කියග විහඟ!
- Post 10 September 2018
අවකාශයට පවා දරන්නට බැරි
නොහික්මුණු මේ සීත කුණාටුව අතරින්
සිය දහක් හිම පියලි කස පහර විඳිමින්
උඹ කොහේ පියාඹන්නෙ ද විහඟ!
අත්තටුව ඇතැර ගිය සැහැල්ලුම පිහාටුව හොයාගෙන නේද?
හෙමත් සෘතුවට පවා දරන්නට බැරි
නොසන්ඩාලම සුළං අපා දුක් විඳිමින්
රැය උමතු කරන ගණ අඳුර මඟ හරිමින්
උඹ කොහේ පියාඹන්නෙද විහඟ!
සැහැල්ලුව අතැ'ර ගිය සන්සුන්ම පිහාටුව හොයාගෙන නේද?
ඇතැම් විට
හිම මිදුණ ඇල්ෆ් කඳු පහත්තාවේ
නුදුරු ඉසව්වක
පතිත වී තියෙන්නට පුළුවන් ය.
ඇතැම් විට
හිම මිදුණ බේරෙ වැව ඉහත්තාවේ
නිහඬ ඉසව්වක
නිහඬවම තියෙන්නට පිළිවන් ය
පියාපතකට පවා දරන්නට බැරි
පිහාටුව ගැන මතක මතකයට නඟමින්
උණසුම පිණිස මතක, මතක මත ගටමින්
පිහාටුව අසළ සැතපී ඇතැයි උඹ හිතන
මඳහාස කලේබරයක මතක හොයාගෙන නේද?
විහඟ;
නුඹ
නො නැවතී
පියාඹන්නේ මෙහෙම..
මංජුල වෙඩිවර්ධන
© JDS