JDS Sinhala

සමකය: දෙමළුන් නසා සුද්දන් පැරදවීම

එංගලන්තයේ ආධාර ලැබූ දෙමළ ත‍්‍රස්තවාදය පරාජය කළ අපේ හමුදා ප‍්‍රතිසංස්කරණය කරන්නට එංගලන්තයෙන්ම උදව් ගන්නේ අහවල් කාරණාවකටදැ’යි මහාචාර්ය නලින් ද සිල්වා ඉකුත් සතියේ ‘රිවිර’ පත්තරය ඔස්සේ විමසා තිබිණ. ඒ අනුව දකුණු ලංකාවේ සැළකිය යුතු පිරිසකගේ අති මහත් ජාතිකානුරාගී ප‍්‍රමෝදය මොළවාලන්නට තුඩු දෙන උද්වේග සූත‍්‍රය මෙසේය: ‘දෙමළුන් සටන් කළේ එංගලන්තයේ හයියෙනි. අප සටන් කළේ අපේ හයියෙනි. එම නිසා එදා නැති එංගලන්ත ආධාර අපට හෙටත් එපා ය'.

තර්ක බුද්ධියේ තැනට ආධානග‍්‍රාහීත්වය ආදේශ වූ රටක නර්මාලාප, දේශපේ‍්‍රමී දිවැසි වාක්‍ය සේ පිළිගැනේ. සුද්දන්ගේ කුමන්ත‍්‍රණ පරදවන්නට අසල්වැසි දෙමළුන් මට්ටු කිරීමේ ප‍්‍රඥාව පහළවන්නේ ඒ හරහා ය. ‘ස්වකීය ජනයා සතුරු ලෝකයක් විසින් වටලා තිබීම ගැන අවධාරණය කිරීම ගෝත‍්‍රික ජාතිකවාදයේ ලක්‍ෂණයකැයි’ හනා ආරන්ඩ්ට් ලියන්නේ මේ ගැන ය. ලියන ලද ඉතිහාසය ලිව්වේ මන්දැයි වටහා ගන්නට නම් නොලියන ලද ඉතිහාස කතාව පාදාගත යුතු ය. එංගලන්ත ආධාරයෙන් දෙමළා මෙල්ල කිරීමේ අපකීර්තිමත් පරිච්ඡේදය ද ඒ කතාවේ කොටසකි. 2014 වසරේ බි‍්‍රතාන්‍ය පර්යේෂක ෆිල් මිලර් විසින් ‘දෙමළ ජනයාට එරෙහි බි‍්‍රතාන්‍යයේ 30 වසක නීච යුද්ධය’ මැයෙන් ලියන ලද දීප්තිමත් ගවේෂණාත්මක වාර්තාව මේ ඉතිහාසය කදිමට විදහා දක්වයි.

එය පටන්ගන්නේ ජයවර්ධනගේ පාලන කාලයෙනි. දෙමළ ජනයාගේ අරගලය වැඩි තීව‍්‍ර යුද්ධයක් බවට පෙරළුණේ 1983 ජූලියේදී ය. කැරළි මර්දන යුද මෙහෙයුම් (Counter-insurgency operations) සහ කොමාන්ඩෝ මෙහෙයුම් සඳහා අත්‍යාවශ්‍ය අතුරු හමුදා පුහුණුව (Para-military training) සපයන මෙන් ලංකාව බි‍්‍රතාන්‍යයෙන් ඉල්ලා සිටියේ ඊටත් මාස තුනකට කලිනි. 1983 මැයි මාසයේදී ඒ ඉල්ලීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේ පොදු රාජ්‍ය මණ්ඩල සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ දකුණු ආසියානු දෙපාර්තමේන්තුවෙන් යවන ලද රහස්‍ය ලිපියකට අනුව ‘මේ පාඨාමාලා සඳහා හැකි තාක් උපරිමයෙන් ශ‍්‍රී ලංකාවට ආධාර සැපයීමට රහසේ කටයුතු කළ යුතුව ඇතැ’යි නිර්දේශ කර තිබිණ. ‘80 දශකයේදී ලංකාවට යැවුණු බි‍්‍රතාන්‍ය කුලී හේවා බලඇණිවලට පසුබිම නිර්මාණය වූයේ මේ රහස් එකඟතාවට අනුකූලව ය. ලංකාවේ ආරක්‍ෂක හමුදාවන්ට කැරළි මර්දන යුද ක‍්‍රියා උපදසේ සපයනු පිණිස බි‍්‍රතාන්‍ය විශේෂ බලකා සෙබළුන්ගෙන් ගොඩනංවන ලද සීමාසහිත ෆැල්කන් ස්ටාර් ආරක්‍ෂක සමාගමට අනුමැතිය සපයන ලිපිය 1984 සැප්තැම්බරයේදී තැචර්ගේ අග‍්‍රාමාත්‍ය කාර්යාලයට යවන ලද්දේ එවකට බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් ජෙෆ්රි හෝව්ගේ සහායකයෙකු වශයෙන් ක‍්‍රියා කළ ශ‍්‍රීමත් පීටර් රිකට්ස් විසිනි. නමුත් ඒ වනවිටත් බි‍්‍රතාන්‍ය ආණ්ඩුවේ රහස් ආධාර යටතේ පවත්වාගෙන ගිය සමාගමක් වූ කීනි මීනි සර්විසස් හෙවත් කේඑම්එස් සමාගමට අනුයුක්ත බි‍්‍රතාන්‍ය කුලී හේවායෝ ලංකාවේ පොලිස් සහ හමුදා බලඇණිවලට පුහුණුව සපයමින් සිටියහ. බි‍්‍රතාන්‍යයේ කුප‍්‍රකට විශේෂ ගුවන් සේවා බලකායේ (Special Air Services -SAS) මේජර් ඩේවිඩ් වෝකර් සහ ලූතිනන් කර්නල් ඇන්ඩෘ නයිටින්ගේල් විසින් මෙහෙයවන ලද කේඑම්එස් සමාගමේ සංග‍්‍රාම උපදේශකයන් 35 දෙනෙකු විසින් ශ‍්‍රී ලංකාවේ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් සඳහා කළුතර කටුකුරුන්දේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේද, අම්පාරේ කොණ්ඩවට්ටුවාන්හී හමුදා සටන් පුහුණු පාසැලේදී ද පුහුණුව සපයන ලද අතර, ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සෙබළුන්ට හෙළිකොප්ටර් ප‍්‍රහාරක මෙහෙයුම් සඳහා ප‍්‍රායෝගික උපදේශනය සපයන ලද්දේ ද ඔවුන් විසිනි. උතුරේ සජීවී ගුවන් ප‍්‍රහාරක මෙහෙයුම් සඳහා උපදේශකයෙකු වශයෙන් දායක වූ බි‍්‍රතාන්‍යයේ ප‍්‍රහාරක හෙලිකොප්ටර් නියමුවෙකු වූ ටිම් ස්මිත් ලියූ මතක සටහන්වලට අනුව 1986 වසරේදී මාස පහක් ඇතුළත කොටි සටන්කරුවන් 152ක් ඝාතනය කිරීමට ඔහු පෞද්ගලිකවම දායක වී තිබේ.  ‘152කින් පසු මම ගණන් කිරීම අත් හළෙමි‘යි ඔහු අනතුරුව ලියයි. ‘80 දශකයේ බි‍්‍රතාන්‍ය විශේෂ ගුවන් සේවා උපදේශකයන් විසින් ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් පුහුණු කිරීමේ දී ඉටුකළ කාර්යභාරය සැකහැර දැනගනු රිසි අයෙක් වේ නම් ඉහතින් කී ටිම් ස්මිත් විසින් ලියන ලද ‘Reluctant Mercenary’ හෝ බි‍්‍රතාන්‍ය විශේෂ බලකායට අනුයුක්ත පැරෂුට් භටයෙකු සේ ක‍්‍රියාකළ රොබින් හෝස්ෆෝල්ගේ ‘Fighting Scared’ යන කෘති කියවා බැලීම ප‍්‍රමාණවත් ය.

නමුත් ජයවර්ධන පාලන කාලයෙන් නොනවතින බි‍්‍රතාන්‍යයේ යුද දායකත්වය කුමාරණතුංග පාලන අවධිය කරාද විහිදේ. එය පටන් ගන්නේ ‘90 දශකයේ දෙවැනි භාගයේදී ය. බි‍්‍රතාන්‍ය හමුදා මාණ්ඩලික විදුහල පූර්වාදර්ශ කරගනිමින් 1998 මාර්තු මාසයේ දී ආරම්භ කරන ලද ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ආඥා සහ මාණ්ඩලික සේවා පාසල සඳහා ඊට අනුකූල විෂය නිර්දේශයන් සැළසුම් කිරීම හා අධීක්‍ෂණය සඳහා කෙටි කාලීන පුහුණු උපදේශන කණ්ඩායමක් (Short Term Training Team - STTT) එවීමට බි‍්‍රතාන්‍යය කටයුතු කළේය. මෙම කණ්ඩායමට අයත් ලූතිනන් කර්නල්වරුන් වූ ක‍්‍රිස් රයිඩර් හා ජෙෆ් මොයිනන් විසින් ශ‍්‍රී ලංකා හමුදාවන්ගේ කැරළි මර්දන යුද ක‍්‍රියා පිළිබඳ අවබෝධය පුළුල් කරනු වස් කරන ලද දායකත්වය දැනගනු රිසි අයට හමුදා පාසැලේ නිල වෙබ් අඩවිය හෝ එහි පළමු පුහුණු කණ්ඩායම විසින් 1998 වසරේ පළ කළ ‘The Owlet’ සඟරාව පරිශීලනය කිරීම ප‍්‍රමාණවත් වනු ඇත. ඔවුන්ගේ අනුප‍්‍රාප්තිකයා වූ කර්නල් ජෝන් එස්. ෆීල්ඩ්, නව හමුදා පාසැලේ නිත්‍ය නේවාසික බි‍්‍රතාන්‍ය යුද උපදේශකයා වූවා පමණක් නොව, ආරක්‍ෂක විදුහලේ  නිල ධූරාවලියේ ඉහළින්ම ක‍්‍රියාකළ බව ද විදුහලේ ලිපි ලේඛන සාක්‍ෂි දරයි. අවසාන ඊළම් යුද්ධයේ ප‍්‍රධාන අණ දෙන්නන් වශයෙන් ක‍්‍රියාකළ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ගණනාවක්ම මෙකී බි‍්‍රතාන්‍ය හමුදා උපදේශනයෙහි ඵල නෙලා ගත්තෝ වෙති. 2001 කොටි සංවිධානයේ යුද මෙහෙයුම් විසින් එල්ල කරල ලද යුද හා ආර්ථික අභියෝගයන් ජයගනු වස් අත්‍යවශ්‍ය ආරක්‍ෂක ඇගයීම් කරන ලද්දේ ද බි‍්‍රතාන්‍ය හමුදාවේ ලූතිනන් කර්නල්වරයෙකු වූ ටිම් ස්පයිසර්ගේ මූලිකත්වයෙන් එවන ලැබූ යුද හා බුද්ධි සේවා විශේෂඥයන් 15 දෙනෙකුගෙන් සමන්විත විශේෂ උපදේශන කණ්ඩායමක් විසිනි. 

නමුත් සිව්වැනි ඊළම් යුද්ධයේ ඉතිහාස කතාව දැන් ලියැවෙන්නේ අධිරාජ්‍ය විරෝධී ආසියාතික සිමෝන් බොලිවාර්ගේ අවතාරය බවට ජනාධිපති රාජපක්ෂ වෙස්  ගන්වමිනි.  එංගලන්ත විරෝධී මහැදුරු සිල්වාගේ රාජපක්ෂවාදී උදාන වාක්‍ය යට දිදුලන්නේ මේ  රමණීය ප‍්‍රබන්ධ කතාවයි. නමුත් අවාසනාවට යථාර්ථය ඇත්තේ ඊට පරහට ය. මේ ලියන්නේ ඒ යථාර්ථයෙන් අල්ප මාත‍්‍රයකි. ‘දෙමළ ත‍්‍රස්තවාදීන්ට‘ ආධාර දෙමින් ශ‍්‍රී ලංකා හමුදාවන්ගේ පරාජය සඳහා කුමන්ත‍්‍රණ කළ එංගලන්ත ආණ්ඩුවේ ආරක්‍ෂක අමාත්‍යාංශ උපදේශකයන්ගෙන් සැදුම්ලත් ‘ආරක්‍ෂක අංශ සංවර්ධන උපදේශන කණ්ඩායමේ‘ (Security Sector Development Advisory Team  - SADAT) සාමාජිකයන් 2007 අපේ‍්‍රල් මාසය වනවිට ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි අංශ සේවාවන්හි කාර්යක්‍ෂමතාව ප‍්‍රතිසංස්කරණය සඳහා දායක වෙමින් සිටියේ ඇයිද යන්න මහැදුරු සිල්වා අයත් කුලකයේ අනුගාමිකයන් පැහැදිලි නොකරයි. එමෙන්ම, බි‍්‍රතාන්‍ය විසින් අවි සම්බාධක පැන වූ රටවල් 17ක ලැයිස්තුවට ශ‍්‍රී ලංකාව කිසි විටක ඇතුළත් නොකළේ ඇයිද යන්න ගැනද මේ ප‍්‍රබන්ධයන් විසින් කිසිත් හෙළි නොකරයි. 2008 අපේ‍්‍රල් මාසයේ දී ‘ස්ලොවැක් ස්පෙක්ටේටර්‘ පුවත්පත විසින් අනාවරණය කළ පරිදි 2005 - 2006 දෙවසර තුළ යුරෝ මිලියන 8.5ක ආරක්‍ෂක සැපයුම් බි‍්‍රතාන්‍යය විසින් ලංකාවට සැපයීම ගැනත්,  2007 වසරේදී පමණක් ස්ටර්ලින් පවුම් මිලියනයක් වටිනා ආරක්‍ෂක උපකරණ සහ අවි තොග ශ‍්‍රී ලංකාවට බි‍්‍රතාන්‍යය විසින් අපනයනය කිරීම ගැනත් මේ වීර කාව්‍ය සම්පාදකයෝ මුනිවත රකිති. 2009 පෙබරවාරි 27 වැනිදා එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලයේ න්‍යාය පත‍්‍රයට ශ‍්‍රී ලංකාව ඇතුළත් නොකිරීමට ඒකමතිකව ගන්නා ලද තීරණය ආරක්‍ෂා කරමින් ‘ත‍්‍රස්තවාදී සංවිධානයක් වන කොටි සංවිධානය ආයුද වහා බිම තැබිය යුතු බවටත්, ශ‍්‍රී ලංකාව ආරක්‍ෂක කවුන්සිලයේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් නොකිරීමට පැහැදිලි තීරණයක තමන් පිහිටා සිටින බවටත්’ එක්සත් ජාතීන්ගේ බි‍්‍රතාන්‍ය නියෝජිත ශ‍්‍රීමත් ජෝන් සෝවර්ස් විසින් අවධාරණය කරන ලද්දේ මක් නිසාදැයි පහදන්නටද මේ සියල්ලෝ අසමත් වෙති.

ඇත්ත නම්, තිස් වසක යුද්ධයේ රහස් ඉතිහාස කතාව ලියැවී ඇත්තේ ලේ වැකි නින්දිත සන්ධාන හරහා බව ය. දැන් යෝජනා වී ඇති බි‍්‍රතාන්‍ය මැදිහත්වීම් වනාහී ඒ සන්ධානවලම දිගුවක් මිස අන් කිසිත් නොවේ.

‘විතර්ක රහිත, විචාර රහිත සමාධියෙන් නිරාමිස ප‍්‍රීතිය උපදිතැයි‘ නිරාමිස සූත‍්‍ර දේශනාවේ දැක් වේ. ඉකුත් අඩ දශකය තුළ දකුණු ලංකාව ඒ නිරාමිස ප‍්‍රීතියට ළඟා විය හැකි ලෞකික පාරක් සොයාගෙන තිබේ. ඒ, සිද්ධි වාචක විශ්ලේෂණ වෙනුවට ‘විතර්ක රහිත, විචාර රහිත ඇදහිල්ල’ ජීවනයද, මාර්ගය ද බවට පෙරළා ගැනීමෙනි.☐

ප්‍රධාන සේයාරුව: බ්‍රිතාන්‍ය SAS සෙබළුන් විසින් ශ්‍රී ලංකා විශේෂ කාර්ය සාධක බලකා සෙබලුන් පුහුණු කිරීම, අම්පාරේ කොණ්ඩවට්ටුවාන් 1983-84 / (මෙම ලිපිය 2015 දෙසැම්බර් 13 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ විය.)

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.