JDS Sinhala

මැතිවරණය, බල පෙරළිය සහ ජාතික ආණ්ඩුව ගැන ශේෂ පත්‍රයක්

ව ජනාධිපතිවරයෙක් මෙන්ම නව රජයක්ද බලයට පත් වී දැන් අවසාන ය. ඒ 'යහපාලන ආණ්ඩු සංකල්පය' සමාජගත කරමින්, සමාජයේ විවිධ පාර්ශවයන්ගේ ආශිර්වාදය සහ දායකත්වය සහිතව දියත් කෙරුණු සහයෝගිතා ව්‍යාපාරයන් ගණනාවක ප්‍රතිඵලයක් ලෙස ය. ඒ මැතිවරණයන් දෙකේම ප්‍රධාන සටන් පාඨ වූයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමත්, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍ය සුරැකීමත් මහා පරිමාණයෙන් සිදුකෙරුණු වංචා දුෂණයන් සම්බන්ධයෙන් කරුණු සොයා බලා වරදකරුවන්ට දඬුවම් පැමිණවීමත් යන කාරණා ය.

ජනවාරි අට වැනිදා පැවති ජනාධිපතිවරණය මෙන්ම අගෝස්තු 17 වැනි දා පැවති පාර්ලිමේන්තු මැතිවරණයත්, 'යහපාලන ක්‍රමයක්' පිළිබඳ සටන් පාඨයට පක්‍ෂව හඬ නැගුවනට අනුව කල්පනා කරතොත් ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ එක් සුවිශේෂී කඩ ඉමක් සනිටුහන් කළා සේ සැළකේ. වෘත්තීය සමිති ක්‍රියාකාරීන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, ජනමාධ්‍යවේදීන්, බෞද්ධ භික්ෂුන්, සිවිල් සහ බහුජන සංවිධාන නියෝජිතයන් ද ඇතුළු බොහෝ පිරිස් යට කී 'වෙනස' සහ 'නව දේශපාලන සංස්කෘතිය' වෙනුවෙන් වීදි බසිනු ලැබුවේ එතෙක් පැවති දේශපාලන අවභාවිතාවන් නිවැරදි වෙතැයි අපේක්‍ෂාවක් සහිතව විය හැකි ය. ජනවාරි අට වැනිදා ලැබුවා වු ජයග්‍රහණය ආපස්සට හරවන්නට ඉඩ නොදිය යුතු බවට ගෙනගිය උද්වේගකර මැතිවරණ ව්‍යාපාරය එහි  ප්‍රතිඵලයකි.

කෙසේ වෙතත් මේ වන විට ජනාධිපතිවරණය අවසන්ව නව මසක් ගෙවී ගොස් ඇති අතර පාර්ලිමේන්තු මැතිවරණය නිමා වී දැන් මාසයකි. නමුත් මැතිවරණ සමයේ ප්‍රතිමල්ලවයන් සේ දේශපාලන කඳවුරු බෙදී තිබූ රටාව අවසානයකට ගෙනෙමින්  දැන් යළිත් පක්ෂ - විපක්ෂ සියල්ලෝ එක් පිළකට ගොනුවෙමින් සිටිති. ‘වෙනස’ පිළිබඳ සටන් පාඨය තවදුරටත් පැවති අර්ථයෙන් යථාර්ථයක් නොවන්නේ ඒ නිසා ය. රාජපක්‍ෂ පාලනයේ දුර්ගුණ සම්මුති විරහිතව අගෝස්තු 17 වැනිදා තෙක්ම ආරක්‍ෂා කළෝ, දැන් රාජපක්‍ෂ විරෝධීන් හා හවුලේ ‘ජාතික ආණ්ඩුවේ’ මැති ඇමති ධුර උසුලති.

'ජාතික ආණ්ඩුව චර්යා ධාර්මික පිළිවෙත් උල්ලංඝණයක්' - මහාචාර්ය උයන්ගොඩ

ජාතික ආණ්ඩුව ගැන JDS, මහචාර්ය ජයදේව උයන්ගොඩගේ අදහස් විමසා සිටියේ නව සන්ධානය විසින් මතු කරන බව පෙනෙන සංකීර්ණතා පිළිබඳ ඔහුගේ ආකල්පය දැනගනු අටියෙනි.

“ඇත්තෙන්ම ජාතික ආණ්ඩු සංකල්පය මේ මොහොතේ විශාල ගැටළු ගණනාවකට මුල පුරා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය මැතිවරණයට පෙර සිටම තමන්ට ලැබිය හැකි ප්‍රතිඵල පිළිබඳ යම් තක්සේරුවක් ඇති කැරගෙන තිබුණු බවයි මගේ විශ්වාසය.ඒ අනුවයි ඔවුන් ජාතික ආණ්ඩුවකට ගමන් කරන්නේ”, ඔහු කියයි.

ඇතිවෙමින් තිබෙන ජාතික ආණ්ඩු සංකල්පය තමන්ට පිළිගත නොහැකි එකක් යැයි කියා සිටින උයන්ගොඩ එවැනි ක්‍රියාමාර්ගයක් කරා නව ආණ්ඩුව ගමන් කිරීමට හේතු ලෙස ගෙන හැර දක්වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ ද තමන් වෙත ලැබුණා වු  බලය රැක ගැනීමේ අරගලයක නිරත වීමයි. අනෙක් අතින් කිසිදු පාර්ශවයකට පැහැදිලි බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමත් ජාතික ආණ්ඩු විකල්පය තෝරා ගැනීමට හේතු වන්නට ඇතැයි ඔහු කියා සිටියි.

“මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර එක්සත් ජනතා නිදහස් සංධානයේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් නායකත්වය උදෙසා තියෙන්නේ බලවත් ගැටුමක්. ජනාධිපතිවරයාගේ උපාය මාර්ගය තමයි පක්ෂ නායකත්වයේ බලතල උපයෝගි කොටගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටස් ජාතික ආණ්ඩුවකට එකතු කර ගැනීමට කටයුතු කිරීම. නමුත් මැතිවරණයෙන් පරාජිත පුද්ගලයන්ව ජාතික ලැයිස්තුව ඔස්සේ පාර්ලිමේන්තුවට ගෙන ඇමතිධුර ලබා දීමත් කිසිසේත් යහපත් දෙයක් නොවෙයි. මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වුණ යහපාලනය මේක නොවන බවයි මගේ හැඟීම. අනෙක මේ බොහෝ දෙනෙක් ජාතික ආණ්ඩුවට එකතු වෙන්නේ වෙන කිසිම දෙයකට නොවෙයි, ඇමති තනතුරක් අරගෙන මුදල් හම්බ කිරීමටයි".

පසුගිය කාලය පුරාවටම යම් දේශපාලන ව්‍යාකූලත්වයක් පැවතියද එය මැතිවරණ ජයග්‍රහණයන් තුළින් සැළකිය යුතු තරමකින් පහව ගිය බවත් දේශපාලන බැඳීම් ආදිය පරාජයට පත්වු බවත් උයන්ගොඩගේ අදහසයි. නමුත් මේ මොහොතේ ඇති වෙමින් තිබෙන තත්ත්වය දේශපාලන වශයෙන් යහපත් හෝ සදාචාර සම්පන්න එකක් නොවේ යැයි ද ඔහු කියයි.

“මෙවැනි බෙදීම් සහිත තත්ත්වයකදි ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරිම යහපාලන මූලධර්මය විසින් ඉදිරිපත් කරන මූලික ‘චර්යා ධාර්මික සංකල්පයන්' උල්ලංඝණය කිරිමක් ලෙසයි මා දකින්නේ. අපේ රටේ ඡන්දදායකයන් මුහුණදෙන ගැටළුවක් තමයි තමන් අගේ කරන ප්‍රජාතන්ත්‍රීය දේශපාලනය පිළිබඳව චර්යා ධාර්මික මුලධර්මයන්ට මුල්තැන දෙනවාද, නොඑසේනම් ආණ්ඩුවක් ස්ථාවර කිරිමේ ප්‍රායෝගික ක්‍රියාවලියකට මුල්තැන දෙනවාද කියන එක".

කොළඹ කේන්ද්‍රීය දේශපාලනය

නව ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා යම් කාර්යභාර්යක් ඉටු කළ විවිධ බලවේගයන් තුළ වැඩෙන අපේක්ෂා භංගත්වය ගැන විමසනු ලදුව උයන්ගොඩ කියා සිටින්නේ එය ඉදිරිය සම්බන්ධයෙන් ඉන් එහා ගිය බරපතල විචිකිච්ඡාවක් ද ජනිත කොට ඇති බවයි.

“ඒකට හේතුව තමයි ඔවුන් යහපාලන  මුලධර්මයක් වෙනුවෙන් පෙනී සිටින බව පැවසුවත් ප්‍රායෝගික දේශපාලනයේ ඇතිවන ගැටළු පිළිබඳව ජනතාව දැනුවත් නොකිරීම' ඔහු කියයි.

යහපාලන ආණ්ඩුකරණය හෝ නීතියේ ආධිපත්‍යය ප්‍රතිෂ්ඨාපනය පිළිබඳව හෝ දියත් කෙරෙන සියළු සංවාදයන් දකුණේ සිංහල කේන්ද්‍රීය ‍බවක් පෙන්නුම් නොකරෙන්නේදැයි ජේඩිඑස් විමසීය.

"මම එකඟ වෙනවා. ලංකාවේ දේශපාලනය කොහොමටත් කොළඹ කේන්ද්‍රීයයි. ඇත්තෙන්ම මේ රජය කළ යුතුව තිබුණේ පරාජිත දේශපාලනඥයන් ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරිම නෙවෙයි, දෙමළ ජාතික සන්ධානයට ආණ්ඩුව සමඟ එකතු වන්නට ඇරයුම් කිරීමයි. ජාතික ආණ්ඩුවක් යැයි කිව හැක්කේ එවිටයි''.

'ජාතික ආණ්ඩු සටන් පාඨය ආවේ කොහෙන්ද?' - ජෝසෆ් ස්ටාලින්

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් කල්පනා කරන්නේ මේ වර්ධනය වන ඉච්ඡා භංගත්වය නොවැළැක්විය හැකි බවයි. ‘’වෙනත් කාරණා පසෙකින් තිබ්බත්, අලුත් ආණ්ඩුවේ ඇමති තනතුරු සංඛ්‍යාව විතරක්ම වුණත් බොහෝ දෙනෙක් විස්මයට පත් කොට තිබෙනවා. ඒකෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය දුන් ජනතාවගේ ප්‍රමුඛතාවයන් සහ ආණ්ඩුවේ ප්‍රමුඛතාවයන් අතර විශාල පරස්පරතාවයක් තියෙන බවයි”, ඔහු පවසයි.

පසුගිය රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් ගැනත්, දුෂණ වංචා සහ අක්‍රමිකතාවයන් ගැනත් හඬ නගමින් බලයට පැමිණි එක්සත් ජාතික යහපාලන පෙරමුණ පැරණි ආණ්ඩුවේ චෝදනා ලත් පුද්ගලයන් නව ආණ්ඩුවේ කොටස්කරුවන් බවට පත් කරගැනීම රාජපක්ෂ ආණ්ඩුව බලයෙන් පහ කරන්නටත් දායක වුණු ජනතාවගේ අභිලාෂයන්ට එල්ල කළ අතුල් පහරක් බව ස්ටාලින්ගේ අදහසයි.

"සමස්ත මැතිවරණ ව්‍යාපාරයේම කේන්ද්‍රය වෙලා තිබුණේ කලින් පැවති ආණ්ඩුව දකුණේ ඔවුන්ගේ විරුද්ධවාදීන් ඉලක්ක කොට ගෙනගිය ප්‍රජාතන්ත්‍ර විරෝධී අකටයුතුකම් සහ මැරකම් අවධාරණය කිරීමයි. තාජූඩීන් ඝාතනය, එක්නැලිගොඩගේ අතුරුදහන් වීම ආදිය ගැන මැතිවරණයට පෙර සැළකිය යුතු ඝෝෂාවක් තිබුණා. නමුත් දැන් ටික ටික ඒ ඝෝෂා යටපත්ව යමින් තිබෙන බවත් දකින්න පුළුවන්. මෙතන තියෙන ප්‍රශ්නය තමයි, පසුගිය  ආණ්ඩුව යටතේ මේ කියන අක්‍රමිකතා සහ භීෂණයන්ට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වු අය දැන් ක්‍රමයෙන් මේ ආණ්ඩුවේත් කොටස්කරුවන් වෙමින් ඉන්න තත්ත්වයක් තුළ ඔවුන්ගේ අතීත ක්‍රියාකලාපයන් ගැන විධිමත් පරීක්‍ෂණයන් පෙරට ගෙන යාමට හැකිවේදැයි කියන එක. 17 වැනිදා තෙක් අහන්න නොතිබුණු ජාතික ආණ්ඩුවක් ගැන සටන් පාඨය දැන් දේශපාලනයේ ප්‍රධානතම හා වැදගත්ම දේ බවට පත් වුණේ කොහොමද කියන ප්‍රශ්නයට කලින් ආණ්ඩුව පරාජයට පත්කරන්න වැඩ කරපු පිරිස්වලට උත්තරයක් නැහැ.”

දකුණේ නිරුපද්‍රිත අන්තවාදය

ඇතැමුන් කල්පනා කරන්නේ මැතිවරණ ප්‍රතිඵල විසින් දකුණේ සිංහල බෞද්ධ අන්තවාදයේ පරාජය සංකේතවත් කරන බවයි. උදාහරණයක් ලෙස බොදු බල සේනා සංවිධානය මේ මැතිවරණයේ දී බොදු ජන පක්ෂය නමින් මැතිවරණයට තරඟ කොට 30,000ක ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීම එම පරාජය හකුළා දක්වන බව ඔවුහු කියති.  නමුත් ලංකා ගුරු සංගමයේ ලේකම්වරයාමේ අදහසට ප්‍රති විරුද්ධ මතයක් දරයි. 

“බොදු බල සේනාවේ පීතෘත්වය හිමිවන මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය අන්ත වර්ගවාදය මොළවලා හතළිස් ලක්‍ෂයක් ඉක්මවා ඡන්ද ගන්නට සමත් වෙනකොට සිංහල අන්තවාදයේ ශක්තිය බොදු බල සේනාවේ ඡන්ද ප්‍රමාණයෙන් හොයන්න පුළුවන්ද?” ඔහු විමසයි.

"බොදු බල සේනාවේ තාත්තා තමයි මහින්ද රාජපක්ෂ. තාත්තා දිනුම්. ඉතින් කොහෙද අන්තවාදය පරාජයට පත්වෙලා තියෙන්නේ? මේ මැතිවරණයේදි රාජපක්ෂ සම්පුර්ණයෙන්ම අවධාරණය කළේ රට පාවාදීමේ සැළැස්මක් තියෙන බව සහ ඒ සැළැස්ම පරාජය කරන්න නම් තමන්ගේ සන්ධානය ජයග්‍රහණය කරවීම අත්‍යවශ්‍ය බවයි. ඒ ප්‍රචාරක ව්‍යපාරය හරහා වර්ගවාදය, අන්තවාදය උපරිමයෙන් උත්සන්න කළා. එහෙම කරලා තමයි, ඡන්ද ලක්‍ෂ 47ක් දිනා ගත්තේ. දැන් ආණ්ඩුකරන පක්‍ෂයට වැඩියෙන් ලැබුණේ ලක්‍ෂ තුනයි. යහපාලන පෙරමුණෙත් එක්ක සන්ධාන ගතවුණු සිංහල අධිපතිවාදී දේශපාලන බලවේග ගැන යථාර්ථය පැත්තකින් තිබ්බත්, සිංහල වාර්ගික අන්තවාදයේ ජය පැරදුම නිසියාකාරව තක්සේරු කරන්න අවශ්‍ය නම් බලන්න ඕනේ මහින්දගේ මැතිවරණ ව්‍යාපාරයට ලැබුණු සමාජ ප්‍රතිචාරය සහ අනුමැතිය මිසක් බොදු බල සේනාව ලබාගත් ඡන්ද සංඛ්‍යාව නොවෙයි. ඒ අර්ථයෙන් මේ මැතිවරණයේදි ඔය කියන ආකාරයේ පරාජයක් දකුණේ අන්තවාදි බලවේගවලට හිමිවුණු බවක් අපිට නම් පෙනෙන්න නැහැ".

'රාජපක්ෂ විරෝධී ඡන්දය මුස්ලිම් ඒකමතිකත්වයේ තීන්දුවක්' - ජාවේඩ් යූසුෆ්

කෙසේ වුවද පොදුවේ ගත් කල සිංහල නොවන ජනයාගේ ඡන්දය රාජපක්‍ෂ විරෝධී ඡන්දයක් වශයෙන් මෙම මැතිවරණයේදී ද භාවිතා වූයේ ඇයිදැයි වටහාගැනීම දුෂ්කර නොවේ. රාජ්‍ය තාන්ත්‍රික සේවයේ මෙන්ම, කලක් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු  සමාජික මෙන්ම මුස්ලිම් සාම මහ ලේකම් කාර්යාලයේ  මහ ලේකම් පදවිය ඉසිලු ජාවෙඩ් යුසුෆ් ජාතික ශූරා සභාවේ සාමාජිකයෙකු වශයෙන් ක්‍රියා කරයි. ඔහු පවසන්නේ මැතිවරණයට පෙර සිටම මුස්ලිම් ජනතාව මහින්ද රාජපක්ෂ මෙන්ම ඔහුගේ රැකවරණය ලබන සංවිධානයන්ද දේශපාලන වශයෙන් පරාජය කිරිමට යම් ඒකමතිකභාවයක පිහිටා සිටි බවයි.

"පසුගිය ආණ්ඩු සමයේ බොදු බල සේනා වැනි සංවිධානයන් වෙතින් මුස්ලිම් ජනතාව ඉලක්ක කරමින් එල්ල වු ප්‍රහාරයන් නිසා අපි මානසිකවත් සිටියේ පිරිහුණු තත්ත්වයකයි. ඒ දවස්වල අපේ ආගම ඇදහීම විතරක් නොවෙයි, සාමාන්‍ය එදිනෙදා ජිවිතය පවා ඉතාමත් ආතතියක් යටතේයි  තිබුණේ. එහෙම දෙයක් අපට මතක ඇති ඉතිහාසයේ කවරදාකවත් සිදුවෙලා නැහැ. ඒ නිසා මුස්ලිම් ජනතාව හැම කෙනෙක්ම වාගේ තීන්දුවකට එළඹ තිබුණා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ ජයග්‍රහණයට දායකත්වක් නොදෙන්න. මෙහි පළමු පියවර තමයි ඌව පලාත් සභා මැතිවරණය. ඒ දවස්වල ආණ්ඩුවේ හිටපු මුස්ලිම් ක්‍රොංගස් එක පැරදුනේ ඇත්තටම ඒ නිසායි. අපිට අවශ්‍ය වුණා මේ තත්ත්වය වෙනස් කරන්න. ඒ නිසයි ජනවාරි අට වැනිදා අපි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වෙනුවෙන් ඡන්දය දුන්නේ. ෆවුසි, හකීම්, රිෂාඩ් බදුර්ඩීන් වැනි මුස්ලිම් නායකයෝ ඉඳලත් මහින්ද රාජපක්ෂ මුස්ලිම් ප්‍රජාව තුළ පැරදුනේ අපි ගත් ඒකමතික තීන්දුවක් නිසායි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදිත් අපි ඒ ආකාරයටම ඡන්දය භාවිතා කළා".

පෙර පැවති රජයේ ප්‍රබල අමාත්‍ය තනතුරු දරමින් ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාතීන්ට, ආගමිකයන්ට එරෙහිව වෛරී සහගත ආකාරයෙන් කටයුතු කළ - විශේෂයෙන්ම  මුස්ලිම් සහ දෙමළ ජනතාවට එරෙහි සිංහල සැකය සහ වෛරී ආකල්ප ඇවිළ වූ - පුද්ගලයන් දැන් යළිත් යහපාලන ආණ්ඩුවෙත් සිටීම ජාතීන් අතර සබඳතාවන්ට බාධා නොකරන්නේද? ජාවෙඩ් යුසුෆ් කියා සිටින්නේ ජාතීන් අතර සමානත්වය තහවුරු කිරීම ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා වචනයෙන් නොව, ක්‍රියාවෙන් ඔප්පු කොට පෙන්විය යුතු බවයි.

"ජනාධිපතිවරයායි, අගමැතිවරයායි නිතරම කියනවා ජාතිවාදයට තවත් ඉඩක් නැති බව. නමුත් ඒක ප්‍රායෝගිකව පෙන්වීම ඔවුන්ගේ වගකීමක්. අපි දන්නවා චම්පික රණවක වැනි අමාත්‍යවරුන් පසුගිය ආණ්ඩුව තුළ හැසිරුනේ කොහොමද කියලා. ඔවුන් මේ ආණ්ඩුව යටතෙත් ඇමති ධූර හොබවන බව ඇත්ත. මැතිවරණයේදි චම්පික රණවක සුපුරුදු විදියට අන්‍ය ජාතීන්ට විරුද්ධව කතා නොකළත්, අද වෙනකම් අපිට දකින්නට ලැබිලා නැහැ ඔහු පරණ අදහස් වෙනස් කළ බවක්. මෙතැනදි වැදගත් වෙන්නේ හුදෙක් ජාතිවාදිව ප්‍රකාශ නොකර සිටීම ම නොවෙයි, ඒ ආකල්පවල ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී බව මූලධාර්මිකව වටහාගෙන ඉන් වෙනස් වු බව පෙන්වීමයි. මේ කියන අයගෙන් එහෙම දෙයක් තවමත් හැඟවිලා නැහැ. එය මුස්ලිම් ජනතාවට විතරක් නොවෙයි, දෙමළ ජනතාවටත් බරපතල ප්‍රශ්නයක් සහ අභියෝගයක්".

'පිළිවෙත් වෙනසක් නැති බව දැන් පැහැදිලිද?' - නජිත් ඉන්දික

රාජපක්ෂ විරෝධී ස්ථාවරයක පිහිටා සිටිමින් වුණත්, යහපාලන ජාතික පෙරමුණ පිළිබඳ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණඩලය විසින් දරන ලද විවේචනාත්මක ආස්ථානය  රාජපක්‍ෂ විරෝධී ඇතැම් දේශපාලන බලවේග විසින් සළකන ලද්දේ 'අන්ත වාමවාදී' ස්ථාවරයක් වශයෙනි. දකුණේ සරසවි ශිෂ්‍ය කොටස් අතර මූලික වශයෙන් පදනම්ව කටයුතු කරන අවිවිශිබම, මැතිවරණ මොහොතේ දරණ ලද සිය ස්ථාවරය පිළිබඳ ප්‍රති තක්සේරුවක යෙදෙන්නේදැයි අවිවිශිබම කැඳවුම්කරු නජිත් ඉන්දිකගෙන් JDS විමසා සිටියේ නව ආණ්ඩුව පත් වී මාසයක් ගත වී ඇති හෙයිනි.   

“ශිෂ්‍ය ව්‍යාපාරය නියෝජනය කරන බලවේගයක් විදියට අපේ ස්ථාවරය වුණේ මැතිවරණවලදි ප්‍රධාන පක්ෂ දෙකටම කිසිදු සහයක් නොදිය යුතුයි කියන එකයි.නමුත් වසර 10 පමණ කාලයක් මුළු රටම ඒකාධිපතියෙක් ලෙස පාලනය කරමින් මිනිසුන්ව ඝාතනය කරපු,අතුරුදහන් කරවපු,සාමාන්‍ය ජනයාගේ අයිතින් පාගා දමමින් මර්දනයෙන්,හිංසනයෙන්,බලහත්කාරයෙන් රට පාලනය කරපු මහින්ද රාජපක්ෂ පරාජය කළ යුතුයි කියන දැඩි ස්ථාවරයේ අපි කොහොමටත් සිටියා.ඒ වෙනුවෙන් අපි සමාජයේ අනෙකුත් බලවේගයන්,කණ්ඩායම් සමග එකතුව විරෝධතාවයන් ගණනාවක් දියත් කරනු ලැබුවා.අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ශිෂ්‍ය ව්‍යාපාරය විදියට අපි ගෙන ගිය අරගලයත් අවසානයේ තමන්ගේ සාක්කුවට දාගෙන තමයි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිරිස් බලයට පත්වෙන්නේ."

අන්තරයේ කැඳවුම්කරුට අනුව අන් සමානකම් පසෙකින් තැබුව ද, ශිෂ්‍ය අයිතීන් සම්බන්ධයෙන් මේ දෙපාර්ශවයෙහිම ප්‍රතිපත්තිමය වෙනසක් නැති බව දැන් වනවිට තහවුරු වෙමින් තිබේ.

"ශිෂ්‍ය ව්‍යාපාරය විදියට අපි මේ ව්‍යාජ භේදවීම ගැන කී දේ නිවැරදි බව මේවන විට ඔප්පු වී අවසන්.ඔය කියන කිසිම යහපාලන වෙනසක් තවම වෙලා නැහැ.මෛත්‍රිපාල සිරිසේන බලයට පත්වෙලා මාසයක් ගියේ නැහැ ශිෂ්‍යයන්ට එළව එළව ගැහුවා.ඒක තමයි ඇත්ත තත්ත්වය".

'ධීවරයන්ට වෙඩි තියන්න කතා කළ ඇමතිත් දැන් යහපාලනයේ' - අරුණ රොෂාන්ත 

රාජපක්‍ෂ පාලන තන්ත්‍රයේ පිළිවෙත් හා ගැටීම හේතුවෙන් ජීවිත වන්දි ගෙවූ ධීවර ප්‍රජාව නියෝජනය කරන සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය පැවති පාලනය පෙරළා දැමිය යුතු බවට සම්මුති විරහිත ස්ථාවරයක සිට ජනාධිපතිවරණයේදී මෙන්ම මැතිවරණයේදී ද කටයුතු කළ බලවේගයකි.සංගමයේ සභාපති අරුණ රොෂාන්ත කියා සිටින්නේ බලයට පත්වන කිසිදු ආණ්ඩුවක් ධීවර ජනතාවගේ ගැටළු සහ ඉල්ලීම් වෙනුවෙන් සධාරණ විසඳුමක් ලබා දීමට මේ දක්වා කටයුතු  නොකළ බවයි.ධීවර ප්‍රජාව මුහුණ දී ඇති ප්‍රශ්න පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් බැලූ විට ප්‍රශ්න විසඳනු වෙනුවට සහනාධාරයක් ලබා දී වගකීමෙන් මිදෙන්නට දරණ උත්සාහයන්ට වැඩිමනත් වෙනස්කමක් ආණ්ඩු පෙරළිවලින් බලාපොරොත්තු වීම දුෂ්කර බව ඔහු කියයි.

"ධීවර වෘත්තිය දියුණු කරන්න කිසිම රජයකට පැහැදිලි ප්‍රතිපත්තියක් නැහැ.මේ ආණ්ඩුවේත් ඒ ලක්‍ෂණය අපි දකිනවා.පසුගිය මැතිවරණ වේදිකාවල වුණත් ධීවරයන් ගැන හෝ ධීවර කර්මාන්තයේ ප්‍රශ්න ගැන හෝ කිසිවෙක් අවධාරණයෙන් කතා කෙරුවේ නැහැ.නමුත් හැමෝම කතා කරන්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නේ කොහොමද කියලායි.හැම රජයකටම අවශ්‍ය වෙලා තියෙන්නේ ධීවරයන්ව මුහුදෙන් පන්නලා මුහුදයි,වෙරළ තීරයයි ව්‍යාපාරිකයන්ට විකුණන්න.ඒක මේ ආණ්ඩුවත් දැන්මම පටන් අරන් ඉවරයි.උදාහරණයක් විදියට වරාය නගරය ව්‍යාපෘතියට ධීවරයෝ හැටියට අපි එකහෙළා විරුද්ධයි.එයින් සිදුවන විනාශය අපි දකිනවා.නමුත් අපිට තියෙන ප්‍රශ්නය තමයි ඒ ව්‍යාපෘතිය විවේචනය කරමින් බලයට ආව මේ ආණ්ඩුවත් දැන් කිසිම ලැජ්ජාවක් නැතිව ඒ සැළැස්ම ක්‍රියාත්මක කරන්න උත්සහ දැරීම''.

රාජපක්ෂ විරෝධය ධීවර ජනයා අතර මුල් බසින්නට එක් හේතුවක් වූයේ තම අයිතීන් වෙනුවෙන් වීදි බට අවශේෂ බලවේගයන්ට මෙන්ම ධීවර ප්‍රජාවට ද කලින් බලයේ සිටි ආණ්ඩුව යටතේ මර්දනකාරී තාඩන පීඩනයන්ට මුහුණ පෑමට සිදුව තිබීම බව අරුණ රොෂාන්ත පෙන්වා දෙයි.නමුත් නව රජය යටතේ තම ජීවිකාවේ සුරක්‍ෂිතතාව හෝ නිදහස් දිවි පෙවෙතකට ඇති අයිතිය ගැන සුභවාදි තත්ත්වයක සේයාවක් හෝ තවමත් දක්නට නොමැති යැයි ඔහු කියන්නේ චෝදනාත්මකව ය.

"හලාවත ඇන්ටනිලට වෙඩි කාලා මැරෙන්න වුණේ මහ වරප්‍රසාද ඉල්ලලා නෙවෙයි.ධීවරයගේ එදිනෙදා ජීවිතයේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැහැලා සටන් කරපු නිසායි.අද මොන ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කෙරුවත් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැහැපු මිනිසුන්ට මේ ආණ්ඩුව තවම සහතිකයක් දිලා නැහැ 'අපි උඹලගේ දුක් ගැනවිලි සම්බන්ධයෙන්, යුක්ති සහගත ඉල්ලීම් වෙනුවෙන් සාධාරණය ඉටුකරනවා' කියලා.අපිට තවමත් තියෙන්නේ අවිශ්වාසයක්. ඇන්ටනිලට වෙඩි තියලා මරලා දාපු වෙලාවේ ධීවර ඇමතිවරයා විදියට කටයුතු කරපු රාජිත සේනාරත්න එදා පාර්ලිමේන්තුවෙදි කිවුවේ ධීවරයෝ බෝම්බ ගෙනාවා,කඩු ගෙනාව කියලායි.අපේ නම් පවා පෞද්ගලිකව සඳහන් කරමින් අපිව අත්අඩංගුවට ගන්න අවශ්‍යයි කියලා සේනාරත්න ඇමතිවරයා එදා කිව්වා.සන්නද්ධ හමුදාව හා පොලිසිය යොදවලා ධීවරයන්ට වෙඩි තියලා මරන්න ඕනි කියලා ප්‍රකාශ කරන්න ධීවර ඇමතිලා පත් කරපු රටක් මේක.ඒ අයම තමයි දැන් ප්‍රජාතන්ත්‍රවාදයට තමන් කැප වී සිටින ප්‍රමාණය ගැන අද කතා කරන්නේ.ඉදිරිය ගැන සැකයක් හැරෙන්න විශාල බලාපොරොත්තු අපිට නැත්තේ ඒ නිසායි."

සහේතුක විවේචනය රාජපක්‍ෂවාදයක්ද?

ආණ්ඩු වෙනසක් අපේක්‍ෂාවෙන් දකුණු ලංකාව වසා නැඟ ආ උද්වේගී වඩදිය රැල්ල දැන් සෙමින් බැස යන්නට පටන්ගෙන ඇති සෙයක් පෙනේ. මැතිවරණ උද්යෝගය අවසානයේ පැරණි දේශපාලනය අලුත් වටයකින් ස්ථාවර වෙමින් ඇති බවට කෙරෙන චෝදනා 'රාජපක්ෂවාදී ප්‍රචාර' සේ අවමන් කොට බැහැර කළ නොහැක්කේ ඒ චෝදනා නඟන බහුතරයක් දෙනා රාජපක්‍ෂ පාලනය අවසන් කිරීම වෙනුවෙන් කැපව ක්‍රියාකළවුන් වන නිසා ය. මැඩලිය නොහෙන ලෙස නැඟ ආ මහජන විරෝධයෙන් පහර කා බලයෙන් බැස ගිය ප්‍රජා පීඩක රාජපක්ෂ පාලනයේ කොටස්කාර බලවේගයන් දැන් අලුත් වෙසින් 'යහපාලන ආණ්ඩුව' යටතේ ද සුරක්‍ෂිත ක්ෂේම භූමි සොයාගෙන ඇති සෙයකි.

නව ආණ්ඩුවේ පිළිවෙත් මුල්කොට ගෙන වැඩෙන අවිශ්වාසයේත්, සැකයේත්, අපේක්‍ෂා භංගත්වයේත් කෙඳිරුම් පිටුපස කැකෑරෙන සහේතුක කෝපය සහ රාජපක්ෂවාදී සාප කිරීම් අතර වෙනසක් තිබේ.ඒ වෙනස ගැන ප්‍රකෘති සිහියෙන් කල්පනා කරන්නට දකුණු ලංකාව පෙළඹෙනු ඇත්තේ කවදාදැයි තවමත් කිව නොහැකි ය.☐

කිත්සිරි විජේසිංහ


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.