JDS Sinhala

සමකය: ජාතික ආරක්‍ෂාවට අවතැන් වනු!

රක්‍ෂක හමුදා සාමාජිකයන් සහ ‘දෙමළ ස්ත‍්‍රීන් විවාහ කරගත්’ හමුදා සෙබළුන් සඳහා මූලික වශයෙන් කැප වූ වවුනියාවේ කොක්එළියේ ‘සන්හිඳියාවේ සත්විරුගම’ අපේ‍්‍රල් තුන් වැනිදා ජනාධිපති සිරිසේන අතින් නිවෙස් හිමියන්ට බෙදා දෙන බැව් ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයා බදාදා (23) නිවේදනය කර සිටියේය. යුද හමුදාවේ ඉංග‍්‍රීසි වෙබ් අවඩියට අනුව යෝජිත ගම්මානය ‘තුවාල වූ දෙමළ හදවත් සුවපත් කිරීම’ අරමුණ කරගත් ව්‍යාපෘතියකි. නමුත් ඒ හමුදාවේම සිංහල වෙබ් අඩවියේ පළව ඇති සමාන්තර ප‍්‍රවෘත්තියට අනුව ‘දේශය වෙනුවෙන් දිවිපිදූ හා රණක්‍ෂිතයට පත් වූ විරුවන්ට කෘතගුණ සැළකීම’ අරමුණු කරගත් නිවාස ව්‍යාපෘතියෙන් යුද හමුදා රෙජිමේන්තු හා බලකායන් 21කට අයත් සාමාජිකයන්ට ප‍්‍රතිලාභ හිමි වීමට නියමිත ය. මේ කියන්නේ වෙන ව්‍යාපෘතියක් ගැන යැයි පහදා දෙන සටහනක් එහි නොවේ.

ඒ අනුව බලතොත්, ඉංග‍්‍රීසි පුවත පිටට ය. සිංහල පුවත රටට ය. ‘දෙමළ තුවාල සනීප කිරීම’ සඳහා ‘රණවිරුවන්ට ගේ දොර පිරිනමන’ මේ යෝධ පියවරින් ‘සිංහල - දෙමළ’ සංහිඳියාව දැන් තවත් පිම්මකින් පෙරට ය!

රාජ්‍ය හමුදා වාඩි ලා ගත් දෙමළ ජනයාගේ ඉඩම් පිළිබඳ කතා කරමින් ආරක්‍ෂක ලේකම්වරයා ඒ බදාදාවේම මෙසේ ද කියා තිබිණ: ‘‘....අපිට ආපසු ලබා දෙන්න නොහැකි ස්ථාන තිබෙනවා. ඒවා ආරක්ෂාව පැත්තෙන් සළකන විට එක්තරා ආකාරයකට මර්මස්ථාන. එවැනි ස්ථාන අප සතුව තබා ගෙන ඒ සඳහා වන්දි ලබා දෙනවා.’’

ඉකුත් නොවැම්බරය වන විට සම්පාදිත දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල සංඛ්‍යා ලේඛන අනුව යාපනයේ පමණක් ජාතික ආරක්‍ෂාවට හිලව් කොට හමුදා වාඩි ලා සිටි ඉඩම් ප‍්‍රමාණය අක්කර 7,393කි. ජනාධිපතිවරයා විසින් මාර්තු 12 වැනිදා තෙල්ලිප්පෙලෙ හා කෝපායිහි පදිංචිකරුවන් 50 දෙනෙකුට නිදහස් කරදෙන ලද ඉඩම් අක්කර 701 අත්හැර ගණන් බලතොත් තවත් අක්කර 6,692ක මහජන ඉඩම් හා දේපළ තව දුරටත් රාජ්‍ය හමුදාවෝ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් භුක්ති විඳිති. ඒ අනුව, යුද කෞතුකාගාර හා බෞද්ධ සිද්ධස්ථාන එකවර වැඳ පුදා උණුවතුර නාගෙන එන්නට යාපනයේ යන එන දකුණේ හුදී ජන පහන් සංවේගය අවුළුවාලනු පිණිස සංසන්දනාත්මකව කිවතොත්, මහනුවර මහ නගර සභා බල ප‍්‍රදේශයට වඩා විශාල භූමි භාගයක පැතිරුණු වතු පිටි ගේ දොර සියල්ල එහි පාරම්පරිකව ජීවත් වූ දස දහසකට වැඩි ජනයාට තවදුරටත් තහනම්ව තිබේ. ජාතික ආරක්‍ෂාවේ ‘මර්මස්ථාන’ දෙමළ ජනයාගේ ගේ දොර උඩින් ලකුණු කොට සංහිඳියාව පිණිස දෙමළ ස්ත‍්‍රීන් විවාහ කොටගත් හමුදා සෙබළුන්ට වවුනියාවෙන් ගෙවල් බෙදා දීම දැන් ‘යහ පාලනය’ සේ සැළකේ.

නමුත් ජාතික ආරක්‍ෂාව සහ ජාතික සංහිඳියාව ගැන වැදගත් යථාර්ථයක් මේ පුවත් මගින් මතු කරයි. දෙමළ ජනයාට විසි පස් වසරකට පෙර අහිමි කළ දොර වතු පිටි පෙරළා පවරා දීම ‘ජාතික සංහිඳියාවට’ අත්‍යවශ්‍ය සේ සැළකේ. නමුත් ඒ ගම් බිම් අල්ලා එහි වාඩිලා ගත් සන්නද්ධ සේනා ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම ‘ජාතික අරක්‍ෂාවට’ වැදගත් සේ සැළකේ. වවුනියාවේ කොක්එළියේ ඉදිකළ නව නිවාසවල හමුදා පවුල් පදිංචි කිරීම ‘සංහිඳියාව’ යැයි සළකන ආණ්ඩුව, යාපනයේ උතුරු වලිකාමම් මුල් පදිංචිකරුවන්ගේ නිවෙස් හා දේපළවල හමුදා වාඩි ලා සිටීම ‘ජාතික ආරක්‍ෂාව’ සේ සළකයි. රාජපක්ෂ බලයේ සිටිමින් ‘සිංහල අධිපතිවාදයේ’ බැනර් ඔසවා ක‍්‍රියාවට නංවන ලද පිළිවෙත් දැන් දියත්වන්නේ ‘රාජපක්ෂ බලයට ඒම වැළැක්වීමේ’ බැනර් යටතේ ය.

සිව් වසරකට කලින් මහනුවරින්, බදුල්ලෙන්, නුවරඑළියෙන් හා දකුණු පළාතෙන් රැගෙන විත් වවුනියා දිස්ත‍්‍රික්කයේ යුද හමුදා මැදිහත්වීමෙන් නාමල්ගම, සැළලිහිණිගම, නන්දිමිත‍්‍රගම, වෙහෙරතැන්න හා බෝගස්වැව නමින් ඇති කළ ගම්මානවල පදිංචි කළ සිංහල පවුල් 5000 ජීවන දුෂ්කරතා ගැන ආණ්ඩුවේ ‘දිනමිණ’ පත‍්‍රය මාසයකට කලින් ලියා තිබිණ. බැහැරින් ගෙනෙන සිංහල පවුල් රාජ්‍ය අනුග‍්‍රහයෙන් උතුර හා නැගෙනහිර පදිංචි කිරීමේ විවෘත අරමුණ ජන විකාසනය වෙනස් කිරීම බව ඉතිහාසය දන්නෝ දනිති. කලින් කලට පත්වන ආණ්ඩු එසේ කරන්නේ සිංහල ජනාවාසකරණය ‘ජාතික ආරක්‍ෂාවට’ වැදගත් වෙතැයි කල්පනා කරන හෙයිනි. මේ අනුව, උතුරු-නැගෙනහිර දෙමළ ජනයා පාරම්පරිකව ජීවත් වූ ස්වකීය මුල් ගම්බිම්වල නැවත පදිංචි කිරීම ‘ජාතික ආරක්‍ෂාවට’ තර්ජනයකැයි සළකන රාජ්‍ය පිළිවෙත් සම්පාදකයෝ, සිංහල ජනයා හා හමුදා සෙබළුන් මුල් ගම්බිම්වලින් කැටුව විත් වවුනියාවේ හෝ මඩකළපුවේ පදිංචි කිරීම ජාතික ආරක්‍ෂාවට පිටුබල සපයතැයි අදහති.

එක්කෝ ‘ජාතික සංහිඳියාව’ මුල්කොට සළකමින් පෙරළා ගම්බිම් කරා යාමේ අයිතිය දෙමළ ජනයාට දිය යුතු ය. නැතහොත්, ‘ජාතික ආරක්‍ෂාව’ මුල් කොට සළකමින් හමුදා වාඩි ලා ගැනීම් ශක්තිමත් කොට සිංහල ජනවාසකරණය තීව‍්‍ර කළ යුතු ය. ජාතික ආරක්‍ෂාව සහ සංහිඳියාව එකිනෙක හා යුද වදින පිළිමල් පිළිවෙත් බවට පෙරළී ඇත්තේ ඒ අනුව ය. මේ සූත‍්‍රය අනුව බලතොත් ‘සංහිඳියාවට’ ගියොත් ආරක්‍ෂාව අහිමි වේ. ‘ආරක්‍ෂාව’ මුල් කොට සැළකූ විට සංහිඳියාව අහිමි වේ.

විසි පස් අවුරුද්දකට වැඩි කලක් තිස්සේ තැන තැන අවතැන්ව ලගිමින් නිරාදුක් විඳින ජන කොටසකට උරුම ගම්බිම් ගේ දොර කරා පෙරළා යාමේ අයිතිය හිමිවීම මූලික මිනිස් අයිතිවාසිකම් හා යුක්ති ධර්මය පිළිබඳ ගැටළුවකි. යුක්තිය ඉටු කිරීම අභිලාෂ කොට නොගත් සංහිඳියා සැළසුම් වනාහී මානව හිමිකම් සමුළුව මුළුදෙන මාර්තු මාසය ළං කොට දෙමළ ජනයා කෙරෙහි මෙත්තාව පෑමේ ‘ෂෝ කේස්’ පිළිවෙතකට වැඩිමනත් දෙයක් නොවේ.☐

(මෙම ලිපිය 2016 මාර්තු 27 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ වූවකි.)

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.