JDS Sinhala

මොසැම්බික් 'රතු මැණික්' කොල්ලය: රත්නපුර මතු දවස පෙරදැකීම

තාව ඇරඹිය යුත්තේ මෙසේ අවධාරණය කරමිනි.  මේ වනාහී අහම්බෙන් පයට පෑගුණු රතු මැණික් කැට කැබිලිත්තක් විසින් සමෘධිය වෙනුවට පරිපීඩාවට ඇද දැමූණු ජන කොට්ඨාශයකගේ කතාව ය; පා තබා සිටින මහ පොළොවෙන් මතුවන වාසනාව වෙනුවට අකල් මරණය හිමි වී එකී මහපොළොවට පස්වන ලෝකයේ සියලුම පීඩිත මිනිසුන්ගේ කතාව ය. මොසැම්බික් ජනරජය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට සමාන්තර වන මොහොතක් තිබෙන්නට පිළිවන. මා මෙය ලියන්නේ එබැවිනි.

පීඩිත සියල්ලන් වෙනුවෙන් මෙම ව්‍යසනය හඹා යමින් සිටියේ එස්ටාසියෝ වැලෝයි (Estacio Valoi) නම් මොසැම්බික් ගවේශනශීලී මාධ්‍යවේදීයා ය.  රතුමැණික් ඛේදවාචකයේ ඔහු මෙතෙක් හඹාගිය සියල්ලේ සංක්‍ෂිප්තය,  JDS වෙනුවෙන් ඔහු හඹා ගිය මා ඉදිරියේ ඔහු යළිත් මෙසේ අවධාරණය කරයි.

‘‘රතුකැට. ඔව්, රතුකැට බටහිර ලෝකය ළෙලවන ලකුණක්. සැපසම්පත්තිය, අධි සුඛෝපභෝගීත්වය, මනමෝහණය, ආකර්ෂය පමණක් නෙවෙයි, සුපිරි ජීවිතවලට අදාළ සියල්ලේ ඓක්‍යය රතු මැණික තුළ සංකේතවත් වෙනවා. නමුත් මගේ සහෝදර ජනතාවට රතුමැණික එහිම විලෝමය බවට පත්වෙලා.  මැණික් බිමක ඉපදුණාට මගේ මිනිස්සුන්ට මැණික් කියන්නෙ භීතිය, වේදනාව, සංත්‍රාසය,පීඩාව. අවසානයේ මරණය.“

බ්‍රිතාන්‍ය ‘ජෙම්ෆීල්ඩ්ස්‘ සමාගම

සය වසරකට පෙර, එනම් 2009 වසරේදී මොසැම්බික් ජනරජයේ උතුරු දිග කබෝ ඩෙල්ගාඩෝ (Cabo Delgado) පළාතේ අන්ත දුගී ගම්වැසියකුගේ ඉරි පැලුණු පයක වැදුණු රතු මැණික් කැබිලිත්ත, ලෝකයේ විශාලතම පොකුරුමිණි නිධිය මතුකරගන්න හේතු වාසනා වන බව කිසිවකුත් දැනසිටියේ නැත. එය නිශ්චිතව දැනගත් මොහොතේ මොසැම්බික් ජනරජයේ පොදු දරිද්‍රතාව මඟහරවා රට ආර්ථිකමය වශයෙන් නඟා සිටුවන්නට හැකි මාවතකට ප්‍රවිශ්ඨ කරගන්නට මෙය ඉවහල් කරගත හැකිවන බව පොදු මනසකින් හිතන මොසැම්බික්වාසී කිසිවෙකුට හෝ හිතෙන්නට ඇත.  මන්දයත් එහි ජනගහණයෙන් අති බහුතරය දිවිගෙවන්නේ ඇමෙරිකානු ඩොලරයට අඩු දෛනික ආදායමක් මත බැවිනි. ඒත් මානව දරිද්‍රතාව ඔස්සේ මංකොල්ලයන්ට මඟ පාදා ගැනීමේ සුපුරුදු ගෝලීයකරණ ක්‍රමෝපාය, විය යුතුව තිබු පරිද්දෙන්ම 2012 වසරේ සිට මොන්ටෙපුයේ (Montepuez) මැණික් නිධිය‘අචාර ධාර්මිකව‘ හා ‘නෛතිකව‘ කොල්ලකෑම ඇරඹුණි. 

සමාගම් අතර සීතල වූ යුද්ධයෙන් ජයගෙන මොසැම්බික් වෙත සිය නාම පුවරු ‍ඔසවාගෙන ආයේ ‘ජෙම්ෆීල්ඩ්ස්‘ (Gemfields) නම් වන සුප්‍රකට බ්‍රිතාන්‍ය සමාගමයි.  කොහෙත් සිදුවන්නා සේ නෛතික රාමුවට අනුකූලව පත් කෙරුණු දේශීය නියෝජිත ම්ව්රීතී (Mwriti) සමාගමට 25%ක බලය හිමිවන සේ නිලවශයෙන් ‘මොන්ටෙපුයේ‘ මැණික් නිධිය අතුළත් මොසැම්බික් සිතියමේ අක්කර 340ක ඒකාධිකාරය 75% ක ප්‍රමාණයකින් අත්පත් කරගැනීමට ‘ජෙම්ෆීල්ඩ්‍‘ සමාගම සමත් විය. නමුත් ඇත්ත වශයෙන්ම නම් මෙවන් ගනුදෙණුවක සැබෑ ප්‍රතිශතයන් සහ නියම සංඛ්‍යා දත්තයන් හැමවිටම සැඟව පවතී. ඒ අනුව ‘ජෙම්ෆීල්ඩ්‘ ආධිපත්‍යය බල පැවැත්වුණු භූමිය දවසින් දවස පිළිකාවක් ලෙස මොසැම්බික් සිතියම සිසාරා පැතිරී යන්නට විය. රතු මැණික් නිධිය වටා දිග්ගැස්සුණු මැණික් යුද්ධය ඇරඹෙන්නේ මේ අනුව ය.   

කැලම් මැක්රේ  හා අල් ජසීරා

මෙම මැණික් යුද්ධයේ හැඩරුව හෙළිදරව් කරලීමේ මාධ්‍ය ක්‍රියාවලිය ඇරඹෙන්නේ මෙවන් පසුබිමක ය. මොසැම්බික්හි මාධ්‍යකරණයේ නිරත එස්ටාසියෝ වැලෝයි නම් නිර්භීත මිනිසා සමඟ මාධ්‍ය ජාත්‍යන්තරයේ සුවිශේෂ සළකුණු තැබූ වාර්තා වැඩසටහන් රාශියක් නිර්මාණය කළ කැලම් මැක්රේ හා පෙළ ගැසෙන්නේ ඒ වෙනුවෙනි. කැලම් මැක්රේ යනු ලංකාවේ යුද්ධයේ අවසාන වකවානුවේ සිදුකළ දෙමළ ජන සංහාරය හෙළිදරව් කරලීමට මූලික වූ සම්මානනීය නිදහස් ජනමාධ්‍යවේදියා ය.

ඉදින් අවසානයේ කැලම් හා එස්ටාසියෝ කෙලින්ම ‘මැණික් යුද්ධය‘ තුළ වන යථාර්ථය  හඹා යන්නට තීන්දු කළහ. ඒ ගමන ගැන කැලම් මැක්රේගේ මතකය මෙබඳු ය.

‘‘අපි -ඒ කියන්නේ මම සහ එස්ටාසියෝ- රතු මැණක් මතුවෙන භූමිභාගය කරා යමින් සිටියා. මාවත දෙපසින් පසුවෙන්නේ අඹ ගස්. නව යොවුන් ගැටවරයන් පාපන්දු ක්‍රීඩාවේ අතරමංව සිටියා. අප මුලින්ම ගියේ ගම්මානයේ කැරකොප්පු භූමියට. එතැන අලුතින් ඉදිකළ සොහොන් දෙකක් තිබුණා.  මරණකරුවන්ගේ නම් ලියූ විසල් ලී කුරුස පවා හිටියේ සීරුවෙන්.  එතැන භූමිදානය කර තිබුණේ තරුණයන් දෙදෙනෙක්. ඒ දෙදෙනාගේම පියවරුන් අපි සමඟ හිටියා. මැණක් නිධි ගහණ මව් පොළොවේ ඒ විදියට නිධන් කර තිබුණේ අපි සමඟ සිටි මේ පියවරුන් දෙදෙනාගේ වටිනාම රතුකැට දෙක යි. ඒ තමයි ඔවුන්ගේ පුත්‍රයන්. ‘‘

ඔවුන්ගේ ජීවිත උණ්ඩයෙන් කෙළවර කර ඇත්තේ ජනතාව ‘ෆීර්‘ (FIR) ලෙසින් හඳුන්වන මොසැම්බික් ජනරජ පොලීසියේ ‘ක්ෂණික විහිදුම් බලකාය‘ (Police Rapid Intervention Force) සහ මොසැම්බික්වාසීන් ‘නකටනා‘(Nacatana) ලෙස හඳුන්වන ‘පුද්ගලික ආරක්ෂක බලකාය‘ (Ptivate Security Force) විසිනි. ඒ බවට සහතික කොට කියා සිටින්නේ මැණික් නිධිය අවට වෙසෙන ජනතාව ය. ඔවුන්ගේ භූමිදානයන් සිදුවී ඇත්තේ නිහඬවම ය.  කිසිම වගකිවයුතු ආයතනයට පවා දැනුම් දීමකින් තොරව ය. මන්දයත් එවන් පැමිණිල්ලක, දැනුම් දීමක, හඬ ගා කීමක ප්‍රතිවිපාක විඳගැනීමට ද සිදුවන්නේ පුද්ගලිකව ඔවුන්ටම වන බැවිනි.

‘අල් ජසීරා‘ රූපවාහිනියේ විකාශය වුණු ‘මොසැම්බික් මැණික් යුද්ධ‘ (Mozambiques's Gem Wars) ගවේශනාත්මක වාර්තා වැඩසටහනේ කැලම් සඳහන් කරන මෙම පියවරු දෙදෙනා සිටිති.  එහිදී ඔවුහු මෙසේ කියති.

‘‘මගේ පුතා ඉතාම හොඳ කෙනෙක්. නමුත් ආර්ථිකමය වශයෙන් පීඩාවට පත්වෙලයි හිටියෙ. ජීවත් වෙන්න කිසිම විකල්පයක් තිබුන්නෑ. අන්තිමේ ඔහු මැණික් ගරන්න ගියා. එහෙම වැඩ කරලා ඔහු දෙමව්පියො වශයෙන් අපිටත් ආර්ථිකව උදව් කළා. ඔහුව ඝාතනය කෙරුණෙ එන්කොලෝටො (Nkoloto) මැණික් පතල කිට්ටුව. ඒ මොන්ටෙපුයේ පැත්තෙන් ආපු ආරක්ෂක නිලධාරින් අතින්. පොලීසිය ඔවුන්ට වෙඩිතියන්න ගත්තා. මගේ පුතා වෙඩි උණ්ඩයකට ගොදුරුවුණා. එයාගෙ යාළුව එයාව ඉස්පිරිතාලෙට ගෙනියන අතරතුර අතරමඟදිම එයා නැතිවුණා. යාළුව එයාව යතුරු පැදියකට තියලා බැඳගෙන ගෙදර ගෙනාවා.‘‘  ඒ එක් තාත්තා කෙනෙකි.

අනෙකාද ඔහුට එකතු වේ. ‘‘ මගේ පුතාත් එදා ඉඳලා තියෙනවා.  ඒත් පතලක් ඇතුළෙ. පොලිසිය වෙඩිතියන්න ගනිද්දි එයා පතුළක් ඇතුළෙන් එළියට ඇවිත් දුවලා තියෙනවා.  වෙඩි වැදිලා තියෙන්නෙ දුවද්දි. එයාගෙ යාළුවො එයාවත් ඉස්පිරිතාලෙ ගෙනියන්න හදලා. ඒත් ඊට කලින්ම එයා මැරිලා.“

ඝාතන වැලක්

ප්‍රදේශය පුරා මෙවන් කතා රැසකි. නමුත් කිසිවකුත් කිසිවකුට එරෙහිවත් පැමිණිලි කර නැත. පොලිසිය විසින් වෙඩි තැබුණු තරුණයන්ගේ දෙමාපියෝ පැමිණිලි කරන්නට බියවෙති. පොලිසියට එරෙහිව පොලිසියට පැමිණිලි කිරීම මරණ ගණන ඉහළ යන වැඩක් බව ඔවුහු දනිති.  සමාගමේ නිලධාරීන්ගේ අණ පරිදි  සිදුකරනු ලැබූ වෙඩිතැබීම් වලින් ඝාතනය කෙරුණු හා ආබාධිත වූ ප්‍රදේශවාසීන් හා ඔවුන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින්නේ මොන්ටෙපෙයුස් නීතිපති පොම්පිලිඕ ෂේවියර් වසම්ගුඉයා (Pompilio Xavier Wazamguia) ය. ඔහු පවසන අන්දමට 2009 වසරේ සිට මේ දක්වා වෙඩිතැබීම් වලින් ඝාතන 18ක් සිදුවී තිබේ. මේ සියලු ඝාතන වලට චෝදනා ලැබ ඇත්තේ ජෙම්ෆීල්ඩ්ස් මැණික් ආකරයේ ආරක්ෂාවට යොදවා ඇති මොසැම්බික් ආරක්ෂක නිලධාරීන් ය. ඒත් නොනිලව කියැවෙන්නේ සැබෑ ඝාතන ප්‍රමාණය ඊට වඩා බෙහෙවින් වැඩි බව ය. ජීවිත 18කට අධික ප්‍රමාණයක් පැහැරගනිමින් තවත් විශාල ප්‍රමාණයක් ආබාධිතයන් කරමින් ගෙන යන රතුමැණික් ගැරිල්ල තවමත් පසුවන්නේ ‘තොග නියැදීම‘ (bulk sampling) නම් අදියරේ ය.  අත යට කෙරුණු ගණුදෙ‍ණුවලට අමතරව නිල වශයෙන්  මේ වන විටත් ඩොලර් මිලියන 122කට අධික ආදායමක් ජෙම්ෆීල්ඩ්ස් විසින් උපයනු ලැබ ඇත.  ඒත් පැතිරුණු දැවැන්ත ආවාටයක් බවට පත් කරමින් සිටින ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් ‘පොරොන්දු ප්‍රකාර ‘ අවම පිරිවැය වන 1%ක මුදලවත් ජෙම්ෆීල්ඩ් සමාගම විසින් වැය කෙරී නැත.

තමන්ගේ පාරම්පරික භූමි පලා මතුවන පොකුරු මැණික් තමන්ගේ ජීවන සමෘධිය වෙනුවෙන් කිසිවක් සිදුනොකරන බව දැනුණු ජනයා මහත් චිත්ත පීඩාවට පත්ව උන්හ. නමුත් නීතිය, බලය ආදී සියල්ලම හරහට හිටගෙන හිටියේ පොළොවේ සෑබෑ හිමිකරුවන් වන මෙම ගම්වාසී මිනිස්සුන්ට එරෙහිව ය.  රතු කැට සොයා පතල් කැණීමට අවසර තිබුණේ බැහැරින් ආ බ්‍රිතාන්‍ය සමාගමට පමණි. ප්‍රදේශවාසීන් රතුකැට සොයා පොළොවට අත තැබීම මුළුමනින්ම නීති විරෝධී කටයුත්තක් විය.  කිසිදු වරප්‍රසාදයක්, සංවර්ධනයක් හෝ බලාපොත්තුවක් නැති බිමක, නීතිය කවරාකාර වුව තමන්ගේ පොළොව කැනීමට මිනිසුන් නොපෙළඹෙන්නේ නම් පමණක් එය ප්‍රාතිහාර්යයකි.  නීතිය උල්ලංගනය කෙරෙතැයි සැළකෙන මැණික් පතල් කර්මාන්තය ඇරඹෙන්නේ එලෙසිනි. අවාසනාවට එරෙහිව වාසනාව වෙනුවෙනි. ගැටුමක් දක්වා වර්ධනය වන්නේ ඔවුන් විසින්ම නිර්මාණය කර ගත් ප්‍රශ්නයයි. ජනරජ පොලීසිය පවා ජනරජයේ ජනතාවට ම එරෙහිව අවි අමෝරා ගන්නේ මැණික් නිධියේ නීත්‍යානූකූල අයිතියේ නාමයෙනි. මෙම පොළොවේ මැණික් පතල් කැණීම නීති වරෝධී වේ. ඒත් වෙඩි තැබිල්ල නම් නීත්‍යානුකූල එකක් සේ සැළකේ.

‘ආචාර ධාර්මික‘ මංකොල්ල

කැලම් සහ වැලියෝ විසින් සිදුකරන්නට නියමිත හෙළිදරව්ව ගැන ඉව වැටුණු වහාම ජෙම්ෆීල්ඩ්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ තම සමාගම ක්‍රියා කර ඇත්තේ තමන් අනුදත් සියලු ආචාර්ම ධාර්මික හා නීත්‍යානුකූල  භාවිතයන්ට අනුකූලව බවයි.  මෙම ‘පරමාදර්ශී සමාගමේ‘ ප්‍රකාශයට අනුව පැහැදිලි වන්නේ මෙම ඝාතන සියල්ල මොසැම්බික් පොලීසියේ මහත්තුරුන්ගේ  හිතුවක්කාර නොසන්ඩාල ක්‍රියාවන් බවයි.  ඒ අනුව එය රටේ අභ්‍යන්තර ප්‍රශ්නයකි. ජෙම්ෆීල්ඩ් ‘බෝසත්‘ සමාගම මේ ගැන හාන්කවිසයක්වත් නොදනී.

මෙවන් ක්‍රියා සහ මෙවන් ප්‍රකාශ මොන තරම් සමාන්තරව සිදුවන්නේ ද?  මෙම රතුමැණික් ඝාතන හා සමාන නිදසුන් රතුපස්වලින් පවා ගෙනහැරපෑම අතිශයින් පහසු ය. ගිවිසුම් ප්‍රකාරව ප්‍රදේශයේ අධ්‍යාපනය, සෞඛ්‍යය මෙන්ම කෘෂිකර්මය දියුණු කළ යුතු වුවත් ඒ කිසිවක් සඳහා මෙම සමාගම මේ වනතුරුත් කිසිම අවධානයක් යොමු කර නොමැත. නමුත් ඒ සම්බන්ධයෙන් ජෙම්ෆීල්ඩ්ස් මැණික් මුදලාලිලා සද්දයක් නැත. මුලින්ම මෙම ප්‍රදේශයට කඩාවැදුණු සමාගම විසින් පොලීසිය පිරිවරාගෙන එහි කොනක සිට සියලුම නිවෙස් බිමට සමතලා කර දැමුණි. ඔවුන්ට ජීවත් වීමට විකල්ප බිම් යෝජනාකරන්නේ කිසිඳු සාකච්ඡාවකින් සම්මුතියකින් තොරව ය. එපමණක් නොව, ප්‍රදේශවාසීන්ගේ බීමට,  නෑමට සහ සියලු කටයුතු සඳහා ඇති එකම වැවේ ජලය පවා ජෙම්ෆීල්ඩ්ස් සමාගම බවුසර පුරවා අනවසරයෙන් රැගෙන යන්නේ ප්‍රදේශවාසීන්ගේ විරෝධතා පවා නොතකමිනි.

මෙවන් බලහත්කාරී ව්‍යාපෘතියකට, ජෙම්ෆීල්ඩ්ස් ආයතනය විසින් ‘ආචාර ධාර්මික මැණික් සඳහා අපගේ ආකෘතිය‘ මැයෙන් ප්‍රචාරණ වැඩ පිළිවලක් දියත් කෙරිණ.  එහි ‘ගෝලීය සන්නාහ නාම තානාපතිවරිය‘ලෙස පෙනී සිටිනා මිලා කුනිස් (Mila Kunis) ගේ ඩොලර් ලක්ෂ ගණන් වටිනා රත්නමය හිනාව ලංකා සිතියම මත වැටෙන්නට ඇති පැහැදිලි ඉඩකඩ සළකා මොසැම්බික් අත්දැකීම පසුබිමේ තබාගෙන,  දැන් ඉතින් අපට ලංකාව දෙසට හැරෙන්නට අවකාශ තිබේ.

ඒ පිළිබඳව ජෙම්ෆීල්ඩ් වෙබ් අඩවියේ වන ආකර්ශනීය උධෘත පාඨයම හොඳ පිවිසුම් දොරටුවකි.

ජෙම්ෆීල්ඩ්ස් සමාගමේ ලංකාවතරණය

‘‘කැණීම් සහ  මැණික් පිළිබඳ ජෙම්ෆීල්ඩ්ස් අත්දැකීම විසින් ප්‍රදේශයේ ජනතාවට මෙන්ම කලාපීය ආර්ථිකයටත් සැලකිය යුතු ප්‍රතිලාභ අත් කරදුන් සැම්බියා සහ මොසැම්බික් සාර්ථකත්වය පතුරුවා ලීම ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයේ අපේක්ෂාවයි‘‘ 

මේ සඳහන් වන මොසැම්බික් සාර්ථකත්වය දැන් අප කියවා අවසන් ය.  මේකී පාඨය තුළ ගැබ්ව ඇත්තේ නිර්ලජ්ජිත ධනවාදයේ කෘරතර උත්ප්‍රාසයයි.  ශ්‍රී ලංකාවේ රත්පුර ප්‍රදේශයේ මැණික් ආකර කැණීම සඳහා නුදුරේදී ඒමට නියමිතව සිටින්නේ මොසැම්බික් ජනරජය තුළ මිනීමරු කොල්ලකාරී සාර්ථකත්වයක් අත්පත් කරගත් ජෙම්ෆීල්ඩ්ස් සමාගමයි. 

ලංකාව සම්බන්ධයෙන් ඔවුන්ගේ පළමු කාර්යය සුපුරුදු පරිදිම  2014 දී පිහිටුවන ලද බවට වාර්තාවන ‘‘ඊස්ට් වෙස්ට් ජෙම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම‘‘  හා එක්වී ඒ වසරේම හවුල් ව්‍යාපාරයක් පිහිටුවාගැනීමයි.  ‘ජෙම්ෆීල්ඩ්ස් සමාගම ම පවසන පරිදි‘  ලංකාවේ පතල් කැනීම් බලපත්‍ර දහසයක 75% ක අයිතිය සතු ඔවුන්ගේ හවුල් ව්‍යාපාරය දිවයිනේ මැණික් කර්මාන්තය සඳහා ‘රත්නපුර ලංකා ජෙම්ස්ටෝන්ස් පුද්ගලික සමාගම‘ නම් සමාගම පිහිටුවාගෙන තිබේ. මෙම ‘රත්නපුර ලංකා ජෙම්ස්ටෝන්ස් පුද්ගලික සමාගම‘ට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය මේ වන විටත් ලැබී ඇත.  ශාම් ප්‍රනාන්දු නම් තැනැත්තෙකු සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කරන රත්නපුර ලංකා ජෙම්ස්ටෝන්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේ ලියාපදිංචිය පස්වැනි මහල, බටහිර අටල්ල, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, කොළඹ ලෙස සඳහන්ව තිබේ.

ජනාධිපති කියන්නේ ඇත්තද?

මාධ්‍යවේදී එස්ටාසියෝ වැලෝයි හා එක්ව මොසැම්බික් ගවේශනය මෙහෙයවූ කැලම් මැක්රේ JDS වෙත පවසා සිටි කරුණු බැරෑරුම්ව සළකා බැලිය යුත්තේ තවමත් මුළුමනින් ම අනාවරණය වී නැති රත්නපුර මැණික් ක්‍රියාවලිය හඹා යමේ ප්‍රවිශ්ඨයක් ලෙසිනි.

ඔහු මෙසේ පවසයි: ‘‘ජෙම්ෆීල්ඩ්ස් සමාගමේ රත්නපුරයට අදාල කාරණා ගැන ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් දෑට අමතරව වෙනත් කරුණු කිසිවක් මා නොදන්න බව අවධාරණය කළ යුතුයි. දැනට මට කියන්න පුළුවන් මගේ ගවේශනය හා අත්දැකීම් ආශ්‍රිත දේ පමණයි.  මේ සමාගමේ සාමූහික හා සාමාජීය වගකීම ගැන ලිඛිතව ඇති කරුණු උල්ලංඝනය වී ඇති බවත්, මොසැම්බික් ප්‍රජාව පසුවන්නේ එම සමාගම පිළිබඳව බලවත් අසතුටකින් හා අප්‍රසාදයකින් බවත් මට ඒකාන්ත වශයෙන්ම කිව හැකියි.  අපේක්ෂිත ප්‍රතිලාභවලින් අවම වශයෙන් සදාචාරාත්මකව හිමිවිය යුතු  පංගුවවත් ඔවුන්ට ලැබී නෑ.  අනික් අතින් ඔවුන්ගේ අවශ්‍යතාවන්ට අනුව ක්‍රියා කරන පොලීසිය සහ අනෙකුත් සන්නද්ධ හමුදා, මෙම සමාගමට පවරා ඇතැයි සැළකෙන භූමි භාගයේ අනවසරයෙන් කැණීම් සිදුකළ පතල් කම්කරුවන්ට වෙඩි තබා මරා දමන ලද ආකාරය මෙම ප්‍රදේශවාසීන්ගෙ අත්දැකීම් වලින්ම අපි දැනගත්තා.  ප්‍රදේශවාසීන්ගේ පැහැදිලි අදහස නම් පොලීසිය මුළුමනින්ම මැණික් පතල් කර්මාන්තයේ හිමිකාරයන්ට වාසිදායක ලෙස පාර්ශ්වීයව කටයුතු කරන බවයි.‘‘ 

එළඹෙන්නට නියමිත තත්ත්වය මොසැම්බික් ව්‍යසනය විසින් තවදුරටත් පැහැදිලි වනු ඇත. නමුත් මෙවන් තත්ත්වයක් ලංකාව තුළ උදා නොවන බවට දැවැන්ත ප්‍රතිඥාවක් තිබේ.  එය එසේ මෙසේ ප්‍රතිඥාවක් නොවේ, රටේ පළමු පුරවැසියාගෙනි.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව අවසාන වතාවට අවධාරණය කළේ ඉකුත් දෙසැම්බරයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පැවති ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේදී ය.

‘‘මා ජනාධිතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිත්වුණු මොහොතේ මැණික් පතල් කර්මාන්තය විදේශ සමාගම්වලට පවරා නොදෙන ලෙස මගෙන් ජනතාව ඉල්ලා සිටියා. මම එසේ නොකරන බවට ඔවුන්ට ප්‍රතිඥාවක් දුන්නා. මා ජනාධිපතිවරයා ලෙස පත් වූ විගසම වහාම නියෝග කළා එසේ විදේශ සමාගම් මැණික් කර්මාන්තයේ නිරතව සිටිනවා නම් එය වහාම අත්හිටුවන ලෙස.‘‘

මාධ්‍යවේදී ‘කැලම් මැක්රේ පවා ‘ජනාධිපතිවරයාගේ මෙම ප්‍රතිඥාව සාධනීය ලෙස දකී. නමුත් එය යථාර්ථයක් කරගන්නට නම් සමාජයක් වශයෙන් මැදිහත් විය යුතු බව ඔහු අවධාරණය කරයි. ඒ මෙලෙසිනි:

‘‘මගේ අවබෝධය පරිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ මතය ලංකාව තුළ සිදුවන මැණික් පතල් ක්‍රියාවලියේ පූර්ණ අධිකාරී බලය ශ්‍රී ලංකාව සතුවම පැවතිය යුතු බවයි.  ඔහු ප්‍රතිපත්තිමය වශයෙන් කටයුතු කරන බව පවසන්නේ තමන්ගෙ මේ මතය මත පදනම්වයි. ඒ ප්‍රතිපත්තිය යථාර්ථයක් කරගන්න නම් ශ්‍රී ලාංකිකයින් - විශේෂයෙන්ම රත්නපුරවාසීන් - ඔවුන්ගේ සාමාජීය, පාරිසරික හා ආර්ථික ඕනෑ එපාකම් සුරක්ෂිත කරගැනීමට විශාල වශයෙන් උනන්දු විය යුතු හා මැදිහත් විය යුතු බව මගේ දැඩි විශ්වාසයයි.‘‘

වැලෝයිගේ අනතුරු හැඟවීම

ඒ කෙසේවතුදු ජනාධිපතිවරයාගේ මෙම ‘ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් පසුත්‘,  මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අසංක වෙලගෙදර පැවසූයේ දේශීය ව්‍යාපාරිකයන් සහ සමාගම් හරහා රත්නපුරයට අත තැබීමට විදේශ සමගම් උත්සාහ දරමින් සිටින බව තමන්ට අණාවරණය වී ඇති බවයි. ප්‍රශ්නය ඒ කවුද යන්නයි.

‘මොසැම්බික් අත්දැකීම මත පදනම්ව ලංකාවේ රත්නපුරාවාසීන්ට මෙන්ම පොදුවේ ලාංකික සියල්ලන්ටම ඔබට පැවසීමට ඇත්තේ කුමක්දැ‘යි මම මොසැම්බික් මාධ්‍යවේදී වැලෝයි ගෙන් විමසා සිටියෙමි.  ඉක්බිති ඔහු කී සියල්ල එක ඡේදයක් වෙත හකුලාගත්තේ මෙලෙසිනි.

‘‘මොන්ටෙපුයේ තියෙන්නෙ කිසියම් ආකාරයක රාජ්‍යයක්  ඇතුලේ පවතින වෙනත් රාජ්‍යයක් වගේ. ජෙම්ෆීල්ඩ්ස් සමාගම වෙනුවෙන් පෙනී සිටින විවිධාකාර සන්නද්ධ බලකා හා කල්ලි ආයුද සන්නද්ධව හැසිරෙන්නේ යුදමය කලාපයක් වගේ.  මේ දේ ලංකාවෙ සිද්ධ නොවෙන්න නම් ඒ සඳහා වන පදනමක් මුල සිටම සකස්විය යුතුයි.  විනිවිදභාවය තමයි සුවිශේෂම කාරණය.  මුල සිටම එහෙම සැඟවුණු දේවල් තියෙන්න දෙන්න විදිහක් නෑ. මුලින්ම සමාජමය වගකීම් තහවුරු කෙරෙන ප්‍ර‍ජා සංවිධානයක් හදන්න ඕනි. දේශීය මානව හිමිකම් ක්‍රියාකාරීන්, පරිසරවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් එකට එකතුකර ගත්  පළල්  සංවාදයක් ඇරඹිය යුතුයි. ප්‍රථමයෙන්ම මෙම මැණික් සඳහා වන බදු මුදල් දේශීය ජනතාවගේ සුබ සිද්ධියට බැර විය යුතුයි. දෙවනුව මෙම මැණික් වෙන්දේසිවලදි රටේ ජනතාවට ලැබෙන්න නියමිත සහ ලැබෙන ප්‍රතිලාභ ගැන විනිවිදභාවයක් තිබිය යුතු යි. කොහොමටත් පතල් කැණීම් පිළිබඳ ගිවිසුම් මහජනතාවට විවෘත විය යුතුයි. ශ්‍රී ලංකිකයන් සියලු දෙනාටම තමන්ගේ පොළොව මත ඇත්තටම සිද්ධ වෙන දේ දැන ගැනීමට අයිතිය තිබිය යුතුයි. එසේ නොවුණොත් ලංකාවේ අත්දැකීම මොසැම්බික් ඉරණමට සමාන හෝ ඊටත් බියකරු එකක් වීමේ අනතුරක් මතුවිය හැකියි.‘‘

සහෝදර මාධ්‍යවේදී වැලෝයිගේ අවසාන වැකිය මම යළිත් මෙසේ අවධාරණය කරමි. ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාටම තමන්ගේ පොළොව මත ඇත්තටම සිද්ධ වෙන දේ දැන ගැනීමට අයිතිය තිබිය යුතුයි.

තවමත් ජෙම්ෆීල්ඩ්ස් ‘ආචාර ධාර්මික සිනහව‘ ලංකා සිතියම මත වැටී නැතැයි කාටවත් නිශ්චිතවම කිව නොහැකි ය. ජෙම්ෆීල්ඩ්ස් කොල්ලකාරීන් සිය  චාටු සිනහවත් සමඟින් ම මෙහි එන්නේ නම් මොසැම්බික්ගමනයේ හා ලංකාවතරණයේ ඇත්තේ එකම එක වෙනසක් පමණකැයි අවසාන වශයෙන් කිව යුතුව තිබේ. ඒ වනාහි ‘රතු මැණික්‘ වෙනුවට ‘නිල් මැණික්‘ සොයා එන ගමනකි.☐

මංජුල වෙඩිවර්ධන


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.