JDS Sinhala

සමකය: අපේ විරූපී අපරාධ තන්ත්‍රය

සාපරාධී ක්‍රියාවන්ට මුලපුරනු රිසි ආධුනික අපරාධකරුවන් අමතමින් උරුගුවායානු ලේඛක එදුවාර්දෝ ගලියානෝ උපදෙසක් දෙයි. එය මෙසේ ය: ‘බයාදුව මිනිස් ඝාතනයේ යෙදීම හරි යන්නේ නැත. ව්‍යාපාරික කටයුතුවල දී මෙන්ම, අපරාධයන්හිද ප්‍රතිලාභ ලැබෙන්නේ ඒවා මහා පරිමාණව කරන්නේ නම් ය.’

ගලියානෝගේ කතාව හරියටම හරියන්නේ ඇයිදැයි අපේ ඉතිහාසයෙන්ම පමණක් වුව වටහා ගන්නට පුළුවන් ය. එසේ තිබියදීත්, පංති, වාර්ගික, ආගමික, හා සමාජ ලිංගික අසමානතාව දෛනික දිවියෙහි පංගුවක් සේ සළකා ජීවත්වීමට පුරුදු පුහුණුවූ ජනයා ‘නීතිය ඉදිරියේ සියල්ලන් සමාන’ව සළකනු ඇතැයි කල්පනා කරති.

අපරාධය හා දණ්ඩනය ගැන අපේ සදාචාර විනිශ්චයන් නිර්පාක්ෂික යුක්ති ධර්මය පිළිබඳ මූලධර්මයක් විසින් පාලනය නොකෙරේ. ඒවා පාලනය වන්නේ අසමානතාව මුල්කොටගත් අධිපති අගතීන් විසිනි.

ගෙවීගිය පෙබරවාරි මාසයේ සිදුවීම් ඊට දෙස් දෙයි. ඒ සඳහා නිදසුන් කිහිපයක් විමසා බැලීම හොඳටම සෑහේ.

පළමු නිදසුන පෙබරවාරියේ අවසාන සතියෙනි.

රත්ගම රත්නඋදාගම ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් පුළුස්සා ඝාතනය කිරීමෙන් කුපිත වූ ප්‍රදේශවාසී මහජනයා ගාලු - කොළඹ ප්‍රධාන මාර්ගය හරස් කොට විරෝධතා දක්වන ලද්දේ පෙබරවාරි 23 වැනිදා ය. උද්ඝෝෂණකරුවන් විසින් දක්ෂිණ දුම්රිය මාර්ගය අවුරා, ගුවන් ගුවන් හමුදා බසයකට ගල් ගැසූ බව ද පෙබරවාරි 26 වැනිදා ‘දිවයින’ පත්‍රය වාර්තා කර තිබිණ.

“බැලූ බැල්මට ඉහත සඳහන් වැඩ දෙකම ලාංකික ජනයාට ආවේනික ගොන් වැඩ ය. එහෙත් ඇතුළාන්තයෙන් බලන විට පෙනී යන්නේ පොලිසියට එරෙහි විරෝධය පහ කරගැනීමට කළ හැකි අන් දෙයක් ජනයාට නැති බව යැ”යි දිවයින කතුවැකියෙහි ලියා තිබුණේ ඒ ගැන ය.

අතුරුදහන්වූවන්ට යුක්තිය ඉල්ලා කිලිනොච්චියේදී දෙමළ මව්වරුන්ගේ සංවිධානය විසින් සංවිධානය කර තිබූ දැවැන්ත විරෝධතා පෙළපාලියට සහාය පළ කරනු වස් උතුරු පළාතේ සියළුම දිස්ත්‍රික්ක තුළ හර්තාලයක් කැඳවා තිබුණේ පෙබරවාරි 25 වැනිදා ය. බැංකු සහ ව්‍යාපාරික ස්ථාන වසා දමා පොදු ප්‍රවාහන කටයුතු  අඩාල වූ විරෝධතා හර්තාලයට සහභාගී වූවෝ ස්වේච්ඡාවෙන් ඊට එක් වී යැයි ආණ්ඩුවේ ‘ඔබ්සර්වර්’ පත්‍රයම වාර්තා කළේය. නමුත් මාර්තු 03 වැනිදා ‘දිවයින’ පත්‍රයට අනුව, දෙමළ ඩයස්පෝරාවේ ආධාරයෙන් “උතුරේ සතුරු පාර්ශ්ව අතුරුදන්වූවන් ගැන හඬ නඟමින් හර්තාල් ව්‍යාපාරයක් දියත් කළ” විට රජය ‘නිහඬව සිටීම’ වරදකි.

උතුරේ සහ දකුණේ ‘නීත්‍යානුකූල ප්‍රචණ්ඩත්වයේ’ ගොදුරු බවට පත්වූවන්ගේ ඉරණම වෙනුවෙන් දියත් වූ මහජන උද්ඝෝෂණ ව්‍යාපාර පිළිබඳ දෙවැදෑරුම් ප්‍රතිචාරය මේ මගින් හකුළා දැක් වේ. එකක්, ‘ගොන් වැඩක්’ සේ පෙණුන ද සහේතුක හා යුක්ති සහගත එකකි. අනෙක, විදෙස් ආධාර මත දියත් කළ ‘සතුරු පාර්ශ්වයන්ගේ’ සැලැස්මකි. පැහැරගෙන යනු ලැබ ඝාතනය කොට පුළුස්සා දැමූ දෙදෙනකුගේ ඉරණමට යුක්තිය ඉල්ලා සිටීම සයුක්තික බැව් පිළිගැනීමට සූදානම් බොහෝදෙනා, අතුරුදහන්වූ කුඩා දරුවන් ඇතුළු දහස් සංඛ්‍යාත පිරිස්වල ඉරණම මුල්කොටගත් විරෝධතා හා ඉල්ලීම් කුමන්ත්‍රණ සේ සළකන්නේ ඒ අනුව ය.

නීතිය ඉදිරියේ සියල්ලෝ සමාන සේ සැළකුණ ද, කිලිනොච්චිය හා රත්ගම අතර අසමානතාව ඒ මූලධර්මය මගින් ප්‍රතික්‍ෂේප නොකෙරේ.

දෙවැනි නිදසුන පෙබරවාරි දෙවැනි සතියෙනි.

‘ඩේලි මිරර්’ පත්‍රය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ‘අත් අඩංගුවට ගැනීම්වල දී රාජ්‍ය ඔත්තු සේවා සුදු පැහැති වෑන් ද යොදාගන්න ඇතැ’යි පිළිගෙන තිබිණ. අනතුරුව ඔහු මෙසේ කියයි:

“ඒක මම හඳුන්වලා දුන්න දෙයක් නෙවෙයි. මේ ක්‍රමවේදයන් ලෝකය පුරාම යොදාගෙන තියෙනවා. අපේ ඔත්තු සේවාත් සුදු පාට හයි ඒස් වෑන් රථ පාවිච්චි කරන්න ඇති. මම ඒක හඳුන්වලා දුන්නේ නැහැ. කලින් ආණ්ඩු යටතේත් ඒ දේවල් සිද්ධවුණා. ජේවීපී කාලයේ ප්‍රචණ්ඩ ක්‍රියා ගත්තත්, ඉතාම තරුණ අයට හැරෙන්න, අනික් හැම හැමකෙනෙක්ම දන්නවා තරුණයන්ව පැහැරගෙන ගියේ කොහොමද කියලා.”

ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රසිද්ධ පාපොච්ඡාරණයේ සාරය මෙයයි: ‘පැහැරගැනීම් වනාහී සර්ව භෞමික - සර්වකාලීන ප්‍රවණතාවකි. එය ලංකාවේ පරණ ආණ්ඩු විසින් ද සිදුකර තිබේ. මා කළේ ඒ සම්ප්‍රදායට අනුව වැඩ කිරීමය.’

සාපරාධී ප්‍රචණ්ඩත්වයට එරෙහි සාමූහික සම්මුතියකින් බැඳුණු, අයිතීන් පිළිබඳ දැනුවත් සමාජයක් තුළදී නම් එය කළඹන දේශපාලන කුණාටුවකට රාජ්‍ය ආරක්ෂක බලධාරියකු විසින් කළ මේ කතාව විතරක්ම සෑහේ. නමුත් දස වසරක් තිස්සේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයේ සංකේතයක් සේ සළකන ලද ‘සුදු වෑන්’ පිළිබඳ හිටපු ආරක්ෂක ප්‍රධානියාගේ විවෘත පාපොච්ඡාරණය, ලංකාවේදී එවැනි කැළඹීමකට තුඩු නොදෙයි. 'කෙලින් කතා කරන ගෝඨාභය' ජනපති කිරීමේ වියරු ඝෝෂාව වඩ වඩා නැගෙන්නේ ඒ වෙනුවට ය.

දහස් සංඛ්‍යාත මිනිසුන් අතුරුදහන්වීමත්, ඒ අතුරුදහන්වීම් රාජ්‍ය පිළිවෙතක් සේ විවෘතව පිළිගැනීමත් මගින් නියෝජනය කෙරෙන සාහසික සාපරාධී නරකාදිය අපේ ‘ප්‍රජාතන්ත්‍රවාදයේම’ පංගුවකි. අපරාධකරුවන් ප්‍රජාතාන්ත්‍රික විකල්ප සේ කලින් කල මතුවන්නේ ඒ නිසා ය. බටලන්දේ පොහොර සංස්ථා පරිශ්‍රය හා මාතලේ රජයේ තානායම පිළිබඳ තෝරා බේරාගත් ආවේගයන් ජනිත කරන්නේ කූට දේශපාලන ගණන්බැලීම් විසිනි. යුක්ති ධර්මය පිළිබඳ මූලධාර්මික පක්ෂපාතීත්වය යල්පැන ගිය ජාති ද්‍රෝහී පුරුද්දක් සේ සැළකෙන්නේ ඒ නිසා ය.

ගලියානෝ කියා ඇති ආකාරයට, මහා පරිමාණ අපරාධ ප්‍රතිලාභ ගෙනෙන බැව් රත්ගම පොලිස් ඝාතකයන් නොදැන සිටීමට ඉඩ තිබේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ එය දනියි. අතීත අපරාධ ගැන ‘ඩේලි මිරර්’ පුරසාරම කියාපාන්නේ ඒ ඇත්ත ය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ‘කොස්මටික් සැත්කම්’ විසින් වසන් කළ නොහැකි අපරාධ ලැදියාව අපේ ‘ප්‍රජාතාන්ත්‍රික පෙරළි’ යටින් ඇති විරූපී මුහුණතයි. ඒ කෙරෙහි ඇති වසඟය කලින් සියවසෙහි  වැඩි පංගුවක් අපේ ජීවිත පාලනය කර තිබේ. නව සියවසෙහි දෙවැනි දශකයේදී හෝ එයින් ගැළවෙන මඟක් පෑදෙනු ඇතැයි සිතන්නෝ කොතෙක් නම් වෙත්ද?

(මෙම ලිපිය 2019 මාර්තු 10 වැනිදා 'අනිද්දා' පත්‍රයේ මුල්වරට පළවිය.)

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.