JDS Sinhala

එවිය හැකිද මට පණිවිඩයක් ඔබට

 

විය හැකිද මට පණිවිඩයක් ඔබට
මෙතරම් කලකට පසුත්

ඔබ එල්ලා ගිය තරුවේ මලානික එලිය
තවමත් අහස මුදුනේ සැලි සැලී දිලෙයි
ආත්මය අළු පැහැ පරවියෙකු මෙන්
අඳුරු තීරුවක ගුලි ගැහෙයි

එවිය හැකිද මට පණිවිඩයක් ඔබට
මෙතරම් කලකට පසුත්

වස්සානය ද ගිම්හානය ද
වේදනාජනක ලෙස රෝමාන්තික ය
පෙම්කතා මවාගනිමින්
සිත සූරා ගත හැකි ය

ඇසළ පෙති වලට ද
වලාකුළු වලට ද
ඔබව මතක් කර දීමට හේතු අනවශ්‍ය ය.

එවිය හැකිද මට පණිවිඩයක් ඔබට
මෙතරම් කලකට පසුත්

පැමිණියාද ඔබ
ඔබේ එක්ටැම් ගෙයින් පිටතට
පහව ගොස් තිබුනා ද කුණාටු
නිහඬ වී ඇත්‍ද හෙන හඬ?
නැතිනම්,
පලාගියාද ඔබ බොහෝ කලකට පෙර
ඒ අඳුරු කුටිය අත හැර

එවිය හැකිද මට පණිවිඩයක් ඔබට
මෙතරම් කලකට පසුත්

පෙම් නොකරමි මම තවත් ඔබට
එහෙත් ඔබ ඉතිරිකර ගිය හිස් තැන
සදා අඳුරින් පිරී ඇත

ඉඩෝරයකට අසුවුනාක් මෙන්
ඉරි තලා යමින් හිඳිමි
පැලුම් පිපිරුම් සුවකර ගත නොහැකිව බලාඉමි

කියන්න,
කැබලිතිවලට බිඳී යා හැකිද මට
ඔබේ දෙඅත් මත

 

තරින්ද්‍ර ගලහේන


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.