් මතුවන කැස්ස, ඇගේ කථාවට බාධා කරයි. මිනිත්තු කිහිපයක නිහැඬියාව ඇයට ඉමහත් විවේකයකි.

දිගින් දිගටම සිද්ධීන් මුල මැද අග ගළපාගනිමින්, එක් කතාවක අවසානය දක්වා යාමට ඇයට දැනෙනුයේ අපහසුවකි. මුල් කතාව අඩක් නිමා කොට, ඇය කිවිසුම් පිට කරන්නීය. ඉක්බිතිව ලැබුණු අස්වැසිල්ලෙන් වෙනත් කතාවකට මුල පුරන්නීය. ඒ කතාව ද නිමා වන්නට මත්තෙන් කිවිසුම් හා කැස්ස!

“පුතා නැති වුණු දවසේ ඉඳලා මට මේ ලෙඩේ තමයි” ඇගේ දෑස් කඳුළින් පිරෙයි.

“........පස්සේ දිගින් දිගටම එළවාගෙන ගියා. ඒ දවස්වල හරිම බයයි. පාරේ මිනිස්සු කවුරුත් ඉන්නේ නැහැ. මම තනියම පාර දිගේ කෑ ගහගෙන ඉස්සරහට දිව්වා. තල් වැටවල් අස්සෙන් හිමිහිට එබිලා බලන මිනිස්සුන්ගෙන් මම ඇහැව්වා,ට්‍රේල් බයික් එක කොයි පැත්තටද ගියේ කියල? ඒ හැමෝම කිව්වේ යාපනේ සිවිල් ඔෆීස් එක පැත්තට ගියා කියල. මම එතැනට ගියා. මිදුලේ ඉඳන් කෑගැව්වා. අඬන්නත් බයයි. මම අඬන එක දැකලා මගේ පුතාට වධ දෙයි කියලා කදුළු වාවගෙන ගෙන හිටියේ. එතනින් යන එන ආමිකාරයන්ට බෑගෑපත් වුණා. එත් හැමෝම කිව්ව්වේ එයාලා දන්නේ නැහැ කියලා. මම හමුදා කාර්යාලය ළඟ අඬා වැලපෙමින් හවස් වෙනකම් හිටියා. හවස හතරට පහට විතර ආමිකාරයෝ පස් දෙනෙක් විතර පුතාව එලියට අරන් ආවා. මට ඇතිවුණු සන්තෝෂය කියා ගන්න බැහැ. මගේ ඉස්සරහට අරන් ආපු පුතාගේ බෙල්ලෙන් අල්ලාගෙන ඇදගෙන ගියේ මාව පහුකරගෙන. එයාගේ අත් දෙක කළු රෙද්දකින් පිටිපස්සට කරලා බැඳලා තිබුනා. පුතා මාව දැකල අඬනවා. මාත් හඬා වැටෙමින් බැගෑපත් වෙවී ආමිකාරයෝ පස්සෙම ගියා. එත් එයාල පුතාව වාහනේකට දාගෙන අරන් ගියා. මම ඒ වාහනේ පස්සෙන්ම දිව්වා පලාලි පාරට වෙනකම්. වේගයෙන් ගිය වාහනේ නොපෙනී ගියත් මම එතන ඉඳන් කදුළු ඉවරවෙනකම්ම ඇඬුවා.”

දැඩි ආයාසයෙන් මුදා හල තම පුතු පැහැරගැනීමේ සිද්ධිය කියා නිම වන්නටත් මත්තෙන් දැනුනු සැහැල්ලුවෙන් යුතුව ඈ නිවසේ කැඩුණු ජනෙල් පියන් දෙස එක එල්ලේ බලා සිටියි. ඇය හඬන්නට විණි. ලියකියවිලි බහා ලු කුඩා පොලිතින් බෑගය ඇගේ දෑඟිලි අතර තෙරපින. දෑඟිලි තෙරපන විට කුඩා පොලිතින් බෑගය නඟන හඬින් ඇගේ හැඬුම් යටපත් කිරීමට ගත් වෑයම සාර්ථක නොවීය.

“පස්සේ චාවකච්චේරි, යාල්පානම්, උඩුවිල්, වවුනියා, වැලිකඩ....මේ කියන රටේ හැම තැනම ඇවිද්දා. අතේ තිබුණු රත්තරන් බඩු විකුණලා තමයි එක එක වෙලාවට කොළඹ යන්නේ. ඒ යනකොට සිංහල දන්න කෙනෙක් එක්ක යන්න ඕනි. එයාගේ ගමන් වියදම් ඔක්කොම අපි බලා ගන්න ඕනි. එක වෙලාවකදි විකුණන්න කියල කිසිම දෙයක් ගෙදර තිබුනේ නැහැ. දරුවෝ ඉස්කෝලේ යන එක නවත්තලා හැමෝම කුලී වැඩට යනවා. සල්ලි ටිකක් එකතු වුණු ගමන් ආපහු පුතාව හොයන්න ගන්නවා. ඒවා ඉවර වුණු ගමන් ආපහු කුලී වැඩට යනවා. මගේ මහත්තයට වැඩ කරන්න බැහැ. එයාට ඇදුම - අනතුරකින් එයාගේ අතකුත් කැඩිලා තියෙන්නේ. මේ විදිහට තමා 2008 අවුරුද්දේ ඉඳලා අපි ජීවත්වෙන්නේ.”

අතුරුදහන්වුවන් සොයමින් සිටින ඔවුන්ගේ පවුල් මුහුණ දෙන ගැටළුවල වැදගත්ම අංග වන්නේ නොවිසඳුන ආර්ථික ප්‍රශ්නත්, ඔවුන් නිරන්තරයෙන් පෙළන මානසික පීඩනයත් බව මේ අම්මාගේ කථාව පසක් කරනු ඇත. දෙමළ ජනයාට සුව කළ නොහැකි තුවාල ඇති කරනු ලැබුයේ යුද්ධය පමණක් නොවේ, එහි දිගු කාලීන ප්‍රතිවිපාකයන් ද දිගින් දිගටම ඔවුන්ව පසුපස ලුහුබඳිමින් තිබේ. ඇයගේ දෑසින් ගලන කඳුළු පෙන්වා දෙන්නේ ඊට යථාර්තවාදී විසඳුමක අවශ්‍යතාවය යි.

“මේ විදිහට හොයාගෙන යන අතරේ 2010 දී දවසක් බුස්ස කඳවුරෙන් ලියුමක් ආවා. සම්පුර්ණයෙන්ම සිංහලෙන් තිබුණේ. ඒක කියවා ගන්න හැමතැනම ඇවිද්දා. මාසයක් ගියාට පස්සේ තමයි කියවාගන්න පුළුවන් වුණේ. පුතා ගැන විමර්ශණයකට මාව කැඳවලා තිබුණා.( ඇගේ අත රැඳි ලිපි ගොනුව අවුස්සා ඒ ලිපිය රැගෙන පෙන්වයි) ආයේ සිංහල දන්න කෙනෙක් හොයාගෙන තවත් කීපදෙනෙකුත් එක්ක කොළඹ ගියා. තනියම යන්න එපා කියල තමයි හැමෝම උපදෙස් දුන්නේ. කොළඹ මානව හිමිකම් කොමිසමේ නිලධාරියෙකුත් කථා කරගෙන බුස්ස කඳවුරට ගියා. මගෙත් එක්ක ආපු නිලධාරියාව මගදී නවත්ව ගත්තා. මාව තනියම වෙන පැත්තකට එක්ක ගිහින් වාඩි කරා.ඊට පස්සේ උස මහත මිනිහෙක් ඇවිත් මගෙන් ප්‍රශ්න කරන්න ගත්තා. පුතා ගැන සම්පුර්ණ විස්තර ඇහැව්වා. අපි කිසිම සංවිධානෙකට නැති අහිංසක මිනිස්සු , පුතා කුලීවැඩ කරලා තමයි ජිවත් වුනේ . එතකොට තමයි............කියලා කතා කරන කොට ඇතුළේ ඉඳලා පිරිමි ළමයෙක් මගේ ඉස්සරහට ගෙනාවා.

"මගේ පුතාට වැඩිය හුඟක් උස මහතයි. එක පාරටම දැක්ක ගමන්ම හිතුවා ඒ මගේ පුතා නෙමේ කියල, ඒත් පස්සේ කල්පනා කරන කොට එයා අපෙන් වෙන් වෙලා අවුරුදු කීපයක් ගත වුනු නිසා එයාගේ මුහුණ ඇඟපත වෙනස් වෙන්න ඇති කියල හිතාගෙන එයාගේ අත අල්ලන්න නැගිටින්න හදන කොටම “ අම්මා, මම ඔයාගේ පුතා නෙමේ. මගේ නම ලෝගනාදන් සුරේන්ද්‍ර කුමාර්. ඔයාගේ පුතාගේ නම ලෝගනාදන් ප්‍රදීපන්. මාව නිර්වේලිවලදී අල්ලාගෙන ආවේ. පුලුවන්නම් මම මෙහෙ ඉන්නේ කියල, කොහොම හරි ඇවිත් මාව බේරගන්න කියල මගේ අම්මාට කියන්න කියලා....” ඒ දරුවා කියල ඉවරවෙන්න කලින් ළඟ හිටපු එවුන් ඒ ළමයාට ගැහුවා. මගේ ඉස්සරහදීම ඒ ළමයාට හොඳටම ගහලා ඇදගෙන ගියා.

"ඊට පස්සේ ආපහු ඇවිත් උඹ තනියමද ආවේ? කාත් එක්කද ආවේ? කියලා ප්‍රශ්න කළා. මම තවත් එක්කෙනෙක් එක්ක ආවේ කියල කිව්වා. ඊට පස්සේ එක්කෙනෙක්ව එළියට යවලා මාත් එක්ක ආපු කෙනා ඉන්න බවට තහවුරු කරගෙන තමයි මට එලියට යන්න දුන්නේ. ඊට පස්සේ යාපනයට ඇවිත් නිර්වේලිවල අර කියාපු ළමයාගේ අම්මාව හොයන්න පටන්ගත්තා. එත් මට එයාව හොයාගන්න බැරි වුණා.

"එදා ඉඳලා ගියපු නැති කෝවිලක් නැහැ. කන්නලව් කරපු නැති දෙවි කෙනෙක් නැහැ. මනෝ ගනේෂන්ගේ කකුල් දෙක ළඟ වැටිලා හඬා වැලපුණා. අප්පාතුරෛ විනායගමුර්තිගේ කකුල් දෙක ළඟ වැටිලා හඬා වැලපුණා. කොහේ හරි විමර්ශනයක් කෙරුණත් , උද්ඝෝෂණයක් තිබුණත් මායි දුවයි එතැනට යනවා. එත් අද වෙනකම් පුතා ගැන කිසිම තොරතුරක් ලැබුනේ නැහැ. ”

ඊට වැඩි යමක් විස්තර කරන්න ඇය වෑයම් කළාය.එහෙත් ඇය වෙහෙසට පත් කරමින් කරදරකාරි කැස්ස සහ කිවිසුම් යළිත් මතු වෙයි.

අනතුරුව නිහඬ වූවාය. වේදනාවන්ගෙන් පිරි ඇගේ සිතට යම් සැහැල්ලුවක් දැනුනු බව ආලෝකමත් වූ ඇගේ මුහුණ සාක්ෂි දරයි. දැන් දිගු නිහැඬියාවකි.

ඇගේ නිවසින් සමුගෙන මිදුලට පිවිසියෙමි. මිදුල ඔස්සේ ඉදිරියට පා තබන විට මට සමු දෙන්න පැමිණි ඔවුන්ගේ හඬ පිළිරැව් දෙයි.

“ඔයත් මරණ සහතික දෙන්න අරන් අවොත් නම් ඔයාවත් මරලා දානවා” ඒ දුක්බර කවටකමකින් තර්ජනාත්මක සමු දීම විසි හැවිරිදි ඔහුගේ සොයුරියගෙනි.

“ දැන් ඉතින් සිය දිවි නසා ගන්න මම ලැහැස්තියි” ජීවිතයේ අවසන් තීරණය ප්‍රකාශයට පත් කරමින් සමුදෙන්නේ ඒ අසරණ අම්මා ය.

සත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ගැන නිති පතා මතුරන නුඹලාට, පැහැරගෙන ගිය දස දහස් සංඛ්‍යාත දරුවන් සොයා ඔවුන්ගේ මාපියන් වෙත බාරදිය යුතු බව මේ අසරණ අම්මාගේ සාක්‍ෂි වලින් තේරුම් ගත නොහැකිද?☐

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.