JDS Sinhala

සමකය: ‘අන්තවාදය’ ගැන මධ්‍යස්ථ විග‍්‍රහයක්

රාජ්‍ය තයි පොංගල් උත්සවයට දින දෙකකට කලින් වීදි බට යාපනයේ ජනයා ‘කඳුළු සාගරයක ගිලී ගත් දෙමළ ජනයාට මොන තයි පොංගල්දැයි’ ඇසූ බවට මාධ්‍ය වාර්තා පළ විය. නමුත් බි‍්‍රතාන්‍ය විදේශ ඇමතිවරයා ද කැටුව කෙසේ හෝ තයි පොංගල් සමරනු වස් ජනවාරි පහළොස් වැනිදා උතුරට යන්නට ලංකාවේ අභිනව පාලක කාරකාදීන් විසින් ඇතිකර ගත්  අධිෂ්ඨාන පූර්වක අභිලාෂයට ඒ විරෝධතාවලින් කෙස් ගසක තරම්වත් හානියක් සිදු නොවිණ. ඉක්බිති කොළඹින් ආ නඩය යාපනයේ වීරසිංහම් ශාලාවේ වේදිකාවේ හිඳුවා තබා උතුරේ මහ ඇමති සී.වී. විග්නේස්වරන්, හැට හත් අවුරුද්දක් තිස්සේ නොවිසඳුණු දෙමළ ජනයාගේ ජීවන යථාර්ථය නිර්දය ලෙස කියා පෑවේය.

‘උතුරේ වාඩි ලා ගත් එක් ලක්ෂ පනස් දහසක රාජ්‍ය හමුදා බල ඇණි විසින් දෙමළ ජනයාගේ ඉඩ කඩම් ද, ජීවිකාවන් ද, ව්‍යවසායයන් ද, සම්පත් ද, වැන්දඹු ස්ත‍්‍රීන්ගේ නිදහස ද පැහැර ගනු ලැබ ඇති විටක අපි කෙසේ තයි පොංගල් සමරම්දැ’යි ඔහු විමසා තිබිණ. ඉකුත් අවුරුද්දේ පෙබරවාරි මාසයේ දී දෙමළ ජන වර්ග සංහාරය පිළිබඳ යෝජනාවක් සම්මත කරගැනීමෙන් ද, දෙසැම්බර් 19 වැනිදා දෙමළ මහජන සභාව පිහිටුවීමට මූලිකත්වය ගැනීමෙන් ද සිංහල ජාතිකවාදීන්ගේ මෙන්ම කොළඹ ලිබරල්වාදීන්ගේ ද උදහස සම සේ උපයාගත් ‘අන්තවාදී විග්නේස්වරන්’ දැන් අලූත් වටයකින් දකුණේ විරෝධතා නිමිත්තක් බවට පෙරළෙමින් තිබේ. නමුත් අන්තවාදය සහ මධ්‍යස්ථවාදය ගැන දකුණේ ආකල්ප විමසා බලන්නට විග්නේස්වරන් යළිත් විවර කර ඇත්තේ කදිම කවුළුවකි.

පීඩිත ජන කොටසකගේ සයුක්තික ඉල්ලීම් හැම විටම පැන නගින්නේ පීඩකයන්ගේ අධිපතිවාදයට ප‍්‍රතිචාර වශයෙනි. එවැනි ඉල්ලීම් එල්ල කරන අභියෝගය දෙවැදෑරුම් ය. පළමුවැන්න, පීඩක පිළිවෙත්වල දේශපාලන පැවැත්මට එරෙහි එකකි. දෙවැන්න, එවැනි පිළිවෙත්වල සදාචාර සුජාතභාවයට එරෙහි එකකි. පීඩක පිළිවෙත්වල දේශපාලන හා සදාචාර පැවැත්ම චිරස්ථායී කරගත හැක්කේ ‘පීඩිතයා සහ පීඩකයා’ වශයෙන් තීව‍්‍ර වන ධ‍්‍රැවීකරණය වසන් කිරීමට සමත්වන ප‍්‍රමාණයට ය. ‘ආන්තික’ හා ‘මධ්‍යස්ථ’ බෙදුම වැදගත් වන්නේ මේ කටයුත්ත සාක්ෂාත් කරගනු පිණිස ය. පීඩක - පීඩිත බෙදුම වසන් කොට පීඩකයා ළැදියාවන් රහිත උදාසීන නිරීක්ෂකයෙකු සේ වෙස් ගැන්විය හැක්කේ ‘මධ්‍යස්ථ - ආන්තික’ වශයෙන් පීඩිතයා දෙපළු කොට දැක්වීමෙනි. යුක්තිය අවුරන බාධකය පීඩකයාගේ අධිකාර පිළිවෙත් නොව, මධ්‍යස්ථ හා ආන්තික වශයෙන් ධ‍්‍රැවීකරණය වූ පීඩිතයාගේ ආකල්ප බෙදුම බව ඒත්තු ගැන්විය හැක්කේ ඒ මගිනි. හැට හත් වසක ඉතිහාස කතාව මීට දෙස් දෙයි. 

ජී.ජී. පොන්නම්බලම් හා එස්. ජේ.වී. චෙල්වනායගම්ට එරෙහිව සී. සුන්දරලිංගම් වැදගත් වන්නේත්, කුමාර් පොන්නම්බලම්ට එරෙහිව නීලන් තිරුචෙල්වම් හා ලක්‍ෂ්මන් කදිරගාමර් වැදගත් වන්නේත්, ප‍්‍රභාකරන්ට එරෙහිව ඩගලස් දේවානන්දා හා   වීරසිංහම් ආනන්ද සංගරී වැදගත් වන්නේත් මේ බෙදුම නඩත්තු කරනු පිණිස ය. ‘අන්තවාදී’ දෙමළ ජාතික ජනතා පෙරමුණ හා ‘මධ්‍යස්ථ’ දෙමළ ජාතික සන්ධානය පිළිබඳව ද, ‘අන්තවාදී’ විග්නේස්වරන් හා ‘මධ්‍යස්ථ‘ සුමන්දිරන් පිළිබඳව ද දැන් උත්කර්ෂයට නැංවෙන උද්වේගී ‘අර්ථ දැක්වීම්’ වනාහි එහිම දිගුවකි.

නමුත් ලක්‍ෂයකට නොඅඩු දෙමළ ජනයා තව දුරටත් යුද අනාථයන්ව දිවි ගෙවන්නේ මේ ‘අන්තවාදී - මධ්‍යස්ථ’ බෙදුමේ ප‍්‍රතිඵලයක් වශයෙන් නොවේ. දෙමළ ජනයාගේ නිදහස් සාමූහික ජීවිතය අවුරා ගේ දොර, වගා බිම් යටත් කොට දශක දෙකක් තිස්සේ  වාඩි ලා සිටින සන්නද්ධ හමුදාවන් මුලතිවු ජනයාගේ අක්කර සිය ගණනක ගම්බිම් තව දුරටත් කොටු කරමින් සිටින්නේ ද මේ බෙදුමේ ප‍්‍රතිඵලයක් වශයෙන් නොවේ. දස දහස් සංඛ්‍යාත ජනයා හාමත් කොට සංහාරය කළ අවසන් ඝාතක බිම් සංචාරක නිකේතන බවට පෙරළා, විසි දහසකට වැඩි සොහොන් කොත් බිම්බත් කොට ඒ මත අභිනව යුද කඳවුරු සංකීර්ණ නංවා, මළවුන් සැමරුම් තහනම් කොට ඇත්තේ ද, පැහැරගත් හා අත් අඩංගුවට ගනු ලැබූ දහස් සංඛ්‍යාත තරුණ - තරුණියන්ගේ අවසාන ඉරණම කුමක් වීදැයි හෙළිවනු වැළකී ඇත්තේ ද, ලේ වැකි රහස් වධකාගාර හා පරපීඩක ඝාතකයන් නිරුපද්‍රිතව ඇත්තේ ද මේ බෙදුමේ විපාක වශයෙන් නොවේ.

මේ නොනිමි සාපරාධී ක‍්‍රියා පිළිවෙත් පමණක් නොව, මහ ඇමති විග්නේස්වරන් වීරසිංහම් ශාලාවේදී පෙන්වා දුන් පරිදි හැට හත් වසක් තිස්සේ නොවිසඳන ලද සකළ විධ අයුක්තීන් ද තවදුරටත් නිල රාජ්‍ය පිළිවෙත් සේ ක‍්‍රියාත්මක වන්නේ පීඩිත දෙමළ ජනයා පාගා මැඩලීමේ නොතිත් අරමුණින් කුළු ගැන්වුණු සිංහල අධිපතිවාදයේ නග්න පීඩක භාවිතාවන් හේතුවෙනි.  ‘මධ්‍යස්ථවාදීන් හා අන්තවාදීන්’ වශයෙන් දෙමළ සමාජය දෙපළු කොට, ඒ බෙදුම් විශාලනය කළ යුතුව ඇත්තේ මෙකී ‘පීඩක - පීඩිත’ බෙදුම බොඳ කර දමනු පිණිස ය.

තිත්ත හෙයින් නොතකා හරින ඇත්තක් තිබේ. ඒ ඇත්ත මෙයයි: යුක්ති සහගත ජීවිතයකට ඇති අයිතිය සහ එය ප‍්‍රතික්‍ෂේප කරන වර්ගවාදී අධිපති පිළිවෙත් අතර මැදින් සළකුණු කළ හැකි ‘මධ්‍යස්ථ ස්ථාවරයක්’ නැත. එක්කෝ පීඩක පිළිවෙත් පැත්තේ ය. නැතහොත් පීඩිත ඉරණම පැත්තේ ය. විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ විග්නේස්වරන් දේශපාලනයට පිවිස තුන් අවුරුද්දකින් ‘ප‍්‍රභාකරන්ගේ අනුප‍්‍රාප්තිකයා’ සේ බෞතීස්ම කොට වෛරී විවේචක නිමිත්තක් බවට පෙරළාගෙන ඇත්තේ, විපාක නොතකා මේ ඇත්ත එළිපිට කීම හේතුවෙනි.

මුල්ලිවයික්කාල් සංහාරයෙන් පසු ‘මධ්‍යස්ථ දෙමළුන්’ ඉතිරිව ඇත්තේ සිංහල ප‍්‍රබන්ධ සාහිත්‍යයෙහි සහ යූඑස්ඒඩ් ප‍්‍රතිපාදන ඉලක්ක කොටගත් ව්‍යාපෘති වාර්තා තුළ පමණි.☐

(මෙම ලිපිය 2016 ජනවාරි 24 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ විය.)

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.