JDS Sinhala

සමකය: ප‍්‍රගීත් කැටුව ඉතිහාසයට යාම

ගින්න කමටහන් කොටගෙන තේජෝ කසිණයෙන් දොරින් දොර ගිනි අවුළා විකුම් පෑමෙන් නම් ගත් ශික්‍ෂාකාමී ගලගොඩඅත්තේ උන්නාන්සේ පලක් නොබැඳ ම පෙළහර පාමින් දැන් යළිත් ප‍්‍රදූර්භූත වී තිබේ. මෙවර හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයෙනි. අතුරුදහන් වූ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ විවෘත අධිකරණ නඩු විභාගය අතරවාරයේ නැගී සිට ‘ප‍්‍රගීත් කොටියෙක් යැයි ද, අත් අඩංගුවේ පසුවන රණ විරුවන් අහිංසකයන් යැයි’ද නිවේදනය කිරීමෙන් ඉක්බිති සන්ධ්‍යා එක්නැලිගොඩට ද ධර්මානුශාසනා කොට උසාවි බිමෙන් පිටව ගිය උන්නාන්සේ දැන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩ වාසය කරන බවට මාධ්‍ය වාර්තාවන්හි දැක් වේ.

ප‍්‍රස්තුත කාරණා දෙකකි. පළමුවැන්න ප‍්‍රගීත් එක්නැලිගොඩ ගැන ය. ප‍්‍රගීත් අතුරුදහන් වූයේ 2010 ජනවාරි 24 වැනිදා ය. එතැන් සිට පස් අවුරුද්දක් රාජපක්ෂ හවුලේ ඈයෝ ආණ්ඩු කළහ. ඒ පස් අවුරුද්ද ඇතුළත ‘ප‍්‍රගීත් කොටියෙකැ’යි කිසිවෙක් නොකීවේය. ඒ වෙනුවට පළමු වටයේ දී ‘ප‍්‍රගීත් යනු මාධ්‍යවේදියෙක් නොවේ’ යැයි තර්ක කළ ආණ්ඩුව දෙවන වටයේදී ‘ප‍්‍රගීත් අතුරුදහන් වී නැතැයි’ තර්ක කළේය. 2011 නොවැම්බරයේ දී වධ හිංසන පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව හමුවට ගිය ආණ්ඩුවේ නීතිපති මොහාන් පීරිස් ‘ප‍්‍රගීත් විදේශගතව ජීවත්වන බව රජයේ බුද්ධි අංශ දන්නේ යැයි’ ප‍්‍රකාශ කොට හය මාසයක් ඇවෑමෙන් හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේපෙනී සිට ‘ප‍්‍රගීත් ඉන්නා තැන දන්නේ දෙවියන් වහන්සේ යැයි’ ප‍්‍රකාශ කළේය. රජයේ බුද්ධි අංශ සහ දෙවියන් වහන්සේ අතර සම්බන්ධය ඒ මැයි මාසයේදී අනාවරණය කරන ලද්දේ ඔහු විසිනි.

යහපාලන ඇමති මණ්ඩලයේ ගරු කටයුතු හවුල්කරුවෙකු බවට දැන් පත්ව ඇති අරුන්දික ප‍්‍රනාන්දු, ප‍්‍රගීත් එක්නැලිගොඩ ප‍්‍රංශයේදී හමු වූ බව පාර්ලිමේන්තුවේදී කීවේ ඉන් අවුරුද්දකට පසු 2013 ජූනි මාසයේදී ය. ඉක්බිති ජූලි මාසයේදී හෝමාගම මහේස්ත‍්‍රාත් හමුවේ පෙනී සිටි හෙතෙම ‘ප‍්‍රගීත් ඉන්නේ බෙල්ජියමේ බැව්’ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරයෙකු මගින් දැනගත් බවට ප‍්‍රකාශ කළේය. රජයේ බුද්ධි අංශ විසින් ප‍්‍රගීත් පැහැරගෙන ගිය බවටත්, ඔහු ගිරිතලේ හමුදා කඳවුරේ රඳවා සිට පසුව අක්කෙරෙපත්තුවේදී ඝාතනය කරන්නට ඇති බවටත් විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ දැන් ය.

පස් අවුරුද්දක් තිස්සේ මාධ්‍යවේදියෙකු ද නොවූ, අතුරුදහන් ද නොවූ ප‍්‍රගීත් ‘කොටියෙකු හෙයින් ඝාතනය කළ බවට’ හිටි අඩියේ තර්ක කෙරෙන්නේ ඒ අනුව ය. නලින් ද සිල්වාගේ චතුස්කෝටිකයට අනුකූලව ‘අපි සහ කොටි’ වශයෙන් ලෝක සත්තාව දෙපළු කොට වටහා ගන්නට පුහුණු කළ රැළවැසි ජන මුළුවකට යුක්ති ධර්මය පිළිබඳ සහේතුක මිනිස් උද්වේගයන් කුමන්ත‍්‍රණයකට වැඩිමනත් දෙයක් නොවේ. ඒ අනුව පස් අවුරුද්දක් ඇවෑමෙන් ප‍්‍රගීත් දැන් ‘කොටින්ගේ පලූවේ’ ය. ඔහුගේ ඉරණම හා අප යා කරන පොදු මිනිස් ඉරණමක රැහැනක් නොමැත්තේ එහෙයිනි.

දෙවැනි ප‍්‍රස්තුතය පලමුවැන්නට ගැට ගැසෙන්නේ ඒ ඉරණමෙනි. පැහැරගෙන යාම් සහ ඝාතනයන්ට වගකිව යුතු ‘අහිංසක රණවිරුවන්’ ගැන අධිකරණ දේශන තියන්නට දකුණේ පැවිද්දන් උසාවි ආක‍්‍රමණය කළ ඉතිහාසයක් විසි වසරකට කලින් නොතිබිණ. ඒ, දෑවුරුද්දක් තුළ භික්‍ෂූන් 650කට වැඩි පිරිසක් රාජ්‍ය හමුදා විසින් දකුණේ දී පැහැරගෙන ගොස් වධ හිංසාවන්ට පාත‍්‍ර කොට ඝාතනය කළ ඉතිහාස කතාවක් අප පිටුපසින් තිබූ හෙයිනි. පැහැරගෙන යාමෙන් අනතුරුව පොළොන්නරුවේ මීගස්වැව යුද හමුදා වධකාගාරයේදී ඇස් හා නිය උගුල්ලා, හිස් කබලෙහි පිට සම ගලවා වැලි පුරවා මරා දැමූ මැදිරිගිරිය මහ විදුහලේ සේවය කළ ගෝනදෙණියාගම සිරිනන්ද හිමිගේ සහ දිවුලන්කඩවල පිරිවෙණෙහි ඉගැන්වීමේ යෙදුණු මැදිරිගිරියේ සුමන හිමිගේ අමතකව ගිය ජීවන පුරාවෘත අයත් වන්නේ ඒ ඉතිහාස කතාවට ය. කොටිගල යුද හමුදා කඳවුරේ සෙබළුන් විසින් අහංගම ගුරුල්ලවල පුරාණ විහාර භූමියේ සිය ගුරු හිමියන් ඉදිරිපිටදීම ලේ වමනය වන තෙක් පහර දී පැහැරගෙන ගොස් වධ හිංසනයන්ට පාත‍්‍ර කොට මරා දැමූ ජාතික සංඝ සම්මේලනයේ ගාලූ දිස්ත‍්‍රික් ලේකම්වරයා වූ ගොඩකන්දේ මංගල හිමියන්ගේ පුරාවත අයත්වන්නේ ද ඒ ඉතිහාස කතාවට ය. ඇල්පිටියේ පිටිගල ඉඳිපොළ පිරිවෙණ ආසන්නයේ දී හමුදා සෙබළුන් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ නක්කල කුසලඥාණ හිමියන්ගේ ද, යුද හමුදාව විසින් පැහැරගෙන යාමෙන් අනතුරුව පොල්ගොල්ලේදී ඝාතනය කළ සමාජවාදී භික්‍ෂු සංගමයේ සාමාජික කඩුගන්නාවේ සීවලී හිමියන්ගේ ද, මහමෝදර ශ‍්‍රී ගුණෝදය පිරිවෙණෙහි සිට ආපසු යමින් සිටිය දී ගමන් කරමින් සිටි බසයේ මග අවුරා සන්නද්ධ හමුදා සෙබළුන් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ ගාලූ දිස්ත‍්‍රික් භික්‍ෂු සංවිධානයේ ක‍්‍රියාකාරිකයෙකු වූ රුහුණු සරසවියේ මත්තල පියදස්සී හිමියන්ගේ ද ඇතුළු සියක් සංඛ්‍යාත භික්‍ෂූන්ගේ දිවි පවත් අයත් වූයේ ද ඒ ලේ වැකි ඉතිහාස කතාවට ය. ඒ කතා සැක හැර දැනගැනීමට රිසි අයෙක් වේ නම් එවකට මානව හිතවාදී භික්‍ෂු සංවිධානය බොරැල්ලේ ගෝතමී විහාරය මුල් කොටගෙන පළකළ ‘විනිවිද’ සඟරා පිටපත් කියවා බැලීම ප‍්‍රමාණවත් වනු ඇත.

ගම් නියම් ගම් තෙත් කළ ඒ සැඩ රුධිර ගංගාවන් ගලා බැස්සේ පීඩිත මිනිස් දිවි බඳුනෙන් දුක් දොම්නස් අනුභව කොට හැදී වැඩුණු දූ දරුවන් අහිමි වීමේ වියෝග අඳුරින් වැසී ගිය දකුණේ හද්දා පිටිසර දිළිඳු ගේ-දොර හා වෙහෙර විහාර අතරිනි. ‘අහිංසක රණවිරුවන්’ වෙනුවෙන් දිවි දෙන්නට වහසි බස් දොඩන කාමභෝගී චෞර චීවරධාරීන් වික‍්‍රමාන්විතව වීදි සරන ජවනිකා ඒ ඉතිහාස කතාවල ලියා නැත්තේ ඒ නිසා ය.

නමුත් ක‍්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ ඉතිහාස ප‍්‍රබන්ධ කට පාඩමින් උගෙන, විසි පස් වසරකට පෙර ගම්බද පීඩිත දූ දරුවන්ගේ ලෙයින් ලියැවුණු ජීවන පුරාවෘත සිය කැමැත්තෙන් අමතක කළ රටක, ප‍්‍රගීත් එක්නැලිගොඩගේ ඉරණම හා අප සියල්ලන් ගැටගැසෙන පොදු මනුෂ්‍යත්වයේ රැහැනක් කිසි විටක හමු නොවනු ඇත. වර්ගවාදී සැහැසිභාවය පූජා නිමිත්තක් කොටගත් නව ආධ්‍යාත්මික දහමක් වැලිකඩින් මතුවන තුරු රොද බැඳ බලා සිටින්නන් කියා පාන්නේ ඒ අභාග්‍යසම්පන්න ඇත්තයි.☐

(මෙම ලිපිය 2016 ජනවාරි 31 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ විය. / ප්‍ර‍ගීත්ගේ සේයා රුව සපයා දුන් සන්ධ්‍යා එක්නැලිගොඩ සහෝදරියට ස්තූතියි.)

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.