JDS Sinhala

අනන්ත වූ ශෝකයේ කාව්‍යය

 

ව් අතර සෝ බරම කව
ලිවිය හැක මට අද රැයේදී

අනන්ත වූ ඈත සිට
නිල්වනින් දිලිදිලි සැලෙන
තරු සපිරි රැයක් ගැන
ලියන්නට හැකිය මට

නිශාවේ මාරුතය
අහස තුළ සුළි නගයි ගී ගයයි

සියලු කවි අතර සෝ බරම කවිය
ලිවිය හැක මට අද රැයේදී
මම ඇයට පෙම් කළෙමි
ඇතැම් විට ඇයද මට
පෙම් කළා

එක් රැයෙක මේ වැනිම වූ
තුරුළු කරගතිමි මම ඇයව
අනන්තවූ අහස යට
සිපගතිමි ඈ දහස්වර

පෙම්කළා ඇය මට
ඇතැම් විට මා ද
ඇයහට පෙම් කළා
කෙලෙසක සිටින්නද
නොකර පෙම්
ඇගේ විසල් නිල් නුවන් වෙත

සියලු කවි අතර සෝ බරම කවිය
ලිවිය හැක මට අද රැයේදී
සිතනු වස් ඇය මා අසළ නැති බව
හඟිනු වස් ඇය
අහිමි වූ බව මට
සවන් දෙනු වස්
මේ මහා දිගු රැයට

ඇය නොමැති වූ හෙයින්
තව තවත් දිගු වූ
මේ අනන්තවූ රැයෙහි
කවිය ඇදහැලෙයි ආත්මය මතට
තණ මතට පිණි බිංදු පතිතවන සේ

ඈ මවෙත රඳවා ගත නුහුණු වූ
මගේ ප්‍රේමය කුමට?
රාත්‍රිය තරුවලින් ගහණ ය
එහෙත් ඇය මා අසළ නැත

එපමණයි.
ඈත සිට කිසිවෙකු ගී ගයයි
අනන්ත වූ ඈත සිට
ඇය අහිමි වූයෙන්
මා ආත්මය මියැදී තිබේ

මා අසල ඇය දකිනු වස්
මා දෑස විපරම් කරයි
මගේ හද නිරතුරුව ඇය සොයයි
එහෙත් ඈ මා අසල නැත

හිම වැටී තුරුලතා සුදුවන් වූ
තවත් මේ බඳු රැයක් විය
එහෙත් අපි මෙයින් මතු
අපි නොවෙමු

සැබෑවෙකි මම ඇයට
තවත් පෙම් නොකරන බවද
එහෙත් මම්
කොතෙක් නම්
පෙම් කළෙද ඈ හට
මාගේ කටහඬ
සොයයි මද පවන තුළ
ඇගේ සවනත පහස

වෙනත් කිසිවෙකු සතු ය
වෙනත් කිසිවෙකු
ඇයව සතු කරගනු ඇත
වරෙක මා හාදුව විසින
ඇයව සතු කරගත් විලස
ඇගේ කට හඬ
ඇගේ මුදු සිරුර
අනන්ත වූ ඈ දෑස

සැබෑවෙකි මම ඇයට
තවත් පෙම් නොකරන බව
එහෙත් සමහරවිට
මා තවම ඇය වෙත
පෙම් කරනවා විය හැක
ප්‍රේමය කෙටි ය
එහෙත් එය අමතක කිරීමට
බොහෝ කල් ගතවේ

මක් නිසාද යත්
මේ වැනිම වූ එක් රැයෙක
තුරුළු කරගෙන සිටියෙමි
මම ඇයව
ඇය නොමැති කල
මට මගේ ආත්මය
අහිමි වී තිබේ

ඇය විසින්
මා වෙත උරුම කළ
අවසාන වේදනාව මේ වුවද
ඇය වෙනුවෙන් මවිසින් ලියැවෙන
අවසන් කවිය මෙය විය හැකි ය

 

පබ්ලෝ නෙරූදා


© JDS


පරිවර්තනය: අජිත් සී. හේරත්

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.