JDS Sinhala

සමකය: යාපනයට පසුවදනක් හෙවත් ‘අන්තය’ හා ‘මැද’

 

සූ තුනේ කලු ජූලියට තිස් තුන් වසරක් සම්පූර්ණ වූයේ ගෙවී ගිය සතියේ ය. මුත්තූර් හි කිලිවෙඩ්ඩි කුමාරපුරම් ගම්මානයට කඩා වැදී ළමුන් 13 දෙනෙක් ඇතුළු සිවිල් වැසියන් 24 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටි දෙහිවත්ත හමුදා කඳවුරේ යුද හමුදා සෙබළුන් සය දෙනෙක් විසි වසරකට පසු නිදොස් කොට නිදහස් කර හැරීමට අනුරාධපුර මහාධිකරණය තීන්දු කිරීමේ පුවත දෙමළ ජනයාට මහත් අස්වැසිල්ලක් ගෙන එනු ඇත්තේ ඒ නිසා ය.

‘ශ්‍රී ලංකා යුද හමුදාව අහිංසක වැසියන් ඝාතනය කරන ම්ලේච්ඡයන් පිරිසක් නොවන බව ජාත්‍යන්තරයට පෙන්වීමට මේ නඩු තීන්දුව වැදගත් වෙතැ’යි නිදහස් වූ සෙබළෙක් රූපවාහිනී කැමරාකරුවන්ට පවසා තිබිණ. නමුත් මීට පෙරද මේ හා සමාන තීන්දු මගින් ‘ජාත්‍යන්තරය’ට මේ වටිනා අවබෝධය ලබා දී ඇති බව ඇතැම් විට ඔහු නොදැන සිටියා වන්නට ඇත. මේ ඉන් අල්පයකි: 1991 ජූනි මාසයේ දිනක මඩකළපුවේ කොක්අඩිචෝලෛ ප්‍රදේශයේ ගම්වාසීන් 67 දෙනෙකු ඝාතනය කොට, තවත් 56 දෙනෙකු අතුරුදහන් කිරීමට අදාළව චෝදනා ලැබ සිටි හමුදා සෙබළුන් 19 දෙනෙකු හමුදා අධිකරණයක් මගින් 2001දී නිදොස් කොට නිදහස් කර හරින ලදී. 1992 අගෝස්තු මාසයේ දිනක මඩකළපුවේ මයිලන්දනෛ ගම්මානයේ ළමුන් 14 දෙනෙකු ඇතුළු ගම්වැසියන් 35 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පූනානි හමුදා කඳවුරේ සොල්දාදුවන් 18 දෙනෙකු සර්ව සිංහල ජූරි සභාවක් විසින් නිදොස් නිදහස් කරන ලද්දේ 2002 නොවැම්බරයේදී ය. 2000 ඔක්තෝබර් මාසයේදී බිඳුණුවැව හමුදා රැඳවුම් භාරයේ සිටි දෙමළ තරුණයන් 27 දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චූදිත සියල්ලන් පස් වසක් ඇවෑමෙන් 2005 ජූනි මාසයේදී සියළු චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කරන ලද්දේ මීට අමතර වශයෙනි.

1990 වසරේදී සැප්තැම්බර් 05 වැනිදා මඩකළපුව වන්තාරමූලෛ නැගෙනහිර සරසවියේ සරණාගත කඳවුරෙන් පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද 158 දෙනාත්, එයින් සිව් දිනක් ඇතුළත ප්‍රත්‍යන්ත සට්රුකොණ්ඩාන්, කොකුවිල්, පනිච්චයාර්ඩි හා පිල්ලෙයාර්ඩි ගම්මානයන්හි දිවි ගෙවූ ස්ත්‍රීන් 85 ක්, ළමුන් 42ක් හා ළදරුවන් පස් දෙනෙක් සමග මරා දැමුණු 184 දෙනාත් ඇතුළු 1990 වසරේදී පමණක් මඩකළපු දිස්ත්‍රික්කය තුළ දී ඝාතනය කළ 800කට නොඅඩු දෙමළ වැසියන් සම්බන්ධයෙන් නඩු විභාග නොපැවැත් වූ නිසා ඉහතින් කී ‘ආදර්ශය’ ජාත්‍යන්තරයට පෙන්වා දීමේ මහඟු ඉඩකඩ ඇහිරී යාම කණගාටුවට කරුණකි. කෙසේ වුවද අවශ්‍ය නම් 2009 වෙසක් මාසයේදී සම්පූර්ණ කළ මිනිස් සංහාරය පිළිබඳ යෝජිත පරීක්ෂණ මගින් මේ ආදර්ශය යළිත් ‘ජාත්‍යන්තරයට’ සැපයීමට දැන් දොරටු විවර වී තිබේ.

නමුත් දෙසතියකට පෙර යාපන සරසවියේ සිදුවීම පාදක කොටගෙන දකුණේ පුවත්පත්, සමාජ මාධ්‍ය ජාලා හා දේශපාලන කවයන් මුල් කොටගෙන පැන නැඟුණු ‘දෙමළ ජාතිවාදය’ පිළිබඳ සංවාදයට කදිම ප්‍රවේශයක් කුමාරපුරම් නඩු තීන්දුව විසින් ලබා දී තිබේ. ජාතිවාදය වනාහී නොහික්මුණු අන්තවාදී දෙමළුන්ගේ හා බල ලෝභී සිංහලයන් අතලොස්සකගේ අශිෂ්ට කල්පනාවකැයි සළකන්නන්ගේ දොම්නසට හේතුවිය හැකි වුවත් එය ලියා තැබීම වැදගත් ය.

පස්වැනි ඊළම් යුද්ධය යාපනය සරසවියෙන් ඇවිළ යනු ඇතැයි අමන්දානන්දයට පත්වූවෝ ඉකුත් දෙසතියෙහි සැණකෙළි සුව වින්දෝය. මාසයකට වරක් සෙරමික් හන්දියේ කඳුළු ගෑස් හා බැටන් පහර කන දකුණේ අවශේෂ සරසවි සිසුන් කෙරෙහි පහළ නොවූ මහා කරුණා නදිය යාපනය සරසවියේ සිංහල සිසුන් යටකොට ගලා බැස්සේ ඒ අනුව ය. කෙසේ වුවද, වැලිකඩ බන්ධනාගාර දොරටුව අසළ සිංහලයේ අවසාන රජු පෙරටු කොට රස්තියාදු වන චෞර සහයෝගීතා ව්‍යාපාරයන් හිටි හැටියේ කොළඹ මහ රෝහල වට කරගත් ‘ශිෂ්‍ය සහයෝගීතා ව්‍යාපාරයක්’ බවට පෙරළීමේ රහස උත්ප්‍රාසජනක එකක් වන්නේ මේ නිසා ය.

නමුත් යාපනයේ සිදුවීම මුල් කොටගෙන මතුව ඇති විමසා බැලිය යුතු වෙනත් පෙළගැසීමක් දකුණේ තිබේ. ඒ සම්බන්ධයෙන් පළකෙරුණු මත දෙවර්ගයක ලා ගැණේ. එකක් ‘ආන්තික’ සේ සැළකේ. අනෙක ‘මාධ්‍යමික’ සේ හැසිරේ. ඉන් පළමුවැන්න බැලූ බැල්මට දෙමළ විරෝධී ය. දෙමළ සිසුන් විසින් සිංහල සිසුන්ට පහර දී ඇති අතර එමගින් ප්‍රකාශවන්නේ ‘දෙමළ ජාතිවාදය/අන්තවාදය’ බව ඔවුහු අදහති. සිසු ගැටුමේ වින්දිතයන් සිංහල සිසුන් වන අතර ප්‍රචණ්ඩකාරී බලවේගය ‘කොටි අනුයන’ දෙමළ සිසුන් යැයි ඔවුහු කල්පනා කරති. ‘රණ විරු හමුදා’ දිවි පුදා රැකගත් උතුරු පළාතේ ඉගෙනුම ලබන ‘සිංහල සිසුන්ගේ ආරක්‍ෂාව තහවුරු කරමු’යි ඔවුහු යෝජනා කරති.

ඉහත කී දෙවැනි වර්ගය සමන්විත වන්නේ බැලූ බැල්මට ‘අන්තවාද විරෝධීන්’- මාධ්‍යමිකයන්ගෙනි. නමුත් දෙමළ සිසුන් විසින් සිංහල සිසුන්ට පහර දී ඇති අතර එමගින් ප්‍රකාශ වන්නේ දෙමළ ජාතිවාදය/අන්තවාදය බව ඔවුහු ද පිළිගනිති. නමුත් ඒ හේතුවෙන් පොදුවේ දෙමළ සිසුන් ‘කොටි අනුයන’ බලවේගයකැයි ලේබල් ගැසීමට ඔවුහු මැලි වෙති. දෙපැත්තේම අන්තවාදීන් විසින් අනතුරේ හෙළා ඇති සිංහල දෙමළ ජනයා අතර ‘ජාතික සමගිය ආරක්‍ෂා කිරීමට කැප වෙමු’යි ඔවුහු ආයාචනා කරති.

මේ ව්‍යාජ රාමුවෙන් බැහැර නිරාකූල දේශපාලන ප්‍රවේශයක් පෙන්වා තිබුණේ රමිඳු පෙරේරා විසින් ‘අක්ෂය’ වෙබ් අඩවියටත්, කුසල් පෙරේරා විසින් ‘ලක්බිම’ පුවත්පතටත් ලියන ලද විග්‍රහයන් මගින් පමණි. ගල්කන්දේ ධම්මානන්ද හිමියන් විසින් සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ බෙදාගත් වීඩියෝ පණිවුඩයක් මගින්ද, තරිඳු උඩුවරගෙදර විසින් ‘රාවය’ පුවත්පතට සපයන ලද විශේෂාංග ලිපියක් මගින්ද එම දේශපාලන ප්‍රවේශයට අනුබල සපයා තිබුණි.

මෙකී අතළොස්සක් දෙනා විසින් මතු කළ වැදගත්ම යථාර්ථය වන්නේ ජාතිවාදය වනාහී පුද්ගලවාදී ආත්මීය අගතියක් නොවන බව ය. එය, සංස්ථාපිත දේශපාලන බල රටාවන් විසින් තීරණය කෙරෙන ව්‍යුහාත්මක ගැටලුවකි. අනෙකා කෙරෙහි තමන් තුළ වන වාර්ගික අගතිය ව්‍යාවහාරයට නංවන්නට අවශ්‍ය ආයතනික බලයක් නැති තැනක ජාතිවාදියෙක් වන්නට අයෙකුට නොහැක්කේ ඒ නිසා ය. සංඛ්‍යාත්මක බහුතරයක්ව සිටියදීත් දකුණු අප්‍රිකානු කළු ජනයා වර්ණභේදවාදී සුදු පාලනයට යටත් පීඩිතයන් සේ සළකන ලද්දේ එබැවිනි. යුරෝපා යුදෙව් ජනයා නාට්සිවාදයේත්, ස්වදේශික ඇමරිකානුවන් හා කළු ජනයා සුදු දේශපාලනයේත්, පලස්තීනුවා සයන්වාදයේත්, දෙමළ ජනයා සිංහල බෞද්ධ අධිකාරවාදයේත් ගොදුරු සේ සැළකෙන්නේ ද එබැවිනි.

මාධ්‍යමික නර්මාලාප මගින් යටපත් කළ නොහැකි ඇත්ත මෙයයි: පශ්චාත් යටත් විජිත ලංකාවේ ව්‍යුහගත රාජ්‍ය බලයේ වාර්ගික ස්වරූපය සිංහල - බෞද්ධ එකකි. යාපන අර්ධ ද්වීපය තුළ රාජ්‍ය බලාධිකාරය නියෝජනය කරන්නේ අත්පත් කොටගත් දෙමළ ගම්බිම්වල ගේ දොර, කෝවිල් හා සුසාන භූමි පවා සමතලා කොට හමුදා කඳවුරු, ජනාවාස හා වෙහෙර විහාර ඉදි කරමින් ඒ රාජ්‍ය බලය අභ්‍යාස කරන සහමුලින්ම සිංහල වූ රාජ්‍ය හමුදා විසිනි. දස ලක්ෂයක ජන ගහණයක් වට ලා 144,000කට නොඅඩු සන්නද්ධ සිංහල සෙබළුන් වාඩි ලා සිටින යථාර්ථය නොතකා යාපන සරසවියේ ‘සිංහලයාට එරෙහි දෙමළ ජාතිවාදය’ රැළි ගසතැයි කීම මුග්ධ වාගාලාපයක් වන්නේ ඒ නිසා ය. යාපන සරසවියේ සිංහල ශිෂ්‍ය සංගම් විසින් සංවිධානය කෙරෙන වෙසක් කලාප හා උඩරට නැටුම්වල දේශපාලන සන්දර්භය තීරණය කරන්නේ ඉහත යථාර්ථයන් විසින් මිස සංස්කෘතික බහුවිධත්වය පිළිබඳ වියුක්ත සංකල්පවලින් නොවේ. සිංහල සිසුන්ගේ ආරක්ෂාවට ප්‍රමාණවත් තරම් රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් ද, සිවිල් හැඳගත් පොලිස් නිලධාරීන් ද යාපනය සරසවියට යොදවා ඇති හෙයින් නොබියව යාපනයට එන්නැයි පොලිස්පතිවරයා සිංහල සිසුන්ට ආරාධනා කරන්නේ එබැවිනි.

මුලින් කී විසි වසක් දිග්ගැසුණු කුමාරපුරම් සමූහ ඝාතනය පිළිබඳ නඩු තීන්දුව වැදගත් වන්නේ ඉහතින් කී වාර්ගික අධිකාරවාදයේ ආයතනගත ස්වරූපය වටහා ගැනීමට ය. චූදිත සෙබළුන්ද, දකුණේ පුළුල් සමාජයද, රාජ්‍ය හා යුක්තිය පසිඳලන ආයතනයන් ද යා කෙරෙන අධිපති වාර්ගික රැහැන විනිසුරු ශ්‍රී පවන් අග්‍ර විනිශ්යකාර අසුෙන් වාඩි වීමෙන් නිශේධ නොවේ.

ලෙනින්, මහා රුසියානු ජාතිවාදයේ අනතුර ගැන පමණක් අනවශ්‍ය ලෙස අතිශයෝක්තියට නගන්නේ යැයි ආර්මේනියානු බොල්ෂෙවික් නායක ස්තෙපාන් ෂහුම්යාන් විසින් නගන ලද චෝදනාවට පිළිතුරු දෙමින් තැනෙක ලෙනින් නිර්දය උත්ප්‍රාසයෙන් මෙසේ ලියයි: “මා මහා රුසියානු ජාතිවාදය අතිශයෝක්තියට නගන්නේලු! මේ නම් කදිම හාස්‍යයකි. මිලියන 160ක් වූ රුසියානුවෝ ආර්මේනියානු හෝ පෝලන්ත ජාතිකවාදයෙන් පීඩා විඳිත්ද?.......රුසියාවේ පාලක පන්තීන්ගේ පිළිවෙත් හැඩගස්වමින්, පීඩනයෙහි යෙදෙන්නේ මහා රුසියානු ජාතිවාදය ද? නැතිනම් ආර්මේනියානු, පෝලන්ත ජාතිකවාදයන්ද?”

සියවසකට පෙර ලෙනින් විසින් වැකි කිහිපයකට හකුළා පෙන්වන්නේ යාපන සරසවියේ සිසු ගැටුම ‘දෙමළ අන්තවාදයේ’ ප්‍රකාශනයකැයි සළකන දකුණේ අන්තවාදී හා මාධ්‍යමික දෙබෑයන් නොතකන සරල මූලධාර්මික ඇත්තකි. දෙමළ ජනයාගේ දෛනික දිවිය මත බලපාන පීඩක යථාර්ථයන් හැඩ ගස්වනු ලබන්නේ සිංහල අධිපතිවාදයේ ආයතනගත බලය විසින් මිස විද්‍යා පීඨ භූමියේ වෙස් නැටුම් ගැන පොර වදින සිසු කණ්ඩායම්වල කෝපාන්විත තර්ජන මගින් නොවේ. හරියටම කුමාරපුරම් සමූහ ඝාතනය සම්බන්ධයෙන් චූදිත සෙබළුන් නිදොස් කොට නිදහස් කිරීම නීතියේ ආධිපත්‍යය ප්‍රකාශයට පත්වීමක් නොවන්නාක් මෙනි.☐

(මෙම ලිපිය 2016 ජූලි 31 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ විය. / කාටූන් සිතුවම වෙනුවෙන් අවන්ත ආටිගලට ස්තූතියි)

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS



left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.