JDS Sinhala

සමකය: පැරණි අපරාධ ගැන අලූත් පිළිවෙත්

ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි නිත්‍ය සැසිවාරය ජූලි මාසයේ පළමුවැනිදායින් නිමා විය. ‘ජාතික ප‍්‍රතිසන්ධානය වෙනුවෙන් ඉකුත් වසර තුළ ලංකාව තැබුවේ ළදරු අඩි නොව, යෝධ පිමි’ බැව් සැසිය අමතා කියා සිටි විදේශ ඇමතිවරයා ‘අවශ්‍ය නම් වර්ග සංහාරයක් සිදුව ඇතිදැයි සොයා බලන්නට වුව ද තම රජය පැකිළෙන්නේ නැති බවට’ අතුරු සභාවක් හමුවේ සහතික කළේය.

නමුත් ශ‍්‍රී ලංකා රජයේ හමුදා පොකුරු බෝම්බ භාවිතා කළ බවට ජූනි 20 වැනිදා ‘ගාඩියන්’ පත‍්‍රය පළකළ ගවේෂණාත්මක වාර්තාව ප‍්‍රතික්‍ෂේප කරමින් 22 වැනිදා කොළඹ දී මාධ්‍ය ඇමතූ ආණ්ඩුවේ කැබිනට් ප‍්‍රකාශකයා ‘ඔය වගේ පින්තූර මීට කලිනුත් කීයක් ඉදිරිපත් කළාදැයි’ ප‍්‍රශ්න කිරීමෙන් නොනැවතී ‘ඒ බෝම්බවල ශ‍්‍රී ලංකා හමුදාව කියලා ගහලා තියෙනවාදැයි’ ‘‍ප්‍රඥාසම්පන්න ප‍්‍රශ්නයක් ද නගා තිබිණ. ‘කලිනුත් මෙවැනි චෝදනා එල්ල වූ නමුත් ශ‍්‍රී ලංකා හමුදාව කිසි විටක පොකුරු බෝම්බ භාවිතා නොකළ’ බව එහිදී ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා කියා තිබුණේ ඊට අලගු තැබීමක් වශයෙනි.

‘ගාඩියන්’ වාර්තාවෙන් හෙළිකළ රුසියාවේ නිෂ්පාදිත සමූහ ඝාතක RBK - 500 වර්ගයේ පොකුරු බෝම්බ ගැණුම්කාර රාජ්‍ය ලැයිස්තුව අතර ශ‍්‍රී ලංකාවේ නම සඳහන් වන්නේ ඇයිදැයි ඒ මාධ්‍ය සාකච්ඡාවේදී කිසිවෙක් නෑසූ නිසා අමතර දුෂ්කරතා කිසිත් මතු නොවුණි.

නමුත් මේ සියල්ල අභිබවා වඩාත් ‘සිත් පැහැර ගන්නා සුළු’ පැහැදිලි කීරීම කරන ලද්දේ අතුරුදහන්වූවන් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ ප‍්‍රධානී විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගම විසිනි. තර්කය මෙසේ ය: ‘ශ‍්‍රී ලංකා හමුදාවෝ පොකුරු බෝම්බ භාවිතා නොකළහ. එසේ භාවිතා කළ ද එය නීති විරෝධී නොවන්නේ, පොකුරු බෝම්බ තහනම් කිරීමේ ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක වූයේ 2010දී බැවිනි.’

විනිසුරු පරණගමගේ ප‍්‍රකාශය යුදෙව් සංහාරය පිළිබඳ කුප‍්‍රකට තර්කය යළිත් සිහි කැඳවයි. එවැනි යුදෙව් සංහාරයක්  සිදුනොවී යැයි තර්ක කරන ඇතැම්හු අනෙක් අතින් එවැනි ඉරණමක් යුදෙව්වන්ට හිමිවීම යෝග්‍ය වන්නේ ඇයිදැයි යුක්ති යුක්ත කරනු පිණිස කරුණු දක්වති (Holocaust never happened, but the jews deserved it'.)  ඒ අනුව කල්පනා කළ විට පොකුරු බෝම්බ පිළිබඳ පරණගම සමීකරණය මෙබඳු ය:

‘අපි පොකුරු බෝම්බ භාවිතා නොකළෙමු. නමුත් 2010ට කලින් පොකුරු බෝම්බ භාවිතා කිරීම නීත්‍යානුකූල බැවින් ශ‍්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කොට නැත.’

විනිසුරු පරණගමගේ ප‍්‍රකාශය වනාහී ‘අනවශ්‍ය පණ්ඩිතකමකැයි’ විදේශ ඇමතිවරයා විසින් ජූලි 06 වැනිදාම කියන්නට ඇත්තේ ඇතැම් විට ජිනීවාහි මුලූදුන් ප‍්‍රදර්ශන මේස පන්දු තරඟාවලියේදී අත්පත් කරගත්  ‘රාජ්‍ය තාන්ත‍්‍රික ජයග‍්‍රහණවල’ බලය එමගින් හීන කරතැයි සිතූ නිසා විය හැකි ය. නමුත් ‘යුක්තිය සහ ජාතික ප‍්‍රතිසන්ධානය’ ගැන සොයා බැලීම භාරගත් රාජ්‍ය කොමිසම් දෙකක සාමාජිකත්වය දැරූ පරණගම විසින් හකුළා දක්වා ඇත්තේ යුද්ධය පිළිබඳ දකුණේ ජනපි‍්‍රය සිතීමෙහි විපරීත තාර්කික සාරයයි. ‘අලූත් ආණ්ඩුව’ හා ‘පරණ ආණ්ඩුව’ අතර සම්මුති ලක්‍ෂ්‍යය නිර්මාණය වන්නේ මේ සාරයෙනි.

‘මීට කලින්ද මේ හා සමාන පදනම් රහිත චෝදනා ශ‍්‍රී ලංකාවට එල්ල වූ බව’ ඇමතිවරුන් දෙපළක් විසින්ද, රාජ්‍ය කොමිසම් ප‍්‍රධානියෙකු විසින්ද කියන විට ඉන් හැඟවෙන වැදගත් සත්‍යයක් තිබේ. ඒ ඇත්ත මෙයයි: ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් ‘කලින් ආණ්ඩුව’ සහ ‘අලූත් ආණ්ඩුව’ අතර සමාදාන කළ නොහැකි පරස්පරතාවක් ඇතැයි අලූත් ආණ්ඩුව කියයි. තෝරාගත් අතීත සාපරාධී සිදුවීම් සම්බන්ධයෙන් දැන් අනුගමනය කරන පිළිවෙත් මගින් ඒ වෙනස මතුකොට පෙන්වීම වැදගත් වෙතැයි බොහෝදෙනා කල්පනා කරති. ඒ අනුව රතුපස්වල වෙඩි තැබීම ද, ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ද, වාසීම් තාජුඩීන්ගේ මරණය ද සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමේ උවමනාව නිරන්තරයෙන් අවධාරණය කෙරේ. එකී අපරාධ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ‘මීට කලිනුත් හැමදාම එල්ල වූ ඒවා යැයි’ අවඥාවෙන් බැහැර නොකෙරේ. ඒ අපරාධ සම්බන්ධ චෝදනා සහේතුක හා සයුක්තික දුක් ගැනවිලි සේ සැළකේ.  ‘කලින් ආණ්ඩුව’ සහ ‘අලූත් ආණ්ඩුවේ’  පිළිවෙත් අතර වෙනසක් ඇතැයි හඟවනු වස් එවැනි ස්ථාවරයක් දැරීම අත්‍යවශ්‍ය බැව් බොහෝදෙනා පිළිගනිති.

නමුත් විනිසුරු පරණගම මෙන්ම, ආණ්ඩුවේ නිල කැබිනට් ප‍්‍රකාශකයා විසින් යළිත් පෙන්වා දී ඇත්තේ ‘අලූත්’ සහ ‘පරණ’ ආණ්ඩු අතර මේ පරිකල්පිත බෙදුම් රේඛාව මැදවච්චියෙන් අවසාන වන බව ය. කලින් සිටි ආණ්ඩුව විසින් දෙමළ ජනයාට එරෙහිව කලින් කළ අපරාධ පිළිබඳ චෝදනා ගැන අලූත් ආණ්ඩුව කල්පනා කරන්නේ ද කලින් ආකාරයටම ය. ඒ චෝදනා අහේතුක, පදනම් රහිත සහ කුමන්ත‍්‍රණකාරී ඒවා සේ සළකා ප‍්‍රසිද්ධියේ පරිභව කොට බැහැර කෙරෙන්නේ ඒ අනුව ය. දෙමළා ජනයාගේ යුක්තිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ගැටළුව දකුණේ දේශපාලනයට තවදුරටත් ව්‍යතිරේඛයක් වන්නේ එහෙයිනි.

මාස 6-7කට වරක් වින්දිත දෙමළා මැදිකොටගෙන ජිනීවා නුවර ඇඳෙන කොකේසියානු හුණුවටය විසින් ඇත්ත වශයෙන්ම කරන්නේ ‘පරණ’ සහ ‘අලූත්’ පාලන සමයන් වෙන්කර අවුරුද්ද මුලූල්ලේ ඇඳගත් බෙදුම් ඉර වාෂ්ප කොට ‘අපි’ සහ ‘උන්’ වශයෙන් බෙදන ලද ලෝකය සිංහල සමාජයට අභිමුඛ කිරීමයි. දකුණේ දේශපාලනය අර්ජුන් මහේන්ද්‍රන් වටා භ‍්‍රමණය වූ ඒ දෙතුන් සතිය තුළ දෙමළ දේශපාලනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය වටා භ‍්‍රමණය වූයේ මේ අනුව ය.

ජූනි 23 වැනිදා කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට රැස්ව ‘අර්ජුන් මහේන්ද්‍රන් ආරක්‍ෂා කිරීම යහ පාලනයදැයි’ සිංහල සමාජ ක‍්‍රියාධරයන් ප‍්‍රශ්න කරද්දී, හමුදාව අත්පත් කරගත් සිය පාරම්පරික ඉඩම් මුදාහරින මෙන් ඉල්ලා ජූනි 27 වැනිදා යාපනයේදී වීදි බට දෙමළ ජනයා ‘හමුදාකරණය යනු යහපාලනදැයි’ විමසා සිටීම මගින් හකුළා පෙන්වන්නේ නොදැක්කා සේ මඟහරින මේ යථාර්ථයයි.☐

(මෙම ලිපිය 2016 ජූලි 10 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ විය. | ප්‍රධාන සේයාරුව: අතුරුදහන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිසමේ රැස්වීම් වාරයක දී දෙමළ මවකට සවන් දෙන විශ්‍රාමික විනිසුරු මැක්ස්වල් පරණගම )

රෝහිත භාෂණ අබේවර්ධන


 © JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.