JDS Sinhala

කොළඹ වරාය නගරය: ඉන්දියානු සාගර සේද මාවතේ නරකාදියක්ද?

රණීය සංවර්ධනය වනාහී ලංකාව වැනි රටවල රාජ්‍ය නොවන සංවිධානවල ව්‍යාපෘති වාර්තාවල මිස රාජ්‍ය සංවර්ධන සැළසුම්වලට අයත්වන තේමාවක් නොවේ. සේනානායකගේ ගොවි ජනපද ව්‍යාපාරයන්ගේ සිට ජයවර්ධනගේ කඩිනම් මහවැලි සංවර්ධන සැළැස්ම හරහා රාජපක්ෂගේ රාජකීය ‘සංවර්ධන සැළසුම්‘ දක්වා වූ නන්විධ ව්‍යාපෘති සම්බන්ධයෙන් සිදුකොට ඇති විධිමත් අධ්‍යයන වාර්තා මගින් හෙළිදරව් කෙරෙන්නේ මේ තිත්ත ඇත්තයි. කොළඹ වරාය නගරය හෙවත් ‘පෝට් සිටි‘ සැළැස්ම වනාහී ඒ ලැයිස්තුවට අළුතින්ම එක් වූ අංගයයි.

පසුගිය මැතිවරණ සමයේ දේශපාලන වේදිකාවන්වල  වරාය නගරය හෙවත් ‘පෝට් සිටිය‘ ගැන නිරන්තරයෙන්ම කියැවුණි. රාජපක්ෂ ආණ්ඩු  සමයේ සිදුකෙරුණු නොයෙක් සමාජ සහ මානව විරෝධී ක්‍රියාකාරකම් එකින්, එක පෙළ ගස්සමින් ඒවා මැතිවරණ වේදිකාවන්වල පතුරු ගසමින් තමන්ට බලය ඉල්ලා සිටි  දේශපාලඥයන්ගේ න්‍යාය පත්‍රයන්වල මෙකී ‘පෝට් සිටි‘ සැළැස්ම වැඩියෙන්ම තොරොම්බල් කළ මාතෘකාවක්  සේ සැළකිණ. ඔවුන් ජනතාව හමුවේ පොරොන්දු වුයේ තමන්ට බලය දුනහොත් ජනතා විරෝධයට තුඩු දී ඇති එම ව්‍යාපෘතිය වහා නවතා දමන බවටයි. එය මෙයින් දශක දෙකකට පෙර එක්සත් ජාතික පක්ෂ සමයේ ඉදිකෙරුණු දඹුල්ලේ කණ්ඩලම සංචාරක හෝටලය, තමන් බලයට පැමිණි පසු ගඩොලින්, ගඩොල ගලවා දමන බවට එකළ විපක්ෂයේ සිටි ඇතැම් දේශපාලඥයන් ජනතාව හමුවේ වු පොරොන්දුවට නොදෙවෙනි ආකාරයේම එකක් බව දැන් තහවුරු වෙමින් තිබේ.

දේශපාලන බලහත්කාරය

දශකයකට ආසන්න කාලයක් රාජ්‍ය බලය හොබවමින් දේශපාලන බලහත්කාරය යොදාගෙන නොයෙක් මානව විරෝධී අපරාධයන් සිදුකළ රාජපක්ෂ පාලන තන්ත්‍ර‍ය ඒ හා සමානවම විවිධ නම්වලින් යුත් සංවර්ධන ව්‍යාපෘතීන් ඉදිරියට දමමින් මහජන දේපළ හා ස්වභාවික සම්පත් ඉවක් බවක් නොමැතිව විනාශකර දමනු ලැබු බව නොරහසකි. කිසිදු වග විභාගයකින් හෝ සොයා බැලිමකින් තොරව හුදෙක් දේශපාලන බලය පමණක් උපයෝගි කොට ගෙන ක්‍රියාත්මක කෙරුණා වු සංවර්ධන ව්‍යාපෘතීන් හේතුවෙන් සිදුවු පාරිසරික සහ සාමාජීය හානිය කවරේදැයි විධිමත්ව මේ තාක් සොයා බලා නැත.  ක්‍රියාත්මක කරනු ලබන්නේ කවර නම් ව්‍යාපෘතියක්  ද, ඒ ව්‍යාපෘතිය සඳහා යොදනු ලබන්නේ කවර නම් තාක්ෂණීක ක්‍රමවේදයක් ද, ඉදිකිරීම් කටයුතු භාර කෙරෙනුයේ කවර සමාගමක් වෙත ද,එම සමාගම ඒ සඳහා පෙන්වා ඇති ශක්‍යතා කවරේද යන කාරණා පිළිබඳව විධිමත් සොයා බැලිමක් හෝ ඇගයිමක් එකල දී සිදු නොවූ බව කියන ලද්දේ වත්මන් පාලකයන් විසින්ම ය. නමුත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේ මූලික පරීක්‍ෂණ හෝ දියත්ව ඇතිදැයි කිසිවෙක් නොදනී.

එපමණක් නොව, ඇතැම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන විට අත්‍යාවශ්‍යයෙන්ම අනුගමනය කළ යුතු පාරිසරික සහ තාක්ෂණික ඇගයීම් වාර්තාවන්  පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකළ බවට ඇති සාක්‍ෂි ඕනෑ තරම් ය. බොහෝ විට එවැනි ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම භාරව සිටි ඉහළ පෙළේ රාජ්‍ය නිළධාරීන්ට කටයුතු කිරිමට සිදුවුයේ තමන් සතු වෘත්තීය දැනුම මත නොව, දේශපාලන බල අධිකාරීන්ගේ නියෝග සහ අවශ්‍යතාවන් මත බව දැන් අනාවරණය වෙමින් තිබේ. බරපතල සාමාජීය සහ පාරිසරික අර්බුද පැන නැඟෙනු ඇත්තේ එහි ප්‍ර‍තිඵල වශයෙනි.

විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩු සමයෙහි දැඩි විරෝධයක් එල්ල වීම හේතුවෙන් තාවකාලිකව පසුබා තිබූ ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය වැනි බහුකාර්ය යෝජනා ක්‍රමයන් එයින් පසු උපයාන්නා ලද අසීමිත දේශපාලන බලය මත පිහිටා ක්‍රියාත්මක කිරීමට මහින්ද රාජපක්ෂ රජය කටයුතු කළේය.

යළි පිබිදීමේ සිට මහින්ද චින්තනය දක්වා

පසු ගිය ආණ්ඩු සමයේදි සකස් කරන ලද  Identified Projects based on National Physical Plan නැමති ව්‍යාපෘති වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත මුහුදු තීරයත්, රට අභ්‍යන්තරයත් ආවරණය කරමින් අති දැවැන්ත ව්‍යාපෘතීන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් සකස් කර තිබුණි. මුළු දිවයිනම ආවරණය කෙරෙන මහ නගර (Metro City),වරායන්,අභ්‍යන්තර ගුවන් තොටුපලවල්, වාණිජ හා කාර්මික කලාපයන්, බලශක්ති මධ්‍යස්ථානයන්, දුම්රිය සහ මහා මාර්ග පද්ධතීන්, අධිවේගී මාර්ග පද්ධති මෙන්ම සංචාරක කලාප ආදිය ඉදි කිරිමට සැළසුම් කර තිබුණේ එම වාර්තාවේ යෝජිත ආකාරයට ය. 2001 -2004 රනිල් වික්‍රමසිංහ රජය සමයේ ක්‍රියාවට නැගීමට සැළසුම් කොට තිබුණු “යළි පුබුදමු ශ්‍රී ලංකා“ සැළසුමෙහිම දිගුවක් සේ සැළකිය හැකි මෙවැනි ව්‍යාපෘතීන් තම පාලනයක් යටතේ ක්‍රියාත්මක නොකරනු ඇති බවට 2005දී මහින්ද රාජපක්ෂ තම පළමු ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් එළි දක්වන ලද මහින්ද චින්තන ලියැවිල්ල මගින් රටේ ජනතාව හමුවේ  සහතික කොට තිබුණි. නමුත් මැතිවරණ ප්‍ර‍තිඥා සහ පාලන පිළිවෙත් අතර සම්බන්ධයක් නැති ලංකාව වැනි රටක ඒ පිළිබඳ කතා කිරීම කාලය නාස්ති කිරීමකට වැඩිමනත් දෙයක් නොවේ.

ආණ්ඩු මාරුවකින් පසුව ද කොළඹ වරාය නගරය හෙවත් ‘පෝට් සිටිය‘ ගැන ලියන්නට සිද්ධවන්නේ ඒ නිසා ය.

වරාය නගරය

ඇත්ත වශයෙන්ම කොළඹ වරාය නගර සැළැස්මද ඉහතින් කී ආකාරයේ සමාජීය සහ පාරිසරික අර්බුදයන් ගණනාවක් මතු කෙරෙමින් ඇති  ව්‍යාපෘතියකි. හිටපු ජනාධිපති රාජපක්ෂගේ සෘජු මැදිහත්වීම මත දියත් කෙරුණු ව්‍යාපෘතියක් වන එය විධිමත් පටිපාටීන් හා නිර්ණායකයන් කිසිවක් නො සළකා ආරම්භ කළ එකක් යැයි වසරකට පෙර අවධාරණය කොට කියන ලද්දේ  දැන් ආණ්ඩු කරන නායකයන් විසින්ම ය. ඊට හේතුවූයේ තමන් සතුව තිබූ අසීමිත දේශපාලන බලය හේතුකොට ගෙන  ස්වකීය පැවැත්ම සඳහා පිටුබල සැපයූ විදේශ පාර්ශ්වකාර මහජන චීන සමුහාණ්ඩුවේ ඉදිකිරිම් සමාගමක් වන සීමාසහිත චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් සමාගම (China Communications Construction company) විසින් මුහුද පුරවා නගරයක් ඉදිකිරීමට කරන ලද යෝජනාව ඒ පිළිබඳ මහජන ආකල්ප නොතකා ක්‍රියාවට නැංවීමට ඔහු විසින් පියවර ගැනීමයි.

'කළම්බු පෝට් සිටි' නැමති වෙබ් අඩවියෙහි  දක්වා ඇති ආකාරයට ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති රැසක ප්‍රධාන කොන්ත්‍රාත්කරුවා ලෙස කටයුතු කර ඇත්තේ ද මෙම චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් (CCCC) නැමති සමාගම බව ය. ඒ අනුව, විශේෂයෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය, මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය (හම්බන්තොට), මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල, කොළඹ දකුණ බහාලුම් පර්යන්තය යනාදී ඉදිකිරීම් කරනු ලැබ ඇත්තේ මෙම සමාගම විසින්  බව එම වෙබ් අඩවියෙහි වැඩිදුරටත් සඳහන් කෙරි තිබේ.

අදාළ වෙබ් අඩවියට අනුව  එම සමාගම, 1992 වසරේ සිට ලොව ඉහළම ජාත්‍යන්තර කොන්ත්‍රාත් සමාගම් 225 ලැයිස්තු ගත කරන (Engineering News Records -ENR) වාර්තාවට ඇතුලත් වුවකි. එසේම මෙකී සමාගම  2014 වර්ෂයේදි ෆෝචූන් 500 (Fortune Five Hundred) සමාගම් ලැයිස්තුවේ 187 වැනි ස්ථානයේ පසුවන බවද සඳහන් ය.

අසාදු ලේඛනයට

එහෙත්   චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් නැමති සමාගම විසින් අප්‍රිකානු සහ ආසියානු කලාපයේ ඇතැම් රටවල සිදුකරන ලද ව්‍යාපෘති සහ ඉදිකිරීම් සම්බන්ධයෙන් ලැබී ඇත්තේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවන්ට අනුව අදාළ සමාගම අවස්ථා කිහිපයකදීම අසාදු ලේඛනයන්ට ඇතුළත්ව ඇති බව පෙනී යයි. විශේෂයෙන්ම මෝල්ටා රාජ්‍යයේත්, පිලිපීනයේ මෙන්ම ඊශ්‍රායලයේත් සිදුකරනු ලැබු ඉදිකිරීම්වල ප්‍රමිතිය මෙන්ම මුල්‍ය පාරදෘෂ්‍යභාවය සම්බන්ධයෙන් ද විවිධ චෝදනා චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන්  සමාගමට එරෙහිව එල්ල වී තිබේ.

2013 ජූනි 17 දිනැති මෝල්ටා ටුඩේ (Malta Today) නැමති වෙබ් අඩවියෙහි දැක්වෙනුයේ එම සමාගම මොල්ටා සහ ගෝසෝ (GOZO) අතර ඉදිකරන ලද පාලමක ප්‍රමිතිය සම්බන්ධයෙන් ඇතිවු ගැටලුවක් හේතුවෙන් අසාදු ලේඛනයට ඇතුළත් කෙරී ඇති බවයි. එමෙන්ම ලෝක බැංකුව විසින් 2011 ජූලි මස 29 වැනි දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයකට අනුව පිලිපීනයේ මහා මාර්ග ඉදිකිරිම් පද්ධතියක පළමු අදියරේ ඇති වු වංචාවන් හේතුවෙන් චයිනා කොමියුනිකේෂන්ස් සමාගම ලෝක බැංකු අසාදු ලේඛනයට ඇතුළත් කරන බවයි. ඒ අනුව 2017 වර්ෂයේ ජනවාරි 12 දින දක්වා අදාළ සමාගම වෙත මෙම තහනම බල පැවැත්වෙන බව ද වැඩි දුරටත් එහි දැක් වේ. මේ හා සමානව,  2014 ජූලි 21 වැනි දිනැති මෝල්ටා ඉන්ඩිපෙන්ඩන්ට් (Malta Independent) වෙබ් අඩවියේ සඳහන් වන්නේ විවිධ ඉදිකිරීම් සහ ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් එල්ල කෙරි ඇති චෝදනාවන් හේතුවෙන් චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන්  නැමති සමාගම අසාදු ලේඛණ ගත කර ඇති බවයි.

කෙසේ වෙතත් කළම්බු පෝට් සිටි වෙබ් අඩවියෙහි දැක්වෙන ආකාරයට CCCC ඉදිකිරීම් කටයුතු පිළිබඳ ප්‍රධාන හවුල්කරුවා වන්නේ චයිනා හාබර් ඉන්ජිනියරින් (Chaina Harbour Engineering Company - CHER) නැමති සමාගමයි. මෙම ව්‍යාපෘතිය සැළසුම් කිරීම සහ ඉදිකිරීම් භාරව චීන රජයේ ආශිර්වාදය සහිතව එරට සමාගම්  කටයුතු කළ ද  සැබවින්ම චීන රජය පමණක් නොව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ස්විඩනය වැනි රටවල මූලස්ථානය කොට ගත් මහා පරිමාණ සමාගම් ගණනාවක්ම මෙම වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරිම් සඳහා දායකත්වය සපයි.

බහු ජාතික සමාගම් ජාලයක්

විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ හී මුලස්ථානය පිහිටි ඉඩම් සහ දේපල මිලදී ගැනීම් පිළිබඳව කටයුතු කරන බව පැවසෙන ජේ.එල්.එල් (Jones Long Lasalle) සමාගම, යටිතල ව්‍යුහයන්, බල ශක්ති සහ ස්වභාවික සම්පත් සම්බන්ධයෙන් නීති උපදෙස් සපයන පින්සෙන්ට් මේසන්ස් (Pinsent Masans) සමාගම මෙන්ම වෘත්තීය සේවාවන් සහ ලොව ප්‍රධාන පෙළේ වෙළඳ පොළ මෙහෙයුම් සඳහා  දායකත්වයක් සපයන  ප්‍ර‍ිස් වෝටර්හවුස් කූපර්ස් (Price waterhouse coopers) සමාගම ද, වරාය නගරයේ ඉදිකිරීම්  සඳහා  සම්බන්ධ වන බව කලම්බු පෝට් සිටි වෙබ් අඩවියෙහි දැක් වේ. මේ හැරුණු විට ඇමරිකා එක්සත් ජනපදය මුලස්ථානය කොටගත් ඉංජිනේරු උපදේශනයන් සේවා සපයන AEOM නැමති සමාගම ද වරාය නගර ව්‍යාපෘතියේ ප්‍රමුඛ කාර්යභාර්යක් ඉටුකරන බව අදාළ වෙබ් අඩවිය සඳහන් කරයි.

වරාය නගර ව්‍යාපෘතියේ ප්‍රධාන සැළසුම් උපදේශන මෙන්ම ඉංජීනේරු කාර්යන් පිළිබඳව කටයුතු කරනු ලබන්නේ ස්විඩන් හී පිහිටි ස්වෙකෝ SWECO නම් සමාගම බවත්, එට්කින්ස් (ATKINS) නැමති එක්සත් ජනපදය මුලස්ථානය කොටගත් සමාගම ද ඉංජිනේරු කාර්යයන් සම්බන්ධයෙන් දායකත්වය සපයන බවත් එම වෙබ් අඩවියෙහි වැඩිදුරටත් දැක් වේ. ඉදිකිරීම් සහ වෘත්තීය සේවාවන් සපයන සමාගම් ගණනාවක් වරාය නගර ව්‍යාපෘතියට සිය දායක වෙමින්  චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන්  සමාගම සමග එක්ව ඇත්තේ අන් කිසිවක් නිසා නොව, එය ඩොලර් බිලියන ගණනක ආයෝජන ප්‍රතිලාභයන් ගෙන දෙන්නක් බැවිනි.

එක් පසෙකින් එය මහා පරිමාණ මුල්‍ය ගනුදෙනුවකි. අනෙක් පසින් මුහුද ගොඩකර නිර්මාණය කරන නගරයේ භූමියට ඇති වන්නා වු හිමිකාරිත්වය ඔස්සේ සකස් කෙරෙන ඉදිරි වැඩ පිළිවෙලකි. වරාය නගර ව්‍යාපෘතියට එරෙහි සිවිල් හා බහුජන සංවිධාන ක්‍රියාකාරින් විසින්  පෙන්වා දෙන ආකාරයට ව්‍යාපෘතියට චීනය විසින් වැය කරන මුදලට හිලව් ලෙස ලැබෙන ස්වකීය අවශ්‍යතා සඳහා යොදාගැනීමේ අවකාශය චීනයට හිමි වේ. 2015 මාර්තු 17 වැනි දින ‘ඩේලි නිවුස්‘ පුවත්පත වාර්තා කළ ආකාරයට චීනයට හිමිවන ඉඩම්වලට ඉහළ අහසේ ගුවන් සීමාවේ පාලනය චීනයට හිමිවන බවට සිවිල් ගුවන් සේවා අධිකාරිය ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ.

කැබිනට් අනුමැතිය

කෙසේ නමුත් මේ සියළු පාර්ශවකරුවන් ද සමග එකතුව ගොඩනැගීමට සැළසුම් කෙරී තිබුණු කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙහි සැළැස්ම  සීමාසහිත චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන්  සමාගම විසින්  ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පළමුවෙන් ඉදිරිපත් කොට ඇත්තේ 2011 වර්ෂයේදී ය. එම වසරේම සැප්තැම්බර් මාසයේදි කැබිනට් මණ්ඩලය විසින් අදාළ ව්‍යාපෘතිය ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව වරාය අධිකාරිය වෙත නිර්දේශ කොට ඇත්තේ ව්‍යාපෘතිය ඉදිරිපත් කළ චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන්  සමාගම සමග අවබෝධතා ගිවිසුමකට එළැඹෙන ලෙසටයි. එයින් පසුව 2012 ඔක්තෝබර් මාසයේදි නැවත වතාවක් චයිනා කොමියුනිකේෂන්ස් සමාගම විසින් අදාළ ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ඉදිරිපත් කරනු ලැබ තිබේ. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් වරාය, මහා මාර්ග හා නාවික කටයුතු භාර අමාත්‍යවරයා වශයෙන් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබන අංක MP/H/2013/21 දරණ කැබිනට්  පත්‍රිකාවෙහි සඳහන් වන්නේ කොළඹ වරාය දේශීය හා විදේශීය සබඳතා සහිත ප්‍රධාන කේන්ද්‍රීය නගරයක් ලෙස ප්‍රතිරූපයක් ඇති කිරිම වෙනුවෙන් මෙම වරාය නගරය ඉදි කිරීමට සැළසුම් කරන බවයි.  ඉක්බිතිව, වරාය නගර ව්‍යාපෘත‍ියේ  ඉදිකිරීම් කටයුතු සඳහා අවසර ලැබෙන්නේ වරාය හා මහා මාර්ග අමාත්‍යාංශයේ එවකට සිටි ලේකම්වරයා සහ චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන්  සමාගම අතර අත්සන් කෙරෙන ගිවිසුමෙන් අනතුරුවය. නමුත්  කෙසේ හෝ නිල වශයෙන් එහි කටයුතු ඇරඹෙනුයේ මහජන චීන සමුහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පින් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් 2014 සැප්තැම්බර් මස 17 වැනිදා ය.

කොළඹ ගාලු මුවදොර ආසන්නයේ මුහුදේ හෙක්ටයාර් 233 ක්, නොඑසේනම් අක්කර 575 ගොඩකර ඒ මත ඉදි කෙරෙන වරාය නගර සැළැස්ම දියත්වන්නේ ඒ යටතේ ය. අදාළ සැළැස්මට අනුව ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ දියකඩනයක් ඉදිකිරිමත් පසුව හෙක්ටයාර් 75 යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිදුකිරීමට නියමිතව තිබුණු අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1337 ක මුදලක් චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන්  සමාගම විසින් ආයෝජනය කිරිමට නියමිතව තිබු බවද පැවසේ.

2014 සැප්තැම්බර් 21 දින 'සිළුමිණ' පුවත්පත වාර්තා කර තිබුණේ   වරාය නගරය ඉදිකිරිම වෙනුවෙන් ශ්‍රි ලංකා ආණ්ඩුව  කිසිදු මුදලක් වැය නොකරන බවයි. නමුත් එහිම දැක්වෙනුයේ  උතුරු හා කොළඹ දකුණ වරාය සඳහා ඉදිවන දියකඩනයට වරාය අධිකාරිය ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් වැය කරන බවයි.

සුපිරි බදු සහන සුපිරි නිවාස සංකීර්ණයන්, ජල ධාවන පථ, ෆෝර්මියුලා ධාවන පථ, ජල ක්‍රිඩාංගණ, සුපිරි වෙළඳ සැල්, ගෝල්ෆ් ක්‍රීඩා පිටි මෙන්ම හෝටල් සංකීර්ණයන් ඇතුළු විවිධ ඉදිකිරීම් සිදුකිරීමට සැළසුම් කොට ඇති මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් 25 වසරක බදු සහනයන් ලබා දීමට නියමිත බව ද ප්‍රකාශිත ය.

2014 පෙබරවාරි 24 වැනි දින 'රාවය' පුවත්පත විසින් වාර්තා කරනුයේ එවකට සිටි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් වරාය නගර ව්‍යාපෘතිය ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හඳුන්වමින් බදු සහන ලබා දී ඇති බවටයි. එම බදු සහනයන් යටතේ සංස්ථාපිත ආදායම් බද්ද හෙවත් ලාභය සහ ආදායම් මත ආදායම් බදු ගෙවීම 25 වසරකට අත්හිටුවා ඇති බවටද එම වාර්තාවෙහි වැඩිදුරටත් දැක් වේ. මෙයට අමතරව රඳවා ගැනීමේ බද්ද, උපයන විට ගෙවීමේ බද්ද,එකතු කළ අගය මත බද්ද (වැට්) වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බද්ද, ඉදිකිරිම් හා කර්මාන්ත සහතික අරමුදල් බද්ද, නිෂ්පාදන බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද සහ රේගු බද්ද යන අංශ කෙරෙහිද බදු සහන ලබා දී ඇති බවයි ‘රාවය‘ පුවත් පතෙහි සඳහන් වනුයේ.

පරිසර ක්‍රියාකාරීන් විසින් පෙන්වා දෙනුයේ වරාය නගරය ඉදිකෙරෙන අක්කර 575 (හෙක්ටයාර් 233) ක භූමි ප්‍රමාණයෙන් අක්කර 420ක්, නොඒසේනම් හෙක්ටයාර් 170 ප්‍රමාණයක් විකිණිය හැකි ඉඩම් ලෙස පවතින බවයි. ඉතිරි අක්කර 156 (හෙක්ටයාර් 63) පොදු පහසුකම් සංවර්ධනයට යොදා ගැනීමට නියමිත බවද පැවසේ. එසේම විකිණිය හැකි ඉඩම් අක්කර 420 න්  හෙක්ටයාර් 108 ක් චීනයට හිමිවන බවත් සඳහන් ය. තවත් ඉඩම් ප්‍රමාණයක් අනූ නව අවුරුදු බදු පදනම යටතේ ලබා දීමට නියමිත බවත් ප්‍ර‍ාශිත ය. චීනයට හිමිවන ඉඩම් සඳහා ආයෝජකයන් කැඳවීම හෝ භුමිය සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමේ අයිතිය ඔවුන් සතුවන බවයි පරිසරවේදීන් මෙන්ම වරාය නගර ව්‍යාපෘතියට එරෙහි සිවිල් ක්‍රියාකාරින් විසින් පෙනවා දෙනු ලබන්නේ. කෙසේ නමුත් චීනයට හිමිවන ඉඩම් ප්‍රමාණය මෙන්ම සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් යොදා ගන්නා ඉඩම් ප්‍රමාණයෙහි නිශ්චිත සංඛ්‍යා ලේඛනයන් නොමැති බව පරිසරවේදින් කියා සිටියි.

කොළඹ වරාය නගරයට එරෙහිව ගොඩනංවා ඇති ජනතා ව්‍යාපාරයේ ප්‍ර‍මුඛයෙකු වන සරත් ඉද්දමල්ගොඩ පියනම JDS හා කියා සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාර චීන සමාගම හෝ කිසිදු අවස්ථාවක භූමි ප්‍රමාණය පිළිබඳව නිසි පැහැදිලි කිරිමක් කර නොමැති බවයි.

''පෝට් සිටි වෙනුවෙන් අක්කර 500 ට වැඩි ප්‍රමාණයක් මුහුද ගොඩ කරන බව පැවසෙනවා. නමුත් එසේ අක්කර 500 ක් ගොඩ කරන්න මුහුදු පතුල ඒ හා සමානව දෙගුණයක් ගොඩ කරන්න වෙනවා. ඒ කියන්නේ අවම වශයෙන් අක්කර 1000 ක්. මෙය සුළු පටු දෙයක් නොවෙයි. එ් සඳහා යන වියදම තවමත් නිශ්චිතව කොතැනවත් සඳහන් කෙරෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම වෙන්නේ රහසින්'' ඔහු කියයි.

දෝෂ සහිත පරිසර වාර්තාවක්

කෙසේ නමුත් මෙසේ රහසිගතව මෙන්ම දේශපාලන බල අධිකාරීන්ගේ උවමනා එපාකම් මත පමණක් පිහිටමින් අවධිමත් ලෙස සිදුකෙරෙන ව්‍යෘපෘතියකින් සිදුවන හානිය , පාරිසරික හා සමාජීය බලපෑම කවරේදැයි තවමත් නිසි පරිදි විමර්ශණයට ලක් කොට තිබේදැයි සැක සහිත ය. පෝට් සිටි ව්‍යෘපෘතියට එරෙහිව නැගි සිටින පරිසරවේදීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙන්ම හා බහුජන සංවිධාන විසින් දිගින් දිගටම පෙන්වා දෙනු ලබන්නේ මෙම ව්‍යාපෘතිය නියමිත පාරිසරික ඇගයීම්වලින් මෙන්ම ඒ සම්බන්ධ පිළිගත් ජාතික හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන්ද  බැහැරව සිදුකිරිමට උත්සහ දරන බවයි. එයින්  ප්‍රධාන තැනක් ගන්නේ අදාළ ව්‍යාපෘතිය නිසි පාරිසරික ඇගයීමකින් තොරව ක්‍රියාත්මක කිරීමට සැළසුම් සකස් කර තිබීමයි.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධව දැනට සකස් කෙරී ඇති බැව් පැවසෙන පරිසර ඇගයිම් වාර්තාව බරපතල දෝෂ සහිත, අක්‍රමවත් එකක් යැයි පෙන්වා දෙන පරිසර සහ සිවිල් සමාජ ක්‍රියාකාරින් එම වාර්තාව සකස් කිරිමේදි අත්‍යාවශ්‍යයෙන්ම සළකා බැලිය යුතු අංශ ගණනාවක් නොසළකා හැර ඇති බවට චෝදනා කරයි. සරත් ඉද්දමල්ගොඩ පියනමට අනුව මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පරිසර වාර්තාවක් සකස් කෙරි ඇත්තේම නැත.

''දැනට තියෙන වාර්තාව විධිමත් පරිසර වාර්තාවක් නොවෙයි. මොරටුව විශ්ව විද්‍යාලය මගින් සිදුකරපු පරිසර අධ්‍යනයක්. මෙවැනි විශාල ව්‍යාපෘතියකට එවැනි අධ්‍යයනයක් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. යම් ව්‍යාපෘතියක් සකස් කිරීමේදී එ් සම්බන්ධව ජනතාවට අදහස් දැක්වීමට ඉඩ දීම  පිළිගත් මූලික සිද්ධාන්තයක් වගේම අත්‍යාවශ්‍ය දෙයක්. නමුත් පෝට් සිටි සම්බන්ධයෙන් එසේ සිදු වුයේ නැහැ. මෙවැනි ව්‍යාපෘතියකින් සමාන්‍ය ජන ජිවිතයට සිදුකෙරෙන බලපෑම් ගැන විවෘතව කරුණු සොයා බැලිය යුතුයි. මෙම ව්‍යාපෘතිය සාගරය හා බැඳුනු එකක් පමණක් නොවෙයි. වෙරළ තීරයේ ජනතාවට, ධීවර ප්‍රජාවන්ට මෙන්ම ඉදිකිරීම් සඳහා කළුගල් වැනි අමුද්‍රව‍්‍ය සපයා ගන්නා රට අභ්‍යන්තරයේ ප්‍රදේශවල ජනතාවටත් සෘජුවම බලපාන්නක්. වරාය නගරය සඳහා කළුගල් මෙට්‍රික් ටොන් මිලියන 14 යොදා ගන්න බැව් පැවසෙනවා. දැනටමත් කළුගල් කඩා ගන්නා පාදුක්ක ප්‍රදේශයේ පරිසරය සම්පුර්ණයෙන්ම විනාශවෙලා අවසන්. නමුත් එවැනි දෑ සම්බන්ධව කිසිම සොයා බැලීමක්, අධ්‍යයනයක් මේ තාක් සිදුකොට නැහැ''හෙතෙම කියා සිටියි.

එසේම ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා පාර්ශවකරුවන වරාය අධිකාරියට නගර නිර්මාණ කිරීමේ කාර්යයට මැදිහත්වීමට නීතිමය අවසරයක් නැති බව ද ඉද්දමල්ගොඩ පියනම පෙන්වා දෙයි. පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර අවධාරණයෙන් පෙන්වා දෙන්නේ ද  2011 වසරේදි මොරටුව විශ්ව විද්‍යාලය මගින් සකස් කළ වාර්තාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උවමනාවන් මත සකස් කෙරුනු එකක් බවයි.

අධිකරණ වාරණයක්

පරිසරවේදි රවීන්ද්‍ර කාරියවසම්, සමස්ත ලංකා ධීවර වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් අරුණ රොෂාන්ත සහ සංගමයේ අනුශාසක ගරු ෂෙරාඩ් ජයවර්ධන පියනම විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයක දැක්වෙන්නේ මෙවැනි ව්‍යාපෘතියක් හේතුවෙන් ශ්‍රී ලංකාව අවට මුහුදු තීරය දැඩි ඛාදනයකට ලක්වී මුහුදු ජීවීන් මෙන්ම ස්වභාවික පැවැත්ම ද විනාශ වී යා හැකි බවටයි. එසේම එමගින් ධීවර ප්‍රජාවන්ගේ කටයුතු සඳහා ද දැඩි බලපෑමක් එල්ල කෙරෙන බවයි. එසේම මේ හා සමාන ව්‍යාපෘතියක් සේ සැළකෙන ඩුබායි පාම් සිටි (Palm City) ව්‍යාපෘතිය ද මේ වන විට දැඩි පාරිසරික අර්බුදයන් නිර්මාණය කර ඇති බව අනාවරණය කෙරෙන වාර්තා දැනටමත් පළ වී තිබේ.

කෙසේ වෙතත් මෙම අවධිමත් පරිසර වාර්තාවන්ට සහ නීතියට පටහැනි ඉදිකිරීම්වලට එරෙහිව සිමා සහිත පරිසර යුක්ති කේන්ද්‍රය අංක CA/112/2015 යටතේ මේ වනවිටකත් අභියාචනාධිකරණය හමුවේ නඩු පවරා ඇත්මෛ් සියළු කාරණා සැළකිල්ලට ගනිමිනි. ඒ සම්බන්ධව විමසීමේදි එම කේන්ද්‍රයේ නිතිඥ රවීන්ද්‍රනාත් දාබරේ JDS හා කියා සිටියේ තම ඉල්ලීම පිළිගනිමින් අධිකරණය ව්‍යාපෘතිය තාවකාලිකව තහනම් කළ බවත්, ඉදිරි නඩු වාරයකට පෙර ව්‍යාපෘතිය හා සම්බන්ධ සියළු ලියවිලි අධිකරණයට භාර දිය යුතු බවට අදාළ ආයතනයන්ට නියෝග කොට ඇති බවත් ය.

''ව්‍යාපෘතිය සඳහා අවශය කරන මුහුදු වැලි ලබා ගැනීම වැනි දෑ පිළිබඳව පරිසර ඇගයීම් වාර්තාව සැළකිල්ලක් දක්වා නැහැ. පවතින සීමාවට අනුව එය අයත් වන්නේ වෙරළ සංවර්ධන දෙපාර්තුමේන්තුවට නොවෙයි. මධ්‍යම පරිසර අධිකාරියටයි. අනෙක මුහුදු පතුල බදු දෙන්න බැහැ. ඒ අනුවයි අපි මුල් ගිවිසුම නීති විරෝධී එකක් බව කියන්නේ''නිතිඥ දාබරේ පෙන්වා දෙයි.

වරාය අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, ආයෝජන මණ්ඩලය ඇතුළු පාර්ශවකරුවන් කිහිපදෙනෙක් වග උත්තරකරුවන් වශයෙන් නම් කර ඇති මෙම නඩුව ඉකුත් වසරේ නොවැම්බර් මස 17 වැනි දින කැඳවු අවස්ථාවේදි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර අධිකරණය හමුවේ කියා සිටියේ ඉදිරියේදී රජය මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන්  ඉතා වැදගත් තීන්දුවකට එළැඹෙන බවට දැනුම් දී ඇති බවයි.

ඒ වැදගත් තීන්දුව කුමක් විය හැකිදැයි මේ වනවිටත් සිල්ලෝ දනිති.

යහපාලන ප්‍රකාශ

විටින් විට ඇමතිවරුන් කරන විවිධ ප්‍රකාශ හැරුණු විට පූර්ව මැතිවරණ ව්‍යාපාරය තුළ වේදිකා මත තොරොම්බල්  කළ පෝට් සිටි විරෝධී පිළිවෙත් ක්‍රියාවට නංවන බවට පිළිගත හැකි කිසිවක් මේ තාක් ආණ්ඩුව විසින්  නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත. පසුගිය වසරේ පෙබරවාරි මස එවක විපක්ෂ නායකවරයාව සිටි නිමල් සිරිපාලගේ පැනයකට පිළිතුරු දෙමින් එවක සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ රජය ඒ සම්බන්ධයෙන් එම මස 18 වැනි දින ප්‍රකාශයක් කරන බවයි. එමෙන්ම විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මාධ්‍ය හමුවකදි කියා සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ චීන සංචාරයෙන් පසුව ද ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වු රජයේ ස්ථාවරයේ වෙනසක් නොවන බවයි. නමුත් ඉකුත් වසරේ මාර්තුවේ දී සිය තෙවන විදෙස් සංචාරයට එක්වෙමින් චීනය බලා ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන චීන ජනාධිපති හමුවේ පෝට් සිටි ව්‍යාපෘතිය තම රජය යටතේද ඉදිරියට ගෙන යන බවට පොරොන්දු වී ඇති බව රොයිටර් පුවත් සේවය විසින් වාර්තා කරනු ලැබීය. එසේම එම හමුවෙන් පසු මාධ්‍ය අමතමින් චීන විදේශ අමාත්‍ය ලියු ජියෑන් චාඕ පවසා තිබුණේ ද ව්‍යාපෘතිය තවදුරටත් පවත්වාගෙන යන බවට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයා හමුවේ සහතික වු බවයි.

නමුත් පසුගිය වසරේ  මාර්තු මස 4 වැනි දින කැබිනට් මණ්ඩලය විසින් වරාය නගර ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට තීන්දු කොට ඇති බව පැවසිණ. ඒ අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව ය. කෙසේ වුවද ඉකුත් දෙසැම්බර් මාසයේ  සවුත් චයිනා මෝනින් පෝස්ට් පුවත්පතට ප්‍ර‍ාශයක් කළ මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ වරාය නගර ව්‍යාපෘතියට නව රජයේද අනුමැතිය හිමිවන බවයි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව සත්‍ය පවසන්නේ කවරෙක්ද?

පැවති රාජපක්ෂ ආණ්ඩු පාලන සමයේදී විටින් විට චීන රජය මෙම ව්‍යාපෘතිය කඩිනම් කිරිම සඳහා කරන ලද නොයෙක් මැදිහත්වීම් හා ප්‍රකාශයන් ආදිය දෙස බැලීමේදි මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීන රජයේ මැදිහත්වීම  මනා ලෙස පෙන්නුම් කෙරේ. පසුගිය වසරේ මැයි මස 10 වැනි දින මාධ්‍ය හමුවක් පවත්වමින් ශ්‍රී ලංකාවේ නව චීන තනාපති  යැන්ග් ලියෑන්ග් මෙසේ කියා සිටියේ,  ‘චීනය විසින් නිර්මාණය කරන නව සේද මාවත ශ්‍රී ලංකාව ඇතුළු සියළු රටවලට වැදගත් එකක් බවත්, මෙම පෝට් සිටි ව්‍යාපෘතිය එහි මඟ සළකුණක් බවත්‘ ය.

චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන්  සමාගමට අයත් කළම්බු පෝට් සිටි නැමති වෙබ් අඩවියෙහි මෙකී කාරණා වඩාත් පැහැදිලිව දක්වා තිබේ: ''අපගේ දැක්ම වන්නේ ව්‍යාපාර කටයුතු, විවේකය හා විනෝදාස්වාදය සමඟ සුඛෝපභෝගී ජීවන රටාව එක්තැන් කරමින් ආසියාව සඳහා හොඳම පිවිසුම් දොරටුවක් නිර්මාණය කිරිමයි. කොළඹ වරාය නගරය අසීමිත සංවර්ධන අවස්ථාවන් සමඟින් ඉදිරියට ඇදෙන නව ශ්‍රී ලංකාවක සළකුණක් වනු ඇති අතරම මෙරට මෙන්ම මුළු මහත් ලෝකයේම ජනතාව වෙනුවෙන් ව්‍යාපාර, සංචාරක හා සුඛෝපභෝගි ජීවන අවස්ථාවන් පිරිනමන ස්ථානයක් බවට කොළඹ වරාය නගරය පත් කිරිමය''.

නමුත් දැන් චීනය අභිබවමින් එක්සත් ජනපද උපායික අවශ්‍යතා පිළිබඳ සැළසුම් තුළට ශ්‍රී ලංකාව වේගයෙන් ඇදී යමින් ඇති තත්ත්වයක් තුළ කොළඹ වරාය නගරය හුදෙක් චීන උපාය මාර්ගික අභිලාෂයන් සැපිරීමට එහා ගිය කාර්යයක් ඉටුකරනු ඇතැයි පෙනී යයි. පෝට් සිටි සැළැස්ම ශ්‍රී ලංකාවේ ප්‍ර‍ජා සමෘද්ධිය ඉලක්ක කොටගත් සංවර්ධනයේ සේද මාවතක් විවර කරනු වෙනුවට ඉන්දීය සාගරය තුළ තීව්‍ර‍වන උපාය මාර්ගික බල අරගලයේ අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට ලංකාව හැඩ ගස්වනු ඇතැයි අනුමාන කිරීම අතිශයෝක්තියක් නොවන්නේ ඒ නිසා ය.☐

කිත්සිරි විජේසිංහ


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.