JDS Sinhala

අචින්තාව: ‘දීපන්' කතිකාව නොහොත් 'දෙමළා' ගැන 'මගේ සිංහල ලෝකය'

මකාලීන ප්‍රංස සිනමාවේ ප්‍රමුඛයකු ලෙස සැළකෙන ‘අ ප්‍රොෆට්‘ හරහා ලෝක සිනමා අවකාශයේ දැඩි සටහනක් තැබූ ජැක් ඕදියාගේ සප්තම සිනමා වෘත්තාන්තය වූ ‘දීපන්‘ හට  ප්‍රංසයේ කෑන් සිනමා උළෙලේ ‘පැල්ම දෝ‘ සම්මානය හිමිවිය. එය බරපතල ලෙස අපට අදාළ වන්නේ එම චිත්‍රපටයට දෙමළ පිටුවහල පදනම් ව තිබීමයි. මෙම සිනමා පටයේ අන්තරගතය ගැන අපට තවමත් විවාද කළ නොහැක්කේ ප්‍රංසයේ විසුවද එය නැරඹීමේ අවකාශය උදා වී නැති බැවිනි.

ඒ කෙසේ වුව මෙම ලියැවිල්ලේ අරමුණ සිනමාපටය ගැන විග්‍රහ කිරීම නොවේ. එය නැරඹූ විට ඒ ගැන කතා කරන්නට හැකි ය. අපේ අරමුණ ‘දීපන්‘ කෘතියේ දීපන්ට පනපොවන සෝබාශක්ති ලෙස අප දන්නා අන්තෝනිදාසන් ජේසුදාසන් අරබයා ශ්‍රී ලංකාවේ සංස්කෘතික- ජනමාධ්‍ය කවයන් තුළ තුළ පැන නැඟී ඇති 'සිත් ගන්නා සුළු' කතිකාව විමසා බැලීමයි. බැලූ බැල්මට පෙනෙනුයේ එය සිනමාපටයක් හා එහි රඟපෑ නළුවකු පිළිබඳ සංස්කෘතික කාරණාවක් කෙන්ද්‍ර කරගත් දේශපාලන කතිකාවක් ලෙසිනි. නමුත් මෙකී 'දේශපාලන කතිකාවත' නැවත විශ්ලේශනය කර බැලීමේදී පෙනෙනුයේ සිංහල සමාජය තුළ ‍‘දෙමළා ‘ පිළිබඳව පවතින අවිඥානික අදහස කවරාකාරද යන්නයි. අවසානයේ මේකී විශ්ලේශනයන් කෙරෙන් වර නැඟෙන්නේ දෙමළ මිනිසාට ‘දෙමළා‘ යනුවෙන් අනන්‍යතාවක් නැති බව ය.

ඉදින් අප ආරම්භයේදීම අපේ දේශපාලන හෘදය සාක්ෂියෙන් මෙසේ විමසා ගත යුතු ය. ‘‘හිටපු කොටියෙකු වීම මත පදනම්ව තවමත් කොටියකු බවට සැළකුම් ලැබීම හේතුවෙන් සෝබාශක්ති පිළිබඳ අප්‍රසාදයෙන් කතා කරන්නන් හා සෝබාශක්ති උග්‍ර කොටි විරෝධියෙකු හා ඊළම් විරෝධියෙකු වීම හේතුවෙන් ඔහු පිළිබඳ ප්‍රසාදයෙන් කතා කරන්නන් අතර දේශපාලන ගුණයෙන් ඇති වෙනස කුමක්ද?‘‘

මෙම කතිකාවතෙහි නිනද නැඟෙන ස්ථාවරයන් වර්ගීකරණයකට ලක්කළ හොත් පැහැදිලිවම දක්නට හැකි ස්ථාවර දෙකක් ඇත.  පළමු ස්ථාවරය වන්නේ අන්ත දක්ෂණාංශික විවෘත සිංහල වර්ගවාදී ස්ථාවරය යි. දෙවැන්න  වන්නේ මෙම වර්ගවාදී ස්ථාවරයට විරුද්ධ ප්‍රගිතිශිලී සේ හැඟෙන අවකාශයක ස්ථානගත ප්‍රගිතිශීලී මුහුණුවරක් ගත්  ස්ථාවරය යි. මෙම ධ්‍රැවීකරණය තුළ අපට බල කෙරෙන්නේ වර්ගවාදී ස්ථාවරයට විරුද්ධව (විරුද්ධ නම්) අනෙක බාර ගන්නා ලෙසයි. දෘෂ්‍යමානයේදී ධ්‍රැවීකරණය වූ  ස්ථාවර දෙකක් වශයෙන් ඉදිරිපත් කෙරෙන මෙම ආස්ථාන හඟවන්නේ ඇත්ත ධ්‍රැවීකරණයක්ද? ව්‍යාජ ධ්‍රැවීකරණයක්ද?

මෙම කතිකාවේ පළමු ස්ථාවර වන විවෘත සිංහල වර්ගවාදී  ස්ථාවරය අන්තර්ජාල - සමාජ මාධ්‍ය ජාල තලයේ මතු නොව, අවම සන්නිවේදන සංයමයක හා ආචාරධාර්මික පදනමක පිහිටිය යුතු ප්‍රමුඛ සිංහල ජාතික පුවත්පත් හරහාද සම්පාදනය වන්නේ වෙයි. වැඩියෙන්ම විකිණෙන පත්තරය යන කිරුළ හැමදාම හිසෙහි පළඳාගෙන සිටිනා ලංකාදීප පත්තරයේ නින්දිත ‘උප සංස්කරණ මේසයේදී‘, ‘දීපන්‘ ශීර්ෂගත වන්නේ ‘ළමා කොටියාට ප්‍රංශ රන් සම්මානය‘ලෙසිනි. තිස්ස මඩවල විසින් ලියැවුණු, කරුණු ලෙසත් වැරදි මෙම ලියවිල්ලේ ඇරඹුමේදී ම අන්තෝනිදාස් ජේසුදාසන් හිටපු ළමා සොල්දාදුවෙක් බව පවසයි. එහිදී ඔහු ප්‍රංසයට ආ හැටි සහ දීපන් දක්වා අතීතය හකුළා පෙන්වයි.

පළමු පාර්ශවයේ විමසුම් ඇස යොමුවන්නේ ‘කොටියා‘ නමැති අනන්‍යතාව තුළ ‘සෝබාශක්ති සිරගත කොට, රට තුළ ජීවත් වන දෙමළ මිනිසාගේ අයිතීන් කප්පාදු කිරීමට 'දිවි බේරාගත් කොටියෙකුගේ කතාව' භාවිතා කළ හැකිද යන්නයි. මෙකී ආධානග්‍රාහිත්වය කෙතරම් දුර ගමන්කරන්නේද යත් කීර්ති වර්ණකුලසූරිය නම් වන 'දිවයිනේ' කූඨක ලියන්නා එය කූඨප්‍රාප්තියට පත් කරයි. අප'කීර්ති'මත් දිවයින ලිපියේ ශීර්ෂය වන්නේ ‘‘ද්‍රවිඩයන් 40000ක්‌ ඝාතනය වූ බවට නැඟෙන චෝදනාවේ ඇත්ත කතාව‘‘ යන්නයි.

මෙම 'ආරක්‍ෂක විශ්ලේෂක කවටයා' සිය කුප්‍රකට ලිපිය අරඹන්නේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජතවරියක වන ඒරියල් ඩුටිස්කි අතරුදහන්වූවන් ගැන සොයා බැලෙන නිල ක්‍රියාවලියකට ලංකාවට පැමිණීම, කෑන් සම්මානය සමඟ ගැටෙන්නට සළස්සමිනි. ඒ අනුව, අතුරුදන් වූවන් යනුවෙන් කිසිවකුත් නැති බවත් එසේ පැවසෙන්නවුන් ලංකාවෙන් පැනගිය ගියවුන් බව තහවුරු කිරීමටත් මෙම කීර්තිමත් 'යුදකාමියා' සුපුරුදු ලෙසම නිර්ලජ්ජිතව ලියන්නේ, ‘‘එසේ අතුරුදහන් වූවන්ගෙන් තිදෙනෙකු කෑන් සිනමා උළෙන් මතු වූ බව'යි.  කිසිදු කරුණු වගවිභායක් නැති ඔහු මතු නොව, කලාව වෙනුවෙන් 'දිවි පරදුවට තබන්නට කැප වී සිටින' ඉරිදා දිවයින කතුවරයාටද ඒ ගැන හාන්කවිසියක්ද නැති තරම් ය.

කීර්ති අපකීර්තිමත් ලෙස මෙසේ ලියයි. ‘එහෙත් මේ සතියේදී පැවැති ලෝ පූජිත කෑන්ස්‌ චිත්‍රපට උළෙලේදී අතුරුදන් වූ බව කියන තිදෙනකු මතු විය.ඒ අන්තෝනිදාසන් ජේසුදාසන්, කයිලේස්‌වරි ශ්‍රී සීනිවාසන්, ක්‌ලෝඩින් විනායිතම්බියි."

සිනමා පටයෙන් කියැවෙන ප්‍රබන්ධය, ඇත්ත කතාවකැයි කල්පනා කොට ඇති මේ ආරක්‍ෂක කවටයා නොදන්නා කරුණු කීපයක් තිබේ. පළමුවැන්න සෝබාශක්ති වසර 20ක් තිස්සේ ප්‍රංශයේ ජීවත් වන බවයි. දෙවැන්න, විශ්‍රාමික ඉන්දීය හමුදා නිලධාරියෙකුගේ දියණියක් වූ කයිලේස්වරී දකුණු ඉන්දියාවේ වේදිකා සහ වීදි නාට්‍ය ක්‍ෂේත්‍රයට කැප වූ වෘත්තීය නිළියක බවයි. තුන්වැන්න, සිනමා පටයේ රඟපාන ක්ලෝඩීන් විනාසිතම්බි ප්‍රංශයේ ඉපිද, එහිම හැදී වැඩී අධ්‍යාපනය ලබන දෙමළ දැරියක බවයි. ඒ තිදෙනා කෑන් සිනමා උළෙලට සහභාගී වූ විට 2009 යුද්ධයෙන් ලංකාවේ 400,000ක් දෙමළ ජනයා මියගිය බව බොරු බැව් ඔප්පු වන්නේ කෙසේද?

දිනපතා 'ෆයිනෑන්ෂියල් ටෛම්ස්' පුවත්පතට ඩීබීඑස් ජෙයරාජ් ලියන කොලමේ සඳහන් කෙරෙන්නේ සෝබාශක්ති වයස 16දී ස්වේච්ඡාවෙන් කොටි සංවිධානයේ අත්උදව්කරුවකු වී පසුව එහි පූර්ණ කාලින සාමාජිකයෙකු වශයෙන් සංවිධානයේ කලා සංස්කෘතික ක්‍රියාකාරකම්වලට දායක වූ බවයි. ජෙයරාජ්ට අනුව සෝබා සංවිධානගතව හිඳ ඇත්තේ 1984 සිට 1987 දක්වා වූ අවුරුදු තුනක කාලයකි. 1987දී ඔහු සංවිධානය හා ඇතිකර ගත් මත ගැටුම් හේතුවෙන් එයින් වෙන්වී කොළඹට පැමිණේ. කොළඹිදී ‘කොටියකු‘ සේ අත්අඩංගුවට පත්වී රැඳවුම් කඳවුරුගතව හිඳ පසුව නිදහස් වන හෙතෙම 1990දී තායිලන්තයට ගොස් තිබේ. ප්‍රංශයට පැමිණෙන කතාව හැදෙන්නේ බැංකොක් නගරයේදී ය. වසර 20කුත් ඉක්මවා ඇති සෝබාශක්තිගේ ප්‍රංශ ගමන හා ‘පැල්ම දෝ‘ සම්මානිත ‘දීපන්‘ කෘතියට ඔහුගේ දායක වීම ගැන 'දිවයින' පොට පටලවන්නේ මේ කාරණා කිසිත් නොතකා හරිමිනි.

ඔහුගේ මෙම වර්ගවාදී කබරගොයි තලගොයි ස්ථාවරයට එරෙහිව හිටගන්නා අනෙක් පාර්ශවය හිතන්නේ ඒ ස්ථාවරය අභියෝග කරන්න හැකි මඟ වන්නේ ‘කොටියා‘ යන අනන්‍යතාවය වෙනුවට ‘ශ්‍රී ලාංකිකයා‘ යන්න ආදේශකිරීමෙන් බවයි. මෙමගින් සෝබාශක්තිට අනියමින් යෝජනා කෙරෙන්නේ මෙයයි: එක්කෝ උඹ ‘කොටියකු‘ යන අදහස දරා ගත යුතුයි, එසේ නොමැති නම් ‘ශ්‍රී ලාංකිකයකු‘ යන අනන්‍යතාව තුළට ගොනුවිය යුතුයි යන්න යි. මේ සියල්ලන්ටම ප්‍රස්තුත ‘දෙමළ මිනිසා' ඒ සම්බන්ධයෙන් දරන්නා වූ  ආකල්පය විමසා බැලීම අවශ්‍ය නොවන්නා සේය. අවම වශයෙන් මෙම අර්ථකතන දෙස දෙමළ මිනිසා ආපසු හැරී බලන්නේ කෙසේ දැයි හිතන්නට උවමනාවක් නැති.

මෙම ‘දීපන්‘ කතිකාවතේදි අවශ්‍යයෙන්ම මඟහැර දැමෙන සුවිශේෂ දේශපාලන ගැටළුව එයයි.  මෙම ලියවිල්ල පිණිස උත්තේජනය සැපයෙන්නේ මෙම මඟහැර දැමෙන දේශපාලන ගැටළුව විශ්ලේෂණය කර ගැනීමේ උවමනාව විසිනි.  ඒ අනුව මෙම කතිකාවත ලිහා පාදා බැලූ විට මේ ස්ථාවර දෙකෙහිම අප්‍රකාශිත අරමුණ ලෙස පෙනී යන්නේ තමන්ගේ වත්මන් දේශපාලන ආස්ථානයන් සුජාත කරගනු වස් 'සෝබාශක්ති' නමැති දෙමළා මෙවලමක් බවට පත් කර ගන්නේ කෙසේද යන්නයි.

'ලංකාදීප' සහ 'දිවයින' පත්තරවලින් ප්‍රචලිත වර්ගවාදී මතයට විරුද්ධව අදහස් දක්වන්නන් (බොහෝවිට සද් චේතනාවෙන්) සිතනුයේ ඊට අභියෝග කළ හැකි ඉස්තරම්ම ආකාරය සෝබාශක්තිගේ අනන්‍යතාව ‘‘ශ්‍රී ලාංකික‘‘ ලෙසින් ගැනීම බවයි. ඔවුන් සිතනුයේ ‘කොටියා' යන අනන්‍යතාවට ප්‍රතිපක්ෂ අනන්‍යතාව වන්නේ, ‘ශ්‍රී ලාංකිකයා‘ යන්න බවයි. මෙම ප්‍රගතිශීලී අදහස විසින් ‘දෙමළා‘ වෙත නිකුත් කෙරෙන සංඥාව වන්නේ ‘තමුන්ගෙ ඉරණම, එක්කො කොටියෙක් බවට පත්වීම බවත් නොඑසේ නම්  තමුන්ව අපට ආරක්ෂා කිරීමට හැකිවන්නේ තමුන් ‘ශ්‍රී ලාංකික අනන්‍යතාව තුළට පැමිණියහොත් පමණක් බවත් ය. මේ අදහස ලියවිල්ලකින් උපුටා ගන්නේ නම් මෙසේය. රාවයේ තරුණ ලේඛකයෙකු වන තරිඳු උඩුවරගෙදරගේ ලියැවිල්ලකි. රාවය පත්තරයට ප්‍රතිපත්තියක් ලෙස කිසිදු සම්මුඛ සාකච්ඡාවකුදු නොදෙන ජනතා විමුක්ති පෙරමුණේ ‘ලංකා ට්රුත්‘ වෙබ් අඩවිය පවා ලේඛකයාගේ නම ද හළා, උපුටා පළ කරන්නේ රාවයේ මෙම ලියවිල්ලයි.  මෙම ස්ථාවරයේ ‘සැබෑ ප්‍රගතිශීලීභාවය‘ මෙකී  ප්‍රතිප්‍රකාශනයෙන් වුව පැහැදිලි කර ගත හැකි ය. 'බල්ලකු නාවන්ට ගෙනයනවා මෙන් රාජපක්‍ෂ යුද්ධයට ගෙන ගියෙම්'හයි මුලින් පාරම් බා, 'දෙමළ ජනයාගේ ගම් බිම්වලට බර අවිවලින් පහර දීම වරදකැ'යි පසුව මැසිවිලි කී ජවිපෙට පවා, හදිසියේ හම්බ වූ සෝබාශක්ති 'වැදගත් ලාංකිකයෙකු සේ මතු කොට පෙන්වන්නට 'රාවයේ' ලිපිය කදිම ආධාරකයක් බවට පත් වූ සෙයකි.    

රාවයේ ලියුම්කරු මෙසේ ලියයි: "සෝබාශක්ති එල්ටීටීඊ යෙන් ඉවත් වී වසර විස්සකි. ඔහු එල්ටීටීඊ මතවාදය තවදුරටත් දරන්නේ නැත. ඔහු ශී‍්‍ර ලාංකිකයෙකි. සිනමා ලෝකයේ ලැබිය හැකි ඉහළම ගෞරවයක් ලද ශී‍්‍ර ලාංකිකයෙකි.......ජේසුදාසන්ව ශී‍්‍ර ලාංකිකයෙක් ලෙස පිළිගැනීමටවත් අපට හැකි විය යුතුයි. සම්මාන උලෙළ අවසානයේ මාධ්‍ය හමුවේ ඔහු කීවේ තවදුරටත් අවි අතට ගැනීමට දෙමළ මිනිස්සුන්ට අනවශ්‍ය බවත්, දෙමළ ජනතාවගේ අයිතීන් අවියෙන් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් දිනාගත යුතු බවත්ය. එමෙන්ම ලංකාවේ සිදුව තිබෙන දේශපාලනික වෙනස ද ඔහු සුභවාදීව දකියි. දෙමළ ඩයස්පෝරාව විවේචනය කරමින් ඔහු කීවේ ලංකාවේ දෙමළ ඊළමක් අවශ්‍ය නැති බව ය." (අවධාරණය මෙම ලියුම්කරුගේය)

‘‘ප්‍රගිතිශිලී‘‘ සේ ගැණෙන මෙම මතයට අනුව, සෝබාශක්ති පන්නයේ ශ්‍රී ලංකිකයා ස්වයං නිර්ණය පිණිස දෙමළ ජනයා සතු අයිතිය ප්‍රතික්ෂේප කළ යුතු ය. එනයින්, ඊළාම් සිහිනය අතෑරිය යුතු ය. ඉකුත් ජනේරු මැතිවරණයෙන් ඉක්බිති සමාජ පරිවර්ථනයක් විනැයි පිළිගත යුතු ය. වෙන්වීමේ උවමනාව ඇත්තේ දෙමළ ජනතාවට නොව දෙමළ ඩයස්පෝරාවට බව පැවසිය යුතු ය.

නමුත් මෙම ‘‘ප්‍රගතිශීලී‘‘ මතයේදී පවා නොතකා හැරෙන වැදගත් කාරණයක් තිබේ. ඒ මෙයයි:

2013 උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සංවිධානය අවධාරණය කළ ප්‍රමුඛ කරුණු තුනකි. එක, දෙමළ ජනතාව වෙනම ජාතියකි. දෙක, උතුරු හා නැගෙනහිර පළාත් වනාහී දෙමළ ජනයාගේ ඓතිහාසික වාසභූමියයි. තුන, දෙමළ ජනතාවට ජාතියක් ලෙස ස්වයංනිර්ණ අයිතියට හිමිකමක් තිබේ. උතුරු සහ නැගෙනහිර පැතිරුණු බහුජන නියෝජනයකින් සැදුම්ලත් දෙමළ සිවිල් සමාජ සංසදය පවා දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීමේ පදනම් වශයෙන් පෙන්වා දෙන්නේ මෙකී මූලික කාරණා තුන ය. ඉකුත් පෙබරවාරියේ උතුරු පළාත් සභාවට ගෙන ආ යෝජනාවේ වන්නේ ‘නිදහසින් පසු දෙමළ ජනයාට එරෙහිව සැළසුම් සහගතව සංහාරය කිරීමේ සම්බන්ධීකරණය කළ පිළිවෙතක් දිගින් දිගටම ගෙන ගිය බව යි. ඒ වනාහී 2009 වෙසක් මාසයේදී කූඨප්‍රාප්තකර වූ භෞතිකව ම සිදු කළ සංහාරය නොව, එයින් දශක ගණනාවකට පෙර අතීතය කරාද දිවෙන දෙමළ ජනයාගේ ජාතික ජීවිතය විනාශ කිරීමේ සැළසුම්සහයගත ක්‍රියාවලියයි.

දැන් දැන් දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන නිල සංවිධාන පවා කියන්නට මැලිවන මෙම ඉල්ලීම් තවමත් අවධාරණය කරන්නේ යුද්ධයෙන් දිවි ගළවාගෙන ලංකාවේම ජීවත්වන දෙමළ ජනයා විසින් නම්, විසි වසක් ප්‍රංසයේ ජීවත් වූ සෝබාශක්තිට ප්‍රදානය කෙරෙන 'ශ්‍රී ලාංකික' නාමයට ඇත්තේ කවර නම් වටිනාකමක්ද?

නමුත්, සිංහල සමාජයේ පැන නැඟෙන ප්‍රගිතිශීලී යැයි සැළකෙන කතිකාවත අන් වැදගත් කාරණාවක් මතුකොට පෙන්වයි. එනම්, සිංහල සමාජය තුළ ‘දෙමළා‘ පිළිබඳ සිදුකෙරෙන කතිකාවත මුළුමනින්ම දෙමළාගෙන් බැහැරව, දෙමළාගේ සහභාගීත්වයකින් තොරව, දෙමළාගේ අරමුණු හා අභිලාශයන් පරාවර්ථනය කිරීමකින් තොරව සිංහලයා විසින් පරිකල්පනය කරන ලද ස්ථාවරයන් ප්‍රකාශ කිරීමක් බවයි.  ඒ අනුව, ප්‍රගතිශිලි ලෙස පෙනෙන්නට ඇති දෙමළ හිතවාදී අතිමානුෂීය ස්ථාවරය පවා දෙමළ ජනායාගේ ආකල්ප හෝ අභිමතාර්ථ නොතකා, සිංහල පොදුජන මනසට සැනසුම් දෙවන 'ශ්‍රී ලාංකිකයෙකු' ඉතිරිව සිටින දෙමළුන්ගෙන් කපා මසා ගැනීමට වැඩිමනත් දෙයක් ගැන උනන්දුවක් නොපෙන්වන බවයි. ‘දෙමළාගේ අවශ්‍යතාව ජාතික ගීය දෙමළෙන් ගයා, ශ්‍රී ලාංකික අනන්‍යතාවට ඇතුළත් වීම යැයි‘ පරිකල්පනය කෙරෙන්නේ ඒ අනුව ය.

සෝබාශක්ති හා දීපන් ආශ්‍රයෙන් පැන නැඟුණු මෙම සිංහල කතිකාවේ ස්ථාවර දෙකට ඒ ඒ රුචි අරුචිකම් අනුව පදනම් කොටගන්නා මුලාශ්‍ර ද දෙවගයකි. වර්ගවාදී ස්ථාවරය දරන්නන් සෝබාශක්ති උපුටන්නේ කෑන් උළෙලේදී තමන් රඟපෑ චිත්‍රපටයට සම්මානයක් හිමිවූ මොහොතට පසු ඔහු මාධ්‍ය වේදීන් අමතමින් කියූ ප්‍රකාශයක් පදනමේ තබාගෙන ය.

අඩු වැඩි වශයෙන් සළකතොත්, ඔහු කීවේ මෙයයි: "2009 යුද්ධය නිල වශයෙන් අවසන් වුණා. අදත් ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට පහර දෙනවා. රජයෙන් යුද සිර කරුවන් කී දෙනකු අත්අඩංගුවට ගෙන ඇත්දැයි අපි අදත් දන්නේ නැහැ. අපට සැබැ තොරතුරු නැහැ." ඉදින්, වර්ගවාදී කඳවුරට අනුව කල්පනා කරතොත්, සෝබාශක්ති කොටියෙකු බව සනාථ කරන්නට මීටත් වඩා සාක්‍ෂි කුමටද?

නමුත් ප්‍රගිතිශීලී සේ සැළකෙන පාර්ශවය පදනමට ගත් මූලාශ්‍රය පැන නැඟෙන්නේ වෙනත් තැනකිනි.  ඒ මෙතැන ය. ‘ද නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස්‘  පුවත්පතයි. එහි පී.කේ. බාලචන්ද්‍රන් සිය වාර්තාවේ ශීර්ෂයේ දක්වා ඇත්තේ ‘බෙදුම්වාදයට හා ප්‍රචණ්ඩත්වයට ඉඩක් නෑ, කාන් තාරුකාව අන්තෝනිදාසන් කියයි‘ යනුවෙනි. පැරිසියේ සිටින සෝබාශක්තිව දුරකතනයෙන් සම්බන්ධකරගෙන ඇති ඉන්දියන් එක්ස්ප්‍රස් වාරතාකරුවා තම වාර්ථාවේ සුවිශේෂ තැන ලෙස මුලින්ම ගොනු කරන කාරණය මෙබඳු ය. සෝබාගෙ කියමනිකි. රටේ කේන්ද්‍රීය ප්‍රශ්නය වන දෙමළ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙනි.  

"කොහොම නමුත් මේක දෙමළ ඩයස්පෝරාවෙ උවමනාවක්. ස්වාධීන දෙමළ ඊළමක ඔවුන් සුරක්ෂිත වෙයි කියන එක ගැනවත්, ඔවුන්ගෙ ලබ්දිය ලෙස ප්‍රචණ්ඩත්වය යළි බාර ගැනීමටවත් ලංකාවෙ ජීවත්වෙන දෙමළ ජනතාවගෙ උනන්දුවක් නෑ." ඉදින්, විවෘත වර්ගවාදීන්ට එදිරිව සිටගත් ප්‍රති පිළට අනුව කල්පනා කරතොත්, සෝබාශක්ති සිංහලයන්ට ඇවැසි ලෙස සංහිඳියාවට කැප වූ කොටින්ට විරුද්ධ 'ශ්‍රී ලාංකිකයෙකු' බව සනාථ කරන්නට මීටත් වඩා සාක්‍ෂි කුමටද?

එසේ වූ විට, දෙමළා වෙනුවෙන් සහ දෙමළාට එරෙහිව වශයෙන් අර්තකථනයනය කරගත් එකිනෙකට ප්‍රතිමුඛව ධ්‍රැවගත වී ඇතැයි සිතන ආස්ථානයන්, අවසාන විග්‍රහයේදී 'දෙමළා' පිළිබඳ සිංහලයාගේ මනස් ලෝකයේ යථාවට වඩා දෙයක් හෙළිදරව් කරතැයි අපි කෙසේ නම් කල්පනා කරමුද?

පොදුවේ ගත්කල මෙවන් සංස්කෘතික - දේශපාලන කාරණයක් අරභයා සිංහල සමාජය තුළ පැනනැඟෙන සංවාදයන්හි සැබෑ ස්වරූපය වටහා ගැනීමට කදිම කවුළුවක් ‘දීපන්‘ හා සෝබාශක්ති හරහා යළිත් විවර කර දී නැතැයි අපි කෙසේ නම් කියමුද?

මංජුල වෙඩිවර්ධන


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.