JDS Sinhala

ඇතෙක් බර කවි

 

පිලිස්තියන්ගේද, සමාරියාවේද
ජොහොයාකිම්1ගේ දෙවියනි
සසර පුරා විසිරී සිටින
හොලෝසීන2 යුගයේ මානවයන්ට
ඇතෙක් බරට කවි අවැසි ය!

ඒවා,
දුබ්‍රොව්ස්කිගේ3 ගුරේබියානු බිම් වල පිපෙන
තණ මල් පැහැ වේවා
දාවිත්ගේ ප්‍රශංසාද, රාහුලයන්ගේ කටාරම් කවිද,
සේකර, කුඩලිගම, වෙඩ්ඩා ගේ ද,
ලක්ශාන්ත, රත්න ශ්‍රී, නන්දන ගේ ද කවි
පොත් පිටින් එහි වේවා
කල්හාර, ප්‍රියදර්ශනී, අමරසිරි ගයන
ගේය රචනා ද වේවා

ජෙයපාලන්ගේ
දෙමළ කවි පොකුරු
පේන තැනකින්ම තියන්න

වෙරි වෙන කවි
අමතක නොකරන්න
ත්‍රයිලෝකවිජයා ඩිංගක
කවි මහගොඩක් බව
සිහිතබා ගන්න

58වන මුදල් නීති පනත4 ගැන දැනගෙන
පන්දාහේ කොළවල
පොඩියට කවි ලියන්න
ඩයනාගේ හා කුවණ්නාගේ නමින්
යමුනා, කල්පනා,
චලා, දිනූ, බස්සී ලියූ කවි
කලවමෙ දමන්න

අහසේ කුරුලන්ගේ ද
මුහුදේ මත්‍ස්‍යයන්ගේ ද
කවි ටික එකතු කර දෙන්න

පාන් පෝරණු, කොත්තු තහඩු නගන කවි
හනි හනිකට
පැහැදිලිව ටයිප් කරන්න
ඉටිකොළ, රෙදි බැනර්, බ්‍රිසිල් බෝඩ් කවි
අනිවාර්යයෙන් දමන්න

තවද ,
වරාය නගරයට ගෙනෙන
C15 කුට්ටි වලද
නිතර ලෙඩ වෙන
කලු ,කැළණි ගං වලටත්
අවස්ථාව දෙන්න

මාර්ගස්ථ මගීන්ට
පොඩි ඉඩක් තියන්න.
ඔවුන් නිහඩවම තෙරපී
ඔවුන්ගේ කවි ඔබා ගනු ඇත

වඩේ, රටකජු, මිරිස් කඩළ
ලැයිස්තුවේ දා ගන්න
ඒවා දමන ගොටු කවරවල
අගනා කවි තිබිය හැක...
ඒ ටික
අර වෙරි වෙන කවි
ළඟින් තියන්න

දෙවියෙක් වුණත්
පිදුරංගල පැත්තේ නොයන්න
බර කිරාගන්න ඇතෙක් හොයාගන්න
අමාරු බව සිහි තබාගන්න
අනාගාමික ලබ්ධිය හැමතැනම බැවින්
කෝකටත් පරිස්සම් වෙන්න!

 

වජිර දීප්ති වීරකෝන්


© JDS


සටහන්:

1. ජොහොයාකිම් - බයිබලයේ සදහන් රාජාවලියෙහි සඳහන් රජෙකි. බැබිලෝනියානු රජු නෙබුකද්නසාර් ජෙරුසෙලම ආක්‍රමණය කර යටත් කරන්නේ මේ පාලන සමයේදී ය.

2. හෙලෝසීන යුගය - අද අපි ජීවත්වන භූ යුගය. මෙයට පෙර පැවති ප්ලයිස්ටෝසීන යුගය හෙවත් මහා හිම යුගය අවුරුදු 12,000 පමණ පෙර අවසන් වූ පසු පවතින්නේ මෙම යුගයයි. අවිස්සාවේල්ල මානියම්ගම සහ කිතුල්ගල බෙලිලෙන ආශ්‍රිතව අවුරුදු 13,000 පැරැණි දික්කැකුණ ඇට සොයාගෙන ඇත.

3. දුබ්‍රොව්ස්කි - ඇලෙක්සාන්දර් පුෂ්කින් රුසියානු මහා කවියාගේ (1799-1837) ගද්‍ය කෘතියක එන ප්‍රධාන චරිතය .

4. 1949දී 58 වන මුදල් නීති පනතින් මුදල් නෝට්ටුවල කුරුටු ගෑම හො විකෘති කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස අර්ථ දක්වා ඇත.

5. C1- මීටර් කියුබ් එකක ප්‍රමාණයේ විශාලත්වයෙන් යුතු කලුගල් සඳහා භාවිතා වන ඉංජිනේරුමය සංකේතය.


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.