JDS Sinhala

අචින්තාව: මෝහනීය සිහින, දුක්ඛදායී යථාර්ථය සහ "අපේ පරපුර"

සිහින ලුහුබැඳිම අත්හරින්නේ වියපත් බව නිසා යැයි කීම සත්‍යයක් නොවන්නේ, වියපත් වීම ඇරඹෙන්නේම සිහින ලුහුබැඳිම අත්හරින නිසාවෙනි »යි ගේබ්‍රියල් ගාර්සියා මාර්කේස් ලියා ඇත.

මාර්කේසුවන් ලුහුබඳිමින් සිටින ලාංකීය ඉන්ද්‍රජාලිකයා වන මොහාන් රාජ් මඩවලගේ « සිහින, සිහින සහ සිහින » වලට මම කැමැත්තෙමි.  මොන මොන විග්‍රහ පැවතියද ඒ සිහිනමය බසෙහි මායාවී බව හුදෙක් වේවැලකින් මේච්චල් කළ නොහැකි බැවිනි.  ඊට, සිහින කියවන ක්‍රමවේද හදාරා සිටිය යුතු ය.

මේ සිහින අත් නොහරින්නැයි මොහාන්ට නිරන්තරයෙන්ම සිහිපත් කළ අතලොස්සක් දෙනා වේ නම් මාත් ඒ අතර සිටිය යුතු ය.  ඒත් දැන් දැන් ඔහු ඒ මෝහනීය සිහින අත්හරිමින් සිටී.  ඔහු නොදන්නා යථාර්ථයට අතපොවන්නට හදයි.  එනයින්, මොහාන් රාජ් නම් මා මිත්‍රයා වියපත් වන්නට පටන් ගනිමින් සිටියි.

මෛත්‍රීමය අවදියක් වෙනුවෙන් ඍජුව මෙන්ම නොපැකිලව පෙනී සිටිනා අලුත් පරපුරේ පුරෝගාමීහු අතර මගේ පැරණි මිත්‍රවරයෝද අලුත් මිත්‍රවරයෝද සිටිති.  සියල්ලන් අතුරින් ඉපැරැන්නා මෙකී මොහාන් රාජ් මඩවල නොහොත් 'මඩ්ඩා' ය. අප දෙදෙන මුණ ගැසී අවම වශයෙන් පස්විසි වසරකට ආසන්න ය.  ජීවිතයට සාපේක්ෂව එය දීර්ඝ කාලයකි. අනූව දශකයේ මුල සකළවිධ සාහිත්‍ය  සංවාද මණ්ඩප තුළ මෙන්ම විභවියේ කරක් ගැසූවන් අතර අපි දෙදෙනාද වීමු.  ඔහු බෝදිලිමා කැටුව ආයේ ඔය අතර ය. ඒ වෙනුවෙන් පෝස්ටර ගැසූ ඉතිහාසය එකකි.  ඉනික්බිති, මොහාන් ගමන් ගත් ඉතිහාසය වෙනෙකෙකි.  ඒත් මෙකී සමස්ථ ඉතිහාසය ෆැන්ටසියක් නොවන බව අවධාරණය කළ යුතු ය.

පස්විසි වසක් පමණ වන අපේ යාළුකම් අතරතුර අපි එකිනෙකා මුහුණට මුහුණ මුණගැසුණේ « සියත » මාධ්‍ය නිවස තුළ ය. ඔහු කොහොමත් සියත මාධ්‍ය ජාලයේ ප්‍රකට ලොක්කෙකි.  මා සියත පත්තරේ අප්‍රකට සංස්කාරකවරයා විය. පළමු වරට ආචාර ධර්ම පද්ධතියක් පදනම් කරගනිමින් අරඹූ පුවත්පත වූ සියතේ, සංස්කරණ ස්වාධීනත්වය පිළිබඳ එකඟතා බිඳදැමෙන්නට වූයෙන් අපි 7දෙනෙක් සියතෙන් සමු ගත්තෙමු. ඒ දේශපාලනික හා ආචාරධාර්මික හේතූන් නිසා ය.  ඉන් කලකට පසු මොහාන්ද සේවයෙන් නික්මුණු බව මම දැනගතිමි. නමුත් ඒ කවර හේතුවක් නිසාදැයි නිෂ්චිතව මම නොදනිමි. නමුත් එය දේශපාලනික හෝ ආචාරධාර්මික හේතුවක් නම් වන්නට නුපුළුවන. ඒ කවර හේතුවක් නිසා හෝ මොහාන් එයින් ඉවත්වීම මා කැමැත්තේ මා ඔහුට විටින් විට සිහිපත් කළ ඔහු තුළ වූ සිහින දකින්නා මතු කර ගැනීමට ඔහුට අවකාශ ලැබුණු බැවිනි.

ඔහුම අත්සන් කර එවන ලද « මාගම් සෝලිය » මා අසල දැනුත් තිබේ.  ඔහුගේ මාකේස් වේශය ගැන වෙනස් විග්‍රහයක් මට තිබුණත් ඔහුගේ නවකතා අතර පැන නැඟෙන සිහින බසට මා කැමති ය. මා අකමැත්තේ ඔහු සිහින අතහැර යථාර්ථයට අත තබන විදිහට ය.  මා මේ ලියන්නේ එකී යාථාර්ථය ගැන ය. එය ඔහුගේ ගමන් ගත් ඉතිහාසයේම දිගුවක්ය යන්න සඟවාගන්නට ඔහුටවත් නොහැකි බව මම පවසමි.

තමන්ගේ නවකතා සමාජගත කරගන්නට සකල මාධ්‍ය වලට සංවාද සාකච්ඡා පළ කරගනිමින් ඔහු දරන මහන්සිය ගැන නිසි අවබෝධයක් නැති අය එය මොහාන්ගේ මාකටින් බව පැවසූ හැටි සමාජ අඩවි පුරා දක්නට විය. නමුත් අද ඔවුහුම මොහාන් රෙජීමයට එරෙහිව කතා කරන විට එයට අතපුරා 'ලයික්' දමති. මට අනුව නම් මොහාන්ගේ මේ උණු උණු  සංවාද ද ඉකුත් සංවාදයන්හිම දිගුවකි. ඒ ක්‍රියාවලියටම ඓන්ද්‍රීය වන්නේ වෙයි.  « ලංකා හෙරල්ඩ් » හා « ඉන්ඩිපෙන්ඩන්ට් » අඩවි වල මොහාන්ගේ දේශපාලන සංවාද පළකෙරෙන්නේ අපේ පරපුර වෙනුවෙන් නොවුණත් එය කළඑළි බසින  මොහොතේම ය.  ඒත් ඊට සමාන්තරව මහින්ද රාජපක්‍ෂගේ ගෝත්‍රික රෙජීමයේ බඩගැත්තරයන් කනිපන්දම් ගසනා දිනමිණේ සාහිත්‍ය  සංවාදයක් පළ කරගන්නට මොහාන් සමත් වන්නේ මේකී නියාමනයට අනුව ය.  මට එහි අර්බුදයක් නොපෙනේ. මෙම සියලු සංවාද එකම අඛණ්ඩ භාවිතයක සුභාවිත කොටස් ලෙස කියවා ගන්නට හැකි බැවිනි.

කෙසේ නමුත් « අලුත් පරපුර » දෙස පැරණි ඇසකින් බැලුවත් එහි ඇති තරුණ ජවයේ බොහෝ දෑස් අවංකභාවයෙන් දුදුළයි.  ඔවුන්ගේ කටහඬෙහි වන්නේද අචපල පරාර්ථය ම බව හැඟේ.  වියරු ඒකාධිපතීත්වය විසින් වෛරයම වපුරමින් විහිදුවන භීතියට ඔවුන් බය නැත.  මේවා ඉතා වැදගත් සාධක ය.  එසේ වතුදු මෛත්‍රී යුගයක් වෙනුවෙන් පෙළගැසෙද්දී වුව ස්වකීය භාවිතය පුළුල් පරාසයක පවත්වාගන්නට නම් ලාංකීය යථාර්ථයේ සමස්තය උතුර - දකුණ ලෙස දෙපලු කොට එහි දකුණු අර්ධයට පමණක් අදාළ කතිකාවකට ඔවුන් අවතීර්ණ නො විය යුතුය. මොහාන් සාධකය මෙහි දක්වනුයේ එකී කතිකාවට යම් ආලෝක ධාරාවක් එල්ල කර එය පෝෂණය කිරීමේ අපේක්ෂාවෙනි. මෝහනීය සිහින දකින්නකු වන මොහාන්, යථාර්ථය මත අත තබන්නට යෑමේදී සිදුවන සන්තෑසිය විග්‍රහ කරගත යුතු වන්නේ එබැවිනි.

« ලංකා හෙරල්ඩ් » සංවාදයේ ශීර්ෂය මෙබඳු ය. « යුද්දෙ තිබ්බටත් වඩා මිනිස්සු දැන් බයෙන් ඉන්නෙ » මොහාන් මේ කියන දේ අර්ථය මතුවන්නේ පේළි අතරතුර ය. මොහාන්ට අනුව මිනිස්සු යනු දකුණේ වෙසෙන්නන් ය. බොහෝ විට සිංහලයන් ම විය හැකි ය. යුද්ධෙ තිබ්බ වකවානුවේදී බියෙන් පසුවී ඇත්තේ දකුණේ මිනිසුන් ය. උතුරේ මිනිසුන් පසුවී ඇත්තේ සතුටිනි. බියෙන් සැකෙන් තොරව ය. එසේත් නොමැති නම් උතුරේ වෙසෙන දෙමළා කොහොම හිටියත් අපට අදාළ නැත.   අපි සිංහල ය. දැන් ඉස්සරටත් වඩා බයෙන් ඉන්නේ ද දකුණේ සිංහලයන් ය. උතුරේ දෙමළ මිනිසාට අදාළ දේ පෙර පරිදිම ය. ඔවුන් එදා මෙන්ම තවමත් සිටින්නේ සතුටිනි. බියෙන් සැකෙන් තොරව ය.  එසේත් නොමැති නම් උතුරේ දෙමළා කොහොම හිටියත් අපට අදාළ නැත. මා මේ කියන දේ මා මිත්‍ර මොහාන් මෙම සංවාදයේදී තෙමේම තහවුරු කරයි. ප්‍රශ්න නඟන්නා වන බාසුරු ජයවර්ධන මෙසේ අසයි.

« කෙසේ නමුත් දෑත් ශක්තිමත් කරන කලාකරුවන් පවසන්නේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය ජයග්‍රහණය කළ නිසා එතුමාට කළ ගුණ සැළකීමක් වශයෙන් එතුමාව නැවත තෝරා පත් කරගත යුතුයි කියලා. ඔබ මහින්ද රාජපක්ෂ අත් කරගත් යුද ජයග්‍රණයට කෘත ගුණ සළකන් නැද්ද? »

මෙවිට මොහාන් තුළ සිටින දෙමළ විරෝධී සිංහල දේශප්‍රේමියා අවදිවේ. බලන්න! මා මිත්‍රයා මෙසේ පවසයි.

«පැහැදිළිවම ඔහු යුද්ධය අවසන් කළා. මම ඒකට මගේ හෘදයාංගම ස්තූතිය ඔහුට පුද කරනවා. ඒ ගැන කිසිම තර්කයක් නෑ. නමුත් අපි ඔහුට කෘත ගුණ සැළකුවා 2010දි. නමුත් දැන් වෙලා තියෙන්නෙ ආණ්ඩුව ජාතිවාදයට උල්පන්දම් දෙන එක. ඒක සහමුලින්ම වැරදියි. එතකොට 2010 දි යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් අපි කෘතගුණ සැළකුවා. එහෙම නොකළා නම් මේ රටේ ජනතාව අමු කුහක ජාතියක්. නමුත් ඒක එහෙම වුණේ නෑ. මේ රටේ ජනතාව ඒ ත්‍රස්තවාදය නැති කරන්න දායක වුණ ජනාධිපතිතුමාට බොහොම ඉහළින් කෘතගුණ දැක්වුවා. එය 2010 දි කිසිම තර්කයක් නැතිව ජනතාව ලබා දුන්නා.»

මේ කියන්නේ කුමක්ද? මානුෂීය මෙහෙයුම නාමයෙන් දස දහස් සංඛ්‍යාත දෙමළ ජනතාවක් අමානුෂීය ලෙස සංහාරය කිරීම අනුමත කිරීම ය.  මොහාන්ට අනුව මා අමු ම අමු කුහකයකු විය යුතු ය.  මන්දයත්, දෙමළ සංහාරය අනුමත නොකිරීමෙන් නොනැවතී ඊට එරෙහිව සමාජ සංස්කෘතික හා දේශපාලන භාවිතයක නිරත වීමයි.  යුද්ධය ගැන, දෙමළ සංහාරය ගැන අඩු වැඩි වශයෙන් මා මෙන්ම සිතන්නෝ තව බොහෝ සිටිති. මොහාන්ට අනුව ඔවුහුද කුහකයෝ ය. එපමණක් නොව දෙමළ සංහාරයට වගකිවයුතු යුද ප්‍රධානියකු වන ජෙනරාල් සරත්  ෆොන්සේකා පට්ට කුහකයෙකි. මන්දයත් කෘතගුණ සැළකිය යුතු මිනිසෙකුට එරෙහිව ඔහු දෙමළ සංහාරයේ උණුහුම පහව යන්නටත් මත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදය කරණකොටගෙන ජනාධිපතිවරණ සටනට බටුයේ ය. ලංකාව පුරා ආසන මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, පළාත් මට්ටමින් දහස් ගණන් කුහකයන් ඉඳ ඇතැයි මොහාන් මේ පවසන 2010 ජනාධිපතිවරණ ප්‍රතිඵල වලින් පෙනේ. සමස්තයක් ලෙස ගත් විට ලංකාවෙන්ම මොහාන් රාජ් ඇතුළුව මහින්දට කෘත ගුණ සැළකූ පිරිස 6,015,934 වන විට කුහකයෝ, ගණනින් 4,377,679 ක් වෙති. ප්‍රතිශතයක් ලෙස මොහාන් ඇතුළු කෘතගුණ සැළකූවන් 57.88 % කි. කුහක ප්‍රතිශතය 42.12 % කි.

යාපනය, වන්නි, මඩකළපුව, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලින් මහින්ද රාජපක්ෂ පරාජය වී ඇත. උතුර නැගෙනහිර සහමුළුමනින්මත්, නුවරඑළියත් යන දිස්ත්‍රික්ක වල මූලික ජන පදනම අසිංහල ය.  මොහාන්ගේ විග්‍රහයට අනුව අසිංහලයෝ මහින්දට කෘතගුණ නොසළකන්නෝ ය. එනයින් කුහකයෝ ය. මෙසේ සිතන්නකු අලුත් පරපුරක පුරෝගාමියකු වන්නේ නම් අප ඔවුන්ගේ දේශපාලන සිතිජය ලකුණු කරගත් යුත්තේ කොතැනින්ද?

මෙසේ පවසන මා මිත්‍රවරයා « ඉන්ඩිපෙන්ඩන් » වෙබ් අඩවිය සමඟ පවත්වන සාකච්ඡාවේ ශිර්ෂය « රට පාලනය කරන්නෙ බෞද්ධ දර්ශනයට පටහැනි පාලකයෙක් » යන්න ය. මොහාන් මෙහිදී සාකච්ඡාකාර ජයසිරි අලවත්ත සමඟ පවසන්නේ කලින් යුද්ධය ජයගත්තාට කෘතගුණ සැළකූවා යැයි කියූ පාලකයා ගැන ම ය. මොහාන් රාජ් මඩවල මේ පවසන්නේ මහින්ද පිළිබඳ මේ සංයුක්ත මොහොත ගැන නම්, ඔහු මහින්දට කෘතගුණ සළකා කතිරය ගැසූ අතීත මොහොතේ මහින්ද ධාර්මික රජෙකු විය යුතු ය.  මානුෂීය මෙහෙයුමක නාමයෙන් සිවිල් පුරවැසියන් දසදහස් ගණනක් මරා කඳුගැසීම බෞද්ධ දර්ශනයට අනුකූල විය යුතු ය. මේවා කවර නම් තර්කද?  මෙවන් තර්ක ගොඩනඟන පරපුරක් « අලුත් » වන්නේ කවර අර්ථයකින්ද? කවර සන්දර්භයකට අනුකූලවද?

යථාර්ථයට අත පොවන්නට ගොස් අත පුච්චා ගන්නා මා මිත්‍ර මොහාන් එතනින් නතර නොවෙයි. සිය සාකච්ඡා සංචාරය ඉදිරියට ගෙන යයි.  « ඉතිහාසය කියන්නෙ ෆැන්ටසියක් » යැයි ඔහු දෙසැම්බර් 24දා දිනමිණ ට කියයි. ඒ සාහිත්‍යයට අදාළව ය. ඔහු ස්පර්ශ කරන්නට තතනන යථාර්ථයට අදාළ නොවුණත් ඔහුට අදාළ බරපතල අර්ථකතනයක් ජේම්ස් ජොයිස්ගේ « යුලිසීස් »හි  මුණ ගැසේ.

« ඉතිහාසය, මම අවදි වෙන්නට උත්සාහ කරන බියකරු සිහිනයකි » යැයි  ජොයිස්ගේ « යුලිසීස් »හි  ස්ටීවන් තැනෙක කියයි.  සැබෑවකි. මෑත ඉතිහාසයේ වන ම්ලේච්ඡ සහගතම ඛේදවාචකය වූයේ දෙමළ මිනිසා සංහාරය කිරීම ය.  බහුතර සිංහලයා ඊට දායක වූයේ හඬ නඟා ඔල්වරසන් නැඟීමෙන් මෙන්ම නිහඬව අනුමැතිය දීමෙනි.  දෙමළ මිනිසාට සියල්ලම අහිමිවුණු මොහොතේ රතිඤ්ඤා පත්තු කළ, කිරිබත් කෑ සාමුහික අධ්‍යාත්මයෙන් මිදෙන්නට නොහැකිකම මෛත්‍රී  අනාගතයක් කරා යන ගමන අතරතුර වුව තවමත් දකුණේ නිනද නැඟෙන « කෘතගුණ සැළකුම් » කතා වලින් පෙනේ.  දෙමළා සංහාරය කිරීම බියකරු සිහිනයක් ලෙස නොගත් සිංහලයාගේ නින්දට දැන් දැන් ඒකී යාථාර්තයම බාධාකරමින් ඇත. දැන් දැන් එකී ඉතිහාසය හැම දෙනාගේම දෙපා මුලටම පැමිණ තිබේ.  වේදනාව ඇඟපතටම දැනෙන්නේ එවිට ය. මා මිත්‍ර  මොහාන්ටද එය එසේ ම ය. ඔහුට ඉන් නිදහස් වෙන්නට සැබෑ වූ උවමනාවක් තිබෙනවා වන්නටද පිළිවන. නමුත් ගැටළුව වන්නේ ඔහු එහිදීත් අසිංහලයා බැහැර කිරීම ය. සිංහලයා ම පමණක්ම පාදක කර ගැනීම ය.  « අලුත් පරපුර » පැරණි කලා පරපුරු වලින් වෙනස්වූ අනාගතවාදී ව්‍යාපාරයක් වන්නට නම් මෙවන් දෘෂ්ඨිවාදී අගතීන්ගෙන් මිදිය යුතු යැයි හඟිමි.  මොහාන් පවා ඉතිහාස ෆැන්ටසියෙන් මිදී මහා පොළොවේ යථාර්ථයට අබිමුඛ විය යුතු ය.

අවසන, මෙකී සද් පරමාර්ථයෙන් යුක්තව මම යළිත් මොහාන් ලුහුබඳිමින් යන මාකේසුවන් මොහාන්ට අබිමුඛ කරමි. මිත්‍රත්වයෙනි. මගේ මිත්‍ර ස්වරය එදා මෙන්ම මේ මොහොතේදීත් ඔහු වටහා ගනු ඇතැයි මම හඟිමි.

මාකේස් මෙසේ කියයි; « කතාන්තර විසින් කෙනෙක්ව බරපතල සිහින දකින්නකු ලෙස නම් කෙරෙනු ලැබෙද්දී, එමගින් ගම්‍යමාන වන අරුත මෙබන්දක් වෙන්නට පිළිවන. ඔබේ හදවතටත්, ආමාශයටත්, මුළුමනින්ම ඇතුළාන්තයටත් හිස් බවක්, පාලු හුදෙකලා බවක් දැනී තිබේ.»

 

මංජුල වෙඩිවර්ධන


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.