JDS Sinhala

අචින්තාව: කිෂානි ජයසිංහගේ 'හෙළ බොදු කුල කාන්තා' සීමා ඉර

කිෂානි ජයසිංහ ‘නිදහස් දින’ ගැයූ ‘නමෝ මරියනී’ ගීතය ගැන කිසිම සංවාදයක් නැත. ලාංකීය දෘෂ්ඨිවාදී කරලීයේ ගෞතම බුදුන්ට ඇති අවකාශයෙන් සියයෙන් පංගුවක්වත් ශුද්ධවර මරියාවන්ට හිමිවන්නේ නැත.  දකුණේ සකල දෘෂ්ඨිවාදී ධ්‍රැවීකරණයන් සිද්ධවනුයේ සිංහල බෞද්ධකම පදනමේ තබාගනිමිනි.

කිෂානි ජයසිංහ ‘දන්නෝ බුදුන්‘ හරහා ගොඩනැඟුණු දෘෂ්ටිවාදී ධ්‍රැවීකරණයේදී ‘මිහිඳුවාදය’ පදනම් කරගත් ‘අසංස්කෘතික මිනිසුන්’ කියන්නේ, කිෂානි ජයසිංහ ‘දන්නෝ බුදුන්’ විකාර සහගත ලෙස ගැයීම හරහා සිංහල බෞද්ධකම අනුභව කර වදාළ බව ය. අනෙක් පසින් ‘රනිලවාදය’ වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී සිටින ‘සංස්කෘතික මිනිසුන්’ කියන්නේ,  සංස්කෘතික නොවනා ගෝත්‍රික මිනිසුන්ට ‘උච්ඡ ස්වරයෙන්’ ගැයෙන ඔපෙරාමය ප්‍රතිනිර්මාණයක් විඳ ගන්නට නොහැකි බව ය.  මෙම සංවාදයේ යටිපෙළ ඉසියුම්ව විමසන විට පැහැදිලිවම ඇහෙන්නේ, ගැයිමේ සීමාවෙන් එහා ගිය වෙන් වෙන් දේශපාලන උවමනාවන්ගේ ප්‍රතිවාදනයන් පමණි.  ආණ්ඩුවේ ‘ව්‍යාපෘතිවාදය’ හරහා සමාජගත වන සියල්ලටම විරුද්ධ වීම එහි එක් අන්තයකි. මෙකී ‘ව්‍යාපෘතිවාදය’ හරහා  වර නැඟෙන සියල්ල, බරපතල සමාජමය මැදිහත් වීම බව ගම්‍ය කිරීම වෙ‍නුවෙන් මැදිහත් වීම එහි අනෙක් පස ය.

මේ ධ්‍රැවීකරණය වූ සංවාද අන්ත දෙකෙන්ම ඇසුණේ ‘පපර බෑන්ඩ් නාදය’ මිස ගැඹුරු ඔපෙරාමය හඬක් නොවේ.  එක් අන්තයක දෘෂ්ටිවාදය පෝෂණය කරන්නන් කවරක් කීවද සියලු තර්කයන් කෙරෙන් මතුව ආ ‘මැක්කා’ පෙර කී  ‘මිහිඳුවාදය’ ම ය. අනෙක් අන්තයෙන් කවරාකාර විද්වද් තර්ක ගොඩනැගුණත් ඒ කෙරෙන් මතුවා ආ ‘මැක්කා’ පෙරකී ‘රනිලවාදය’ ම ය. 

කිෂානි‍ ජයසිංහ නම් සුවිශිෂ්ඨ ‘සොප්‍රානෝව’ගේ ගායනාවන් ගැන කිසිම විවාදයක් පැවතිය යුතු නැත. ඇගේ ‘විශ්ෂ්ඨත්වය’ට සහතික ලියා ඇත්තේ ලෝකයේ සමකාලීන සංගීතයේ අවිවාදිත ප්‍රාමාණිකයන් ය. ලංකාවේ ඉපදුණද ඇය ගයන්නේ මහා ඔපෙරා මන්දිර වල ය. ඇය විඳින්නට එන්නේ පංති සමාජයක කලාවේ උරුමය පවතින, එය රසවිඳිය හැකි මිනිසුන් මිස ‘ජාතික ගීය දෙමලෙන් ගැයීම වෙනුවෙන්’ දෙපසක සිට මරා ගන්නට හදන ප්‍රේක්ෂාගාරයක් නොවේ.  කතාව පැන නැඟුණේ  ‘කවර දේශපාලන ව්‍යාපෘතියක’ යටතේ වුව ඇය ‘නිදහසේ වේදිකාව’ මත ස්වකීය කලා පෞරුෂය බාල්දු කර ගැනීමට ගත් ස්වයං තීන්දුව උඩ ය.  ඉදින් විවාදය පැන නඟුණේ පැන නැඟිය යුතුම දෘෂ්ටිවාදී ධ්‍රැවීකරණය තුළ ය.

මෙය වටහා ගන්නට නම් මෙම සංසිද්ධිය අවසානයේ සිද්ධ වූ දේ තේරුම් ගත යුතුව ඇත. අවසානයේ සිද්ධ වූයේ දියුණු ‘විශ්වීය’ සංගීත මනස අමාන්ත්‍රණය කිරීමට තරම් වන මහා ශිල්පීය නිපුතාවකින් හෙබි  ‍කිෂානි,  එකී සංගීත විශ්වයේ ‘සොප්‍රානාවක්’ බව තහවුරු කරනු වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට, තමන් ‘සිංහල බෞද්ධ’ සොප්‍රානාවක් බව තහවුරු කරලීම පමණි.  මෙවන් සංසිද්ධියක අවසානයේ සිදුවිය යුතුවා මෙන්ම ‘කලාව’ වෙනුවට අධිනිෂ්චය වූයේ සුදුරුදු ‘සිංහල බෞද්ධ අධිපති සංස්කෘතික දෘෂ්ටිවාදය’ම පමණි.

මෙම කටුක සන්දර්භය විග්‍රහ කර ගැනීම සඳහා ‘දන්නෝ බුදුන්ගේ’ ඔපෙරා පන්නයේ ගැයුමට නිග්‍රහ කළවුන්  පෙනී සිටි දෘෂ්ටිවාදී අන්තයෙන් නොව, ඒ ගැයුම වෙනුවෙන් පෙනී සිටි දෘෂ්ටිවාදයේ ප්‍රකාශන කිහිපයක් වෙත අවධානය යොමු කිරීම පමණක් වුව ප්‍රමාණවත් ය.

කුසල් පෙරේරා විසින් සියල්ල සන්සුන් වෙන්නට ඉඩ හැර ලක්බිමට ලියැවුණු සටහනේ කිෂානිගේ ඔපෙරාමය විශිෂ්ඨත්වය මතු කළද, කුසලුන් ‘පවා’ එය සන්දර්භ ගතකරන්නේ සිංහල බෞද්ධ අධිපතිවාදය මතයි.

‘මෙරට ඉහළම පෙළේ බෞද්ධ පාසැලක් ලෙස සැළකෙන කොළඹ විශාඛා විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වූ ඇය...’

එසේ ලියනා කුසලුන්ට ඇගේ බෞද්ධකම ද ප්‍රමාණවත් නොවන සෙයකි. එවර ඔහු ඇගේ සිංහලකමද ඈඳා මෙසේ ලියයි.

‘භාෂා 10කින් ඔපෙරා ගීත ගයන ඇය එවැනි ජාත්‍යන්තර ප්‍රසාදයක් දිනා ගත් එකම ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ තරුණිය වේ.’

‘සිංහල ජාතික දිනය’ දවසේ ‘දෙමළන් ගැයුණු ‘සිංහල ජාතික ගීය’ අරබයා නෙතට කඳුළු නැඟුණු මගේ ඉපරණි මිත්‍රවරයන් අතර සිටින තරංගා කුලරත්න ‘දන්නෝ බුදුන්’ ගැයුම වෙනුවෙන් පෙනී සිටියේ කිෂානි ජයසිංහගේ ස්වාමිපුරුෂයා වූ කාවීංග විජේසේකරගේ ‘ප්‍රකට’ වේදනාසහගත ලිපිය පවා පවා ප්‍රශ්න කරමිනි.  මගේ මිත්‍රවරිය  ලියන දේ  මෙබඳු ය.

‘‘කිෂානි දන්නෝ බුදුන්ගේ ඔපෙරා ආරට කියපු එකේ වැරැද්ද මොකද්ද කියලා ප්‍රශ්න කිරීමේදී කිෂානිගෙ සැමියා (කාවිංග) කිෂානි සිංහල බෞද්ධ කාන්තාවක්, ලංකාවේ මුල් පෙළේ බෞද්ධ බාලිකා විද්‍යාලයක් වන විශාඛා විද්‍යාලයේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක්, ඔසරිය අඳින උදාර කාන්තාවක් කියන කාරණා නොකිව්ව නම් තමයි හොඳ. ඒක කිව්වම කාවිංගගෙන් (නොදැනුවත්වම?) අනුබලය ලැබෙන්නේ කිෂානිට ප්‍රහාරය එල්ල කරපු ‘තක්කඩි සිංහල බෞද්ධකමට‘ මයි. බෞද්ධද නැද්ද, බාලිකාද බාලකද, ප්‍රධාන ශිෂ්‍ය නායිකව හෝ නායකද, ඔසරිය හෝ ඩෙනිමද, උදාර ද නැද්ද වගේ කාරණා අවශ්‍ය නැහැනෙ මනුෂ්‍යයෙක්ට කවුරුන් හෝ කලින් කරපු නිර්මාණයක්, නව නිර්මාණයක් හැටියට ඉදිරිපත් කරන්න. ‘උඹල ඔය ගැහුවෙ උඹලගෙම සිංහල බෞද්ධ ගැහැණියෙක්ට‘ කියද්දි යටි අරුත වෙන්නෙ එහෙම නොවුණ නම් කිෂානිවත් ඒ සුදුසුකම් නැති අයවත් හෙළා දැක්කට කමක් නෑ කියන අදහස! ’’

කාවිංග මේ ලියන්නේ ‘දැනුවත්වදැයි යන්න’වත් තරංගාට ‘ෂුවර් නැත’. තරංගා හිතන පරිදි කාවිංග මෙසේ පැවසීම නිසා ‘කිෂානිට’ සයිබර් ප්‍රහාර එල්ල කළ ‘සිංහල බෞද්ධ තක්කඩින්’ගේ දෘෂ්ඨිවාදයට අනුබලයක් ලැබෙයි. තරංගා ‘දැනුවත්ව මඟ හරින්නේ’ බිරිඳගේ ගීතය වෙනුවෙන් පෙනී සිටියද ඇගේ සැමියාද ඇයම පවසන මෙම  ‘සිංහල බෞද්ධ තක්කඩි’ දෘෂ්ටිවාදයම නියෝජනය කරන්නෙක් වන බවයි. ඔහු වැන්නන් සහ මෙකී දෘෂ්ටිවාදය අතර තරංගා ප්‍රාර්ථනා කරන අන්දමේ  ඛණ්ඩනයක් නැති බවයි.

සිංහල බෞද්ධ අධිපති දෘෂ්ඨිවාදය වෙනුවෙන් පෙනී නොසිටින්නේ යැයි පපුවේ අත ගසා දිවුරන මෙම ධ්‍රැවීකරණයේ අනෙක් පස සිටින්නන් කිෂානිගේ සැමියා වන කාවිංග විජේසේකර ඉංග්‍රීසියෙන් ලියූ සටහන පරිවර්තනය කර සයිබරයට මුදා හැරියේ එහි තරංගා පවසන ‘තක්කඩින්ට’ පිළිතුරක් වන බව සිතාගෙන ය. කාවිංග තම ‘බුකි’ සටහනේ මෙසේ ලියයි.

‘කිෂානි බෞද්ධයෙකි. ඒ බව අන් අයට ඔප්පු කිරීමට ඇය උනන්දු නො වේ.’

ඔහු දිගින් දිගටම අවධාරණය කරන්නේ ඇගේ සිංහල බෞද්ධකමයි. බටහිර ‘භාවනා පන්නයේ’ ස්වරයකින් ඔහු දිගින් දිගටම අවධාරණය කරන්නේ  ඇගේ සිංහල බෞද්ධකමයි. කිෂානි මෙම සිද්ධිය ගැන කිසිවක් ප්‍රකාශ නොකර ඉන්නේ ඇයිදැයි යන්න ඔහු තම ‘බුකි’ ලියමනේ පසු සටහනක් ලෙස හකුලා පෙන්වයි. මෙලෙසිනි. කිෂානිගේ අදහසක් ලෙසිනි.

‘‘ප‍්‍රසාංගික කලාකරුවන් හැටියට අපි හැම විට ම නිර්මාණ කටයුතුවල යෙදෙනවා, ඉගෙන ගන්නවා, අලුත් දේවල් අත්හදා බලනවා, අපවාදය හා කීර්තිය අපේ ජීවිතයේ කොටසක්, මේක තමයි බුදුන් ඉගැන්වූ ‘අෂ්ට ලෝක ධර්මය’.”

අනුවේදනීය යැයි හිතාගන්න පොළඹවන කාවිංගගේ මෙම ලියවිල්ලේ ශිර්ෂය වූ යේ ‘අපගේ මානසික විලංගු ගලවා දැමෙන්නේ කවදාද?’ යන්න යි. සැබවින්ම නම් එය ඔහු විසින් ඔහුගෙන් ම අසා ගනු ලැබිය යුතු ප්‍රශ්නයකි.

සියල්ල අවසානයේ සිද්ද වනුයේ කලින්ම සිද්ධ විය යුතුව තිබි අවසානයටම එළැමීම යි.  අෂ්ට ලෝක ධර්මය ඇය අර්ථකතනය කරගෙන ඇති ඇයුරු ‘දන්නෝ බුදුන්’ ගැයූ උච්ච ස්වරයෙන්ම ඇය ‘දිවයින’ පත්තරේට මෙසේ කියයි.

‘‘....වැරැද්දක්‌ කළේ නැහැ. අනික මම ලංකාවේ ඉපදුණ හොඳ සිංහල බෞද්ධ කාන්තාවක්‌. මම හොඳට දුරදිග හිතලා බලලා තමයි මේ ගීතය තෝරාගෙන ගායනා කළේ. මම මේ ගීතය ගායනා කරන්නෙ අපේ ජාතික ඇඳුම ඇඳගෙන. එහි වර්ණය පවා තෝරාගත්තේ අපේ ජාතික කොඩියේ වර්ණවලට සුදුසු ආකාරයට....’’

යුගයක රජයන දෘෂ්ටිවාදය පාලක පංතියේ දෘෂ්ටිවාදය යැයි මාක්ස් කී කතාව යල්පිනූ එකක් යැයි සිතන්නන් කළ යුතුව ඇත්තේ ‘දන්නෝ බුදුන්‘ සංවාදය නැවත විචාර බුද්ධියෙන් කියවා බැලීමයි. ද්‍ර‍ව්‍යමය නිෂ්පාදන මාධ්‍යයන් හිමිකාර පන්තියටම මානසික නිෂ්පාදන මාධ්‍යයන් ද පාලනය කිරීමේද අධිකාරය ඇතැයි ප්‍ර‍ංශයේ සිවිල් යුද්ධය ගැන ලියමින් මාක්ස් ලියන්නේ ඒ නිසා ය.  ‘දන්නෝ බුදුන්‘ හා පැටළුනු සංවාදයේ හතර මායිමත්  සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයෙන්ම සළකුණුව ඇත්තේ එබැවිනි.  ඊට නිදසුන් තවත් ඕනෑ තරම් තිබේ.

ගායනයට කිසිසේත්ම සම්බන්ධයක් නැති සිංහ කොඩියේ වර්ණය ඇති ඔසරියක් පටලාගෙන අතිශයින් දැනුවත්ව ‘සිංහල බෞද්ධ සංස්කෘතික’ මනස ඉස්සරහ හිටගත්  කිෂානි වෙනුවෙන් පෙනී සිටින ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන්නේ ඉන්ද්‍රජාලික කතාවකි.

‘‘කිෂානි ජයසිංහගේ දන්නෝ බුදුන්ගේ ගායනය සම්පූර්ණයෙන්ම ඇසුවේ දැනුයි. එයට විරුද්ධ වීමට ඇති එකම පදනම මේ ආණ්ඩුවට විරුද්ධ වීමට ඇති අවශ්‍යතාව හැර අන් යමක් යැයි මට නොසිතේ. එය ඉතා අපූරු ගායනාවකි. බෞද්ධ බැතිමතියකගේ දෘෂ්ටි කොණයෙන් බැලූවද එය ශ්‍රද්ධාව වඩවන්නක් ලෙස කිසිදු ගැටලුවකින් තොරව ශ්‍රවණය කළ හැකි බව මගේ හැඟීමයි.’’ 

දෘෂ්ටිවාද තුල්‍ය කිරීමට, තනුක කිරීමට සහ සුසර කිරීමට විශාල මැදිහත් වීමක් කරන ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි පවා ඔහුම පවසන වර්තමාන සිංහල-බෞද්ධ ජාතිකවාදයේ සංස්කෘතික දෘෂ්ටිවාදයට ගොදුරු වන හැටි විශ්මය දනවන්නේ නොවේ.  එහි ඇති ගතිකය එයයි. ඔහු තමන් අනුදත් සංස්කෘතික-දේශපාලන දෘෂ්ටිවාදයේ සිට ගීතය වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට, පසමිතුරු දෘෂ්ටිවාදී පදනමේ පිහිටමින් ‘බොදු බැතිමතියක් ලෙස ද‘ ගීතය ශ්‍රවනය කරයි. එතැනින් නොනවතින ඔහු එකී දෘෂ්ටිවාදයේ පිහිටා සිට වුව ගීතය ශ්‍රවණයට බාධාවක් නොවන බවට ප්‍රවාද ගත කරයි. මේ වනාහී දෘෂ්ටිවාදී වියවුලේ වත්මන් ස්වරූපයයි. සමාජය තුළ බරපතල ‘මත’ හදන නිර්මාල් අයත්වන බුද්ධිමතුන්ගේ කුලකයට එක්වර ආත්ම දෙකක පෙනී ඉන්නට හැකි වීමද මෙම නිශ්චිත මොහොත තේරුම් ගැනීමට විවර වී ඇති විශාල දේශපාලන කවුළුවකි.

මෙම ‘ඔපෙරා’ සංවාදය මතවාදී තලයේදී කූඨප්‍රාප්තියට රැගෙන යනු පිණිස අගමැතිවරයා මැදිහත් කරගැනීමට ‘යහපාලන’ උපදේශකවරු කල්පනා කළ බව පෙනෙන්නට තිබුණේ ඔහු යොදවාගෙන සිදුකළ රමනීය සංවාදයෙනි‘. ‘ගඩොල් බාග’ මාධ්‍යවේදී සංඛ අමරජිත්ටත් සකල ඉලෙක්ට්‍රොනික මාධ්‍යයන්ටත් දේශපාලනිකව දැමූ ‘තග’ තනුක කර අගමැතිවරයා වනාහි, කලාව පිළිබඳ මහා පඬි රුවනකැයි යන්න සමාජය මත ප්‍රක්ෂේපනය කරන්නට ‘රාජ්‍ය මාධ්‍ය යොදා ගනිමින්’ අටවා තිබූ ‘කොදෙව්වෙ කලාව’ සංවාදයෙන් වුව ‘ඔපෙරා ගැයීම’ හෝ කිෂානි ජයසිංහගේ සොප්‍රානෝභාවය පිළිබඳ කොදෙව්වේ සීමාව සලකුණු කළා මිස, අන් යමක් නොකිරීම පුදුමයක්ද?  ගංගාරාමේ පොඩි හාමුදුරුවන්ට කියා චරිත සහතික ලියා ගන්නා අගමැතිවරයකු ‘සිංහල බෞද්ධ දේශ සීමා’ ඉක්මවා යන්නට බැරි බව සන්දර්භීය දේශපාලන යථාර්ථයකි.  එම ‘අගමැති’සංවාදයේ ප්‍රවේශය ගැටගැහෙන්නේ ‘මාකලන්දලාගේ’ ජෝන්ද සිල්වා යන්න අවධාරණය කෙරෙන ප්‍රශ්නයකිනි.  සංවාදයේ දිශානතිය තේරුම් ගැනීමට එම ‘සිංහල බෞද්ධ ජාතික වීර’ ප්‍රවිෂ්ටය ම වුව සෑහේ. මෙම ‘කෙදේව්වේ කලාව සංවාදය’ අවසානයේ, දැන් ඉතින් ‘ලංකා කලා ඉතිහාසය’ පිළිබඳ ආනන්ද කුමාරස්වාමීන් පවා අතික්‍රමණය කෙරෙන පඬි රුවනක් පහල වී ඇති බවත්, ඒ වනාහි අන් කිසිවකු නොව අගමැතිවරයා බවත් ඉන් ඉඟි කෙරේ. නමුත් එම සංවාදය අවසානයේ තහවුරු වූයේ මේ වනාහී ‘සිංහල බෞද්ධ’ ග්‍රාමීය ගෝත්‍රිකවාදයේම  ‘නාගරික වික්‍ර‍මසිංහයානු‘ මොහොත බව නොවේද? ඇත්තෙන්ම රනිල් වික්‍රමසිංහ හා මහාචාර්ය නලින් ද සිල්වා වෙනස් වන්නේ සංඛ අමරජිත් පිළිබඳ දරණ ප්‍රායෝගික ස්ථාවරයෙන් මිස වෙනස් දෘෂ්ටිවාදී ප්‍රවේශයන් සහිත නිසා නොවන්නේ ඒ නිසා ය.

“හොඳම පශ්චාත් නූතනවාදීන් ටික ඇත්තේ හෙළ උරුමය තුළ යැයි“ සමන් වික්‍රමාරච්චි කදිම උත්ප්‍ර‍ාසයකින් හකුළා දක්වන්නේ මේ යථාර්ථයයි. ඒ අනුව ‘ප්‍ර‍ගතිශීලීකම‘ ඇත්තේ මෙම දෘෂ්ඨිවාදී ධ්‍රැවීකරණයේ අනෙක් අන්තයේ යැයි ස්වයං උපකල්පනයක යෙදෙමින් මතවාදී මැදිහත්වීම් කරන බහුතරයක් දෙනා පවා අවසානයේ දැනුවත්ව හෝ නොදැනුවත්ව ගොනුවෙමින් සිටින්නේ මෙකී ‘පශ්චාත් නූතන හෙළ උරුම දේශපාලනය’ වටා ය.☐

මංජුල වෙඩිවර්ධන


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.