JDS Sinhala

මැතිවරණ මුරුගසන් වර්ෂාව පහව යන්නට පෙරාතුව

ප මේ ‘උද්වේගකර’ සමයේ කරන්නේ මොනවාදැයි දැනගැනීමට බොහෝ කුහුල් සිතැත්තෝ ඉව අල්ලති. අප කිසිවක් නොකරන බව කීවද ඔවුහු නොපිළිගනිති. ඉදින් අප කරමින් නොව කල්පනා කරමින් සිටින දේ ලියාතැබිය යුතුයයි අපි තීරණය කරමු.

ඒ සඳහා මම මගේම සිතිවිලි දෙස එකත්පස්ව බලාසිටිමි. එවිට මේ ‘උද්වේගකර’ මොහොත ගැන අසංවිධිත සිතිවිලි දහරක් ම’සිත සිසාරා පාවෙමින් තිබී මට හමුවෙයි. මම ඒවා මෙයාකාරව පෙළගස්වමි.

එහි ආරම්මණය දේශපාලන ජිම්නාස්ටික්කාරයන් නම් නොවේ. ඒවා ප‍්‍රමුඛව, අපත් සමඟ කාලයක් ගැවසුණු, අපට සමීප තැන්වල නැවතුණු, අපට සමාන්තරව ආගියවුන් ආරම්මණ කොට ගනී. තවද, කලෙක අප ආගිය තැන්වලට මෙදා යන එන, කලෙක අප හා සිටියවුන් සමඟ මෙදා ගැවසෙන, භෞතික දුර විනිවිදිමින් අපට සමාන්තරව යන එන්නවුන් අර්ධ වශයෙන් ආරම්මණකොට ගනී.

වෛෂයිකව මේ සිතිවිලි, කල් මෝරන්නට කලින් කඩාපාත් වූ ඡන්දයක් පසුපස්සේ වැටෙන්නට සිදුවූ නිසා ඉහත අරමුණුගත සහෘද කැළත අතින් අත්හැරී, මඟහැලී යන බොහෝ සිල්ලර දේවල් ගැනය. ‘‘මේ උද්වේගකර මොහොතේ සිල්ලර දේවල් මහා බක්කක් සේ ගතයුතුදැ’’යි, ඔබ නොරිස්සුම් වනු ඇත. පිළිතුරකට කලින් මේ ඡන්ද කලබල අව්අස්සේ ඔබ අතින් බැරිවී, අත්හැරී, මඟහැලී වැටෙන්නේ මොනවාදැයි අපි බලමු.

පොදු අපේක්ෂාවක් ගැන අදහස කාලාන්තරයක් තිස්සේ සූත‍්‍රගතකළේ ඔබ ය. ඒ කතිකාව ‘පොදු අපේක්ෂකයකුගේ’ තැනට ලූහුවෙද්දී ඊට එරෙහිව පොදු අපේක්ෂාවම වැදගත් බව තහවුරු කරන්නට වැර වැඩුවේ ඔබය. ධාරානිපාත වරුසාවක් මෙන් ඡන්දය කඩාවැටුණේ ඔය අව්අස්සේය. ඔව්, පොදු අපේක්ෂාවකින් කිතිකැවී, ඔදවැඞී, එඩිවැඞී සිටි ඔබ කෙසේනම් ඡන්ද ධාරානිපාතයේ නොතෙමී ඉන්නද? ඉදින් ඔබ හොඳහැටි තෙමෙන්නේ ය. පොදු අපේක්ෂාව මෝරනකල ද්විතීයික වියයුතුය’යි ඔබ සිතූ පොදු අපේක්ෂකයා ඒ අස්සේ පොදු අපේක්ෂාව  ඕවර්ටේක් කොට ඉස්සරහට පැන්නේය. ඉදින් ඒ කවුදැ’යි සියල්ලෝ විමසන්නට වූහ. එකල්හී ධාරානිපාතය කඩා වැටෙන චණ්ඩ ආකාසයෙන්ම පාත්වන හෙණගෙඩියක් පරිද්දෙන් පොදු අපේක්ෂකයාද ඔබ ඉස්සරහට කඩාවැටුණේ ය. තනියෙන් එහෙම නොවේ. ලොකු කුඩා හෙනගෙඩි කන්දරාවකුත් අරගෙනය. ඉදින් පොදු අපේක්ෂාව මහවැස්සේ ගසාගෙන ගොස් පොදු අපේක්ෂකයා ඔබට ඉතිරිවී සිටී. අර ලොකු කුඩා හෙනගෙඩි කන්දරාවත් සමඟම!

‘‘මහ හෙනගෙඩිය තමයි හෙනගෙඩිය. ඔය අවසේස හෙනගෙඩි කවුද ගණන්ගන්නේ?’’ ඔබ ප‍්‍රතිතර්ක නඟනු ඇත. ‘අපේ පොදු අපේක්ෂාව ගසාගෙන ගිහින් නෑ. අපි අටවැනිදායින් පස්සේ ඒකට ආයෙත් පණදෙනවා.’’ හරිනම් අප දැන් නිහඬවිය යුතුය. එහෙත් එබඳු නිහඬ වෘතයක ඉන්නට අපට නොහැකි ය. කියන්නට දෙයක් තිබියදීත් සහෘදයන් හමුවේ නිහඬව ඉන්නේ මොනජාතියේ මිනිසුන්ද? ඉදින් අපි අපට කියන්නට ඇතිදේ කියමු.

මේ ධාරාණිපාත වරුසාවේ තෙමෙන්නට කලින්, පොදු අපේක්ෂකයා කඩාපාත් වන්නට කලින් ඔබ අප  හිටියේ කොහේද? කරමින් සිටියේ මොනවාද?

අමාරුම කාලවල අමාරුම තැන්වල සිටියෙමු. හැමෝම යුද්දයෙන් ඔදවැඞී ඊට ආවඩද්දී යුද්ධයේ විනාශය දුටුවෙමු. දැක එරෙහි වීමු.

එහෙත් පොදු අපේක්ෂකයා ඔබේ කඳවුරට කඩාපාත්වූ විට ඔබට කියන්නට සිදුවන්නේ ‘‘යුද්ධයෙන් ලැබුවාවූ හමුදා ජයග‍්‍රහණයේ කීර්තිය පාලන කල්ලියක බලතන්හාව උදෙසා යොදාගැනෙමින්.....’’ වැනි කතාය. යුද ජයග‍්‍රහණ කීර්තියක් ලෙස මෙච්චර කාලයක් ඔබට පෙනුණේද? ඒ ජනඝාතනය කීර්තියක් වූයේ චම්පිකලාට, රතනලාට, සෝමරත්නලාට, මෛත‍්‍රිලාට නේද? ඔබ අපට එය අපේ ආත්ම තුවාල කළ වේදනාවක්ව, ලජ්ජාවක්ව නොතිබිණිද? ඒත් අද අර වාක්‍යයට යටින් අත්සන් කරනවිට ඔබට සිදුවී ඇත්තේ කුමක්ද? චම්පිකලා - රතනලා පිරිවරාගෙන ආ මෛත‍්‍රී ඔබට කර ඇත්තේ කුමක්ද?

මන්නාරම රදගුරු රායප්පු ජෝසෆ් කොටි සංවිධානයට විරුද්ධ ස්ථාවරයක් දැරූවකු බව ඔබ හොඳාකාරව දැන සිටියෙහිය. යුද්ධයේ කුරිරුම අවධියේ දෙමළුන් මිනීකඳු බවට පත්කරද්දී ඔහු යෝධකායෙන් නැඟී සිටිවිට, අපි ඔහුගැන ආඩම්බර වීමු. එදා ඔහු කොටියකු වූයේ චම්පිකලාටය. රතනලාටය. මෛති‍්‍රපාලලාට ය.

අන්තිමට මෛත‍්‍රිපාලලා ඔබේ කඳවුරට ආකල සිදුවූ විපර්යාසය කුමක්ද? ‘මේ ඡන්දය දෙමළාගේ ඡන්දයක් නොවන බව’ හේතුසාධක පෙන්වමින් රායප්පු ජෝසෆ් කියන විට ඔබටත් හදිසියේ ඔහු කොටියකු සේ පෙනේ. ඒ කුමන අරුමයකින්ද? පොදු අපේක්ෂකයා හා සහපිරිවර මෙහි පැමිණ ඇත්තේ තමන්ව වෙනස් කරගෙන නොවේ. සිදුවී ඇත්තේ ඔවුන්ට වුවමනා විදියට ඔබ වෙනස්වීම නොවේද?

ආනන්දි සසිදරන් යනු අතුරුදන් දෙමළුන් ගැන උතුර සමතලා කරදැමූ පසුත් අභීතව, අව්‍යාජව කතාකළ ගැහැනියක සේ ඔබ එදා හැඳින්නේ ය. එදා ඇය සැතිරියක වූයේ මෛත‍්‍රිපාලලාට ය. එහෙත් අද සිදුවී ඇත්තේ කුමක්ද? ‘දෙමළා ගැන වචනයක්වත් කතා නොකරන මුල්පෙළ අපේක්ෂකයන් කිසිවකුත් වෙනුවෙන් තම ගරුත්වය ඇති කිසිදු දෙමළකු ඉදිරිපත් වනු නැතැ’යි කීමේ පාපයට ඔබ ඇය සැතිරියක කරගෙන ඇත. ඇය රාජපක්ෂ සමඟ ජෝඩුකර ඇත. මෛත‍්‍රි කල්ලියට කවදත් ඇය සැතිරියකි. එදා ඇය සැතිරියක නොවූ ඔබටත් අද ඇය සැතිරියකි. පොදු අපේක්ෂකත්වය ඉල්ලාගෙන ඔබේ කූඩාරමට රිංගූ මෛත‍්‍රී කල්ලිය කරඇති හරියක තරම!

යුද්ධයට එරෙහි දුෂ්කර, ජනප‍්‍රිය නොවන මතවාදයේ පීතෘවරුන් වූ ඔබ ඉන්නා කඳවුරට පැමිණි චම්පිකලා අද ‘‘ලබ්බෙන්ද යුද්ද කරන්නේ’’යි ඇසූ මහින්ද නොව, යුද්ධයේ සැබෑ පීතෘවරුන් තමන් බව ප‍්‍රසිද්ධියේ කියාපාන්නේ ඔබ ඉදිරියේම ය. ඔබට කිරිබත් කන්නට නොව, ඔක්කාරය හදවන්නට හේතුවූ මුල්ලිවෛයික්කාල් සීයක් වුණත් ‘දෙමළාට  ඕන්නම් දෙන්නට’ තමන් සූදානම් බව කියන චම්පික ඔබේ කඳවුරට පැමිණ ඇත්තේ අබමල් රොනක හෝ වෙනසක් මේ මතවාදවලට සිදුකරගෙනද? නැතිනම් ඔහු ඔබ ඔවුන්ගේ තැනට ගෙනගොස්ද?

‘‘ගිනිගන්නා ගෙයින් එළියට බසින්නැ’යි කී කල ‘ගෙයින් පිටත මීට හොඳද නොඅසන්නැ’යි යන්න දැන් ජනප්‍රිය මතයකි. එහෙත් ඔබ අතින් මේ ඡන්ද කලබලයේ යළිත් අතහැරී යන දෙයනම් අපේ ගේ ගිනිගෙන හමාර බවය. අපේ ගේ ගිනිගත්තේත් අද ඔබේ පිලට රිංගාගෙන ඉන්නා අය අපේ අසල්වැසියාගේ ගෙදරට ගිනිතබා සමතලා කරන්නට තීරණය කළ දවසේම ය. ඒ බව නොදත් අමන ජනයා පිරිත්කළ පැට්‍රෝල් බූලිගණන් ඉස අසල්වැසියාගේ ගෙදර ගින්නට ආශීර්වාද කරද්දී ඊට එරෙහිව මනුෂ්‍යත්වයේ පැන් ඉසින්නට අවදානම් නොතකා ගිය ඔබ සහ අපි එදාත් පැරදුණෙමු. නමුත් ඒ ගින්නෙන් සුන්නද්දූලි වූ ගෙපැලවත් අයිති නැති දෙමළා ‘අප පිටස්තරයන් කර අපේ ගේ ගිනිතැබූ එකාලාත් එක්ක කරන තොපේ ඡන්දය අපිට එපා’යි කියද්දී උන්ට ‘කොටියා’ කියන්නට, රාජපක්ෂට ජෝඩුකරන්නට අපට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද? ඇවැසි වන්නේ අප දෙගොල්ලන්ගේම ගෙවල් ගිනිලෑ එකා එක්ක එකතු වී ගිනි නිවන්නට කතාකිරීම නොව, අලූත් ගෙවල් හැදීම ය.

කෙලින්ම කියනවා නම්, අප ඔබ සියලූ දෙනාට මෛත‍්‍රියාගමනය තුළ සම්මුඛවී ඇත්තේ අන් කිසිවක් නොව අප අපේ රෝග නිධානය ලෙස හඳුනාගත්, සියලූ භයංකර තත්ත්වයන් හමුවේත් අප එළිපිට පිළිකෙව් කළ, මොන බලකිරීම් හමුවේවත් වැළැඳ නොගත් සිංහල බෞද්ධ ජාතිවාදයයි. (මේ වෙලාවේ මෙය ජනප‍්‍රිය නොවන කතාවකැයි ඔබ අවවාද කරනු ඇත. ජනප‍්‍රිය දේවල් කරන්නට අපි ජරාජීර්ණ දේශපාලකයන්ද?) කොයි තරමක් හෝ මිනී කඳුගසා දෙමළ අභිලාෂය සමතලා කොට අපේ රටට - එනම් සිංහල බෞද්ධයාගේ රටට - ‘නිදහස සාමය සෞභාග්‍යය’ උදාකරගත යුතුය යන සූත‍්‍රය ගෙන ආවේත් එය මහින්දගේ කරේ නැඟ කි‍්‍රයාත්මක කරගත්තේත් අන්තවාදී සිංහල බෞද්ධ බලවේගයෝ ය. එහි නියෝජිතයා, සංහාරයේ හොඳම අපාය සහායකයකු වෙමින්, පසුව පරඬැලක් සේ ගසෙන් හැලීගිය ජවිපෙ නොව, ඊයේ පෙරේදා වෙනතුරුත් රාජපක්ෂ කර මතම ලගිමින් ජාතිවාදය රාජ්‍ය මතවාදය බවට පත්කළ හෙළ උරුමය නොවේද?

යුද්ධාවසානයේ සතුරා අහිමි කරගත් සිංහල බෞද්ධයාට දෛනික විනෝදය සඳහා අලූත් සතුරකු මුණගන්වනු වස් රාජ්‍ය අනුග‍්‍රහයෙන්ම උපද්දවාගත් බොදුබල සේනා වැනි අන්තවාදී සංවිධාන නිසා ආණ්ඩු කඳවුරේ සිංහල බෞද්ධ ජාතිවාදය ජරාවාසවී මිනිස්සුන්ටත් එපාවී තිබෙන මොහොතකය, ඒ ‘ජරාවාස පොත්ත අපේ නොව, ජරාජීර්ණ ආණ්ඩුවේ'ය කියා මඩෙන් උපන් පිරිසුදු නෙළුම මෙන් සුපිරිසුදු සිංහල බෞද්ධ ජාතිවාදයේ පූජනීය කරඬුව ඔබේ කඳවුරට වඩම්මාගෙන එන්නේ. දැන් ඔවුන් කියන්නේ රටේ විනාශයේ දොරටුව ලෙස අප එදා පටන් දුටු සිංහල බෞද්ධ අන්තවාදී මතවාදයේ ‘නොකිළිටි, නොකැළැල්, ඔරිජිනල්එක’ තමන් මෙහි රැගෙන’විත් තිබෙන බව ය. ජරාජීර්ණ වෙමින් සාමාන්‍ය මිනිහාට එපාවෙමින් ගිය ජාතිවාදය අලූත් වටයකින් ‘අලූත් අපේක්ෂාවන්’ සමඟ මතුවූ ඔබේ ‘වෙනසක් සඳහා පෙළගැසුණු’ දේශපාලන ව්‍යාපාරය තුළත් අපූරුවට රෝපණය කළ පසු, ඊට ඔබටත් ඉඩදෙන්නට සිදුවූ පසු, ඉඩදුන්නා පමණක් නොව යමින් එමින් වතුර කලයක් දෙකක් වත්කරන්නත් ඔබට සිදුවූ පසු, අප අලූත් වෙනසක් කියා පැමිණ සිටින්නේ කොතැනටද? මෙහි භයානකකම මිනිස්සුන්ටත් එපාවෙමින් ගිය නග්න සිංහල බෞද්ධ ජාතිවාදය ‘ජරාවාස එක නොව ඔරිජිනල් වර්ෂන් එක’ ලෙස ඊළඟ රෙජීමයේත් අරටුව බවට පත්කරගැනීමේ දිගදුර යන ව්‍යාපෘතිය නොවන්නේද?

මේතරම් ‘උද්වේගකර’ අවස්ථාවක මෙවැනි සිල්ලර මඟහැරීම් ගණනකට නොගතයුතුය’යි ඔබ කියනු ඇත. නමුත් දීර්ඝ හා නිමක් නැති විවාදයන්ට පැටලීම මේ ලිවීමෙහි අරමුණ නොවේ. නමුත් කොපමණ සිල්ලර දෑ සේ පෙනුණත්, ඔබ - අප දිවිහිමියෙන් වටිනාකම් දුන් මබඳු දෑ මේ මුරුගසං මැතිවරණ වරුසාවේදී ඔබට අත්හැරුණු බව මතක්කර දීම පමණක් අපේ යුතුකම ලෙස සිතුවෙමු. ලබන 08වැනිදා වනතුරුත් ඔබෙන් තව තවත් මෙවැනි සිල්ලර දෑ ගිලිහෙනු ඇත. මේ කඩිමුඩියේ එවැනි අතහැරීම් තිබුණු බවක්වත් මතක තබාගැනීමට ඉස්පාසුවක් ඔබට කොයින්ද? ඉදින් 'වැඩි වැඩක් නැති' අපි ඔබ වෙනුවෙන් ඒ දේවල් ඔබට මෙනෙහි කරනු වස් ලියා තැබුවෙමු. එවිට 08වැනිදාට පසු, කාලය දිගේ ටික දුරක් ආපස්සට පැමිණ හෝ ඔබට මේ දේවල් දෙස බලන්නට හැකිවනු ඇත.

හැබැයි ඒවා 08වැනිදායින් පසු ඔබට වැඩක් වෙතැයි එහෙමකට විස්වාසයක් අපට නැත. ‘‘ආ කොච්චර දෙයක්ද? ඔන්න ඔව්වා ලොකු වලක් කපලා වළලලා දාන්නැ’’යි මෛත‍්‍රිපාලකයන් ඔබට කියනු ඇත. එහෙත් ඒ කීම අසා 09වැනිදායින් පසු ඔබ මේවා කිසිසේත් වළලා නොදමනු ඇතැයි අපි තවමත් අදහමු. මේ මඟ සලකුණු එබැවිනි. 09වැනිදායින් පසු මේවා වැඩක් නොවුණත්, මේවා ළඟ තබාගැනීම අනාගතයට වැදගත් නිසා මේ මඟසලකුණු දිගේ කාලය ඔස්සේ ආපස්සට ඇවිද විත් ඒවා ආපහු අහුලාගෙන ගොස් මෛත‍්‍රිපාලකයන්ට නොපෙන්නා රහසින් සඟවා තබාගන්නැ’යි සහෝදරාත්මකව ඉල්ලීම හැරෙන්නට වෙන කුමක් කරමුද?

අප මේ සියල්ල කියන්නේ, මර්දනයේ කේන්ද්‍රයෙහි හිඳිමින් පිළිවෙත් ගරුකව අවදානම් නොතකා ක්‍රියා කළ රදගුරු රායප්පු ජෝසෆ්ට කොටියා කියන, ආනන්දි සසිදරන් රාජපක්ෂට ජෝඩුකරන මහත්තැන්ලාට නම් අප පිළිබඳ විනිශ්චයන් ප්‍රකාශයට පත් කිරීම හූණුබිජ්ජකට වැඩියමක් නොවන බව නොදැන නොවේ.☐


සනත් බාලසූරිය


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.