JDS Sinhala

මයිලිඩ්ඩි මුහුදු තෙර

 

නිමිත්ත: යාපනයේ මයිලිඩ්ඩි මුහුදු තෙර අසළ යුද සමයේ හානියට ලක්වූ කන්නගී අම්මාන් දෙවොලකි. යුද්ධය ඇවිල යන්නට පෙර මෙතැන ඉතා සශ්‍රීකව පැවැති ධීවර වරායක් ද තිබිණි.

රදිය නොවේ ලුණු රස කඳුළු දරන්නී
සුළං වෙනුවට සුසුම් විතරක්ම ගෙනෙන්නී
වෙන්ව ගිය නෑසියන් කොයි කොහේ සොයන්නී
කන්නගි දෙවොල ළඟ ළය පැලී හඬන්නී...

හද පළුව වෙඩි වැදී මිය ඇදුණු රෑ යමෙක
ගෝපුරම ඉතිරි කොට පිපිර ගිය දෙවොල ළඟ
කටු පදුරු මැද කන්නගි පවා අවතැන් ව
සුළං මොකටද සුසුම් ඕනෑවටත් වැඩි ය.

පාළුවට ගිය තාරකා පිරුණු අහස යට
ගොඩැල්ලක පිපුණු මල් කැකුළු පමණකි තනිව
දුක් ම උසුලා තැවෙන පොළොව රිදවනු බැරිව
දිය කඩනයක් අසළ රළ හැපෙයි නිහඬවම...

 

කත්‍යානා අමරසිංහ


© JDS



left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.