JDS Sinhala

සමකය: ඒ සංහාරක දවස් - I

පේ හමුදාව යුද හමුදාවක් නොව, සාම සාධක හමුදාවකැ’යි උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා කියා තිබේ. එවන් හමුදාවක් ‘පලවා හරින්නට කල්පනා නොකොට ඔවුන්ගෙන් ප‍්‍රයෝජනයක් ගන්නා මෙන්’ දෙමළ ජනයාගෙන් ඔහු ඉල්ලා ඇත්තේ  පුනරීන් ශ‍්‍රී විග්නේශ්වරා විදුහලේ ගොඩනැගිල්ලක් විවෘත කරන්නට ආ ගමන් ය. ‘අතීතයේ සිදු වූ සියලූම දේ අමතක කර අනාගතයට පිය නගන්නට’ ඔහු යෝජනා කරන්නට ඇත්තේ ඊට ආධාරකයක් වශයෙනි.

ඒ අනුව උතුරු පළාතෙන් පමණක් අක්කර 70,000කට වැඩි භූමි භාගයක්  පුරා පැතිරුණු ගම් නියම් ගම් ‘සාම සාධනය පිණිස’ අල්ලාගෙන සිටින රජයේ හේවායන් 150,000කින් ‘ප‍්‍රයෝජන ගත හැකි ආකාරයක්’ ගැන කල්පනා කරන්නට දැන් අවතැන් දෙමළ ජනයාට මහඟු අවස්ථාවක් උදාකොට දී තිබේ. නමුත් ඒ, ඔවුන්ගේ තැවුල්පත් දිවි මගට ඉහළින් රුදුරු අසිපතක් මෙන් එල්ලී ගත් ලේ බත් ‘අතීතය’ අමතක කිරීමෙන් පසුව ය. 

යුක්තිය සහ නිදහස පිළිබඳ අනුරාගී මිනිස් අපේක්‍ෂාවන් වන්නියේ අඳුරු ලේ වගුරක ගිල්වා දැමූ ඒ අතීතය වනාහී අපේ සාඩම්බර වංශ කතා සාහිත්‍යයේ කිසි දා නොලියැවෙන පරපීඩක වර්ගවාදී කෘරත්වයේ පරිච්ඡේදයකි. විජයෝත් දද නංවා ගාම්භීර උත්තමාචාර වෙඩි මුර මැද ‘රණවිරු මාසයක්’ නම්කොට මෙවරද සැමරෙනු ඇත්තේ ඒ පාපී අභිමානයයි.

නමුත් සත් වසරකට පෙර පීඩිත මිනිස් කැළතකගේ ජීවන දුක් බඳුන අමු මිනිස් ලෙයින් පුරවාලූයේ මේ වැනි මැයි මාසයක දී  ය. දකුණේ නින්දිත මාධ්‍ය මෙහෙයුම් මගින් වසන් කළ ඒ ලේ වැකි ඉතිහාස පදාසයන් සත් වසකින් පසුත් සංහිඳියාව පිළිබඳ වංචනික වාගාලාප කඳු යට වැළලී පවතී. මේ ලියන්නේ එයින් අල්ප මාත‍්‍රයකි.

ජාත්‍යන්තර රතු කුරුසය වන්නියේ මිනිස් දඩබිමට සිය අවසාන මැදිහත්වීම කරන ලද්දේ 2009 මැයි 09 වැනි සෙනසුරාදා ය. ළසෝ ගිනි ඇවිළගත් වන්නියට ඒ සෙනසුරාදාවේ නැග ආ වෙසක් සඳ යට ගොඩින් ද, ගුවනින්ද වටකොට දෙදිනක් තිස්සේ දිවා රෑ එල්ල කළ ෂෙල් වෙඩි ප‍්‍රහාරවලින්, කවර හෝ මුවාවක් නොමැතිව වැලිතලා මැද සා පිපාසිතව වැදහුන් දහසකට වැඩි දෙනා මරුමුවට පත් වන්නට ඇතැයි මැයි මස 11 වැනිදා ‘ගාඩියන්’ පුවත්පත වාර්තා කර තිබිණ. ඒජන්සි පුවත් සේවා විසින් එක්සත් ජාතීන්ගේ කොළඹ ප‍්‍රකාශක උපුටා දක්වමින් වාර්තා කර සිටියේ එයින් 100කට වැඩි පිරිසක් දරුවන් බව ය. මියගියවුන්ගේ මෘත දේහ 431ක් 11වැනි සඳුදා වන විට මුල්ලිවයික්කාල් තාවකාලික රෝහලට ගෙන එන ලදැයි එම වාර්තා අනාවරණය කොට තිබිණ.

12 වැනිදා හා 13 වැනිදා ෂෙල් ප‍්‍රහාර මගින් ඒ රෝහල ද බිම්බත් කෙරිණ. ඒ වනාහි ඉන් සතියකට පෙර, මැයි මස දෙවැනිදා, 68 දෙනෙකුගේ දිවි පැහැර ගනිමින් අවසාන තාවකාලික රෝහලට එල්ල කරන ලද හමුදා ෂෙල් ප‍්‍රහාරයන්ට අමතර වශයෙනි.

මළවුන් පිළිබඳ ගණන් හිලවු හෙළිකරමින් අවසන් මිනිස් ඝාතක බිමේ දිවි පරදුවට තබා රැඳී සිටි වරදට යුද්ධය නිමාවේදී අත් අඩංගුවට ගනු ලැබ වෛද්‍යවරුන්, මාස එකහමාරකින් පසු 2009 ජූලි 08 වැනිදා ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් සඳහා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හතරවැනි තට්ටුවෙන් පිටතට කැඳවාගෙන එනු ලැබුවේ හමුදා බුද්ධි අංශය විසිනි. තමන්ගෙන් අසන්නට නියමිත ප‍්‍රශ්න සහ ලබාදිය යුතු පිළිතුරු සම්බන්ධයෙන් පෙරහුරුවකට මුලින් සහභාගී වන්නට සිදු වූ බව ඔවුහු පසුව හෙළිකළහ. යුදබිමේ සිට තමන් හෙළි කළ සංඛ්‍යා ලේඛන ඉල්ලා අස්කර ගනිමින් රජයේ හමුදාවන් නිදොස් කොට ප‍්‍රකාශයන් නිකුත් කිරීමෙන් අමන්දානන්දයට පත් හමුදා නිලධාරීන් තමන් කේඑෆ්සී අවන්හලකට කැටුව ගොස් කුකුළු මස් භෝජනයකින් සංග‍්‍රහ කළ බව පසුකාලීනව බීබීසී රූපවාහිනියට හෙළි කර සිටියේ මුලතිවු ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා වශයෙන් එවක දී ක‍්‍රියා කළ වෛද්‍ය තුරෛරාජා වර්ධරාජා විසිනි.

ගොරතර මරණයේ මුවවිටට ගොස් පෙරළා හැරී ආ ඒ සැහැසි සංහාරක දවස් පිළිබඳ සිය මතකයන් ආවර්ජනය කරමින් වසරකට පෙර ජෝහැන්නස්බර්ග් නගරයේ සන්සුන් සන්ධ්‍යාවක් කෙළවර වෛද්‍ය වර්ධරාජා හඬා වැටෙනු මම විපිළිසරව බලා සිටියෙමි. ඒ අපකීර්තිමත් සාපරාධී ඉතිහාස පරිච්ඡේදය වික‍්‍රමාන්විත පදක්කමක් සේ සෑම මැයි මාසයකම සාඩම්බරෙන් පළඳින්නට හුරු කළ ජන සමාජයක සාමූහික සදාචාර වැහැරීමේ අධිවේගී මග ඒ මිනිස් දඩබිම් ඔස්සේ  වැටී ඇතැයි කල්පනා කරන්නෝ විරල වෙති.

අවසන් යුද්ධය විසින් නිර්මාණය කරමින් තිබෙන ව්‍යසනයේ පරිපූර්ණ චිත‍්‍රය කවරේදැයි සවිස්තරාත්මකව දැනගත හැකි මගක් නොමැතිව වුව ද, 2009 පෙබරවාරි 22 වැනිදා ‘රාවය’ පත‍්‍රයට ලියූ ‘සමකය’ තීරුවෙහි මම මෙසේ ලීවෙමි:

‘‘ගතවන පැයෙන් පැය වන්නියේ නිර්මාණය කෙරෙමින් ඇති මිනිස් නරකාදිය ලංකා ඉතිහාසයේ යළිත් කිසි කලෙක නොමැකෙන පාපිෂ්ඨ සාපරාධී අවමානයේ කැළල බවට පත්වනු නියත ය. දිවි ගළවාගන්නා දෙමළ ජනයා අලූත් ලංකාවක් පිළිබඳ සිහින වැසි දියෙන් පෙඟී බත්වනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කරති. නමුත් ගිනිජල් බෝම්බ වර්ෂාවන්ගෙන් ගැළවෙනු වස් පොළොව කැණ හාරාගත් කුරුබිලි තුළ විසි හතර පැයම ගෙවමින්, ඉඩක් ලද ඇසිල්ලේ තැතිගත් හදින් විසිරුණු මිනී කඳු උඩින් පැන හිස් ලූ ලූ අත දිව යන අසරණ මිනිස් සමූහයකගේ සදා දුක්ඛිත මතක රූපය එළඹෙන දශකයෙන් දශකය අවතාරයක් මෙන් දකුණේ සුබ සිහින පසුපසින් හඹා එනු නිසැක ය.’’

ඒ වැකි සන්සුන් සිතින් කියවා - විමසා බලන්නට ඇවැසි සාමූහික උපේක්‍ෂාව ඒ සංහාරක දවස් පසුකොට ගෙවා ආ සත් වසරකට පසුව හෝ උදා වී ඇතිදැයි මම නොදනිමි.

එළඹෙන දෙසතියේ නැඟ එන වෙසක් සඳ යට බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් ඔකඳ දැහැමි සේනාවෝ, උතුරේ වාඩිලා ගත් ගම්බිම්වල වෙසක් සන්දර්ශන කලාප ඉදිකොට සෙත් පිරිත් සජ්ජායනා මැද දෙමළ ජනයා අතර දෙමළ බසින් බුදුදහම පතුරුවාලීමට උත්සුක වනු නියත ය. නමුත් මේ වැනිම වෙසක් සමයක දහස් සංඛ්‍යාත ජනයා අළු ධූලි කොට, මළවුන් නමින් ඉදිකළ මතක ඵලක 20,400ක් සමග සුසාන භූමි පවා බිම්බත් කළ සාපරාධී අතීත දවස් පිළිබඳ මැඩලිය නොහෙන මතකය ශෝකී දුක්බර අවතාරයක් මෙන් ප‍්‍රත්‍යන්ත දෙමළ ගම් නියම් ගම්වල සත් වසරකින් පසුත් සැරිසරමින් තිබේ. ඒ මතකය, ජාතික සංහිඳියාව සඳහා උතුරේ ආණ්ඩුකාරවරයා විසින් යෝජිත ‘අනාගත රුවන් මඟ’ අවුරා නැගීගත් ප‍්‍රාකාරයක් වීම වළකන්නට ‘හමුදා ආමිස පූජාවන්’ සෑහෙතැයි විචාර බුද්ධියක් ඇති කවරහු නම් විශ්වාස කරත්ද?

(මෙම ලිපිය 2016 මැයි 15 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ විය.)

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS



left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.