JDS Sinhala

සමකය: අසල්වැසි හවානාව හා දුර ඈත වන්නිය


ෆිදෙල් කස්ත්‍රෝ නොවැම්බර් 26 වැනිදා මිය ගියේය. අභිනවයෙන් තේරී පත්වුණු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පැය කිහිපයක් ඇතුළත දී සිය ට්විටර් ගිණුම ඔස්සේ ෆිදෙල්ගේ මරණය උත්කර්ෂයෙන් සැමරීය. 'දශක හයක් සිය ජනයා මැඩලා සිටි ම්ලේච්ඡ ඒකාධිපතියෙකු' මිය යාම ගැන ට්‍රම්ප්ගේ උද්දාමය ඒජන්සි ප්‍රවෘත්ති සේවා වාර්තා කළෝය.

ඒ විසි හය වැනිදාවේම, ගාල්ලේ දී ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් අමතා කතා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පළමුව 'ශ්‍රේෂ්ඨ කියුබානු විප්ලවවාදී නායකයාගේ මරණය ගැන' සිය සංවේගය පළ කර සිටියේය. අනතුරුව, 'ශ්‍රී ලංකාවට එල්ල කෙරෙන යුද අපරාධ චෝදනා අභිනව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් මහතා සමග සම්මුතියක් ගසා මඟහරින සාඩම්බර සැළැස්ම' හෙළි කර සිටියේය.

එක්සත් ජනපද මරීන් බලකායේ 11 වැනි කාර්ය සාධක සේනාංකය ශ්‍රී ලංකා නාවුක හමුදා සෙබළුන් සමඟ තුන්දින ඒකාබද්ධ නාවුක යුද අභ්‍යාසය ත්‍රීකුණාමලයේ දී හමාර කරන ලද්දේ ඊට දවසකට කලිනි. කැස්ත්‍රෝගේ මරණයෙන් 'උග්‍ර බාහිර අභියෝග හමුවේ නොසැළුණු අද්විතීය හා ආදර්ශවත් නායකයෙකු අහිමි වී යැයි" 27 වැනිදා නිල වශයෙන් නිවේදනය කර සිටි ජනාධිපති සිරිසේන, 28 වැනිදා කොළඹ කියුබානු තානාපති කාර්යාලයට ගොඩවැදී ශෝක සටහනක් තබා, ඉක්බිති කොළඹ දී මුළුදුන්  'ගාලු සංවාදය" ආරක්‍ෂක සමුළු ශාලාවේ එක්සත් ජනපද පැසිෆික් ආඥාපති අද්මිරාල් හැරී බී. හැරිස්ට යාබද අසුනේ වාඩි වී මිතුරු සාමිචියේ යෙදුණේය. 'ඉන්දු - ආසියා - පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය හා ආරක්‍ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මහඟු දායකත්වය ගැන එක්සත් ජනපදයේ පැසසුම් අද්මිරාල් හැරිස් විසින් ලංකාවේ නායක කාරකාදීන්ට පිරිනමන ලද්දේ ඒ දහවලේදී ය.

හාවුන් සමග දුවමින් බල්ලන් සමඟ දඩයමේ යාමේ  නිපුණතාව ලංකාව සියවසකට නොඅඩු කාලයක් ප්‍රගුණ කොට තිබේ. දෙමළ ජනයා දහස් ගණනින් සංහාරය කිරීමෙන් අනතුරුව, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේ කරන්නට අධිරාජ්‍ය විරෝධී කතාවක් බ්‍රිතාන්‍යයේ බෙල් පොටින්ජර් ප්‍රචාරක සමාගම ලවා ලියවාගත් සිංහලයේ අවසාන රජුගේ වික්‍රමය අයත් වන්නේ ඒ කුශලතා සම්ප්‍රදායට ය. දෙමළ ජනයාට එරෙහි රාජ්‍ය අපරාධකාරීත්වය ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ හවුලේ යට ගසන්නට සැළසුම් හදමින් 'බාහිර බලවේග හමුවේ නැඟී සිටි අද්විතීය නායකයෙකු' ලෙස ෆිදෙල් අභිනන්දනය කිරීම ද ඒ කුශලතාවයම පෙරට ගෙනයාමකි.

නමුත් දකුණේ රඟදුන් මේ කවට නළු මැද, උතුරු - නැගෙනහිර විනාශ කරන ලද සුසාන භූමි කරා රොක් වූ දහස් සංඛ්‍යාත දෙමළ ජනයා  නොවැම්බර් 27 වැනිදා පහන් දල්වා  සිය මළවුන් සැමරූහ. කිලිනොච්චියේ කණකපුරම් හා මුලන්ගාවිල්හි ද, මුලතිවු වන්නිවිලාන්කුලම් හා යාපනයේ උඩුත්තුරෛහි ද, මන්නාරමේ පන්ඩිවිරිච්චාන් හා ආට්කාඩිවේලිහිද, මඩකළපුවේ මාවඩිමුන්මාරිහි ද රාජ්‍ය හමුදා විසින් සුන්බත් කරන ලද සුසාන භූමි වෙත රොද බැඳි ජනයා, වල්බිහි වූ සොහොන් බිම් හෙළි පෙහෙළි කර, භංගුර ස්මාරක හා සොහොන් ඵලක එක්තැන් කොට  ඒ වටා ආලෝක වැටි දල්වා උත්තමාචාර පුද කළෝය. යාපනයේත්, මඩකළපුවේත් සරසවි පරිශ්‍රයන් හි පැවැති සාමූහික ස්මරණයන් මීට අතිරේක වශයෙනි.

1995දී රාජ්‍ය හමුදා විසින් සුන්බුන් කඳු බවට පත්කළ සුවිශාල කෝපායි සුසාන භූමිය, 2002 සටන් විරාම සමයේ අළු ධූලි මතින් යළිත් ගොඩනැංවූ දෙමළ ජනයා මුල් සුසාන භූමියේ විසුණු කළ සොහොන් ඵලක කැබලිති වීදුරු බහාලුමක ලා යන එන්නන්ට දැක ගනු පිණිස, ප්‍රවේශ දොරටුව ප්‍රත්‍යන්තයේ තබා තිබිණ. මළවුන් වෙනුවෙන් වෙන් වූ ස්මරණ ඵලක 1832ක් සහිතව යළි ගොඩනංවන ලද ඒ  සුසාන භූමිය 2009 යුද්ධාවසනයේ දී දෙවන වරටත් සුන්බුන් කොට බිම්බත් කළ විජයග්‍රාහී හමුදාවෝ  ඒ මත අභිනවයෙන් ඉදිකළ 51 වැනි සේනාංක මූලස්ථානය 2011 මාර්තුවේදී සෙත් පිරිත් සජ්ජායනා මැද විවෘත කළහ. උතුරු - නැගෙනහිර ඉදිකර තිබූ අවශේෂ සුසාන භූමි 24කට වැඩි ගණනක සොහොන් ඵලක 20,400ට වැඩි ප්‍රමාණයක් විසුණු කොට පාපන්දු පිටි හා ළමා උයන් තැනූ සන්නද්ධ සේනා විසින් සෙසු සොහොන් බිම්, ජනයාට තහනම් බිම් බවට නිවේදනය කරන ලදී.

ෆිදෙල්ගේ මරණයෙන් කම්පිතව නැඟ ආ දකුණේ 'ජාත්‍යන්තරවාදී සංවේගෙයේ' ශෝකී උදම් රළ මැද, දහස් සංඛ්‍යාත දෙමළ ජනයා ශ්‍රමදාන මගින් හෙළි පෙහෙළි කොට මතක පහන් දල්වන ලද්දේ වල්බිහිව මූකලන් අඳුරින් වැසී තහනම් බිම් බවට පත්ව තිබූ ඒ භූමි භාගයන් තුළදී ය. ස්වකීය නියමුවාගේ මරණයෙන් සසළව හවානාවේ වීදි උතුරා ගලා යන කියුබානු ජන ගඟ හා සහකම්පනය පළ කරමින් සංවේගය දනවන ලිපි ලියූ කොළඹ වාර්තාකරුවෝ, කිලෝ මීටර් දෙතුන් සීයකට නුදුරේ රැළි ගැසූ දෙමළ ජන වියෝ දුක් වේදනා 'කොටි අවතාර'යන්ට වැඩිමනත් දෙයක් සේ නොසැළකූහ. බොලිවියාවේ දී ඝාතනය වූ චේ ගෙවාරා වෙනුවෙන් සමරු වැඩසටහන් පවත්වන්නට යාපනයේ රස්තියාදු වූ දකුණේ ජාත්‍යන්තරවාදී බලවේග, සටන් කර මියගිය ස්වකීය දූ දරුවන් සිහිකොට, ස්මරණ සුන්බුන් කඳු ගසා පහන් දල්වන දෙමළ ජනයාට පිටු පා ෆිදෙල් ගැන ලියූ ශෝකී රස හව් පිරි කව් ගී කතා බෙදාහදා ගත්හ.

හවානාව අපේ යාබද බිම්කඩක් බවට පත් වී වන්නිය නොදත් ග්‍රහලෝකයක් බවට පෙරළුණු මේ නොවැම්බරය ලංකාවේ විපරීත දේශප්‍රේමය හා ජාත්‍යන්තරවාදය ගැන තවත් උත්ප්‍රාසවත් පරිච්ඡේදයක් ලියා හමාර කළේය.

'කොටි බිය' දුරු කළ ත්‍රීකුණාමලයේ දී එක්සත් ජනපද මරීන් බල ඇණි සමග උරෙනුර ගැටෙමින්  ඒකාබද්ධ නාවුක අභ්‍යාස පවත්වන ශ්‍රී ලංකා නාවුක 'රණ විරුවන්'ගේ රණකාමී උද්වේගය ඒ පරිච්ඡේදයේ කොටසකි.  එක්සත් ජනපද ආක්‍රමණික බලයට එරෙහිව ලතින් ඇමරිකානු ජනයා අතර මහාද්වීපික සහයෝගීතාව මෙළවූ ෆිදෙල් පිළිබඳ අනුවේදනීය කල්පනාවන් ද ඒ පරිච්ඡේදයේ කොටසකි. මර්දනයේ ආඝාත සාහසිකත්වයෙන් වසා දමනු ලැබූ මිනිස් පරම්පරාවක් ගැන නොමළ මතක සුන්බුන් රැස්කොට පහන් වැටි දල්වා මුනිවතින් බලා සිටින දිවි ගළවාගත් පීඩිත මිනිස් කැළකගේ නොතිත් විමුක්තිකාමය ද - කවුරුන් අකමැති වුව ද - ඒ පරිච්ඡේදයේම කොටසකි.☐ 

(මෙම ලිපිය 2016 දෙසැම්බර් 04 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ විය.)

රෝහිත භාෂණ අබේවර්ධන 


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.