JDS Sinhala

අචින්තාව: සුළඟ සහ අඟුණ මල නොහොත් රණවීර සහ කපුවත්ත

මාලන් බණ්ඩාර කපුවත්ත මගේ දිගුකාලීන මිත්‍රවරයකි. අප දැනහැඳින ගන්නා සමයේදී පවා ඔහු තමන් තුළ ගැඹුර කවියක් මතු කරගැනීමේ ලාලසාවෙන් පෙළෙමෙන් කවි ලියූවෙකි.  ඔහු තවත් මිත්‍රවරයකු වූ අනුර බණ්ඩාර හේරත් කැටුව ගෙනැ ආ ‘හද පැල්ලම’ ගෙදර කවිපොත් ගොන්නේ ඇත.  එකල අපි ඉඳහිට හෝ හමුවෙමු. එහෙත් දැන් අපි තැන් තැන් වල ය. අපි එදා සිට අද දක්වාම විවිධ කවි ලියමින් විවිධ සංවාදයන්හි නිරත වන්නෝ වෙමු.  සංවාද විවාද හෝ විසංවාද කිසිදා අප මිත්‍රත්වයට බාධාවක් වී නැති.  ඔහුගේ ‘අඟුණ මල් ’ මා වෙත පාවී ආවේ ඉකුත් දවසක ය.  වහා කියවිය හැකි - වහා කියවිය යුතු වර්ගයේ හුරුබුහුටි කවි ඇති හුරුබුහුටි කවි පොතකි. කියැවීමි.  කියැවීමි. කියැවීමි.  එය පැය බාගෙකින් හෝ පැයකින්  පිටු පෙරලා හමාර කළා යැයි කියනෙ‘ක පහසු ය. ඇත්තෙන් ම එසේ කළ හැකි බැවිනි.  එත් එය එසේ ඉවර කරන්න ට බැරි ය. ඔය කව් ප්‍රවර්ගය එබඳු ය.  කවියෙහි බැඳුණු කියවන්නෙක් අසබඩ මිය යන තුරු ම ගැවසිය වර්ගයේ පොතකි. ඒ ගැන තර්කයක් නැත. මේ පොතම තව දශකයකින් අතට ගත් විට ඇති වන්නේ වෙන ම රිදීමක් බව කල් තියාම කිව හැකි ය.  දශකයක් ජීවත්ව සිටියොත් බලමු! එබැවින් සුළඟේ ගසාගෙන නොගොස් අහළ පහළ ම රැඳෙන්නැයි ‘අගුණ මල්’ වෙත පවසමි.

‘අඟුණ මල්’ සංක්ෂ්ප්ත කවි ගැන අසංක්ෂිප්ත වාර්තා කොළඹ අච්චුගසන පත්තරවල දිගට හරහට පළවේ. ඇත්තෙන් මේ ගැන ලිවිය යුතු ය. සංවාද විවාද කළ යුතු ය.  මෙම ක්ෂුද්‍ර කව් ප්‍රවර්ගයේ භාවිතය ගැනද අවභාවිතය ගැනද කතා කළ යුතු ය. අවනිශ්චයන් මෙන්ම අධිනිෂ්චයන්ද කතා කළ යුතුව ඇත. මාත්‍රා ඇඟිලි ගනිමින් විශ්වීය කවි ලියූ බෂෝ, ඉසා, බුසොන්, ඍතු අතරින් ගැඹුරු අඩි තබමින් ගමන් කරමින් සිදුකළ  දාර්ශනික සංවාදය, ඍතු විරහිත සන්ධර්භයක සංවාද කිරීම වටනේ ය. හෙන්ද්‍රික් දූෆ් බඳු අහම්බකාර බටහිර කවියකු නාගසාකියේ පය ගසා ජීවිතය කවියෙහි ගටා ඉතිරිකර තබා ගිය එක කවියක, දෙකක ඇති දාර්ශනික මෟනවෘතය සංයමයෙන් ලිහා පහදා ගත හැක්කේ එවිට ය.  සයුරක් ගැඹුරැති හයිකුව බෙලි කටුවක උසුළාගෙන  බටහිරට රැගෙන ආ ඩොරොති බ්‍රිටොන්ගේ අධ්‍යාත්මය ගොඩනැගුණු ජපන් සන්ධර්භය අවලෝකනය කළ හැක්කේ එවිට ය.  එ මතු නොව නූතනවාදයට අභිමුඛව  එතෙක් පැවති සම්භාව්‍ය- මහාඛ්‍යාන-රොමාන්තිය සළුපිළි උණාදැමූ  එස්රා පවුන්ඩ් පන්නයේ උත්තම කවීන්ට ගෞරව කරනු වස් මෙම සංවාද පරිස්සමින් කළ යුතු ය. ‘උතුම් කිවියක පැවතිය යුතු මේ චිත්තරූපික ගුණය පිළිබඳව, චීන හා ජපන් කවීන් අටවන සියවසේ සිටම දැන හැඳිනගෙන සිටීමත්, එය ඒ මොහොතේ බටහිර කවීන් නොදැන සිටීමත්’ ආරියවංශ රණවීර කවියා ‘පුදුමයට පත් කරන්නේ ඇයිද’ යන්න විග්‍රහ කර ගත හැක්කේ එවිට ය. හතළිහෙන් උපදින කවීන්ටත්, හතළිහෙන් මිය යන කවීන්ටත් සාධාරණය ඉෂ්ඨ කළ හැක්කේ එවිට ය. කුඩා පරිමානයෙන් පෙති දෙපෙති නංවන පොත් ගැන මහා සංවාද ගොඩ නැංවිය හැක්කේ එවිට ය.  නූතනවාදී කවිය තුළ ‘චිත්තරූවාදී හැසිල්ල’මතුවන්නේ සම්භාව්‍ය-මාහාඛ්‍යාන-රොමෑන්තික විරෝධයද මද පදනම්වද නැතිනම් අන් කවර සංඝඨක පදනම්වදැයි යන්නත් විමසා වදාරමින් සංවාද කළ හැකි ය.

‘අඟුණ මල්’ වැකියකට හකුළන්නේ නම්, මේ වනාහී එකොළොස් වසක් අතැරී තිබුණ කවිකම ක්ෂණිකව පුපුරා යවන්නට මාලන් බණ්ඩාර මිත්‍රවරායාණන්ට පෙර කී පෙති දෙපෙති නංවන දෑ නොව, ‘තුන්පෙති හතර පස් පෙති ’ආභාෂයයක් මතු නොව ආවේශ වීමකි. ‘අඟුණ මල්’හදවතේ පැටලෙන්නට පෙර ඔහු අත පෙර කී පොත මොන තරම් වර නැඟෙමින් තිබෙන්නට ඇද්දැයි යන්න මා තුළ චිත්තරූපයක් ලෙස මතුවීම මට නම් වළක්වා ගන්නට බැරි ය. .  ඉදින් අර එකොළොස් වසක කාව්‍යමය කාංසාව පුපුරා යන්නේ මෙම ‘පෙතිමුවා‘ සිද්ධිය නිසා බව දැන් ඉතින් මට නම් අපැහැදිලි නැත. ඔහුගේ හදවත් කාව්‍ය කෝෂ්ඨාගාරයේ තැන්පත්ව තිබි අතිමාත්‍ර වාග් සැරසිලි නැති අල්පෝක්තිකර හැඟීම්  දැන් සංදිග්ධතාවයෙන් නිනද නැඟෙතැයි තුඩ තුඩ කියැවෙන සංක්ෂිප්ත කවි පොතකි.

මේ කවි ගැන සැබෑවටම ලිව්ව යුතු ය. මේ ගැන ලිවිය යුතු වන්නේ  ඔහු මොන තරම් ක්ෂුද්‍ර කවියේ සන්ධර්භයට සවිඥානකද යන්න විමසා බලන්නට ය. එසේ නොවී පවා කවි ලියැවෙන්නට ඉඩ නැති බව ඉන් කියැවෙන්නේ නැත. මනසේ නොසිතූ විරූ විවිධ ස්ථර තිබෙන්නට පිළිවන. ඒ කෙසේ නමුත් මේ ලියවිල්ල, කපුවත්ත මිත්‍රයාගේ කවි ගැන මගේ සිතීම නොවේ. ඒ ගැන මතුවට ලියමි. මේ සටහන, ක්ෂුද්‍ර කවිය අරභයා ‘අඟුණ මල්’ කෘතියේ වන අභ්‍යන්තර සංවාදයක් කෘතියෙන් ගළවා එළියෙහි තැබීම නිමිති කර ගත්තකි. ඒ සංවාදය ඇති වන්නේ වෙන කවරකුවත් අතර නොවේ, කපුවත්ත,රණවීර සහ කපුවත්ත අතර යි. ඔවුන්ම කෙළ පැමිණී ඇතැයි ඔවුනොවුන් විසින්ම වර නැඟෙන ක්ෂුද්‍ර කවිය අරභයා ය.

මෙම පොතේ පෙරවදන සේ සැළකිය හැකි ‘සාර සංක්ෂිප්ත කවිය’නම් වන  ලියවිල්ලේ ආරම්භක වැකියෙහිම,  නූතන සිංහල කවියේ ව්‍යාජ භාෂා ඔටුණු, අබරණ, කසී සළුපිළි පමණක් නොව, තව තව බොහෝ දෑ ගලවා ඉවත හළ සිංහල බෂෝවර, රණවීර කවියාණන් මෙසේ කියයි.

‘‘නූතන කවියෙහි ආත්මය චිත්තරූපය යයි කිවහොත් එය ප්‍රශ්න කරන්නන් සිටිය හැක්කේ අතලොස්සකි.’’

රණවීර පන්නයේ භාෂාමය බැරියර මෙයාකාර ය. පෙරහැර එන්නට කලියෙන්ම දළ ගණන් කර අවසන් ය. ඉදින් වහ වහා පැවසිය යුත්තේ මා සිටින්නේ ඒ අතලොස්ස අතර නොවේ යන්න නොවේද?  රණවීරයන්ගේ ශාස්ත්‍රීය තගට බියවන්නට එය හොඳ ය.

ඔහු එම ‘සාර සංක්ෂිප්ත’ලියැවිල්ලේ සමෝධානමය මොහොතේ ‘එවන් මාළු, එවන් ඇඟේ තබ තබා කප කපා’මෙසේ ලියයි.  මාලන්ගේ කවියක් උපුටමිනි.

‘‘නැවතුණ පසුව වැසි
පත් අගින්
රෑරා වැටෙයි
දෙවන වැසි

‘‘මේ කවද අප බොහෝ ඈතට ගෙන යාමට සමත් වන එකකි. මහ වැස්ස වැහින්නේ සකල පොලෝ තලයම වසා පැතිරීගෙන වෙන අන් ආධාරකයක් නොමැතිව තමාගේම ශක්තියෙනි. එය මහා බලගතු නියාම ධර්මයක් විසින් පොලොවට දෙනු ලබන දායදයකි. මේ මහා වැස්ස නතරවුණු පසු, වැස්සේ ලකුණු ගෙන වසින දෙවන වැස්ස පතිත වන්නේ තම ශක්තියෙන් නොවේ. පත් අගිනි. මහා වැස්සෙන් යම් යම් අංග පමණක් දෙවන වැස්සේ ගැබ්ව ඇත. එයට ස්වඡන්දයක් නැත. එය අනුකරණයකි.‘‘

කපුවත්ත මා මිත්‍රයා තමන්ගේ කෘතියේ රසිකාවතරණයේ මුඛ්‍ය දෙසුම දන් දී ඇත්තේ තමන්ගේ කවිය මෙසේ කින්ඩීත්වයට පත් කළ, නැතහොත් අවප්‍රමාණයට ලක්කළ ඔහුගේ කවි සුරුවමට ය. නමුත් අනික් පසින්, මෙම කැඳවීමේ පවා ඇත්තේ මේ මහා රූපකාර්ථ තුළ ම ධ්වනි නැඟෙන වෙසෙස් කරුණක් බවද පෙනෙන්නට තිබේ. මන්දයත් මෙම සංක්ෂිප්ත කාව්‍ය ධූරාවලියේ මෙම නිෂ්චිත මොහොතේ තමන්ට හිමිවිය යුතු තැන පිළිබඳව තක්සේරුවක් ඇතුවාක් මෙන් හැසිරෙන අප මිත්‍ර මාලන් බණ්ඩාර කපුවත්ත විසින් ආරිවංශ රණවීරගේ කෘතියේ පෙරවදනේ සමෝධානය පැන නඟින තැන, ඔහුට එය ලියන්නට බාර දෙද්දීම ඉඟි කර තබනු ලැබ ඇති බැවිනි.  ඉදින් දැන් ඉතා සාවධානව සහ සංයමශීලීව බැලූ කල පෙනෙන්නේ මෙම අභ්‍යන්තර සංවාදයේදී රණවීරයන්ගේ හිත කැළඹෙන තරමට  මාලන් ඔසවා ඇති මාරියාව කවරක්ද යන්න යි.  කෘතියක් ලෙස පරිහරණය කරද්දී මාලන් විසින් කලින් ලියැවුණු ‘හිත රිදවුම’අපට හමුවන්නේ පසුව ය. පිටු 112ක් වන මෙම  කෘතියේ 100 වැනි පිටුවේදී මාලන් බණ්ඩාර කපුවත්ත රණවීරගේ ‘කැත’කතාවට නිෂ්චිත පිළිතුරක් දෙයි. ඔහු ක්ෂුද්‍ර කවියෙන් මෙසේ ලියයි.

‘‘ඉඩ ඇහිරූ
මහ කඳ පෙරලුවෙමි
නැඟෙන්නට
පැලයකට’’

අපට බලා සිටින්නට සිදුව ඇත්තේ මේ මහ කඳ, පැලය ගැන ඔහුගේ කෘතියේ නිශ්චිත රසිකාවතරණ මොහොතේ (පෙබවරවාරි දෙවැනි දා) නැවත කියන්නේ කුමක්ද කියා ය.  ඔහු කියන දේ පුනරුක්ති දෝෂයට හසු නොවී අලුත් අරුත් නංවන්නේ නම්, අලුත් අලුත් සංකල්ප රූප මවන්නේ නම් පමණක් ක්ෂුද්‍ර කවිය පිළිබඳ සංවාදය මෙම කෘතිය පදනම් කරගනිමින්ම කෘතියෙන් ගලවා එළියට ගත හැකි ය.

අවසාන වශයෙන් කපුවත්ත මිත්‍රයාගේ උපුටනයක් යළි උපුටමි.

‘‘....සුළඟ විසින් ගිලගනු ලබන තැන අඟුණ මලටද ගමනක් නැති බව කවියා දනී..... ’’

දැන් සියල්ල අතිශයින් පැහැදිලි ය. මේ වනාහී කෘතියේ නාමකාය සකසා දෙන සන්දර්භයට කපුවත්ත එක්කරන විවිධ අර්ථකතන අතර වන එක් ප්‍රවේශයකි. සංක්ෂිප්ත කවියේ නෛසර්ගික ව්‍යුක්ත ව්‍යුහය තුළ රණවීරයන් කියන්නා සේම විවිධාකාර සංකල්රූප උපදින්නට බාධාවක් නැති. ඉදින් මා රණවීර පන්නයේ බැරියරයක් දමමින් ම පවසන දේ, එනම්,  සුළඟ සහ  අඟුණ මල, රණවීර  සහ කපුවත්ත කවීන් දෙදෙනා මත තබා විමසා බැලීම, යුක්ති යුක්ත නොවන්නේ යැයි කිව හැක්කේ අතලොස්සක් දෙනාට පමණකි.

ඉදින් රණවීර නම් සුළඟ අබියස අඟුණ මලක් වීමේ ඉරණමට නතු නොවී, ස්වකීය කාව්‍ය ගමන් මාර්ගයේ තමන්ට ම අනන්‍ය ගැඹුරු අඩි ලකුණු තබන්නට නම්, ව්‍යාජ ගුණ ගායනා අතුරින් සැබෑ කටහඬවල් තෝරා ගැනීමේ ඥානය සහ නිරහංකාරකම මා මිත්‍ර මාලන් කවියා තුළ තිබිය යුතු ය.  ඒත් ‘‘හැරගිය මඟෙහි ඉඳිහිට හෝ හමුවන ගැඹුරු අඩි ’’අමතක කර දමන්නකුට නම් එවන් ඥානසම්පන්න සහ නිරහංකාර කවියකු විය නොහැකි බව අවසාන වශයෙන් අවධාරණය කරමි.☐

මංජුල වෙඩිවර්ධන


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.