JDS Sinhala

සමකය: දෙමළ අන්තවාදය ගැන සිංහල සිහින

දෙමළ මහජන සභාව යාපනයට කැඳ වූ ‘තමිලූනි පිබිදෙව්’ රැළියට දැන් මාසයකි. 10,000 - 15,000ත් අතර ජනකායක් සහභාගී විණැයි වාර්තා වූ රැළිය නිමා වී දින හයක් පිරෙද්දී උතුරු පළාත් මහ ඇමතිවරයාට එරෙහිව ලියූ මරණ වරෙන්තු විරෝධතා පුවරු මෙන් ඔසවාගත් බොදු බල හා රාවණ සේනාවෝ වවුනියාවෙන් ප‍්‍රාදූර්භූත වූහ. නමුත් වඩාත් සිත්ගන්නා සුළු ප‍්‍රතිචාරයන් මතුව ආවේ කොළඹ රාජ්‍ය නොවන සංවිධාන සහ ඉංග‍්‍රීසි පුවත්පත් මුල්කොටගෙන ය. එහි සාරය මෙබඳු ය: 

‘යාපනයේ රැළිය දෙමළ අන්තවාදයේ පුනරුදයකි. වීණා වයමින් සිටි මුනිවරයෙකු බඳු මධ්‍යස්ථවාදී විග්නේස්වරන් දැන් අන්තවාදියෙකු බවට පෙරළීම අවාසනාවකි. ආණ්ඩුවේ ජාතික ප‍්‍රතිසන්ධාන පිළිවෙතට මෙවැනි පියවර හානියකි. දෙමළ ජනයාට මෙන්ම සිංහල ජනයාටද ඉඩම් ප‍්‍රශ්න තිබේ. එනිසා හරි නම් කිව යුතුව තිබුණේ ‘ශ‍්‍රී ලාංකිකයනි, පිබිදෙව්’ කියා ය. සිංහල ජනයා කුපිත කරන මෙවැනි ක‍්‍රියාමාර්ග රාජපක්ෂ පෙරටු කොටගත් වාර්ගික අන්තවාදයට පාර කැපීමකි.’

විග්නේස්වරන් සහ වාසුදේව අතර සතරකන් මන්ත‍්‍රණ ගැන විපරීත අනුමානයන් ද, විග්නේස්වරන්ගේ දරුවන් රැළියට නොගෙන ඒම සම්බන්ධ තර්ජනාත්මක මැසිවිලි ද මීට අමතර වශයෙනි.

ගතව ගිය සත් වසර තුළ සංවිධානය කළ දෙමළ ජනයාගේ දැවැන්තම දේශපාලන රැළියට එරෙහි කොළඹ ලිබරල් විවේචකයන්ගේ සටන් පාඨ බැලූ බැල්මට අති උදාරතර ඒවා ය. ඒවා සියලූ ‘ශ‍්‍රී ලාංකිකයන්ගේ’ ඉරණම ගැනද, ජාතික සංහිඳියාව ගැන ද පුළුල් ධාර්මික කල්පනාවන් මත පදනම්ව ඇතැයි හඟවනු ලබයි. නමුත් එම විවේචනයන්ගේ හරයේ පරහක් තිබේ. ඒ, දෙමළ රැළිය විසින් අවධාරණය කළ සංයුක්ත ඉල්ලීම් මඟහැර යාමටත්, එම විරෝධතාව පැන නැඟුණු නිශ්චිත දේශපාලන සන්දර්භය නොතකා හැරීමටත් මේ විවේචකයන් දක්වන කැමැත්තයි. එකී ඉල්ලීම් ඕනෑ නම් විමසා බැලිය හැක.

යාපනයේ රැළිය කැඳවා තිබුණේ මූලික ඉල්ලීම් 15ක් පදනම් කොටගෙන ය. ඒවා විසින් අවධාරණය කරනු ලැබ ඇත්තේ රාජ්‍ය අනුග‍්‍රහයෙන් සිදු කෙරෙන සිංහල බෞද්ධකරණයත්, මිලිටරීකරණයත් අවසන් කරන ලෙස ය. දෙමළ ජනයාට එරෙහි වර්ග සංහාරක පිළිවෙත් පිළිබඳ අපක්‍ෂපාතී ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන ලෙස ය. දෙමළ ගම්බිම්වල වාඩි ලා ගත් හමුදා ඉවත්කොට දෙමළ ස්ත‍්‍රීන්ගේ සහ දරුවන්ගේ ආරක්‍ෂාවත්, ගරුවයත් සහතික කරන ලෙස ය. හිටපු සටන්කරුවන්ට එරෙහි හිංසනයන් නවතා, දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ය. අතුරුදහන්වූවන්ට යුක්තිය ඉටු කරන ලෙසය. සාගර සහ වෙරළ සම්පත් ද සංස්කෘතික කොල්ලයද නවතා ආර්ථික පරාධීනතාව නිමා කරන ලෙස ය. අල්ලාගත් පාරම්පරික ඉඩම් යළි ලබාදෙන ලෙස ය. දෙමළ ජනයාගේ ජාතිකභාවයත්, ස්වෛරීභාවයත්, ස්වයං නීර්ණ අයිතියත් පිළිගන්නා ෆෙඩරල් විසඳුමක් ලබා දෙන ලෙස ය.

මේ සෑම සටන් පාඨයක්ම ඉකුත් සත් වසර මුළුල්ලේ වෙන් වෙන් බහුජන සටන් හා විරෝධතා ඔස්සේ යළි යළිත් අවධාරණය කළ ඒවා ය. ඒ අනුව බලතොත්, යාපනයේ රැළිය වනාහී එසේ තැනින් තැන, කලින් කල මුළුදුන් එම විසිරුණු විරෝධතාවන්ගේ ඒකාබද්ධ ප‍්‍රකාශනයකට වැඩිමනත් දෙයක් නොවේ. 150,000ක සේනාංක උතුරේ වාඩි ලා සිටිතැයි මහ ඇමති විග්නේස්වරන් කරන ප‍්‍රකාශය මදකට පසෙකින් තබා, ඉකුත් සැප්තැම්බර් මාසයේ 15 වැනිදා යුද හමුදාවේ නිල ප‍්‍රකාශයන් උපුටා දැක් වූ ‘දි අයිලන්ඞ්’ පත‍්‍රයේ වාර්තා ඇත්ත සේ සළකා ගණන් බැලූවද උතුරු පළාතේ හමුදා ඝනත්වය අඩුම වශයෙන් සාමාන්‍ය වැසියන් 19 දෙනෙකුට එක සොල්දාදුවෙක් බැගින් වේ. ජාතීන් අතර ප‍්‍රජාතාන්ත‍්‍රික ප‍්‍රතිසන්ධානය වළකන ප‍්‍රචණ්ඩ යථාර්ථය එයයි. එකී යථාර්ථය දැන් හෝ අවසන් කර නිදහස් ජීවිතයක් ඉල්ලා සත් වසරකින් පසු වීදි බසින දෙමළ ජනයා විසින් සිංහල අන්තවාදය කුපිත කරවන බව කීමද ඒ ප‍්‍රචණ්ඩත්වයේම කොටසක් වන්නේ ඒ නිසා ය.

මූලධාර්මික ඇත්ත මෙයයි: ලෝකයේ කවර හෝ තැනෙක අධිපති ජාතියකට අන්‍ය ජාතීන් පාගා මැඩලන්නට විශේෂ කුපිත කිරීම් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ එසේ පාගා මැඩලන්නට ඕනෑ කරන දේශපාලන බලය යි. ඒ සාර්ව යථාර්ථය නොතකා ‘හැමෝටම පිබිදෙන්නැයි කියන්නට දෙමළුන්ට බැරි ඇයි’දැයි ඇසීම අර කී අධිපතිවාදයේම පිරිපහදු කළ සංස්කරණයක් මිස වෙන යමක් නොවේ.

සමකාලීන නිදසුනකින් මෙය පහදාලීම වඩා පහසු ය. කළු ඇමරිකානුවන්ට එරෙහි පොලිස් ප‍්‍රචණ්ඩත්වය ඇමරිකානු රාජ්‍යයේ ව්‍යුහාත්මක ගැටළුවකි. බැරාක් ඔබාමා ජනාධිපති ධූරයට පත්වීමෙන් ඒ ව්‍යුහාත්මක ගැටළුව නොවිසඳේ. කළු ජනයාට එරෙහි සංස්ථාපිත ප‍්‍රචණ්ඩත්වයට විරුද්ධව දැන් එක්සත් ජනපදය පුරා පැතිර යන විරෝධතා ව්‍යාපාර ‘කළු ජීවිත වැදගත්යැ’යි (Black Lives Matter) අවධාරණය කරන්නේ ඒ නිසා ය. ඒ විරෝධතාවන්ට විරුද්ධව ‘සුදු ජීවිත වැදගත්’ (White Lives Matter) යැයි බැනර් ඔසවන්නේ සුදු වර්ගවාදීන් බව සියල්ලෝ දනිති. නමුත් සියළු ජනවර්ග අතර සංහිඳියාව අගයන බැව් පෙන්වන සුදු මධ්‍යම පාන්තික ලිබරල් ආකල්ප දරන්නන් තොරොම්බල් කරන්නේ වෙනත් සටන් පාඨයකි. ‘කලූ ජීවිත වැදගත්’යැයි කියන කළු ඇමරිකානුවන්ට එරෙහිව ‘සියලූ ජීවිත වැදගත්’ (All Lives Matter) යැයි ඔවුහු කියති. බැලූ බැල්මට උදාරතර අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින බැව් හඟවන මේ සටන් පාඨය ගැන ‘හෆින්ග්ටන් පෝස්ට්’ බ්ලොග් අඩවියට ලියමින් සුදු ඇමරිකානුවෙකු වන ජෝන් හල්ස්ටඩ් මෙසේ කියයි:

‘‘සියළු ජීවිත වැදගත්යැයි අප කියන්නේ ඒ සටන් පාඨය පෙරළා අපට සුව පහසු හැඟීමක් ගෙන දෙන බැවිනි. ඒ වෙනුවට ‘කළු ජීවිත වැදගත්ය’සටන් පාඨය අපට අපහසුවක් ගෙන එයි. ඒ ඇයි? ඒ, එම සටන් පාඨය ජන වර්ගයන් තව දුරටත් පවතින බව අපට සිහිපත් කරන හෙයිනි. මේ රටේ සුදු ජනයා ලෙස අපගේ අත්දැකීම් කළු ජනයාගේ අත්දැකීම්වලින් වෙනස් බැව් එය අපට සිහිපත් කරන බැවිනි. වර්ගවාදය එක්සත් ජනපදයේ හොඳින් ජීවමාන බැව් එම සටන් පාඨය අපට සිහිපත් කරන බැවිනි.’’

සිය ජීවිත පාගා මැඩලන සංස්ථාපිත ප‍්‍රචණ්ඩ බලයට එරෙහිව ‘පිබිදෙන්නැයි’ යාපනයේ රැළිය දෙමළ ජනයාගෙන් ඉල්ලා සිටීම බොහෝවුන්ට ගැටළුවක් වන්නේ ද ඒ නිසා ය. යුක්තිය හා ජාතික සමානත්වය වෙනුවෙන් ඔසවාගත් කොඩි බැනර් හා විසිතුරු තොරණ යට පීඩිතභාවයේ ගිල්වා මැඩලූ දෙමළෙක් ඇති බැව් යාපනයේ රැළිය අපට සිහිපත් කරයි. වර්ග සංහාරක අපරාධයන්ට එරෙහිව තව දුරටත් යුක්තිය ඉල්ලා සිටින, සිය වගා බිම් ගේ දොර අල්ලා වාඩි ලා සිටින හමුදා සේනාංක පිටවනු දකිනු රිසි, සමානයෙකු සේ නිදහස්ව ජීවත්වීමට අවශ්‍ය ප‍්‍රජාතාන්ත‍්‍රික දේශපාලන අයිතිය පිළිබඳ විජීගීෂාවෙන් ඇවිළුණු දෙමළෙක් තවමත් සිටින බැව් යාපනයේ රැළිය අපට සිහිපත් කරයි. ජාතික ගීය දෙමළෙන් ගයා, උතුරු - දකුණු පාලම් ව්‍යාපෘතිවලින් නිවී සැනහෙන්නට බලා සිටින දෙමළෙක් හදාගන්නට 70,000ක් මරා හෝ නොහැකි වූ බව යාපනයේ රැළිය අපට සිහිපත් කරයි.

එහෙයින් අපේ හොඳ හිත නොතකන අන්තවාදයේ අවතාර අප අවට තවමත් සැරි සරතැයි අපි සිතමු. ඒ අවතාර අපේ නොවෙනස් අධිපතිවාදයේ ප‍්‍රතිබිම්බයන් යැයි මොහොතකට හෝ නොසිතමු.☐

(මෙම ලිපිය 2016 ඔක්තෝබර් 23 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ විය.)

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.