JDS Sinhala

සමකය: සෙන්තුරන්ගේ මරණයෙන් පසු

කොකුවිල් හින්දු මහා විදුහලේ උසස් පෙළ පන්තියේ නිහඬ සිසුවෙකු නොවැම්බර් 26 වැනිදා උදයේ යාපනයේ කොණ්ඩාවිල් දුම්රිය පොළට නුදුරේ දුම්රිය මඟ අවුරා බලා සිටියේය. 25 වැනි බදාදාව වනවිට වැඩි දෙනෙක් දැන නොසිටි, කෝපායි උතුරේ නාඳුනන යෞවනයෙකුගේ සංවේගී ඉරණමෙන් 26 වැනිදා අර්ධද්වීපය ඇවිළිණ. ‘දෙමළ දේශපාලන සිරකරුවන් තව දුරටත් බන්ධනාගාරගත කර තැබීම අයුක්තියකැ’යි අභ්‍යාස පොත් පිටුවක ලියූ තබා කන්කසන්තුරේ සිට අගනුවර බලා එන උදෑසන දුම්රිය දෙසට ඇවිද ගිය 18 වියැති රාජේස්වරන් සෙන්තුරන්, දස දහස් සංඛ්‍යාත තරුණ දෙමළ සටන්කරුවන් සිහිපත් කොට පහන් දල්වන නොවැම්බර් 27 වැනිදා, යාපනයේ අවසාන සන්ධ්‍යාලෝකය විඳිමින් සිය පාසැල් මිතුරන්ගේ උර මතින් නික්ම ගියේය.

සෙන්තුරන්ගේ වියෝගයෙන් කම්පාවට පත් දේශපාලන සිරකරුවෝ ‘අප කෙරෙහි වන ආදරය පළකරනු වස් එවන් ඛේදනීය මං නොසොයා, සමාජ විමුක්තිය පිළිබඳ සෙන්තුරන්ගේ සිහිනය සැබෑ කරනු වස් පෙරට එන්නැයි’ දෙමළ ජනයාගෙන් සාමූහිකව අයැද සිටියහ. ‘කාගේ හෝ තර්ජනයක් මත ද්‍රවිඩ සිරකරුවන්ගේ නිදහස පතා දිවිහානිකර ගන්නට’ ඇති බවද, ‘සිසුවා මරා දමා රේල් පාරට ගෙනැවිත් දමන්නට’ ඇති බවද දකුණේ පත්තර හා වෙබ් අඩවි ලිව්වේ මේ මරණය ගැන ය.

දේශපාලන සිරකරුවන් පිළිබඳ දකුණේ ආණ්ඩු කරන්නන්ගේ උත්ප‍්‍රාසජනක වහසි බස් ගැන ලියන්නට සෙන්තුරන්ගේ මරණය තවත් නිමිත්තක් සපයා තිබේ. ‘දේශපාලන සිරකරුවන් කියා වර්ගයක් අපේ බන්ධනාගාරවල නැතැ’යි යහපාලන ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා කියා තිබුණේ ඔක්තෝබර් මාසය මැදදී ය. ‘ත‍්‍රස්තවාදයට ආධාර දීම හේතුවෙන් අත් අඩංගුවේ පසුවන්නන් දේශපාලන සිරකරුවන් සේ සැළකිය නොහැකි යැයි ද’ ඔහු පවසා තිබිණ. එහෙව් ත‍්‍රස්තවාදීන් නිදහස් කරන්නේ නම් තමන්ගේ ආරක්ෂාව වැඩි කොට වෙඩි නොවදින රථයකුත්  ඕනෑ බව හිටපු ජනාධිපතිවරයා කියා තිබුණේ ඒ නිසා විය හැකි ය. අධිකරණ ඇමතිවරයාගේ නිර්වචනයට අනුව බලෙතාත්, ලංකාවේ දේශපාලන සිරකරුවන් ගණයට වැටෙන්නට ඉතිරිවනු ඇත්තේ චොකා මල්ලී සහ සජින් වාස් ගුණවර්ධන වැන්නන් පමණි. ඒ, බුදුන්ටත් නෑකම් කියාගෙන ගිරුවාපත්තුවෙන් ආ සිංහලයේ අවසාන රජු යටතේත් රාජ්‍ය ත‍්‍රස්තවාදය ගරු කටයුතු රස්සාවක් සේ සැළකුණ බැවිනි. නමුත් ඔවුන් නිදහස් කරන්නට කල්පනා කරන්නේ නම් දකුණේ ඡන්දදායක බහුතරයක් වෙඩි නොවදින වාහන ඉල්ලා පාරට බැසීම වරදක් නොවේ. 

ආණ්ඩුවේ නිල සංඛ්‍යා ලේඛණවලට අනුව දේශපාලන සිරකරුවන් ගණයට වැටෙනවුන් 268ක් තවමත් සිරභාරයේ පසුවෙයි. මේ 268 ගණන් හදා ඇත්තේ රජයේ නිල බන්ධනාගාර හා ප‍්‍රසිද්ධ රැඳවුම් කඳවුරුවල රඳවා සිටින්නන්ගේ ලියාපදිංචි සංඛ්‍යා ඇසුරෙනි. පුනරුත්ථාපන කඳවුරුගත පිරිස් හෝ හෙළි නොකළ හමුදා සිර කඳවුරුවල සිටින්නන් මේ 268ට අයත් නොවන්නේ එවැනි කඳවුරු ඇතැයි නිල වශයෙන් පිළිගැනීම යහපාලනයට අයත් සේ නොසැළකෙන නිසා ය. කොළඹ වධකාමී සිංහල මාධ්‍ය අරක්ගත් බඩගිනි සිඟාලයන්, කල්පාන්ත සංත‍්‍රාසයක් දෛනිකව බෙදා හරින්නේ මේ 268 දෙනා තව දුරටත් සිරගෙවල කොටුකර තබා කොටස් වශයෙන් බුදිනු රිසියෙනි.

දේශපාලනයේදී, වරණීය විස්මෘතිය හෙවත් ‘සිලෙක්ටිව් ඇමිනීසියාව’ යනු දේවල් තෝරා බේරා අමතක කිරීමේ කුශලතාවයි. ප‍්‍රචණ්ඩත්වය රජයේ ඒකාධිකාරයක්ව තිබීම ඉවසා දරාගත හැක්කේ ඒ කුශලතාව සඳුන් ගැටයක් සේ මිටින් ගෙන උපන්නන්ට ය. විසි පස් වසරකට කලින් ‘ත‍්‍රස්තවාදීන්’ සේ භෞතීස්ම ලද සිය දූ දරුවන් සොයා කඳවුරින් කඳවුර ඇවිද ගිය ජන සමාජයක් දෙමළ දේශපාලන සිරකරුවන්ගේ අයිතීන් ‘බිහිසුණු කුමන්ත‍්‍රණයක්’ සේ දකින්නට පොළඹවාගත හැක්කේ වරණීය විස්මෘතිය අභ්‍යාස කරන්නට පුහුණු කිරීමෙන් පමණි.

නමුත් සෞන්දර්ය කලාවේ මෙන්ම දේශපාලනයේදී ද පුනරුක්තියට බලයක් තිබේ. මඟහැර යන අඳුරු ඉතිහාස පිටු යළි යළිත් උපුටා දැක්වීම දේශපාලනික කාර්යයක් වන්නේ ඒ නිසා ය.  

ජාත්‍යන්තර ක්ෂමා සංවිධාන වාර්තාවන්ට අනුව 1990 අවසාන වන විට චෝදනා ගොණු නොකළ දේශපාලන සිරකරුවන් 9,000ක් දෙනා දකුණේ බන්ධනාගාර හා සිර කඳවුරු තුළ ගාල් කොට සිටියහ. රාජ්‍ය දෘෂ්ටි කෝණයෙන් බලෙතාත් ඒ නව දහසද ‘ත‍්‍රස්තවාදයට ආධාර දීම හේතුවෙන් අත් අඩංගුවේ පසුවන්නන්’ බව කීමෙහි දොසක් තිබිය නොහැක. නමුත් එදා දකුණට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීම සඳහා වීදිබට ජනයා දේශපාලන සිරකරුවන් නිදහස් කරන මෙන් ඉල්ලා සිටීම ‘කුමන්ත‍්‍රණයකැ’යි විවෘතව කියන්නට විලිබිය රහිත අයෙක් ඒ කාලයේ සිටි බවක් මගේ මතකයේ නැත.

මානව හිමිකම් කාර්ය සාධක බලකායට අනුබද්ධ පැය විසි හතරේ තොරතුරු සේවාවක් ආරම්භ කොට දේශපාලන රැඳවියන්ගේ තත්ත්වය විමසා බැලීමට බාධා රහිත ප‍්‍රවේශ අවකාශ සපයන ලෙසටත්, අත් අඩංගුවට ගනු ලබන්නන් නීත්‍යනුකූලව පිළිගත් රැඳවුම් මධ්‍යස්ථානවල පමණක් රඳවන ලෙසටත් 1991දී ක්ෂමා සංවිධානය විසින් කරන ලද නිර්දේශ පේ‍්‍රමදාස ආණ්ඩුව විසින් පිළිගැනීම ජාත්‍යන්තර බලපෑමකට යටත් වීමකැයි ඒ කාලයේ කල්පනා නොකළ ‘දි අයිලන්ඩ්’ පත‍්‍රය ‘පියවරක් ඉදිරියට’ මැයෙන් කතු වැකියක් ද ලියමින් ආණ්ඩුවට ප‍්‍රශංසා කළේය. දේශපාලන සිරකරුවන්ගේ සුබ සාධනයත්, අතුරුදහන්වූවන්ගේ ඉරණමත් විමසා බලන්නට ආණ්ඩුවේම ආරාධනයෙන් 1991දී ලංකාවේ සංචාරය කළ අතුරුදහන්වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාරක කමිටු නියෝජිතයන්ගේ අවසාන වාර්තාවට අනුව ආණ්ඩුවේ මානව හිමිකම් කාර්ය සාධක බලකායේ නියෝජිතයන් ඒ වසරේ ඔක්තෝබර් මාසය වනවිට දේශපාලන සිරකරුවන් 6720ක් රඳවා සිටි කඳවුරු 19ක් විමර්ශනය කොට, රැඳවියන් 1700 දෙනෙකුගේ පූර්ණ තොරතුරු ලේඛන රැස්කර ඇති බව එක්සත් ජාතීන්ගේ කමිටුවට දන්වා තිබිණ. අනතුරුව එළඹි සිව් වසර තුළ ඉන් අති මහත් බහුතරයක් දෙනා සංහාරයකින් කැළැල් වූ මතකයන් ද කැටුව පෙරළා ගම්බිම් බලා නිදහස්ව ආහ. අවිගෙන රාජ්‍යයට අභියෝග කළ තරුණ-තරුණියන් සිරගත කොට තබා ඒ වෙනුවට ඇඹිලිපිටියේ සෙවණ කඳවුරේ අණදුන් බි‍්‍රගේඩියර් පැරී ලියනගේ නිදහස් කරන මෙන් ඉල්ලා වීදි සරන්නට එඩිතරකමක් තිබූ රාවණාගේ සිවුරු සේනාවන් ඒ සමයේ ප‍්‍රාදූර්භූත නොවූයේ එදා සංහාරයන්ගෙන් බේරී සිරබත් කෑවේ දකුණේ දරුවන් නිසා ය.

ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ පරාජය කරන්නට වංශකතා වනපොත් කොට තබා, කරබාගෙන රුපියල් පනහට පාන් කන්නට පුහුණු කළ ජන සමාජයකට අසල්වැසි අනෙකාගේ අයිතියට ගරු කිරීමේ පිළිවෙත ගැන කීම ත‍්‍රස්තයට හේතුවක් විය හැකි බව ඇත්තකි. නමුත් සාමූහික ගරුත්වය හා යුක්තිගරුක ජීවිතයක් අහිමිවීමේ වේදනාවෙන් මඩනා ලද මිනිස් උද්වේගයන් රාජ්‍ය අත්තනෝමතිකත්වයේ අධිවේගී මඟ අවුරන බැරිකේඩයන් බවට පෙරළීම දකුණේදී තරමටම උතුරේදීද යථාර්ථයක් බව රාජේස්වරන් සෙන්තුරන්ගේ අකල් මරණය විසින් යළිත් කියා පායි. යුද්ධයේ නිමාව නිවේදනය කොට හය වසරකට පසුත් දිවි ගළවාගත්තවුන්ගේ නිදහස නොතකාලීම පැරණි පිළිවෙත්ම පෙරට ගෙන යන ප‍්‍රචණ්ඩත්වයකි. නමුත් රාජ්‍ය ප‍්‍රචණ්ඩත්වය ත‍්‍රස්තයකැයි වටහාගන්නට මැළිවන්නන්ට නිස්කාංසුවේ පෙරළා බැලීමට  ඕනෑනම් දැන් රතුපස්වල ලේ වැකි පරිච්ඡේදයක් ද ඉතිරිව තිබේ.☐

(මෙම ලිපිය 2015 දෙසැම්බර් 06 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ විය.)

රෝහිත භාෂණ අබේවර්ධන


 © JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.