JDS Sinhala

සමකය: හිතහොඳ අධිපතිවාදය

ර්නල් ආනන්ද වීරසේකර, 1989 ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි නැගිටීම මර්දනය කළ සමයේදී අනුරාධපුර දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් ක්‍රියා කළේය. අත් අඩංගුවට ගන්නා ලද හෝ භාර වූ තරුණ - තරුණියන් පුනරුත්ථාපනය කිරීමේ කටයුතු භාර කොමසාරිස්වරයා වශයෙන් ඔහු පත්කරනු ලැබුවේ 1990දී ය. ඒ පත්වීම් දෙකම කරන ලද්දේ ප්‍රේමදාස ආණ්ඩුව විසිනි. තම දරුවන් ජවිපෙ දේශපාලනය හා සම්බන්ධව සිටියේ නම් හමුදාවට භාර කරන්නැයි දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනු පිණිස හේ නිතර රූපවාහිනියේ පෙනී සිටියේය. ‘මේ දරුවන්ට වැරදි කළේ වැඩිහිටියන් වූ අපි” යැයි හැඟුම්බර හඬින් කී හෙතෙම තමන් වෙත භාරදෙන ඕනෑම අයෙක් ආරක්ෂා කිරීමේ වගකීම පියකු මෙන් භාරගන්නා බවට ප්‍රතිඥා දුන්නේය. හමුදාව යටතේ පුනරුත්ථාපනය වන තරුණයන් නිදහස්ව යන විට බ්‍රිගේඩියර් වීරසේකරගේ දෙපා වැඳ සමුගන්නා දර්ශන ආණ්ඩුවේ රූපවාහිනියෙන් නිතිපතා පෙන්වූයේ ඒ දවස්වල ය.

1998දී මේජර් ජෙනරාල්වරයෙක් වශයෙන් විශ්‍රාම ගිය ආනන්ද වීරසේකර, 2000 ජූලි මාසයේ 17 වැනිදා අත් අඩංගුවට ගනු ලැබ බන්ධනාගාර ගත කරන ලදී. ඒ, චන්ද්‍රිකා කුමාරණතුංග ආණ්ඩුව විසින් පත්කළ තිස්ස බණ්ඩාරනායක කොමිෂන් සභා වර්තාව මගින් ඔහුට එල්ල කර තිබූ චෝදනා පදනම් කරගනිමිනි. අනුරාධපුර දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් ක්‍රියාකළ සමයේ ඔහුගේ අධීක්ෂණයට යටත් යුද හමුදා කඳවුරු දෙකක වධකාගාර පවත්වාගෙන යාමේත්, එම කඳවුරුවල රඳවා සිටි සිංහල තරුණ - තරුණියන් වධ බන්ධනයන්ට පාත්‍ර කොට ඝාතනය කිරීමේත් චෝදනාවන්ට ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරියා වශයෙන් ඔහුට වගකීම පැවරෙන බව අදාළ චෝදනා මගින් කියැවිණ. ඒ නඩු හබ සතුටින් නිමා වී සත් වසක් ගෙවුණු තැන, එළඹි මැයි මාසයේ පුර පසලොස්වක පොහොයදාක බුද්ධංගල ආනන්ද නමින් පැවිදි වූයේ ඒ මේජර් ජෙනරාල් වීරසේකර ය. ථෙරපුත්ථාභයගෙන් පසු සසුනට ඇතුල් වූ පළමු සිංහල රණකාමියා ආනන්ද වීරසේකර යැයි ක්‍රීඩා විචාරක ප්‍රේමසර ඈපාසිංහ විසින් ශාසන හිතකාමයෙන් ඔකඳව ‘ඔබ්සර්වර්’ පත්‍රයට ඒ කාලයේ ලිපියක් ලියුවේ ඒ නිමිත්තෙනි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් සිටි ‘දරදඬු වීරසේකර’ හා පුනරුත්ථාපන කොමසාරිස් ධූරය දැරූ ‘හිතහොඳ වීරසේකර’ අතර වෙනසක් තිබිණ. ඒ වෙනස ජවිපෙ නැගිටීම මර්දනය සඳහා එවකට ආණ්ඩුව යොදාගත් යුද - මානසික සැළැස්මේ කොටසක් බව ඒ සමයේ දකුණේ බොහෝ දෙනා දැන සිටියහ. ඒ නිසා හිටපු කැරළිකරුවන් හැඬු කඳුලින් බ්‍රිගේඩියර් වීරසේකරගේ දෙපා නමදිනු  රූපවාහිනියෙන් දුටු කිසිවෙක් සිත් පහන් වී සෝවාන් ඵල නොලැබීය.

දකුණේ කැරැල්ලට අදාළ වීරසේකර කතා වස්තුව කැරළි මර්දන යුද උපායයන් ගැන කතා කරන්නට කදිම පූර්විකාවක් සපයන්නේ ඒ නිසා ය.

කැරළි මර්දන යුද න්‍යායේ (counterinsurgency doctrine) සාරය වටහාගන්නට පිටුබල දෙන සරළ කතාවක් මරාදැමුණු මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් වරක් කීවේය. මීට පෙරද මවිසින් උපුටා දක්වා ඇති ඒ කතාවට පසුබිම් වූයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු හා සිවරාම් අතර ඇති වූ සංවාදයකි. විසි අවුරුද්දකට නොඅඩු කාලයක් සිවරාම් සමග වරින් වර කළ සංවාදයන් ද ඇසුරු කොටගනිමින් මහාචාර්ය මාක් විටකර් විසින් 2007 වසරේදී ලියා පළ කළ Learning Politics from Sivaram කෘතියේ මේ කතාව සැකෙවින් ලියා තිබේ. අත් අඩංගුවට ගත් අයෙක් මුහුණ දෙන වධ හිංසාවන් ඇසුරින් විස්තර කෙරෙන ඒ කතාව මෙසේය:

“ඔබ වධයට පාත‍්‍ර කරන විට, හැමදේම වේදනාවක් බවට පත්වන තුරු ඔවුන් එකදිගට ඔබට පහර දෙයි. සියල්ල විශාල වේදනාවක් වී එය දැන් දැන් නවතිනු ඇතැයි සිතීම ඔබ විසින්ම අත්හිටුවන තෙක් ඔවුන් ඔබට පහර දෙයි. ඇත්ත වශයෙන්ම එය නවතිනු ඇතැයි යන බලාපොරොත්තුව ඔබ අත්හැර දමයි. ඒ වෙනුවට ඔබ වේදනාවන් සංසන්දනය කිරීමට පටන් ගන්නා අතර, ඊළඟ වතාවේ පුළුස්සනු හෝ වෙනයම් දරුණු වධයක් වෙනුවට පයින් පමණක් පහර දෙනු ඇතැයි බලාපොරොත්තු වෙයි. ඉක්බිතිව හිටිහැටියේ එක්තරා දවසක ඔබේ සිර කුටියේ දොරටු හැරගෙන ඔබට දුම්වැටියක් පිරිනමන කදිම ගැළවුම්කරුවෙකු පැමිණෙයි. ඔහු වෙනුවෙන් ඔබ සියලූම දේ සහ  ඕනෑම දෙයක් කරයි. මට හමුවුණ ජෙනරාල්වරයා කියා සිටියේ කැරළි මර්දන යුද ක්‍රියාවන් යනු එවැනිම දෙයක් බවයි. එහිදී සිදුවන්නේ එක් අයෙකු වධ හිංසාවන්ට පාත‍්‍ර කරනු වෙනුවට, මුළුමහත් ප‍්‍රජාවක් වධහිංසාවන්ට පාත‍්‍ර කිරීමයි. එම ප‍්‍රජාවද එම වධ හිංසාවන් නවතිනු ඇතැයි යන බලාපොරොත්තුව අත්හැර දමා වඩා අඩු වේදනාවන් ගැන බලාපොරොත්තු සහගත වන තුරුම එම වධ බන්‍ධනයන් පැනවේ. අනතුරුව අර කදිම ගැළවුම්කරුවා පැමිණ දුම්වැටියක් හෝ ව්‍යවස්ථාවක් හෝ මොනයම් හෝ දෙයක් එම ජනයාට ප‍්‍රදානය කරන අතර ඉන්පසු ඔහු වෙනුවෙන් ඔවුන් ඕනෑම දෙයක් කරනු ඇති.’’ - Learning Politics from Sivaram / 101 පිටුව

සිවරාම් විසින් උපුටා දැක් වූ හමුදා නිලධාරියාට අනුව වධකාගාරයක් තුළ දී තනි පුද්ගලයකුගේ අධිෂ්ඨානයත්, විශ්වාසයන් හා පක්ෂපාතීත්වයත් බිඳ දැමීමේ අරමුණින් ඔහු හෝ ඇය ශාරීරික වධහිංසාවන්ට භාජනය කර ඇති කරන නොනවතින වේදනාව, මුළු මහත් ප්‍රජාවක් ඉලක්ක කොට මුදාහැරීම වූකලී කැරළි මර්දන යුද ක්‍රියාවල මූලික උපායයි. ආහාර හා ඖෂධ සම්බාධකවලින් බෙලහීන කර කොටුකළ ජන පිරිසකට ගොඩින් ද, මුහුදින් ද, ගුවනින් ද විසි හතර පැය මුළුල්ලේ පහර දීම වනාහී වධහිංසාවන් සාමූහිකකරණය කිරීමේ (collectivized torture) ප්‍රායෝගික ක්‍රමවේදයකි. ඒ විවෘත යුදමය අදියරෙන් පසු එළඹෙන්නේ යටත් කරන ලද දිවි ගළවාගත්තවුන් ඉලක්ක කොට දියත් කෙරෙන ප්‍රජා ක්‍රියාකාරකම් හා අස්වසාලීමේ (civic action & pacification) සැළසුම් එළියට ගන්නා දේශපාලන ක්‍රියාදාමයයි. බැට කා දුර්මුඛවූවන් ට ‘දුම්වැටි පිරිනමන කදිම ගැළවුම්කරුවන්’කරළියට එන්නේ ඒ අදියරේදී ය. 'දරදඬු වීරසේකර' හා 'හිතහොඳ වීරසේකර' ලෙස පලු දෙකක් අවශ්‍ය වන්නේ මේ දෙවැදෑරුම් සැළැස්ම සඵල කරගැනීමට ය.

කැරළි මර්දන යුද න්‍යායේ දී භෞතික භූමිය (physical terrain) හා මානව භූමිය (human terrain) කියා ක්‍ෂේත්‍ර දෙකක් සැළකිල්ලට ගතයුතු බව උගන්වන්නේ ඒ නිසා ය. සටන් සිදුවන භූමි භාගයේ කඳු, හෙල්, ඇළ, දොළ, වන ලැහැබ් හෝ නගර, වීථි, මං මාවත්, නිවාස ගොඩනැගිලි ආදී භෞතික අංග ලක්ෂණ පළමුවැන්නෙන් සැළකිල්ලට ගනියි. ඒ භූමි භාගයේ විසිර ජීවත්වන ජනයා අතර ස්ථාපිත මනෝ සංස්කෘතික සැකැස්ම ද, පංති, කුල, ගෝත්‍ර, භාෂා, ආගමික හා ප්‍රාදේශීය භේදයන්ගෙන් සැදුම්ලත් සමාජ සැකැස්ම ද දෙවැන්නෙන් සැළකිල්ලට ගනියි. නිරායුද ඇමරිකානු මානව විද්‍යාඥයන් ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ ගම් නියම් ගම්වල ක්‍ෂේත්‍ර පර්යේෂණ කරමින් රස්තියාදු වන්නේ ඒ දෙවැනි අවශ්‍යතාව සපුරාගැනීමට ය. දේශපාලන විශ්වාසයන් සහ පක්ෂපාතීත්වයන් ප්‍රචණ්ඩ බලයෙන් දුබල කොට, කොඳු බිඳ යටත් කරන ලද ජන කොට්ඨාශයක් තුළ අලුත් පක්ෂපාතීකම් ද, අලුත් සන්ධානයන් ද, අලුත් භේදයන් ද, අලුත් රුචි-අරුචිකම් ද වගා කිරීමේ හැකියාව ලැබෙන්නේ එසේ එකතු කරගන්නා දැනුමෙනි.

ගතව ගිය සතියේ විසුවමඩු ප්‍රදේශයෙන් පිටව ගිය ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු, කැරළි මර්දන සංග්‍රාම ශාස්ත්‍රයේ යුදමය හා දේශපාලන සාරය හොඳින් ග්‍රහණය කරගත් දක්ෂ රාජ්‍ය හමුදා නිලධාරියෙකු බවට සැක නැත. ඒ දසුනින් මුසපත්ව වමෙන්ද, දකුණෙන් ද, මැදින් ද දිවවිත් ‘සිංහල දෙමළ සමගියෙන්’ සසළ ව තුටු කඳුළු පිසගත් දකුණු ලංකාවේ වැසියන් විසින් සනාථ කරන ලද්දේ ඒ ඇත්තයි.

ඔහු හමුවේ හඬමින් ද, වැඳ වැටෙමින් ද, කර තබාගෙන යමින් ද ඔහුට සමුදෙන අත-පය අහිමි අසරණ දෙමළ ජනයාගේ සාමූහික සේයා රූ නියෝජනය කරන්නේ අනාගත ජාතික සංහිඳියාවේ පසන් රූපය නොවේ; විජයග්‍රාහී අධිපතිවාදය විසින්  රාමුකොට උතුරේ දොරින් දොර දැන් එල්ලා තිබෙන යටත්භාවයේ දුක්ඛිත රූපයයි.

උතුරු - නැගෙනහිර දස දහස් ගණනින් වාඩි ලාගත් ‘හිතහොඳ සොල්දුදුවන්’ ලුතිනන් කර්නල් රත්නප්‍රිය අනුව යමින්, රාජ්‍ය යුද අධිකාරය දෙමළ ජනයා අතර තවත් කලක් පවත්වාගෙන යාමට සමත්වනවාට සැක නැත. නමුත් යුක්තිය සහ ජාතික සමානත්වය සඳහා වූ අවම ඉල්ලීම් ද මැඩලීමේ ආශාව පෙරදැරි කරගත් නීච අධිපතිවාදයක කැත ඒ මගින් පහව නොයයි.

වහල්භාවයේ දුෂ්ඨත්වය හොඳ වහල් හිමියන්ගෙන් මැකී නොයන්නාක් මෙනි.☐

(මෙම ලිපිය 2018 ජූනි 17 වැනිදා 'අනිද්දා' පත්‍රයේ මුල්වරට පළවිය.)

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.