JDS Sinhala

සමකය: හදිසි ආපදා සහ මානුෂීය මෙහෙයුම්

කොස්ගම සාලාවේ හමුදා අවි ගබඩාව පුපුරා යාම පිළිබඳ ‘විද්වත් මත’ එමට ය. පරණ ආණ්ඩුවේ දෙකෙන් පංගුවකට වැඩි පිරිසක් හවුල් කරගෙන හදාගත් අලූත් ආණ්ඩුවේ පාක්‍ෂිකයන්ට අනුව මේ පිපිරීම, කලින් ආණ්ඩුවේ අදූරදර්ශීභාවය යළිත් සනාථ කළ සාක්‍ෂියකි. ඒ ආණ්ඩුවේ ඉතිරි අඩ රංචු ගස්වා හදාගත් ඒකාබද්ධ විපක්ෂයේ ‘රාජපක්‍ෂිකයන්ට’ අනුව මේ පිපිරීම, රට දෙකඩ වන බවට සාක්‍ෂියකි. රූපවාහිනී මැදිරි තුළ ස්ථිර පදිංචිකරුවන් වී සිටින අනාවැකිකරුවන්ට අනුව සාලාවේ පිපිරීම මේ ‘දුර්මුඛ වසරේ’ රට පුරා ගිනි බය ඇතිවන බවට ‘නාරද සංහිතාවෙන්’ උපුටා කල් ඇතුව පළකළ සිය දිවැසි වාක්‍ය තහවුරු වීමකි. කොහොමටත්, ගිනි අවි සම්බන්ධ ප‍්‍රාක්‍ෂේප විද්‍යා ප‍්‍රවීණයන් ද, වෝහාරික විශේෂඥයන් ද, යුද චින්තකයන් හා භූ ගර්භ විද්‍යාඥයන් ද ග‍්‍රාම සේවක වසම් මට්ටමින්ම විසිරී බහුල වශයෙන් ජීවත්වන රටක යටපත්ව ඇති ඇත්ත ඉක්මණින් මතුවීම වළක්වනු නොහේ. මේවා බොරු යැයි කියන්නෝ ප‍්‍රවෘත්ති නාලිකා, වෙබ් අඩවි සහ මුහුණු පොත් ගිණුම් ඔස්සේ ප‍්‍රකාශිත ‘විදුහුරු වාර්තා’ පිරික්සා බැලිය යුත්තාහ.

නමුත් 09 වැනිදා වන තුරුත් විදුලිය හා ජලය අත්හිට වූ සාලාවේ නිවාස 700කට නොඅඩු ප‍්‍රමාණයක් සහමුලින්ම හෝ අර්ධ වශයෙන් විනාශ වී තිබේ. ගේ දොර විනාශ වූ 2000ක් පදිංචිකරුවෝ දැන් දොළොස් පොළක අවතැන්ව දිවි ගෙවති. බදාදා හයිලෙවල් මාර්ගය අවහිර කොට විරෝධතා දැක් වූ වින්දිත ජනයා තමන් පිළිබඳ සොයා නොබැලීම ගැන බලධාරීන්ට දොස් කීහ. ‘‘කෑම්ප් එක කිට්ටුව තියෙන රණවිරුගම පදිංචි අය ගැන විතරයි ආමි එක හොයල බලන්නේ. ඒ අය ආමි එකේ හිටිය අය නිසා වැඩි සැලකිල්ලක් දක්වනවා’’යි ඔවුන් කී බව 09 වැනිදා ‘දිවයින’ පත‍්‍රය වාර්තා කොට තිබිණ. නමුත් කඳවුරට ප‍්‍රත්‍යන්ත රණවිරුගමේ පදිංචි ආබාධිත හමුදා සෙබළුන් හා පවුල් සාමාජිකයන් 08 වැනිදා ‘දිවයින’ පත‍්‍රයට කියා තිබුණේ යුද්ධයෙන් බැට කෑ තමන් ඇඳිවත පමණක් ඇතුව බොල්ලතාව විහාර භූමියට අවතැන් වූ බවයි.

ඒ වන් අහඹු විනාශයකට මැදි වූ හුදී ජන දිවියේ දුක් සංතාප කෙටි වාර්තා මගින් හෙළිකරන ‘දිවයින’ පත‍්‍රය, අවි තොග විනාශ වීම රාජ්‍යයේ යුද හැකියාව බෙලහීන කරන කළ බවට අවශේෂ වාර්තා මගින් මැසිවිලි නගයි. ඒ වාර්තා සම්පිණ්ඩනය කළ විට කතා සාරාංශය මේ ආකාර ය: ‘මේ ආයුද ගෙනාවේ 2008-2009 මානුෂික මෙහෙයුමේ අවසන් මෙහෙයුම් වෙනුවෙනි. ඒ මෙහෙයුම්වල දී මල්ටි බැරල් රොකට් ප‍්‍රහාර එල්ල කළ බවට දෙමළ ඩයස්පෝරාව නගන්නේ සාවද්‍ය චෝදනා ය. සැතපුම් 20ක් දුරට යොමුකළ හැකි මිලි මීටර් 122 ග‍්‍රාද් රොකට් 20,000ක් සාලාව කඳවුරේ ගබඩා කොට තිබිණ. ශ‍්‍රී ලංකාවේ හමුදාවට දැඩි ප‍්‍රහාරක බලයක් ලැබුණේ මල්ටි බැරල් අවි නිසා යැයි හමුදා ප‍්‍රකාශකයෙක් කීවේය.’

ඒ සාරාංශයෙන් මතුකොට ගත හැකි විපරීත නිගමනය මෙයයි: ‘දෙමළ ජනයාට එරෙහිව භාවිතා කළේ යැයි සාවද්‍ය ලෙස චෝදනා කළ මල්ටි බැරල් රොකට් අවි අවසන් ‘මානුෂීය මෙහෙයුම්’ සඳහා ගෙන්වා ගබඩා කොට තිබුණේ කොස්ගම අවි ගබඩාවේ’ ය.

කිලෝ මීටර් පහක දුරින් ජීවත් වූ ජනයා ඉවත් කිරීමට පිපිරුම සිදු වූ සැණින් කටයුතු කිරීමේ අර්ථය වන්නේ අඩුම වශයෙන් වර්ග කිලෝ මීටර් 78ක ඇතුළත දිවි ගෙවූ පිරිස් මෙකී පිපිරුම් බලපෑමට ගොදුරු වීමේ අවදානමක් තිබූ බවයි. නමුත් 2009 මාර්තු වන විට වර්ග කිලෝ මීටර් 28ක භූමි භාගයකට කොටුකරන ලද 3,50,000කට නොඅඩු ජනයා වටලනු ලැබ දෙමසක් තිස්සේ දුර සිට එල්ල කරන ලද්දේ මේ සමූල ඝාතක අවිවලින් පංගුවකැයි කල්පනා කරන්නට කොස්ගම සිදුවීම පිළිබඳ වාර්තා කොහෙත්ම ඉඩක් නොසපයයි. එකක් ‘සැළසුම් නොකළ හදිසි අනතුරකි.’ අනෙක සැළසුම් කළ ‘මානුෂීය මෙහෙයුමකි.’

සාලාවේ සන්සුන් ජන දිවිය පැය කිහිපයක් ඇතුළත විසුණු කළ අහඹු ව්‍යසනය හදිසි මානුෂීය ආපදාවක් කරා දකුණේ ජනයා සංවේදී කොට ඇති බව ඇත්තකි. නමුත් අවශ්‍ය වෙතොත් අප පිටුපා සිටින සැළසුම් සහගත ‘අතීත ආපදාවන්’ ගැන සංවේදී වන්නටද කොස්ගමින් මානුෂීය කවුළුවක් විවර කර දී තිබේ. ඒ කවුළුවෙන් සදොස් සිත් ඇතිව එබී බලන්නට බිය නොවන්නන්ට 2008 සැප්තැම්බර් 07 වැනිදා ‘ඉරිදා දිවයින’ පත‍්‍රයට එවකට ආරක්‍ෂක ලේකම්වරයා කළ ප‍්‍රකාශය කියවා බැලීම ප‍්‍රමාණවත් ය. ඔහු මෙසේ කියයි:

‘‘කොටි සංවිධානය මේ වනවිට ගුවනින් හය වතාවක් පමණ බෝම්බ හෙළා තිබෙනවා. එම කාලය තුළ අපේ ගුවන් හමුදාව 6,000 වතාවක් පමණ බෝම්බ හෙළා තිබෙනවා. කොටි සංවිධානය ගුවනින් හෙළන බෝම්බයක බර කිලෝ ග‍්‍රෑම් 30ක් පමණ වෙනවා. එක් ගුවන් යානයකින් ඔවුන්ට රැගෙන ආ හැක්කේ බෝම්බ දෙකක් පමණ ප‍්‍රමාණයක් පමණයි. නමුත් අප ගුවනින් කිලෝ ග‍්‍රෑම් 250 සිට කිලෝ ග‍්‍රෑම් 1000 දක්වා බරකින් යුතු බෝම්බ හෙළනවා.’’

ඒ පැහැදිලි කිරීම අනුව හය මාසයක් ඇතුළත ‘ත‍්‍රස්තවාදීන්’ හෙලූ බෝම්බ ප‍්‍රමාණයේ අවම පිපිරුම් බලපෑම කිලෝ ග‍්‍රෑම් 360ක් වනවිට ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්’ හෙලූ බෝම්බ ප‍්‍රමාණයේ අවම පිපිරුම් බලපෑම කිලෝ ග‍්‍රෑම් පහළොස් ලක්ෂයකැයි 2008 ඔක්තෝබර් 12 වැනිදා ‘රාවය’ පත‍්‍රයේ ‘සමකය’ තීරුවට මම ලීවෙමි. වටලනු ලැබූ ලක්‍ෂ සංඛ්‍යාත සහෝදර ජන පිරිසක් මත කිලෝ පහළොස් ලක්ෂයකින් ඇති කළ හැකි විනාශකාරී පිපිරුම් බලපෑම් වටහා ගැනීමට අවශ්‍ය සංවේදී මිනිස් ප‍්‍රඥාවට ළඟා විය හැකි මගක් කොස්ගම අහඹු ව්‍යසනය විසින් සපයා දෙන්නට  ඕනෑ තරම් ඉඩ තිබිණ. නමුත් ඒ වෙනුවට, ජන ගණත්වය අනුව සළකා මෙවැනි අවි ගබඩා හැකි තාක් උතුරු පළාතේ ස්ථාපිත කළ යුතුව ඇතැයි යෝජනා කරන ‘රාජපාක්‍ෂික’ දේශපාලනය විසින් ප‍්‍රකට කරන්නේ ඊට පටහැනි මිනීමරු යථාර්ථයකි. 

ස්වකීය විශ්වාසයන්ට පිටුබල නොදෙන යථාර්ථයන් නොතකා සිටීමට දැනුවත්ව තීරණය කිරීම මනෝ විද්‍යාවේදී හැඳින්වෙන්නේ ‘සිතුමැති මුග්ධභාවය’ (wilful ignorance) ලෙස ය. අප වටලා සිටින ඒ මුග්ධභාවය දේශපාලන ඉල්ලමක් කොට සළකන්නවුන්ට, ඇඳිවත පිටින් අවතැන් වූ කොස්ගම දෙදහසකට වැඩි ජනයාගේ ඉරණම ද බලය සඳහා වූ නීච ගණන් බැලීමකට ඉඩ සපයන නිමිත්තකට වැඩිමනත් දෙයක් නොවේ.☐

(මෙම ලිපිය 2016 ජූනි 12 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ විය.)    

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.