JDS Sinhala

සමකය: සිංහල අභිමානය දෙමළෙන් ගැයීම


හැට අට වැනි නිදහස් උළෙලේදී ජාතික ගීය දෙමළෙන් ගැයීමට ඉඩ දිය යුතු ද, නැති ද යන්න ගැන ඉකුත් දෙසතියේ යළිත් දකුණු ලංකාවේ කෙස් පැලෙන විවාදයකි. මිනිත්තු දෙකයි, තත්පර තිස් එකක් දෙමළ බසට ඇහුම් කන් දීමෙන් සිංහල ජාතිය අතු ගෑවී යෑමේ අවදානම වටහාගත් සිංහල දේශප්‍රේමීහු අවසන් තත්පරය දක්වාම වික‍්‍රමාන්විතව සටන් කළහ. නමුත් දෙමළ ජනයා අතර සමගිය රකිනු වස් සිංහලෙන් ජාතික ගීය ගැයීමේ වැදගත්කම පහදන රසවත්ම තර්කය ඉදිරිපත් කොට තිබුණේ ‘හෙළ බොදු සවිය’ සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ විසිනි. ඒ තර්කය මෙසේ ය:

‘‘ද්‍රවිඩ භාෂාවෙන් ජාතික ගීය ගැයීමෙන් සහෝදර දෙමළ ජනතාවට සිදුවන අමුතු ගණයේ වාසියක්ද නොමැත. අනෙක් කරුණ වන්නේ දෙමළ භාෂාව ප‍්‍රාදේශීය වශයෙන් දක්වන විවිධත්වයයි. එය යාපනය, වතු දෙමළ, නාගරික දෙමළ ආදී වශයෙන් අටාකාර වේ. එබැවින් තීරක දෙමළ බස කුමක්දැයි තීරණයකට පැමිණිය යුතු ය.’’

ඇත්තකි! වැරදීමකින් හෝ යාපන දෙමළෙන් ජාතික ගීය ගැයීමට තීරණය කළේ නම් වතුකරයේ දෙමළ ජනයාට සිදුවිය හැකි අති මහත් අසාධාරණය කොතරම් වනු ඇතිදැයි කිසිවෙකුට කල්පනා වී නොතිබුණු හැටි!! ජාතික ගීය සිංහලෙන් ගැයිය යුත්තේ ඒ මහත් අයුක්තිය තිර ලෙසම පරාජය කරනු පිණිස ය.

කෙසේ වුවද ජාතික ගීය කවර බසකින් ගායනා කළ යුතුදැයි ඉකුත් අවුරුද්දේ සිංහල සමාජය තුළ ඇවිළ ගිය උද්වේගී සාකච්ඡාවන් දෙමළ බසින් ජාතික ගීය ගයා නිමා වූ රාජ්‍ය නිදහස් උත්සවය විසින් දැන් කොළඹ දී කූටප‍්‍රාප්තියට පත්කර තිබේ. නමුත් අවප‍්‍රාප්තිය සළකුණු කරනු ලැබ ඇත්තේ වවුනියාවේදී ය. දෙමළ ජන අයිතීන් සුරක්‍ෂා කිරීමෙහි ලා ඒ සා වැදගත් වූ ‘ජයග‍්‍රහණයක්’ නොතකා, පෙබරවාරි 04 වැනිදාවේම වවුනියා නගර මධ්‍යයට එක් වූ කළු කොඩි රැගත් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් හා දිස්ත‍්‍රික් පුරවැසි කමිටු සාමාජිකයන් ‘අතුරුදහන්වූවන්ගේ ඉරණම නොදැන කවර නිදහසක්’දැයි විමසමින් නිහඬ විරෝධතාවක නිරත වූ බව මාධ්‍ය වාර්තා පළ වී තිබුණි. මඟහරින ලද වැදගත් සාකච්ඡාවකට මං පාදන්නේ මේ පරස්පර යථාර්ථයන් විසිනි.

දෙමළ ජන අයිතීන් කෙරෙහි සංවේදී සිත් ඇතැයි සැළකෙන්නෝ ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම යුක්ති යුක්ත යැයි සළකති. නමුත් ‘වන්නි විජයග‍්‍රහණයේ’ උරුමය රකිනු වස් දෙමළුන් ලවා සිංහලෙන් සිංදු කියවා ගැනීම වැදගත් වෙතැයි අදහන පිළිමල්හු ඒ පිළිවෙතට එරෙහි වෙති. බැලූ බැල්මට මෙම ස්ථාවරයන් පසමිතුරු ධ‍්‍රැවයන් සේ පෙනේ. එකක් වර්ගවාදී අධිපතිවාදයට එරෙහි වෙයි. අනෙක ඊට සපුරා රුකුල් දෙයි. නමුත් මේ විවාද නිමිත්තේ පරහක් තිබේ. ඊට හේතුව මේ අනුරාගී තර්කයන් පෙරළා ඒ හා සමාන සාමූහික උද්වේගයක් දෙමළ ජනයා තුළ ජනිත නොකිරීමයි. එනම් සිංහල දේශපාලනයේ කේන්ද්‍රය තුළම ඇවිළ යන මේ සාකච්ඡාව දෙමළ දේශපාලනයේ හෝ සිවිල් ක‍්‍රියාකාරකම්වල පරිවාර කරුණක් වශයෙන්වත් මතු වී නොතිබීමයි. ඉකුත් සත් වසර තුළ දෙමළ ජාතික සන්ධානයේ හෝ දෙමළ ජාතික ජනතා පෙරමුණේ හෝ දෙමළ සිවිල් සමාජ  සංසදයේ හෝ දෙමළ මහජන සභාවේ හෝ කිසිදු ප‍්‍රකාශනයක දෙමළෙන් ජාතික ගීය ගායනා කිරීමේ අයිතිය අඩුම ගණනේ ද්වීතියික වැදගත්කමක් ඇති කාරණාවක් ලෙස හෝ අවධාරණය කෙරී නැත්තේ ඒ නිසා ය. ඒ අනුව බලතොත්, වැදගත් ප‍්‍රශ්නය මෙයයි: දෙමළ ජනයාගේ කේන්ද්‍රීය දේශපාලන අභිලාෂයක් හෝ දෛනික අරගලයේ සටන් පාඨයක් වශයෙන් හෝ නොසැළකෙන ඉල්ලීමක් දෙමළ ජන අයිතීන් පිළිබඳ සිංහල බසින් සිදුකෙරෙන සාකච්ඡාවන්ගේ හරි මැදින් මතුව ඇත්තේ ඇයි?

දර්ශනවාදයේදී ව්‍යාජ උභතෝකෝටිකයන් (False Dilemmas) සේ හැඳින්වෙන්නේ අන්තයන් අතර සීමිත විකල්පයන් දෙකක් සළකුණු කිරීම මගින් ඉන් බාහිරව ඇති විකල්පයන්ගේ පැවැත්ම ප‍්‍රතික්‍ෂේප කිරීමයි. දෙමළ ජනයා එක්කෝ ජාතික ගීය සිංහලෙන් ගායනා කළ යුතු ය. නැතහොත් දෙමළෙන් ගායනා කළ යුතු ය. නිල ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට ඉඩ ලැබීම හෝ නොලැබීම දෙමළ අයිතීන් සම්බන්ධයෙන් තීරක වැදගත්කමක් සහිත යැයි මෙයින් හඟවනු ලබයි. එකක් අධිපතිවාදය අනුයන බව අපට කියන අතර අනෙක වාර්ගික සහෝදරත්වයට පිටුබල දෙන බව හඟවයි. නමුත් හිංසනයෙන් හා මර්දනයෙන් ද, අපරාධ යුක්තිය ප‍්‍රතික්‍ෂේප කිරීමෙන් ද, පාරම්පරික වාසභූමි කොල්ලකෑමෙන් ද, හමුදාකරණයෙන් ද, සිංහල ජනපදකරණයෙන් ද තර්ජනයට ලක්ව ඇති සිය සාමූහික ජාතික ජීවිතයේ පදනම් ආරක්‍ෂා කිරීම ඉලක්ක කොටගත් දෙමළ ජනයාගේ සැබෑ දේශපාලන ප‍්‍රමුඛතා ජාතික ගීය කවර බසකින් ගායනා කළ යුතු ද යන මේ ව්‍යාජ ප‍්‍රතිපක්‍ෂයට බාහිරව පවතී. තමන්ට එරෙහිව සිදුකළ යුද අපරාධයන් පිළිබඳ ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඔවුහු සය වසක් තිස්සේ ඉල්ලන්නේ ඒ නිසා ය. අතුරුදහන්වූ තම දූ දරුවන්ගේ ඉරණම හෙළි කරන ලෙසට ඔවුහු බල කරන්නේ ද ඒ නිසා ය. හමුදා වාඩි ලා ගැනීම් අවසන් කොට සිය ගම්බිම් නිදහස් කරන ලෙසද, තම ජීවිකාවන්ට පනවා ඇති තහංචි අවසන් කරන ලෙස ද, සිය ජාතික ස්වාධිපත්‍යය සහතික කරන දේශපාලන විසඳුමක් සපයන ලෙස ද ඉල්ලා ඔවුහු විරෝධතා දක්වන්නේද, පෙත්සම් අත්සන් කරන්නේ ද, සත්‍යග‍්‍රහ පවත්වන්නේ ද ඒ නිසා ය.

සැබෑ ප‍්‍රතිපක්‍ෂය ඇත්තේ දෙමළ ජනයාගේ ඉහත කී යුක්ති සහගත ඉල්ලීම් ආරක්‍ෂා කරන්නේද, ප‍්‍රතික්‍ෂේප කරන්නේ ද යන අන්තයන් අතරේ ය. ජාතික ගීය ගැන උත්කර්ෂයට නංවා ඇති ව්‍යාජ ප‍්‍රතිපක්‍ෂයන්ගෙන් කුමන විකල්පය ජයගත්ත ද දෙමළ ජනයාගේ ඛේදජනක ජීවන යථාර්ථයන් දශමයකින් හෝ වෙනස් කරන්නට හෝ එය බල නොපාන්නේ ඒවා දෙමළ අයිතීන් පිළිබඳ සිංහල පරිකල්පිතයන් බැවිනි. අතුරුදහන්වූවන් මළවුන් සේ සළකන්නැයි ද, රජයේ හමුදාවන්ගේ කීර්තිය ආරක්‍ෂා කිරීම සිය දේශීය පරීක්‍ෂණයේ අභිලාෂය යැයි ද දෙසතියකට කලින් කී ආණ්ඩුවක් දෙමළෙන් ජාතික ගීය ගායනා කිරීම වනාහී දකුණේ ‘අසන්නන්ගේ ඉල්ලීම්’ ඉටුකිරීමකට වැඩිමනත් දෙයක් නොවේ.☐

(මෙම ලිපිය 2016 පෙබරවාරි 07 වැනි දා 'රාවය' පත්‍රයේ මුලින් පළ විය.)

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS



left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.