JDS Sinhala

අචින්තාව: විමුක්ති ගීතයේ ‘උතුරු’ නිර්නායක

 

බොබ් මාලී නම් වන අසහාය කලාකරුවා විසින් 1980 ජූනි මස ජනගත කෙරුණු ඔහුගේ ‘අප්රයිසිං’ (නැඟිටීම) ඇල්බමයේ  අවසන් ගීතය වන්නේ  'රෙඩෙම්ප්ෂන් සෝං’ නම් හෘදය සංවාදී ගීතය යි.  වාග්ගේයකාර භූමිකාව සමතික්‍රමණය කරමින්, ගීතයේ පද හා තනු රචකයා හා ගායකයා පමණක් නොව, එහි කේවල ගිටාර වාදකයා ද වූ බොබ් මාලී එයින්, වසරක් ඉක්ම යන්නට පෙර එනම්, 1981 මැයි මාසයේ යෞවනත්වය මුදුනේ දී - තිස් හය හැවිරිදි වියේදී - ජීවිතයෙන් නික්ම ගිය බව අපි දනිමු. ඒත් තමා මිය යාමට පෙර තමන්ට තැටිගත කරන්නට සිදුවන අවසාන ගීතය ‘රෙඩෙම්ප්ෂන් සෝං’  බව ඔහු ස්ථිර වශයෙන්ම දැන සිටින්නට ඇති බව එකී ගීයේ ගීතාත්මකභාවය සලකුණු කරයි.

‘නිදහස් වීම’, ‘නිදහස’ මෙන් ම සමස්තයක්ව ගත් කල ‘විමුක්තිය’ වෙනුවෙන් මානව වර්ගයා අවුලුවන එම ‘ගීත ආඛ්‍යානය’, තේමාත්මකව රඳවා ගන්නා එහි ස්තායි කොටසේදී ඔහු මෙසේ ගයයි.

''නේන්නෙද ඔබ ගයන්නට
මේ නිදහසේ ගී
නිතිනි මා සතු
විමුක්තියෙ ගී.....’’

ස්වකීය කෙටි ජීවිතය තුළ ‘නිදහස් වීම’ නම් වූ ‘විමුක්තිය’ වෙනුවෙන් ගීත ගැයීමේ පරිපාකයට ආ බොබ් මාලී,  පොදුවේ ගීතය ගැන බරපතල සැහැල්ලුවකින් යුක්තව පැවසූ කරුණක් ඔහුගේම වචන කැටියකට කැටි කරගන්නේ  නම් මෙබඳු ය. ‘’පොදුවේ ගීතය ගැන කියන්නට එක් සුවිශේෂ දෙයක් තියෙනවා; එය ඔබට ‘වැදුනොත්’, ඔබේ වේදනාව තුරන් වෙයි.’’

ගීතය යන විෂය තුළ ‘හිට්’ වීම යන වචනය අවභාවිතාවීම නිසා එය ‘වේගයෙන් ජනප්‍රිය වීම’ යන අර්ථයට පර්යාය කෙරුණ ද, බොබ් මාලීන් දක්වන 'හිට්වීම’ සැබෑ විමුක්තිකාමී සංස්කෘතික දේශපාලන අර්ථය තුළ වේදනා සමනයෙහි භාව ලෝකයක සහෘදයා රඳවන, සහෘදයා ඥානනය කෙරෙන විභවයක චලනය වන්නක් බව අවබෝධයෙහි අපහසු නැත.  විමුක්ති ගීතය ‘අවභාවිතාව’ තුළ  සදොස් ලෙස අර්ථගැන්වී ඇති පරිදි වහා ඇවිළෙන සුළු,  මහා සටන් අවුළුවන සුළු ගීතමය ප්‍රවර්ගයක් නොවන බව ඉදින් පැහැදිලි ය.

මෙම පූර්විකාමය ප්‍රවේශය ඔස්සේ මවිසින් සංවාදයට බඳුන් කෙරෙන්නේ, ‘නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය’ හෙවත් ‘කැෆේ ‘සංවිධානයේ (CaFFE)  විධායක අධ්‍යක්ෂවරයා වන, රජිත් කීර්ති තෙන්නකෝන් ‘දෙමළ විමුක්තිකාමී ගීතය’ අරභයා, 2018 ජනවාරි 13 වැනිදා යාපනයේ දී සිදුකළ ප්‍රකාශයකි.  යාපනයේ ඥානම් ශාලාවේ පැවති රැස්වීමකදී ඡන්දයේ තරගකරුවන් අබියස, කැෆේ ප්‍රධානියා පැවසූ සමස්ත කතාව එම සංවිධානයේ මාධ්‍ය අංශය විසින් මාධ්‍ය නිවේදනයකට හකුළනු ලැබ තිබිණ.  එකී නිවේදනයේ මාතෘකාව මෙබඳු ය.

‘උතුරේ පක්ෂ මැතිවරණ ව්‍යාපාරය සදහා ජාතිකවාදී හා එල්ටීටීඊ ගීත හා ප්‍ර‍චාරක පාඨ ගැනීම සම්බන්ධයෙන් කැෆේ සංවිධානයේ  නිවේදනය.’

ඔහු එහිදී මෙසේ පවසයි.

‘‘යාපනය, කිලිනොච්ච් හා මුලතිවු පළාත් පාලන ආයතන සදහා අපේක්ෂකයන් කිහිප දෙනෙකුම එල්ටීටීඊ සංවිධානය විසින් ප්‍ර‍චලිත කළ ගීත සිය මැතිවරණ ව්‍යාපාරය සදහා යොදා ගන්නා බව අප නිරීක්ෂණය කළා.  එල්ටීටීඊ  විමුක්ති ගීත මැතිවරණ ප්‍ර‍චාරයට යොදා ගැනීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් පමණක් නොව, රටේ නීතිය ද උල්ලංඝන කිරීමක්.  මෙතැන සිටින සියලුම අපේක්ෂකයින්ගෙන්  හා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලින් මැතිවරණ නීතියත්, රටේ නීතියත් ගරු කරමින් මැතිවරණ ප්‍ර‍චාරක කටයුතු සිදුකරන ලෙස කාරුණිකව ඉල්ලනවා‘.‘

‘නිදහස හා සාධාරණත්වය’ පිළිබඳ අඛන්ඩ සිහින දකිමින් සිටිනා දෙමළ ප්‍රජාවගේ ‘සුභාවිත’ ගීතය, තමන්ගේ සකල පීඩාවන් දරාගැනෙන, එහෙන්ම ස්වකීය අභිලාෂයන් වෙත සමාජය ඥානනය කෙරෙන ගීතයක් විමේ අරුමය කුමක්දැයි පළමුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයයේ ‘  ප්‍රධානී අප මිත්‍රයාගෙන් විමසිය යුතු ය.  ජාතිකවාදී යැයි සහ කොටි ගී යැයි හැඳින්වෙන්නේ ‘දෙමළ විමුක්ති ගීත’ ය.  ඒවා උතුරේ ජනප්‍රිය බව නො දන්නේ කවුද? විමුක්තියේ මාර්ගය විමුක්ති අරගලය බව කියවෙන්නේ නම් එහි ඇති අරුමය කිමෙක්ද? ස්වකීය ජාතික ව්‍යාපාරය ගැන කියැවෙන ගීතය ජාතිකවාදී වීමේ අරුමය කිමෙක්ද? මානව වීරත්වය, ජීවිත පරිත්‍යාගය, සාම්ප්‍රදායික දෙමළ නිජබිමේ සුන්දරත්වය,  එවන් භූමිය ආලෝලනය කිරීම, එහි පරිසරය සමඟ ඒකාත්මික වීමේ ගැඹුරුතර බැඳියාව ගැන කියැවෙන ගීත නිරන්තරව අධ්‍යාත්මය තුළ පුරවා ගැනීම, දෙමළ ජනතාව විසින් සිදු කළ යුතු වන්නේ කවර නීතියකට නොවේ. මන්දයත්  ‘ගීතය’ විදීම යනු මානව අයිතියක් විනා නීති උල්ලංඝනයක් නොවන බැවිනි.

‘කොටි ගීත’ යැයි හඳුන්වන මෙම දෙමළ විමුක්ති ගීත බහුතරය, ලියා ඇත්තේ ද, සංගීත සංයෝජනය කර ඇත්තේ ද, ඒවා ගයා ඇත්තේ ද විමුක්ති කොටි සංවිධානයට සම්බන්ද වූ සටන්කාමීන් ය. සටනේ දී ප්‍රාණ පරිත්‍යාග කළ මිනිසුන් හා ගැහැණුන් ය. එක් නිදසුනක් ලෙස, සිංහල හමුදාවට බාර වීමෙන් අනතුරුව අතුරුදහන් කරනු ලැබූ පුදුවෛ රත්තිනතුරෛ කවියා දෙමළ විමුක්ති ගී රැසක් ලියා තිබේ. සිංහල රජයේ හමුදාව විසින් ලිංගික හිංසනයට පාත්‍ර කර ම්ලේච්ඡ ලෙස මරාදැමුණු ඉසෛප්‍රියා දෙමළ විමුක්ති ගී ගයා තිබේ.  එපමණක් ද නොවේ; සටන් විරාම සමයේ ඇතිවුනු සංස්කෘතික අවකාශය තුළ ඇතැම් සුවිශේෂී හා ප්‍රමුඛ ඉන‍්දියානු ගීත නිර්මාණකරුවන් ද දෙමළ ජාතික ව්‍යාපාරයට අදාළ ගීතවලට සංගීතයෙන්, ගායනයෙන් සිය කලාත්මක සම්ප්‍රදානය ලබා දී ඇත. කිළිනොච්චියේ අපායක සිරි මවන සිංහල ජන මාධ්‍යය, එහි වූ සංගීත පාසල ගැන කතා නො කිරීම දෘෂ්ටිමය හා දේශපාලනමය තීන්දුවක ඵලයකි.

මා පැහැදිලි කරන්නේ මෙය යි. මෙම ගීතවල ධ්වනිය විහිදී පවතින්නේ සමස්ථ දෙමළ ජනතාවගේ විමුක්ති අරගලයට දෙසට ය.  ඉදින් දෙමළ ප්‍රජාවගේ රසවින්දනය පිණිස මුදාහළ හෝ මුදා නො හළ යුතු ගීත කවරක්ද යන්න තීන්දු විය යුත්තේ එකි දෙමළ ප්‍රජාවගෙ සංවාදය ඇතුළත ය.  කෙසේ හෝ ගීත ප්‍රචාරණයේදී ‘මැතිවරණ නීතිය කඩ කිරීමක් සිද්ධ වන්නට විදිහක් නැත. එසේ නම්, ‘කැෆේ’ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා වන අප මිත්‍රයා මෙම උතුරේ ගීත ප්‍රචාරණය,  ප්‍රශ්නයක් ලෙස මතු කරන්නේ, රටේ නීතිය පැත්තෙන් සළකා විය යුතු ය. එසේ නම් එය විසින් මුළුමනින් ම විවර කෙරෙන්නේ සංවාද කළ යුතු  දෘෂ්ටිවාදී ගැටළුවකි.

උතුරේදී, මැතිවරණ නීතිය කඩ කෙරෙන්නේ නම් ඊට විරෝධය පෑම ‘කැෆේ’ සංවිධානට අදාළ වෙනම ප්‍රශ්නයකි. නමුත් ‘කැෆේ’ යනු පොදුවේ රටේ නීතිය කඩකිරීම් සොයා බැලෙන සංවිධානයක් නොවේ.  ‘කැෆේ’ පවතින්නේ, ආණ්ඩුවට හෝ ආණ්ඩුවේ මර්ධන උපකරණය වන ත්‍රිවිධ හමුදාවට හෝ ‘කොමිසම් සහගත’ පොලීසියට හෝ රටේ නීතිය කඩ කිරීම ගැන ඔත්තු සපයන්නට නම් එ් වනාහී ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ගැට ගැසී ඇති දෘෂ්ටිවාදය හෙළි පෙහෙළි වීමකි.

දෙමළ ජනතාවට අයත් ඉඩකඩම්වල තවමත් බලහත්කාරයෙන් රැඳී සිටින්නේ කවරාකාර 'නීති' යටතේ ද? මෙම දෙමළ විමුක්ති ගීත රාශියක් රචනා කළ පුදුවෛ ද ඇතුළු හමුදාවට බාරවූවන් මෙන්ම තවත් දහසක් දෙනා අතුරුදහන් කර ඇත්තේ කවර නීතියට අනුව ද?  මෙම විමුක්ති ගීත ගායනා කළ ඉසෛප්‍රියාද ඇතුළු තවත් බොහෝ දෙනා ඝාතනය කර ඇත්තේ කවර නීතියක් යටතේ ද?

විමුක්ති ගීතයක් ඇසීමෙන්  රටේ නීතිය කඩවෙතැයි රජිත් කීර්ති  මෙනෙහි කරන්නේ නීතියේ නාමයෙන් ඉහත කී සකළවිධ අයුක්තීන්ට මුහුණ දුන් - මුහුණ දෙන ජාතික ප්‍රජාවකට ය.  වේදනාව දරාඋසුලා ගැනීමෙහි ළා විමුක්ති ගීතයකට ඇති බලය දකුණේ සිංහල සමාජය අවම වශයෙන් බොබ් මාලීගෙන්වත් ඉගෙන ගත යුතු ය. බොබ් මාලීගේ ජීවන භාවිතය වූ  රෙගේ සම්ප්‍රදායේ ‘කොපුව’ පමණක් අල්ලාගෙන ‘ගංජා ගහමින්’, ‘කොන්ඩේ හැඩපලු ගොතා ගනිමින්’, ‘ගිටාර් වයමින්’ , ‘නටමින්’ නොසිට, එකී සම්ප්‍රදායේ ‘පපුව ද’ අල්ලා ගත යුතු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්, විමුක්ති ගීතය වාරණයට අත වනන මෙවන් ප්‍රලාපයන් ද පරාජය කරනු පිණිස ය.

කැෆේ ප්‍රධානියා, නිරීක්ෂණය කරන අන්දමට, උතුරේ හැම රැස්වීමකම පාහේ දෙමළ විමුක්ති ගීත ඇහෙන්නේ ඇයි?  ඊට එක් ප්‍රධානවූත් සවිඥානික හේතුවක් ඇත. පක්ෂ, කුල, ඥාති, ප්‍රාදේශීය, පවුල්, පුද්ගල, මිත්‍ර ආදී කවර සම්බන්ධතාවක් යටතේ ඡන්දය ප්‍රකාශ කළ ද අවසාන වශයෙන් සලකුණු වනුයේ ඔවුන්ගේ පොදු පීඩිත ජාතික අභිලාෂයයි. එකී ගී වංචනික ලෙස යොදාගන්නවුන් විසින් ද අනාවරණය කරන්නේ යට කී පොදු අභිලාෂයට බහුජනයා ගැටගැසී ඇති ප්‍රමාණයයි.

කැෆේ සංවිධානය යාපනේ, මුලතිව්, කිලිනොච්චි යන්නේ රාජ්‍ය හෝ ආණ්ඩුව නියෝජනය කරන්නට නොවේ. දෙමළ ජනතාව 'රටේ නීතිය' උල්ලංඝනය කරනවාදැයි බැලීම ඔවුන්ගේ කාර්යභාරය නොවුණ ද, උතුර නිරීක්ෂණය කිරීමේ උවමනාවක් හෝ වේ නම් රජිත් කීර්ති තෙන්කෝන් සිදුකළ යුත්තේ සමස්ත සන්දර්භය සළකා බැලීම මිස මෙවන් වාරණයන් වෙත රාජ්‍ය උසිගැන්වීම නොවේ. 

රටේ පවත්නා නීතිය යනු දෙමළ ජනයා මත බලහත්කාරීව පටවන ලද රාමුවක් මිස ඔවුන්ගේ ප්‍රජාතාන්ත්‍රික අභිමතය මත ගොඩනැංවුණු දෙයක් නොවේ.  ඉදින් එකී නීතියට අදාළව, උතුරේ වන පැවැත්ම සෙවීම අතිශයින් යාන්ත්‍රික ප්‍රවේශයක් වන්නේ ය.  දෙමළ ජනතාවගේ අයිතිය පියවරෙන් පියවර, වසරෙන් වසර, දශකයෙන් දශකය, පැහැර ගනු ලැබ ඇත්තේ, එකී අයිතිය උල්ලංඝනය කරනු ලැබ ඇත්තේ,  සිංහල කේන්ද්‍රීය අගනගරයේ සම්පාදනය වුණු ව්‍යවස්ථාව නම් වූ මෙකී සිංහල කේන්ද්‍රීය ‘නෛතික රාමුව’ හා ‘නෛතික පදනම’ විසින් ම ය. එවන් නීතියක් ආරක්ෂා කරන්නට යැයි, එකී නීතියෙන් කාලාන්තරයක් පුරා ‘නීත්‍යානුකූලවම’ පීඩාවට පත් කෙරුණු දෙමළ ප්‍රජාවට යෝජනා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සිදු කෙරෙන, එකී පීඩාව තිව්‍ර කිරීමක් නොවන්නේ ද?  එබැවින් මෙකී ගීත වාරණයට උදෙසා කෙරෙන ‘කැෆේ’ යෝජනාව සංස්කෘතික දේශපාලනයේ ප්‍රගිතිශීලී ප්‍රවාහය නියෝජනය කෙරෙන්නන් විසින් දැඩිව ප්‍රතික්ෂේප කළ යුතු ය. මෙම ගීත වාරණ යෝජනාවේ ව්‍යාංගය කවරක්ද?  ‘’අපි කොටින්ට කුඩු වෙන්න ගහලත්, මෙන්න දෙමෙල්ලු තාමත් ප්‍රසිද්ධියෙම කොටින්ගෙ සිංදු අහනවා’ යන පැතැලි සිංහල මනෝභාවය නොවේ ද?

ඒ ඒ ඡන්ද ලකුණු ප්‍රදර්ශනය කරනා පෝස්ටර් ඇලවිල්ල, කටවුට් ගැහිල්ල,  බැනර් දැමිල්ල, ආදී සුප්‍රකට ක්‍රියා මෙන් ම, කැන්වසින් පෙළපාලි යෑම, ආදිය මැතිවරණ නීති ප්‍රකාර නොවේ නම්, ඒ ගැන නිරීක්ෂණය කිරීම හා ඒවාට විරෝධය පෑම මෙන්ම, ඒවා නතර කර ගැනීමට මැදිහත් වීම, මේ ‘මැතිවරණ’ මොහොතට අදාළ වන්නට පිළිවන. ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දැක්වීමට බාධාවක් විය හැකිය යන මූලික මැතිවරණ තර්කය, ඒවාට එරෙහිව ළෙලවන්නට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් වෙනුවෙන් කටයුතු කරන සංවිධානයකට අයිතියක් ඇතැයි යන්න විවාද කළ යුතු නැත.  

නමුත් ගීතයක් යනු කවරක්ද? භාව ප්‍රකාශයකි. සමාජ ඥානනයකි.  ගීතයක් තුළ ඉහත කී වර්ගයේ ‘මැතිවරණ ලකුණ’ ප්‍රදර්ශනය කෙරෙන්නේ කොතැනින් ද? මැතිවරණ සම්ප්‍රචාරණයේදී ‘ගීතය’ තහනම් මාධ්‍යයක් නොවේ.  සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂ සිය රැස්වීම් වලදී ‘ගීතය’ භාවිතයට ද ‘අවභාවිතයට’ ද ගන්නා බව නොදන්නේ කවුද?

මැතිවරණ නිරීක්‍ෂකයන් නොව, අධිරාජ්‍යවාදී ජගත් බලයන් කඩා වැදුණ ද දෙමළ ජනතාවගේ පරම ඉල්ලීම වන්නේ නිදහසයි; යුක්තිය යි; අවසාන වශයෙන් ජාතික විමුක්තිය යි. දෙමළ විමුක්ති ගීතය එම අභිලාෂය වෙනුවෙන් නිර්මාණ වී තිබේ නම් එය රසවිඳින්නට එපා යැයි දෙමළ ජනතාවට යෝජනා කිරීම කවර බරපතල ප්‍රහසනයක්ද?

රාජ්‍ය දෘෂ්ටිවාදය ද,  දකුණේ සිවිල් සමාජ ක්‍රියාකාරීත්වයේ දෘෂ්ටිවාදය ද සමාන්තර වනුයේත්,  සමපාත වනුයේත්, සදාකාලික ‘අනෙකා’ වන ‘දෙමළා’ සම්බන්ධ ක්‍රියාමාර්ග තේරීම යන කාරණාවේදී ය. මැතිවරණයට තරග කරන හා නොකරන වාම සම්භවයක් ඇතැයි පිළිගන්නා දේශපාලන පක්ෂ පවා 'දෙමළා’ සම්බන්ධ කාරණාවේදී මුනිවත රකිමින් දිවි හිමියෙන් ආරක්ෂා කරන්නේ එකී රාජ්‍ය දෘෂ්ටිවාදය යි.  ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වෙනුවෙන් පෙනී සිටිනා බැව් ප්‍රකාශිත කැෆේ වැනි සංවිධානයක් දෙමළ ජනයා මැතිවරණ කාලයේ දී අසන ගීත මැතිවරණ නීතියට මෙන්ම රටේ නීතියටත් අනුකූලදැයි සොයා බලන විට දකුණම නිද්‍රාවක ගැලෙන්නේ එනිසා නොවන්නේ ද?

මංජුල වෙඩිවර්ධන


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.