Pink
- Post 06 December 2018
අහස නිල් මකරුන් සේනා වැන්න
පොකුණේ නිල් දිය කළත්තන සමච්චල් හඬ
නිල් කඳු දඹරැ'ඟිල්ල පෙන්නා කරන තරවටුව
නිල් පැහැයමයි මේ ලොව වසාගත් යෝධයා
රෝස බෝනිකි කෙල්ලකගේ
අත් පා කඩා දැම්මත් දඩබ්බර කොල්ලෙක්
රෝස කම්මුල් තෙමුණත් කඳුළු බිඳුවකින්
කෑ ගසා අඬන්නට නොහැකිය බෝනික්කිට
නිල් පැහැයට අයිතිවාසිකම් නෑ කෙල්ලන්ට
නිල් මේස් ජෝඩු තහනම් ය පළඳින්න
අහස වසා පැතිරුණු නිල් මකරු සේනාව
අයිති මැරෑටි කොල්ලන්ට
රෝස පැහැ දිග ගවොමකට
සිත සංසුන් කළ හැකි ය...
රෝස බූට් ජෝඩුවකට
පා ඇලවූ ප්ලාස්ටරයක් වසන්කළ හැකිද?
සුළං රළ මත පීනන වරළසකට රෝස පිත්ත පටියකින්
පිහිනීම නවත්තන්නට අම්මලා බලකරයි
රෝස පැහැති මේ සියල්ලම සැබෑවක් නොවන වග
මගේ සිත මට බලකර කියයි
ඔබ රෝස ගා ගත් අහසක් දැක තිබේද?
රෝස දිය පිරි පොකුණුවල ඔබ ගිලීලා තියේවිද?
රෝස තුරු වැල් මේ සක්වලේ කොයිවේද?
කොල්ලන්ට ඕනේ රෝස පැහැ කම්මුල් නේද?
රෙදි සාප්පුවේ කොල්ලන් සමච්චල් කරන විට
නිල් පැහැති මේස් ජෝඩුවක් මිලදී ගනිමි
නිල් පැහැති ගවොමකින් සැරසී දඩබ්බර වෙමි
නිල් අයිතිවාසිකම්වලට වීදියට බැස
සටනකට අරඅඳිමි...
අනුසාර මාහිංගොඩ
© JDS