නිවාඩුව
- Post 17 December 2018

කලකට වරක් සති අන්තයක් පැමිණෙයි
ඉර හඳ තරු නොපායන
සිතුවිලි ගාල්කර දුම්රිය මැදිරියක
තබා හදවත කඳු පාමුල
දුම්රිය ගාටයි
කඳු මුදුන් නගරයට
කවුලුවෙන් හොර හොරෙන් එබෙන්නෙම
මට ඔච්චම් කරන්නද ඉද්ද මල් සුවඳ?
කවුලුවෙන් පැන ආපසු දුවන්නට
ඉඩ දෙමි හිතට එතරම් දුරක් නැති අතීතෙට
සිහිනෙන් ඇහෙන ඔබේ කටහඬ
නිදන්නට නොදෙයි මට
තවත් දුම්රියක තවත් මැදිරියක
ඔබනම් නිදා වැටෙනු ඇති
දුම්රියේ තාලයට
අන්න අර සුදු වලා කැටිත්ත මම එවන්නම්
අතට දී ගිහින් එන්නම පණිවිඩය
දැන් ඉතින්
සඳුදා වනතෙක් සුසුම් හෙළිය යුතු ය.

තරින්ද්‍ර ගලහේන
© JDS





