JDS Sinhala

සමකය: ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කළු කුහරය

ලංකාව ‘මූල්‍ය අපරාධකරුවන්ගෙන්’ මුදාගෙන දැන් වසරකි. ජන වර්ග සංහාරයන් ද, පැහැරගෙන යාම් සහ අතුරුදහන් කිරීම් ද, මනුෂ්‍ය ඝාතනයන් ද, මාධ්‍ය මර්දනයන් ද ඇතුළු මානව වර්ගයාට එරෙහි අපරාධයන් ගහණ ලේ වැකි දශකයක් කෙළවර ‘පොලිස් මූල්‍ය අපරාධ ඒකකයක්’ පිහිටුවා ඇත්තේ ඒ නිසා ය.

ඒ අනුව ජනවාරියේදී වසරක් පිරුණු ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී විජයග‍්‍රහණයෙන්’ පසු දිනෙන් දින දෙපළු වන අපේ විපරීත යථාර්ථය දැන් මෙසේ ය: පැහැරගෙන යාමෙන් හෝ රාජ්‍ය හමුදාවන්ට භාරවීමෙන් පසු අතුරුදහන් වූ සිය දරුවන්ගේ ඉරණම හෙළිකරන්නැයි ඉල්ලා වීදි බට දෙමළ මව්වරු මේ අවුරුද්දේත් ‘නිදහස් දිනය’ දා කිලිනොච්චියේදීත්, මුලතිවු හා මන්නාරමේදීත්, වවුනියාවේ හා ත‍්‍රිකුණාමලයේදීත්, මඩකළපුවේ හා අම්පාරේදීත් විරෝධතා දැක්වූහ. ඉන් දෙසතියක් ඇවෑමෙන් අත් අඩංගුවේ පසුවන සිය පුත‍්‍රයා වෙනුවෙන් ප‍්‍රතිශෝධන ඇප අයැදුම්පතක් ඉදිරිපත් කිරීම සඳහා හිටපු සේනාධිනායක මහින්ද රාජපක්ෂ නීතිඥ වෙසින් කොළඹ මහාධිකරණයේ පෙනී සිටියේය. ඉංග‍්‍රීසීන්ගෙන් ලද ‘නිදහස’ සමරනු වස් ‘පුනරුත්ථාපනය කළ’ හිටපු දෙමළ සටන්කරුවන් ලවා පූනකරීහි දී සිංහලෙන් ජාතික ගීය ගායනා කර වූ බලධාරීහු, දෙමළ ළැදි සංවේදී සිංහල ජනයාගේ නිරාමිස සන්තුෂ්ටිය පිණිස ඒ දවසේම කොළඹ දී දෙමළ බසින් ජාතික ගීය ගායනා කරවීමට පියවර ගත්හ. මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ අත් අඩංගුවට ගෙන පරීක්‍ෂණ ආරම්භ කොට ගතවූයේ සති තුනකි. විධාන වගකීම අනුව යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දැන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරයකින් පිදුම් ලැබ තිබේ.

පසුගිය අවුරුද්දේ ජනවාරියේදී බොහෝ දෙනා කල්පනා කළේ ‘රාජපක්ෂවාදය’ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පරාභවය අතර ඇති සම්බන්ධය ගැන උතුරේ සහ දකුණේ පොදු ඒකමතිකත්වයක් ඇති වී ඇති බවයි. රාජපක්ෂ පරාජය කිරීමේ උවමනාව, සිංහල සහ දෙමළ අභිලාෂයන් තිරසාර ලෙස යා කරන පොදු සමකයක් වෙතැයි ඇතැමුන් කල්පනා කරන්නට ඇත්තේ ඒ නිසා ය. නමුත් අවුරුද්දක් ඇවෑමෙන් ඒ ඒකමතිකත්වය සිංහල සහ දෙමළ වශයෙන් දෙපළු වී තිබේ.

සිංහල ජනයාට අනුව රාජපක්ෂ වනාහී ඥාති සංග‍්‍රහයෙහි ගිජු දූෂිතයෙකි. ඔහුගේ පාලන සමයේ දුර්දාන්තභාවයේ සාරය නියෝජනය වන්නේ ඔහු සහ පවුලේ උදවිය විසින් සිදුකළ වංචා දූෂණවලින් යැයි ඔවුහු කල්පනා කරති. නමුත් දෙමළ ජනයාට රාජපක්ෂ වනාහී වර්ග සංහාරයෙහි රිසි ඝාතකයෙකි. ඔවුන්ගේ සාමූහික ඉරණමේ දෘෂ්ටිකෝණයෙන් බැලූ විට රාජපක්ෂ පාලනයේ දුර්දාන්තභාවයේ සාරය සළකුණු වන්නේ 700,00කට වැඩි වූ දෙමළ ජන සංහාරයෙනි. 

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන දෙමළ - සිංහල අභිලාෂයන් දෙපළු කොට පෙන්වන මේ ධ‍්‍රැවීකරණයේ හරය මෙයයි: දකුණේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී උද්වේගයේ’ මායිම් රේඛාවක් තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතිකාවේ ‘ඇතුළත’ සහ ‘පිටත’ සළකුණු වන්නේ ඒ රේඛාවෙනි. ඒ අනුව, රාජපක්ෂවරුන් විසින් දේශපාලන බලය අවභාවිතා කොට මහජන ධනය කොල්ල කෑමේ ගැටළුව අයත්වන්නේ ඒ කතිකාවේ ‘ඇතුළතට’ ය. නමුත් ඒ රාජපක්ෂවරුන් විසින්ම රාජ්‍ය හමුදා මෙහෙයවා දස දහස් සංඛ්‍යාත දෙමළ ජනයා සංහාරය කිරීමේ ගැටළුව ඇත්තේ ඒ කතිකාවට ‘පිටතින්’ය. අභිරහස් රිය අනතුරකින් මියගිය  තාජුඩීන්ගේ මරණය මේ කතිකාවේ ‘ඇතුළත’ ගැටළුවකි. දෙපැයක් අත් අඩංගුවේ රඳවා හිඳ වෙඩි තබා ඝාතනය කළ දොළොස් හැවිරිදි බාලචන්ද්‍රන්ගේ මරණය ඒ කතිකාවෙන් ‘පිටත’ ඇති එකකි. රජයේ නාවුක හමුදාව සහ විශේෂ කාර්ය බලකාය පානම හා ශාස්ත‍්‍රවෙල අක්කර 1200ක ඉඩම් තුන් අවුරුද්දකට කලින් කොල්ල කෑම මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ‘ඇතුළත’ ගැටළුවකි. නමුත් එම රාජ්‍ය හමුදාවන් විසින්ම යාපනයේ ඉඩම් අක්කර 7300කට වැඩි ප‍්‍රමාණයක් අත්පත් කොටගෙන විසි පස් වසරක් වාඩි ලා සිටීම ඉන් ‘පිටත’ ගැටළුවකි. රතුපස්වල වෙඩි තැබීම මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ‘ඇතුළත’ ගැටළුවක් වන මුත් මුල්ලිවයික්කාල් මිනිස් දඩබිම ඉන් ‘පිටත’ ඇති ගැටළුවකි. රාජපක්ෂ දූෂකයෙක් බව කියන බොහෝ දෙනා රාජපක්ෂ ඝාතකයෙක් බව නොකියති. රාජපක්ෂ සමයේ දූෂණ පිළිබඳ චෝදනාවන්ට මුහුණදීම රාජපක්ෂටම පවරා, ඒ සමයේ මිනිස් ඝාතන පිළිබඳ චෝදනාවන්ට ‘රටක් හැටියට මුහුණ දීමේ’ අවශ්‍යතාව  අවධාරණය කෙරෙන්නේ ඒ අනුව ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ දකුණේ කතිකාව සිංහල ‘ඇතුළත’ක් සහ දෙමළ ‘පිටතක්’ සහිත එකක් බවට පෙරළී ඇත්තේ ඒ නිසා ය. 

රාජපක්ෂ විරෝධය ගැන දකුණේ අවසර ලත් මත පරාසයක් තිබේ. ඒ පරාසයට අයත් පළමුව කී ‘සිංහල’ ගැටළු ගැන අනුරාගී සාකච්ඡාවන් වඩ වඩාත් දිරිමත් කෙරෙන්නේ දෙවනුව කී ‘දෙමළ’ ගැටළු ඒ සාකච්ඡාවන්ට බැහැරින් තබා ගැනීමේ සම්මුතිය යටතේ ය. පළමුව රාජපක්ෂ පාලනයේ දුර්දාන්තභාවය ගැන විවාද කළ හැකි තේමාවන්ගේ පරාසය පටු කෙරේ. අනතුරුව ඒ අවසර ලත් තේමා ගැන විවාද කළ හැකි අවකාශය වැඩි කෙරේ. ඒ අනුව රාජපක්ෂවරුන්ගේ වංචා දූෂණ ගැන ද, වසීම් තාජුඩීන් ගැන ද, පානම ඉඩම් කොල්ලය ගැන ද, රතුපස්වල වෙඩි තැබීම් ගැන ද උද්වේගී සාකච්ඡාවන්ට ඒ විවාදයන් තුළ ඉඩ සැපයේ. නමුත්, රාජපක්ෂ විසින් මෙහෙයවන ලද සංහාරක රාජ්‍ය යන්ත‍්‍රයේ සාහසික බලය හමුවේ සිය සාමූහික ජාතික ජීවිතය විසුණු කරනු ලැබූ දෙමළ ජනයාගේ  ගැටළු ඒ සංවාද අවකාශයෙන් සපුරා බැහැර කොට තැබේ. දකුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී උත්කර්ෂය හරි මැදින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කළු කුහරයක් නිර්මාණය කරන්නේ යුක්තිය පිළිබඳ දෙමළ ජන අභිලාෂයන් බැහැර කොට නොතකා හරින මේ පිළිවෙත විසිනි.☐

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.